මාමාගේ ජංගම දුරකතනයට රිළා හාමි වැඩක් දීලා


ගුණපාල මාමා රාජ්‍ය සේවයක යෙදී සිට විශ්‍රාම ගොස් විවේකීව සිටින වසර 75ක් පමණ වූ වයසැති අයෙකි. දියණියන් දෙදෙනෙකු සිටින අතර ඔවුහු කොළඹ ප්‍රදේශයේ රැකියාවල නියුක්තව එහිම පදිංචිව සිටිති. භාර්යාව ද සමග මේ නිවසේ ජීවත්වන මාමා උදෑසන මිදුලේ අඹ ගසයට බංකුවේ වාඩි වී වත්ත දෙස බලා සිටියේ සිය කුඩා ජංගම දුරකථනය ද ඒ අසලට  තබාගෙනය. එක් වරම වත්තේ ගසක පොල් ගෙඩියක් වැටෙනු ඇසී මාමා එය අහුලා ගැනීමට ඒ දෙසට ගමන් කළේ දුරකථනය බංකුව මත තිබියදීය.  
පොල් ගෙඩිය අහුලාගෙන නැවත බංකුව අසලට පැමිණියත් දුරකථනය එහි නොවීය.  කමිස සාක්කුවේ තිබී පොල් ගස මුල වැටුණේදැයි සිතා නැවත ඒ දෙසට සෝදිසියෙන් ගමන් කළේය. අල්ලපු වත්තේ ගසක් කපමින් සිටි පුද්ගලයකු කීවේ රිළවකු විසින් කළු පැහැති යමක් රැගෙන යනු දුටු බවය. එහෙත් ගුණපාල මාමාට ඒ පිළිබඳව අදහසක් හෝ විශ්වාසයක් එවේලේ පහළ වූයේ නැත. නැවත නිවසට පැමිණ බිරියගේ දුරකථනයෙන් තම අංකයට ඇමතුමක් ලබා ගත්තේය. දුරකථනය සක්‍රියවී නාද වුවද එයින් වෙනත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත.


අසල නිවසකට ගිය ගුණපාල මාමා එහි සිටි දියණියකට විස්තරය කීවේය. ඇය ද මාමාගේ අංකයට ඇමතුමක් ලබා ගත්තාය. එය නාද විය. සක්‍රි වුවද පරිසරයේ හඬ පමණක් ඇසිණි. පුද්ගලයාගේ හඬත් නොවීය. නිවස අසලින් පාරේ ගමන් කළ අයෙකු මෙය දැක රැගෙන යන්නට  ඇතැයි සිතු ඇය නැවත ඇමතුමක් ගත්තේය. නැවතත් පෙර පරිදිම සිදුවිය. දුරකථනය අත ඇති පුද්ගලයා සවන් දී සිටින බවක් ඇයට අවබෝධ වූයෙන් ඇය මෙසේ කීවේය.
‘‘අපේ මාමාට අසනීපයි. ඔහු නිතරම බෙහෙත් බොනවා. දුවලා දෙන්නම ඉන්නේ  කොළඹ. ඒ දෙන්නා නිතරම මාමාගේ දුක සැප අහනවා. පෝන් එකෙන් පිළිතුරක් නැති වුණාම ඒ දෙන්නා කලබල වෙනවා. අනේ අපේ මාමා අහිංසකයෙක්. ඔය පෝන් එක ඔයා වැරදිලා හරි ගත්තා නම් ගෙනත් ආයේ අර බංකුව උඩම තියන්න’’ කියා බැගෑපත්ව ඇය කරුණාවෙන් කීවාය. එහෙත් ඒ පැත්තෙන් කිසිදු හඩක් නම් ආවේ නැත.
මාමා දුරකථනය පිළිබඳ අදහස අත් හැර ගෙදර ආවේය. නිවෙස අසල ප්‍රධාන මාර්ගයේ පිහිටි ‘‘කඩ මංඩියේ චන්න නම් තරුණයකු පලතුරු වෙළෙඳසලක් පවත්වා ගෙන ගියේය. තමාගේ නවීන ස්මාර්ට් දුරකථනය පලතුරු ලෑල්ල මත තබා අසල යම් කාර්යයක නිරත වී සිටියේය. එක් වරම ඇසුණු ශබ්දයකට හැරී බලන විට දුටුවේ රිළවකු විසින් දුරකථනය රැගෙන පැන යන බවය. කොතරම්  කෑ ගැසුව ද අතට අසුවන දෙයින් දමා ගැසුව ද රිළවා එය අත් හැරියේ නැත. නිවෙස්වල වහල මතින් හා ගස් මතින් ඈතටම ගියේය. රතිඤ්ඤා පත්තු කරමින් හා විවිධ බාධා කිරීම් කරමින් පසු පස ගියද රිළවා ඒ කිසිවකුට අවනත වූයේ නැත.  ඒ වනවිට තරුණයා ගුණපාල මාමාගේ වත්තේ කෙළවරටම පැමිණ සිටියේය. වත්තේ ගසක් යට කුඩා දුරකථනයක කොටස් තිබෙනු ඔහු නෙත ගැටුණි. ඔහු ඒවා අහුලා නොගන්නේ තමාගේ නොවන බැවිනුත් කිසිවකු යම් අනර්ථ ක්‍රියාවක් සඳහා යොදවාගෙන අත්හැර දමා ගොස් තිබුණහොත් තමා නිකරුනේ හොරෙකු හෝ වැරදිකාරයකු වේවි යැයි සිතාය.
තමාගේ ස්මාර්ට් දුරකථනය පිළිබඳව ආශාව අත්හැරී චන්න වෙළෙඳසලට පැමිණ අල්ලපු කඩේ විනෝදනී අක්කාට විස්තරය කීවේය. ගුණපාල මාමාගේ සිද්ධිය දැන සිටි  විනෝදනී වහාම ගුණපාල මාමාට පණිවිඩයක් දුන්නේය. වන්නේ කෙළවරේ ඇති මාර ගස යටට ගොස් දුරකථනය අසුලා ගන්නා ලෙස කීවාය. වහා එහි ගිය ගුණපාල මාමා එම දුරකථන කොටස් තමාගේ බව වටහා ගත්තේය. සිදුවී ඇති දෙය ඔහුට සිතා ගන්නට හැකිවිය.
සිම්පත ට හා බැටරියට හානියක් සිදුවී නොමැති හෙයින් ඥාති දියණිය ලබාදුන් පැරැණි පෝනයට සවිකර භාවිත කිරීමට අවස්ථාව ලැබිණි. මාමාගේ පැරැණි දුරකථනය සක්‍රිය කිරීමට රිළවාට අවස්ථාවක් ලැබුණත් චන්නගේ නවීන ස්මාර්ට් පෝනය සක්‍රිය කර ගැනීමට  රිළවාට හැකියාවක් නොවන්නට ඇත. තම තමන්ගේ දුරකථන රිළවාගෙන් ප්‍රවේශම් කර ගන්නා ලෙස කඩ මණ්ඩිය අසලද, නිවෙස්ද දැනුවත් කළද චන්නගේ දුරකථනය ද රිළවාද තාමත් පෙනෙන්නට නොමැත. චන්නගේ  වටිනා දුරකථනය ගසක් යට හෝ වහලයක් මත තිබේදැයි අවට සියලු දෙනාම සෙවිල්ලෙන් සිටිති.

බෙලිගමුව, ගලේවෙල 
එම්.ඩී.එන්. ජයසිංහ