කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
සිය ලේලියගෙන් කප්පම් ලබාගත් නැන්දනියක පිළිබඳව පුවතක් දකුණේ කොනේ ගම්මානයකින් අසන්නට ලැබේ.
කොරෝනා ව්‍යසනයත් සමග ඇයගේ සැමියාගේ රැකියාව අහිමිව ගියේ ඔවුන් නොසිතූවිරූ මොහොතකය. ඊට අන් විකල්පයක් නොවුණු තැන ඔහු තරුණ භාර්යාව සිය මව භාරයේ තබා විදෙස්ගත වූවේය. ඒ භාර්යාවගේ චරිත සහතිකයද ඔහු සිය මවගේ භාරයේ තැබුවේය.
පිරිමින් සමග කතා බහ කිරීම කෙසේ වෙතත් අන් පිරිමියකු දෙස බැලුවේ යැයි මව කීවොත් රට රැකියාව දමාගසා යළි මව් බිමට පැමිණෙන බව භාර්යාවට තදින්ම පවසා ඔහු විදෙස් ගතවූයේ තමා නැති අතරේ භාර්යාව ආරක්ෂා කර ගැනීමේ අටියෙනි. රට යාමට උකසට තිබූ ඉඩම ගැනද නොසිතා තමා එසේ කරන බව කීවේ භාර්යාවට එහි බැරෑරුම් බව තවත් පෙන්වීමටය. ඒ නිසාම ඇය සැමියා විදෙස්ගතවූ දවසේ සිටම සිය නැන්දනිය ඉදිරියේ පරිස්සම් වූවාය.
එදා නැන්දනිය තමා පෙළෙන බෝනොවන රෝග පැකේජය සඳහා නගරයේ රෝහලට ගියේ එහි ඇති සායනය සඳහාය. ඒ සිය ලේලිය නිවෙසේ තනිකර දමාය. ලේලිය මිදුල අතුගාමින් සිටිනාවිටදී දන්නා හඳුනන තරුණයකු ඇය සමග කතා කළේ හිතවත්කමටය. නැන්දනිය නිවෙසේ නැතිකමද ඊට රුකුලක් විය.
වෙනදා බස් රථයෙන් සායනයට ගිය නැන්දනිය එදා ත්‍රිරෝද රථයකින් නිවෙස ඉදිරිපිටින් බැස්සේ ඔය අතරේදීය. අඩාපාලි මැද නැන්දනියගේ දෑස් උඩගියේ ලේලිය ලොකු වරදක් කර හසුවූ එකියක ලෙසය.
මම ඉතින් ඔය කතාව පුතාට කියන්නේ නැහැ. කිව්වොත් වෙන දේ මම දන්නවනේ. මට තියෙනවානම් රුපියල් දාහක් දෙන්නකෝ ළමයෝ කියමින් නැන්දනිය ඇයගෙන් විටින් විට සල්ලි ඉල්ලා ගත්තාය. මෙය ලේලියට කරදරයක් වූයේ වරක් දෙවරක් නොවේ.
නැන්දනිය කියන කියන වෙලාවට ඇය අතමිට මෙලෙව්වේ නැත්නම් වන හදිය දන්නා නිසා ලේලිය ඊට අවනත වූවාය. ඒ වෙන කළ හැකි දෙයක් නැති නිසාය.
මෙය මල කරදරයක් වූ තැන ඇය සිය මව්පියන් සොයා ගොස් අඬමින් පවසා ඇත්තේ ඊට සහනයක් ගැනීමටය.