මොරගොල්ලාගම සිසිර කැලේගම
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මානයකින් අසන්නට ලැබුණි.
බිරිය හා දරු දෙදෙනා සමග නිවැසියා එහි වාසය කරයි. ඔහු රැකියාවක නිරත වුවත් උපයන මුදලින් ජීවත්වීම අසීරු ය. කෙසේ වෙතත් කනවා නෙමෙයි ලෙව කන ගානට ජීවත්වන බව දන්නේ නිවසේ අයම විතරයි. එය එසේ වුවත් සමාජයට හා පවුලේ අයට තෙලෙන් කා කිරෙන් අත සෝදන අයකු මෙන් ඔහු උජාරුවට රඟපායි. නෑදෑ පිරිවර අමතන හැමවිටම කිසිවෙකුත් තම නිවෙස්වලට නොඑන බවට ඔවුනට දොස් නගන්නේ ය.
මේ නිසාම දුර පළාතක සිටින තමාගේම බාල මල්ලී අයියාගේ නිවසේ රැඳී වට වන්දනාවක යාමට එහි එන බව දන්වා සිටියේය. මල්ලී, මල්ලිගේ බිරිය, දරුවන් ඇතුළුව එන පිරිස අට දෙනෙකි.
පළමු දිනයේ එහි නතර වෙනවා. උදේ අවුකන වැඳගෙන කලාවැවෙන් නාලා දවල්ට ගෙදර කෑමට එනවා. එදින රාත්‍රියත් එම නිවසේම රැඳී පසුදින උදේට, දවල්ට කෑම පාර්සල් හදාගෙන අනුරාධපුර වට වන්දනාවේ ගොස් එදින රෑටත් මෙම නිවසටම එනවා. පසුදින දඹුලු, සීගිරි යනවා. මල්ලි තම අයියාට ගත කරන දින චරියාව ගැන කීවේ ය.
එය ඇසූ අයියාට ඉහමොළ රත් වුණි. අතේ පිච්චිය නැති වෙලාවේ නෑදෑ පිරිවර පැමිණීම ඔහුට බිරියට ගෙදරට හිසරදයක් වුණි. ඔවුන් එන දිනය ටිකෙන් ටික ළං වුණි. කළ හැක්කක් නොමැත. අවට පිරිත් ගෙදරකි. එහි ගිය නිවෙස් හිමියා පිරිත් නූල් හතරක් ගෙන ආවේය. හතර දෙනාගේම අතේ නූල් ගැට ගැසූහ. නෑදෑයෝ එදින හවස ළඟා වූහ.
“මාර වැඩේනේ වුණේ. පොඩි එකීට ආරූඪයක් ආවා. ඒකිට මතක නැහැ මොකද වුණේ කියලා. පස්සේ දේවාලයකට අරන් ගියා. දෙහි කපනකම් ආරක්ෂාවට හතර දෙනාටම නූල් දැම්මා. ඒ කාලය තුළ පුළුටු කරන්න හොඳ නැහැ. මස්, මාළු, බිත්තර, කරවල තියා තෙල් දාන්නවත් එපා කිව්වා. ඔයාලා ආවේ මාර දවසක තමයි”.
‘කමක් නැහැ කිරෙන් හරි මොනවා හරි කමු’. රෑ කෑම වේල, උදේ කෑම වේල එසේ කිරෙන් කනවිට තෙහෙට්ටුවට පත් නඩයට එම කෑම රසය එපා වෙලා දින ගණනක් නවතින්නට පැමිණි ඔවුන් දෙහි කපා සාත්තුව කරන්නත් ගතමනාවක් අයියාගේ අතේ තියා හිතවතෙකුගේ පිහිට පතා එතැනින් නික්ම ගියා ලු.