ඩ්‍රැයිවර්ගේ ‘‘බ්‍රේක්’’ සාත්තුවෙන් ගොළු තරුණයා කතා කරලා


කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම


යාචකයෙකුගේ උපන්ගෙයි ගොළු බව නිට්ටාවටම සුව කළ බස් රථ රියැදුරකු පිළිබඳව බස්නාහිර පළාතෙන් අසන්නට ලැබුණි.
බස් රථය කොළඹ බලා ධාවනය වෙමින් පැවති අතර එම බස් රථය වෙත ගල්කිස්ස ප්‍රදේශයේදී සිඟමන් යදින යුවළක ගොඩව ඇත. එම  බස් රථයේ එතරම් සෙනඟ නොමැති අතර සිඟමන් යැදීමට පැමිණි යුවළ සිය කාර්ය පටන්ගෙන ඇත. මව සහ පුතා ලෙස හඳුන්වා දුන් ඔවුන්ගේ, මවගේ වයස හැටක් පමණ වන අතර තරුණයා වයස විසි පහත් තිහත් අතර පසුවිය.
 බස් රථයේ සිටි පිරිස දෙස විමසිල්ලෙන් බැලු‍ එම කාන්තාව හඬ අවදි කළාය. ‘‘අනේ මහත්තයෝ. මේ මගෙ එකම පුතා. වයස අවුරුදු 25 ක් වෙනවා. මේ කොල්ලට උප්පත්තියේ ඉඳන්ම කතා කරන්න බෑ. ගොළුයි, තැනකට ගිහින් දෑතෙ රස්සාවක් කරන්නත් බෑ.
අපේ ගෙවල් ටිකක් දුර පළාතක. බස්වලට නැඟල ඔය නෝනා මහත්තුරු දෙන පුංචි ආධාරයෙන් තමයි අපි දෙන්න ජීවත් වෙන්නෙ. කොතනක ගියත් පුතා විහිළුවකට ගන්නවා කතා කරන්න බැරි නිසා. අපි හරි අසරණ වෙලා ඉන්නේ. උදේට ගෙදරින් බීපු ඇල්වතුර එක විතරයි’’ යැයි පවසා ඇත. 


ඔය අතර එම පිරිමි පුද්ගලයා  අම්මා  කියන දේ එතරම් ගණන් ගන්නෙ නැතිව පොඩි එකෙකු සේ ඔළු‍ව කසමින් සිටියේය. බැලූ බැල්මටම කතාව ඇත්ත සේය. තවමත් ඇය කතා කරමින් සිටියාය. බස් රථයේ සිටි  බොහෝ පිරිසක් සිය සාක්කු හා මුදල් පසුම්බි වෙත අත යැවුවේ ඔවුන් දෙස සානුකම්පිතව බලමින් කීයක් හෝ දීමටය.
ඔය අතර තුර බස් රථයේ රියැදුරු මහතා තරමක් වේගය වැඩි කළේ  පිටුපසින් එන වෙනත් බස් එකක් දැක්ක නිසා විය යුතුය. පෑගිමට ඇති ඇක්සලේටරය උඩ නැග්ග රියදුරු මහතා යකෙකු දුටු පරිදි බස් රථය ධාවනය කිරීමට පටන්ගෙන ඇත. එසැණින්ම පාර අයිනේ නවතා තිබූ ත්‍රීරෝද රථයක්  එක් වරම පාරට රිවස් කර ඇත්තේ ඩ්‍රයිවර්ට කිසිත් කරකියා ගත නොහැකි වෙලාවකය. දෙවියන් සිහිපත් වූ රියැදුරුට ළඟම දෙවියන් වූයේ බස් රථයේ බ්‍රේක් එකය.
එක්වරම බස් රථයේ සිටි ගොළු තරුණයා ඔහු අල්ලා සිටි  පොල්ලට අත හිරවී ඇඹරී ගියේ, යන්තමින් යට ඇඳුම් තෙත් කරමිනි. ගොළු බව සුව වූ එම තරුණයා පරුෂ වචන රැසක් සමග අම්මෝ මගෙ අත”‍ යැයි පවසා ඇත්තේ. බස් රථයේ සිටි පිරිස අන්දුන් කුන්දුන් කරමිනි.
කොතරම් ආශ්චර්යක්ද? උපන්දා සිට ගොළුවකුව සිටි එම තරුණයා පළමු වචනය කතා කළේය. ඒකත් පොඩි උන් කතා කරන්න පටන් ගන්නවා සේ අම්මාගෙන් පටන් ගෙනය. 
බසයේ සිටි පිරිස මොවුන්ගේ බොරුව දැක උපහාසයට හිනා වෙද්දි,  ඇතැම් පිරිස් විහිළුවකට මෙන් කතා කළේ’’ මේ  තරම් උපකාරයක් කළ රියැදුරු මහතාට සිනහවකින් හෝ උපකාර නොකර, ජීවිතයේ කවදාවත් නෑසූ කුණුහරුප රාශියකින් කාටදෝ බැණ බැණ බසයෙන් බැස ගිය එම ජෝඩුව පිළිබඳවය.