ගැමියාගේ සත්කාරයෙන් රාලහාමිට එලොව පොල් පෙනිලා


අමුතු ආගන්තුක සත්කාරයක් කළ ගැමියකු ගැන පරගල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය.
ඔහු අධ්‍යාපනය නොලද, තරමක මෝඩ පහේ ගැමියෙකි. විවාහක ඔහු රජයේ අනවසර ඉඩමක තේ වගාව කරගෙන ගහක මලක් කපාගෙන, ජීවනෝපාය සඳහා ආදායම් මාර්ගයක් සකසා ගත් අයෙකි. දරුවන් දෙදෙනකු සිටින ඔහුගේ බිරිය අහල පහළ තේ ඉඩම් හිමියන්ගේ අමු තේ දළු නෙළා  ස්වාමි පුරුෂයා සමග ජීවන බරට උරදුන්නාය. ඉඳගන්නට පුටුවක් නිවෙසේ නැති අතර ගල් කුළු දෙකක් මත ලෑලි කැබැල්ලක් තබා සකසා ගත් බංකුවක් ළමයින්ට පාඩම් කිරීම සඳහා ඉද ගැනීමට සකස් කර ඇත.
දිනක් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතා පැමිණ මොහුට දන්වා සිටියේ අනවසර ඉඩම් බැලීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පැමිණෙන බවය. ඔවුනට තරමක සැර බීමක් සකස් කර තිබ්බොත් හොඳ බව ද ග්‍රාම නිලධාරීවරයා පැවැසීය.


 නියමිත දිනයේ අදාළ නිලධාරීහු ඉඩම බැලීමට පැමිණියහ.
රාලහාමි කී පරිදි, නිලධාරීන්ට සංග්‍රහයක් කිරීමට සිතූ මොහු පියාගේ නිවෙසට ගොස් කළයක යමක් රැගෙන ආවේය.
පිරිසුදු කළ පොල් කටු කීපයක් ගෙන ඒවාට කළයේ තිබූ රන්වන් පාටට හුරු කහ පැහැති දියර පුරවා නිලධාරීන්ට බීමට දුන්නේය. නිලධාරීන් ද රස කරමින් එම දියර පානය කළේ මහත් ගිජු බවක්  දක්වමිනි. සංග්‍රහය භුක්ති විඳ, ආපසු යාමට සැරසුණ නිලධාරීන් කීප දෙනෙක් හිසේ කැක්කුමත්, ක්ලාන්ත ගතියත් දැනෙන බව ග්‍රාම සේවා නිලධාරී මහතාට පැවැසුහ.
ග්‍රාම නිලධාරීවරයා ගැමියා ළඟට පැමිණ බීමට දුන් දේ ගැන විපරම් කර, පහත් හඩින් කතා කර, “බීමට දුන්නේ මොනවාදැයි, කියා විමසීය.
‘‘රාලහාමි සැරබීමක් සූදානම් කරන්නනෙ කීවෙ. බාගෙට පැසුණු සීනි කරිඤ්ඤං තමයි දුන්නෙ.’’
බොන්න දුන්නේ මොනවාදැයි ඇසූ ග්‍රාම නිලධාරීවරයා අන්දමන් ද විය. “ඇයි යෝදයෝ උඹ මගේ නම්බුව කෑවා යැයි හිසට අත තබා  ගත්තාලු.

 

මාවරල පී.එස්. මද්දුමගේ