කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත
යුක්තියේ මෙහෙයුමෙන් දහහත් හැවිරිදි සිය පුත්‍රයාගේ තරම මවුපියන්ට දැනගන්නට හැකි වූ අපූරු කතාවක් අම්බලන්ගොඩ පොලිසියෙන් අසන්නට ලැබේ.
එදා මධ්‍යම රාත්‍රියේ අම්බලන්ගොඩ පොලිසියට අයත් ත්‍රිරෝද රථය පොලිස් කණ්ඩායමක් සමග අම්බලන්ගොඩ කන්ද මාවතේ සංචාරය කළේ, යුක්තිය මෙහෙයුමට සම්බන්ධයෙන් අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සෙවීමේ ඒකායන අරමුණින්ය.
එසේ යන අතරතුර තාප්පයකින් පැන කොල්ලෙක් දිව්වේය. එසේ පැන දිවූ ගැටයා පිටුපස පොලිසිය ද පැන්නුවේය. “අනිවාර්යයෙන්ම මූ කාට හරි වැඩක් දෙන්න ආ එකෙක්” යයි පොලිසිය සිතුවේය. “මූ කුඩ්ඩෙක්” යයි ද පොලිසිය යටි සිතේ තබාගෙන කොල්ලා පසුපස පැන්නුවේය. කොල්ලා පොලිසියට මාට්ටු විය. කොල්ලාගේ කරේ ලක්ෂ තුන හතරක් පමණ වටිනා මාලයකි. අත් පලඳනාවේ වටිනාකම ද ඊට නොදෙවැනිය. නවීන පන්නයේ ජංගම දුරකතනයේ මිල ද ලක්ෂ දෙක තුනකට වඩා වැඩිය.
“කියමුකෝ බලන්න තමුන් තාප්පෙන් පැනලා දිව්වේ ඇයි කියලා” පොලිසියේ මහත්වරු කොල්ලාගෙන් ඇසුවේ තමන් දන්නා හොඳ සිංහලයෙනි. උගුරු කඩාගෙන කෑමොර දෙමිනි.
“සර්, මම කුඩ්ඩෙක්වත් අපරාධකාරයෙක්වත් නෙමෙයි. මම ආවේ මගේ කෙල්ල බලන්න. මම කෙල්ල බලලා යන ගමන් තමයි මේ.”
“යකෝ තමුන්ට කෙල්ල බලන්න එන්න වෙලාවක්ම තිබුණේ නැද්ද? යක්කු ගස් යන වෙලාවට රෑට ගෙවල් ගානේ බඩ ගාන්නෙ” යයි පොලිස් නිලධාරියෙක් ඇසුවේය.
“දෙනවකෝ තමුන්ගේ මවුපියන්ගේ ජංගම දුරකතන අංක” පොලිස් නිලධාරීහු කොල්ලාගෙන් ඉල්ලා සිටියහ.
කොල්ලා කසාය පානය කළ ගොළුවකු මෙනි. “තමුන්ට අපි කියන දේ ඇහෙන්නේ නැද්ද?” එක් පොලිස් නිලධාරියකු අඩි පොළොවේ හප්පා කොල්ලාගෙන් ඇසුවේ, කොල්ලා බය කර එයට ප්‍රතිචාරයක් ලබා ගැනීමටය. කොල්ලා ඊට ද ප්‍රතිචාරයක් නොදැක්වීය. කොල්ලා පොලිසියට ගෙන එන්නේ පොලිස් නිලධාරීන්ට වෙන කරන්න දෙයක් නොවූ නිසාවෙනි.
පොලිස් නිලධාරියෙක් කොල්ලාගේ ජංගම දුරකතනය ගෙන එහි මෙමරිය පරීක්ෂා කර බලා පියාගේ දුරකතනයට ඇමතුමක් දුන්නේය. පුතණ්ඩියා පොලිසියේ මහ රෑ ඉන්නා බව කීවත් පියා එය නොපිළිගත්තේය. “පොලිසිය වෙන කෙනකුට රැවැටිලා” යයි කීවේය. ඔහුගේ පුතා රෑ එහේ මෙහේ යන කෙනකු නොවන බව ද කීවේය. කෝකටත් පුතා කාමරයේ ඉන්නවා දැයි පියා බැලුවේ නිකමටය. “අනේ සර්, කොල්ලා ගෙදර නෑ නේන්නම්. අනේ සර්, අපි එනකම් පුතා තියා ගන්න.” යයි ද පියා දුරකතනයෙන් කීවේ අඬ අඬාය.
සිය පුතා බැලීමට පොලිසියට ඒමට දොර ඇරීමට ගිය තැන දොරවල්වල යතුරු නැත. පියාට දවල් තරු පෙනුණේ තමන් බබකු වගේ හදා ගත් පුතාගේ තරම දැනගන්නට වූ හෙයිනි. පුතා ද තාත්තාගේ ජංගම දුරකතන අංකය නොදී සිටීමේ හේතුව පොලිසියට දැන් හොඳටම පැහැදිලිය. කොල්ලා කොටුවක් පැනීමට පැමිණ ඇත්තේ නිවෙසේ දොරවල් වසා, ඒවායේ යතුරු ද රැගෙන බව පොලිසියට මාට්ටු නොවූයේ නම්, මූ තව කාලයක්ම මවුපියන් මේ විදිහට රවටනවා නොඅනුමානය.