උදවුවට උදවු කරන්න ගිය ගැමියාට මංගල තෑග්ගක්


තමන් අපේක්ෂාකළ කාරිය ඉතා උසස් අන්දමින් ඉටු කර දීම ගැන සතුටු වූ ගැමියකු ඒ සතුට ගෙනදුන් රාජ්‍ය සේවකයකුට තුටු පඬුරක් දෙන්නට ගිය අවස්ථාවේ එම සේවකයාගෙන් ලද ප්‍රතිචාරය නිසා ගැමියා කරකවා අතහැරියා වැනි තත්වයකට පත්වූ පුවතක් දුම්බර ප්‍රදේශයේ රාජයේ කාර්යාලයකින් වාර්තා විය.
තිස් එක් හැවිරිදි වියේ පසු වූ ඔහුගේ කල වයස හරිගියෙන් පවුලේ ඥාතීන් ඔහුට ගෙනා  විවාහ යෝජනාවට හරස්වූයේ ජාතික හැඳුනුම්පතයි. හැඳුනුම්පත සකස් කර ගැනීමට අදාළ නිලධාරි හමු වූ පසු ඔහු පවසා ඇත්තේ උප්පැන්න සහතිකය නොමැතිව හැඳුනුම්පතක් සැකසිය නොහැකි බවයි. තමන් උපන් ස්ථානයට අයත් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් අදාළ උප්පැන්න සහතික පිටපතක් ලබාගත හැකි බවත් එය රැගෙන එන ලෙසත් එම නිලධාරියා ඔහුට උපදෙස් දී තිබේ.
අදාළ කාර්යාලයට පැමිණ විමසීම් කළත් ඔහුගේ උපත සම්බන්ධයෙන් කිසිදු ලේඛනයක් එම කාර්යාලයේ නොමැති හෙයින් අවශ්‍ය ලේඛන රැගෙන පැමිණියහොත් උප්පැන්න සහතිකයක් ලබාදිය හැකි බව  කාර්යාලයේ නිලධාරි මහතකු ඔහුට පවසා රැගෙන ආ යුතු ලේඛන විස්තරයක් ද ලබා දී තිබේ.


දුෂ්කර ගම්මානයක පිහිටි රෝහලක ඔහු උපත ලබා ඇති අතර මව්පියන්ගේ නොදන්නා කමින් එම උපත ලියාපදිංචි කිරීමට පියවර ගෙන නොමැත්තේ දරුවා රෝහලින් පිටමන් කරන අවස්ථාවේ ලබාදුන් උපත සම්බන්ධ ලේඛනය උප්පැන්න සහතිකය යැයි සිතා ගත් හෙයිනි. එම ලේඛනයෙන්ම ගමේ පාසලට ඇතුළත් කර ඇති අතර පහ වසරින් පසු ඔහුගේ පාසල් ගමන ද නිමා කර තිබේ. අනතුරුව ඔහු වැලිකන්ද ප්‍රදේශයේ ඥාතියකුගේ සෙවනේ හැදි වැඩී ඇති බව කියයි.
රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ලද උපදෙස් මත අවශ්‍ය ලිපි ලේඛන ඔහු කාර්යාලයට ලබාදී තිබු අතර පැවති පරීක්ෂණයෙන් පසුව ඔහු වෙත ලැබුණේ තම උපතට අදාළ සහතිකයකි. සහතිකය අතට ගත් ඔහුට නිම් හිම් නැති සතුට ඇතිවිය. ඒ මේ ලේඛනය නිසා සිහින කීපයක් ඉටු කරගත හැකි බව දන්නා හෙයිනි. ඒ අතර ප්‍රධාන තැනක් ගත්තේ ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමෙන් පසු සහකාරියක් සිය නිවසට කැන්දාගෙන ඒමය.
ලේඛනය අතට ගත් ඔහු කල්පනා කළේ මේ කටයුත්තට තම සහෝදරයෙකු මෙන් සුහදශීලිව කතා බහ කරමින්  අවශ්‍ය උපදෙස් දෙමින් ලේඛනය ඉතා කඩිනමින් සකස් කර දුන් හෙයින් මොහුට යම් තුටු පඬුරක් දීමට හැකිනම් එයත් තම සතුටටම හේතුවක් විය හැකි බවයි.
එම යහපත් සිතුවිල්ල ක්‍රියාවට නගමින් ඔහු කුඩා ලියුම් කවරයක දැමු යමක් රැගෙන තමන්ට සහතිකය දුන් නිලධාරි මහතා වෙත ගොස් “අනේ මහත්තයෝ මට සමාවෙන්න. මගේ වැඬේ ඉතා හොඳින් ඔබතුමා කරලා දුන්නා. ඒකට මගෙන් පුංචි තෑග්ගක් ඔබතුමාට.” යැයි කියා අත තිබු ලියුම් කවරය දිගු කළේය.
“බොහෝම හොඳයි. සතුටුයි. ඕක මට අකැපයි. මම ඔබතුමාලාගේ බදු මුදලින් පඩි ලබන රජයේ සේවකයෙක්. ඕක තමයි මගේ රාජකාරිය. ළඟදී විවාහ වෙනවා කිව්වා නේද? මේක ඒ කටයුත්තට වියදම් කරගන්න. එතකොට මමත් ඒකට හවුල් කරගත්තා වාගේ වෙනවා. දැන් හොඳ මහත්තයා වාගේ සහතිකය අරගෙන ගෙදර යන්න.” යැයි කියා තිබේ.
මේ වදන් ඔහුට මිහිරි වුවාසේම අදහා ගත නොහැකි වූයේ මින් පෙර මෙවැනි වදනක් ඔහුගේ දෙසවනට නොඇසුණු නිසාවෙනි.

හසලක සුනිල් ඒකනායක