රන් මැණිකා මැදිවියේ පසුවෙන කාන්තාවක් වුවද වරක් දුටු අයෙකුට නැවත වරක් බලන්නට හිතෙන තරමේ රූ සපුවකින් හෙබි ගැහැනියකි. මහ මග අසල වූ තේ කඩය ඇගේ නිවහන පමණක් නොව ජීවනෝපාය සලසා ගන්නා ස්ථානයද විය.
පාසල් යන දැරුවන් දෙදෙනෙක්ගේ මවක වූ ඇය තම සැමියාගේ හදිසි වියෝවීමෙන් පසු කිසිවකුට අත නොපා ජීවිත සටනින් ජය ගැනීමට රැය දහවල් නොබලා වෙහෙස මහන්සියෙන් වැඩ කටයුතු කළ දිරිය මාතාවකි.
තම තේ කඩයට තේ බීම සඳහා ගොඩවදින බාල, තරුණ, මහළු කවුරුත් සමග වුවද සිනාවෙන් පිරුණ මුහුණින් යුතුව විහිළු තහළුවලින් හා විනෝදෙන් යුතුව පිළිගැනීම ඇගේ නිහතමානී බවේ ලක්ෂණයක් වූ අතර වෙළඳාමේ දියුණුවටද එය ප්‍රධානතම හේතුවක් විය. තේ බීමට එන අයගේ අඩුවක්ද නොවීය.
ආප්ප, පිට්ටු, ඉඳිආප්ප, හැලප හා ලැවරියා ආදී ගමේ ගොඩේ කෑම වර්ගවලින් අඩුවක් නොවුණ ඇගේ තේ කඩයේ මුළු දවස තිස්සේම ඇය සියතින්ම වැඩ කටයුතුවල නිරත වූවාය. යාන වාහනවලින් මහ මග යන එන්නන් පවා ඇගේ තේ කඩයට ගොඩවැදී තේ එකක් බී යෑම පුරුද්දක් කොටගෙන තිබුණි.
මේ අතර දිනක් වාහනය නතර කර පැමිණි තලතුනා වයසේ පිරිමින් දෙදෙනෙක් ආ.. රන් මැණිකේ. කොහොමද අද ආප්ප හෙම, රසට ඇති. දාන්න අපිට බිත්තර ආප්ප දෙකක්’ යනුවෙන් පවසමින් ඇය ආප්ප පුච්චමින් සිටි උඳුන අසලින් යනවිට ඇගේ පිටුපසට තට්ටුවක් දමා මේසය අසල වූ පුටුවකට බරවිය.
ඒ ‘වගේ වැඩක්’ කිසි ගණනකට නොගත් රංමැණිකා දෙදෙනාටම බිත්තර ආප්පවලින් යුසුසුලුව සංග්‍රහ කළාය. කා බී අවසානයේ කීයද නෝනේ අපේ ගණන කියා එක් අයෙක් විමසුවෙන් ආ මල්ලිලා රුපියල් තුන්සිය පණහක් දෙන්නැයි ඇය කීවාය.
එයින් විමතියට පත් ඔවුන් ඇයි? අපි ඔච්චර ආප්ප කෑවදැයි විමසූ විට ‘තේ ගණන රුපියල් එකසිය පණහයි. මගේ පස්සට තට්ටු කළාට රුපියල් දෙසීයයි. ඔක්කොම රුපියල් තුන්සිය පණහයි. මල්ලිලා දෙන්නා ගෙවනවද? නැත්නම් පොලිසි යනවාද?’ ඇය ඇසුවාය.
කිසි කතා බහක් නැතුව ඔවුන් දෙදෙනා රුපියල් තුන්සිය පණහ ගෙවා දමා මේව අපිට ‘හොඳ පාඩම්’ කියා යන්නට ගියාය.
මතුගම පියසේන දොඩන්ගොඩ