ලංකාවේ අනාගතයට අධ්‍යාපන පද්දති වෙනසක්


 


කැළඹිලි සහිත ව්‍යාපාරික පරිසරයක් ඉල්ලා සිටින්නෝ වෙ​ෙළඳපොළ හොඳින් අධ්‍යයනය කරන ව්‍යාපාරික වෘත්තිකයෝය. මේ සඳහා, නිර්මාණශීලීත්වය සමඟ වැඩි පරිකල්පන ශක්තියක් තිබිය යුතුය. මෙයින් යම් ප්‍රතිශතයක් ජානමය ලෙස සැලකිය හැකිය. කෙසේ වෙතත්, කෙනෙකුට ව්‍යාපාරික පරිසරය සංවේදනය කරන්නේ කෙසේදැයි ඉගෙන ගත හැකිය. විශ්වවිද්‍යාලයේ මූලික විෂයයන් සහ නියමිත ද්‍රව්‍යවලට පමණක් සීමා වීම, දැනුවත්භාවය සහ අවබෝධය පිළිබඳ ගැඹුරු හැඟීමක් නොමැති, හුදෙක් යන්ත්‍රයක් බවට පත්වීමට හේතු විය හැක. පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත හිමියන් අවධාරණය කළේ එපරිද්දෙන්ය.


 

  • පාසල් බෑගයෙන් පෙනෙන අධ්‍යාපන ක්‍රමයේ අවුල
  • කන්නංගර ප්‍රතිපත්ති සහතික කිරීම
  • වැලිවිටියේ සෝරත හිමියන්ගේ ආදර්ශය
  • ශ්‍රී ලංකාවට අවශ්‍ය බුද්ධිමතුන් බිහිකරන අධ්‍යාපනයක්

අපගේ අධ්‍යාපන ක්‍රමය ගැන ක්‍රියාකාරීව කතා කරන සාකච්ඡා සංසද, විශේෂඥයින් සහ වෙනත් උනන්දුවක් දක්වන පාර්ශ්වය රාශියක් අපට දැකගත හැකිය. එහෙත්, කිලෝග්‍රෑම් 24 ක් බරැති දරුවකු, තවමත් කිලෝග්‍රෑම් 10 ක පාසල් බෑගයක බරින් මිරිකී ගමන් කරනු දැකීමට ලැබීම කනගාටුවට කරුණකි. මම මෙය සලකන්නේ අපගේ අධ්‍යාපන ක්‍රමය මුහුණ පා සිටින ව්‍යසනය පෙන්නුම් කරන එක් මිනුමක් ලෙසිනි. හයවැනි ශ්‍රේණියේ සිට දහවැනි ශ්‍රේණිය දක්වා වූ කාණ්ඩයට අයත් දරුවන් බොහෝ දෙනෙකු දිනකට විෂයයන් අටක් පමණ හදාරමින් සිටින අතර, ඉන් ප්‍රශ්න කෙරෙන්නේ ශ්‍රී ලාංකික අධ්‍යාපනඥයන් අපගේ ඊළඟ පරම්පරාවට යුක්තිය ඉටු කර ඇත්දැයි යන්නය. 
ඉන්දියාවේ, මානව සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සෑම පන්තියක් සඳහාම පාසල් බෑග් සඳහා බර සීමාවක් නියම කළේ පසුගිය වසරේදීය. ඒ අනුව, එක සහ දෙක පන්තිවල සිසුන් සඳහා පාසල් බෑගයක බර කිලෝග්‍රෑම් 1.5 නොඉක්මවිය යුතු අතර, තුනේ සිට පහ දක්වා පන්තිවල සිසුන් සඳහා වන පාසල් බෑගයක බර කිලෝග්‍රෑම් 2 සිට 3 දක්වා විය යුතුය. හය සහ හත පන්තිවල සිසුන්ගේ පාසල් බෑග් කිලෝග්‍රෑම් 4 ට වඩා වැඩි නොවිය යුතු අතර, අට සහ නවය පන්තිවල සිසුන්ගේ පාසල් බෑග්වල බර කිලෝග්‍රෑම් 4.5 ට වඩා වැඩි නොවිය යුතුය. එසේම 10 පන්තියේ සිසුවෙකුගේ පාසල් බෑගය කිලෝග්‍රෑම් 5 ට වඩා බර නොවිය යුතුය.
පාසල් බෑග් ගැටලුව සැලකිය හැක්කේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ සැබෑ ගැටලුවේ කොටසක් ලෙසින් පමණකි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ බොහෝ අංශ ප්‍රධාන ප්‍රතිසංස්කරණයකට ලක්කිරීමේ බරපතළ අවශ්‍යතාවක් පවතී. එහෙත් පාසල් අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳ නිසි පුළුල් තත්ව විශ්ලේෂණයක් කිරීමට මේ දක්වාම 
ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇත. මෙම සන්දර්භය තුළ විශේෂඥයන් බොහෝ සමීකරණ සැළකිල්ලට ගත යුතු අතර, ඒවා නම්:

1. රජයේ සහ පෞද්ගලික පාසල්/විශ්ව විද්‍යාල සහ විෂයමාලා සහ ගු ණාත්මකභාවය
2. සාධාරණත්වය සහ අන්තර්ග්‍රහණය කිරීම: විවිධ සමාජ ආර්ථික, ජනවාර්ගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ කණ්ඩායම් අතර අධ්‍යාපන අවස්ථාවල පවතින විසමතා විශ්ලේෂණය කළ යුතුය. 
3. යටිතල පහසුකම් සහ සම්පත්
4. පාලනය සහ ප්‍රතිපත්ති රාමුව
5. ගුරු පුහුණුව සහ යෙදවීම
6. ශ්‍රම වෙ​ෙළඳපොළ පෙළගැස්ම
7. ප්‍රවේශය සහ ඇතුළත් කරගැනීම

එසේම, කලින් කලට “සයිටම්” වැනි විවිධ මාතෘකා කරළියට පැමිණෙන නමුත්, ඒවාට මූල හේතුව තේරුම් නොගෙන තාවකාලික විසඳුම් පමණක් ලබා දෙමින් පවතී.


නිසි තත්ව විශ්ලේෂණය 
තවද, රජයේ ආයතන කිහිපයක්ම ශ්‍රී ලංකා අධ්‍යාපනයට සම්බන්ධ වී ඇති අතර, එකම කාර්යයේ බොහෝ පුනරාවර්තන ඇතිව තිබෙන නිසා, මේ පිළිබඳව ද අප බැරෑරුම් ලෙසින් අවධානයක් යොමු කළ යුතුය. වත්මන් තත්ත්වය දෙස බලන විට, රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වේ, එහෙත් එසේ කිරීමේදී නිසි තත්ව විශ්ලේෂණයක් තිබිය යුතුය. වෙනත් රටවලින් ද අපට ඉගෙන ගත හැකි හොඳම භාවිතයන් කිහිපයක් තිබිය හැකිය. ලෝක බැංකුව “වඩා හොඳ අධ්‍යාපන ප්‍රතිඵල සඳහා පද්ධති ප්‍රවේශය” (Systems Approach for Better Education Results – SABER) පිළිබඳව සාකච්ඡා කිරීමට පටන් ගෙන ඇත. SABER  හි ප්‍රධානම අපේක්ෂාව වන්නේ අධ්‍යාපන ප්‍රතිපත්ති සහ ආයතන පිළිබඳ සංසන්දනාත්මක දත්ත සහ දැනුම නිෂ්පාදනය කිරීම මෙන්ම, රට රටවලට ඔවුන්ගේ අධ්‍යාපන පද්ධති ක්‍රමානුකූලව ශක්තිමත් කිරීමට උපකාර කිරීමයි (openknowledge.worldbank.org). කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව දේශීය සන්දර්භයට අනුකූල වන විවිධ ක්‍රම සහ ප්‍රවේශයන් පිළිබඳව පරෙස්සමින් සලකා බැලිය යුතුය.
ශ්‍රී ලංකාව සහ අධ්‍යාපනය ගැන ඔබ සාකච්ඡා කරන්නේ නම්, අපි ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා ගැන සිහිපත් කළ යුතුයි. වුයිස්ටර් (2018) ට අනුව, කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය පිළිබඳ අදහස යෝජනා කරමින් පැවැසුවේ ලංකාවේ සෑම පුරවැසියකුටම “ළදරු පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා” අධ්‍යාපනය නොමිලේ ලබා දිය යුතු බවය. එහි තේරුම සෑම ශිෂ්‍යයකුම කිසිදු අධ්‍යාපන ගාස්තුවක් ගෙවීමෙන් නිදහස් බවයි. 1945 දී ඔහුගේ නිදහස් අධ්‍යාපන සැලැස්ම ලංකාවේ යථාර්ථයක් බවට පත්වීමට පෙර, ඔහුට වසර 16 ක් වැනි කාලයක් රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ ඒ වෙනුවෙන් සටන් කිරීමට සහ කරුණු පැහැදිලි කිරීමට සිදුවිය. මෙම නිදහස් අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක කිරීම මගින් යටත් විජිත අධ්‍යාපන ක්‍රමය විසින් ආවේණිකව ප්‍රවර්ධනය කරන ලද සමාජ අසමානතාව අවසන් විය (වුයිස්ටර්, 2018). ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයන් ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාට ගරු කිරීම සහ “අධ්‍යාපනයේ පියා” යනුවෙන් විරුධාවලියලත් එතුමාගේ එම උතුම් යුතුකමේ තිරසාරභාවය සහතික කිරීම සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඇති කර ගැනීමට දැන් කාලය පැමිණ ඇත. 
තවද වැලිවිටියේ ශ්‍රී සෝරත හිමියන් විසින් “උපාධිධාරියා” සඳහා ලබා දී ඇති වලංගු සහ අදාළ අර්ථ දැක්වීම අවබෝධ කරගැනීමද සිත්ගන්නා කරුණකි. වැලිවිටියේ ශ්‍රී සෝරත හිමියන් ශ්‍රී ලංකාවේ පිරිවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේදී ඔහුගේ කාර්යභාරය සඳහා ප්‍රසිද්ධ බෞද්ධ භික්ෂුවක සහ විද්වතකු විය. ඊට අමතරව, ඔහු දක්ෂ කතුවරයෙකු, පරිවර්තකයකු සහ බොහෝ බෞද්ධ ග්‍රන්ථ සහ ශාස්ත්‍රීය සඟරා වල සංස්කාරකවරයකු විය. අපට “උපාධිධාරියෙකු” අර්ථ දැක්වීමට අවශ්‍ය නම්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරෝගාමියා වන වැලිවිටියේ ශ්‍රී සෝරත හිමියන් විශිෂ්ට අවබෝධයක් ලබා දෙයි.


 උපාධිධාරීන් බිහි කිරීම  පමණක් නොවේ 
“අපගේ මෙහෙවර වන්නේ උපාධිධාරීන් බිහි කිරීම පමණක් නොව, සමාජයට බුද්ධිමතෙකු ඉදිරිපත් කිරීමයි. මෙම පූජනීය වාසස්ථානය උපාධි විකුණන ස්ථානයක් බවට හෝ හුදෙක් යාන්ත්‍රික ආකාරයකට සිසුන්ට උපාධි ලබා දෙන ස්ථානයක් බවට පරිවර්තනය කිරීමට යමෙකු උත්සාහ කරන්නේ නම්, එය විශ්වවිද්‍යාලය මෙන්ම රටද අපකීර්තියට පත් කරනු ඇත. අපගේ උපාධිධාරීන් ඔවුන්ගේ උපාධියෙන් අපේක්ෂා කරන බුද්ධිමත්භාවය බව ඔප්පු කර නොමැති නම්, අපගේ විශ්ව විද්‍යාලය උපාධි “විකුණන” “කඩයක්” බවට ජනතාව නිසැකවම නිගමනය කරනු ඇත. එබැවින් විශ්වවිද්‍යාලයට අනුබද්ධ සෑම කෙනෙකුම අපගේ උපාධියේ සහ පර් යේෂණ කටයුතුවල ගුණාත්මකභාවය අඩපණ කරන කිසිදු ක්‍රියාවක නිරත නොවීමට මතක තබා ගත යුතුය”.
එබැවින්, උපාධිධාරියාගේ අර්ථ දැක්වීමේදී “රැකියා හැකියාව” යන වචනය භාවිත කිරීම එහි සැබෑ අර්ථය අවතක්සේරු කරන බව කෙනෙකුට තර්ක කළ හැකිය. පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත හිමියන් සඳහන් කළ “අපේක්ෂිත බුද්ධිමයවාදය” යන යෙදුම පිළිබඳව මම විස්තර කිරීමට කැමැත්තෙමි. බුද්ධිමතකු යනු සමාජය පිළිබඳ විවේචනාත්මක චින්තනය සහ කියවීම, පර් යේෂණ සහ මානව ස්වයං පරාවර්තනයේ නියැළෙන පුද්ගලයෙකි. බුද්ධිමතුන්ගේ ප්‍රධාන අවශ්‍යතා වන්නේ සිතීම සහ කියවීම පමණක් නොව මානව ස්වයං පරාවර්තනයයි. වෙනත් වචනවලින් කිවහොත්, බුද්ධි ඵලය (Intelligence Quotient - IQ) සහ චිත්තවේගීය බුද්ධිය (Emotional Intelligence - EI) ඇති උපාධිධාරියෙකි.
ෆෝබ්ස් සඟරාවට අනුව: “IQ පරීක්ෂණ යනු තාර්කික තර්කන හැකියාව සහ තාක්ෂණික බුද්ධිය පිළිබඳ දර්ශකයක් ලෙස භාවිත කරන්නකි. අද ව්‍යාපාරවල ඉහළම තලයට නැගීම සඳහා ඉහළ IQඅගය බොහෝ විට පූර්ව අවශ්‍යතාවයකි. විධායක නිපුණතාව සහ ආයතනික සාර්ථකත්වය පුරෝකථනය කිරීමට එය අවශ්‍ය නමුත් ප්‍රමාණවත් නොවේ. ඉහළ IQ අගයක් පමණක් ඔබ කැපී පෙනෙන බවත් අනෙක් සියල්ලන්ටම වඩා ඉහළට නැඟී සිටින බවත් සහතික නොකරයි”.
මෙම සන්දර්භය තුළ, චිත්තවේගීය බුද්ධිය (EI) පිළිබඳ සංකල්පය ඉතා වැදගත් වේ. ගෝල්මන් (කතුවරයෙකු, මනෝ විද්‍යාඥයෙකු සහ විද්‍යා මාධ්‍යවේදියෙකු වන ඔහු වසර 12 ක් කාලයක් නිව් යෝර්ක් ටයිම්ස් සඳහා මනෝවිද්‍යාව සහ මොළය පිළිබඳ විශේෂඥයෙකු ලෙස ලිපි ලිවීය) පවසන පරිදි චිත්තවේගීය බුද්ධිය යනු පුද්ගලයන්ට ගැටළු ඵලදායී ලෙස විසඳීමට උපකාරී වන බුද්ධිය කෙරෙහි පමණක් අවධානය යොමු කරනවාට වඩා දේශපාලන දැනුවත්භාවය, ආත්ම විශ්වාසය, හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම සහ ජයග්‍රහණ අභිප්‍රායන් ඇතුළු ධනාත්මක ගුණාංග රාශියක් ඇතුළත් නිර්මාණයකි (බ්‍රැකට් සහ ගෙහර්, 2006). 1996 දී ඔහුගේ චිත්තවේගීය බුද්ධිය නම් පොතෙන් ගෝල්මන් තර්ක කළේ ඇත්ත වශයෙන්ම IQවලට වඩා EQ (හෝ චිත්තවේගීය බුද්ධි ඵලය) වැදගත් විය හැකි බවයි.
කැළඹිලි සහිත ව්‍යාපාරික පරිසරයක් ඉල්ලා සිටින්නෝ වෙ​ෙළඳපොළ හොඳින් අධ්‍යයනය කරන ව්‍යාපාරික වෘත්තිකයෝය. මේ සඳහා, නිර්මාණශීලීත්වය සමඟ වැඩි පරිකල්පන ශක්තියක් තිබිය යුතුය. මෙයින් යම් ප්‍රතිශතයක් ජානමය ලෙස සැලකිය හැකිය. කෙසේ වෙතත්, කෙනෙකුට ව්‍යාපාරික පරිසරය සංවේදනය කරන්නේ කෙසේදැයි ඉගෙන ගත හැකිය. විශ්වවිද්‍යාලයේ මූලික විෂයයන් සහ නියමිත ද්‍රව්‍යවලට පමණක් සීමා වීම, දැනුවත්භාවය සහ අවබෝධය පිළිබඳ ගැඹුරු හැඟීමක් නොමැති, හුදෙක් යන්ත්‍රයක් බවට පත්වීමට හේතු විය හැක. පූජ්‍ය වැලිවිටියේ ශ්‍රී සෝරත හිමියන් අවධාරණය කළේ එපරිද්දෙන්ය. 


 සමාප්තිය 
ශ්‍රී ලංකාවට පුළුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක හදිසියේ අවශ්‍යතාවයක් මතුව ඇති අතර, එය අධ්‍යයනය කිරීමට, මඟ පෙන්වීමට සහ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීමට කැපවූ කාර්ය සාධක බලකායක් පිහිටුවීම අත්‍යවශ්‍ය වේ. මෙම කාර්ය සාධක බලකායට අධ්‍යාපනය, කර්මාන්ත, ආගම සහ අනෙකුත් අදාළ ක්ෂේත්‍ර ඇතුළු ප්‍රධාන අංශවල නියෝජිතයන් ඇතුළත් විය යුතුය. මම විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වඩාත්ම අත්‍යවශ්‍ය “පද්ධති වෙනස” දිගු කාලීනව සාක්ෂාත් කරගත හැක්කේ එහි අධ්‍යාපන පද්ධතියේ ඩීඑන්ඒ පරිවර්තනය කිරීමෙන් පමණක් බවය.


“ඩේලි එෆ්ටී” පුවත්පතේ පළවූ ලිපිය 
සිංහලට පරිවර්තනය කළේ 
අනිල් කරුණාරත්න