බ්‍රාහ්මණ ඉගැන්වීම්වලට අනුව කාන්තාවන්ගේ මිනිස් අයිතිවාසිකම් නැතිකොට, ඇය ගේ මුල්ලට දමා තිබූ වකවානුවක මහා ප්‍රජාපතී ගෝතමියගේ නායකත්වයෙන් කාන්තාවන්ට සසුන්ගතවීමට බුදු රදුන් අවස්ථාව ලබා දීම මහත් වූ සමාජ විප්ලවයකට හේතු විය. එසේ ඇති වූ ගුණාත්මක දියුණුව ශ්‍රී ලංකාව තුළ ද ඇති වීම සඳහා මිහිඳු මාහිමියන්ගේ උපදෙස් පරිදි දෙවනපෑතිස් රජතුමා විසින් අරිට්ඨ ඇමතියන් ප්‍රධාන දූත පිරිස අශෝක අධිරාජ්‍යයා වෙත යවා සංඝ මිත්තා රහත් තෙරණිය උඳුවප් පුර පසළොස්වක පෙහෝදා වැඩමවා ගත් බව ප්‍රසිද්ධ කරුණකි.

 

සංඝමිත්තා රහත් තෙරණිය උත්තර, හේමා, අග්ගිමිත්තා, පබ්බතා, ධම්මදාසී ආදී නම් වලින් හඳුන්වන ලද භික්ෂුණීන් එකොළොස් නමක් ද සමග දඹදිව පිහිටි ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගෙන ශ්‍රී ලංකාවට වැඩම වූ බව දීපවංශය සඳහන් කරයි. ලංකාවේ උතුරේ පිහිටා තිබූ දඹකොළ පටුනින් (වර්තමානයෙහි සම්බිලිතුරෙයි) මෙරටට පැමිණි එම පිරිස දෙවන පෑතිස් රජතුමා විසින් මහත් හරසරින් පිළිගෙන අලංකාර පෙරහරින් අනුරාධපුරයට වැඩමවා ගෙන ආ ශ්‍රී මහා බෝධි   ශාඛාව මහමෙව්නා උයනෙහි රෝපණය කරන ලදී. ඒ සඳහා පැවැත්වූ උත්සවයට ලංකාවේ විවිධ ප්‍රදේශවල විසූ විවිධ ජාති හා ආගම් ඇදහූ පාලකයන් ඇතුළු දහස් සංඛ්‍යාත ජනතාව සහභාගී වීම විශේෂ සිදුවීමකි. 


බෝධි රෝපණයත් සමග ඇති වූ මේ ජාතික සමගිය දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ සුබසිද්ධිය සඳහා බලපා තිබීම බෙහෙවින් අගය කළ යුතුය. 


සංඝමිත්තා රහත් තෙරණිය ශ්‍රී ලංකාවට වැඩමවාගෙන ඒමේ ප්‍රධාන පරමාර්ථය වූයේ කාන්තාවන් ශාසනයට ඇතුළත් කිරීමේ ශ්‍රේෂ්ඨ ක්‍රියාව සිදු කිරීමයි. ඒ අනුව අනුලා දේවිය ප්‍රධාන පන්සියයක් කාන්තාවන් සංඝමිත්තා තෙරණිය විසින් පැවිදි කිරීමත් සමග ඒ කාර්යය සම්පූර්ණ විය. මේ භික්ෂුණීහු රජතුමා විසින් සාදවන ලද හත්ථාල්හක නම් වූ මෙහෙණවරෙහි විසූහ. 


සංඝමිත්තා තෙරණිය සමග බෝධි ආරක්ෂක අටලොස් කුලයකට අයත් අය පැමිණි බව වංශ කතාවල සඳහන් කරයි. කුඹල් වැඩ, ලෝහ වැඩ, මැණික් වැඩ ආදී විවිධ කර්මාන්ත  හා නිර්මාණවල දක්ෂයෝ ඒ අතර වූහ. ඔවුන් නිසා ශ්‍රී ලාංකික සමාජයෙහි විවිධ කර්මාන්ත පිළිබඳ සංවර්ධනයක් ඇති විය. 


උඳුවප් පෝදා සුවිශේෂ සිදුවීම් 
සංඝමිත්තා තෙරණියගේ ලංකා ගමන 
ලංකාවේ භික්ෂූණී ශාසනය ආරම්භ කිරීම 
ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩමවා රෝපණය කිරීම 
ප්‍රථම භික්ෂූණී ආරාමය ඇති වීම 
දඹදිව සිට විවිධ දක්ෂ වෘත්තියන්ගේ පැමිණීම 

කොළඹ ආනන්ද විද්‍යාලයේ, විශ්‍රාමික සහකාර විදුහල්පති, ගල්කිස්ස බෞද්ධායතනාධිපති දිවියාගහ යසස්සි නා හිමි. 

Related Posts