උඳුවප් පුන් පොහෝය දිනයෙන් ආරම්භ වන සිරිපා වන්දනා වාරයේදී දුර බැහැර ප්‍රදේශවල සිටින බැතිමතුන්ට සිරිපා කරුණා කිරීමට මාර්ග හයක් ඇත. එහෙත් විදුලි ආලෝකය, සනීපාරක්‍ෂක පහසුකම්, අම්බලම් සහ ආරක්‍ෂාව ඇත්තේ ප්‍රධාන මාර්ග තුනක පමණි. එනම් හැටන්, කුරුවිට එරත්න සහ රත්නපුර පලාබද්දල මාර්ග වල පමණි. දැරණියගල මාලිබොඩ පාර සහ හලුගස්තැන්න මූක්කුවත්ත පාර අතරමගදී කුරුවිට එරත්න පාර එක්වෙයි. මරේවත්ත පාර හෙවත් රාජමලේ පාර හැටන් පාරේ ඇහැළ කණුව අසලදී හැටන් පාරට එක්වෙයි.

 

හැටන් ශ්‍රීපාද මාර්ගය
හැටන් නගරයට දුම්රියෙන් හෝ බස් රථවලින් පැමිණ නල්ලතන්නිය දක්වා බස් රථයකින් ගමන් කළ හැක. නල්ලතන්නියේ සිට යායුත්තේ පාගමනිනි.


මෙම මාර්ගයේ පඩිපෙල් සකසා ඇති අතර මලුව දක්වාම කිලෝ මීටර් හයක පමණ දුරක් කන්ද නැග සිරිපා මලුවට ළඟා විය හැකිය. සිරිපා කරුණා කිරීමට ඇති ළඟම පාර මේ හැටන් පාරයි.


නල්ලතන්නියේ දී සීතගඟුලේ පහළින් එගොඩ වී කල්පවෘක්‍ෂ මහා විහාරය, අසුමහා ශ්‍රාවක මහා බුද්ධ මන්දිරය, මකර තොරණ, ජපන් සාම චෛත්‍යය, පසුකර කරුණා කරන විට වත්පිළිවෙත් සිදුකරන සීතගඟුල යළි හමුවෙයි. මස්කෙළිඔය හෙවත් කැළණි ගඟේ ඉහළ මේ සීතගඟුලයි.


සීතගඟුලේදී දිය නා පිරිසිදුවී කෝඩුකාරයන්ට ආශිර්වාද පතා කුිරි කෝඩු දඬුකෝඩු මේ හැම කෙනාගෙම අත්වල පඬුරු ගැට ගසන්නේ සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් අතුරු ආන්තරාවක් නැතිව සිරිපා වන්දනාකර ආපසු ඒමට හැකි වේවායි බලාපොරොත්තුවෙනි.


සීතගඟුල පසුකර මලුව දෙසට යනවිට ඉඳිකටුපාන හෙවත් ගෙත්තම්පාන හමුවෙයි. ගෙත්ම්පානනෙන් දකුණට ඇති අඩිපාර රත්නපුර පාරේ ආඬියා මළතැන්නට යන හරස් අතුරු පාරකි. ගෙත්තම්පාන පසුකර මහගිරි දඹය ඔස්සේ ඉදිරියට යනවිට ඇහැළ කණුව හමුවෙයි. ඇහැළ කණුව පසුකර ඉදිරියට යනවිට භගවා ලෙන හමුවෙයි. එතැනින් පසු සිරිපා මලුව හමුවෙයි.

 

කුරුවිට එරත්න පාර.
කුරුවිට එරත්න පාර ඉතාම පැරණි ම සිරිපා පාරය. සිරිපා මලුව මුලින්ම සොයාගෙන ඇත්තේ මේ ආශ්‍රීත ප්‍රදේශ හරහා ගමන් ගත් ‘කොටා’ විසින් යැයි ජනප්‍රවාදයේ එයි. එහෙත් දැන් ඒ පාර වෙනස්ව ප්‍රධාන පාරක් ලෙස පවතී. මගදෙපස විදුලි ආලෝකය ඇත.


කොළඹ සිට කිලෝමීටර් 88ක් දුරින් කුරුවිට නගරය කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇත. කුරුවිට නගරයේ සිට එරත්න දක්වා කිලෝ මීටර් 11කි. දැන් තවත් කිලෝමීටර් එකහමාරක් දුරට කැකුණහීන්න දක්වා පොදු මගී ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක වෙයි. කැකුණහීන්න දක්වා පුද්ගලික වාහනයකින් වුවත් ගමන් කළ හැකිය. කැකුණහීන්නේ සිට යායුත්තේ පාගමනිනි. එතැන සිට කිලෝමීටර් පහළොවකට ආසන්න දුරක් මලුවට ඇත. ගමන දුර වුවත් ඉතා සුන්දර පරිසරයකින් යුතුය.


ජම්බලගස්යට අම්බලම, සරුවත් අම්බලම පසුකළ විට වර්ණගල හමුවෙයි. වෙනත් මාර්ගයකින් වර්ණගලට වාහනයක් ගමන් කළ හැකි නමුත් පුද්ගලික වාහන සඳහා ඒ මාර්ගයේ ගමන් කිරිමට අවසර නොලැබෙයි. වර්ණගල පොලිස් මුරපොළක් ද පිහිටා ඇත.


සරුවත් අම්බලමේ සිට වර්ණගල පසුකර කිලෝ මීටරයක් පමණ දුරක් දක්වා කන්දය. දවාලක ගමන් කරන්නේ නම් බස්නාහිරින් දැකුම්කලු පරිසර දසුන් නැරඹිය හැකිය. ඉන්පසු සුලුවැල්ල ඔස්සේ සීතගඟුල දක්වාම තැන්නය. සීතගඟුලට තුම්මෝදර යැයිද කියනු ලබයි. කුරුගඟේ ඉහළ ප්‍රදේශය මේ සීත ගඟුලයි.


සීතගඟුල පසුකර ඉදිරියට යනවිට බේරුමණ්ඩිය ද, මැදහින්නද හමුවෙයි. මැදහින්නේද දකුණු පැත්තෙන් ඇති අඩිපාර දැරණියගල සිට මාලිබොඩ හරහා සිරිපා කරුනාකරන මාර්ගයයි. ඉන්පසු ඉඳිකටුපාන හමුවෙයි. තැනිතලාවකි. එතැනටද ගෙත්තම්පාන යැයි කියති. එරත්න පාරේ ඉඳිකටුපානේ සිට ගල්වංගෙඩිය දක්වා දුර තරමක නැග්මකි. ගල්වංගෙඩියේදී රත්නපුර පාර හමුවෙයි. අඩි තිහක් දකුණට ගියවිට හැරමිටිපානය. කෙළින් ගමන් කරන විට ආඬියාමළතැන්න හමුවෙයි.


ආඬියාමළතැන්නෙන් වමට ඇති පාරෙ හැටන් පාරේ ඉඳිකටුපානටය. කෙළින් ඇති අඩිපාර සිරිපා මලුවටය. කුරුවිට සහ රත්නපුර පාරේ එන බැතිමතුන්ට මහගිරි දඹය හමුවන්නේ ඉඳිකටු පානෙදිය. මහගිරිදඹය ඔස්සේ ඉහළට යනවිට ඇහැළ කණුව හමුවෙයි. රත්නපුර පාරේද ඇහැළ කණුවක් ඇත. ඇහැළ කනුව පසුකර ඉහළට කරුණාකරන විට හුලං කපොල්ල හමුවෙයි. ඉන් අනතුරුව සිරිපා මලුවයි.

 

රත්නපුර රජමාවත හෙවත් පලාබද්දල පාර
රත්නපුර නගරයට පැමිණ මල්වල, ගිලීමලේ පසුකර පලාබද්දල දක්වා වාහනයකින් පැමිණිය හැකිය. පොදු ප්‍රවාහන සේවා පලාබද්දල දක්වා ක්‍රියාත්මකය.


පලාබද්දල සිට පවනැල්ල, දොරලකඬේ, කොකටියකඳ, ලිහිණිහෙල, කටුකිතුල, ගෝණතල්ල, ගැටනිටුල, කොඩිය හෙළ, ධර්මරාජගල, ගල්පොත්ත කඬේ, සෙවලගල පසුකර කරුණාකරන විට සීතගඟුල හමුවෙයි. මේ සීතගඟුල කලු ගඟේ ඉහත්තාවයි. ඉන්පසු හීන් ගඟුල පසුකර ඉදිරියට කරුණාකරන විට හැරමිටිපාන හමුවෙයි. හැරමිටිපාන පසුකර අඩිතිහක් පමණ පල්ලමට බහින විට ගල්වංගෙඩියයි. එතැනදී කුරුවිට එරත්න පාර හමුවෙයි.


මේ පාර ද විදුලි ආලෝක පහසුකම් සපයා ඇත. පලාබද්දල පාරෙන් මලුවට කිලෝමීටර් පහළොවක් පමණ ඇත.

 

දැරණියගල පාර හෙවත් මාලිබොඩ පාර
දැරණියගල සිට උඩමාලිබොඩ දක්වා වාහනයකින් පැමිණ එතැන්සිට පන්දිනය හරහා මහ වනමැදින් පැමිණ පාගමනින් එන පාරද එරත්න පාරේ මැදහින්නට වැටෙයි. මාලිබොඩ පාර ලෙස නම්කර ඇති මේ පාරෙන් එනවිට සීතගඟුල වන්නේද කරු ගඟේ ඉහත්තාවයි. විදුලි ආලෝක පහසුකම් හෝ අම්මබලම්, තාවකාලික වෙළඳසැල් මැදහින්න දක්වාම නැත.

 

මූක්කුවත්ත පාර
රත්නපුර මල්වල හංදියෙන් වේවැල්වත්ත පාර ඔස්සේ ගලබඩ හංදිය තෙක් ගමන් කර එැතැනින් හපුගස්තැන්නේ හද්දාරගඟවත්ත තෙක් වාහනයකින් ගමන් කළ හැක.
එතැන් සිට බෙරුහීන්න, බෝතියදොළ (බෝටියදොළ) පසුකළවිට ඌරුමලේ හෙවත් ගෙත්තම්පාන හමුවෙයි. තවත් ඉදිරියට යනවිට රත්නපුර පාරේ ඇහැළ කණුව ආසන්නයේ දී රත්නපුර පාරට එක්වෙයි. විදුලිබල පහසුකම් හෝ වන්දනාවාරයට වෙළඳසැල් මේ පාරේ නැත.

 

රාජමලේ පාර හෙවත් මරේවත්ත පාර:
මස්කෙළියේ මරේවත්තේ රාජමලේ පැත්තෙන් ඇති වනගත පාරකි. මේපාරට ඇහැළකණුව අසල දී හැටන් පාර හමුවෙයි. එහෙත් මේ පාර සමාගම් වත්තක් හරහා වැටී ඇති නිසා ප්‍රභූන් හැර සාමාන්‍ය ජනතාවට එහි ගමන් කළ නොහැක.

සටහන
අජිත්ලාල් ශාන්තඋදය

Related Posts