බුදුන් වහන්සේ අනන්ත බුදු ගුණ පිළිබඳ විශ්වාසයක් තිබෙන බෞද්ධයා සිරිපා කරුණා කරන්නේ ජීවමාන බුදු රදුන් දකිනවා යන අදහස පෙර දැරි කරගෙන. තුන් ලෝකයටම අග්‍ර තථාගත බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ බවට අපට තහවුරු වන එක ස්ථානයක් වන්නේ ශ්‍රී පාදයයි. ශ්‍රී පාදය තුළ බුදුන්ගේ සිරිපා සටහන පවතිනවා යන විශ්වාසය බෞද්ධයා තුළ පවතී. සිරිපා කරුණා කර උදෑසන ඉර සේවය බලා පහළට බහින විට බුදුන් වහ්නසේ දුටුවා යන හැඟීම ජනතාව තුළ ඇත. 


ශ්‍රී පාදය වන්දනා කරන්නට යන සැදැහැවතුන්ට තහංචි කීපයක්ද ඇත. එනම් සිරිපා වන්දනා කිරීමේ සුදුසු පිළිවෙත හා නුසුදුසු පිළිවෙතයි. ඒවා අපගේ ජන සංස්කෘතිය තුළ අප විසින් සකස් කර ගත් විශ්වාස හා ඇදහිලිය. සිරිපා කරුණා කරන්නෝ සිරිපා කරුණා කිරීමට සතියකට පෙර ඒ වෙනුවෙන් පේවෙති. එනම් සිරිපා වන්දනාවට සූදානම් වීමයි. සිරිපා කරුණාවට සූදානම් වීම කොටස් දෙකකි. එනම් කායික සූදානම හා මානසික සූදානමයි. සිරිපා කරුණා කරන පුද්ගලයා සතියකට පෙර මස් මාංශවලින් වැළකිය යුතුය. තුණුරුවන් පිළිබඳ විශ්වාසය ඇති කර ගනිති. සිරිපා කරුණාවේදී ජනයා අතර පවතින ජනප්‍රිය මත වාදයක් වන්නේ කට වරද්දාගත යුතු නැති බවයි. කට  වරද්දා ගන්නවා යනු සිරිපා කරුණාව අවස්ථාවේ වැරැදි වචන නුසුදුසු වචන පාවිච්චි නොකිරීමයි. එසේම තුණුරුවන් කෙරෙහි ඇති කර ගත් අනන්ත ගෞරවය ශ්‍රද්ධාව ශක්තිය මත පදනම් වූ සිරිපා ගමනේ සිය මුඛයෙන් තුණුරුවන්ට අගෞරව වන නිගරු වන කිසිදු වචනයක් පිට නොකළ යුතුය. සිත, කය, වචනය බුද්ධ රත්නයට තුණුරුවන්ට පූජා කළ යුතු සැදැහැවත් බෞද්ධයකු බවට සිය සිරිපා ගමන පුරාම පත් විය යුතුය. එම නිසා එම ගමන තුළදී සිය කටින් කතා කරන වචන පිළිබඳ ඉතාම සැලකිලිමත් විය යුතුය. එසේම සිය ගමන තුළ තුන් සරණේ කවි කියමින් බුද්ධාලම්භන ප්‍රීතියෙන් සිය වන්දනා ගමන යා යුතුය. 

සරණයි සරණයි බුද්ධං සරණයි 
සරණයි සරණයි ධම්මං සරණයි 
සරණයි සරණයි සංඝං සරණයි 
සරණයි සරණයි මේ තුන් සරණයි. 

සැදැහැවත් බෞද්ධයන් සිරිපා කරුණා කරන්නේ නම් 
පේවිමකින් තොරව සිරිපා කරුණාව නොකළ යුතුය. එසේම කට වරද්දා ගැනීම නොකළ යුතුය. එසේ කට වරද්දා ගත හොත් නියමිත සිරිපා කරුණාව හරි හැටි සිදුකර ගැනීමට නොහැකිව ලතවන්නට සිදු වන්නේ ඔබට පමණක් නොවේ. ඔබ සමග වන්දනා ගමන ගිය සෙසු පිරිසට ද ඒ අපහසුතාවය විඳිමට සිදු වේ. ඒ නිසා නිසි පිළිවෙත් පුරමින් සිරිපා වන්දනා කිරීමට අපි කවුරුත් සිතට ගනිමු. 


අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය 
පාතේගම ඥානිස්සර හිමි 
සටහන අමිල චින්තක ගමගේ.