සිරිපා වන්දනා සමය ඇරඹෙන්නේ සුමන සමන් දෙවියන්ගේ පිළිමය සහ දේවාභරණ මලුවට වැඩම කරවා පුදපූජා පවත්වන වසර අග දෙසැම්බර් මාසයේ හෙවත් උඳුවප් මාසයේ පුර පසළොස්වක පොහෝය දිනයත් සමගය. සිරිපා වන්දනාවාරය ආරම්භ වීම වඩාත් වැදගත්වන පිරිසක් රත්නපුර දිස්ත්‍රික්කයේ සිටිති. ඒ මැණික් පතල් කර්මාන්තයේ නියැළි ජනතාවය. මැණික් සොයා කණින පතලක මැණික් ඉල්ලම් පෑදෙන්නේ සිරිපා මලුවේ පහන තැබූ පසුව බව ජනප්‍රවාදයක් ඇත. 

සිරිපා මලුවේ ඇත්තේ දොළොස් මහේ පහනකි. ඉන් හැඟෙන්නේ මාස දොළහම දැල්වෙන පහනක් බවකි. එනම් නොනිමෙන පහනකි. ඒ පහන එසේ තිබුණද මැණික් ඉල්ලම් පෑදෙන්නට නම් සිරිපා මලුවේ ඇති සුමන සමන් දේවාලයේ දේව ප්‍රතිමා හා ආභරණ තැන්පත් කර එහි පහන් දැල්වීමෙන් පසුව යන්න ජනතා විශ්වාසයයි. මැණික් පතලක් කැපීමට අද නම් බලපත්‍ර ලබාගත යුතුය. එවැන්නක අවශ්‍යතාවක් නොතිබුණ අතීතයේ සිරිපා වන්දනාවාරය ආරම්භවන උඳුවප් මාසයෙන් පසු රත්නපුර, කුරුවිට, ඇහැළියගොඩ, ඇලපාත, කිරිඇල්ල, නිවිතිගල, පැල්මඩුල්ල, කහවත්ත, කලවාන, බළන්ගොඩ ඉඹුල්පේ ආදී ප්‍රදේශවල මැණික් කර්මාන්තයේ නියැලුනු ජනතාව මැණික් සොයා පතල් කැපීම අරඹන්නේ දහසක් බලාපොරොත්තු ඇතිවය.  ඒ නිසා මේ සිරිපා මලුවේ පහන දැල්වූ පසු පතල් රස්සාවල, මැණික් ව්‍යාපාරයේ නියැළි අයට වාසනාවන්ත කාලයක් උදාවන බව ඒ ජනතාවගේ විශ්වාසයයි. වර්තමානයේ මැණික් සොයා පතලක් කැණීමට බලපත්‍රයක් ලබාගැනීම තරමක් සංකීර්ණ ක්‍රියාවලියකි. ඒනිසා බලපත්‍ර ලබාගත් මැණික් පතල් වල වැඩිපුර වැඩ කරන්නේ සිරිපා වන්දනා සමය ඇරඹූ පසුවය. එහෙත් යාන්ත්‍රික මැණික් කර්මාන්තය හෙවත් බැකෝ පතල් ක්‍රමය ආවත් සමග මේ සංස්කෘතික සිරිත් විරිත් මැණික් උප සංස්කෘතියෙන් බැහැර විය. 


සිරිපා වන්දනා සමය අරඹන සුමන සමන් දෙවි පෙරහර සමග සිරිපා වන්දනාවේ යන්නට බොහෝ පතල්කරුවෝ පෙළඹී සිටිති. වැඩි දෙනෙක් රත්නපුර සබරගමු මහ සමන් දේවාලයට ගොස් පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ සිට එන පෙරහර සමන් දේවාලයේදී පුජාවන් පවත්වා පිටත්ව යනවිට ඒ පෙරහර සමග හැටන් පාරෙන් මලුවට යන්න ඊට එක්වෙති. බස් වෑන්, ලොරි ආදිය සූදානම් කරගෙන මේ ගමනට යාම සිරිත විය. තවත් සමහරු සුමන සමන් දෙවිරුව සහිත රිය පෙරහර හැටන් පාරෙන් මලුව බලා ගමන් කරද්දී රත්නපුර සහ එරත්න පාරවල් ඔස්සේ මලුවට කරුණා කිරිම ද සිදු කළහ. වසර කිහිපයකට පෙරදී නැවත වරක් පලාබද්දල පාරෙන් සුමන සමන් දෙවිරුවක් පෙරහරේ නැවත වැඩම කරවීමට සිදුවිය. හැත්තෑවේ දශකයේ මැද භාගය වන තෙක් සුමනසමන් දෙවි පිළිමය අවාර සමයේ තැන්පත් කර තිබුණේ පලාබද්දල කීර්ති ශ්‍රී රජමහා විහාරස්ථානයේ ය. ශ්‍රීපාදස්ථානාධිපති බටුගෙදර යසස්සී හිමියන්ගේ කාලයේදී සුමන සමන් දෙවි පිළම සහ දේවාභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයට වැඩම කරවනු ලැබිනි. ඉන්පසු සුමන සමන් දෙවි පිළිමය සහ දේවාභරණ රත්නපුර මහ දිසාපති කාර්යාලයේ ජීප් රථයක නංවාගෙන හැටන්පාර ඔස්සේ නල්ලතන්නිය දක්වා ගොස් එතැන් සිට බරකරුවන්ගේ ආධාරයන් මලුවට ගෙනගොස් තැන්පත් කිරිම සිදුවූ බව පොත්පත්වල දැක්වෙයි.හඳපාන්ගොඩ විමල නාහිමියන් ශ්‍රීපාදස්ථානාධිපතිධුරයේ කටයුතු කළ අසුව දශයයෙන් පසු කාලයේදී හැටන් දක්වා යන මේ පෙරහරට රාජ්‍ය අනුග්‍රහයක් සහ විශාල ජනප්‍රිය බවක් ලැබිනි.  වත්මන් ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමි හැටන් පෙරහරට අමතරව පලාබද්දලින් ද සිරිපා මලුවට පෙරහරක් ඇරඹීය. ඉන්පසු සිරිපා පෙරහර දෙකක් විය. පැල්මඩුලේ සිට බළන්ගොඩ, පින්නවල, කොටියාගල, බගවන්තලාව, මස්කෙළිය හරහා නල්ලතන්නිය දක්වා තුන්වැනි පෙරහරත් මීට වසර කිහිපයකට පෙර එක්විය.  මේ වසරේ එනම් 2019 සිට තවත් පෙරහරක් සිරිපා මලුවට යන්න එක්වෙයි. ඒ කුරුවිට එරත්න ප්‍රධාන පාරෙන් දේව රූපය සහ දේවාභරණ වැඩම කරවීමේ පෙරහරයි.  


පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ සිට රත්නපුර මහ සමන් දේවාලය තෙක් පලාබද්දල පෙරහර සමග එකට එන මේ පෙරහර සමන් දේවාලයෙන් වෙන් වෙයි. එය පානදුර පාරේ ගොරකඇල හන්දිය තෙක් ගමන් කර එතැනින් හල්පේ, පාතගම, ගෝනපිටිය හරහා කුරුවිට නගරයට පැමිණ. කුරුවිට නගරයෙන් එරත්න පාර ඔස්සේ එක්නැලිගොඩ, සූදාගල, බටතොට, ලස්සකන්ද, එරත්න ගඟබඩ, අඩවිකන්ද, පලාදෙනිය හරහා වර්ණගල දක්වා වාහනයකින් ගමන් කර එතැන්සිට පාගමනින් මලුවට ගමන් කරයි. එරත්න පාරෙන් වැඩම කරවන සුමන සමන් දෙවිරුව සහ දේවාභරණ වර්ණගල සිට මලුව කරා වැඩම කරවන්නේ ඒ සඳහාම තැනූ විශේෂ දෝලාවකිනි. ශ්‍රීපාදස්ථානාධිපති නාහිමියන්ගේ පූර්ණ අනුමැතිය ඇතිව  රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපොත්ගම මහත්මියගේ මගපෙන්වීම මත කුරුවිට ප්‍රාදේශීය ලේකම් දිලිනි ධර්මදාස මහතමියගේ  නායත්කවය අනුව මෙම පෙරහර සංවිධානය වෙයි. ශ්‍රීපාදස්ථානය දෙවිවරුන්ගේ වන්දනාමානයට පාත්‍රව තිබූ අතර ගිහියෙකු ශ්‍රීපාදස්ථානයට පළමුව ගමන් කලේ කුරුවිට එරත්න පාර් ඔස්සේ බව ජන විශ්වාසයක් පවතී. කුරුවිට මල්වත්තඕවිට එකල පිහිටා තිබූ රාජකීය මල්වත්තෙන් මල් නෙලු සුරංගනාවියන්ගේ පිහිටෙන් රාජ උදහසට ලක්ව සිටි අතපය නැති කොටෙකුට අතපය ලැබීමට සලස්වා  මල්ගෙන යන සිරිපා මලුවට කැඳවාගෙන ගිය පාර එරත්න පාර යැයි ජනප්‍රවාදයේ එයි. ඇලදොළ ගංගා, කඳුහෙල්, තැනිතලා, ආදී භූවිෂමතා වෙනස්කම් වලින් ද, විවිධ වූ ශාක සහ සත්ත්ව ප්‍රජාවන්ගෙන්ද  අනූන ජෛව විධත්වයෙන් පිරි මාර්ගයක් ලෙස කුරුවිට එරත්න සිරිපා මාර්ගය පැරණිම සිරිපා ලෙස සැලකෙයි. කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් දහයක් ඔස්සේ ගමන් කරන පෙරහර ඉතා උත්කර්ශවත්ව පිළිගන්නට කුරුවිට ප්‍රාදේශීය ලේකම් දිලිනි ධර්මදාස, සහකාර ප්‍රාදේශීය ලේකම් ටී.ඩී.නිහාල් යන මහත්ම මහත්මින්ගේ ප්‍රධානත්වයෙන් සියලුම කාර්ය මණ්ඩලය සූදනම් වෙයි.  කාර්යාලයේ කාර්ය මණ්ඩලයට අමතරව වසම්වල සේවයකරන ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුලු ක්‍ෂෙත්‍ර නිලධාරීහූ එහි බර කරට ගෙන වන්දනාවේ යන්නට එන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් මෙන්ම අහාර පානාදියද ලබාදීමට ජනතාව සහ ස්වේච්ඡා සංවිධාන සම්බන්‍ධීකරණය කළහ.  

එරත්න පාරෙන් සිරිපා කරුණා කරන බැතිමතුන්ට වැඩි දුරක් පාගමනින් යන්නට සිදුවෙයි. එහෙත් ඒ ගමන සුන්දරය. හැල්මේ නැග්මක් නැත. ටිකදුරක් තැන්නේද, යළි නැග්මකද, තැනක බැස්මක් ඇති එරත්න පාර විවිධ භූවිෂමතා ලක්‍ෂණ වලින් හෙබිය.  නොඉඳුල් දියඋල්පත් වලින් පිරි පරිසරය විවිධය. විටෙක අඩි දෙක තුනකට වඩා නොපෙනෙන තරම් දැඩි මීදුමෙන් මුලු පරිසරයම වැසීයයි. මේ මීදුම සිරිපා අඩවියේදී ‘කෝඩෙ’ ලෙසින් හඳුන්වයි. පළමුව සිරිපා කරුණාකරන කුඩා තැනැත්තා කිරි කෝඩුය. වයසින් වැඩි තැනැත්තා දඬු කෝඩුය. එරත්න පාර මේ කිරිකොඩු, දඬු කෝඩු සැමට සිරිපා කරුණාකර අත්දැකීම් ගන්නට හොඳම මාර්ගය බව පැවසුවේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරී අසේල ගුණතිලක මහතාය. එරත්න සිරිපා මාර්ගය හැරමිටිපානේදි රත්නපුර පාරට එක්වයි. එරත්න හරහා ගමනෙදි හමුවන ජම්බලගස්යට, සරුවත්, වර්ණගල, සීත ගඟුල, ඉඳිකටුපාන ආදී අම්බලන් ඇති ස්ථානවල මේවනවිට වැසිකිළි 14ක් රජයේ, පළාත් සභා සහ පරිත්‍යාගශීලීන්ගේ සහායෙන් වන්දනාකරුවන් වෙනුවෙන් ඉදිකර ඇතිබව කුරුවිට ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කරන්නීය.  ඊට අමතරව පාරේ කඩුනු බොහෝ ස්ථාන වල පෙඩිපෙලවල් සහ අත්වැටවල් සවිකර තිබේ. විදුලි බල මණ්ඩලයෙන් රාත්‍රීකාලයට ආලෝකමත් කර ඇති නිසා මේ මාර්ගයෙනුත් දිවා රාත්‍රී බාධාවකින් තොරව ගමන් කළ හැකිය. සිරිපා අඩවියට පොලිතීන් ප්ලාස්ටික් ගෙනයාම වළක්වන්නට පානීය ජලය කුඩා බෝතල් ගෙන යාමට ඉඩ නොදයි. ඒ සිරිපා අඩුවිය අපවිත්‍ර වන නිසාය. ඒ නිසා ලීටරය අඩු ප්‍රමාණයේ පානීය ජල බෝතල් සිරිපා අඩවියට ගෙන ඒමෙන් වළකින්නැයි බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කෙරේ.  එසේම පොලිතින්, ප්ලාස්ටික ඇතුලු නොදිරණ කිසිම දෙයක් සිරිපා අඩවියට බැහර නොකරන්නට සියලුම වන්දනාකරුවන් දැනුවත් කරනු ලබයි. පරිසර පොලිස් නිලධාරීන් ඇතුලු පරිසර සුරැකීමේ නිලධාරීන් තැනින්තැන සිවිල් ඇඳුමෙන් සැරසී වන්දනාකරුවන් ලෙසින් බොහෝදුරට සිටිනු ඇත. ඒ සිරිපා අඩවියත් එහි සතා සිව්පාවත්, ගහකොළත් රැකගනු පිණිසය. පරිසරය රකිමින් සිරිපා වන්දනා කරන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
සටහන - අජිත්ලාල් ශාන්තඋදය

Related Posts