IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වැනි වැනි නොසිට ප්‍රශ්නය විසඳන්න

නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පෙරේදා වසා දැමීමට සිදුවිය. ඒ ගොවීන් එළවළු සැපයීම ප්‍රතික්ෂේප කළ හෙයිනි. වගා බිම් මතින් පිටතට පැමිණි ගොවීහු උද්ඝෝෂණ බිම් වෙත පැමිණියහ. ඔවුන්ගේ උද්ඝෝෂණයට නිමිත්ත වගාවට සුදුසු පොහොර නොලැබීමය. පොහොර ප්‍රශ්නය මුළු රටේම ජන ජීවිතය උඩුයටිකුරු කිරීමට හේතුවී තිබේ. නොපමාව පිළිතුරු ලබාදිය යුතු තරමට තත්ත්වය උග්‍රවී තිබේ.

රසායනික පොහොරින් බැහැරවී කාබනික පොහොරට යොමුවීමත් සමග ඇතැමෙක් සාගතයක් සම්බන්ධ අනතුරු ඇඟවීම් කළහ. එහෙත් එම අනතුරු ඇඟවීම් ‘‘කඩප්පුලි කතා’’ යැයි කියා බැහැර කළහ. එහෙත් කල් නොයවාම එම අනතුරු ඇඟවීම් යථාර්ථයක් බවට පත්වන ලකුණු පෙනේ. අප පුවත්පත ඊයේ වාර්තා කළේ ‘‘අමු අඹයි - පොළොසුයි හැර සියලු එළවළු මිල උඩු ගුවනේ’’ බවය.

එම ප්‍රවෘත්තියට අනුව පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ පොළට පිට පළාත්වල සිට එළවළු ලැබීම සියයට 60කින් පමණ අඩුවී ඇති බව සඳහන්ය. මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති එච්.එම්. උපසේන මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ‘‘පොහොර නොමැතිකම හේතුවෙන් ඇතැම් ගොවීන් එළවළු වගාව අතහැර දමා ඇති අතර වගා කරන එළවළු අස්වැන්න අඩුවීමත් නිසා එළවළු සැපයීම අඩුවී ඇති බවය’’.

පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළෙහි ඊයේ තත්ත්වය බෙහෙවින්ම දුක්ඛිතය. උඩරටින් කිසිදු එළවළුවක් එහි පැමිණ තිබුණේ නැත. එළවළු මිල පෙරදා තිබූ තත්ත්වයේමය. එළවළු තොග නොලැබීම නිසා කඩ බොහෝ ප්‍රමාණයක් වැසී ගොසිනි. මිල නිසාම පාරිභෝගිකයන්ගේ පැමිණීමද ඉතා අඩු මට්ටමක වූ බව වාර්තා විය.

වෙළෙඳ පොළෙහි භාණ්ඩ හිඟයක් ඇති වූ විට මිල ඉහළ යන බව වටහා ගැනීමට ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් අවශ්‍ය නැත. මෙරටෙහි සාතිශය බහුතරයක් මධ්‍යම පාන්තිකයෝ සහ අඩු ආදායම්ලාභීහු වෙති. දෛනික කුලී වැඩෙන් දරු පවුල් රක්ෂා කරන්නෝද බොහෝ වෙති. මෙම ජන කොටස්වලට සිදුවී තිබෙන්නේ ගුවන්ගත බඩු මිල ඉදිරිපිට දිවන්ගත වීමටය.

අප ප්‍රවෘත්තියට අනුව පෑලියගොඩ මැනිං වෙ​ෙළඳපොළේ 21 වැනිදා පැවැති මිල ගණන්වලට බෝංචි කිලෝවක් රුපියල් 550ත් 600ත් අතරය. කැරට් කිලෝවක් රුපියල් 360 ත් 400ත් අතරය. රාබු කිලෝවක මිල රුපියල් 200ත් 250ත් අතරද ලීක්ස් කිලෝව රුපියල් 330 ත් 360ත් අතරද තකාක්ලි කිලෝවක් රුපියල් 500 ත් 600ත් අතරද රැඳී තිබේ. මැනිං පොදු වෙ​ෙළඳ සමිතියේ සභාපති එච්.එම්. උපසේන මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ අඹ සහ පොළොස් හැර අනෙකුත් සියලුම එළවළු මිල අහස උසට ඉහළ නැග තිබෙන බවය.

කොරෝනා මාරාන්තික වයිරසය හමුවේ බොහෝ දෙනකුට රැකියා අහිමිය. ඇතැමෙකුගේ ආදායම් අඩු විය. තවත් විශාල පිරිසකගේ ආදායම් මාර්ග නැත්තටම නැතිවී ගොස් ඇත. එබඳු ශාපලත් ඉරණමකට මුහුණ දී සිටින එම ජනයාට ගුවන්ගත බඩු මිල ගහෙන් වැටිච්ච මිනිසාට ගොනා ඇනීමක් බඳුය.

ඉහළ මිල ගණන්වලට හෝ මිලදී ගැනීමට මේ මොහොතේ වෙ​ෙළඳ පොළෙහි එළවළු තිබේ. එහෙත් ඊළඟ මොහොතේ කුමන ඉරණමක් අත්වේද යන්න සම්බන්ධයෙන් තිබෙන්නේ ප්‍රශ්නාර්ථයකි. වගා කිරීමට පොහොර ඇවැසිය. එය යළි යළිත් අවධාරණය විය යුතු නැත. පොහොර නොලැබුණ විට වගාවෙන් ඉවත්වීම හැර වෙනත් කිරීමට දෙයක් ගොවියාට ඇත්තේද නැත. වගා නොකිරීම තුළ සිදුවන්නේ අස්වැන්න නොලැබීමය. සාගතය සම්බන්ධ අනතුරු ඇඟවීම යථාර්ථයක් වන්නේ එම පසුබිම තුළය.

රට තුළ නිර්මාණය වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අවබෝධයක් පාලක පංතිය සතුව වේදැයි ප්‍රශ්නයකි. පාලක පංතියේ එකිනෙකා ‘‘කටට ආවක්’’ කියමින් සිටින සෙයකි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවේ මහ කන්නයේ වී වගාව ඇතුළු බඩ ඉරිඟු, එළවළු හා වැවිලි කර්මාන්තයට අවශ්‍ය ශාක පෝෂක හා ශාක ආරක්ෂක පොහොර ආනයනය කිරීමට රජයෙන් අවසර ලැබී ඇති බවය. ඒ අනුව නිසි ප්‍රමිතියකින් යුත් අවසරලත් ශාක පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා එසේ ප්‍රකාශ කළද විෂය බාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියන්නේ වෙනත් කතාවකි. අමාත්‍යවරයා පවසන්නේ වී සහ එළවළු වගාව සඳහා රසායනික පොහොර ගෙන්වීමට රජය මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නැති බවය. අප මෙයින් පිළිගත යුත්තේ අමාත්‍යවරයාගේ ප්‍රකාශයද අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රකාශයදැයි ප්‍රශ්නයකි. රටේ ජනතාව එසේ ප්‍රශ්නවලට කොටු කිරීම යහපත් නැත.

එළැඹෙන්නේ නත්තල් සමයයි. ඒ පසුපසින් අලුත් අවුරුද්ද උදාවේ. එතැන මෙතැන රංචු නොගසා ගෙදරට වී බඩපිරෙන්න කා සතුටින් සිටීමට ජනයා අපේක්ෂා කරති. ඒ සිහින බොඳ නොකරන්නැයි අපි ඉල්ලා සිටිමු.

 

(***)



අදහස් (0)

වැනි වැනි නොසිට ප්‍රශ්නය විසඳන්න

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3851 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3725 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 11112 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1873 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 626 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 774 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site