IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වාහන බලපත් පොරොන්දුවට අත්පොළසන්

සහල්, පරිප්පු, සීනි සහ පිටි වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් තිබෙන්නේ ඇතැම් අවස්ථාවල පහළ මධ්‍යම පන්තිය නියෝජනය කරන ජනතාවට පවා ඒවා මිලයට ගැනීම අපහසු තත්ත්වයක් නිර්මාණය කර තිබෙන පරිදිය. මෙම තත්ත්වය දුම්රිය සහ බස් ගාස්තු ඉහළ දැමීමත් සමග තවදුරටත් බරපතල වනු ඇත.

ඉදිරියේ අපේක්ෂිත ආදායම අනුව ගත්විට, සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.5 ක් දක්වා ඉහළ යනු ඇතැයි මුදල් අමාත්‍යවරයා පුරෝකථනය කළ නමුත් ඒ සම්බන්ධයෙන් වැඩි විස්තරයක් ඔහු නොකළේය. 

ණයවර ලිපි විවෘත කිරීම සදහා පැමිණෙන පාරිභෝගිකයන් කලු කඩයට යොමුකරමින් සිටින්නේයැයි ප්‍රමුඛ පෙලේ බැංකුවක නිලධාරියෙක්ට චෝදනා කළ මුදල් අමාත්‍යවරයා එම කටයුතුවල නියැලී සිටින තවත් කිහිපදෙනෙක්ම නම් කිරීමටද පසුබට නොවීය. ශ්‍රී ලංකා මහ බැංකුවේද කල්ලි ගැසී මුදල් උපයමින් සිටින කිහිපදෙනෙක් සිටින බව සදහන් කළ ඔහු ඒ හාම අදහස් දක්වමින් අන්තර්ජාතික තලයේ ආර්ථික මට්ටම ඉතා ඉක්මනින්ම යහපත් අතට හැරෙණු ඇතැයි පැවසුවේය. 

සංචාරක කර්මාන්තය, අපනයන නඟා සිටුවීමට සහ විදෙස් සෘජු ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමට වහාම අවධානය යොමුකළ යුතුව ඇතැයිද මුදල් අමාත්‍යවරයා කීවේ ය. අතිරේක මුදල් ඉල්ලා අමාත්‍යවරු තමා හමුවට නොපැමිණිය යුතුව ඇතැයි කී ඔහු වර්තමානයේ පවතින අර්බුදය නිමාවට පත්වන තෙක් අතිරේක මුදල් ලබානොදෙන බව අවධාරණය කළේ ය.
අනතුරුව පැමිණ සිටි මන්ත්‍රීවරුන්ට හොද ආරංචියක් ලැබිණ. 

වාහන ආනයනය කිරීම සදහා බලපත්‍ර ලබාදෙන බවට මුදල් අමාත්‍යවරයා ඔවුන්ට පොරොන්දු විය. කෙසේවුවත් එම වාහන ආනයනයන් සදහා රජය මැදිහත්වීමක් හෝ ගෙවීමක් මෙවර සිදුනොවන අතර එම බලපත්‍ර ආධාරයෙන් වාහන ගෙන්වාගැනීමට අවැසි ණයවර ලිපි විවෘත කරගැනීම සදහා මුදල් සොයාගත යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්මය. 

මුදල් අමාත්‍යවරයා මෙම අදහස් දක්වන විට ඇතැම් මන්ත්‍රීවරු නැගිට අත්පොළසන් දෙනුද තවත් ඇතැමුන් මේස මතට තට්ටු කරමින් සතුට පළකරනු ද දැකගත හැකිවිය. මෙවැනි පියවරක් හමුවේ කලු කඩයේ ඩොලර්වල මිල තවදුරටත් ඉහළ යනු ඇති බවට කිසිදු සැකයක් නැත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය සදහා ඩොලර් මිලට ගැනීමට හැකිවන පරිදි ඔවුන්ට රජයේ මැදිහත්වීමෙන් ණය ආදිය ලබාදීමට යන්නේ ද යන්න තවමත් පැහැදිලි නැත.

බලශක්ති අමාත්‍යවරයාටද අදාළ වන අයුරින් අවවාදයක් කළ මුදල් අමාත්‍යවරයා, ඉන්ධන ආනයනය කිරීම සදහා අරමුදල් සපයා ගැනීම ඔහුගේ රාජකාරියක් බව පැවසුවේය. තමන්ට මුදල් අවශ්‍යව ඇතැයි ප්‍රසිද්ධියේ කියා සිටීමේ අවශ්‍යතාවක් අමාත්‍යවරුන්ට නොතිබිය යුතුව බව කියා සිටි ඔහු, ඉන්ධන විකිණීමට අවැසි ඕනෑම කෙනෙකුට ඒ සදහා මුදල් හෝ සහතිකයක් හෝ ලබාගැනීමට වුවමනා නම් කළ යුතුව තිබෙන්නේ මහා භාණ්ඩගාරයට යොමුවීම යැයි ද පැවසුවේ ය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෑතක දී, පළව තිබූ වාර්තාවක් රජයට සතුට ගෙන ආවේය. 

ගෝලීය මට්ටමින් ආයෝජන බැංකු ක්ෂේත්‍රය, සුරැකුම්පත් සහ ආයෝජන කළමණාකරනය යන ක්ෂේත්‍රයන් නියෝජනය කරන සමාගමක් වන ගෝල්ඩ්මන් සච්ස් නිකුත් කර තිබූ වාර්තාවක, 2021 වසරේ සිදුකළ යුතුව තිබෙන ගෙවීම් ඒ නියමිත පරිදි ගෙවා අවසන් කිරීමට ශ්‍රී ලංකාව ඉතා පහසුවෙන් කටයුතු කරමින් සිටින බවද, ඒ හමුවේ වසර අවසානය වන විට රටේ බාහිර සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.4 ක මට්ටමේ පවතිනු ඇති බවද, සදහන්ව තිබිණ. කෙසෙවෙතත්, ගැටලු මතුවනු ඇත්තේ ඉන් පසුවය. පිටතින් ලබාගන්නා මුදල් නොමැතිව, රට ඉදිරියට ගෙන යාම තවදුරටත් බරපතල වනු ඇත.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විවරණය

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට රටේ පවතින වාතාවරණය විස්තර කරමින් නිකුත් කර තිබූ වාර්තාවක සදහන්ව තිබූ කාරණා රටට එතරම් සුභ නොවීය. එම කාරණා පහත පරිදිය.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතුවල යෙදීම අතිශයින් දුෂ්කරය. අනාගතය දෙස බලා පුරෝකථනයක් සිදුකළ නොහැකි අයුරින් වන ආර්ථික ප්‍රතිපත්ති පවතින, රජයේ සේවා සැපයුම කාර්යක්ෂමව සිදුනොවන, රජයේ ප්‍රසම්පාදන කටයුතුවල විනිවිදභාවය අතිශයින්ම පහළ මට්ටමක තිබෙන වාතාවරණය, ගනුදෙනු සදහා දැරිය යුතුවන පිරිවැය තවදුරටත් ඉහළ නංවා තිබේ. 

කොන්ත්‍රාත් ප්‍රතික්ෂේප කිරීම, සොරකම වැනි කාරණා සම්බන්ධයෙන් ආයෝජකයින් අවධානය යොමුකර තිබෙන අතර, රාජ්‍ය ක්ෂේත්‍රයේ පවතින දූෂණයන්, දැනටමත් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු සිදුකරමින් සිටින එක්සත් ජනපද සමාගම්වලට දැඩි අභියෝගයක් එල්ල කරමින් තිබේ. එමෙන්ම, එම තත්ත්වය විදෙස් ආයෝජන දිනා ගැනීමට ද බාධකයකි. 

දූෂණය මර්දනය කිරීම සදහා ප්‍රමාණවත් තරම් නීති සහ රෙගුලාසි රටේ පවතින්නේ වුවද ඒවා ක්‍රියාත්මක කෙරෙන්නේ ඉතා දුර්වල, ස්ථීරසාර නොවන ආකාරයකින් මෙන්ම තෝරාගැනීමක් අනුව ක්‍රියාත්මක වන ආකාරයකින්ය. 

මහා පරිමාන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල සහ රජයේ ප්‍රසම්පාදන කටයුතුවල, වංචා සහ දූෂණ සිදුවන්නේ යැයි එක්සත් ජනපදයේ පාර්ශවකරුවන් සහ ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකිරීමට අපේක්ෂාවෙන් සිටින ආයෝජකයින් පෙන්වා දී ඇත. මෙම ගැටලුවලට අවධානය යොමුකරන බවට රජය පොරොන්දුවී ඇතත්, ඔවුන්ගේ ප්‍රමුඛ අවධානය යොමුව තිබෙන්නේ කෝවිඩ්-19 වසංගතය මර්දනය කිරීමේ කටයුතුවලටය. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයන්, ඔවුන් ජයග්‍රහණය කළා හෝ පරාජයට පත්ව දරමින් සිටි දේශපාලනය බලය අහිමිවූවා වේවා, එකිනෙකාට එරෙහිව පවතින වංචා සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන බවක්, රටේ ඉතිහාසය පිරික්සීමෙන් හදුනාගත හැකිය.

බදු පැනවීමේ හොඳම අවස්ථාව

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත් ලබාදීම දේශපාලනික යොමුවක් ඇති පියවරකි.

ඔවුන් දැනටමත් ඉන්ධන මිල ඉහළ දැමීම පිළිගෙන තිබෙන නිසා, පවත්නා ණය අර්බුදය කළමණාකරනය කරගැනීමේ අදහස ඇතිව, අනාගතයේ පනවන්නට ඉඩ තිබෙන, ආර්ථිකමය අතින් ජනතාවට දරාගන්නට අපහසු වෙනත් පියවර වලටත් ඔවුන්ගේ සහාය ලබාගන්නට රජයට හැකිවනු ඇත. විපක්ෂය අසංවිධානාත්මක මෙන්ම යථාර්ථය ගැන වගේ වගක් නොමැතිව සිටින මෙම අවස්ථාව, එවැනි පියවර ගැනීමට හොදම අවස්ථාව බව රජය දනී.

පසුගිය අගහරුවාදා පාර්ලිමේන්තුවේ දී සමගි ජනබලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව තුනෙන් දෙකක බහුතරයකින් පරාජයට පත්වීමෙන් පසුව රැස්වීමක් සදහා සදහා සහභාගීවීමට මුදල් අමාත්‍යවරයා අරලියගහ මන්දිරය වෙත පැමිණියේය. පළාත් ආණ්ඩුකාරවරු සහ පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරු, චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා, බස්නාහිර පළාතේ දිසාපතිවරු, බස්නාහිර පළාතේ දිස්ත්‍රික් සංවර්ධන කවුන්සිලවල සභාපතිවරු, යන එය එම රැස්වීමට සහභාගීව සිටියහ. 
මුදල් අමාත්‍යවරයා සිටියේ සතුටිනි.

සමගි ජනබලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අපි තුනෙන් දෙකක බහුතරයකින් පරාජය කරලයි මම මේ ආවේ යැයි ඔහු කීවේ ය.

ගෙවුණු සතියේ තවත් වැදගත් සිදුවීමක් වූයේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සාලි, දිවයිනේ කෝවිඩ්-19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් කළ පැහැදිලි කිරීමකි. 

රට වටා සිදුවෙමින් තිබෙන එන්නත්කරණ වැඩසටහන්වල ප්‍රගතිය දැක්වුණු සිතියම් සහ දත්ත හුවමාරු කරගැනීමෙන් අනතුරුව දැනට වසය අවුරුදු 30 සීමාවේ පසුවන පුරවැසියන්ගෙන් 80% කට පමණ එන්නත් ලබාදී අවසන් බව ඔහු පැවසුවේය. ඔහුගේ පැහැදිලි කිරීම  හමුවේ රටේ කෝවිඩ්-19 වසංගත තත්ත්වය දැන් පාලනය කර ඇතැයි ගම්‍ය වුනු අතර එය සැළකිල්ලට ගනිමින් දැන් විවිධ පළාත්වල එන්නත්කරණ වැඩසටහන්වලට ප්‍රමුඛතාවය ලබාදෙමින් පවතී. 

සෞඛ්‍ය විශේෂඥයෝ මෙය කෙසේවත් පිළිනොගනිති. වසංගත තත්ත්වය මර්දනය කරගැනීමට තවත් බොහෝ දුරක් යා යුතුව තිබෙන බව පවසන ඔවුන්, නව වෛරස ප්‍රභේද මතුවන්නට පටන්ගෙන තිබීම නිසා තත්ත්වය බරපතල වන්නට ඉඩ පවතීයැයි ද, බිය පළකර සිටිති. කෝවිඩ්-19 ආසාදිතව සුවය ලැබූවන්, ආසාදිතයන් සහ මරණ සම්බන්ධයෙන් රජය ප්‍රකාශයට පත්කරමින් සිටින දත්ත පිළිබදවත් ඔවුන්ට වැඩි විශ්වාසයක් නොමැත.

කෙටි අදහස් දැක්වීමක් සිදුකළ මුදල් අමාත්‍යවරයා තමන් මුදල් නැති ඇමතිවරයෙක් යැයි සිනහමුසුව කියා සිටියේය. අයවැය හිඟයක් නොපවතින බව තමන් ඉදිරිපත් කරන අයවැයෙන් සහතික කරන්නේ යැයි ඔහු පැවසුවේය.

එසේ නම්, එවැනි හිඟයක් පියැවීමට පසුගිය සමයේ මෙන් වෙහෙසක් දැරීමට සිදුනොවනු ඇත. ඒ කෙසේවෙතත් ක්ෂය වෙමින් පවතින සංචිත ගැන ඔහු කිසිදු අදහසක් දැක්වූයේ නැත. අරමුදල් රැස්කර ගැනීම සදහා විවිධ පාර්ශවයන් සමග දැනටමත් නොනිල මට්ටමින් සබඳතා ගොඩනගා ගෙන තිබෙන බව රජයේ ආරංචි මාර්ග පැවසුවේය. ඉතා වැදගත් විදේශ දූතයෙක්, නුදුරේදීම කොළඹට පැමිණීමට නියමිතව ඇතැයිද පැවසේ. එම දූතයා නියෝජනය කරන රටෙන් තවත් අරමුදල් සපයාගැනීමට පවතින අවස්ථා ගැන ඔහු සමග සාකච්ඡා කෙරෙනු ඇති බව සැළය.

සල්ලිකාරයන්ට විශේෂ සහන

විදෙස් බැංකුවල මුදල් සංචිත පවත්වාගෙන යමින් සිටින අයවලුන්, එම මුදල් මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනිදාට පෙර ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කරන්නේ නම් ඒවාට සහනයක් ලබාදීම අරමුණු කරගත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම නව මුදල් අමාත්‍යවරයාගේ පළමු නිල රාජකාරිය විය. සාමාන්‍ය අවස්ථාවක නම් බදුවලට යටත්වන්නේ වුවත් මෙම අවස්ථාවේ දී, එසේ තමන් සන්තක වන මුදල් හෝ ආදායම් ප්‍රකාශයට පත්කරන අයවලුන්ව බදුවලින් විමර්ෂණවලින් සහ නඩු පැවරීම්වලින් නිදහස් කැරෙනු ඇත. 

මෙය එක්තරා අතකට විදෙස් අරමුදල් සපයාගැනීමට රජයට තිබෙන දැඩි අවශ්‍යතාවය පෙන්වා දෙන්නකි. මෙවැනි උත්සාහයක් ගැනුණු පළමු අවස්ථාව ද මෙය නොවන අතර පැවැති යහපාලන රජය සමයේත් මේ ආකාරයේම යෝජනාවක් ඉදිරිපත් වුවත් එය ක්‍රියාවට නැංවුනේ නැත. සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ යන දෙපක්ෂයම මෙම පියවර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කර තිබේ.

මේ හරහා සිදුවන්නේ රජයට හිතැති ව්‍යාපාරිකයන්ට සහ රජයේ දේශපාලකයින්ට, ඔවුන් අයථා ආකාරයෙන් උපයාගෙන තිබෙන මුදල් ශ්‍රී ලංකාවට ගෙන ඒමට අවස්ථාව සැළසීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

කොතලාවල ආරක්ෂක ඇකඩමිය විශ්ව විද්‍යාලයක් බවට පත්කරන පණත් කෙටුම්පත ඉදිරියට රැගෙන යන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ඉරිදා පැවැති රැස්වීමේ දී රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දුන්නේය. මෙම පණත් කෙටුම්පතෙහි පවතින විවිධ සම්පාදනයන් විස්තර කරදීම සදහා ලබන 3 වැනිදා වැඩමුලුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බවත් ඔහු කීවේය. මෙම පණත් කෙටුම්පත මුල්කරගෙන දැනටමත් දැඩි ආන්දෝලනයක් නිර්මාණයව ඇත. 

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පණත හරහා විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන මිලිටරිකරණය වීමේ අවදානමක් පවතින්නේ යැයි විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගේ සංගමය චෝදනා කරයි.

ජනපතිවරයාගේ දෙවැනි ධූර කාලය

තවත් වැදගත් සිදුවීමක් වූයේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රජයේ හා පෞද්ගලික මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් සමග පැවැති රැස්වීමකි. එය පැවැත්වුණේ පසුගිය සඳුදා ජනපති ලේකම් කාර්යාලයේදීය. එහිදී සිය ප්‍රමුඛතාවයන් පැහැදිලි කිරීමට ජනපතිවරයා කටයුතු කළ අතර ජනපති ලේකම් පී.බී.ජයසුන්දර සහ ජේ්‍යෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරුද එයට එක්ව සිටියහ. රැස්වීම අවසානයේ ජනපතිවරයා පැමිණ සිටියවුන්ට දිවා භෝජන සංග්‍රහයක් පිළිගැන්වීය.

රට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම සදහා රජය ඉහළම ප්‍රමුඛත්වය ලබාදී කරමින් සිටින කාර්යයන් ගැන පැහැදිලි කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය. ඒවා වන්නේ, දැනට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම සහ කඩිනමින් අවසන් කිරීම - මේ අරබයා ප්‍රමාණවත් තරම් එන්නත් තොග පවතින බව සහතික කිරීමට රජය කටයුතු කර ඇත. 2- සියලු භෝග සදහා ප්‍රමාණවත් පොහොර පවතින බව සහතික කිරීම. 

රැස්වීම අවසන් වූ පසුව ජනපතිවරයා පෞද්ගලික මට්ටමින් අදහස් දක්වමින්, තහනම පැනවීමට පෙර රටේ අවශ්‍යතාවයටත් වඩා තුන් ගුණයකට වැඩි රසායන පොහොර ප්‍රමාණයක් රටට ආනයනය කර තිබෙන බව පවසා සිටියේය. එනිසා, පොහොර හිඟයක් ගැන බියක් ඇති කරගත යුතු නැතැයි ඔහු කීවේය. තමා උපන් බෙලිඅත්තේ පිහිටි ළිඳක් ගැන සිහිපත් කළ ඔහු රසායනික පොහොර අධික ලෙස භාවිතා කිරීම නිසා එහි ජලය දූෂිතව තිබූ බවත් ඊට පෙර එයින් පානය සදහා ජලය ලබාගැනීමට ඒ ආසන්නයේ වාසය කළ ජනතාව පුරුදුව සිටි බවත් පැවසුවේ ය.

අනතුරුව ප්‍රශ්න විමසීමට ඉඩකඩ සැළසුණු අතර, වසර දෙකකින් ඔබ එය කිරීමට යන්නේ කෙසේදැයි? අයෙක් විමසුවේය. තමාට තවත් වසර 5ක කාලයක් වුවමනා නම් ලබාගත හැකි බව ජනපතිවරයා කියා සිටියේ මේ අවස්ථාවේදීය. එය, එම අවස්ථාවට පමණක් සීමා වූ දෙයක් ලෙස සළකා බැහැර කරන්නට හැකියාවක් තිබුණද රැස්වීමෙන් පසුව මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ නිලධාරියෙක් “දෙවැනි ධූර කාලයක් ගැන කියපු දේ මතක තියාගන්න” යැයි මාධ්‍ය ප්‍රධානීන්ට නැවත වරක් සිහිපත් කරදීම හමුවේ එය සැබෑවක් ලෙසම ගැනීමට සිදුවිය. එහෙයින්ම, රටේ ප්‍රධාන පුවත්පත් සියල්ලගේම පාහේ මෙන්ම විද්‍යුත් මාධ්‍යවලත් ප්‍රධාන සිරස්තලය වූයේ එයයි. සිව් වසරක ධූර කාලයෙන් මේ වන විට අඩක් පමණ ගෙවා සිටින ජනපතිවරයා, ඊළග ජනපතිවරණයට තරග කිරීම ගැන අදහස් දක්වමින් සිටී. ඒ ඇයි?

මේ සම්බන්ධයෙන් පළවු ප්‍රතිචාර විවිධ ආකාරයේ විය. 

ඔහු ආරම්භ කළ වැඩසටහන් අවසාන වන බවට සහතික කිරීම සදහා ඔහු තවදුරටත් රැදී සිටිනු ඇතිය යන්න ජනපතිවරයා එයින් ඉගි කරන්නට ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග තර්ක කළේ ය. එය විශේෂයෙන්ම, ජනපතිවරයාගේ සමීපතම ආධාරකරුවන්ට දුන් පණිවුඩයක් ලෙස ඔවුන් අර්ථ දැක්වීය. ඒ, ඔවුන්ට විශ්වාසයක් සහ දිරි ගැන්වීමක් ලබාදීම සදහාය. 

මෙම ප්‍රකාශය සිදුකළ අවස්ථාවේ ජනපතිවරයා සැහැල්ලුවෙන් මෙන්ම අවධානයෙන් සිටියෝ පෙන්වා දුන්හ. මේ හැරෙන්නට, තවත් මත හා අදහස් ගණනාවක්ම පළවූ අතර, සිදුවිය හැකි යැයි ගත හැකිව තිබූ එම බොහෝ ඒවා තිබුණේ දැනට රටේ දේශපාලනයේ පවතින යතාර්ථයෙන් බොහෝ දුරය. 

තර්කානුකූලව ජනපතිවරයාගේ ප්‍රකාශය සැළකුවහොත්, එය පළමුකොටම ඉදිරි ජනපතිවරණයට තරග කරන්නට අපේක්ෂාවෙන් සිටින්නෙකුට දෙන පණිවුඩයකි. ඊළග ජනපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ බැසිල් රාජපක්ෂ යැයි මතයක් පතළව තිබූ අතර එය ඔහු මුදල් අමාත්‍යධූරය භාරගැනීමත් සමග වඩාත් තීව්‍ර විය. 

අනතුරුව, ඊළග ජනපතිවරණයට තරග කරන්නේ නාමල් රාජපක්ෂ බවටත් මත පළවිය. අඩුම තරමින්, ඉහත සදහන් කළ අයුරින් අදහස් දැක්වීම හමුවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පළවෙමින් තිබූ මත අදහස් සහ කටකතාවලට නැවතීමේ තිත තබා ඇත. ඔහුගේ ප්‍රකාශය තවත් අතකින්, විශ්වාසභංග යෝජනාව මුල්කරගෙන තාවකාලිකව අත්වැල් බැදගෙන සිටින මුත් ස්වභාවයෙන්ම එකිනෙකාට වෙනස් සහ අදහස් දරන සන්ධානයේ දේශපාලන පක්ෂවලටත් දුන් පණිවුඩයකි. 

විශ්වාසභංග යෝජනාව හාස්‍යයට ලක් කැරුණු සිදුවීම් කිහිපයක් ද, විය. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදහස් දක්වමින්, ජනපතිවරයා නැවත වරක් ජනපතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂාවෙන් සිටින්නේ යැයි අසා විපක්ෂය තිගැස්මට පත්ව සිටින බව එක් අවස්ථාවක දී, පැවසුවේය. එම ප්‍රකාශයෙන් තමන් විපක්ෂයේ තරම අධිතක්සේරු කර තිබෙන බවක් ඔහු ඇතැම් විට නොදන්නවා විය හැකිය.

- ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
- පරිවර්තනය - කෝවිද ගුණසේකර



අදහස් (5)

වාහන බලපත් පොරොන්දුවට අත්පොළසන්

sam Thursday, 29 July 2021 07:41 PM

කළු කඩවලින් ඕනෑතරම් ඩොලර් ගන්න පුළුවන්. හොඳ වැඩේ දෙපැත්තට මාරුවෙන් මාරුවට ඡන්දෙ දෙනවට..

:       55       150

sharm warn Monday, 02 August 2021 12:37 PM

මේ වගේ අමනයින්ව රටේ පාලනයට තෝරාගත්තු වහලුනි... ඔබට සතුටුයිද දැන්...?

:       0       26

Vithana Tuesday, 03 August 2021 04:47 AM

69 ලක්ෂෙට මේ කියලා තියෙන දෑහි භයානකත්වය තේරෙන්නේ නෑ. දවසෙන් දවස සාමාන්‍ය ජනතාවගේ බඩු මිළ ඉහල යනවා. ඒත් මන්ත්‍රීලට සැප වාහන ගේන්න පර්මිට් දෙනවා. බැංකු වල උසස් නිළදාරීන්ට බැනලා ඇත්ත යට ගහන්න බෑ. සංචිත පහල බහින එක ගැන කතා නොකරපු මුදල් ඇමති කලු සල්ලි පිළිගැනීමට ගැසට් එකක් ගහනවා. සෝමාලියාවෙත් ඕකම උනා. පසුව සෝමාලියානු ආණ්ඩුව විසින්ම එලිපිට මංකොල්ල කන්න පටන් ගත්තා. ජනතාවටත් මංකොල්ල කාලා කීයක් හරි හොයා ගන්න කිව්වා. ඊළඟට එන්නේ එතනට. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාව බලන ඕනෑම මෝඩයෙක්ට පැහැදිලිවම තේරුම් යනවා මේ ආණ්ඩුව හොරකමට, දූෂණයට, වංචාවට මුල් තැන දෙන බව. එහෙම තියෙද්දී එයිද ආයෝජනය කරන්න. නුදුරු දිනෙක එන රාජ්‍යතාන්ත්‍රික දූතයා මෝඩයෙක්ද? බටහිරෙන් සහ ජපානෙන් ආයෝජන එන එක ගැන සැකයි. ඒ ඔක්කෝම බංගලාදේශය, වියට්නාමය වගේ රටවල් වලට යනවා ලංකාවේ තියෙන්නේ දූෂිත ආණ්ඩුවක් නිසා. විශ්වාස භංග පැරද්දුවේ 2019 ජනමතයෙන් පත් උන 2/3 ක බහුතරෙන් නේ. දැන් ඒ ජනමතය නෑ. ඒක නිසා සැබෑවටම ඔය ජයග්‍රහණය වලංගුත් නෑ.

:       0       0

saman Thursday, 05 August 2021 11:10 AM

අත් පුඩි ගැහිලෙන්ම මුන්ගේ ගොන් කම පැහැදිලි වෙනවා ජනතාවට

:       0       1

fairoos Thursday, 05 August 2021 06:39 PM

කොයිපැත්තේ හිටියත් දේශපාලකයින්ට වාසි තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3851 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3726 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 11143 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1874 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 627 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 775 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 319 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site