IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මැද පෙරදිගට යවන කාන්තා ගෞරවය රකිනු

වැලිකතර මරුකතරක්දැයි සිතෙන තරමට ලැබෙන ප්‍රවෘත්ති බිහිසුනුය. එමෙන්ම ජුගුප්සාජනකය. සිය වසකින් මෙපිට පැමිණි ලෝක වසංගතයක මරණීය බියකරු අත්දැකීම් ලබා තිබියදීත් මනුෂ්‍යත්වයේ අසරණකම සමග සූදු ක්‍රීඩාවේ යෙදීමට යමකුට හැකිනම් ඔහු මනුෂ්‍යයකුම විය නොහැකිය.  එහෙයින් මිනිස් වෙස් ගත් එබඳු තිරිසනුන් වෙනුවෙන් මෙම තීරුව යළිත් වෙන්  කිරීමට සිදුවී තිබේ.

අප පුවත්පත ඉකුත් දා වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ කාන්තාවන්, ඩුබායි, ඕමානය සහ අබුඩාබිය යන රාජ්‍ය වෙත සංචාරක වීසා මත රැගෙන ගොස් එරට ධන කුවේරයන් ඇතුළු විවිධ පුද්ගලයන්ට රුපියල් ලක්ෂ ගණනින් අලෙවිකරමින් මිනිස් ජාවාරමේ නිරත වූ බව කියන ප්‍රධාන තැරැව්කරුවකු සහ ඔහුගේ ජාවාරම්වල දේශීය නියෝජිතයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බාරයට පත්කර ඇති බවය.

මෙම මිනිස් ජාවාරම් හා ඔහුගේ දේශීය නියෝජිතයා අත්අඩංගුවට පත්වීමේ සිදුවීම් දාමය තුළ විශේෂ අවධානයට ලක් කළ යුතු කාරණාවක් තිබේ. මැද පෙරදිග එසේ අතවරවලට වදබන්ධනවලට ලක්වන කාන්තාවන් තමන් මුහුණ දී සිටින අභාග්‍ය සම්පන්න ඉරණම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කර තිබේ. අනතුරුව සිද්ධිය පැමිණිල්ලක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාන්තාවන් වෙළඳාම, ජාවාරම් විමර්ශන කොට්ඨාසය එම රටවල්වලට ගොස් එම වින්දිත කාන්තාවන් හමුවී සාක්ෂි රැස් කරගෙන තිබේ. ඒ අනුව ජාවාරමේ මහ මොළකරු මෙරටට පැමිණෙන විට කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත. ජාවාරමාගේ දේශීය නියෝජිතයා අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉන් අනතුරුවය.

ලිංගික හිංසන, අතවර සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට වින්දිත කාන්තාවන් මැලිකමක් දක්වන බව පොදු පිළිගැනීමය. එහෙයින් බොහෝ සිදුවීම් කාලයේ වැලිතලාවෙන් වැසී යයි. ජාවාරමුන්ට අවශ්‍ය පිටුබලය ලැබෙන්නේ ද ඒ අවසරයෙනි. සිදුවීම් පැමිණිලි ලෙස ඉදිරිපත් නොවනවිට අපරාධකරුවන්ට නිරුපද්‍රිතව පැවතීමේ හැකියාවක් ද තිබේ. එහෙත් තමන්ට සිදුවූ අසාධාරණය අයුක්තිය හා නිගරුව සම්බන්ධයෙන් නිර්භයව එළියට පැමිණ අවශ්‍ය තැන්වලට පැමිණිලි කරන්නේනම් තමන්ට යුක්තිය සාධාරණත්වය ඉටු කරගත හැකි බව මෙම සිදුවීමෙන් පැහැදිලි වේ.

යුනිසෙෆ් අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ මෙරට දරුවන් 56000ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවය. වයස අවුරුදු 5ට අඩු දරුවන්ට වහා ප්‍රතිකාර අවශ්‍ය බව ද එම සංවිධානය අවධාරණය කර ඇත. රටට ඩොලර් වැසි වැටී රට බත බුලතින් සරු සාර වී දරුවන්ට බඩ පිරෙන්න යමක් කන්න දිය හැකි යුගයක් උදාවන තුරු අම්මලාට බලා සිටිය නොහැක. අකාරුණික හා දුෂ්කර කොන්දේසිවලට යටත්ව දහදුක් විඳිමින් ඔවුන් මැදපෙරදිග බලා යන්නේ දරුවන්ගේ වේලෙන් වේලට අලුත්වන බඩගින්න නිවාදැමීමට ඇති ඒකාන්ත මාර්ගය එය යැයි ඒ අම්මලා කල්පනා කරන නිසාය. ඒ මනුෂ්‍ය වේදනාවත්, මනුෂ්‍යත්වයේ අසරණකමත් ජාවාරම්කරුවෝ හොඳින් හඳුනති. අනා තැබූ පිටි ගුලි මෙන් තමන්ට අවශ්‍ය පරිදි ඒ අම්මලා හැඩ කපා ගැනීමට ජාවාරම්කරුවන් සමත් වන්නේ ඒ අනුවය.

මැද පෙරදිග රැකියාවකට යාමේ විධිමත් පිළිගත් ක්‍රමවේදයක්, මාර්ග සිතියමක් තිබේ. එහෙත් කැකෑරෙන ආර්ථික අර්බුදය හමුවේ එතෙක් කල් බලා සිටින්නට ඇතැම් අම්මලා අකැමැති වෙති. ජාවාරම්කරුවන් දැල එලන්නේ ඒ අම්මලාටය. කාන්තාවන්ටය. අපේ රටේ පුරවැසියන් කෙළි බඩු බවට පත්කර අරාබිකරයේ සුල්තාන්ලාගේ ඇඟ නහර පිනවන්නට හැකිවීම සම්බන්ධයෙන් සෙසු සෑම පුරවැසියකුම සීමා විරහිතව ලජ්ජාවට පත් විය යුතුය. අරාබිකරයේ ඒ ශාපලත් ඉරණමට ලක්ව සිටින්නේ අපේම අම්මා, සොහොයුරිය, බිරිඳ යැයි සිතීමේ හැකියාවක් සියල්ලන්ම නිර්මාණය කර ගත යුතුය. මෙබඳු පාපතර ම්ලේච්ඡ ක්‍රියා මැඩපැවැත්විය හැක්කේ එබ‌ඳු බලගතු සදාචාර බලයකින් පමණි.

අපට ඇත්තේ නීතියේ පිහිට පිළිසරණ පමණි. එම ක්‍රියාදාමයට මුදල් බලයෙන් යම් බලපෑමක් ඇති කළ හැකි බව වසන් කළ නොහැකි සත්‍යයකි. ජාවාරම්කරුවන් බියකින් සැකයකින් තොරව මිනිස් ජාවාරම් හා මාංශ වෙළඳාම්හි නිරතවන්නේ ද එහෙයිනි. එතෙක් අහිංසක අම්මලාගේ කඳුළ සිනාවකට පරිවර්තනය කළ යුතුය. එය කළ හැකි වන්නේ අධිකරණ ක්‍රියාදාමය හරහා සියලු ජාවාරම්කරුවන් දණ ගැස්සීමෙන් පමණි. එහෙයින් මෙම ක්‍රියාදාමය දෙස අපි අවධානයෙන් බලා සිටිමු.



අදහස් (0)

මැද පෙරදිගට යවන කාන්තා ගෞරවය රකිනු

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3850 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3724 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 11095 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1872 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 624 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 773 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site