IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කෝටි පනස්දාහේ ගල්අඟුරු ටෙන්ඩරය

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයට 2022 සිට 2025 දක්වා කාලයට අවශ්‍ය ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියේ දී ප්‍රසම්පාදන කමිටුව සහ තාක්‍ෂණික ඇගයීම් කමිටුව ඵලදායි සහ කාර්යක්‍ෂම ලෙස ඒ බරපතළ වගකීම ඉටුකර නැතැයි විගණකාධිපතිවරයා හෙළි කරයි. විගණකාධිපතිවරයා මේ බව හෙළි කරන්නේ 2022 සැප්තැම්බර් 30 වැනිදා නිකුත් කර තිබෙන විගණන වාර්තාවකිනි. 

ඒ විගණන වාර්තාවට අනුව ගල් අඟුරු මිලදී ගැනීමේ ඒ ගනුදෙනවේ වටිනාකම රුපියල් බිලියන 500 කි. කෝටිවලින් නම් කෝටි 50,000 කි. රටේ ජනතාව ලෝකයට ණය කරමින් රුපියල් කෝටි 50,000 ක් වැයවන ගනුදෙනුවක් කර තිබෙන්නේ ඵලදායි සහ කාර්යක්‍ෂම නොවන අයුරිනි. එසේ කළෝ ප්‍රසම්පාදන කමිටුවේ සහ තාක්‍ෂණකි ඇගයීම් කමිටුවේ සාමාජිකයෝය. 

පිටු 34 කින් සමන්විත විගණකාධිපතිවරයාගේ ඒ වාර්තාව මතම පදනම් වෙමින් සහ එහි සඳහන් තොරතුරු ඇසුරින්ම මේ ලිපිය සැකසෙයි.

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය අපේ රටට විදුලි සැපයුමේ ප්‍රධාන වගකීමක් ඉටුකරන මර්මස්ථානයකි. නැතහොත් ‘‘බේස් ලෝඩ්’’ (Base Load) බලාගාරයකි. එය රටේ ජාතික විදුලිබල අවශ්‍යතාවෙන් සියයට 30 සිට 40 අතර දායකත්වයක් සපයයි. ඒ බලාගාරය ක්‍රියාත්මක කරවීම සඳහා වාර්ෂිකව ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.25 ක් පමණ අවශ්‍ය වෙයි. 2021 සිට 2022 දක්වාවූ ප්‍රසම්පාදන කාලපරිච්ඡේදය අවසාන වන තෙක්ම එය වාර්ෂික ගල් අඟුරු අවශ්‍යතාවෙන් සියයයට 50 ක් දීර්ඝකාලීන ප්‍රසම්පාදන මගින් සපයා ගනියි.

ඉතිරි සියයට 50 සපයා ගන්නේ ක්‍ෂණික ප්‍රසම්පාදන මගිනි. ඒ අනුව 2021 සිට 2022 දක්වා වූ කාල පරිච්ඡේදයට අවශ්‍ය ගල් අඟුරු මිලදී ගැනීම සඳහා ක්‍රියාත්මක කළ දීර්ඝකාලීන ප්‍රසම්පාදන ගිවිසුම (Term Tender) අනුව මෙට්‍රික් ටොන් මිලියන 1.125 ක් සපයා තිබිණි. එතෙක් නොසැපයූ ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 1.125ක් නැව් තොග 19ක් මගින් සපයා ගැනීමට නියමිතව තිබිණි. 

ලංකා ගල් අඟුරු සමාගම මගින් ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 4.5 ක් මිල දී ගැනීම සඳහා වූ දිගුකාලීන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර ඇත්තේ 2022 ජූලි 21 වැනිදාය. එමගින් කාල පරිච්ඡේද තුනක් සඳහා එනම් 2022 සිට 2023 සහ 2023 සිට 2024 සේම 2024 සිට 2025 වර්ෂ ආවරණය වන පරිදි පිළිවෙළින් ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 1.115 ක් මෙට්‍රික් ටොන් මිලියන 2.25 ක් සහ මෙට්‍රික් ටොන් මිලියන 1.725 ක් මිලදී ගැනීමට අපේක්‍ෂා කර තිබිණි. 

ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලිය 2022 ජූලි 21 වැනිදා ආරම්භ කර 2022 අගෝස්ත- 25 වැනිදා එනම් දින 35 ක් වැනි කෙටි කාලයක දී අදාළ ටෙන්ඩරය පිරිනමා තිබේ. ඒ සමාගම වෙත ප්‍රසම්පාදන ටෙන්ඩරය පිරිනැමීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස කතානායකවරයා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයාට උපදෙස් දී තිබේ. ඒ අනුව 2022 සැප්තැම්බර 08 වැනිදා මුදල් කාරක සභාවේ පැවැති සාකච්ඡාවේ දී එකඟ වූ පරිදි තම වාර්තාව නිකුත් කරන බව විගණකාධිපතිවරයා කියයි. 

විගණනය සම්බන්ධ තම නිරීක්‍ෂණ විගණකාධිපතිවරයා මෙසේ සඳහන් කරයි. ලියාපදිංචි සැපයුම්කාර සමාගම ඉදිරියේ දී ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා තමන් වෙනුවට තමන්ට අනුබද්ධිත වෙනත් සමාගමක් හඳුන්වා දෙයි. එහෙයින් නම ලියාපදිංචිය වෙනස් කරන ලෙස ඉල්ලයි. ඒ ඉල්ලීමට ලිඛිත ප්‍රතිචාර නොදක්වා ලංසු ලේඛනවල ‘‘ප්‍රබල සහ සංවේදී සංශෝධන’’ සිදු වෙයි. ඒ ඉල්ලීම ඉටුකිරීමට නීතිමය වශයෙන් පවතින නොහැකියාව සැපයුම්කරු වෙත දැනුම්දීමට ද ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ නිලධාරීහු කටයුතු නොකරති. ඔවුන් කළ සංශෝධනවලින් පසු සැපයුම්කරු විසින් කරන ලද සමාගමට ඒ ලංසුව ලබා ගැනීමේ වරම හිමිවෙයි. 

ඇණවුම් කළ ගල් අඟුරු තොගය තමන්ට සැපයීමට නොහැකි බව දක්වමින් නම් කළ සමාගමට ලංසු ඉදිරිපත් කිරීමට ආරාධනා කරන්නැයි ලියාපදිංචි සමාගම තම පළමු ඉල්ලීම 2022 ජූලි 20 වැනිදා එනම් 2022 ජූලි 21 වැනිදා ලංසු කැඳවීමටත් පෙර ඉදිරිපත් කර තිබේ. අදාළ ප්‍රසම්පාදනය ඉදිරියටත් කරගෙන යාම සඳහා තීරණාත්මක සහ වඩා වැදගත් වූ එවැනි ඉල්ලීමක නීත්‍යානුකූලභාවය පිළිබඳ විධිමත් සලකා බැලීමක් කර ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කර දීමට හෝ අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ලංකා ගල් අඟුරු සමාගම අපොහොසත්ව ඇතැයි ද විගණකාධිපතිවරයා කියයි. ක්ෂණික ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ලියාපදිංචි සැපයුම්කාර සමාගම නැවතත් අවස්ථා දෙකක දී එනම් 2022 ජූලි 27 වැනිදා සහ 2022 අගෝස්තු 03 වැනිදා යළිත් ඉල්ලීම් කර තිබේ. ඔවුන්ගේ පළමු ඉල්ලීම් දෙක 2022 අගෝස්තු 03 වැනිදා තෙක් තාක්ෂණික ඇගයීම් කමිටුවට යොමු කර නැත.

ලියාපදිංචි සමාගම මගින් නම් කළ සමාගම මෙම ප්‍රසම්පාදනයේ පාර්ශ්වකරුවකු ලෙස යොදා ගන්නැයි කර තිබූ ඉල්ලීමට නිසි ලිඛිත ප්‍රතිචාර නොදැක්වීමෙන් නම් කළ සමාගමට තම අපේක්ෂාව ඉටුවන බවට විශ්වාසයක් ඇති කිරීමට ප්‍රසම්පාදකයන් කටයුතු කර ඇතැයි ද විගණකාධිපතිවරයා කියයි. අදාල ප්‍රසම්පාදන ලියාපදිංචි සැපයුම්කරුවකු නොවූ සමාගමකට ප්‍රදානය කිරීමෙන් තම නිරීක්ෂණ තවදුරටත් තහවුරු වන බව ද විගණකාධිපතිවරයා හෙළි කරයි.

ලංසු ලේඛනයේ අනිවාර්යයෙන්ම සංශෝධනය විය යුතු වගන්ති සංශෝධනය කිරීමට ද ප්‍රසම්පාදකයෝ කටයුතු නොකළහ. ඒ නිසා ලංසුකරුවන් විසින් ඉදිරිපත් කරනු ලැබිය යුතුව තිබූ නීත්‍යානුකූල ලේඛන, බැඳීම්, සුදුසුකම් තහවුරු කර ගැනීම් ආදිය සේම ඒවායේ නීත්‍යානුකූලභාවය නිසි පරිදි ලබාගෙන ඇගයීමකට ලක් කිරීමට ද ප්‍රසම්පාදකයෝ කටයුතු නොකළහ.

ලංසු ලේඛනයේ අදාළ සංශෝධන කළේ නම් නම් කළ සමාගම විසින් ලියාපදිංචි සමාගම වෙනුවෙන් ලංසු ඉදිරිපත් කළ යුතුය. එසේම සපයනු ලබන ගල් අඟුරුවල ගුණාත්මකභාවය, ප්‍රමාණය සහ ගෙවීම් සම්බන්ධයෙන් සම්පූර්ණ සුරක්ෂණයක් ලියාපදිංචි සමාගම මගින් ලබාදිය යුතුය. එහෙත් නම් කළ සමාගම විසින් ඉදිරිපත් කරන ලද ලංසු ලේඛනවල ලියාපදිංචි සමාගම වෙනුවෙන් තමන් ලංසු ලේඛන ඉදිරිපත් කරන බවට කිසිදු ලේඛනයක් හෝ ගිවිසුමක් නොතිබිණි.

2022 සැප්තැම්බර් 30 දිනැති විගණකාධිපති වාර්තාවේ කෙටුම්පතට විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් 2022 සැප්තැම්බර් 26 වැනිදා දුන් පිළිතුරෙහි සඳහන් වන්නේ නම් කළ සමාගම සංශෝධනවලට අනුගත වී ඇති බව ලියාපදිංචි සමාගම විසින් ඉදිරිපත් කළ 2022 අගෝස්තු 03 දිනැති ලිපිය සහ අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාව මගින් තහවුරු කරගත් බවය. අමාත්‍යාංශ ලේකම් එසේ කීවත් ඒ තහවුරුව ප්‍රමාණවත් නොවන බව විගණකාධිපතිවරයා කියයි. ඔහු එසේ කියන්නේ පහත සඳහන් කරුණු මතය.

2022 අගෝස්තු 03 දිනැති ලිපිය සහ අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාව ලංසු ලේඛන සමග ඉදිරිපත් කර නොතිබීම.අදාළ අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාව සමාගම් දෙකක් අතර සිදුවී ඇති යෝජනාවක් පමණක් වනවා සේම, රුපියල් කෝටි 50,000ක් හෙවත් රුපියල් බිලියන 500කට වැඩි මෙම ගනුදෙනුව සඳහා බැඳීමක් හා සහතිකවීමක් වශයෙන් නීත්‍යානුකූලව අදාළ කර ගැනීම ප්‍රශ්‍නකාරී වීම,
ලංසු කැඳවීම අවසන් වන දිනය එනම් 2022 අගෝස්තු 10 වැනිදාට පෙර සහ ඉහත සංශෝධනය ලංසුකරුවන් වෙත දැනුම් දුන් දිනය එනම් 2022 අගෝස්තු 05 වැනිදාට පෙර 2022 අගෝස්තු 03 දිනැති ලිපිය සහ අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාව ලැබී තිබීම,
ඉහත සඳහන් ලේකන මගින් ලියාපදිංචි සමාගම විසින් තමන් වෙනුවට ඉදිරියේ දී ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා අනුබද්ධිත සමාගමක් ලෙස නම් කළ සමාගම හඳුන්වා දී තිබේ.

එමගින් සිය ලියාපදිංචි නාමය වෙනස් කිරීමට ඉල්ලා තිබුණ ද ඒ ලේඛනවල ලියාපදිංචි සමාගම වෙනුවෙන් නම් කළ සමාගම මගින් ලංසු ලේඛන ඉදිරිපත් කරන බවක් තහවුරු නොවීම සහ සපයන ගල් අඟුරුවල ගුණාත්මකභාවය, ප්‍රමාණය සහ ගෙවීම් සම්බන්ධ සම්පූර්ණ සුරක්ෂණයක් ලංකා ගල් අඟුරු සමාගම වෙත ලියාපදිංචි සමාගම විසින් ලබාදෙන බවට නීත්‍යානුකූල තහවුරුවක් නොතිබීම.

විගණකාධිපතිවරයා සඳහන් කරන ආකාරයට අත්‍යවශ්‍ය සුදුසුකම් සපුරන සැපයුම්කරුවන් පමණක් ගල් අඟුරු ප්‍රසම්පාදනය සඳහා ලියාපදිංචි කරගත යුතුය. එසේම ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් පමණක් ලංසු කැඳවිය යුතුය. ලියාපදිංචි සමාගම විසින් නම් කළ සමාගම ගල් අඟුරු සැපයුම්කරුවකු ලෙස ලියාපදිංචි නොවූ සමාගමකි.

එසේම නම් කළ සමාගම ගල් අඟුරු සැපයීම සඳහා වන කිසිදු සුදුසුකමක් පරීක්ෂාවට ලක් නොවූ සමාගමකි. ඒ කිසිවක් නොසලකා, නම් කළ සමාගම මගින් ඉදිරිපත් කළ ලංසුව පිළිගෙන තිබේ. නම් කළ සමාගම ලියාපදිංචි සැපයුම්කරුවකු නොවන බැවින් ඔවුන්ගේ ලංසුව සුදුසුකම් නොලත් ලංසුවක් ලෙස ඉවත දැමිය යුතුව තිබූ බව ද විගණකාධිපතිවරයා කියයි. ලියාපදිංචි සමාගම වෙනුවට නම්කළ සමාගම සමග ගනු දෙනු කිරීමේ හැකියාව පිළිබඳව ලංකා ගල් අඟුරු සමාගම විසින් 2022 අගෝස්තු 02 වැනිදා නීතිපතිවරයාගෙන් විමසා ඇතත් නීතිපතිගේ මතය ලැබීමට පෙර නම් කළ සමාගමට ලංසුව ප්‍රදානය කර තිබේ.

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 6.2.2. හි සඳහන් උපදෙස් අනුව සිමිත ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීමේ අවම කාල සීමාව දින 42 කි. සංකීර්ණ ප්‍රසම්පාදන සඳහා ඊට වැඩි දින ගණනක් ලබාදිය යුතුය. එහෙත් මෙම ප්‍රසම්පාදනයට අදාලව 2022 ජූලි 20 වැනිදා රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මගින් ලංසු විවෘතව තබන කාලසීමාව දින 21 ක් එනම් 2022 ජූලි 21 වැනිදා සිට 2022 අගේස්තු 10 දක්වා ලෙස තීරණය කර තිබිණි. ඒ පිළිබඳව පිළිතුරු දක්වමින් අමාත්‍යාංශ ලේකම්වරයා, මෙම ක්‍රියාවලිය සඳහා විශේෂ කිරීමක් මත අනුමැතිය ලබා දුන් බව සඳහන් කළ ද එලෙස විශේෂ අනුමැතියක් ලබාදුන් බවත් තම විමර්ශනයේ දී තහවුරු නොවූ බව ද විගණකාධිපතිවරයා හෙළි කරයි.

ප්‍රසම්පාදනය මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.3.15 ඡේදයෙහි ලංසු කැඳවීමේ ලේඛන සම්බන්ධයෙන් වූ යම් අතිරේක තොරතුරු, පැහැදිලි කිරීම්, වැරැදි නිවැරැදි කිරීම් හෝ වෙනස් කිරීම්, ලංසු කැඳවීමේ මුල් ලේඛන ලබා ගත් සෑම තැනැත්තකු වෙතම බෙදා හැරිය යුතු බව සඳහන් වෙයි. ලංසුකරුවන්ට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට හැකිවන පරිදි ලංසු කැඳවීමේ අවසන් දිනට පෙර ප්‍රමාණවත් කාලයක් ලංසුකරුවන්ට දිය යුතු බව ද ඒ මාර්ගෝපදේශ සංග්‍රහයේ සඳහන් වෙයි. එහෙත් මෙම ගල් අඟුරු ප්‍රසම්පාදනයට අදාළව 2022 අගෝස්තු 03 වැනිදා ලංසු ලේඛනවල ප්‍රබල සහ සංවේදී සංශෝධන කර තිබේ. ලංසු විවෘත කිරීමට දින හයකට (06) පෙර එනම් 2022 අගෝස්තු 05වැනිදා සැපයුම්කරුවන්ට දැනුම් දී තිබුණු බැවින් ලංසුකරුවන්ට අවශ්‍ය කටයුතු සඳහා ප්‍රමාණවත් කාලයක් නොලැබිණි. ඒ හේතුවෙන් මෙම ගල් අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ඇති කළ හැකිව තිබූ තරඟකාරීත්වය ඇති නොවුණු බව ද විගණකාධිපතිවරයා කියයි.

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.4.9 ඡේදයේ සඳහන් පරිදි ලියාපදිංචි සැපයුම්කරුවන් දෙදෙනකු විසින් ලංසු විවෘතව තබන කාලසීමාව දීර්ඝ කරන ලෙස ඉල්ලා තිබිය දී සහ ලංසු විවෘත කිරීමට දින හයක් (06) වැනි කෙටි කාලයකට පෙර ලංසු ලේඛන සංශෝධනය පිළිබඳව ලියාපදිංචි සැපයුම්කරුවන් දැනුවත් කර තිබූ තත්ත්වයක දී පවා ලංසු විවෘතව තබන කාල සීමාව දීර්ඝ කිරීමට කටයුතු නොකළ බව ද විගණකාධිපතිවරයා සඳහන් කරයි. ලබා දී තිබූ කාලය ප්‍රමාණයත් නොවන බව තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් ද නිරීක්ෂණය කරමින් කාලය දීර්ඝ කරන ලෙස 2022 අගෝස්තු 02 වැනිදා නිර්ද්ශ කර තිබුණ ද එපරිදි කටයුතු කර නොතිබිණි. ඒ තත්ත්වය මත සැපයුම්කරුවන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගත් බවට අමාත්‍යාංශ ලේකම්වරයා දී තිබෙන පිළිතුර නිවැරදි බව තහවුරු වී ඇත.

ලියාපදිංචි සමාගම 2022 ජුලි 07 වැනිදා ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති වෙත එවා තිබෙන ලිපියකින් ඉල්ලා තිබෙන්නේ සිය ලියාපදිංචි නාමය වෙනස් කරන ලෙසය. ඒ ලිපිය 2022 ජූලි 28 වැනිදා ලංකා ගල් අඟුරු සමාගමට ලැබී තිබේ.

ලංසුකරුවන්ගේ ඉල්ලීම්වල රහස්‍යභාවය සුරැකිය යුතු බැවින් ඉහත ලිපි හුවමාරුව පිළිබඳව ඒ රැස්වීමේ දී සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවක් නොවූ බව අමාත්‍යාංශ ලේකම් සඳහන් කළත් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මත අමාත්‍යාංශ ලේකම්ගේ නිගමන සාධාරණීකරණය කළ නොහැකි බවද විගණකාධිපතිවරයා කියයි. අමාත්‍යංශ ලේකම් නිසි විචක්ෂණභාවයකින් සහ වෘත්තියමය භාවයකින් තොරව පිළිතුරු සපයන බව සඳහන් කරන විගණකාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම් නිරවද්‍ය නොවන සහ තහවුරු කළ නොහැකි තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙන බව සිය විගණන විමර්ශනයේ දී අනාවරණය වූ බව ද හෙළි කරයි.

ගුණසිංහ හේරත්



අදහස් (0)

කෝටි පනස්දාහේ ගල්අඟුරු ටෙන්ඩරය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3851 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3726 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 11148 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1874 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 627 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 775 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site