IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අනාගතය වෙනස් කරන පරිවර්තනයක්

බුද්ධ චරිතයෙන් අප ඉගෙන ගෙන ඇති පාඩමක් තිබේ. ඉතාම සැප හෝ අධික දුක සත්‍යාවබෝධයට මාර්ගය නොවේ.  සැප නොවන නමුත් හොඳ කලදවසක් ගතකරමින් සිටියේය. කොවිඩ් වසංගතයෙහි ප්‍රතිඵලයක් වශයෙන් රට ඉතාම දුෂ්කර තැනකය. ඉතිහාසයේ සිට සියලු ආණ්ඩුවල වැරදි කළමනාකරණ තීරණ, ගැටලු උග්‍ර කර තිබේ. ජීවත්වීම ඉතාම අපහසුය. බලවත් පීඩනයකය. ව්‍යවහාරයට අනුව, අඩු ආදායමක් ලබන ජන කොටස් ‘කබලෙන් - ළිපට’ වැටී තිබේ. මෙතැනින් ඔබ්බට පැවැත්ම අවිනිශ්චිතය. බලාපොරොත්තු රහිත, සිහින දකින්නේ නැති සමාජයක් බලගැන්වීම පහසු නැත.

වත්මන් ආණ්ඩුව බලයට පත් කරන මහජනතාව විශාල වෙනසක් අපේක්ෂා කළහ. පරිවර්තන වැඩපිළිවෙළක් තුළින් දූ දරුවන්ට සැනසිලිදායක රටක් ගොඩනැගෙනු ඇතැයි බලා සිටියේය. දැන් පවතින ව්‍යුහය එකී ඉලක්ක වඩා සංකීර්ණ තැනකට කැඳවා ඇත. ප්‍රමාද නොකර ගැනෙන, තීරණවලින් ශ්‍රී ලංකාවේ ස්වභාවය උසස් තැනකට වෙනස් කළ හැකිය.

 

මුහුණ පා ඇති අර්බුදය ගැන යමක්

ශ්‍රී ලංකාවේ ජාතික ආදායම අඩු වී තිබේ. වියදම ඉහළ නැග ඇත. රජයේ සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා වසරකට රුපියල් ට්‍රිලියනය ඉක්මවන මුදලක් අවශ්‍යය. එය මෙරට ජාතික ආදායමෙන් සියයට අසූවක පමණ කොටසකි.

ආදායමෙන් සියයට හැත්තෑවකට වඩා ලබා ගෙන ඇති දෙස් විදෙස් ණය සඳහා පොලිය ගෙවන්නට වැය කරයි. පොලිය හා වැටුප් ගෙවන්නට පවා ආදායම නැති රටක පැවැත්ම සතුටුදායකද? මතුපිටින් පැහැපත්ව තිබෙන නමුත් ඇතුලත නරක් වෙමින් පවතින පලතුරක් හා සමානය. ප්‍රතිකර්මයක් නොකළහොත් ප්‍රයෝජනයකට ගත නොහැකිය. අකමැත්තෙන් නමුත් අනවශ්‍ය කොටස් ඉවත් කරන්නට සිදුව තිබේ. දරුණු ආර්ථික කුණාටුවකට හසු වූ කුඩා නැවක් බේරා ගැනීමට කළ හැකි කුමක්ද? එහි ගමන් කරන මගීන් හැර අනෙක් සියලු දේ පවා මුහුදට හෙළා බර අඩු කරගත යුතුය.

කපිතාන්වරයාට තීරණ ගැනීමට බලය තිබේ. ඔහු වටා එකතුවන සියලුම නැවියන්ට එකිනෙකට වෙනස්, පරස්පර අදහස් තිබෙන්නට බැරි නැත. කුණාටුව එපමණ බරපතළ නැති බව කියන අතර අවට ඇති බලවත් නෞකාවක පවා පිහිටක් අවශ්‍ය නැති බව කියන්නට ඉඩ තිබේ. විපතකට මුහුණ දෙන විට මේවා සලකා බැලිය යුතුය.

රට තුළ ඉහළ උද්ධමන අනුපාතිකයක් පවතී. විදේශ විනිමය හිඟය. අත්‍යවශ්‍ය මිල දී ගැනීම්වලට පවා වත්කම් නැති බව රහසක් නොවේ. සෞඛ්‍ය, ආරක්ෂාව, අධ්‍යාපනය, ප්‍රවාහනය ඇතුළු අත්‍යවශ්‍ය සේවා කරගෙන යන්නේ කෙසේද?

සහනාධාර බව දක්වා යුක්රේනයේ බාල පොහොර ගෙන්වා ගොවියන්ට සැපයීය. පොහොසත් වූයේ යුක්රේනයයි. ගොවීහු දුක් විඳිති. නිෂ්පාදනය අඩාලවී, භාණ්ඩ හිඟය තුළ මෙරට ආර්ථිකයේ තරම පෙන්වයි. 

ඉල්ලුම සපුරන තරමට සැපයුමක් නැති අතර එය බඩු මිල ඉහළ නංවන හේතුවක් වී ඇත. විනිමය උත්පාදනය කරන අංශ දුබල වී තිබේ. ශ්‍රී ලංකාවට විනිමය ලැබුණ ප්‍රධාන මාර්ග තුනකි. විදේශ රැකියා, සංචාරක පැමිණීම සහ ඇඟලුම් අපනයනයයි. මෙකී ක්ෂේත්‍රවලින් රටට ලැබුණ විනිමය සීමා වී ඇත. සංචාරක පැමිණීම අඩුය. තේ, රබර් පොල් හා සුළු අපනයන බෝග ඇතුළු අංශවලින් ලැබුණ විදේශ ආදායම ද පහත වැටී තිබේ. කොටස් වෙළඳපොළ හා සෘජු විදේශ ආයෝජන ද අපේක්ෂා කළ තැනක නැත. තොරතුරු තාක්ෂණ අංශයෙහි දියුණුවෙන් වාසි ලබාගත හැකිය. එහෙත් අලුත් ප්‍රවේශයක් සඳහා ආයෝජනය අවශ්‍යය. අලුත් ආයෝජන අවහිර කරන පිරිස විනිමය ප්‍රශ්න ගැන නොසලකන්නේ ඇයි?

 කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය අපේක්ෂිත ඉලක්කය කරා ගියේ නම් රටට තවත් අවස්ථා ලැබේ. පටු දේශපාලන සටන් පාඨ රට අභාග්‍ය සම්පන්න තැනකට පත් කර තිබේ. අවස්ථා අහිමි කිරීමෙන් රට විනාශවීම තුළ බහුතර ජනතාව ඉතාම දුඛිත තැනකට පත්ව සිටී.

අභාග්‍යයෙන් සෞභාග්‍ය කරා ගමන

ලස්සන වචනවලින් ලියන ලද ප්‍රතිපත්ති ප්‍රකාශන, සෑම ආණ්ඩුවක්ම ජනතාව හමුවේ තබා තිබේ. නිවැරදි සැලැස්මක් තිබුණි නම් අද ශ්‍රී ලංකාව සුරපුරයකි. මානව සම්පත ඉතාම වටිනා ආයෝජනය බව පෙන්වා දිය යුතුය. එතෙක් මෙතෙක් අනුගමනය කරන ලද අසාර්ථක ක්‍රම අවසානයේ සිදුවී ඇත්තේ කුමක්ද? දක්ෂතම පිරිස රටට අහිමි වී ඇත. විදේශ රැකියා සඳහා යන පිරිස වෙනත් රටවල් පොහොසත් කරති. එතැනින් වැටුපක් ලබා ආපසු පැමිණෙති. බහුතරයක් තරුණ පිරිස ගේ එකම අභිප්‍රාය ලෝකයේ වෙනත් රටකට පැන ගොස් ජීවත්වීමය. දක්ෂ පිරිසක් අහිමි සමාජයකින් විශිෂ්ටතම ප්‍රතිඵල අපේක්ෂා කිරීම විහිළුවකි. ජන සමාජයේ විශාල කොටසක සමාජ ගෝලීයකරණයේ වාසි අත් විඳ ඇත. විවෘත ආර්ථික ක්‍රමයේ වාසි හා අවාසි හඳුනයි. වෙළඳපොළ තරගකාරීත්වයෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අත්දැකීම් ඇත.

වෙනත් රටක සිදුවන සැබෑ සංවර්ධනය සියැසින් දැක ඇති පිරිස මිලියන ගණනකි. එම පිරිස ගේ පවුල්වල සාමාජිකයන් පවා අත්දැකීම් බෙදා හදා ගෙන ඇත. ශ්‍රී ලංකාව ද එවැනි තැනකට ඔසවා තබන්නට ඉඩ නොදෙන්නේ ඇයි? ඉතාම නරක දේශපාලන න්‍යාය පත්‍ර රට විනාශ කරා කැඳවා තිබේ. විශාල ජන වරමකින් බලයට පත් නායකයන්ට නිසි තීන්දු ගන්නට  ඉඩ දෙන්නේ නැත. ගෝඨාභය රාජපක්ෂ මහතා ද එම උගුලට හසු වී ඇත.

මහින්ද රාජපක්ෂ මහතා ගැන රටට ප්‍රසාදයක් ඇති හේතුව කුමක්ද? ඔහු වසර තිහක් පීඩා විඳි ත්‍රස්තවාදය අවසන් කළේය. හොඳින් කියා අහන්නේ නැති ත්‍රස්තවාදීන් අවි බලයෙන් පරාජය කළේය. ඔහුගේ තීන්දු වලට එල්ල වූ චෝදනා අප අමතක කළ යුතු නැත. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය තුළ නැගුණු කර්කශ විවේචන ඔහුගේ අභිප්‍රාය පරාජය කරන්නට උත්සාහ කළේය. සමත් වූයේ නැත. ජාත්‍යන්තර ප්‍රජාව කරන ලද බලපෑම් පවා නොසලකා ඉදිරියට ගියේය. මිතුරු රටවල සහාය ලබාගත් අතර තීරණ ගැනීම සඳහා ආරක්ෂක අංශවල චිත්ත ධෛර්ය ඇති කළේය. සඟ, වෙද, ගුරු, ගොවි හා කම්කරු යන පංච මහා බලවේගය පමණක් නොව තාක්ෂණය ද පිරිවරා ගෙන එක ඉලක්කයකට ගමන් කළේය.

මහින්ද රාජපක්‍ෂ යනු මෙරට නිදහසින් පසු ඉතිහාසයේ එක පරිච්ඡේදයකි. ආර්ථිකයට ද එයින් පිටස්තර ගමනක්  නැත. දරුණු යුද්ධයක් කරන්නට සිදුවී තිබේ. කැපවීමක් කළ යුතුය.

දුෂ්කර ක්‍රියාවකින් තොරව නිර්වාණය කරා යා නොහැකිය. පැළයක් සිටුවා, රැකබලා ගන්නට සිදුවේ. මිහිරි ඵලයක් ලැබෙන්නේ අපට නොවේ. මතු පරම්පරාවටය. අතීතයේ තීරණ ගත් රටවල් අද සතුටින් අභිමානයෙන් සිටී. ලැබෙන දෙයක් වෙනුවෙන් බලා සිටි රටවල් අදත් ලෝක ආර්ථිකයේ පහළ තැනෙකය. දූෂණය, අකාර්යක්ෂමතාව, අල්ලස්, කොමිස් හෝ නිලධාරීවාදය ඇතුළු දහසකුත් එකක් චෝදනා, විවේචන හා බලපෑම් මැද තීරණ ගත යුතුය. අලුත් අවස්ථා උදා කරගන්නට සිදුවෙයි. පවතින නරක අතු ඉති කපා ප්‍රතිසංස්කරණ අවශ්‍යය. වේදනාවක් ඇතිවෙයි. විරුද්ධවාදීන්ගේ ගැරහුම්වලට ලක් වනු ඇත. න්‍යාය පත්‍රය අවහිර කරන දෙස් විදෙස් බලවේගවලට උත්තර සැපයීම පසෙක තබා තමන් බලයට පත් කරන ලද ජනතාව වෙනුවෙන් සේවය කරන්නට මෙරට මහජන නියෝජිතයන්ට බරපතළ වගකීමක් තිබේ. එය ප්‍රමාද කළ යුතු නැත. අභාග්‍යයෙන් සෞභාග්‍යට යන ගමන තවත් යුද්ධයකට සමානය.

අද තීරණයක් ගතහොත් අනාගතයේ ප්‍රතිඵල

සංවර්ධනය සඳහා විවිධ රටවල සහ ආයතනවල සහාය අවශ්‍යය. ශ්‍රී ලංකාවේ විනිමය සංචිතය අන්තිම දරුණු තැනට වැටී ඇත. රටට අවශ්‍ය මූලික දේ ආනයනය කරන්නට පවා ධනය නැති අවස්ථාවක එකිනෙකාට චෝදනා කරමින් අවුල් ඇති කරගැනීම සුදුසු නැත. ආබාධයකට ප්‍රතිකාර ලබා ගත යුතු මුල් අවස්ථාවේ දීය. ආර්ථික දේහය තුළ පිළිකාවක ලකුණු පහළ වූ විට, තාක්ෂණික යුගයක පසුවන අප ගොඩ වෙදකම් කිරීම අනුචිතය. එතැනින්, මෙතැනින් බෙහෙත් ගෙන එහෙම ආබාධයක් නැතැයි හිත හදාගත හැකි නමුත්, දැන් පිළිකාව ප්‍රධාන අවයව පුරා පැතිරී හමාරය.

කාර්මික හා කෘෂිකාර්මික අංශවල සුළු පිරිසක් නඩත්තු කරන්නට සෑම දෙනාම බදු ගෙවන තැනට පත්ව තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය, ඛනිජ තෙල්, විදුලිය, ප්‍රවාහනය, තැපැල් ඇතුළු මර්මස්ථාන ඉතාම දුර්වලය. 

අඩියක් ඔසවා අඩියක් තබන්නට හැකියාවක් නැත. ආසන්න වෛද්‍යවරයකු ගේ ප්‍රතිකාරවලින් කිසිම පලක් නැති තත්ත්වයක් උදා වී තිබේ. සියුම් සැත්කමක් කළ යුතුය. තැනින් තැනින් ලැබෙන සුළු ආධාර උපකාර තෙල් බෙහෙත් සාත්තුවකි. සමහරවිට හොඳ වෙන්නට ඉඩ ඇත. නරකකින් නරකම තැනකට වැටෙන්නට ද බැරි නැත. ලෝකයේ නොයෙක් රටවල් ආර්ථික දුබලතාවලට පත්ව ඇත. රට විනාශ වන බවට ප්‍රතිවිරුද්ධ දේශපාලනඥයෝ චෝදනා කරති. කිසිම රටක් ආර්ථික අතින් විනාශ වී ලෝක සිතියමෙන් මැකී  නැත.

අන්තිම අභාග්‍ය සම්පන්න තැනකට වැටුණ නමුත් අතිශය දුෂ්කර ප්‍රතිසංස්කරණවලින් පසු නැවත නිසි මගට පැමිණ තිබේ. බ්‍රසීලය, වියට්නාමය, දෙවන ලෝක යුද්ධයෙන් විනාශ වූ ජපානය, නැගෙනහිර ආසියානු අර්බුදයෙන් පීඩාවට පත් වූ මැලේසියාව, තායිලන්තය හා තායිවානය වැනි රටවල් ගැන පුන පුනා කරුණු කියන්නට අවශ්‍ය නැත. ආර්ජන්ටිනාව හා ග්‍රීසිය දැන් ලබා ගෙන ඇති දියුණුව ගැන නොදන්නා පිරිස් නැත.

ආයතනික සහාය ගැන මතු කරන පරස්පරතා

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව හෝ වෙනත් ආයතනවලින් ණය ගැනීම ගැන රට තුළ පවතින මතය ද සුදුසු නැත. සාමාන්‍ය ජීවිතයේ දී පවා ණය ගන්නා ආකාර තිබේ.

වාණිජ බැංකුවකින් අඩු පොලියකට ණය ලබා ගත හැකිය. එහි දී එම ණය ආපසු අය කරගන්නා ආකාරය ගැන බැංකු නිලධාරීහු සොයා බලති. ආදායම් හා වියදම් වාර්තා සලකා බලා අනවශ්‍ය වියදම්, පාලනය කරන අතර අලුත් ධනය උත්පාදනය කරන මාර්ග ගැන උපදෙස් සපයයි. ගමේ ගිනි පොලී මුදලාලිගෙන් ණය ගැනීමේ දී එහෙම උපදෙසක් ලැබෙන්නේ නැත. 

සමහර අවස්ථාවල ඉලයට ඇන, ‘ඔය කන බොන එක ටිකක් අඩුකරපං’  කියා සුළු උපදෙසක් දෙන නමුත් ‘ඔන්න නොකිව්වැයි කියන්නෙපා වෙලාවට පොලිය ගෙවපං’ කියා අවවාද කරයි. ශ්‍රී ලංකාව ඉඩමක් උකස්කර හෝ බැංකුවෙන් ණයක් ගෙන සංවර්ධනය ගැන කල්පනා නොකරන රටකි. වැඩි පොලියකට ණය ගෙන ඒවායේ වාරිකයත් පොලියත් ගෙවන බව මහත් ආඩම්බරයෙන් ප්‍රකාශ කරමින් සිටී. කඩා වැටී ඇති නිවසේ පැත්තත් හොඳින් හදා කුලියට දී අලුත් ආදායමක් ගන්නා පිළිවෙළක්, පැරණි යන්ත්‍ර සූත්‍ර වෙනුවට අලුත් පරිගණකයක් ගෙන වැඩ පහසු කරන ක්‍රමයක් ගැන තකන්නේ නැත. එවැනි උපදෙස් මාරාන්තික බවට මතයක් සමාජය තුළ ඇති කර තිබේ. 

ශ්‍රී ලංකාව දැනට දහසය වතාවකට වඩා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගෙන ඇත. එහි උපදෙස් හා කොන්දේසි තිබේ. පොලිය අවුරුද්දකට සියයට දශම ගණනකි. ලබාගන්නා තාවකාලික ණය සංචිත උපයෝගී කරගෙන අලුත් ව්‍යාපෘති ආරම්භ කළ හැකිය. එවැනි දේ වලට යොමු නොවුණ මෙරට නායකයෝ ලබාගන්නා ණයවලින් වැඩි කොටසක් සහනාධාර හා දේශපාලන ව්‍යාපෘතිවලට වැය කළෝය. එම ධනය අහවරවන විට සියයට 6-7 අතර වාර්ෂික පොලියකට ජාත්‍යන්තර වාණිජ ණය ගෙන තිබේ. 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් තාවකාලික ණය සංචිතයක් ලබාගත හැකිව තිබුණ අවස්ථාව ප්‍රමාද කිරීමෙන් විශාල වන්දියක් ගෙවා තිබේ. ණය සංචිතයක් ලබාගතහොත් දැනට ඇති ණය ප්‍රතිව්‍යුහගත කළ හැකිය. සම්පූර්ණ ණය ගෙවා බංකොලොත්වීමට වඩා ගෙවිය හැකි තරම ගැන එකඟවීම සුදුසුය. මුල්‍ය අරමුදලේ සහාය ලබාගතහොත් ජාත්‍යන්තර විශ්වාසය ඇති වෙයි. වෙනත් රටවල සහ ආයතනික ණයවල පවා වෙනස්කම් ඇතිකරගෙන පහසු තැනකට පත් විය හැකිය.

ශ්‍රී ලංකාවට ද ගමනක් තිබේ. පළමුවෙන් මූලික රාමුව හදා ගත යුතුය. ප්‍රතිසංස්කරණ අවශ්‍යය. විශේෂඥ සහාය අවශ්‍යම සාධකයකි. 
තමිල්නාඩුවේ බලය ලබාගත් එම්. කේ. ස්ටාලින් මහ ඇමැතිවරයා නොබෙල් සම්මාන දිනූ ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයන් ඇතුළු පස් දෙනකුගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් පත් කර ගෙන ඇත. තමිල්නාඩු දේශපාලනය ගැන අපට මතයක් තිබේ. එහෙත් ආර්ථික ක්‍රමය ගැන එකඟවිය හැකිය. 

ඉන්දියාවේ සංවර්ධනය තුළ තමිල්නාඩු ප්‍රාන්තය දැවැන්ත බලවේගයකි. අද පවතින අර්බුදය තුළ වෛද්‍යවරුන් ගේ සමත්කම් හා සුවපත් වූ රෝගීන් ගැන අත්දැකීම් සොයන අවස්ථාවක් නැත. වහාම අලුත් ප්‍රතිකාරවලට යා යුතුය. එවැනි තීරණවලට යා යුතු බවට බලකළ යුතු ආණ්ඩුවට හෝ ආණ්ඩුවේ නායකයන්ට නොවේ. මෙරට පොදු ජනතාව යථා තත්ත්වය හඳුනාගත යුතු අතර නිසි වෙනස්කම් වහාම කරන සේ නායකයන්ට බල කළ යුතුය. රට ගොඩනගන පියවර සඳහා අද ගැනෙන තීරණයක පවා ප්‍රතිඵල ලැබෙන්නට අවම වශයෙන් අවුරුද්දක් දෙකක් කල් ගත වෙයි. ප්‍රමාද වන කාලයක් පාසා තවත් කටුක අත්දැකීම් විඳින්නට සිදුවේ.

ආණ්ඩුව හා විපක්ෂයටත් ආකල්ප වෙනසක්

ශ්‍රී ලංකාව දුප්පත් රටක් නොවේ. ආහාර හිඟයෙන් ජනතාව මිය යන්නේ නැත. පියවරෙන් පියවර ඉදිරියට පැමිණ ඇති ජන සමාජය සහනාධාර ක්‍රමයෙන් ඔබ්බට ගෙන යාම නායකයන්ගේ වගකීමකි. ජනතාවට හොඳ පැවැත්මක් අවශ්‍යය. දරුවන්ට උසස් අධ්‍යාපනය, හොඳ ප්‍රවාහන සේවාවක් සහ යහපත් සෞඛ්‍ය පහසුකම් උවමනා කර තිබේ. හොඳ පාසලක් සොයා ගැනීම ප්‍රශ්නයක් වන විට ජනතාව තුළ ක්‍රමය ගැන වෛරයක් ඇති වෙයි. 

උදේ හවස වැඩට යන්නට බලවත් දුෂ්කරතාවක් අත්විඳින විට පොදු ප්‍රවාහනය ගැන කනස්සල්ලට පත්වෙයි. වාහනයක් මිලදී ගන්නට බාධා කරනවිට අසාධාරණය ගැන කතා කරන්නට පටන් ගනී. දේශපාලනඥයන්ගේ සුඛෝපභෝගී වාහන, ප්‍රභූ පැවැත්ම සලකනවිට ක්‍රමය ගැන පිළිකුලක් ඇති වෙයි. රෝහලකට බෙහෙත් ගන්නට ගිය විට අප්‍රමාණ දුෂ්කරතාය. කාලය සහ හිරිහැරය අසීමිතය. ජීවිතය ගැන බලාපොරොත්තු අත්හරිමින් ජීවත්වන පිරිස ද සුළු පටු නැත. හදිසි සැත්කමක් කරගන්නටත් අවශ්‍ය උපකරණ සහ උපාංග බාහිරව මිලදී ගන්නට සිදුවෙයි. වරප්‍රසාද සහිත සමාජයට මෙම ප්‍රශ්න නැත.  

මෙම රාමුව වෙනස් කළ යුතුය. ආණ්ඩුව පමණක් නොව විපක්ෂ දේශපාලන පක්ෂ පවා ආකල්ප වෙනසකට යා යුතුව ඇත. රට තුළ නැගෙන විරෝධය විශාල ජනමතයක් ඇති කරන්නට කලින් එම බලය යහපත් ආර්ථික පුනරුදයක් කරා හරවා ගැනීම අවශ්‍යය. ජනතාව අනාගතය ඉල්ලා සිටින විට මෙරට ගතානුගතික දේශපාලනය කතා කරන්නේ එදා වේල ගැනය. 

සමාජ, ආර්ථික ව්‍යුහය තුළ බරපතළ වෙනස්කම් අවශ්‍යය. ආර්ථිකය සරල සහ කාර්යක්ෂම එකක් කරන්නට අවශ්‍යය. දෙස් විදෙස් ආයෝජන වැඩිකරන පසු බිමක් ඇති කළ යුතුය. එයින් ව්‍යවසායකත්වය වර්ධනය වෙයි. එමගින් නිෂ්පාදනයක් කෙරේ. උසස් ප්‍රමිතියකින් නිපදවන භාණ්ඩ පිටරට යවා විනිමය උත්පාදනය කරගත යුතුය. ක්‍රමය තුළ තරගකාරීත්වය ඇති කරන්නට අවශ්‍ය වන අතර ගෝලීයකරණයේ අභියෝගවලට මුහුණ දීමට සමාජය හුරු කරන වගකීමක් තිබේ.

යුක්තිගරුක අවස්ථා සියලු දෙනාටම ඇති බව තහවුරු විය යුතුය. නිසි ප්‍රතිපත්ති සම්පාදනය කර නීතිය සහ විධිවිධාන ක්‍රියාත්මක කරන විට ආර්ථිකයේ ප්‍රතිවිප්ලවයට ජනතාව සම්බන්ධ වන බව විශ්වාසයක් ඇති වෙයි. ඇතැම් දේශපාලනඥයන් යෝජනා කරන අදහස් අනුව, හුදෙකලා ගමනක් යන්නට උත්සාහ කළහොත් නැවතත් ඇති වන්නේ අක්‍රීය ආර්ථිකයකි. 

රට තුළින් නිපදවන දේ පමණක් පරිභෝජනය කරන ලෙස මැදි ආදායම් සමාජයට බල කිරීම ප්‍රායෝගික නැත. තත්ත්වයෙන් උසස් හොඳ නිෂ්පාදන මිලදී ගන්නට කැමැති සමාජයක් ආපසු මිරිස් නැතිව හොදි කන්නම් - සීනි නැතිව තේ බොන්නම් කියූ යුගයට හැරවිය නොහැකිය.

රටට අවශ්‍ය  කරන ප්‍රතිසංස්කරණ වෙනුවෙන්, අවංක ජනමතයක් ගොඩනගා ගැනීම අවශ්‍යය. ආණ්ඩු පෙරැළීම වෙනුවට, ආකල්ප වෙනසකින් ජන මත අලුත් කරන බලවේගයක් තිබිය යුතුය. ජන සමාජය තුළම සමාජ ආර්ථික සහ දේශපාලන විප්ලවය සිදුවිය යුතුය. එය කළ හැක්කේ ආගමික නායකයන්, රටට ආදරය කරන විද්වතුන් සහ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන් පටු පරමාර්ථවලින් තොරව කැපවී ක්‍රියාකරන පසුබිමක් තුළ පමණකි. 

මේ ගැන ඔබගේ අදහස [email protected] මගින් සංවාදයට යොමු කළ හැකිය.

මිලින්ද මොරගොඩ විසිනි



අදහස් (1)

අනාගතය වෙනස් කරන පරිවර්තනයක්

Chaminda crishantha Tuesday, 23 November 2021 06:48 PM

දිගටම ලියන්න ලංකාවේ විවිධ ආණ්ඩු ණය ලබාගත් අාකාරයන් හා එ්වා පාවිච්චි කළ තත්වයන් පැහැදිලි කරන්න පුළුවන්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3849 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3723 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 10961 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1860 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 622 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 772 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site