IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අභ්‍යවකාශයේ සංචාරය කළ මුල්ම කෝටිපතියාගේ ව්‍යාපාර ජාලය

ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි 

  • පසුගියදා අභ්‍යවකාශ චාරිකාවක් ගොස් ආපසු ආවේ මේ රිචඩ් බ්‍රැන්සන්ය
  • ෆෝබ්ස් සඟරාව මෙම වසරේදී ඔහුගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 5.4ක් ලෙස වාර්තා කර ඇත. දූපත් පවා ඔහුට අයත්.

 නෙකර් දූපත ගැන ඔබ අසා තිබේද? මෙය හෙක්ටයාර තිහකින් හෙවත් අක්කර 74කින් පමණ සමන්විත වන අතර කැරිබියානු මුහුදු කලාපයේ පිහිටි මෙම දූපත අයත් වන්නේ ‘රිචඩ් බ්‍රැන්සන්’ හටය. එය ඔහු සතු දූපත් අතරට අයත්වූ තවත් දූපතකි. මෙම නෙකර් අයිලන්ඩ් ඇතුළු තවත් පුංචි පුංචි දූපත් අයත් වන්නේ ‘බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ්ස්’ සමාගමටය. සර් රිචඩ් බ්‍රැන්සන් යනු බ්‍රිටිෂ් වර්ජින් දූපත් අයත් ප්‍රකෝටිපති චරිතය වේ. මෙම සර් රිචඩ් බ්‍රැන්සන් යනු විවිධ අංශවලට පැතිරී ගිය සමාගම් ගණනාවක් අයත් වර්ජින් ගෲප්හි නිර්මාතෘවරයාය. 


වර්ජින් ගෲප් ව්‍යාපාරය ඔහු ආරම්භ කළේ 1970දී පමණ වන අතර අද වනවිට එය විවිධ අංශවලට විහිදී පැතිරී ගිය සමාගම් සමූහයකින් සමන්විත බහුවිද මහා පරිමාණ සමාගමකි. ‘වර්ජින්’ නාමය යටතේ ඇති සමාගම් හාරසියයකට වඩා වැඩිය. ඒ අනුව මේ රිචඩ් බ්‍රැන්සන් මොන තරම් නම් සල්ලිකාරයෙක්ද යන වග අමුතුවෙන් කිව යුතු නොවේ. මේ කියන රිචඩ් බ්‍රැන්සන් ගැන ලෝකයම අද දවසේ කතා වන්නේ ‘අභ්‍යවකාශයට’ ගොස් නැවත ආ නිසාවෙනි. ලෝකයේ මහා ධනවතුන්ට මේ දිනවල අභ්‍යවකාශයට යාමේ මහත් උනන්දුවක් ඇති වග කිව හැකිය. ඊට හේතුව අභ්‍යවකාශ ගමන් සඳහා පහසුකම් දැන් විවර වී ඇති නිසාය. සර් රිචඩ් බ්‍රැන්සන් සතු සමාගමක් වන වර්ජින් අත්ලාන්තික් යනු ‘ගුවන් ගමන්’ සඳහා විවර වී ඇති අංශයකි. ඔහු අභ්‍යවකාශයට ගියේ කො​හොමද? ඒ වගේම ඔහු සතු වර්ජින් ව්‍යාපාර සමූහය මොන වගේද? ප්‍රකට සමාගම් ලොව දිනු හැටි විශේෂාංගය අද හැඩගැන්වෙන්නේ මෙම සර් රිචඩ් බ්‍රැන්සන් සහ ඔහු සතු ‘වර්ජින් ගෲප්’ ව්‍යාපාරයේ විස්තර වෙතිනි.   


කවුද මේ රිචඩ් බ්‍රැන්සන්?   


ඉංග්‍රීසි ජාතික ව්‍යවසායකයකු, ආයෝජකයකු, ගත්කතුවරයකු, ස්වාධීන ගගනගාමියකු (වාණිජ) මෙන්ම විවිධ අංශවලට අයත්ව කටයුතු කරන මේ රිචඩ් බ්‍රැන්සන් යනු ලෝක ව්‍යාපාරික ප්‍රජාවට මෙන්ම ලෝකයේ බොහෝ දෙනාට අමුත්තෙකු නම් නෙවෙයි. ලෝක ප්‍රකට වර්ජින් ගෲප් (virgin group) සමූහයේ නිර්මාතෘවරයා ඔහු වීම ඊට හේතුවය. ව්‍යාපාරික ක්ෂේත්‍රයට කළ මෙහෙවර අගැයීම වෙනුවෙන් 2000දී පමණ බකිංහැම් මාළිගය ඔහුට නයිට් නාමය පුද කරන ලද්දේය. රිචඩ් බ්‍රැන්සන් උපත ලැබුවේ 1950 ජූලි 18 වැනිදා ලන්ඩනයේ බ්ලැක්හීත්හිදීය. බ්‍රිතාන්‍ය ජාතික මේ සාඩම්බර මිනිසාගේ සම්පූර්ණ නාමය වන්නේ රිචඩ් චාල්ස් නිකොලස් බ්‍රැන්සන්ය. බැලේ නර්තන ශිල්පිනියක, ගුවන් සේවිකාවක, සමාජ සේවිකාවක, ළමා සුබසාධනය සඳහා කැපවී ක්‍රියා කළ චරිතයක වූ ඉවෙට් හන්ට්ලි ෆ්ලින්ඩ්ට් හෙවත් නැසීගිය ඊව් බ්‍රැන්සන් මේ ‘රිචඩ්’ගේ මවය. නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකුව සිටි එනම් බැරිස්ටර්වරයකුව සිටි එඩ්වඩ් ජේම්ස් බ්‍රැන්සන්, ඔහුගේ පියාය. රිචඩ් බ්‍රැන්සන්ගේ සීයා, මහාධිකරණයේ විනිසුරුවරයකු විය. රිච්ඩ් හට බාල සහෝදරියන් දෙදෙනෙකි. ලින්ඩ් බ්‍රැන්සන් සහ වැනේසා බ්‍රැන්සන් යනු ඒ දෙදෙනාය. ලෝකයම වගේ දන්නා මේ රිචඩ් බ්‍රැන්සන්ගේ පරපුර ගැන කියන්නට ගියොත් එය වෙනමම කතාවක් ලෙස ලිවීමට තරම් කරුණු කාරණා රැසක් තිබේ. එහෙත් එච්චර දුරකට නොගොස් අපි මේ බ්‍රැන්සන්ගේ ජීවිතය දිහා පමණක් එබිකම් කර බලමු.   


වයස අවුරුදු 16 දක්වා ලන්ඩන් කලාපයේ වූ පාසල් කීපයකින් අධ්‍යපනය ලැබූ බ්‍රැන්සන්. ඉගෙනීමට එතරම්ම දක්ෂතා පෙන්වූවකු නොවුණි. ඒ හැරත් සාමාන්‍ය බුද්ධියට බලනොපෑවද වචන සහ අකුරු මෙන්ම සංකේත කියවීම මෙන්ම එහිඅරුත කීමට ඔහු අපොහොසත් විය. ඩිස්ලෙක්ෂියා (Dyslexia) යන රෝගී තත්ත්වයෙන් පෙළීම ඊට හේතුව විය. ඔහුගේ පාසල් දිවියේ අවසන් දින පාසලේ විදුහල්පතිවරයා හරි අපූරු දෙයක් කීවේය.  


‘‘එක්කෝ මෙයාගෙ ගමන නතර වෙන්නෙ හිරගෙදරක. එහෙම නැතිනම් මෙයා ප්‍රකෝටිපතියකු වෙනවා’’ 

 
හෙට ලොවට රජුන් තනන්නේ වෙන කවුරුවත් නොවේ. ගුරුවරයෝය. බලන්න, එදා පාසලේ විදුහල්පතිවරයා බ්‍රැන්සන් ශිෂ්‍යාගේ අනාගතය දුටු හැටි? විටෙක එය හරි පුදුමයි නේද?   


පාසල් ජීවිතයට සමුදී සිටි රිචඩ් බ්‍රැන්සන් හට කුමක් හෝ ව්‍යාපාරයක් කිරීමේ ආසාව ඇතිවුණේ ඔහුගේ අම්මා නිසාය. අත්පිසිනා කොළ හෙවත් ‘ටිෂූ’ බහාලන ලී පෙට්ටි සෑදීමේ ව්‍යාපාරයක් ඔහුගේ මව සතුව තිබිණි. එය ඉතා සාර්ථක ව්‍යාපාරයක් විය. ඔහුගේ ව්‍යාපාරික ගමනට මුල් වූයේ මවගෙන් ලද ඒ ආභාසය යැයි සඳහන් වේ. 

 
රිචඩ් බ්‍රැන්සන් නත්තල් සමයේදී නිවෙස්වල භාවිත කරන නත්තල් සැරසිලි සහිත ගස් සහ ලව් බර්ඩ්ස් (budgerigars) කුරුල්ලන් විකිණීමේ ව්‍යාපාරයක් මුලදී පටන් ගත්තද, එය ආසාර්ථක විණි. එලෙසින් වූ අසාර්ථක ව්‍යාපාරික ගමනකින් ඇරඹි ඔහු එම ව්‍යාපාරවලට සමුදී ‘සඟරාවක්’ පටන් ගත් අතර එය ස්ටුඩන්ට් (ශිෂ්‍යයා) ලෙස නම් කර තිබිණි. එවර ඔහුට වාසනාව ළඟා කර දුන් බව සඳහන් කළ හැකිය. එනිසා 1969 පමණ වනවිට ඔහු පවුම් 50,000ක් පමණ උපයා ගෙන තිබිණි. කෙසේ වුවද එය මත පමණක් පිහිටා ව්‍යාපාරය සාර්ථක නොවීය. සංගීත තැටි නිෂ්පාදන ආයතනයක් ඇරඹුවේ මේ අතරේදීය. ජනප්‍රිය වන සංගීත ඇල්බම් සඳහා ‘ස්ටුඩන්ට්’ සඟරාව හරහා ප්‍රචාරයක් ලබාදීමට ඔහු පියවර ගෙන සිටියේය. එපමණක් ද නොවී සඟරාව වෙනුවෙන් ගායන ලෝකයේ තරු සමග සාකච්ඡා කොට ඒවා පළ කළේද බ්‍රැන්සන්මය.   


1971 දී පමණ ලන්ඩනයේ ඔක්ස්ෆර්ඩ් වීදියේ සංගීත තැටි අලෙවි කිරීමේ ෂොප් එකක් පටන් ගත්තේය. නමුත් එහිදී සිදුවූයේ බදු ගෙවීම් අතපසු කළ නිසා පවුම් 70,000ක මුදලක් දඩ ගෙවීමට සිදුවීමය. එතරම් මුදල් ප්‍රමාණයක් නොතිබුණු බැවින් බ්‍රැන්සන්ගේ මව්පියන් පවුලේ නිවස උකසට තබා පුතුට උදව් කිරීමට ඉදිරිපත් වුණි.   

 


වැටීම්, අතරේ පසුබට නොවූ රිචඩ් බ්‍රැන්සන් සංගීත තැටි සහ ඇල්බම අලෙවි කරනා ව්‍යාපාරය දිගටම කරගෙන ගිය අතර ඊට නම් තබා තිබුණේ ‘වර්ජින් රෙකෝඩ්ස්’ යනුවෙනි. 1972 වනවිට එම ව්‍යාපාරය තවදුරටත් පුළුල් වූයේ නික් පවල් ද ආයෝජනයට එක්ව සිටි බැවිනි. ඒ අනුව හරියටම කිවහොත් ‘වර්ජින්’ නාමය යටතේ ව්‍යවසායක ගමනකට මුල පිරුවේ බ්‍රැන්සන් නික් පවල් සමග එක්වීමෙනි. ‘වර්ජින්’ යනු කන්‍යාවිය හෙවත් නිකැළැල් කාන්තාව ලෙස නම් කළ හැකිය. මේ නම ඔහුට ලැබුණේ ඔහුගේ සංගීත තැටි අලෙවි කළ සාප්පුවේ සිටි සේවකයකු කළ යෝජනාවකට අනුවය. මෙම සාප්පුවේ එදා සේවයට එක්ව සිටි සියලුම දෙනා එම විෂයයට අලුත් අය විය. එනිසා වර්ජින් යන නාමය කදිමට ගැලපෙන බව සේවකයකු කී නිසා එය යොදාගෙන තිබේ. එලෙසින් පටන් ගත් virgin (වර්ජින්) නාමය අද අභ්‍යවකාශයද අල්ලාගෙන හමාරය. විටෙක ආන්දෝලනයට තුඩු දුන් සෙක්ස් පිස්ටල්ස් නමින් සංගීත කණ්ඩායමක් සමග ගිවිසුම් ගතව සිටි වර්ජින් රෙකෝඩ්ස් පසුව ලෝක ප්‍රකට රෝලිං ස්ටොන්ස්, යු.බී. 40 ස්ටීව් වොන්ඩර්, පෝලා අබ්දුල් වැනි තරු සමග සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දේ කරමින් ඉපයූ ධනය බොහෝය. වර්ජින් ලේබලය යටතේ නිකුත් වූ සංගීත තැටි වෙතින් සහ එම අංශයෙන් 1979 වනවිට ආදායම පවුම් මිලියන 5ක් පමණ විය.   


වර්ජින් අත්ලාන්තික් ගුවන් සේවය Virgin Atlantic Airways   


අසූව දශකයේ මුල් භාගයේ එක්තරා දිනෙක කැරිබියානු දූපතක් වන පුවර්ටෝරිකෝ වෙත යාමට රිචඩ් බ්‍රැන්සන් ගුවන් තොටුපළට ආයේය. ‘පුවර්ටෝරිකෝ’ වෙත ගමන් ගැනීමට නියමිතව තිබූ යානය අද දින අවලංගු බව මගීන් කරුණාවෙන් සවන් දෙන්න. යන නිවේදනය ඔහුට අසන්නට ලැබිණි. කරුණාව කෙසේ වෙතත් රිචඩ් බ්‍රැන්සන්හට යකා නගින්නට ඇත. ඔහු වහාම චාටර් ෆ්ලයිට් එකක් හෙවත් ගුවන් සමාගමකට කතා කොට මුදල් ​ගෙවා පුද්ගලික ගුවන් යානයක් ගෙන්වා ගත්තේ ඔහු සමග පුවර්ටෝරිකෝ වෙත යාමට සිටි අනෙක් මගීන්ද සමග එහි යාමටය. ඔවුනගෙන් සාධරණ මුදලක් ඔහු ලබා ගත්තේය. මේ ගමන නිමවා නැවත පැමිණි රිචඩ් බ්‍රැන්සන්, 1984 දී වර්ජින් අත්ලාන්තික් ගුවන් සේවය සහ කාගෝ (cargo) සේවයද වර්ජින් හොලිඩේ (1985දී) පටන් ගත්තේය. ඒ ව්‍යාපාර හරහා සංචාරක ලෝකයට අලුත් මාවතක් විවර කරදීමට ඔහුට හැකිවිණි.   


වර්ජින් අත්ලාන්තික් ගුවන් සේවය සහ බ්‍රිතාන්‍යයේ ජාතික ගුවන් සේවය වන බ්‍රිටිෂ් එයාර්වේස් අතර කාලයක් නොහොඳ නෝක්කාඩු ඇතිවූයේ වර්ජින් අත්ලාන්තික් ගුවන් සේවය, බ්‍රිටිෂ් එයාවේස් වෙතදුන් කරට කර තරගය නිසාය.   

 

ඔහු සතු නෙකර් දූපත

 


ගුවන් සමාගමෙන් ඔබ්බට ගොස් දුම්රිය සේවාවක් ඇරඹීම   


‘රිචඩ් බ්‍රැන්සන්’ යනු ව්‍යවසායකත්වය ඔස්සේ ස්වාධීනව නැගී සිටි අපූර්වතම චරිතයකි. ගුවනද ජයගත් පසු ඔහු 1992දී ‘වර්ජින් ලේබල්’ කම්පැනි එක (සංගීත අංශයේ) එමි (EMI) ආයතනය වෙත පවුම් මිලියන 500කට විකුණා තිබේ. ඉනික්බිතිව නැවතත් 1996 දී v-2 (වී-2) රෙකෝඩ්ස් නමින් සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වූ අතර කෙටි ගුවන් ගමන් සඳහා සේවා සැපයූ කුඩා ගුවන් සමාගම් ද අත්පත් කර ගැනීමට ‘වර්ජින්’ නාමයට හැකිවිණි. යුරෝ බෙල්ජින් එයාර්ලයින්, මිලදී ගත්පසු වර්ජින් එක්ස්ප්‍රස් බවට පත් කෙරිණි. ඉනික්බිතිව වඩාත් අවදානම් ව්‍යාපාරික ගමනාන්තයක් කරා ඔහු ඉව ඇල්ලීය. බ්‍රිතාන්‍ය දුම්රිය සේවාව පෞද්ගලීකරණය වී තිබීමත් සමග තමා ද දුම්රිය සේවයක් ඇරඹිය යුතු යැයි අදහස් වූ නිසා ‘වර්ජින් රේල් ගෲප්’ හෙවත් දුම්රිය සමූහ සමාගම ස්ථාපිත කිරීමට පියවර ගත්තේය. එය බ්‍රිතාන්‍යයේ ස්ථාපිත වූ සුපිරි පහසුකම් සහිත දුම්රිය සේවාවකි. බ්‍රිටිෂ් ගුවන් සේවය සමග නඩුහබ කීමටද සිදුවූ අතර බ්‍රැන්සන් ඉන් ජය ගත්තේය. වන්දි ලෙස ලැබුණු මුදල ඔහුගේ ගුවන්සේවා සමාගමේ සේවක පිරිසට බෙදාදීමට කටයුතු කළ බැව් සඳහන් වේ.   
පොළවද, මුහුද ද, ගුවනද ජයගෙන සිටි රිචඩ් බ්‍රැන්සන්ගේ ඊළඟ අරමුණ වූයේ අභ්‍යවකාශය ජය ගැනීමය. අභ්‍යවකාශ සංචාර සඳහා සමාගමක් අරඹන බව 2004 දී පමණ ඔහු ප්‍රකාශයට පත් කර තිබිණි. මීට පෙර ගුවන් සේවයක් ඇරඹීම පිළිබඳව ඔහු ස්වයං චරිතාපදානයේ සටහන් කර ඇත්තේ මෙලෙසිනි.   
ජීවිතය පිළිබඳ උනන්දුව මා වෙත පැමිණෙන්නේ නොපෙනන තරමේ දැවැන්ත අභියෝග මා හට තිබීම සහ ඒවාට ඉහළින් නැගී සිටීමට මා හට ඇති වුවමනාව නිසාය. පූර්ණ ලෙස ජීවත්වීමට දැක්මක් අවශ්‍යයි. එනිසා එය කළ යුතුම යැයි මට හැඟිණි.   


වර්ජින් ගැලැක්ටික්   


වර්ජින් ගැලැක්ටික් එක්සත් ජනපදයේ ක්‍රියාත්මකව ඇති බ්‍රිතාන්‍යයේ අභ්‍යවකාශ ගුවන් සමාගමකි. රිචඩ් බ්‍රැන්සන් සතු වර්ජින් සමූහය මෙහි සියයට 24ක පමණ කොටස් ප්‍රමාණයකට හිමිකම් දරයි. මෙම වසරේ (2021) මෙම මාසයේ (ජූලි) 11 වැනි දින මෙම සමාගමේ නිර්මාතෘ රිචඩ් බ්‍රැන්සන් තවත් සේවකයින් තිදෙනකු සමග අභ්‍යවකාශයට ගියේ ලෝකයට අලුත් පිටුවක් පෙරළමිණි. මෙවැනි අභ්‍යවකාශ සංචාරක සමාගමක නිර්මාතෘවරයකු නිරතවූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි. පෘතුවි කක්ෂයෙන් පිට සැතපුම් 50ක පමණ දුරක් මේ පිරිස අභ්‍යවකාශ සංචාරයේ යෙදුණු බව නාසා ආයතනය සඳහන් කර තිබේ. වර්ජින් ගැලැක්ටික්හි අරමුණ වන්නේ තවත් පෙරහුරු ගමන් සංචාර දෙකකින් පසුව 2022දී මුදල් ගෙවා සංචාරකයින් හට අභ්‍යවකාශයට යාමට ඉඩ පහසුකම් සලසා දීමය.   

 


සෞඛ්‍ය සේවයට අවතීර්ණවීම   


රිචඩ් බ්‍රැන්සන් යනු නිතරම සතුටින් සිටීමට ප්‍රිය කරන චරිතයකි. එනිසා සෞඛ්‍ය තත්ත්වය ගැනද විමසිලිමත් වන බව පෙනෙයි. වර්ජින් නාමය යටතේ හෙල්ත්කෙයාර් නමින් සෞඛ්‍ය සේවයටද අංශයක් විවර කර දුන්නේ 2008 දීය. ඉනික්බිතිව සංචාරක හෝටල් ක්ෂේත්‍රයට පිවිසි ඔහු ලොව පුරා සංචාරක ස්ථානද, ස්ථාපිත කළ අතර සමාජ සත්කාර සඳහා වූ කටයුතුවලටද අඛණ්ඩව උපකාර ආධාර මුදල් පිරිනමන චරිතයකි. සෞඛ්‍ය සේවාව වෙතින් ලාභ ලැබීමට වඩා ජනතාවට සේවයක් සැපයීම ඔහුගේ අරමුණය. බ්‍රැන්සන්ගේ වැඩ සහ හපන්කම් ගැන කොතැනින් පටන්ගෙන කොතැනින් නතර කළ යුතුදැයි සිතාගත නොහැකි තරම්ය. විටෙක මහා සාගරය හරහා ගොස් ලෝක වාර්තාවක් තැබීමට උත්සුක වුණි. එය අසාර්ථක වුවද එලෙසින් ලෝක වාර්තා තැබීමට විවිධ දේ කිරීමට ඔහු ප්‍රයත්න ගත්තෙකි. සාර්ථක වන තරමට විටෙක අසාර්ථක වූ චරිතයක් ලෙසද නම්කළ හැකිය. වර්ජින් කෝලා, වර්ජින් කාර්, වර්ජින් ප්‍රකාශන, විලාසිතා යනු වර්ජින් නාමයේ අසාර්ථක වූ ව්‍යාපාර වේ. සිනමා හා ටෙලිවිෂන අංශයටද ආ ඔහුගේ සමාගම බොහෝ නිර්මාණ සඳහා දායක වූ බව සඳහන් කළ හැකිය. රිචඩ් බ්‍රැන්සන් ගැන කතා කළහොත් ඔහු නැත්තේ මොන ක්ෂේත්‍රයේද? යන්න සඳහන් කිරීම කළ හැකිය. බැලූ බැලු සෑම ක්ෂේත්‍රයකම රිචඩ් බ්‍රැන්සන්ය.   


ලෝකයේ කොතැනක ගියත්, නවාතැන් ගැනීමට මන්දිර සහ සුපිරි ස්ථාන ඔහු සතුය. ඒ අතරින් ඔහු වඩාත් කැමැත්ත දක්වන්නේ කැරිබියානු කලාපයේ ඇති ඔහු සතු නෙකර් දූපතේ නිවාඩුව ගත කිරීමටය. සෑම දිනකම උදේ පාන්දර 5.45ට අවදිවීම ඔහුගේ සිරිතකි. නෙකර් දූපත් අවට මුහුදේ ‘කයිට් සර්ෆින්’ (kite surfing) ක්‍රීඩාවේ යෙදීම ඔහුගේ ප්‍රියතම විනෝදාංශය වේ. ඉන්පසු ඇවිත් ඉතා සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාර වේලක් ගැනීම ඔහුගේ සිරිතය.   


මුළු ලෝකයම ගෙදර වගේ කර ගත්ත මිනිසා ඔහු බව සඳහන් කළ හැකියි. දේශපාලනයට ඒම ඔහුට එතරම් කජ්ජක් නොවුණි. විටෙක ලන්ඩනයේ පුරපති වීමටද අවස්ථාව තිබිණි. එහෙත් ඔහු ඊට සම්බන්ධ නොවීය. නමුත් ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය නායකයින් ඔහුගේ සමීපතමයෝය. හොලිවුඩ් තරු, සුපතළ චරිත ඔහුගේ ගජ මිතුරෝය. මොන දේ හෝ වේවා කිසිම අවස්ථාවකදී ටයිපටය පැළඳීම සහ පූර්ණ ඇඳුම් කට්ටලයකින් හැඩවීමට ඔහු අකමැතිය. ‘ටයිපටයට’ කොහොමත් අකමැතිය. කෝට් එක සහ කලිසමට උඩින් දැමූ කමිසය ඇඳීමට ඔහු වඩාත් ප්‍රිය කරයි. රිචඩ් බ්‍රැන්සන් මුලින්ම විවාහ වූයේ 1972 දී ක්‍රිස්ටන් ටොමාසි සමගය. 1979 දී ඇයගෙන් වෙන්වීම සිදුවිය. දෙවන වරට ඔහු විවාහ වූයේ ජොආන් ටෙම්ප්ලමන් සමගය. ඒ විවාහයෙන් ලද දරුවන් දෙදෙනෙකි. දියණිය හොලී සහ පුතු සෑම්ය. රිචඩ් බ්‍රැන්සන්ගේ දෙවැනි විවාහ උත්සවය සිදුවූයේ නෙකර් දූපතේදීය. එම විවාහය පැවැතියේ 1989 දක්වා පමණෙකි. 

 
සර් රිචඩ් බ්‍රැන්සන්ගේ දැන් වයස අවුරුදු 71කි. මේ වනවිට ඔහු විසින් ලියා ඇති පොත් ගණනාවකි. ඒ අතර තමාගේ ස්වයං චරිතාපදාන ග්‍රන්ථයද වේ. ඔහුගේ නාමය ඉදිරියෙන් ගරුනාම නම්බු නාම ලෙස ලැබී ඇති ගෞරවනාම බොහෝය. රට රටවලින්, සරසවි වලින්, සමාජයෙන් ලද සම්මාන බොහෝය. ජීවත්ව සිටියදීම ඒ සියල්ල ආස්වාදය කරන්නට ලැබුණු මිහිපිට ජීවත් වන මිනිසා ඔහුම යැයි කීම වඩා හොඳය. සැබැවින්ම සර් රිචඩ් බ්‍රැන්සන් යනු ‘විශ්මයකි’.

 

 

පරිවර්තන සටහන : 
සඳුන් ගමගේ



අදහස් (0)

අභ්‍යවකාශයේ සංචාරය කළ මුල්ම කෝටිපතියාගේ ව්‍යාපාර ජාලය

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3097 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 25 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1432 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 429 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 163 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site