සිරිමාවෝට අගමැතිකම අහිමි කළ හ්‍රීලනිපයේ ‘ඩබල් ගේම්’


සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක, අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ බිරිඳට වඩා ලෝක ප්‍රකට වූයේ 1960 ජූලි මාසයේ පැවති මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කොට, ඇය ලෝකයේ ප්‍රථම අගමැතිවරිය හැටියට පත්වීමෙනි.

මහජන ඡන්දයට ඉදිරිපත් වුවත් අතිවිශාල ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කිරීමට පවා ඉඩ තිබුණත් ඇය වටා රොද බැඳගෙන සිටි පාක්ෂික හා වාමාංශික නායකයන්ගේ මග පෙන්වීම හා පෙරැත්තය මත, මහමැතිවරණයට නොගොස්, උත්තර මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රී පදවියකින් ඇය අගමැති තනතුරට පත්වූවාය.

පසුව 1970 දී මහ මහමැතිවරණයට ඉදිරිපත්ව අත්තනගල්ල ආසනයෙන් මහජන මන්ත්‍රීවරියකු වූ සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක, දෙවනවරට ද අගමැතිවීමෙන් 1977දී බලයෙන් පහවී, ජේ. ආර්. ජයවර්ධන පාලන කාලය තුළදී මන්ත්‍රී පදවියට පමණක් සීමාවූවාය.

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන රජය සමයේ පැවති කොමිෂන් සභා නියමයකට අනුව සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අවලංගු කළ අතර, කල්යෑමේදී ඇය මානසික හා කායික පීඩාවෙන් දුබල බවට පත් වුවත්, දේශපාලනයෙන් ඈත් නොවූවාය.

ජේ. ආර්. ගෙන් පසු ජනාධිපති වූ ආර්. ප්‍රේමදාස සමග 1989 දී පැවති ජනාධිපති තරගයට ඉදිරිපත් වූ ඇයගේ ගමන පරාජයට පත්වීමෙන්  අනතුරුව වයස්ගතවීම නිසා ඇතිවූ අබල දුබලතාව හේතුවෙන් රෝද පුටුවට සීමාවුණි.

මේ අවස්ථාව වනවිට ඇයගේ කනිෂ්ඨ දියණිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැතිනිය හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණෙන් පත්වී සිටියාය.

1993 දී ජනාධිපති ආර්.ප්‍රේමදාසගේ ඝාතනයෙන් පසු ඩී. බී. විජේතුංග ජනාධිපති  පදවියට පත්ව 1994 දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව  මහ මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාව සැලසුණි. වයෝවෘද්ධව රෝද පුටුවට සීමාවී සිටි පක්ෂ නායිකා සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායකගේ ඔත්පළවීම පක්ෂයේ ඉදිරි ගමනට බාධාවකැයි සිතූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා පොදු පෙරමුණේ වාම කණ්ඩායම දි. මු. ජයරත්න ප්‍රධාන කල්ලියක් වී සිරිමා බණ්ඩාරනායක වෙනුවට, චන්ද්‍රිකා බණ්ඩාරනායක  පක්ෂයේ නායකත්වයට ගෙන ඒමේ සැලසුමක් ක්‍රියාත්මක කළහ.

මේ අතර  ගත දුබලවුවත් සිත ප්‍රබලව සිටි සිරිමා බණ්ඩාරනායක ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඊළඟ වතාවේ තමා ජනාධිපති පදවියට පත්වී රටට ශාපයක් වී ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවය.  

එසේම තවදුරටත් සිරිමා බණ්ඩාරනායක කියා සිටියේ පොදු පෙරමුණ එළඹෙන මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු ඒකාන්ත වශයෙන්ම එම රජයේ අගමැති වන්නේද තමා ම බවය.

මෙයින් ඇවිස්සුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා සමගි පෙරමුණේ වාම කණ්ඩායම, මහමැතිවරණයෙන් පොදු පෙරමුණ ජයග්‍රහණය කළහොත් අගමැතිකම සිරිමා බණ්ඩාරනායකට නොදෙන ලෙසට පක්ෂයේ ලේකම් දි. මු. ජයරත්නගේ අත්සනින් යුතුව ලිපියක් සකස් කරවා ජනාධිපති ඩී. බී. විජේතුංග අතට පත් කළහ.

වයෝවෘද්ධව අසනීපයෙන් සිටින අයෙකුගේ තත්ත්වය පිළිබඳව කිසිම අනුකම්පාවක් නැතුව ලෙඩ ඇඳෙන් බිමට හෙළන මෙබඳු ගුණමකුකම් පක්ෂයේ බොහෝ දෙනා අනුමත නොකළ බවද අභ්‍යන්තරයෙන් වාර්තා වී තිබුණ අතර පක්ෂයක නායකත්වය කාලානුරූපව කාලෝචිතව වෙනස් විය යුතු බව සත්‍යයක් වුවත් ඒ වනවිට වසර 35කට ආසන්න කාලයක් පක්ෂයේ නායකත්වය  දැරුවෙකුට පල නොකියා පලා බෙදීම, ඔවුන් දැඩි පිළිකුලටත් හෙළාදැකීමටත් භාජනය කර තිබුණි.
පක්ෂයේ කෙනෙහිලිකම් මත රට හැර ගිය තම එකම පුතා පක්ෂය  තුළත් - රට තුළත් රජවීම නිතැතින්ම අපේක්ෂා කළ මෙම මව්තුමිය දේශපාලනයෙන් සමුගැනීමේ අපේක්ෂාවෙන් එසේ රටින් පිටට ගිය අනුර පුතා එක්සත් ජාතික පක්ෂයේ සිරිසේන කුරේගේ  ඉල්ලීම මත රටට පැමිණ තම විරුද්ධවාදී එක්සත් ජාතික පක්ෂයෙන් හෝ නැවත දේශපාලනයේ නියැළීම ගැන නම් පසුවූයේ බලවත් ආශාවකිනි. 

අගමැති අපේක්ෂාව හුදු සිහිනයක් බවට පත් කරගෙන සැබෑ ලෝකයට පිවිස විශ්‍රාම ගන්නැයි පක්ෂයේ ප්‍රබල පිරිසක් කර තිබූ ඉල්ලීම අනුව තම වැරයෙන් කටයුතු නොකරන්නේ නම් තමා කිසිම මැතිවරණ වේදිකාවකට නොනගින බවට මේ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද තර්ජනය කර ඇත.

මේ හැම විරෝධයක් තුළම අසරණව අතරමංව සිටි වියපත් සිරිමා බණ්ඩාරනායක, අගමැතිවීමේ හා ජනපතිවීමේ සියලු සිහිනයන් බොඳවෙන්නට ඉඩ හැර, ඕනෑ දෙයක් කරගනිල්ලායි, ඔවුන්ටම පවරමින් සිතින් නොඉවත්ව, ගතින් ඉවත්ව දේශපාලන වේදිකාවේ තිරය පිටුපසට වූවාය.

එහෙත් සමහරුන්ගේ මතය වූයේ සිරිමා බණ්ඩාරනායකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදු පෙරමුණ ජයග්‍රහණය කළහොත් ඒ සතුට හේතු කොට ගෙන අගමැතිකම ටික කලකට හොබවා තම දූ චන්ද්‍රිකාට භාරදීමට ඇය පෙලඹිය හැකි බවය.

මෙම කරුණුවලින් සක්සුදක්සේ පෙනී ගිය එකම කරුණ වන්නේ. සිරිමා බණ්ඩාරනායක විපක්ෂයෙන් ඉවත් කර රෝද පුටුවේ  හිඳුවා, නිවස තුළ ගාල් කිරීමත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පක්ෂයේ නායිකාව කර අගමැති තනතුරට පත් කිරීමත් සිරිමා විරෝධී කණ්ඩායමේ අභිලාෂය වී තිබූ බවයි.

පක්ෂයේ හා පොදු පෙරමුණේ වාම කණ්ඩායම් හා බලලෝභීන් කළ මෙම අපරාධය, පක්ෂයේ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී.  බණ්ඩාරනායක මහතාත් පසුව පක්ෂයේ අභිවෘද්ධියට සුවිශාල සේවයක් කළ සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනියත් අගය කළ සැබෑ පාක්ෂිකයන්ගේ දැඩි කම්පනයට හේතු වූ බව පෙනෙන්නට තිබුණි.

එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර