
ගමේ සංවර්ධනය කිරීමේ බලය ගමට බලය පැවරෙන පළාත් පාලන මැතිවරණ 2025 මැයි මස හය වැනි දින පැවැත්විණි.
පෙර රජ දවසේ සිට පවා මෙරට ගමේ සංවර්ධනයට ගම් සභා පාලන ක්‍රමය තිබුණු බව ඉතිහාසය දෙස් දෙයි. ගමේ සංවර්ධනයට ඉවහල් වන ප්‍රාදේශීය කටයුතු, පොදු ප්‍රශ්න, ආරවුල් නිරාකරණය කිරීම, රජවරුන්ගේ අණ ක්‍රියාත්මක කිරීම, බදු අයකිරීම, නීති සම්පාදනය කිරීම ආදී රාජකාරී සේවාවක් ඉටු කරන ලද පාලන සභා ක්‍රමයක් තිබූ බව සඳහන් වේ. ගමරාල කෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පැවති පැරණි ගම් සභා පාලන ක්‍රමයේ දී නඩු විභාග කොට වරදකරුවන්ට මරණීය දඬුවම පවා නියම කරන තත්ත්වයේ බලතල පවා හිමි වී තිබේ.
මේ නිසා ගමරාලලා ගමේ ජනතාවගේ වැඳුම් පිදුම් ලැබීමට පවා සුදුස්සන් වී තිබිණි. මේ තුළින් ගමේ සංවර්ධනය මෙන්ම එකමුතුකම ද රැකී තිබී ඇත.
ගමේ ජනතාව විසින්ම තෝරා පත් කර ගන්නා ලද උපදේශක මණ්ඩලයක් මගින් මෙම පාලන කටයුතු කර ගෙන ගොස් තිබිණි.

අපේ රට බ්‍රිතාන්‍යයට යටත්වීමෙන් පසුව ඔවුන් ද ගම්සභාවේ බලතල නැවත ගම්වාසීන්ට පැවරීමට කැමැති නොවීය. ඒජන්තවරුන් මගින් ප්‍රාදේශීය කටයුතු පිළිබඳ බලතල ගම්මුලාදෑනීන්ට පැවරෙන ආකාරයට නීති සම්පාදනය කිරීමට බ්‍රිතාන්‍ය පාලකයෝ පියවර ගත්හ.
ඉඩම් පිළිබඳ ආරවුල්, පොදු තණ බිම්වල ආරවුල් විසඳීම, ගොවිතැන පිළිබඳ පැරැණි සිරිත් විරිත් නඟා සිටුවීම පිළිබඳ බලය ලබාදෙමින් ගම් සභා ක්‍රමය යළිත් ලක්දිව පුරා ආරම්භ කළ යුතු යැයි උද්ඝෝෂණයක් 1849 වසරේදී හා 1856 වසරේදී කළ නමුත් සාර්ථක නොවීය. ඒ පිළිබඳ බ්‍රිතාන්‍ය පාලකයෝ අවධානයක් යොමු නොකළහ.
මේ අතරවාරයේදී ජේම්ස් ද අල්විස් මහතා විසින් ගම් සභා ක්‍රමය නැවතත් ඇති කිරීමේ බලාපොරොත්තුවෙන් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට යෝජනාවක් ඉදිරිපත් කළේය.
ඒ අනුව 1871 අංක 26 දරන ආපදා පනත සම්මත කරගෙන නීත්‍යනුකූල ගම් සභාවක් ලෙස පිළිගන්නා ලදී. මෙම ආපදා පනත 1889 දී හා කිහිප වරක් සංශෝධනය කළ නමුත් වැඩි වෙනසක් නොවීය.
ගම්සභාවල බලය ගම්වල ගැමි ජනතාවට හිමි නොවීය. මුදලිවරු සහ රටේ මහත්වරු පාලනය කරනු ලබන සභාවක් බවට පත්විය. ගම්සභාවට මුදලිවරයා විසින් ගම්මුලාදෑනීන් පත් කරගත් නමුත් කිසිම ගම්වැසියකු පත්කර ගැනීමක් නොකරනු ලැබුවේ ආඥා පනත්වලට පටහැණිවය. පසු කාලයේදී මෙම ආඥා පනත්වල කරුණු දැනගත් රයිගම් කෝරලවාසීන් විසින් විරෝධතා ව්‍යාපාරයක් ගෙන යන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගම්මුලාදෑනීන්ගෙන් පිරී තිබූ ගම් සභාවලට ගම්වැසියන්ට ඇතුළත්වීමට ඉඩ ප්‍රස්ථාව ලැබිණි. එතෙක් කාලයක් මුදලිවරු විසින් ගම්වැසියන්ට තර්ජන, ගර්ජන කරමින් යටත් වැසියන් බවට පත් කරගෙන තිබිණි.
මුදලිවරු විසින් කරන ලද මෙම අසාධාරණකම් පිළිබඳව දිනමිණ පුවත්පතේ කතුවරයා වූ වික්‍රමාරච්චි මහතා සහ මෝනින් ලීඩර් පුවත්පතේ කර්තෘ ආර්මන් ඩී. සොයිසා යන මහත්වරු කතු වැකි ලියමින් රටට හෙළි කළහ. 1924 වන විට මුළු රටේම ගම්සභාවල බලය මුදලිවරුන්ගෙන් මිදී ගම්වැසියන්ට හිමිවිය.
1924 අංක 9 දරන ගම්සභා ආඥා පනත අනුව ගම්සභාවේ සභාපති ධූරය සඳහා සාමාජිකයන්ගේ ඡන්දයෙන් කෙනෙකු පත් කරගැනීම සිදුවිණි. ආණ්ඩුකාරවරයාගේ අනුමැතියට යටත්ව පොදු කටයුතුවලට ණය මුදල් ලබාගැනීම, පළාත්වාසීන්ට නඩු පැවරීම, නියෝග පැනවීමට බලතල ආදිය මෙම ආඥා පනතෙන් ලැබිණි.

1932 අංක 9 දරන ආඥා පනත සහ 1935 අංක 37 දරන පනත අනුව ඡන්ද කොට්ඨාසවලට බෙදා එක කොට්ඨාසයකට නියෝජිතවරයෙකු මහජන ඡන්දයෙන් තෝරා පත් කරගැනීමට ජනතාවට අවස්ථාව ලැබිණි. එමෙන්ම ගම්මුලාදෑනිවරුන් සහ මුදලි මුහන්දිරම්වරුන් ගම්සභා නියෝජිතවරුන් ලෙස පත්වීමට තිබූ ඉඩකඩ ඇහිරිණි.
ගම්සභාවල සභිකයන් තෝරා පත්කර ගැනීමේදී ලාංකික ජනතාවට පමණක් ඡන්ද බලය හිමිවූ අතර විදේශීය වතුකම්කරුවන්ට හිමිනොවීය.
එදා සිට ගම්සභා ආඥා පනත වරින්වර සංශෝධනය කරමින් ගම්සභාවලට වැඩි බලතල රාශියක් හිමිවිය. එදා ගම්සභාවල නියෝජිතයන් අද මෙන් මන්ත්‍රීවරු ලෙස නම් නොකළ අතර ගම්සභිකවරු ලෙස හැඳින්විණි. එමෙන්ම ගම් සභිකවරුන්ට කිසිදා දීමනාවක් නොලැබුණු අතර ස්වේච්ඡාවෙන් ගරු සේවාවක් හැටියට සිදු කරන ලදී.
ගම්සභාවල සභාපතිවරු ලෙස පත් කරගැනීමේදී සභාපති අපේක්‍ෂකයන් ගම්සභිකවරුන්ට නොයෙකුත් වරප්‍රසාද ලබාදීමද සිදු කෙරුණු බව වාර්තා වේ. බස් රථවලින් එම සභාපතිවරු වට වන්දනාවේ ගෙන ගොස් සභාපතිවරුන් තෝරන දිනය දා ඡන්ද මධ්‍යස්ථානවලටම ගෙන ඒමට තරම් ක්‍රියාශීලී වී තිබිණි. ඇතැම් දෙනා තම දේපළ පවා විකුණමින් උකස් කරමින් කොට්ඨාසයට සේවය කරනු ලැබුවේ තම තනතුරු රැකගැනීමටයි.
ගම්සභා ඉතිහාසය දෙස බලන විටදී ශ්‍රී ලංකාවේ ප්‍රථම ගම් සභිකවරියක් ලෙස තේරී පත්වූයේ මාතලේ පල්ලේසියපත්තුවේ ගම්සභාවේ පල්ලේ වේරගම අංක එක කොට්ඨාසයට වැඩි ඡන්ද දෙසීය එකක් ලබාගෙන ජයගත් කල්‍යාණවතී කුමාරිහාමි මහත්මියටයි. ඇය එම ගම් සභාවේ උපසභාපති ධූරයට දෙවරක් පත් වූවාය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම ගම්සභා සභාපතිනිය පත්වූයේ ඩෙල්ෆ්ට් දූපතෙනි. ඇය නම් එන්. සෙල්ලම්මා මහත්මියයි.
ගම්සභාවලට තිබෙන බලතල වැඩිකළ යුතු යැයි බළපිටිය පළමු මන්ත්‍රීවරයා වූ ගරුමුණි වලව්වේ ජී. රොබට් ද සොයිසා මහතා ලොකු සටනක් දියත් කළේය. එසේ ගම්සභාවලින් ගමට විශාල සේවාවක් ඉටුකරනලද ගම් සභා ක්‍රමය 1977 දී බලයට පත් එක්සත් ජාතික පක්‍ෂයේ රජයේ පළාත් පාලන ඇමැතිවරයා වූ අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතා විසින් අහෝසි කරන ලදී.
ගම්සභා ක්‍රියාත්මක නොවීමෙන් ගමේ සංවර්ධනයක් නොවන බව වැටහී ගිය හෙයින් පසු කාලයේදී ග්‍රාමෝදය මණ්ඩල ක්‍රමය හඳුන්වා දීම කළේය. ගමේ ස්වේච්ඡා සංවිධානවල සභාපතිවරුන්ගෙන් ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපතිවරයා පත් කර ගනු ලැබීය. එසේ පත් කරගන්නා ලද ග්‍රාමෝදය මණ්ඩල සභාපතිවරුන්ගේ ඡන්දයෙන් ප්‍රාදේශීය මණ්ඩල සභාපතිවරයා පත් කෙරිණි. එහෙත් ඒ තුළින් ගමට සේවාවක් ඉටු කරලීමට තරම් බලතල කිසිවක් හිමි නොවීය.
මේ ක්‍රමය අසාර්ථක වූ හෙයින් දැනට ක්‍රියාත්මක ප්‍රාදේශීය සභා ක්‍රමය හඳුන්වා දෙනු ලැබීය. ගම් සභාවල නියෝජිතයන් හෙවත් මැම්බර් මහත්වරුන්ට රජයෙන් දීමනාවක් නොලැබිණි. ඔවුහු ස්වේච්ඡාවෙන් සේවය කළහ. එහෙත් අද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට නොයෙකුත් වරප්‍රසාද හිමි වී තිබේ.
එදා ගම්සභාවල මෙන් ප්‍රාදේශීය සභාවලටත් ස්වේච්ඡාවෙන් සේවය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දිය යුතුය.
බළපිටියේ
එස්. ඒ. වයි. ද සිල්වා