අද නැති එදා තිබූ දේශපාලන සදාචාරය


වර්තමාන දේශපාලන වේදිකාව යනු පොරපිටියකි. පාර්ලිමේන්තුව විටක උණුසුම් වෙයි. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට සම්බන්ධ මැති ඇමතිවරුන් අතර ඇතිවන වාද විවාද බොහෝ දුරට අවසන් වෙන්නේ ගුටිබැට හුවමාරු කර ගැනීමෙනි. එසේත් නැත්නම් අමු තිත්ත කුණුහරුපයෙන් බැණ වදිමින් හා එකිනෙකාට අපහාස උපහාස කර ගැනීමෙනි. මෙම සම්ප්‍රදාය යටතේ මෙරට පාර්ලිමේන්තු පාලන ක්‍රමය ආරම්භ වූ දා සිට මේ දක්වාම කාලය තුළ අපේ මැති ඇමැතිවරුන් විශාල පිරිසකට පොලිස් නිලධාරීන්ගේ කරපිටින් සභාගැබෙන් ඉවතට යාමටත්, සති ගණන් පාර්ලිමේන්තු රැස්වීම් තහනමට ලක්වීමටත් සිදු වූ බව නොරහසකි. මැතිසබය තුළ පමණක් නොව දේශපාලන වේදිකා තුළද එකිනෙකාට අපහාස කිරීම්, බැන වැදීම් සිදුවීම සුලබ සිද්ධියකි.

අතීත දේශපාලනය අධ්‍යනයේ දී පැවති දේශපාලනය සංස්කෘතිය සහ සදාචාරය වියැකෙමින් පවතින බවට සාධක වර්තමාන දේශපාලන වේදිකාවේ ඕනෑ තරම් ය. එදා පැවති දේශපාලන සදාචාරය පිළිබඳව සාක්ෂි දේශපාලන ඉතිහාසයේ ප්‍රබල චරිතයක් වන ඩිව් ගුණසේකරයන්  සතුව පවතී. 

1935 වසරේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නැගෙනහිර ගිරුවාපත්තුවේ කිවුල නම් වූ ගම්මානයේ දී ඩිව් ගුණසේකර මෙලොව එළිය දුටුවේය. ගුණසේකර පවුලේ සාමාජිකයන් අට දෙනෙකි. ගමේ පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරන කුඩා ඩිව්, පසුව දික්වැල්ල විජිත විද්‍යාලයටත් පසුව මාතර රාහුල විද්‍යාලයටත් ඇතුළත් විය. එච්. එස්.සී. විභාගය සමත් වූ තරුණ ඩිව් ගුණසේකරට අනතුරුව විශ්වවිද්‍යාල වරම් ද හිමි විය. එහෙත් ඒ වනවිට රැකියාවක නිරත වූයේ පවුලෙන් එක් අයෙක් පමණි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමේ අරමුණින් අධ්‍යාපනය ලැබුවද, උසස් අධ්‍යාපනය කරා යොමුවීම පවුලේ කැමැත්ත වුවද, ඩිව් තෝරාගත්තේ වෙනස් මාවතකි. ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැකියාවකට යොමු විය. ඔහුට විමර්ශන නිලධාරියකු ලෙසත්, තක්සේරුකරුවකු ලෙසත් සේවය කිරීමට ඔහුට අවකාශය සැලසුණි. රැකියාව අතරතුර සිය අධ්‍යාපන කටයුතු බාහිරව සිදුකර ගැනීමට ඔහු සමත් විය. ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව ද, විද්‍යාලංකාර සරසවියෙන් රාජ්‍ය පරිපාලනය ද  නීති විද්‍යාලයෙන් නීතිය ද ඩිව් ගුණසේකර තරුණයාගේ හැදෑරීම් විය. 1970 මැතිවරණ ජයග්‍රහණයෙන් පසු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් පීටර් කෙනමන් අමාත්‍යවරයා සමග ඩිව් ගුණසේකර දේශපාලනයට අවතීර්ණ විය. ලක් ඉතිහාසයේ නොමැකෙන දේශපාලන සිදුවීම් රාශියකට ඩිව් ගුණසේකර නායකත්වය ලබා දී ඇත.  මේ ඩිව් ගුණසේකරයන් සමග සිදුකළ සාකච්ඡාවක සටහනකි. 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලෙස පත්වීම් ලැබ වසර දෙකක් පමණ කලයක් ගතවීමේදී ඔහුට භාරදුන් විෂය වන්නේ හිඟ බදු අංශයයි. බදු නොගෙවූවන් ගේ ලිපිගොනු ඔහුට භාරදුනි. විශේෂයෙන්ම තේ වතු හිමියන් සහ පොල්වතු හිමියන් ඒ අතර විය. ඔහුට හිඟ බදු එකතු කිරීමේ කාර්යය පැවරුණි. ඒ සඳහා බදු නොගෙවූ අයට බදු ගෙවන ලෙස ද බදු නොගෙව්වහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ද දන්වා ලියුම් යැව්වේය. බදු නොගෙවූ පිරිස අතර සිටි විශේෂ පුද්ගලයෙකු වූයේ අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක යි. එතුමා නොගෙවූ හිඟ බදු ලක්ෂ ගණනක් තිබුණි. බදු ගෙවන ලෙස දන්වා ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මහ කොමසාරිස්වරයාගේ අත්සන සහිත ලිපියක් බණ්ඩාරනායක  වෙත යැව්වේය. ඔහු එකල රටේ අගමැති වූයෙන්  ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඔහු හමුවට කැඳවීමට, දුරකථනය ඔස්සේ විමසීමට ආදිය සිදුකිරීමට අවැසි අවකාශය ඕන තරම් තිබුණ ද එතුමා ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගොස් කොමසාරිස්වරයා සහ ඩිව් ගුණසේකර හමුවිය. තමා ඡන්ද කටයුතු හේතුවෙන් ණය වී ඇති බවත්, තමාගේ නිවස පවා උකසට තබා ඇති බවත්, එම දෙපල හමුවේ ප්‍රකාශ කළ අගමැති බණ්ඩාරනායක හිඟ බදු මුදල් මාස්පතා රුපියල් 1000 බැගින් ගෙවා නිමකිරීමට කාලය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. 
ඩඩ්ලි සේනානායක විපක්ෂ නායකව සිටි සමයේ දී ඔහුගේ පෞද්ගලික ලේකම් හට නිල නිවසක් නොමැති වූ අතර, ඒ බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය වූ පීටර් කෙනමන්ට ලිඛිතව දැනුම් දුන්නේය. ඒ ඇල්විටිගල නිවාස යෝජනා ක්‍රමයට මුල්ගල තබා වැඩ ආරම්භ වූ සමය විය. 

නිවාස ව්‍යාපෘතිය අවසන් වූ වහාම පළමු නිවාසය විපක්ෂ නායක තුමාගේ ලේකම් හට ලබාදුණි. ආණ්ඩු පක්ෂය මගින් සිදුකළ ව්‍යාපෘතියේ පළමු නිවාසය විපක්ෂ නායකගේ ලේකම් හට ලබාදීම වර්තමානයේ දී නම් කිසිසේත්ම සිදුවිය නොහැක්කකි.

ඩඩ්ලි සේනානායක අගමැතිව සිටි සමයේ ඩිව් ගුණසේකර ඇතුළුව 6 දෙනෙකු ආදායම් බදු විමර්ශන නිලධාරීහු ලෙස කටයුතු කළහ. කුරුණෑගල සිටි ව්‍යාපාරිකයෙක් අවුරුදු ගණනකින් ආදායම් බදු ගෙවා නොතිබුණි. ඔහු ව්‍යාපාරිකයෙකු මෙන්ම හිටපු සෙනට් මන්ත්‍රීවරයෙකු සහ විශ්‍රාම ලත් හමුදා නිලධාරියෙකි. ඔහු බදු ගෙවන ලෙස දැනුම් දෙමින් යැවූ ලිපි  කිසිවකට ප්‍රතිචාර නොදැක්වීය. එහෙයින්  මහේස්ත්‍රාත් නියෝගයක් මත පරීක්ෂණ ඇරඹුණි. එහිදී එම පුද්ගලයා පරීක්ෂකවරුහටත් බැන වැදුණේය. කෙසේ වෙතත් පරීක්ෂණයෙන් අනතුරුව ඔහුගේ ව්‍යාපාරික ස්ථානය සීල් කරන ලදී. එම අවස්ථාවේ ආණ්ඩුවේ වෙනත් විෂයභාර ඇමතිවරයෙකු මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලා සිටියේ මේ ගැන සලකා බලා සාධාරණයක් ඉටුකර දෙන ලෙසයි. එහිදී මුදල් ඇමතිවරයා ප්‍රකාශ කර සිටියේ ‘මේක මගේ අමාත්‍යාංශය. මගේ අමාත්‍යාංශයේ කෙරෙන කටයුතුවලට නීතිවිරෝධී ඉල්ලීම් කරමින් ඇඟිලි ගහන්න එන්න එපා’ යනුවෙනි.  

ලලිත් ඇතුලත්මුදලි විපක්ෂ මන්ත්‍රීවරයෙකුව සිටි සමයේ ඩිව් ගුණසේකර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විය. දිනක් ලලිත් ඇතුලත්මුදලි පාර්ලිමේන්තුවේ සේවකයකු අත ඩිව් ගුණසේකර වෙත ලියා එවා තිබුණේ පාර්ලිමේන්තුවෙන් පිටතදී එතුමාව මුණගැහෙන ලෙසයි. ඔවුන් මුණගැසුණු අවස්ථාවේ ලලිත් ඇතුලත්මුදලි පවසා සිටියේ - ඔහුට බුද්ධි අංශ මගින් විජය කුමාරතුංග ඝාතනය කිරීමට පුද්ගලයන් දෙදෙනෙකු ඔහු පසුපස ලු‍හුබදින බවට තොරතුරක් ලැබූ බවයි. ඒ බව විජය කුමාරතුංග  වෙත ඉක්මනින් දැනුම්දෙන ලෙස පැවසීය.  ඒ අනුව පැහැදිලි වන්නේ එකල සිටි මන්ත්‍රීවරුන්ගේ දේශපාලන පක්ෂ මතවාදය අබිබවා මානුෂීය හැඟීම් ප්‍රබල වූ බවයි.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිව සිටි සමයේ ඩිව් ගුණසේකර විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය. දිනක් රාත්‍රී 11. 30 ට පමණ ඩිව් ගුණසේකරයන්ට ජනාධිපතිතුමාගෙන් දුරකථන පණිවිඩයක් ලැබුණේ ජනාධිපති මන්දිරයට පැමිණෙන ලෙසටය. ඩිව් ගුණසේකර ඔහුගේ පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාට දැනුම් දී එහි ගියේය. ඔහු ජනාධිපති මැඳුරට යනවිට ආරක්ෂක නිලධාරීන් කිසිවෙකු එහි සිටියේ නැත. එම සාකච්ඡාව ඒ තරම් රහසිගත විය. රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුලත් මුදලි, අනුර බණ්ඩාරනායක, දිනේෂ් ගුණවර්ධන සහ තවත් එක් අමාත්‍යවරයෙකු පමණක් මෙම අවස්ථාවට සම්බන්ධ වූහ. එහිදී ජනාධිපතිතුමා විසින් ගුණසේකරයන් හට ලිපියක් ලබාදුණි.

එය ඉන්දියානු අගමැති රජිව් ගාන්ධි විසින් එවූ ලිපියකි. එහි සඳහන් වූයේ ’යාපනේ ජනතාවට ආහාර ලබාදීම නවතා තිබෙනවා. ඒ මිනිසුන් බඩගින්නේ. ඒකට විරුද්ධව තමිල්නාඩු ජනතාව පෙළපාළි යනවා. ඔබතුමා ආහාර දෙන්නේ නැත්තම් මම ආහාර ලබාදෙනවා’ යන්නයි.

මෙය රටවල් දෙක අතර ඇතිවිය හැකි ප්‍රබල ගැටුමකි.  ඇතිවීමට යන මෙම ගැටලු‍ව පිළිබඳව පිරිස පැය ගණනක් සාකච්ඡා කළහ. එහිදී ගුණසේකරයන්ගේ යෝජනාව වූයේ රටවල් දෙකේම ආත්ම ගරුත්වයට ඉවහල් වෙන පරිදි ඉන්දියාවෙන් ආහාර ලබාගන්න ලෙසයි. අවසන් තීරණය එය වූ අතර, පසුදින පාර්ලිමේන්තුව කැඳවීමට ද තීරණය කෙරුණි.    

ජනාධිපති අනුර බණ්ඩාරනායකගෙන් සහ ඩිව් ගුණසේකරයන්ගෙන්, එනම් විපක්ෂයෙන් ඉල්ලා සිටියේ - ආණ්ඩුව පාර්ලිමේන්තුවට අදාළ යෝජනාව ඉදිරිපත් කළ විට ඊට විරුද්ධ නොවන ලෙසයි. එනම් ප්‍රශ්නයක් ඇති නොකරන ලෙසයි. විපක්ෂය ද එයට එකඟ විය. වර්තමානයේ මෙන් නොව අතීතයේදී රට වෙනුවෙන් තම පක්ෂය ගැන නොසිතා පොදු එකඟවීම් සිදු වී ඇති ආකාරය දැකගත හැකිය. 

රණසිංහ ප්‍රේමදාස  ජනාධිපතිව සිටි සමයේ සිංහල දෙමළ යුද්ධය සක්‍රීයව පැවතුණි. උතුරේ පැවති මෙම යුදමය ගැටලු‍වට විසඳුම් සෙවීමට සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට ප්‍රේමදාසට අවශ්‍ය විය. ජනාධිපති ප්‍රේමදාසට ඒ සඳහා සිරිමාවෝ මැතිනියගේ සහභාගීත්වය අත්‍යවශ්‍ය වී තිබුණි. නමුත් එකල ඇයගේ ප්‍රජා අයිතිය පවා අහෝසි කොට තිබුණි. ඇයගේ ප්‍රජා අයිතිය අහෝසි කොට පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමේ ක්‍රියාවලිය  පිටුපස සිටි ප්‍රබල සාමාජිකයෙකි රණසිංහ ප්‍රේමදාස. එබැවින් ජනාධිපතිට ඇයට සමුළුවට  ඇරයුම් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබුණි.  පීටර් කෙනමන් හරහා ආරාධනාව සිදුකර දෙන මෙන් ඩිව් ගුණසේකර ගෙන් ප්‍රේමදාස ඉල්ලීමක් කළේය. ඒ අනුව පීටර් කෙනමන් සහ ඩිව් ගුණසේකර ගේ ඉල්ලීම පරිදි මැතිනිය සමුළුවට පැමිණි අතර,  මැතිනිය එහිදී කතාවක් ද සිදු කළාය. තමාගේ ප්‍රජා අයිතිය නැති කිරීමට කටයුතු කළ පුද්ගලයාගේම ආරාධනාව පිළිගෙන පැමිණීමට තරම් සිරිමාවෝ මැතිනිය නිහතමානී විය. එමෙන්ම තම රට ගැන සිතා පෞද්ගලික සිදුවීම් තැකීමකින් තොරව ඇය සමුළුවට සහභාගී වීම අගය කළ යුත්තකි.

රණසිංහ ප්‍රේමදාස අගමැතිව සිටි සමයේ සිරිමාවෝ සහ අනුර  එනම් මව හා පුතු පාර්ලිමේන්තු විපක්ෂයේ මන්ත්‍රීවරු ලෙස කටයුතු කළහ. මැතිනිය විපක්ෂ නායිකාව විය. දිනක් මැතිනිය විපක්ෂනායක කාමරයේ සිට රූපවාහිනිය හරහා පාර්ලිමේන්තු විවාදය නරඹමින් සිටි ඒ අතරේදී අනුර හා ප්‍රේමදාස අතර දැඩි වාග් සංග්‍රාමයක් ඇතිවිය. පසුව විවාදය අවසන් වී පුතු තම කාමරයට පැමිණි අවස්ථාවේ ඔහුගේ හැසිරීම නොසුදුසු යැයි පවසමින් මැතිනිය පාර්ලිමේන්තු වේත්‍රධාරියා ඉදිරිපිටදීම කෝපයෙන් සිය පුතුගේ කන හරහා පහරක් එල්ල කළාය.  

තවත් අවස්ථාවකදී ඩිව් ගුණසේකර වියට්නාම නියෝජිත මණ්ඩලයක් සමග එකල අගමැති වූ සිරිමාවෝ මැතිනිය හමුවීමට ගියේය. ඇයව හමුවීම සඳහා ලබාදුන් වේලාව වූයේ පස්වරු 5 යි. නමුත් ගුණසේකර පස්වරු 5 ට මිනිත්තු 10කට පමණ පෙර මැතිනිය ගේ කාර්යාලයට ගියේය. ඒ වනවිටත් පැමිණ සිටි මැතිනිය ඔහුව ඇතුළට කැඳවූවාය. ගුණසේකර මැතිනිය හා පැවසූයේ’ මැඩම් මටත් කලින්ම ඇවිල්ලා’ යනුවෙනි. එවිට ඇය පැවසූයේ, ’ඔයාලගේ නායකතුමිය වගේ නෙමෙයි මම හරියට වෙලාවට වැඩ කරන ගෑනියෙක්’ යනුවෙනි. නායකතුමිය ලෙස එතුමිය හැඳින්වූයේ එකල මෙරට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා  සිය දියණියයි. තම දියණියගේ වුවද යම් වැරැද්දක් කීමට මැතිනිය පසුබට නොවූ බව මෙයින් පැහැදිලිය.

මෙම සිදුවීම් දාමය පිළිබඳව අවධානය යොමු කීරීමේ දී පැහැදිලි වන්නේ අතීත දේශපාලනයේ පැවති සදාචාරාත්මක සහ නිර්ව්‍යාජ බවයි.  තම බලය යොදාගනිමින් වංචා දූෂණ ක්‍රියාවල නිරතවීම, තම වාසිය තකා පක්ෂයෙන් පක්ෂයට මාරුවීම, තම පක්ෂයේම වුවද සාමාජිකයන් තම සුබසෙත පතා පාවාදීම, වෙනත් පක්ෂ සාමාජිකයන් සමග බැණවැදීම් අපහාස කිරීම් සිදුකර ගැනීම දේශපාලනයේ වර්තමානයයි. එනම් සදාචාරාත්මක නොවූ දේශපාලන ක්‍රියාවලියක් මෙරට ක්‍රියාත්මක වේ. අතීතයේ පැවති සදාචාරාත්මක දේශපාලනයෙන් උගත හැකි පාඩම් බොහෝ ය. ඔවුන් රට වෙනුවෙන් කැප වූ ජනතාවාදී දේශපාලකයෝ වූහ. එම අතීතය කවදානම් නැවත ප්‍රතිෂ්ඨාපනය වේදැයි අනුමාන කළ නොහැකිය.

ශෂිකා අබේරත්න