2023 දී කළ යුතුව තිබූ පාසල් විෂය මාලා සංශෝධනයට බාලගිරි දෝෂය - ලංකා ගුරු සංගමය


ඉන්දික හේවාවිතරණ

පාසල් විෂය මාලාව 2023 වසරේදී වෙනස් කළ යුතුව තිබුණත් තවමත් එම කටයුතු සිදුකර ගැනීමට නොහැකි වී තිබෙන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

වර්තමාන ආණ්ඩුව මේ පිළිබඳව අවධානය යොමුකර අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බවද එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේය.

වසර අටෙන් අටට විෂය මලාව වෙනස් විය යුතු වුවත් 2023 වසරේදී අදාළ කටයුතු සිදුනොවීම නිසා දැනට ක්‍රියාත්මක වන්නේ පැරණි විෂය මාලාව බවද ඔහු පැවසීය. පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පවතින තරගකාරිත්වය නැති කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන බවට බලධාරීන් වසර ගණනාවක සිට ප්‍රකාශ කළත් අදාළ වෙනස්කම් තවමත් සිදුවී නොමැති බවද හෙතෙම පැවසීය.

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ තිබෙන තරගකාරිත්වය නිසා දරුවන් දෙවැනි වසර හා තුන වසරේ සිට ඒ සඳහා සූදානම් කිරීමට දෙමාපියන් කටයුතු කරන බව ද තරගකාරිත්වය නැති කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් අවශ්‍ය බවද ජෝසප් ස්ටාලින් සඳහන් කළේය.

ශිෂ්‍යත්ව විභාගය ජනප්‍රිය පාසල්වලට ළමුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමයක් බවට පත් කර ගෙන තිබෙන නිසා පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීමේ විධිමත් වෙනත් ක්‍රමවේදයක් ඇති කළ යුතු බව ද ඔහු සඳහන් කළේය. 

තරගකාරී ශිෂ්‍යත්ව ක්‍රමය නිසා දරුවන්ට ඉගැන්වීමේ කටයුතු ව්‍යාපාර බවට පත් වී තිබෙන අතර මෙම විභාගය සඳහා දෙමාපියන් අතර ද විශාල තරගයක් පවතින බැවින් මෙම ක්‍රමය කඩිනමින් වෙනස් විය යුතු බව ද හෙතෙම පැවසීය.