දෙනගම සුමංගලව ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳගෙන තියෙනවා කුමාර තිරිමාදුර


වසර 40ක වෘත්තීමය කලා ජීවිතය තුළ විටෙක වේදිකාව, පුංචි තිරය, රිදී තිරය හැඩ ගන්වන රංගන ශිල්පියෙකු ලෙසත්, තිර රචකයෙක් සහ ගී පද රචකයෙක් ලෙසත්, ගායකයෙක් ලෙසත්, මාධ්‍යවේදීයෙකු ලෙසිනුත් කලාවේ විවිධ මානයන් තුළ දස්කම් දැක්වූ ඔහු කලාවේ ප්‍රතාපවත් චරිතයකි. මේ පූර්විකාවේ හිමිකරු වන ප්‍රවීණ රංගන ශිල්පී කුමාර තිරිමාදුරයන් අපි මෙවර සැදැල්ලෙන් කතාබහට එක්කර ගත්තෙමු;

ප්‍ර කොහොමද ඉතින් කලා ජීවිතේ? 

විවේකීව ඉන්නත් කාලය වෙන්කරගෙන කලා කටයුතු කිහිපයකටත් සම්බන්ධ වෙමින් ජීවිතේ ඉදිරියට අරන් යනවා. කලා කටයුතු ගැන කතා කළොත් මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශනය වන ‘පිරිමි ළමයි’ සහ හිරු නාළිකාවේ විකාශනය වන ‘රොන් සොයා’ යන ටෙලි නිර්මාණ ද්විත්වයට රංගනයෙන් දායකවෙලා ඉන්නවා. ඊට අමතරව සිනමා නිර්මාණ කිහිපයකත් වැඩකටයුතු කරගෙන යනවා. මම මේ කලා ක්ෂේත්‍රය ඇතුළේ ගොඩක් වැඩකරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ දැන් අපි ටිකක් විවේකයෙන් ඉන්න ඕන කාලය. ඒ නිසා ඒ විදිහට වැඩ කිහිපයකට සම්බන්ධ වෙලා ඉතිරි කාලය විවේකීව ඉන්නවා. 

ප්‍ර ඔබ මේ දිනවල ප්‍රේක්ෂකයන් අතරේ ජනප්‍රියම, දෙනගම සුමංගල නමින්. ඉතින් ඒ ගැනත් කියමු?

මේ ටෙලි නාට්‍යයේ තිර පිටපත් රචනය සද්ධා මංගල සූරිය බණ්ඩාර මහත්මයා අතින් සිදු වෙන්නේ. එහි අධ්‍යක්ෂකවරයා මගේ පාරම්පරික මිතුරු ජයප්‍රකාශ් ශිවගුරුනාදන්. ඉතින් මට ඒ චරිතයට ආරාධනා ලැබුණා මම ඒක පිළිගත්තා. ඔවුන් තුළින් නිර්මාණය වූ චරිතයට මම මගේ වගකීම ඉෂ්ට කරනවා. ඒ එකතුව නිසා හැදුණු දෙනගම සුමංගල දැන් ප්‍රේක්ෂකයන් හරි ආදරයෙන් භාර අරගෙන තියෙනවා. මම නළුවෙක්. මගේ වෘත්තිය රඟපාන එක. ඒ නිසා මම සාමාන්‍යයෙන් මට ලැබෙන ඕනෑම චරිතයක් භාරගන්නවා. විශේෂත්වයක් නැහැ මෙතනදිත් මම කළේ මගේ රාජකාරියයි.

ප්‍ර සුමංගල දරුණු පාතාලකරුවෙක් වුණත් බිරිඳ සහ දුව ඉදිරියේ සංවේදී, කීකරු පිරිමියෙක්. ඔබත් දූවරුම දෙදෙනකුගේ පියෙක්. ඉතින් ඒ ආදරය ගැන මොකද හිතෙන්නේ?

කවරාකාරයේ පාතාල නායකයෙක් වුණත්, කොතරම් දරුණු මිනිසෙක් වුණත් තමන්ගේ පවුල දරුවෝ කියන කුලකය ඇතුළේ හරිම සංවේදියි. පියෙකු හෝ සැමියෙකු ලෙස ඒ ලබාදෙන ආදරය, සෙනෙහස පොදුවේ මුළු සමාජයම පිළිගන්න ව්දිහට තමයි ඔවුන් තුළත් තියෙන්නේ. ඒ දරුණු කෙනාට අනෙකා මරන්න- ගිනි තියන්න පුළුවන්. නමුත් තමන්ගේ පවුල ඇතුළේ ඒ තද ගති නැහැ. මේ සුමංගල කියන චරිතය ඇතුළේත් ඒ මනුස්සකම තියෙනවා. ඔහු තමන්ගේ බිරිදට, දරුවාට කතාකරන විදිහ, ඒ අය සම්බන්ධ තීරණවලදී හැසිරෙන විදිහ දැක්කම ඒ ආදරය ගැන තේරුම් ගන්න පුළුවන්. අපි කොහොමත් බිරිඳට ටිකක් ඔළුව පහත් කරගෙනනේ ඉන්නේ.

ප්‍ර සුමංගලගේ සුදාම්මියාගෙනුයි, සුදු පුතාගෙනුයි නිර්මාණය ඇතුළේ ලැබෙන සහයෝගය කොහොමද?

හොඳ සහයෝගයක් ලැබෙනවා. ඒ අයත් තම තමන්ගේ චරිතවලට හොඳ සාධාරණයක් ඉෂ්ට කරනවා. ඒ නිසාවෙන් මටත් පහසුයි. ඒ වගේම තවත් දෙයක් මතක් කරන්න ඕන. බොහෝ දෙනෙක් හැමදාම දකින්නේ ටෙලිවිෂන් තිරය ඇතුළේ ඉන්න නළුවා හෝ නිළිය පමණයි. නමුත් ඇත්තටම මේ වගේ නිර්මාණයක් ඇතුළෙන් රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් කැපී පෙනෙන්න ඒ අයගේ දක්ෂතාව වගේම අදාළ කණ්ඩායමේ සහයෝගයත් ගොඩක් වැදගත්. අපිව රූගත කිරීම්වලට රැගෙන එන රියැදුරු මහතුන්, අපිට තේ එකක් ගෙනත් දෙන සහෝදරයා, අපේ ඇදුම් තෝරන-මේකප් එක දාන සහෝදරයා, අපව කැමරා කාචයට හසුකරන කැමරාකරුවන් ආදීන් බොහෝ පිරිසක් තිරය පිටුපස සිටිනවා. ඒ විවිධ පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් තමයි මේ චරිතවලින් ඉදිරියට එන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් නිර්මාණයක් ඇතුළේ රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට ලැබෙන වටිනාකම හෝ අගයකිරීම තිරය පිටුපස ඒ ඒ චරිතවලටත් අයිතියි. 

පිරිමි ළමයි ටෙලි නිර්මාණය තුළ තරුණ සහ නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් සිටිනවා. ඒ අය සමඟ කටයුතු

ප්‍ර කිරීම ප්‍රවීණ රංගන ශිල්පියෙක් විදිහට කොහොමද දැනෙන්නේ?

මම සාමාන්‍යයෙන් අනෙක් කෙනා මොන වගේද? එයා පෞද්ගලික ජීවිතේ මොන වගේද? ඒ දේවල් හොයන්නේ නැහැ. රූගත කිරීම් කරන තැනදි වුණත් මම මගේ වෘත්තීමය රාජකාරිය ගැන තමයි හිතන්නේ. ඉතින් ඒ අයත් අදාළ නිර්මාණය ඇතුළේ තමන්ගෙන් විය යුතු කොටස ඉටු කරනවා නම් මම සෑහීමකට පත් වෙනවා. එතැනදි විශේෂයෙන් කියන්න ඕන පිරිමි ළමයි ටෙලිනාට්‍ය ඇතුළේ ඉන්න මේ තරුණ ශිල්පීන් හැම දෙනෙක්ම වගේ මට ඒ ගෞරවය ආදරය ලබාදෙනවා. බොහෝ දෙනෙක් රූගත කිරීම් අවසන් වෙලා යන මොහොතෙත් මට වැඳලා තමයි යන්නෙත්. ඉතින් ඒ අය එක්ක වැඩ කරන්න ලැබුණ එක ගැන සතුටුයි. විහිළුවක් තහළුවක් කරගෙන ඒ අය එක්ක වැඩකරගෙන යනවා. 

ප්‍ර ප්‍රවීණ රංගන ශිල්පියෙක් විදිහට කලාවේ අනාගතය ගැන සතුටු විය හැකිද?

යකඩ පිච්චුණාට පස්සේ පුළුන් හොයලා වැඩක් නැහැ කියලා කතාවක් තියෙනවානේ. කලාවත් ඒ වගේ තමයි මේවයේ එක එක අංශ දැන් ගිනි අරගෙන තියෙන්නේ. ඒකට ප්‍රධානම හේතුව තමයි මේවායේ ඉහළ තලවල ඉන්න අය අදාළ ක්ෂේත්‍රවලට ගැළපෙන්නේ නැතිකම. ඇත්තෙන්ම ඒ අය මේ විෂය දන්නේ නැහැ. එහෙම නොදැනුවත්කම එක්ක මේ ක්ෂේත්‍ර දියුණු කරන්න පුළුවන්ද? ඇත්තටම කලාව විතරක් නෙවෙයි මොන අංශයක් වුණත් දියුණු කරන්න නම් ඒ ගැන හැගීමක් තියෙන පිරිසක් ඉන්න ඕන. නමුත් කිසිම හැඟීමක් නැතිව වැටුපක් වෙනුවෙන් විතරක් වැඩකරන අයගෙන් මේවායේ සතුටු දායක පැත්තක් දකින්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. ඒ විදිහට කලාව පිරිහුණොත් ඉන් අත්වන අහිතකර බලපෑම මුළු සමාජයටම බලපානවා. අපේ රටේ ප්‍රවෘත්තියක් දිහා බලන්න. ඒ පැය භාගයේ වැඩි කොටසක් රට හදන්න බලය ඉල්ලන-ඉල්ලපු අය දෙපිල බෙදිලා රණ්ඩු වෙන කොටස්, ඉතිරි කොටසේ වංචා- දූෂණ- කොල්ලකෑම්- පාතාල සිදුවීම්. බෞද්ධ රටක් වුණත් දැන් අපේ මිනිස්සු තුළ හික්මීමක් නැහැ, සාරධර්ම නැහැ. මිනිස්සු සංවේදී නැහැ. ඉතින් මේ කලාවේ බිඳ වැටීම්වල අතුරු ප්‍රතිඵල. 

ප්‍ර ලංකාව ඇතුළේ කලා ශිල්පියෙකුට ලැබෙන තැන සහ ඇගයීම ගැන සතුටු වෙන්න පුළුවන්ද?

ඒක අවස්ථානුකූලව සහ පුද්ගලයා අනුව වෙනස් වෙනවා. ඒ වගේම තමයි මාධ්‍යක් ඇතුළේ වුණත් ඒ ඇගයීම් නිවැරදිව සිද්ධ වෙන්නේ නැහැ. ඔවුන් බලන්නේත් අදාළ ශිල්පියාගේ ජනප්‍රිය කොටස පමණයි. නමුත් වැඩි සද්ද නැතුව තමන්ගේ කටයුතු දක්ෂ ලෙස කරන පිරිසක් ඉන්නවා. ඒ අය අගය කිරීමට ලක්වන අවස්ථා හරිම සීමිතයි. මගේ නිර්මාණ වපසරිය ඇතුළෙත් ඇගයීම් නොලැබුණු බොහෝ දේවල් තියෙනවා. මම මගේ දරුවන්ට කියලා තියෙන්නෙ මම මැරුණු දවසක මගේ සම්මාන, තිර පිටපත් වගේ දේවල් මගේ වළටම දාලා වහන්න කියලා. මොකද ඒ නිසි පිළිගැනීම නැහැ. ඒ වගේම තමයි අගය කරන්න ඕන කවුද කියලා හඳුනාගැනීමේදීත් නිවැරදි තීරණ ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම ඒ ගැන සතුටු වෙන්න බැහැ.

ප්‍ර කලාව තුළ ඔබේ අලුත් බලාපොරොත්තු මොනවාද?

මම කලාවට එන්නේ අවුරුදු 16යෙන්. 2025 ජූනි 7 වෙනිදා කියන්නේ මගේ කලා ජීවිතයට වසර 40ක් පිරෙන දවස. මම හිතනවා මම කලාව වෙනුවෙන් කරන්න ඕන හැම දෙයක්ම වගේ කරලා තියෙන්නේ කියලා. මම ගොඩක් නිර්මාණ කළා. ඒ වගේ රංගනය, තිර රචනය, ගායනය, පුවත්පත් ක්ෂේත්‍රය වගේ හැම අංශයකම මගේ හැකියාවන් පෙන්නුවා. ඒවගේම ඒ නිර්මාණ බොහෝමයක් වෙනුවෙන් මම අවස්ථා ගණනාවකදීම සම්මාන හිමිකර ගත්තා.  දැන් හිතනවා මට විවේකයක් අවශ්‍යයි කියලා. ඉතින් දැන් කලාව ඇතුළේ ලොකු ලොකු බලාපොරොත්තු නැහැ.

දුලක්ෂි ලියනගේ