මාව මතක ද? - ශෂිකා පීරිස්


“කාලයකට පසුව ටී.වී. එකෙන් මාව දකින පිරිසගෙන් මාව මතක ද කියලා අහන්න කැමැතියි. මේ නාට්‍යය ගැන කතා කරද්දී‌, එහි පිටපත් රචිකාවිය වන ගයනි අශිංසලා පියදිගම අක්කා වගේම, දිනේෂ් හග්ගල්ල අධ්‍යක්ෂවරයා සහ කැමරා අධ්‍යක්ෂ මංජුල කුමාරතුංග අයියාගේ කැමරාකරණයෙන් හැඩ වූ ලස්සන කතාවක්. ආදරය තමයි මෙහි තේමා කරගෙන තිබෙන්නේ. එහි තේමාව ‘ජීවිතේ පිරෙන්නේම ආදරයෙන් පමණයි’ යන්නයි.

“මාව මතක ද?” මේ විදිහට අහන්නේ‌ ශෂිකා පීරිස් නෙවෙයි, දිනේෂ් හග්ගල්ලයි. ඔහුගේ පළමු ටෙලිනාට්‍ය නිර්මාණය වන ‘මාව මතකද’ මේ දිනවල සිසර ටී.වී. ඔස්සේ විකාශය වෙනවා. එහි චරිත රංගනයන් සඳහා ශ්‍රියන්ත, කුසුම්රේණු, තරංග දිසානායක, ජගත් චිමල, දසුන් පතිරණ, උදාරි වර්ණකුලසූරිය, හර්ෂණ බෙත්මගේ, සමිත සුදීෂ්වර, රශීපබා සංදීපනී, නිරෝෂන් විජේසිංහ ඇතුළු ප්‍රවීණ සහ ජනප්‍රිය රංග ශිල්පින් පිරිසක් එක්ව සිටිනවා. ඒ අතරින් අද අප ඔබට මුණගස්වන්නේ, ශෂිකා පීරිස් ශිල්පිනියයි. ඉතින් ඔබට ඇයව මතක ද? අමතක වෙන්න විදිහක් නම් නැතුව ඇති. ඉඳහිට වගේ රංගනයෙන් හමු වුවත්, ඇය දායක වූ චරිත ඔබට අමතක වෙන්න විදිහක් නැහැ. මේ කතාබහ ඇය සමඟයි. 

ප්‍ර ශෂිකා, තවත් නම් තියෙනවා ද?

“ශෂිකා වුණාට හැමෝම මට කතා කරන්නේ ශෂි කියලයි.” 

ප්‍ර එහෙනම් ශෂි, කියන්නකෝ මේ දිනවල ඔබ ගැන විස්තර?

“කාලයකට පසුව ජානක සිරිවර්ධනගේ නිර්මාණයකට දායක වුණා. ඒක අධ්‍යක්ෂණය කළේ තිළිණ බොරලැස්ස අයියා. එකේ නම ‘සිකුරු ඇවිත්’. ඒක දැන් විකාශය වෙලා ඉවරයි. අද මම අලුත් වැඩ කිහිපයක රංගනයෙන් දායක වෙලා ඉන්නවා. ඒ අතරින් සිරසේ විකාශය කෙරෙන දිනේෂ් හග්ගල්ලගේ ‘මාව මතකද’ මට තවත් විශේෂ අවස්ථාවක් වගේම විශේෂ වූ නිර්මාණයක්. සතියේ දවස් පහේම 7.30ට විකාශය වෙනවා. ඊට අමතරව ‘අලුත් කතාවක්’ ටෙලිනාට්‍යය සහ බුද්ධික සේමසිංහගේ පළමු නාට්‍ය නිර්මාණය එන්න තියෙනවා. ඒ ඔක්කෝටම අමතරව මගේ අලුත් වැඩකට ලෑස්ති වෙනවා.” 

ප්‍ර ‘මාව මතක ද?’ කියලා ශෂි කාගෙන්ද අහන්නේ?

“කාලයකට පසුව ටී.වී. එකෙන් මාව දකින පිරිසගෙන් මාව මතක ද කියලා අහන්න කැමැතියි. මේ නාට්‍යය ගැන කතා කරද්දී‌, එහි පිටපත් රචිකාවිය වන ගයනි අශිංසලා පියදිගම අක්කා වගේම, දිනේෂ් හග්ගල්ල අධ්‍යක්ෂවරයා සහ කැමරා අධ්‍යක්ෂ මංජුල කුමාරතුංග අයියාගේ කැමරාකරණයෙන් හැඩ වූ ලස්සන කතාවක්. ආදරය තමයි මෙහි තේමා කරගෙන තිබෙන්නේ. එහි තේමාව ‘ජීවිතේ පිරෙන්නේම ආදරයෙන් පමණයි’ යන්නයි. දසුන් පතිරණ සහ කුඩා රංගන ශිල්පිනියක යන චරිත ද්විත්වය වටා සහ උදාරි වර්ණකුලසූරියගේ චරිතය වටා තමයි අනෙකුත් සියලු චරිත ගොනු වී තිබෙන්නේ. ඇත්තටම මට හැඟෙන විදිහට ඒක හරි ලස්සන කතාවක්. 

මේ නාට්‍යය ලස්සන වෙන්නේම ඒ නාට්‍යය වටා ඇති සෑම චරිතයකින්ම කියැවෙන්නේ ආදරය නිසයි. ළමා නළුවාගේ සිට සියලුම චරිත ඒ විදිහයි. ආදරය නිසා අත්දැකීම් ලැබිච්ච, ආදරය නිසාම යම් යම් දේ අහිමි කරගත්ත චරිත තමයි මේ නාට්‍යයේ තියෙන්නේ. එහි මගේ චරිතයේ නම ප්‍රියංගා. හිමි නොවන ආදරයක් නිතරම බලාපොරොත්තුවෙන් සිටින චරිතයක්. මට ඔයාව නොලැබුණත් මම ඔයාට ආදරේ කරනවා කියන අදිටනින් සිටින කෙනෙක්.” 

ප්‍ර ශෂිකාගේ සැබෑ ජීවිතයේදී ආදරය දකින විදිහ, දැනෙන විදිහ? 

“ඒක මම දකින විදිහට, ටිකක් සංකීර්ණ මාතෘකාවක්. ඒ ගැන දවස් ගාණක් වරු ගාණක් අපට කතා කරන්න පුළුවනි. කොහොම වුණත් පෞද්ගලිකව ආදරයේදී මම මොන වගේ ද කියලනේ ඔබ අහන්නේ. මම හිතන්නේ, මම ආදරණීය චරිතයක්. ඒක මට දැනෙන දේ. ආදරයේදී අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ අප කෙරෙහි ලැබෙන අවධානය, ගෞරවය, රැකවරණය වගේ දේ. අපි ආදරය කරන කෙනා කෙරෙහි කළ යුතු කැපවීම ආදරයේදී තිබිය යුතු ඉහළම දේ ලෙසයි මම දකින්නේ.” 

ප්‍ර ඒ කියන්නේ, ආදරයේදී ඔබ කැපකිරීම් කරන්න සූදානම් චරිතයක්?

“බොහෝ වේලාවට මම එහෙමයි. සමහර අවස්ථා අනුව එය වෙනස් වෙන්න පුළුවනි. ආදරවන්තයකු සහ ආදරවන්තියක අතර විතරක් නෙවෙයි, තමා වටා සිටින අය, නෑදෑ හිත මිතුරන් ආදි සියලු දෙනා කෙරෙහි සහ හැමෝම එක්ක ආදරණීය විදිහට ජීවත් වීම මගේ ස්වභාවයයි. මම ඕනෑම කෙනෙක් එක්ක සුහදව ආදරණීයව කතාබහ කරන කෙනෙක්. ආදරය හරියට තේරුම් අරගෙන කරනවා නම් මැරෙනකම්ම ඒ ආදරය සුන්දර වේවි.” 

ප්‍ර අද ඔබ ආදරය විඳින්නේ, ලබන්නේ?

“මගේ දරුවෝ දෙන්නාගෙන්. පුතාලාම දෙන්නෙක්ගේ මවක්. ඊට අමතරව මගේ ළඟින්ම සිටින යහළු යෙහෙළියන්ගෙන් ලැබෙන ආදරයට මම ආදරෙයි.” 

ප්‍ර අද ශෂිකාගේ ප්‍රධාන වෘත්තිය?

“වෘත්තියෙන් මම රංගන ශිල්පිනියක්. ඊට අමතරව විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සම්බන්ධව හදාරා ඇති ගුරුවරියක්. එම අංශයෙන් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට මගෙන් සේවයක් ලබා දීම යුතුකමක්. ඒ නිසා දැන් සූදානම් වන්නේ රංගනයට අමතරව එම අංශයේ නියැළෙන්න.” 

ප්‍ර කොහොමද මේ නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර?

“කතාවේ හැටියට මගේ චරිතය තවම ප්‍රවේශ වෙලා නැහැ. චරිත එකින් එක ගොඩනැගීගෙන එමින් තිබෙන්නේ. ඉතින්, ඉදිරියේදී මේ කතාව තව තවත් ආසාවෙන් නරඹන්න ප්‍රේක්ෂකයාට ආසා හිතේවි.” 

ප්‍ර කොහොම ද ‘මාව මතකද’ නාට්‍යයේ නළු පිරිස එක්ක ඔබට තියෙන බැඳීම? සමීප ද? දුරස්ථ ද?

“මේ නාට්‍යය ගත්තොත්, ශ්‍රියන්ත අයියා, ජගත් චමිල, කුසුම් රේණු, උදාරි, සමිත, දසුන්, හර්ෂණ වගේ අති දක්ෂ සම්මානනීය පිරිසක් දායක වෙන්නේ. මගේ චරිතය බොහෝ විට මුසු වෙන්නේ හර්ෂණ සහ දසුන්ගේ චරිත වටා. ඉතින් අපි අපේ අවස්ථා නිරූපණය කිරීමට පෙර නිතරම රිහසල් කිරීම, ඒ ගැන කතා කිරීම වගේ දේ කරනවා. 

මේ නාට්‍යයේ සෑම චරිතයක්ම එකිනෙකට බද්ධ වෙලා. දිනේෂ් හග්ගල්ල අයියා අපට නිදහසේ රංගනයේ යෙදෙන්න අවකාශය දීලා තියෙන්නේ. හොඳ විදිහට එකිනෙකාට සහයෝගයෙන් අපි මේ නිර්මාණයට දායක වෙනවා.” 

ප්‍ර රංගන ශිල්පිනියක ලෙස ඔබ කරන සහ ඔබට ලැබෙන චරිත ගැන හිතන්නේ කොහොම ද?

“ලැබෙන චරිතය එකිනෙකට වෙනස් විදිහට චරිතාංග රංගනයේ යෙදිය යුතුයි. නැත්නම් රංගන ශිල්පිනියක ලෙස මම ෆේල්. ඒ නිසා ඒ චරිතය ගැන අවබෝධයෙන්, චරිතාංග රංගනයක යෙදුණොත් මිනිසුන්ට ඒ චරිත මතක හිටීවි.” 

සඳුන් ගමගේ