සිරගෙට ගෙනියන්න සපත්තුවලට දුරකතන දමා මසද්දී මාට්ටු


(චමින්ද වැවතැන්න සහ පී ශාන්ත බණ්ඩාර)

කෑගල්ල  බන්ධනාගාරයේ රැදවියකුට  දීමේ අරමුණින් මාවනැල්ලේ  පාවහන් වෙළදසලකදී පාවහන් යුගළයක් තුළට ජංගම දුරකතන දෙකක් දුම්කොළ දමා මසද්දී  සැකකරුවන් දෙදෙනකු  ජංගම දුරකතන දෙකක් දුම්කොළ සමග අද සවස අත් අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය පැවසීය.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අරණායක අරම උඩගම්මැද්ද පදිංචි 33 හැවිරිදි කාන්තාවක හා මාවනැල්ල දනාගම පදිංචි 53 හැවිරිදි සපත්තු මසන්නකු බව පොලිසිය පැවසීය.

අයිස්  මත්ද්‍රව්‍ය ජාවාරමකට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දැනට කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා තබා ඇති සැකකරුවකුට  දීම සඳහා ඔහුගේ උපදෙස් මත දුරකතන දෙකක් හා දුම්කොළ ග්‍රෑම් 42 ක්  පාවහන් යුගළයක් ඇතුළතට දමා මාවනැල්ලේ පාවහන් අලෙවි සලක  මසමින් සිටින බවට ලැබුණු තොරතරුකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය.