අයවැය සමයේ පාර්ලිමේන්තු සේවකයෝ වැඩ වැරුමක?


(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ පරිපාලනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ කමිටු වාර්තාවට විරෝධය පළ කරමින් එහි ඇතැම් සේවකයන් අයවැය කාලයේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සූදානම් වෙමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.

එම කමිටු වාර්තාවට පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයම කතානායකවරයාට දැනටමත් විරෝධය පළ කර ඇත.

දෙපාර්තමේන්තු නවයේ අටසිය පනහක් පමණ සේවය කරති.

එම අංශවල සියලු දෙනාම පාහේ අදාළ වාර්තාවට විරෝධය දක්වමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගතයුතු බවට නිල නොවන මට්ටමෙන් එකඟතාවක් ඇතිකරගෙන සිටින බව දැනගන්නට ඇත.

අයවැය විවාදය පවතින කාලයේ මේ විරෝධතාවය දැක්විය යුතු බවටද යෝජනාවී ඇතැයි වාර්තාවෙයි.

පාර්ලිමේන්තුවේ පරිපාලනය සහ වැටුප් ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමට විශ්‍රාමික පරිපාලන නිලධාරීන් තිදෙනකුගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුව පත් කරනු ලැබුවේ කතානායකවරයා විසිනි.

පාර්ලිමේන්තු අත්දැකීම් නොමැති පිරිසක් හරි හැටි කරුණු නොදැන වාර්තාව සකස් කර ඇති බැවින් එය ක්‍රියාත්මක කළහොත් තමන්ට බරපතළ අසාධාරණයක් වන බව සේවකයෝ පෙන්වා දෙති.