කොහොමද අරලිය ගහ මන්දිරේට කඩු කිණිසි ආවේ ?


හිටපු කතානායක කරු ජයසූරිය

 

  • මේ අපි අත්විඳිමින් ඉන්නේ මෙතෙක් අපේ ජීවිත කාලෙ ​අත්නුදුටු තත්ත්වයක්. මේ වගේ වටපිටාවක් මගේ ජීවිත කාලේ මින් පෙර මම දැක්කේ නෑ. විවිධ දේශපාලන අර්බුදවලට අපි මුහුණදීලා තිබුණත් මේ අද දවසේ තත්ත්වය ඒවාට වඩා වෙනස්. 
  • පසුගියදා සිදුවුණු ම්ලේච්ඡ සිදුවීමත් එක්ක මට මතක් වුණේ මම කථානායකවරයා විදියට කටයුතු කරද්දී මට මුහුණ දෙන්න වුණු ප්‍රහාරය. මේකට එකම හේතුව බලය රැකගැනීම සඳහා දියත් කරපු ම්ලේච්ඡත්වයක්.

 

මේ වෙනවිට රටේ පවතින දේශපාලන අස්ථාවරභාවය තුළ බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇත්තේ ඉදිරියට පත්වෙන අගමැතිවරයා කවුරුන්ද යන්නයි. ඒ සඳහා යෝජනාව වී තිබූ නම් අතර හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ නමද විය. මේ වත්මන් දේශපාලන වටපිටාව ගැන ඔහු සමග කළ සාකච්ඡාවකි. 

 
මේ මොහොතේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ඔබේ අදහස මොකක්ද?   


මේ අපි අත්විඳිමින් ඉන්නේ මෙතෙක් අපේ ජීවිත කාලෙ ​අත්නුදුටු තත්ත්වයක්. මේ වගේ වටපිටාවක් මගේ ජීවිත කාලේ මින් පෙර මම දැක්කේ නෑ. විවිධ දේශපාලන අර්බුදවලට අපි මුහුණදීලා තිබුණත් මේ අද දවසේ තත්ත්වය ඒවාට වඩා වෙනස්. පසුගියදා සිදුවුණු ම්ලේච්ඡ සිදුවීමත් එක්ක මට මතක් වුණේ මම කථානායකවරයා විදියට කටයුතු කරද්දී මට මුහුණ දෙන්න වුණු ප්‍රහාරය. මේකට එකම හේතුව බලය රැකගැනීම සඳහා දියත් කරපු ම්ලේච්ඡත්වයක්. ඒක නිසා මේ සඳහා වගකිවයුතු සියලු දෙනා පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි කියන එක මුලින්ම කියන්න ඕනෑ. මේ සිදුවීම පිළිබඳ විධිමත් අපක්ෂපාතී පරීක්ෂණයක් වහාම අවශ්‍යයි. කොහොමද අරලියගහ මන්දිරේට පොලු, මුගුරු, කඩු, කිනිසි ආවේ. දැඩි ආරක්ෂිතව තියෙන තැනකට එහෙම දේවල් ගේන්නෙ කොහොමද? එහෙනං සාධාරණ සැකයක් ඇති වෙනවා මේවා සැලසුම්සහගතව සිදුවෙච්ච දේවල් කියලා. ඒ වගේම ඒ මොහොතේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ හැසිරීම පිළිබඳවත් මම ඉතාම කනගාටු වෙනවා. ඔහු අත්දැකීම් බහුල පරිණත දේශපාලකයෙක් විදියට නොකළ යුතු දෙයක් කරපු බව තමයි දැක්කේ. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන ශීලාචාර සමාජයකට මේවා ගැලපෙන දේවල් නෙවෙයි. දැන් එකිනෙකා ගහ මරාගන්න තැනට ඇවිත් ඒ සිදුවීමත් එක්ක. මේක වහාම නතර කරන්න ඕනැ.   


මීට පෙර අවස්ථා කීපයකදී ලේ හැලුණු රටක් මේක. දැන්වත් ඒ වගේ දෙයක් යළි නොවීමට අපි කල්පනාවෙන් වැඩ කරන්න ඕනෑ. ඒත් ඒ වෙනුවට දේශපාලන නායකයින්ම මිනිස්සු කුපිත කරවලා ගහ මරා ගන්න තැනට කටයුතු කරනවා නම් ඒක ශිෂ්ට වැඩක් නෙවෙයි. අද රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නය ජීවත්වීම. කන්න බොන්න නෑ, ලයිට් නෑ, ගෑස් නෑ, තෙල් නෑ. රටේ ආර්ථිකය දවසින් දවස කඩා වැටෙනවා. ඒව ගැන බලනවා වෙනුවට දේශපාලන බලලෝභයෙන් තවදුරටත් මිනිස්සු පීඩාවට පත් කරන්න දේශපාලන නායකයො කටයුතු කරද්දි මිනිස්සු ප්‍රකෝප වීම වළක්වන්න බෑ. මිනිස්සු පාරට බැහැලා ඉල්ලන්නේ ජීවත් වීමේ අයිතිය. අපි අමතක කරන්න හොඳ නෑ මේ තරුණ පරපුර කළේ දේශපාලකයින්ට, මන්ත්‍රීවරුන්ට කරන්න බැරි දයෙක් තමයි කළේ. ආණ්ඩුවක් හෙල්ලුවා. ඒ තරුණ දරුවෝ. ඒක විශාල බලපෑමක්. ඔවුන් ඒක ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීව නිර්මාණශීලීව කරපු එක තමයි වැදගත්ම කාරණය. ඔවුන් ගැටුම්වලට ගියේ නෑ. මේක සාමකාමී අරගලයක්. ඒ වගේ පිරිසකට තමයි අරලියගහ මන්දි​රේට ගෙන්නපු මිනිස්සු කුපිත කරවල පහර දෙන්න යැව්වේ. ඔවුන්ගේ දේශපාලන භාවිතය මේක. ඔවුන් රටේ නායකයෝ වෙන්නෙ කොහොමද. බලය රැකගන්න ඕනෑම පහත් දෙයක් කරාවි ඔවුන්. දේශපාලන නායකයෝ වගේම හිටපු ඇමතිවරු, මන්ත්‍රීවරු, නාගරික මන්ත්‍රීවරු ආසන සංවිධායකවරු සමහර ආරක්ෂක අංශවල අය මේ ගැටුමට වගකියන්න ඕනැ. ඇත්තටම මේක ඉතාම නින්දිතම ක්‍රියාවක් විදියට ඉතිහාසයේ ලියවිලා අවසානයි දැන්. 

 
දැන් රටේ මේ පවතින අර්බුදය විසඳගන්න තියෙන තැන පාර්ලිමේන්තුව කියලනේ හැමෝම කියන්නේ. ඒත් හිටපු කථානායකවරයෙක් නිසා මේ ගැන පැහැදිලි අවබෝධයක් ඇති.   


ඇත්තටම මේක දැන් බේරුමක් කරගන්න ඕනෑ පාර්ලිමේන්තුව හරහා තමයි. ඒත් පාර්ලිමේන්තුවෙන් මේක ජයගන්න බැරි තත්ත්වයක්නෙ තියෙන්නේ. අපි දැක්ක පසුගිය දවස් ටිකේම පාර්ලිමේන්තුව රැස්වුණත් ඔවුන් මේ තරම් අර්බුදයක් මැද්දෙත් කටයුතු කරපු හැටි. දැන් මේ අර්බුදයේ කරවටක් ගිලිලා ඉඳගෙනත් පාර්ලිමේන්තුව රැස්වෙලා ඔවුන් කෙරුවෙ එකිනෙකාට බැණ අඬගහගන්න එක. කෝටි ගණන් වියදම් කරල දවස් ගණනාවක් පාර්ලිමේන්තුව රැස්වෙලා ගත්තු තීන්දුව මොකක්ද මේ ආරවුල් විසඳ ගන්න. මොකුත් නෑ. ඒ වෙනුවට හැමදාම කෙරුවෙ අරයට මෙයාට චෝදනා කරගත් එක.   


දැන්වත් අවශ්‍ය පියවර අරන් පාර්ලිමේන්තුව හරහා මේ ප්‍රශ්නය බේරුමක් කරගන්න ඕනෑ වහාම. පාර්ලිමේන්තුව ඇතුළෙ මේක විසඳගත්තෙ නැති නිසා තමයි මිනිස්සු පාරට බැහැල ඉන්නේ.   


මහින්ද රාජපක්ෂගෙ ඉවත්වීමත් එක්ක හිස්වුණු අගමැති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත්කර තිබෙනවා මේ ගැන මොකද කියන්නෙ?   


මේ පිළිබඳව විවිධ පාර්ශ්වවලින් මටත් ඉල්ලීම් ලැබුණා. ආගමික නායකයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, විවිධ වෘත්තිකයින් වගේම අරගල බිමේ ඉන්න ඇතැම් දෙනාගෙනුත් මට මේ ඉල්ලීම් ආවා. මම හිතාගෙන හිටියෙ දේශපාලන තනතුරු බාර නොගෙන විවේකයෙන් කාලය ගත කරන්න. මම කථානායක ධුරයේ ඉද්දි වැඩ කළෙත් නිර්දේශපාලනිකව. පක්ෂයට ගැති වුණේ නෑ. දේශපාලන රැස්වීම්වලට ගියේ නෑ. පසුගිය කාලයේ විවිධ සමාජ ක්‍රියාකාරකම්වල යෙදිලා හිටියත් තනතුරු ගැන මගේ අදහසක් තිබුණෙ නෑ. ඒත් දිගින් දිගටම ආපු ඉල්ලීම් නිසා මම මේ ගැන සලකා බලන්න කල්පනා කළා. සීමිත කාල සීමාවකට මම වගකීමක් බාරගන්න සූදානම් කියලා ඒ අයට කීවා. මම මෙතෙක් මගේ ජීවිතේ කරපු හැම වැඩක්ම, හැම තනතුරකම කටයුතු කළේ බොහොම කැපවීමෙන්. මම ඒ හැම තැනකදීම මට හැකි උපරිම දේ කළා. ඉදිරියේදී වුණත් යම් වගකීමක් ලැබුණොත් මම මගේ උපරිමයෙන් රටට යමක් කරන්න කැපවෙනවා.   


මම දැක්ක සමහරු කියල තිබුණා ඒ අය විපක්ෂයට ගිහින් දේශපාලනය කරනවා කියලා. ඒ හදන්නෙ ආපහු දෙකට බෙදිලා කුලල් කාගන්න දේශපාලන පොරයටනෙ. එ්ක මේ වෙලාවෙ රටට කරන ​ද්‍රෝහිකමක්. ​අපි දැකල තියෙනවා දුෂ්කර අවස්ථාවල රටවල් දියුණු වෙච්ච විදිය. දේශපාලනය අමතකර කරලා කවුරුත් මේ සඳහා අත්වැල් බැඳගන්න ඕනෑ.   


මේ අර්බුදය කළමනාකරණය කර ගන්න මේ ඉන්න දේශපාලකයින්ට අවංක වුවමනාවක් නෑ කියන එක තමයි අපි දැක්කෙ. ඔබ ඔය කියන කැපවීම ඔවුන් කරයිද?   


පක්ෂ විපක්ෂ හැම දෙනාම මේ කැපවීමට සූදානම් වෙන්න ඕන. කවුරු රටේ නායකත්වයට ආවත් හැම දෙනාම ඒ කැපවීමට සූදානම් වෙන්න ඕනෑ. අගමැතිකම ගන්න කෙනා කවුරු වුණත් ඔහුට විශාල වගකීමක් පැවරෙනවා රට මේ තත්ත්වයෙන් ගොඩ ගන්න. එහෙම නැතුව පෞද්ගලික දේශපාලන න්‍යායපත්‍රවලට වැඩ කිරීමෙන් රට තවත් පරිහානියට පත්වීම විතරයි වෙන්නේ. 

 
ජනාධිපතිවරයාගේ භූමිකාව රට තුළ අප්‍රසාදයට පත්වෙලා. ​ඔබේ අදහස මොකක්ද ඔහු පසුගිය කාලය තුළ කටයුතු කරපු විදිය ගැන?   


ඔහු මීට වඩා වගකීමෙන් වැඩ කරන්න තිබුණා. විශාල වැරදි සිද්ධ වුණා. ගොවියෝ අමාරුවෙ වැටුණා. ඒක සෑහෙන නරක විදියට රටට බලපාන දෙයක්. ඒකෙ ප්‍රතිඵල ඉදිරියට තමයි ලැබෙන්නේ. කෘෂිකර්මය කඩාවැටීම රටේ ආර්ථිකයට ලොකු බලපෑමක්. ඒක එක ප්‍රශ්නයක් විතරයි. ඒ වගේ අඩුපාඩු රැසක් ඔහු අතින් වුණා. ඔහුට උපදෙස් දුන් අයගෙනුත් වැඩක් වුණේ නෑ. ඔහු වැරදි නිවැරදි කරගෙන ඉදිරි දිනවලදී හරි රටට යහපතක් කරන්න කල්පනා කළ යුතුයි.   


පත්වෙන අගමැති කවුරු වුණත් වැඩේ ලේසි වෙන්නෙ නෑ. රට අන්තිම අමාරු ආර්ථික අඩියක තියෙන්​නේ. ජනාධිපතිවරයා කැබිනට් එක වෙනස් කරපු වාර ගණන මතකත් නැති තරම්. වගකීමක් අරන් කවුරුත් රට ගැන හිතල වැඩ කරන්න සූදානමක් නෑ. කෙසේද මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නේ මේ අය එක්ක?   
වහාම කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගුකාලීන වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනැ. කෙටි කාලීන වැඩපිළිවෙලට ප්‍රමුඛතාව දීලා අද දවසේ ප්‍රශ්න ටික විසඳන්න ඕනෑ. ඒ අනුව ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට යන්න පුළුවන්. පාර්ලිමේන්තුවෙ ඉන්න සියලු දෙනා මේ සඳහා එකතුවෙලා වැඩ කරන්න ඕනැ. පත්වෙන අගමැති කවුරු වුණත් මුලින්ම ලයිට් ටික, ගෑස් ටික, තෙල් ටික හරියාකාරව දෙන්න ඕනෑ වහාම. මිනිස්සුන්ට ජීවත්වෙන්න පුළුවන් වටපිටාව වහාම සකස් කරන්න ඕනෑ. මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. හැඟීම සහ කැපවීම තමයි අවශ්‍ය වෙන්නේ.   

 

 

 

 

 

සටහන
ප්‍රියන්ත කොඩිප්පිලි