IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පොලිසියට ගැසූ කොටින්ගේ කඳවුරට එස්.ටී.එෆ්. ප්‍රහාරයක්

ත්‍රස්තවාදයෙන් රට රැකගන්න 
එස්.ටී.එෆ්. හැදූ හැටි-2

හිටපු පොලිස් අධිකාරි 
ලාසිරාන් අසන් කියන කතාව

 

 

පොලිස් විශේෂ කාර්ය බළකායේ පළමු කඳවුර පිහිටුවා ඇත්තේ 1984 වසරේ සැප්තැම්බර් මාසයේ කල්අඩි ප්‍රදේශයේදී සහකාර පොලිස් අධිකාරී එම්.කේ. ඉලංගකෝන් මහතාගේ මූලිකත්වයෙනි.  


දෙවැනි කඳවුර පිහිටුවා තිබෙන්නේ කලවංචිකුඩි ප්‍රදේශයේය.  


1984 වසරේම අග භාගයේ පොලිස් විශේෂ කාර්ය බළකායට පොලිස් කොස්තාපල්වරුන් බඳවාගෙන ඔවුන්ට පුහුණවීම් ලබාදීම ආරම්භ කර ඇත්තේද මේ බ්‍රිතාන්‍ය යුද විශේෂඥයන්ගේ මාර්ගෝපදේශය යටතේය.  


පොලිස් කොස්තාපල්වරුන්ට පුහුණුවීම් ලබාදීමට ලාසිරාන් අසන් මහතා ඇතුළු උප පොලිස් පරීක්ෂකවරු තිදෙනෙක්ද බ්‍රිතාන්‍ය විශේෂඥයන්ට සහාය ලබාදුන්හ.  
ඉන්පසු යළිත් අසන් මහතා සක්‍රීය සේවය සඳහා කොටි ක්‍රියාකාරකම් පැවති ප්‍රදේශවලට රාජකාරි සඳහා යොමුකර තිබේ

.  
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිර්මාතෘ රවි ජයවර්ධන මහතා එල්ටීටීඊයට එරෙහිව සැලසුම් කළ ප්‍රහාරයක් ගැනත් ඒ සඳහා අසන් මහතා සහාය වූ ආකාරය ගැනත් මතකය අවදි කළේ මේ අන්දමිනි.  


ඒ වෙනකොට මම රාජකාරි කළේ මඩකලපුව කලවංචිකුඩි කඳවුරේ. 1985 වසරේ සැප්තැම්බර් මාසයේ දවසක එරාවුර් පොලිසියට කොටි ත්‍රස්තයන් දරුණු ප්‍රහාරයක් එල්ල කළා. ඒ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් 10 දෙනෙක් විතර මියගොස් තවත් පිරිසක් තුවාල ලැබුවා. ත්‍රස්තවාදීන් පොලිසියේ තිබුණ අවි ආයුද පවා පැහැරගෙන ගොස් තිබුණා.  


එරාවුර් පොලිසියට ප්‍රහාර එල්ල කර නිලධාරීන් මරා දමා තවත් නිලධාරින් රැසකට තුවාල සිදුකර පොලිසියේ අවි ආයුද පැහැරගෙන ගිය කොටි කල්ලියට ප්‍රහාරයක් එල්ල කර ඔවුන් විනාශ කිරීමට රවි ජයවර්ධන මහතාගේ මගපෙන්වීම යටතේ සැලැස්මක් සකස්කර තිබෙනවා. දැන් විශ්‍රාම ලබා සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහත්තයාගේ නායකත්වයෙන් තමා ඒ ප්‍රහාරය දියත් කිරීමට කටයුතු යොදා තිබුණේ.  


කලවංචිකුඩි එස්.ටී.එෆ්. කඳවුරේ රාජකාරියේ යෙදී ඉන්න අතරවාරයේ අපිට පණිවිඩයක් ආවා පසුදින අලුයම මඩකලපුව ගුවන්හමුදා කඳවුරට එන්න කියා. ඒ අනුව අපි කණ්ඩායමක් මඩකලපුව ගුවන් හමුදා කඳවුරට ගියා. එතකොට තමා අපිට පැවරිලා තිබුණ රාජකාරිය ගැන දැනගත්තේ. කතරගම පැත්තේ ඉඳලා හෙලිකොප්ටර් යානා හයක් විතර ආවා. අපි ඒ හෙලිකොප්ටර් යානාවලට ගොඩවුණා. එරාවුර් පොලිසියට ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් මඩකලපුව පිල්ලුමලේ ප්‍රදේශයේ කැලෑවේ කඳවුරු බැඳගෙන ඉන්නවා කියා බුද්ධි තොරතුරු වලින් හෙළිකරගෙන තිබෙනවා.  


හෙලිකොප්ටර් යානා වලින් පිල්ලුමලේ ප්‍රදේශයට ගොස් ගුවනේ සිට ඒ ප්‍රදේශයේ පිහිටි කොටි අඩවියට ගොඩබැස එක්වරම දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. කොටි ත්‍රස්තවාදීන් රැසක් මරා දමා එරාවුර් පොලිසියෙන් පැහැරගෙන ගිය අවි ආයුධ තොගයෙන් කොටසක්ද අත්පත් කරගෙන නිරුපද්‍රිතව කොටි අඩවියෙන් පිටතට පැමිණීමට අප කණ්ඩායම සමත්වුණා. මෙය සතුරා විස්මිත කළ ප්‍රහාරයක් ලෙස හඳුන්වන්න පුළුවනි යැයි විශ්‍රාමික පොලිස් අධිකාරි ලාසිරාන් අසන් මහතා කිව්වේ සිනාසෙමිනි. 


මෙම සාර්ථක ප්‍රහාරයෙන් ටික වේලාවකට පස්සේ රවී ජයවර්ධන මහත්තයා එස්.ටී.එෆ්. නිල ඇඳුමකින් සැරසී වෙපන් එකක්ද අතැතිව හෙලිකොප්ටර් යානයකින් ආවා. රවි ජයවර්ධන මහත්තය අපි සියලුදෙනාට අතට අත දීලා සුබපැතුවා' ඔහුගේ මේ පැමිණීම අපිට ලොකු ධෛර්යයක් වුණා. ඇත්තෙන්ම අපට මේ වගේ සාර්ථක ක්‍රියාන්විතයක් කරන්න හැකියාව ලැබුණේ අපි ලබා තිබුණ පුහුණුවීම් නිසයි. ඕනෑම දෙයකට හොඳින් ඔරොත්තුදීමේ හැකියාව එස්.ටී.එෆ්' නිලධාරීන්ට තිබෙනවා. දැන් අපි හිටිය කාලයටත් වඩා හොඳ පුහුණුවක් එස්.ටී.එෆ්. එකට ලබාදෙනවා යැයි විශ්‍රාමික පොලිස් අධිකාරී අසන් මහතා පවසයි.  


එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විවිධ උපක්‍රම යොදාගනිමින් ප්‍රධානපෙළේ දේශපාලනඥයන් ඝාතනය කිරීමට පටන්ගත් පසු එම ඝාතන වළක්වා ගැනීමට හා ඒවාට සාර්ථකව මුහුණදීමේ අරමුණ ඇතිව පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයක් ආරම්භ කරනු ලැබීය.  


1987 වසරේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් තෝරාගෙන ඔවුන්ට ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබාදී ඇත.

  
එය පළමු පුහුණු පාඨමාලාව විය.  


ප්‍රභූ ආරක්ෂාව සඳහා නිලධාරීන් තෝරා ගැනීමට කලින් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව, ඉලක්කයට වෙඩි තැබීමේ හැකියාව හා ක්ෂණික ප්‍රතික්‍රියා දැක්වීමේ වේගය පරීක්ෂා කර බලා ඒවාට සමත්කම් දක්වන නිලධාරීන් පමණක් මේ සඳහා බඳවාගෙන තිබේ.  


පුහුණු කාලය සති 10 කි.  


දෙවන පාවුළු පාප්වහන්සේ ශ්‍රී ලංකාවට 2015 වසරේ වැඩම කළ අවස්ථාවේ උන්වහන්සේගේ ආරක්ෂකයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිවූයේ පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් අධිකාරී අතුල දවුලගල මහතාටය.  


පොලිස් අධිකාරි දවුලගල මහතා ඇ​ෙමරිකා එක්සත් ජනපදයේ ​ෙජා්ර්ජියාවලදී ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ පුහුණුව ලබා ඇති නිලධාරියෙකි.  


ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතාය.  


ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ පළමු අධ්‍යක්ෂවරයා වන්නේද ලෙව්කේ මහතාය.  


පොලිස් විශේෂ කාර්ය බළකායේ වත්මන් අණදෙන නිලධාරී ලතීෆ් මහතාද එක්සත් රාජධානියේදී ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ විශේෂ පුහුණුවීමක් ලැබ 1989 වසරේ සිට 1992 වසර දක්වා ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කර ඇත.  


පොලිස් විශේෂ කාර්ය බළකායට අනුයුක්තව ක්ෂණික ප්‍රතික්‍රියා කණ්ඩායමක් ස්ථාපිත කරනු ලැබුවේ 1996 වසරේදීය.  


පවනට බඳු වේගයකින් ධාවනය වන යතුරුපැදියක සිට ඉලක්කයට වෙඩි තැබීමට හැකියාව ඇති නිලධාරීන් 24 දෙනෙකු පුහුණු කිරීමෙන් පසු මෙම ඒකකයට මුලින්ම බඳවාගනු ලැබිණි.  


එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියා බහුලවශයෙන් සිදුවෙමින් පැවති වකවානුවේ එම ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සාර්ථකව මුහුණදීමට විශේෂ අවි හා උපක්‍රම (SWAT) ඒකකයක් පොලිස් විශේෂ කාර්ය බළකායට ආරම්භකර ඇත්තේ 2005 වසරේදීය.  


ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීම, සමීප සටන් ක්‍රම ගැනද විශේෂ පුහුණුවක් මෙම ඒකකයේ නිලධාරීන්ට ලබාදෙන අතර පැරෂුට් කුසලතාව වර්ධනය කිරීමට ඒ ගැනද පුහුණුවක් ලබාදෙනු ඇත.  


ඕනෑම ආකාරයක අවදානම් තත්ත්වයකට අතිශය සාර්ථක ලෙස මුහුණදීමට අවශ්‍ය පුහුණුව මනා ලෙස ප්‍රගුණ කර ඇති මෙම ඒකකයේ නිලධාරීන්ට විදේශවල සිට පැමිණෙන ප්‍රභූවරුන්ට හා ක්‍රීඩා කණ්ඩායම්වල ආරක්ෂාව සැපයීමද අයත්ය.  


බියගම නිදහස් වෙ​ෙළඳ කලාපයේ කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් පිරිසක් එහි විධායක ශ්‍රේණිවල නිලධාරීන් පිරිසක් ප්‍රාණ ඇපයට තබාගෙන සිටියදී එම නිලධාරීන් මුදවාගැනීම හා තංගල්ල බන්ධනාගාරය තුළ 2002 වසරේදී රැඳවියන් පිරිසක් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ප්‍රාණ ඇපයට තබාගෙන සිටියදී ඔවුන් මුදවාගැනීමට ගියේද පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායම විසිනි.  

 

ජනාධිපති ජේ.ආර්. සමග

 

 


තංගල්ල බන්ධනාගාර කැරැල්ල මැඩ පැවැත්වීමට ගිය එම කණ්ඩායමට නායකත්වය දෙනු ලැබුවේ එවකට සහකාර පොලිස් අධිකාරී තනතුරේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පසුකාලයක උසස්වීම් ලබා විශ්‍රාම ගිය අමරසිරි සේනාරත්න මහතා විසිනි.  


එම අවස්ථාව එදා අනාවරණය කිරීමට දිනපතා ලංකාදීප පුවත්පත වෙනුවෙන් වාර්තා කිරීමට තංගල්ලට ගිය මෙම සටහන තබන ලේඛකයාටද ඉරිදා ලංකාදීපයේ ප්‍රසන්න සංජීව තෙන්නකෝන්ටද මෙම වික්‍රමාන්විත ක්‍රියාවලිය සියැසින් දැකගැනීමට ලැබිණි.  


අන්තර්ජාතික පරමාණුක බලශක්ති අධිකාරියේ ජාත්‍යන්තර නිතිරීති අනුගමනය කරමින් විකිරණශීලී ද්‍රව්‍ය ආරක්ෂාකාරීව ප්‍රවාහනය කිරීමේ වගකීම ඇත්තේද මෙම විශේෂ අවි හා උපක්‍රම ඒකකයේ නිලධාරීන් වෙතය.  


මාලදිවයින රජයේ ඉල්ලීමකට අනුව එරට පොලිස් කණ්ඩායමකට විශේෂ අවි හා උපක්‍රම පිළිබඳව පුහුණුවීම් ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ අවි හා උපක්‍රම ඒකකයේ පුහුණු උපදේශකයන් විසිනි.  


ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකා ඉතිහාසයේ ප්‍රථම වතාවට එම බළකායේ නිලධාරීන් කණ්ඩායමකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක හමුදාවේ සේවය කිරීමට යාමට අවස්ථාවක් උදා විය.  


දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක හමුදාවේ රාජකාරි සඳහා 2004 වසරේ එහි ගියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර මහතා සහ සහකාර පොලිස් අධිකාරී අතුල දවුලගල යන මහත්වරුන් දෙදෙනා වෙති.  


ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර මහතා පොලිස් විශේෂ කාර්ය බළකාය වෙනුවෙන් අනගි මෙහෙවරක් ඉටුකර මේ වනවිට කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි.  


ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයසුන්දර මහතා නීතිඥයෙකු ද වේ.  


පොලිස් විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරී ආර්.එම්. විමලරත්න සහ පොලිස් පරීක්ෂක ඩී.ජී.එම්. චින්තක යන මහත්වරුන් 2015 වසරේදී ජෝර්දානය බලා ගොස් ඇත්තේ විශේෂ පුහුණුවීම් ලබාගැනීමටය.  


ශ්‍රී ලංකාවට අමතරව තවත් රටවල් 32 ක් නියෝජනය කරමින් මෙම විශේෂ පුහුණු පාඨමාලාව සඳහා සහභාගි වූ අතර මෙය ඉතා කටුක හා අතිශය දුෂ්කර පුහුණුවීමක් වී ඇත්තේ අධික උෂ්ණත්වයක් සහිත කාන්තාරයක පුහුණුවීම් ලබාදුන් නිසාය.  


මෙම විශේෂ පුහුණු පාඨමාලාව මාස දෙකක් පුරා පැවති අතර මෙහිදී විමලරත්න මහතා අතිශය දක්ෂ පුහුණුවන්නෙකු ලෙස තේරී ඇත්තේ අපේ මව්බිමට අභිමානයක්ද ගෙනදෙමිනි.  


ඒ කාලයේ විමලරත්න මහතා ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලයේ සිටි අයෙකි.

විමලරත්න සහ චින්තක යන පොලිස් විශේෂ කාර්ය බළකායේ මේ නිලධාරීන් දෙදෙනා එම පුහුණු පාඨමාලාව සාර්ථක ලෙස හදාරා මෙරටට පැමිණ පොලිස් විශේෂ කාර්ය බළකායේ තවත් නිලධාරීන් කණ්ඩායම්වලට එවැනිම ආකාරයේ පුහුණුවීම් ලබාදීම එවැනි නිලධාරීන්ගේ හැකියාවන් ප්‍රගුණ කර එම බළකාය තවත් දියුණු තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කර ඇත.  


පොලිස් විශේෂ කාර්ය බළකායේ කාන්තා බළඇණියක් ආරම්භ කරනු ලැබ ඇත්තේ 1990 වසරේදීය.  


වර්තමානය වන විට පොලිස් කොස්තාපල් නිලයේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලය දක්වා කාන්තා නිලධාරිනියෝ 500 ක් පමණ රාජකාරියේ නිරතව සිටිති.  


පරිපාලන කටයුතු, පිළිගැනීමේ කටයුතු, ප්‍රභූන් සිටින ප්‍රදේශවලට ඇතුළු වන ජනතාව පරීක්ෂා කිරීම, සන්නිවේදන රාජකාරි කටයුතු සෝදිසි කිරීම හා බුද්ධි තොරතුරු එක්රැස් කිරීමටද කාන්තා නිලධාරිනියන්ට පැවරී ඇති රාජකාරීන් අතර වෙයි.  


පිරිමි නිලධාරීන්ට ලබාදෙන මූලික පුහුණුවම කිසිම අඩුවක් නොමැතිව පොලිස් විශේෂ කාර්ය බළකායට බඳවා ගන්නා කාන්තා නිලධාරිනියන්ටද ලබාදෙනු ලැබේ.  


මෙම පුහුණුවීම් ලබාදෙන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (පුහුණු) පොලිස් අධිකාරී ෆයිසාල් හජ්ජි මහතාගේ උපදේශකත්වයෙනි.  


පොලිස් විශේෂ කාර්ය බළකායේ කාන්තා ඒකකයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කරන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාරි අමරසිංහ මහත්මිය වන්නීය.  


විශේෂ කාර්ය බළකා කාන්තා බළඇණියක් ඇති කිරීමෙන් පසු එම කාන්තා නිලධාරිනියෝ පිරිමි නිලධාරීන් සමග උරෙන් උර ගැටෙමින් උතුරු - නැගෙනහිර ප්‍රදේශවල ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකම රාජකාරියේ නිරතව සිටිති.  


එල්.ටී.ටී.ඊ. ය මෙරට ක්‍රියාත්මකවූ වකවානුවේදී විශේෂ කාර්ය බළකා කාන්තා නිලධාරිනියන් සුවිශේෂී කාර්යයක් රට වෙනුවෙන් ඉටුකර ඇත.  

 

කටුකුරුන්ද කඳවුරේ පුහුණුව ලබමින්...

සාම සාකච්ඡාවට කොළඹ ආ ඇන්ටන් බාලසිංහම්ට ආරක්ෂාව ලබාදෙමින්...

 

 


යුද්ධය පැවති සමයේ එල්.ටී.ටී.ඊ.ය සතු පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමටද කොටි අත්අඩංගුවට ගැනීමටද කාන්තා පොලිස් නිලධාරිනියන් සමත් වී තිබේ.  


පොලිස් විශේෂ කාර්ය බළකාය ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයන්ගේ තෝතැන්නකි.  


විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරීන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෂර්නි විජේසූරිය, පැට්‍රික් එඩ්වා, පොලිස් අධිකාරී ෆයිසාල් හජ්ජි, සහකාර පොලිස් අධිකාරී ආර්.එම්. විමලරත්න, ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් රත්නායක, පොලිස් පරීක්ෂක දිවුල්වැව, උප පොලිස් පරීක්ෂක සුමල් සිල්වා, පොලිස් සැරයන් බණ්ඩාර යන මහත්වරු ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයෝය.  


පොලිස් පරීක්ෂක දිවුල්වැව මහතා ජාතික ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබීමේ තරගාවලියේ ජාතික ශූරතාව ද ජාත්‍යන්තර තරගවලට සහභාගි වී රන් පදක්කම්ද දිනා ඇත.  


සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස පොලිස් සේවයට බැඳී පසුව පොලිස් විශේෂ කාර්ය බළකායට එක්වූ එච්.කේ. ඉලංගකෝන් මහතා පසුව පොලිස්පති නිලයට පත්වූ අතර ගාමිණි නවරත්න මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන සහ මැතිවරණ කටයුතු ලෙස රාජකාරි කර විශ්‍රාම ගියේය.  


උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු සහ නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර යන මහත්වරුද කාලයක් පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජකාරි කළ නිලධාරීහුය.  

 


සටහන  
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය   



අදහස් (0)

පොලිසියට ගැසූ කොටින්ගේ කඳවුරට එස්.ටී.එෆ්. ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10904 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6202 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5914 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5219 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1701 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site