IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මේ වී මාෆියාවට ගහන්න සියලු දේ අපි පාවිච්චි කරනවා

කෘෂිකර්මාන්ත ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ

  • ජනතාවට හොඳයි මේ ගැටුම ඒකෙන් රටට නරකක් වෙන්නේ නෑ
  • විමල් ඇමැතිතුමාට, උදය ඇමැතිතුමාට කවදාවත් ජනාධිපතිතුමා අහිතක් කරන්නේ නෑ
  • බැසිල් රාජපක්ෂට හෝ වෙන කාටවත් ප්‍රාතිහාර්ය පාන්න බෑ

 

රටේ උණුසුම් දේශපාලන මාතෘකා සම්බන්ධයෙන් කෘෂිකර්මාන්ත ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග කළ සාකච්ඡාවකි. 

•  ප්‍රශ්නය : ඉතාම කෙටි කලකින් තම අසාර්ථක බව පෙන්වපු ආණ්‍ඩුව මේ ආණ්ඩුවයි? 

 
අවුරුදු පහක් රට කරලා අසාර්ථක වෙච්ච දේශපාලන පක්ෂයක් කතා කරනවා තවත් අසාර්ථක පුද්ගලයකු පිළිබඳව. මුලින්ම තමන් පාලනය කරපු කාලය ගැන හිතලා තමන් සාර්ථකද අසාර්ථකද කියලා තීරණය කරන්න. තමන් අසාර්ථක වෙලා සාර්ථක මනුස්සයකුට බොරුවට චෝදනා කරන්න එපා. ආණ්‍ඩුවක් හැටියට සාර්ථක ගමනක් අපි ඇවිත් තියෙනවා.   


•  ප්‍රශ්නය : කොවිඩ් මර්දන​ මෙහෙයුම වුණත් අයාලේ යන ගතියක් නේද පෙන්නුම් කරන්නේ?   


කොවිඩ් පාලනය කිරීමේදී කිසිදු අයාලේ යාමක් නෑ. රජය පැහැදිලි ක්‍රියා පිළිවෙතක් ක්‍රියාත්මක කරනවා. ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. අපි පළමු රැල්ල ඉතාම හොඳින් මැඩ පැවැත්වුවා. දෙවැනි රැල්ලත් අපි ඉතාම හොඳින් මැඩ පැවැත්වුවා. දැන් මේ අපි ඉන්නේ තුන්වැනි රැල්ලේ. පළමු රැල්ලේදි ඔය කතාව කිව්වේ නැහැ. දෙවැනි රැල්ල අවසන් වෙනකොට ඔය කතාව කිව්වේ නැහැ. එතකොට මේ ආණ්‍ඩුව නියමයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තරම් වීරයෙක් හිටියෙ නෑ. තුන්වැනි රැල්ල එනකොට කොවිඩ් ප්‍රභේද රාශියක් ඇවිත් දිස්ත්‍රික්කවලට ව්‍යාප්ත වෙලා. මේ කාර්යභාරය ටිකක් පුළුල් වෙලා තියෙනවා. මේ රටේ හැම පුරවැසියෙකුටම මේ අවුරුද්ද අවසන් වෙන්න පෙර එන්නත ලබා දෙනවා.   


•  ප්‍රශ්නය :  මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කිව්වා.. කාර්ය සාධක බළකා දාගෙන මේක කරන්න බෑ. කැබිනට් එකට පාර්ලිමේන්තුවට වග කියන විදියට මේක කරන්න කියලා.

   
රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයෙක්. ඒත් කොළඹින් ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තුවට යන්න බැරි වුණා. ඡන්දෙන් පාර්ලිමේන්තුවට යන්න බැරි වෙච්ච ප්‍රායෝගික නැති රනිල් වික්‍රමසිංහ මහත්මයා වගේ කෙනෙක් බම්බලපිටිය හන්දියෙන් පාර පනින්න බැරි රනිල් වික්‍රමසිංහ මහත්තය වගේ කෙනෙක් කියන දේ අහලා අපි කලබල විය යුතු නෑ.   


•  ප්‍රශ්නය : නමුත් ඔහුගේ තර්කය ප්‍රබලයි.   


නෑ.. ඔය හදන්නේ මතවාද. කිසිදු මිලිටරි කරණයක් නෑ, කැබිනට් මණ්ඩලය තමයි තීන්දු ගන්නේ. පොදුවේ ආණ්‍ඩුව තමයි තීන්දු ගන්නේ. ඔය ගොඩනගන තර්කය මතවාදය සම්පූර්ණ අසත්‍යයක්. ඕක රනිල් වික්‍රමසිංහට කවුරුහරි දීපු ලණුවක්. මීට පෙර ලණු කෑවා වගේම මේ පාරත් ලණුවක් කාල.   


•  ප්‍රශ්නය :  පොහොර ප්‍රශ්නය නිසා ගොවි සටන් ඇවිලී යනවා. අනාගතේ මහ සාගතයක් ආ හැකි බවත් කියනවා.   


රටේ කිසිම ආකාරයකින් සාගතයක් ඇති වෙන්න බෑ. අපි ගත්තොත් වී වගාව.. අපේ ප්‍රධාන ආහාරය බත් නේ. අපේ රටේ ගොවියෝ සමස්තයක් හැටියට යල කන්නයට හෙක්ටයාර ලක්ෂ පහක් වගා කරනවා. මහ කන්නයට හෙක්ටයාර ලක්ෂ අටක් වගා කරනවා. ඒ කියන්නේ හෙක්ටයාර ලක්ෂ 13 ක් අවුරුද්දට අපි වගා කරනවා. එතකොට අපේ රටේ දළ නිෂ්පාදනය හෙක්ටයාරයක් සඳහා මෙට්‍රික් ටොන් 4.5 යි. එතකොට හෙක්ටයාර ලක්ෂ 13 කට අපි වී නිෂ්‍පාදනය කරනවා. වී මෙට්‍රික් ​​ටොන් මිලියන 5.4 ක්. ඒ අවුරුද්දකට. එතකොට මේක 1.6 ක් අඩු කරලා සහල් බවට පරිවර්තනය කළාම හාල් මෙට්‍රික් ටොන් මිලියන 3.4 කට ආසන්නව හාල් නිෂ්‍පාදනය කරනවා. මාසෙක අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 1.95 යි. ඒ කියන්නේ අපේ මාසික හාල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 2යි. අවුරුද්දක අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 24 යි. අපිට වසරකට හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8 ක් 10 ක් අතර ප්‍රමාණයක අතිරික්තයක් හැමදාම තියෙනවා.   


•  ප්‍රශ්නය :  සංඛ්‍යා ලේඛනවල මොනවා තිබුණත්..   


පොඩ්ඩක් ඉන්න. මේ සංඛ්‍යා ලේඛන ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව හා පොහොර ලේකම් කාර්යාලයෙන් නිකුත් කරපු සංඛ්‍යා ලේඛන. එතකොට මම අහන්නේ හාල් මෙට්‍රික් ටොන් 8-10 ක අතිරික්තයක් තියෙනව නම් අපි පසුගිය කාලේ පිටරටින් එක හාල් ඇටයක් ගෙනාවේ නැත්නම් කොහොමද රට සාගතයකට යන්නේ. ගොවියො දවසෙන් දවස වී වගා කරන ප්‍රමාණය වැඩි කරනවා නම් කොහොමද රට සාගතයකට යන්නේ. මම වගකීමෙන් කියනවා. මොනම සාගතයක්වත් එන්නේ නෑ. මේ රසායනික පොහොර මාෆියාව සහ අනාථ වෙච්ච විපක්ෂයෙ දේශපාලන පක්ෂ ජනගත කරන්න හදන බොල් බොළඳ ප්‍රවාද. 

 
•  ප්‍රශ්නය : ඔබ එහෙම කිව්වත් පොන්නි සම්බා මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරන්න ආණ්‍ඩුව තීරණය කළා.   


අපි අද වෙනකම් පොන්නි සම්බා ගෙන්වලා නෑ. අපි ගෙන්වන්න තීරණය කළා විතරයි. ඔබ දන්නවද අපි පොන්නි සම්බා ගෙන්වන්න තීන්දු කරපු ගමන් හාල් කිලෝ එක රුපියල් දහයකින් අඩු වුණා. මේ වී මාෆියාවට ගහන්න සියලු දේ අපි පාවිච්චි කරනවා. ඔබ දන්නවා පළමු වතාවට මේ රටේ ඉතිහාසයේ වී මාෆියාවක් එක්ක හැප්පුන එකම කෘෂිකර්ම ඇමැති මම විතරයි. මම ගිය කන්නයෙ වී මෙට්‍රික් ටොන් හැට පන් දහසක් ගත්තා. ඒ හැට පන් දහස නිසා මම මාස තුනක් පළමු වතාවට ආණ්ඩුව හාල් මිල පාලනය කළා. මෙතෙක් කාලයක් හාල් මිල පාලනය කළේ මෝල් කාරයෝ. ජනතාව ආණ්‍ඩුවට ඡන්දය දීලා ආණ්ඩු හදනවා. හාල් මිල පාලනය කරන්නේ මෝල් කාරයෝ හතර දෙනෙක්. පළමුවැනි වතාවට මම ​අප්‍රේල් මාසයෙ ඉඳල මාස තුනක් මේ හාල් මිල පාලනය කළා. මම සතොසට සමුපකාරවලට සුපර් මාර්කට්වලට රුපියල් අනූ හතරකට නාඩු දුන්නා. රතු සම්බා රුපියල් 91 ට දුන්නා. ඒ නිසා ඒ මාෆියා එක කඩලා වී අලෙවි මණ්‍ඩලය වී ගත්ත නිසා තමයි එහෙම කරන්න පුළුවන් වුණේ. දැන් මම ළඟ වී ඉවරයි. ඒ එක්කම අනූ පහේ හාල් එකසිය විස්සට වික්කා. 

 
•  ප්‍රශ්නය :  කීරි සම්බා කිලෝ එකක් රුපියල් දෙසිය පනහයි.   


ඔව් මම පිළිගන්නවා. රුපියල් දෙසිය පනහයි. කීරි සම්බා වී කිලෝවක් අරගෙන තියෙන්නේ රුපියල් අසූවට. එක වී කිලෝ එකකින් රුපියල් සීයට වඩා ලාභයක් ලබනවා. බිලියන ගණන් වංචා කරනවා.

දේශපාලනඥයන්ට නිලධාරීන්ට ඒ සල්ලි විසි කරනවා. එහෙම කරන්න ඉඩ දෙන්නද ආණ්ඩුවක් තියෙන්නේ.   


•  ප්‍රශ්නය :  මමත් ඔබෙන් අහන්න හිටියෙ ඒ ප්‍රශ්නයම තමයි.   


ඔව් අපි කිව්වා.. අපිට වී තිබ්බ කාලේ අපි වී මිල පාලනය කළා. වී ඉවර වුණාම අපි ඒ ගොල්ලන්ට කිව්වා හාල් සාධාරණ මිලට දෙන්න කියලා. හාල් මිල පාලනය කරන්න ඕනෑ නිසා තමයි අපි පොන්නි සම්බා ගෙන්වන්න තීරණය කළේ. වී ගොවියාට ප්‍රශ්නයක් නෑ ඒ සහල් ගෙන්නුවා කියලා. වී ගොවියා වී විකුණලා ඉවරයි. සහල් ගෙන්වීම තුළ පාඩුවක් වුණොත් වෙන්නේ ඒ වී මෝල් කාරයො හතර දෙනාට විතරයි. සහනය ලැබෙනවා සමස්ත පාරිභෝගික ජනයාට හා ගොවියාට.   


•  ප්‍රශ්නය :  වී මෝල් හිමියන් පාලනය කරන්න පුළුවන් වෙන්නේ රටින් හාල් ගෙන්නුවොත් විතරයි. නමුත් නැද්ද වෙන ක්‍රමවේදයක්.   


බලාගෙන ඉන්න. ඒ ක්‍රමවේදය තමයි මේ හදාගෙන යන්නේ. ඔබ මීට කලින් දැකලා තියෙනවද වී මෝල් කාරයන් එක්ක හැප්පෙනවා. ඔබ මතක තියාගන්න. රට පාලනය කරන කිසිම ආණ්‍ඩුවක් මෝල් කාරයන් එකක් හැප්පුණේ නෑ. එකම කෘෂිකර්ම ඇමැති විදියට මමයි ආණ්‍ඩුවයි තමයි මේ සටන පටන් ගත්තේ. මේ රටේ වී මිල පාලනය කරන්නේ මෝල් කාරයන් හතර දෙනෙක් නම් බිත්තර මිල පාලනය කරන්නේ දෙන්නෙක් නම් බඩ ඉරිඟු පාලනය කරන්නේ දෙන්නෙක්නම් මේ රටේ මොකටද ආණ්‍ඩුවක් අපිට. දැන් එළවළු පාලනයටත් අතර මැදියෙක් ඇවිත්. මේ මාෆියාවලට ගැහුවෙ නැත්නම් රට ලොකු අමාරුවක වැටෙනවා. ඒ නිසා මටත් පුළුවන් වී මෝල් කාරයන්ගෙන් කීයක් හරි අරගෙන කට වහගෙන ඉන්න. මටත් පුළුවන් මේ මාෆියාවට යටත් වෙන්න. ඒකට නොවෙයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති කළේ. එතුමව මේ රටේ ජනාධිපති කළේ ඔන්න ඕකට.   


•  ප්‍රශ්නය : ජනාධිපතිවරයා ජාතිය ඇමතුවා. කෝ මුකුත් නෑනේ කියලයි ජනතාව කියන්නේ.   


ජනතාව එහෙම කියන්නේ නෑ. බංකොලොත් විපක්ෂය නම් ඔහොම කියනවා. කසිකබල් ජේ.වී.පී. කාරයෝ ටිකයි යූ.එන්.පී. කාරයෝ ටිකයි ස.ජ.බ.යෙ අනාථයන් ටිකයි තමයි ඔහොම කියන්නේ. ඔබ එතුමාගේ කතාවේ ඇතුළත කියවන්න. එතුමාගේ කතාවේ කාලය ගැන මේ අය කියනවා. එතුමා රටේ ජනාධිපතිවරයා හැටියට රටේ සමස්තය ගැන එතුමා පැහැදිලි කිරීමක් කළා. එතුමා කතා කළා පොහොර ගැන. එතුමා කතා කළා කොවිඩ් ගැන. එතුමා රටේ සංවර්ධනය ගැන කතා කළා. එතුමා රටේ ආර්ථිකය ගැන කතා කළා. ඒ නිසා රාජ්‍ය නායකයකුට ඒ සියලු දේ ගැන කතා කරන්න වෙනවා. ඒ කතාවේ සියල්ල සම්පිණ්ඩනය කරලා බලන්න. ඒ කතාවේ කාලය ගැන බලලා ගහන්න එපා. ඒ කතාවේ එක කෑල්ලක් අල්ලගෙන ගහන්න එපා. කතාවේ අන්තර්ගතය බලන්න.   


•  ප්‍රශ්නය : රෑ ජාතිය අමතනවා කියලා අමතල තියෙන්නේ මහ දවල්. එතනම බොරුව කියලයි විපක්ෂය කියන්නේ.   


ජාතිය අැමතීමක් පටිගත කරලා පෙන්නුවට ප්‍රශ්නයක් නෑ. ජනාධිපතිවරු ජාතිය ඇමතීම සජීවීවත් කරනවා. පටිගත කරලත් කරනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ. ​මොකක්ද තියෙන ප්‍රශ්නය? කොහෝ හරි තැනක කිව්වද ජාතිය අමතන්නේ ලයිව් කියලා. එහෙම කිව්වේ නැහැනේ. ජනාධිපති මාධ්‍ය අංශයෙන් කිව්වද? ඔහොම කියන්නේ වෙන කියන්න දෙයක් නැති නිසයි. 

 
•  ප්‍රශ්නය :  ජාතිය අමතනවා වගේම ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන්වත් අමතනවානම් ප්‍රශ්න ටිකක් අඩු කර ගන්න තිබුණ නේද?   


අ​පි පක්ෂ ගණනාවකින් සැදුම් ලත් සන්ධානයක්. අපි තේරුම් ගන්න ඕනෑ විවිධ දේශපාලන පක්ෂවල විවිධ මත තියෙනවා. මේ ආණ්‍ඩුවේ ප්‍රධාන කොටස්කාරයෝ ගණනාවක් ඉන්නවා. විමල් අයියා උදය අයියා ගත්තොත් ඔවුන්ට වෙනම දේශපාලන ලයින් එකක් තියෙන්නේ. ඔවුන් ඉන්නේ ජාතිකවාදී මතවාදයේ. වාසු ඇමැතිතුමාලා සම සමාජ කොමියුනිස්ට් පක්ෂ ගත්තොත් ඒ ගොල්ලන්ට තියෙන්නේ වාමාංශික ලයින් එකක්. පොදුජන පෙරමුණ ගත්තාම පොහොට්ටුවේ අපි වෙනම ලයින් එකක ඉන්නේ. අපේ සන්ධානය ඇතුළේ දෙමළ පක්ෂ තියෙනවා. මුස්ලිම් පක්ෂ තියෙනවා. ඒ ගොල්ලන්ට වෙනම මතයක් තියෙන්නේ. පක්ෂ ගණනාවකින් සැදුම්ලත් ආණ්‍ඩුවක් ඇතුළේ විවිධ මතවාද මත ගැටුම් තියෙන්න පුළුවන්. එ්ක තමයි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. මේක රනිල් වික්‍රමසිංහ වගේ බුල්ඩෝසර් කරගෙන යන සන්ධානයක් නොවෙයිනේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ මතවාද සංවාද තියෙන්න ඕනෑ. හැබැයි අවසානයේ රටට හොඳ දේ වෙනවානේ. 20 වැනි සංශෝධනය පිළිබඳව ආණ්ඩුව ඇතුළේ විවිධ මත තිබුණා. හැබැයි අවසානයෙන් හරි මතය ජයග්‍රහණය කළානේ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මාතෘකාව ආවා. සියලු පක්ෂ සටන් කළා. රටට හොඳ දේ වුණානේ. එහෙම නම් මේ තියෙන මතගැටුම නරකද? මම නම් කැමතියි. මේකෙන් හොඳක් වෙනව රටට. මේකෙන් නරකක් වෙන්නේ නෑ. ජනතාවට හොඳයි මේ ගැටුම.   


•  ප්‍රශ්නය : ඇමැති විමල්ගේ අමාත්‍යංශය යටතේ තිබුණ පොස්පේට් සමාගම ඔබේ අමාත්‍යාංශයට පැවරුවා. ඒවා මේ ගැටුම්වල ප්‍රතිඵල.   


නෑ.. නෑ. ඒක මේ ගැටුම්වල ප්‍රතිඵලයක් නොවෙයි. මේක පසුගිය අවුරුදු පහේම තිබුණෙ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ. මේ කාබනික පොහොර නිෂ්පාදනයත් එක්ක තමයි ජනාධිපතිතුමා මේ තීන්දුව ගත්තේ.   


•  ප්‍රශ්නය : එහෙම ගන්නවා කියලා ඇමැති විමල් දැනගත්තේ නිවුස් ඇලට් එකකින්.   


ඔව්. එහෙම කොමියුනිකේෂන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක වැරදියි. විමල් ඇමැතිතුමා දැනුවත් වෙලා ඉඳලා නෑ. ඒක ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වෙච්ච අඩුපාඩුවක්. ඒක අපි පිළිගන්නවා. එහෙම නැතිව විමල් ඇමැතිතුමා ඉලක්ක කරගෙන ගෝඨාභය ජනාධිපතිතුමා කවදාවත් එහෙම කරන්නේ නෑ. විමල් ඇමැතිතුමාට, උදය ඇමැතිතුමාට කවදාවත් ජනාධිපතිතුමා අහිතක් කරන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගේන්න පෙරමුණේ හිටපු රාළලා තමයි විමල්, උදය කියන්නේ. ඒ නිසා කවදාවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් එතුමාලාට අසාධාරණයක් වෙන්නේ නෑ.   


•  ප්‍රශ්නය :  ඔය ඇගයීම පොහොට්ටුවේ අනිත් අය ළඟත් තියෙනවද?   


මේ රටේ සිංහල දන්න මිනිස්සු ඒ ඇගයීම කරනවා. සාමාන්‍ය දැනීම තියෙන ඕනෑම කෙනෙකුට ඒක තේරෙනවනේ.. මේ සටනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට බැසිල් රාජපක්ෂ මැතිතුමා විශාල කාර්යභාරයක් කළා. වාමාංශික පක්ෂ හැටියට විමල්ලා, උදයලා ලොකු කාර්ය භාරයක් කළා. ඒක අපි කවුරුත් දන්න දෙයක්නේ.

   
•  ප්‍රශ්නය :  පොහොට්ටුවේ ලේකම් මන්ත්‍රී සාගර කාරියවසම් එක වෙලාවක ඇමැති විමල්ට කිව්වා යන්න කියලා. ඇමැති උදයට යන්න කිව්වා.

   
මෙහෙමයි. මේ වෙලා තියෙන්නේ දේශපාලනයේදී අපි මීට වඩා පරිණත වෙන්න ඕනෑ. ඒ නිසා මම මගේම පක්ෂයේ ලේකම් විවේචනය කරන්න කැමැති නෑ. නමුත් අපි මීට වඩා පරිණත වෙන්න ඕනෑ කියලයි මම කියන්නේ.   


•  ප්‍රශ්නය : හිටපු ජනාධිපති​ මෛත්‍රීපාල සිරිසේන කවදාද ඇමැති ධුරයෙ දිවුරුම් දෙන්නේ.   


එහෙම කාටවත් අලුතෙන් ඇමැතිකම් දෙන්න තීන්දු කරලා නෑ. මෛත්‍රීපාල මහත්තයාටවත් වෙන කාටවත් නෑ.   


•  ප්‍රශ්නය : එතකොට බැසිල් රාජපක්ෂ?   


බැසිල් රාජපක්ෂ මැතිතුමා කවදද පාර්ලිමේන්තුවට එන්නේ කියලා කියන්න මම දන්නේ නෑ. හැබැයි බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි කියන මතයේ මමත් ඉන්නවා. මොකද එතුමා මේ වෙනකොට ජනාධිපති කාර්ය සාධක බළකායෙ සභාපති හැටියට සුවිශේෂී කාර්ය භාරයක් කරනවා. එළියෙ ඉඳගෙන වැඩ කරනවාට වඩා ඇතුළට ඇවිත් විශාල කාර්යභාරයක් කරන්න පුළුවන්.   


•  ප්‍රශ්නය :  බැසිල් ආවොත් හොඳයි කියන්නේ මහින්ද, ගෝඨාභය දෙන්නම අසමත් කියන එකද? 

 
කවුරුවත් එහෙම කියන්නෑ. කවුද කියන්නේ මහින්දටයි ගෝඨාභයටයි වඩා බැසිල් හොඳයි කියලා. එහෙම කවුරුවත් කියන්නේ නෑ. මේ තුන්දෙනාගෙම සංකල්පය හොඳයි කියලයි කවුරුත් කියන්නේ.   


•  ප්‍රශ්නය :  බැසිල් රාජපක්ෂ ආවොත් තෙල් මිල අඩු කරලා ප්‍රාතිහාර්යය පායි කියලත් කියනවා. 

 
බැසිල් රාජපක්ෂ හෝ වෙන කාටවත් ප්‍රාතිහාර්ය පාන්න බෑ. ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් වෙන්නේ ආණ්‍ඩුවටනේ. ජනාධිපතිතුමා ඉන්නවනේ අගමැතිතුමා ඉන්නවනේ එතකොට අපි ඔක්කොම එකතු වෙලානේ තීන්දු ගන්නේ. පසුගිය කාලෙත් බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ ආණ්ඩුවේ හැම දෙයකටම දායක වුණා. ඒ නිසා ඒ ආගමනය අලුත් දෙයක් නොවෙයි.

 

 

සාකච්ඡා කළේ : 
ප්‍රසන්න සංජිව තෙන්නකෝන්



අදහස් (0)

මේ වී මාෆියාවට ගහන්න සියලු දේ අපි පාවිච්චි කරනවා

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 173 2

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1180 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 957 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2165 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3691 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site