IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


තවත් පච වෙන්න නැතුව අලුත් ආණ්ඩුවකට ඉඩ දීලා මේ ආණ්ඩුව ගෙදර යන්න

සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ

 

  • සජිත්ට අගමැතිකම දෙන්න හැදුවේ බොරුවට
  • තමන්ට කරන්න බැරිනම් දාල යන එකනේ තියෙන්නේ  

 

සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අප හමුවූයේ රටේ වර්තමාන දුක්ඛිත ඉරණමත් ඒ ඉරණමෙන් රට ගොඩ ගැනීමට ඇති මාවත සම්බන්ධයෙනුත් සාකච්ඡා කිරීමටය. මේ රට ගොඩ ගැනීමට නම් ජනාධිපතිවරයා නීතියට යටත් කළ යුතු බව පවසමින් ඒ මහතා එයට හේතුද ඉදිරිපත් කළේය. මේ ඒ සංවාද සටහනය. 


ප්‍රශ්නය- රට තියෙන්නේ බරපතළ වියවුලක. ඔබ හිතන විදියට විසඳුම?   


පිළිතුර- මේ ආණ්ඩුවට කිසිම ප්‍රශ්නයකට උත්තර නැහැනේ. දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුව පචවෙලා තියෙන්නේ. එනිසා කරන්න තියෙන්නේ තවත් පච වෙන්නෙ නැතිව අලුත් ආණ්ඩුවකට ඉඩදීලා මේ ආණ්ඩුව ගෙදර යන එකයි.   


ප්‍රශ්නය- නමුත් මේ මොහොතේ මැතිවරණයකට යන්න පුළුවන්ද?   


පිළිතුර- ඇයි බැරි? එහෙම එකක් නෑ. මැතිවරණයක් තියන්න පුළුවන්නේ. මේ ආණ්ඩුව තියෙනකන් කිසිම රටක් අපට ශතයකින්වත් ආධාර දෙන්නේ නෑ. මොකද මම මුලින් කිව්වා වගේම මේ ආණ්ඩුව දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් පච වෙලා ඉන්නේ. මේ ආණ්ඩුව මුළු ජාත්‍යන්තරයටම ණයයි. ඉතින් අපට උදව් කරයිද? ඔයා වුණත් ණයක් දෙනවද ඔයාට ණය දෙන්න තියෙන කෙනෙකුට. අපිට උදව් කරපු හැම රටකටම අපි ණයයි. ඒ නිසා ඒ ගොල්ලෝ අපට තවත් උදව් කරන්නේ නෑ. මේ ආණ්ඩුව ගැන කිසිම රටකට විශ්වාසයක් නෑ. හැබැයි ජාත්‍යන්තරය කියනවා සියලු පක්ෂ එකතු වෙලා ආණ්ඩුවක් හැදුවොත් අපට සළකා බලන්න පුළුවන් කියලා.   


ප්‍රශ්නය- මැතිවරණ කොමිසමේ සභාපතිවරයත් කිව්වා ‘ජනතාව ඉන්නේ පෝලිම්වල. ඔවුන්ට ඡන්ද මානසිකත්වයක් නෑ’ කියලා.   


පිළිතුර- මැතිවරණ කොමිසමේ සභාපතිවරයයි ඒ ටීම් එකේ අයයි ​ගෝඨාභයගේ පක්ෂ කාර්යාලවල වැඩ කරපු අයනේ. ඒ නිසා ඒ ගොල්ලෝ කියන ඒවා කවුද ගණන් ගන්නේ.   


ප්‍රශ්නය- ඔබත් කියනවා ජාතික ආණ්ඩුවක් ඕනෑ කියලා ජනාධිපතිවරයත් ආරධනා කළා. නමුත් ඔබලනෙ එන්නෙ නැත්තේ?   


පිළිතුර- ඒක එයා ක්‍රියාත්මක කළේ නෑනේ. මේකේ වගකීම තියෙන්නේ ජනාධිපතිවරයාටයි. පාර්ලිමේන්තුවටයි. සියලු පක්ෂ එකතුවෙලා සමගි ජන බලවේගයේ කැමැත්ත අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුස්ලිම් කෙංග්‍රසයේ දෙමළ ජාතික සන්ධානයේ වගේම ජනතා විමුක්ති පෙරමුණේ කැමැත්ත අනුව ජාතික ආණ්ඩුවක් හදනවා නම් ඔය ඔක්කොමලා එනවා. මේ පිහිටෙව්වේ එහෙම ආණ්ඩුවක් නොවෙයිනේ. මේක මේ මන්ත්‍රීවරුන් කොල්ල කාලා හදපු ආණ්ඩුවක්නේ. සජබෙ දෙන්නෙක් ගත්තා සජබෙ කැමැත්ත නැතුව. ශ්‍රී ලංකා එකේ කට්ටියක් ගත්තා ශ්‍රී ලංකා එකේ කැමැත්ත නැතුව. එහෙම කරන්න බැහැනේ. මෙහෙම ආණ්ඩු ජාත්‍යන්තරය පිළිගන්නේ නෑ.   


ප්‍රශ්නය-  ඔබලාගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ නිසයි එබඳු ක්‍රියා මාර්ගවලට යන්න වුණේ?   


පිළිතුර- නෑ. නෑ. ජාතික ආණ්ඩුවකට අපට එන්න කිව්වා. සජබෙට එන්න කිව්වා. ඒක හරි! සජබෙටනෙ තියෙන්නේ විපක්ෂ නායකකම. අපේ නායකතුමාට තනියෙන් තීරණයක් ගන්න බෑ. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමඟ සාකච්ඡා කරන්න ඕනැ. කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඒක දාන්න ඕනැ. ඒවට පැය 48ක් විතර ගියා. පොඩි ප්‍රමාදයක් ඇති වුණා. ඒක මම නෑ කියන්නේ නෑ. නමුත් ඒ ප්‍රමාදය ජනාධිපතිවරයට නොසලකා හරින්න තිබුණා. මොකද සජිත් විපක්ෂ නායක. 

 
ප්‍රශ්නය- රට තියෙන තැන අනුව ක්ෂණිකව තීන්දු ගැනීම දේශපාලන පක්ෂවල වගකීමක්.   


පිළිතුර- ඇත්ත වශයෙන්ම රනිල් වික්‍රමසිංහට අගමැතිකම දීම එදා දවසෙ ගත්තු තීරණයක් නොවෙයිනේ. ජනවාරි මාසයෙ ඉඳන් රනිල්ට අගමැතිකම දෙනවා කියලා සිරිකොතේ කතා වුණා. සමහර අය මාධ්‍ය සාකච්ඡා තියලා කිව්වා ‘රනිල් අගමැති වෙනවා’ කියලා.   


ප්‍රශ්නය- විපක්ෂය මේ දැනුත් කටයුතු කරන්නේ ජාතික වගකීමෙන් බැහැරව කියලා මම කිව්වොත්?   


පිළිතුර- ජාතික වගකීම ඉටු කරන්න නියම විදියට ජාතික ආණ්ඩුවක් හදන්න එපැයි. මම කියන එක ඔබතුමාට තේරෙනවද කියලා මට තේරෙන්නේ නැහැ. විපක්ෂයෙ සියලු පක්ෂවල කැමැත්ත අනුව ජාතික ආණ්ඩුවක් හදලා සියලු දෙනාගෙම කැමැත්ත අනුව කැබිනට් එක හදන්න පුළුවන්.   


ප්‍රශ්නය- අන්තිමට ඔබේ පක්ෂයෙ හිටපු හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර ඇමැතිවරුන් වුණා.   


පිළිතුර- ඒ දෙන්නා සජබය එක්ක ගියේ නෑනේ. ඒ දෙන්නා වෙනම තීන්දුවක් ගත්තනේ. ඒ දෙන්නා කලබල වුණානේ. ඇත්ත වශයෙන්ම සජිත්ට අගමැතිකම බාර ගන්න කියලා කිව්වා විතරයි. එතැනින් එහාට මුකුත් වුණේ නැහැනේ. හරිද? බහුතරයක් නැතිව අගමැතිකම බාර ගන්න බැහැනේ. පනතක් සම්මත කරගන්නත් කන්නලව් කරන්න එපැයි. ප්‍රායෝගික ගැටලු තියෙනවා. ඒවා කතා කරන්න ගියාම තමයි ප්‍රමාදය ඇති වුණේ. ජනාධිපතිතුමාට කල්පනා කරන්න තිබ්බා සජිත් කියන්නේ තවත් මන්ත්‍රීවරයෙක් නොවෙයි. එයා මේ රටේ විපක්ෂ නායක. මම නම් කියන්නේ සජිත්ට අගමැතිකම දෙන්න හැදුවේ බොරුවට. එහෙම නැතුව ඒක ක්‍රියාත්මක කරන්න නොවෙයි. ජනවාරි මාසෙ ඉඳන් රනිල් අගමැති වෙනවා කියලා සිරිකොතේ කතා වුණා.   


ප්‍රශ්නය- සජබයේ කී දෙනෙක් සජබෙන් අයින් වුණාද? සජිත්ගෙ නායකත්වය නේද මේ ප්‍රශ්න කෙරෙන්නේ? 

 
පිළිතුර- දෙන්නනේ ගියේ. හරින් හා මනුෂ විතරනේ ගියේ.   


ප්‍රශ්නය-  20 වැනි සංශෝධනයට සහාය දෙමින් ඩයනා ගමගේ ඇතුළු කණ්ඩායමක් ගියා.   


පිළිතුර- එහෙම තමයි පක්ෂවලින් එහාට මෙහාට යන එක අපේ දේශපාලනයෙ අලුත් දෙයක් නොවෙයිනේ. පොහොට්ටුවේ හතළිස් ගානක් ඔය ස්වාධීන වෙලා ඉන්නේ. අපි කියන්නේ මේකයි. අපි දේශපාලනය අමතක කරමුකෝ. බලයට එන ආණ්ඩුවකට ර​ටේ ප්‍රශ්නවලට විසඳුම් තියෙන්න එපැයි. කොයි රටේද විපක්ෂයෙන් විසඳුම් ඉල්ලන්නේ. ඔයා කතා කරන විදියට ඔයා විසඳුම් ඉල්ලන්නේ අපෙන්.   


ප්‍රශ්නය- මගේ තර්කය වුණේ ජන ජීවිත සමග සෙල්ලම් කරන්න කාටවත් අයිතියක් නෑ කියලයි. 

 

පිළිතුර- කොයිම ආණ්ඩුවක්වත් විපක්ෂයෙන් විසඳුම් ඉල්ලන්නේ නැහැනේ. තමන්ට කරන්න බැරි නම් දාලා යන එකයි තියෙන්නේ. කොයි රටේද විපක්ෂයෙන් විසඳුම් ඉල්ලන්නේ. මට එක රටක් පෙන්වන්න. තුනෙන් දෙකක බලයක් ලැබුණේ. 20 වැනි සංශෝධනයෙන් ඔක්කොම බලතල අතට ගත්තා. ඒත් කරගන්න බැරි වුණානේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වුණාට ආණ්ඩුවේ ප්‍රධානියා ගෝඨාභයනේ. ගෝඨාභය මෙතැන ඉන්නකම් තඹ ශතේක උදව්වක් ජාත්‍යන්තරයෙන් ලැබෙන්නේ නෑ. මේ ආණ්ඩුවේ පැටිකිරිය ජාත්‍යන්තරය දන්නවා. මේ ආණ්ඩුවේ වංචා දූෂණ ගැන ජාත්‍යන්තරය දන්නවා. අපට ආධාර වශයෙන් ලැබුණ මුදල් ආපහු අපේ රටෙන් පිටවෙලා කියලා ජාත්‍යන්තරය හොඳින්ම දන්නවා. කබ්රාල්ව දාගෙන කළේ ඒකනේ. අනිත් එක අපි කොහොමද ජාත්‍යන්තරයෙන් ආධාර ඉල්ලන්නේ. මේ ආණ්ඩුවට බැරිවෙලා තියෙනවනේ අපේ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ප්‍රේශණ ලබාගන්න. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ටත් මේ ආණ්ඩුව විශ්වාස නැහැනේ. මේ ප්‍රශ්නයට කලින් ඩොලර් මිලියන 7ක් ආවනේ. දැන් එන්නේ ඩොලර් මිලියන එකයි දශම ගානක්නේ. අපේ විදෙස්ගත ශ්‍රමිකයන්ටත් මේ ආණ්ඩුව ගැන විශ්වාසයක් නැත්නම් ජාත්‍යන්තරය අපි ගැන විශ්වාස කරයිද?   


ප්‍රශ්නය- මේ ගමනේ කෙළවර කුමක්ද?   


පිළිතුර- අපි නම් ප්‍රචණ්ඩත්වයට විරුද්ධයි. නමුත් රට යන විදියට කොහෙන් කෙළවර වෙයිද දන්නේ නෑ. ඉදිරි මාසවල රටේ තත්ත්වය ඉතාමත් දරුණු වෙයි. මම හිතන විදියට සිවිල් යුද්ධයක් ඇති වීමටත් ඉඩ තියෙනවා. ආණ්ඩුව තවමත් ‘ගේම්’ ගහනවනේ. අගමැති ඉල්ලා අස්වෙලා. කැබිනට් එක ඉල්ලා අස්වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකව ප්‍රශ්න ඇතිවෙලා තිබියදීත් ‘ගේම්’ ගහනවනේ. මේක හොඳට මතක තියාගන්න. කිසිම රටක් අපට උදව් කරන්න ඉදිරිපත් වෙලා නෑ. ඔක්කොමලා කියන්නේ ‘අපි අයි එම් එෆ් එකට කියන්නම්’ කියලයි. අයි එම් එෆ් එකෙන් කොන්දේසි දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. පළමුවැනි එක තමයි ආර්ථික ප්‍රතිසංස්කරණ. මේ ණය ගෙවන්න මුදල් සොයාගන්නේ කොහොමද? ආදායම හොයා ගන්න අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවත් ඉහළ දාන්න වෙනවා. අනිත් එක බංකොළොත් රාජ්‍ය ආයතනවලට මොකක්ද කරන්නේ. රාජ්‍ය සේවයේ අතිරික්තය ගැන. මේවා ගැන ආණ්ඩුවට තීරණයක් ගන්න වෙනවා. ඊළඟ එක තමයි දේශපාලන ප්‍රතිසංස්කරණ. ඒ කියන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම. එහෙම නැත්නම් බලය පාර්ලිමේන්තුවට පැවරීම. නීතියේ උත්තරීතර භාවය ආරක්ෂා කිරීම වගේ දේවල් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඒ දේශපාලන ප්‍රතිසංස්කරණ කිසිම දෙයක් තාම වෙලා නෑනේ.   


ප්‍රශ්නය- 21 වැනි සංශෝධනය ඒමට නියමිතයි.   


පිළිතුර- 21 ක් කියලා එනවා. නමුත් ඒක 19 නොවෙයි නේ. 19 තිබුණු වගන්ති ගොඩක් 21න් වෙනස් කරලා තියෙන්නේ. පොහොට්ටුවේම මන්ත්‍රිවරුන් කියන විදියට ජනාධිපතිවරයට බලය තියෙනවා අගමැතිවරයා අස් කරන්න. ඕනෑම අමාත්‍යාංශයක් පවරා ගන්න. එතකොට ඒ එන්නේ 19 නොවෙයිනේ. අනික තාම ඒක ගේන පාටකුත් නෑනේ.   


ප්‍රශ්නය-  ඔබට ඒ ගැන විශ්වාසයකුත් නෑ.   


පිළිතුර- ඔව්! සාගර කාරියවසම් කිව්වනේ ව්‍යවස්ථා ගේන්න කලින් ආර්ථික ප්‍රතිසංස්කරණ ගේන්න ඕනැ කියලා.   


ප්‍රශ්නය- හරින් සහ මනුෂ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ගය මොකක්ද?   


පිළිතර- අනිවාර්යයෙන්ම පියවර ගනී. පරීක්ෂණයක් තියෙනවනේ. ඊ​ට පස්සේ ඒ දෙන්නව නෙරපයි. ඒ පියවර ගනී.   


ප්‍රශ්නය- චම්පිකත් ස්වාධීන වුණා.   


පිළිතුර- චම්පික ඉතින් එහෙමනේ. එයාට පොඩ්ඩක් ‘ටීම් වර්ක්’ එකේ ඉන්න බැහැනේ. ඒක එතුමගේ ස්වභාවය. එතුමා අපිත් එක්ක ඉන්නවා. එතුමා අපේ හතුරෙක් නොවෙයි.   


ප්‍රශ්නය- රටේ හෙට දවස ගැන ඔබේ තක්සේරුව?   


පිළිතුර- ජනාධිපතිවරයයි පොහොට්ටුවයි සාකච්ඡා කරලා අලුත් ආණ්ඩුවකට ඉඩ දෙන්න ඕනැ. සියලු පක්ෂ එකතු වෙච්ච ආණ්ඩුවක් එන්න ඕනැ. මන්ත්‍රීවරුන් හයි ජැක් කරලා පිහිටුවන ආණ්ඩුවක් නොවෙයි. එහෙම ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡාව ආණ්ඩුව ආරම්භ කළ යුතුයි. ඒ වගේම මම මෙතනදි විශේෂ කාරණාවක් අවධාරණය කරන්න කැමැතියි. 1977 ඉඳලා අපේ රටට ගහපු හෙණය තමයි ජනාධිපතිවරයා නීතියට උඩින් තැබීම. මේ විධායක ජනාධිපති ක්‍රමය ආපුදා ඉඳලා හැම ආණ්ඩුවක්ම ජනාධිපතිවරයා නීතියට උඩින් තිබ්බේ. ඉන්දියාව ගත්තත් මට මතකයි නරසිංහ රාඕ අගමැති වෙලා ඉන්න කාලේ එයාට විරුද්ධව වංචා විමර්ශන නඩුවක් පැවරුවා. එයා උසාවි ගිහින් උත්තර දුන්නා. ඇමෙරිකාවේ රිචඩ් නික්සන්ට නඩු දාන්න හදනකොට එයා ඉල්ලා අස්වුණා. මේ මෑතකදී බොරිස් ජොන්සන් කොවිඩ් නීති රීති කඩ කරලා අගමැති නිල නිවසෙ පාටියක් දැම්මා කියල එයාට පොලිසියෙන් දඩ ගැහුවා. අපේ රටේ ජනාධිපතිවරයා ඉන්නේ නීතියට උඩින්. ඒක අදහා ගන්නත් බෑ. මේක ලෝකයේ වෙන කිසිම රටක නෑනේ. මේ රට හදන්න ඕනෑ නම් ඉස්සෙල්ලාම කරන්න ඕනැ ජනාධිපතිවරයව නීතියට යටත් කිරීමයි. එදාට තමයි මේ රට හැදෙන්නේ. ජනාධිපතිට ඕනෑම වැරැද්දක් කළත් ඕනෑම නීතියක් කඩලත් එයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. විධායක ජනාධිපති ධුරය තියෙන කිසිම රටක ජනාධිපතිවරයා නීතියට උඩින් නෑ. එයා වැරැද්දක් කළොත් නීතිය ක්‍රියාත්මක කළ හැකියි. මේ රටේ අත්තනෝමතිකව, උද්ධච්ඡ පාලකයන් බිහිවෙන්නේ ඔහු නීතියට යටත් නැති නිසයි. අද මේ රට මේ තත්ත්වයට පත් වුණේ ඒ නිසයි. 2011 දි අයිස්ලන්තය මේ වගේම බංකොලොත් වුණාම ඒ රටේ ජනාධිපතිවරයට නඩු දැම්මා. අපේ රටේ මොකද වෙන්නේ. ‘සොරි’ කියලා පැත්තකට වෙනවා.   

 

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්   



අදහස් (0)

තවත් පච වෙන්න නැතුව අලුත් ආණ්ඩුවකට ඉඩ දීලා මේ ආණ්ඩුව ගෙදර යන්න

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 60 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1159 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 897 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2299 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2151 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3681 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site