IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මැතිවරණ කල් දැමීමේ කුමන්ත්‍රණයක් දියත් වෙනවා

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ

ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවේ ඇති සූදානම කෙබඳුද? අභියෝග හා ප්‍රශ්න මොනවාද? සිදුවිය හැකි දේශපාලන වෙනස්කම් මොනවාද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමඟ කළ සාකච්ඡාවකි. 

ප්‍රශ්නය - පොහොට්ටුවේ තරුණ සම්මේලනයේදී මාධ්‍යයට ආරාධනා කරලා මාධ්‍ය ආවට පස්සෙ ආපහු හරවලා යැව්වා. අද මාධ්‍යයට මෙහෙම චණ්ඩිකම් පානවා නම් අනාගතයේදී කොහොම වෙයිද?   


ඇත්තෙන්ම එතැන සම්බන්ධීකරණයේ අඩුවක් තියෙනවා. අපි ඒක පිළිගන්නවා. ෂෙහාන් හේමසිංහ මන්ත්‍රීතුමා වගේම දිළුම් අමුණුගම මන්ත්‍රීතුමා ඇතුළු අපි සහෝදර මාධ්‍යවේදීන්ගෙන් සමාව අයැද සිටිනවා.   


ප්‍රශ්නය - එන්න කියලා හරවලා යැව්වේ ඇයි?   


ඒක තමයි මම කිව්වේ සම්බන්ධීකරණයේ අඩුවක් තිබුණා කියලා. එතැන මාධ්‍යයට කිසිම තහංචියක් තිබුණේ නෑ. මාධ්‍යවේදීන් ඇතුළේ හිටියා. මේක ඇත්තටම මාධ්‍ය කේන්ද්‍ර කරගත් සම්මේලනයක්. නැත්නම් අපිට තිබුණා කෙල්ලො කොල්ලො ලක්ෂයක් විතර කොළඹට ගෙන්වලා ලොකු රැස්වීමක් කරන්න. ඇත්තටම අපිට ඕනෑ වුණේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ දැක්ම හා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කතාව මාධ්‍ය මගින් රටට ගෙනියන්න. මේක ‘මීඩියා ඉවන්ට්’ එකක්. එවැනි ඉවන්ට් එකක් මාධ්‍යයට තහංචි දාලා කරන්න බෑ.   


ප්‍රශ්නය - ජනාධිපති අපේක්ෂක ගෝඨාභය කිව්වලු ‘මාධ්‍යවේදීන්ට ප්‍රශ්න අහන්න බෑ. කියන දේ පමණක් දාන්න’ කියලා.   


ඒක තනිකරම බොරුවක්. ඔය කතන්දර පිටිපස්සේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයනේ. මාධ්‍ය නිදහස ගැන එක්සත් ජාතික පක්ෂය කතා කරනවනේ. සිරිකොත පක්ෂ නායකයා තෝරන කොට සිරිකොත මාධ්‍යවේදීන්ට තහනම් කරනවා. ගහලා එළෙව්වා. අපට මතකයි බදුල්ල සජිත් ප්‍රේමදාස මහත්තයාගේ වේදිකාවේ රවින්ද්‍ර සමරවීර ඇමැතිවරයා ‘පොහොට්ටුවට කඩේ යන මාධ්‍යවේදීන් බලාගනින්’ කියලා කිව්වා. පොහොට්ටුවට උදව් කරන මාධ්‍යවේදීන් කිව්වම පොහොට්ටුවේ මාධ්‍ය සාකච්ඡා ආවරණය කරන්න එන මාධ්‍යවේදීනුත් එයට අයිතියි. ඒ මාධ්‍යවේදීන්ටත් පරිස්සම් වෙන්න කියලා තමයි කිව්වේ. ඔබට මතක ඇති රණසිංහ ප්‍රේමදාස මහත්තයා ජනාධිපති හැටියට වේදිකාවේ ඉඳගෙන අපේ රංජිත් විජයවර්ධන මහත්තයාට මොකද්ද කිව්වේ ‘රංජිත් මල්ලි උඹ බලාගනින් මට විරුද්ධව ලිව්වොත්’ කියලයි. එහෙම කියපු එක්කෙනාගේ පුතාගේ වේදිකාවේ ඉඳගෙන තමයි රවීන්ද්‍ර සමරවීර ඇමැතිවරයා මාධ්‍යවේදීන්ට කියන්නේ ‘උඹලා පරිස්සමෙන් ඉඳපල්ලා’ කියලා. ඒ නිසා තමන්ගේ මුග්ධ බව වහගන්න ම්ලේච්ඡකම වහගන්න අද අපේ පැත්තට තවමත් බොරු චෝදනා එල්ල කරනවා.   


ප්‍රශ්නය - රාජපක්ෂ දස අවුරුදු පාලනය තුළදී මාධ්‍යවේදීන්ට ගැහුවා. අතපය කැඩුවා. මහ පාරේ මරලා දැම්මා. සමහර මාධ්‍යවේදීන් රටින් පිටවුණා. අපිට තියෙන ප්‍රශ්නය ඒ අතීතයයි?   


අවුරුදු දහයක පාලන කාලය තුළ වෙච්ච දේවල් පහුගිය අවුරුදු හතරහමාර තුළ හෙව්වනේ. කෝ මොනවද හොයා ගත්තේ? අපේ කඳවුරෙන් යම් අකටයුත්තක් වෙලා තිබුණා නම් මේ ආණ්ඩුවට නීතිය ක්‍රියාත්මක කරන්න තිබුණනේ. විවිධ බොරු පැමිණිලිවලට අපිව ගෙනිහින් ප්‍රශ්න කළානේ. මාව ගෙනිච්චා. බැසිල් රාජපක්ෂ මහත්තයා ගෙනිච්චා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙනිච්චා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාට නඩු පිට නඩු දැම්මා. හැබැයි එතුමා නිදොස් කර නිදහස් කළා. ගාමිණි සෙනරත් මහත්තයා නිදොස් කර නිදහස් වුණා. පන්සලේ අලියෙක් තියාගෙන හිටියා කියලා හාමුදුරුවන්වත් අරගෙන ගියානේ. ඔය කියපු චෝදනා ගැනත් දිගින් දිගටම පරීක්ෂණ කළානේ. අත්අඩංගුවට ගත්තා. ඇප දුන්නා. රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් හිරේ තියාගෙන හිටපු නාවික හමුදාවේ නිලධාරින් නිදොස් කොට නිදහස් වුණා. ඒ නිසා මේ ආණ්ඩුව දේශපාලනික වශයෙන් තමන්ට වාසි ගන්න නොයෙක් කතා කිව්වා. මැතිවරණ වේදිකාවේ වාසි ගන්න වේදිකාවල කියපු කතා ඇත්තක් කියලා පෙන්වන්න උත්සාහ කළා. නමුත් ඇත්තටම වුණේ ආණ්ඩුවම බොරු කාරයන් බවට පත්වීමයි. අපි මේ ආණ්ඩුවෙන් අහන්නේ ඔය කියපු සිදුවීම් ගැන ඔබතුමන්ලා අවුරුදු හතරයි මාස අටක් හෙව්වා. හැබැයි අවසාන ප්‍රතිඵලය මොකද්ද? ජනතාවට තිබුණ සහන ටිකත් කප්පාදු කරපු එකයි. සංවර්ධනය නතර කළා. පෝර්ට්සිටිය මාස ගණනකට නතර කළා. ආයෙමත් දුන්නටත් වැඩියෙන් ඉඩම් දීලා පටන්ගත්තා. හම්බන්තොට වරායේ දෙවැනි අදියරේ වැඩ ටික නවත්වලා පළමු අදියරය විකුණලා දැම්මා. අධිවේගී මාර්ග ටික නැවැත්තුවා. ආර්ථිකය කඩාගෙන වැටුණා. මහ බැංකුව මංකොල්ල කාපු කෙනා තාම හොයා ගන්නවත් නෑ. දැන් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කියලා කියනවනේ. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ නෑනේ එයා ජනාධිපතිවුණාම අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්නවා කියලා. අද වෙනකම් කියලා නෑ. හැබැයි එයා කරන්න හිතාගෙන ඉන්න හැම දෙයක්ම කියනවා. රාජපක්ෂලා අත්අඩංගුවට ගන්නවා කියලත් කියනවා. හැබැයි මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්නවා කියලා කියන්නේ නෑ. ඇයි ඒ? අපට වේදිකාවලදී බොරු චෝදනාවලින් දමා ගැහුවාට හැබැයි ඇත්ත හොරු කවුද කියලා කවුරුත් දන්නවා.   


ප්‍රශ්නය - ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කියලා දැන් කිව්වත් නාමයෝජනා දෙන්නේ වෙන රාජපක්ෂ කෙනෙක් කියලයි කියන්නේ?   


ඔය බොරු අවලාද පිටිපස්සේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂය. තමන්ගේ අපේක්ෂකයා තෝරාගන්න බැරි වෙනකොට ඒක පැත්තකින් තියලා ප්‍රතිවාදි අපේක්ෂකයා ගැන කතා කරනවා. මේ අයගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානම දේ මොකද්ද? බෙදීම, උත්සාහ කරනවා ගෝඨාභය රාජපක්ෂයි බැසිල් රාජපක්ෂයි බෙදන්න උත්සාහ කරනවා. ගෝඨාභය රාජපක්ෂයි නාමල් රාජපක්ෂයි බෙදන්න ඊටත් ඉස්සරහට ගිහින් උත්සාහ කරනවා. මහින්ද රාජපක්ෂ මහත්තයයි නාමල් රාජපක්ෂයි බෙදන්න ඉතිහාසයේ අපි දැකලා තියෙනවා. තාත්තලා පුතාලා අම්මලා දුවලා දෙපැත්තට බෙදිලා වෙන වෙන පක්ෂ හදාගෙන ඇන කොටා ගන්නවා. ඒවා කරපු අයනේ එතැන ඉන්නේ. ඉතින් ඒ අය මෙතැනදිත් ඒ උත්සාහය ගන්නවා. අපේ සහෝදර පක්ෂ ටික බෙදන්න උත්සාහ කරනවා. අනික් පැත්තෙන් මොකද්ද උත්සාහ කරන්නේ? මේ අපේ කඳවුරේ ශක්තිමත්ම ගොඩනැගෙන බලවේග වට්ටන්න බලනවා. වට්ටන්න පුළුවන් වෙන්නේ කොහොමද? ‘ගෝඨාභය අපේක්ෂකයා කිව්වට එතුමට නාමයෝජනා දෙන්නේ නෑ කියනවා. අරයා එයාට විරුද්ධයි. මෙයා විරුද්ධයි කියලා කියනවා. මේ සියල්ලම එක්සත් ජාතික පක්ෂයේ කුමන්ත්‍රණයේ කොටස්.   


ප්‍රශ්නය - ඔබ ඒකාන්ත විශ්වාසයෙන් කියනවා ජනාධිපතිවරණයට එන්නේ ගෝඨාභය රාජපක්ෂමයි කියලා.   


ඒකාන්ත වශයෙන්ම ඔව්!   


ප්‍රශ්නය - ගෝඨාභය රාජපක්ෂට රාජපක්ෂ පවුලේ අනික් අය කොන්දේසි විරහිතව එකඟද?   


අපි කොන්දේසි විරහිතව එකඟයි. ඒ වගේම මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් අපේ පවුලේ සියලු දෙනාම අපේ පවුල ලොකු පවුලක් මේ සියලු දෙනාම කොන්දේසි විරහිතව කැප වෙනවා. ඒ එක්කම බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිතුමා පක්ෂය ගොඩනැගුවා. එහෙම නම් බැසිල් මහත්තයාට කියන්න තිබුණනේ ‘මමයි ඉල්ලන්නේ’ කියලා. එහෙම කියන්න එතුමාට අයිතියකුත් තියෙනවා. එතුමා මොකද්ද කිව්වේ. ‘නෑ මම නොවෙයි. ‘මේකට සුදුස්සා අහවලා. අපි එයාට උදව් කරමු’ කියලයි. චමල් රාජපක්ෂ මහත්තයාටත් අයිතියක් තියෙනවා ඉල්ලන්න. පවුලේ ජ්‍යෙෂ්ඨයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක්. පරිණත පළපුරුදු දේශපාලනඥයෙක්. ඒත් එතුමා ඉල්ලුවේ නෑ. අපේ කාටත් ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලන්න සුදුසුකම් තියෙනවා. එකම නුසුදුසුකම තමයි අපි රාජපක්ෂවරුන්වීම. ඒ නිසා අපේ පවුල තුළ කිසිම බෙදීමක් නෑ. අපි ඒකමතිකයි. මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ නායකයා. කිසි​ෙස්ත්ම බෙදීමක් නෑ. අපි ඇවිල්ලා දේශපාලන පවුලක්. අපි හම්බ කළේ ජනතාව. අපි ජීවත් වෙන්නේ ජනතාව එක්ක. ඉතින් ජනතාව අතර ඉන්න පුළුවන් දේශපාලනයක් අපි කරනවා.   

 

2009 දි මහින්ද රාජපක්ෂ මහත්තයා ජනතා විමුක්ති පෙරමුණ හෙළ උරුමය වැනි පක්ෂ එක්ක ඍජුව සන්ධානගත වුණා. එහෙම නැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ඍජු සන්ධානගතවීමක් වුණේ නෑ.


ප්‍රශ්නය - ඔබව හැඳින් වුණේ ‘ඔටුන්න හිමි කුමාරයා’ ලෙසයි. ගෝඨාභය රාජපක්ෂගේ මතුවීම ඔබට දේශපාලන ‘බැරියර්’ එකක් නොවෙයිද?   


ඔය විදියටම සමහරවිට අනුර බණ්ඩාරනායක මහත්තයා හිතන්න ඇති. හැබැයි එතුමාට ඔටුන්න හමුවුණේ නැහැනේ. ඒක ලැබුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාට. ඒ නිසා දේශපාලනය තුළ පරම්පරා දේශපාලනයක් ලෝකයේ තියෙනවා. ඉන්දියාවේ ගාන්ධි පකිස්ථානයේ බිලාවුල් බූතෝ, බංග්ලාදේශය ගත්තත් එහෙමයි. මේ සියලුම දේවල් අවසානය ජනතාව අතේ තියෙන්නේ. නූතන ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එක පුද්ගලයෙක් මත පවුලක් මත දේශපාලනය කරන එක නෙවෙයි. ඒ වගේම දේශපාලන පවුලක දක්ෂතාව තමයි තමන්ගේ පක්ෂයට ජයග්‍රහණය අරගෙන දීම. ඒ වගේම පක්ෂයට ඒ ජයග්‍රහණය ගේන්න පුළුවන් පුද්ගලයාව නායකත්වයට ගේන එක. සෝනියා ගාන්ධි හොඳම උදාහරණය. සෝනියා ගාන්ධි මහත්මිය කොන්ග්‍රසයේ සභාපතිනිය හැටියට හිටියට අගමැතිකම් කළේ මං මෝහන් සිං මහත්මයා. සෝනියා ගාන්ධි මැතිනියට තිබුණා ඕනෑ නම් තමන්ගේ පුතාව අගමැති කරන්න. එහෙමත් නැත්නම් අගමැතිකම මට ඕනෑ කියලා කියන්න. ඒ දෙන්නටම ඒ සඳහා අයිතිය තියෙනවා. හැබැයි ඒ වෙලාවේ සුදුස්සා මං මෝහන් සිං මහත්මයා කියලා ඒගොල්ලෝ හිතන්න ඇති. මට ඊට වැඩිය ඒ ගැන කියන්න අයිතියක් නෑ. දේශපාලනය කියන්නේ තමන්ම නායකත්වයට එන එක නොවෙයි. අපි දේශපාලන පවුලක්. අපට දැක්මක් චින්තනයක් තියෙනවා. අපේ වගකීම තමයි ඒ චින්තනය ජයග්‍රහණය කරවීම. එහෙම නැතිව පුද්ගලයා කවුද කියන එක නොවෙයි. ජයග්‍රහණය කරන්න පුළුවන් කෙනා දැම්මොත් තමයි රටට ජයග්‍රහණ ගේන්න, පක්ෂය දිනවන්න පුළුවන් වෙන්නේ.   


ප්‍රශ්නය - මහින්ද රාජපක්ෂ ‘දැයට කිරුළ’ කියලා කිව්වට ඇත්තටම අරමුණ වුණේ ‘පුතුට කිරුළ’ කියලයි. ඒ දවස්වල කිව්වේ. ඔබේ දේශපාලන මාර්ග සිතියම ගෝඨාභය රාජපක්ෂගේ මතුවීමත් සමඟ වෙනස් වුණා.?   


කිසිසේත්ම නෑ. ඔය ඔබ කියන දෙයක් ගැන අපි දන්නෙවත් නෑ. අනික දේශපාලනයෙදි බය ඇතිවෙන්නේ ජනතාව අතරට යන්න බැරි අයට. මගේ දේශපාලන දෛවය මාව ගෙනයන්න ඕනෑ තැනට ගෙනියයි. ඒක කිසිසේත්ම වළක්වන්න බෑ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමා. එතුමා මොනවා වුණත් මේ රටේ විධායක ජනාධිපතිතුමා. එතුමා අපේක්ෂකයා වෙන්න නෙවෙයි හිටියේ. දෛවය විසින් එතුමව එතැනට අරගෙන ගියා. දෛවය විසින්ම තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාව ගෙනාවේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට නෙවෙයි මහින්ද මහත්තයා වැඩ කළේ. එතුමා උත්සාහ කළේ අනුර බණ්ඩාරනායක ගේන්න. හැබැයි අන්තිමට එංගලන්තයේ හිටපු චන්ද්‍රිකා මැතිනිය ජනාධිපතිනිය වුණා. එතුමියටත් පුතෙක් ඉන්නවා. එතුමවත් දෛවය විසින් නිසි තැනට අරගෙන යයි. දෛවය වෙනස් කරන්න බෑ අපි කාටවත්.   


ප්‍රශ්නය - ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමෙරිකානු පුරවැසියෙක් කියන එක ඇත්තක්?   


ඒවා ඔක්කොම අපේ ප්‍රතිවාදීන්ගේ මඩ ප්‍රචාර. අද අපට කනගාටුව ඒකයි. අපේ ප්‍රතිවාදීන්ට ප්‍රතිපත්තිමය විවේචනයක් නැහැ. මඩ ව්‍යාපාරයක් තමයි තියෙන්නේ. ඔවුන්ගේ එකම අරමුණ අපේ කඳවුරට ප්‍රහාර එල්ල කිරීම විතරයි.   


ප්‍රශ්නය - ඇමෙරිකන් පුරවැසිභාවය අත්හැරියානම් කෝ ඒකට නිශ්චිත සාක්ෂි?   


ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉතාම විවෘතව ප්‍රසිද්ධියේ ඒ බව කියලා තියෙනවා. ඇමෙරිකානු තානාපතිවරිය එක්සත් ජාතික පක්ෂය ගේන තර්කයට උත්තර දුන්නා. තවත් මොනවද අවශ්‍ය සාක්ෂි? යම්කිසි කෙනෙකුට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් නාමයෝජනා භාර දුන්නාම උසාවි යන්න පුළුවන්. ඒකට කිසිම බාධාවක් නෑ.   


ප්‍රශ්නය - ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියකුව සිටියදී කොහොමද 2005 ඡන්ද හිමි නාම ලේඛනයේ නම තියෙන්නේ?   


දැන් ඒකට පරීක්ෂණයක් යනවනේ. දැන් අවුරුදු හතරාමාරක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන පරීක්ෂණ කළානේ. ඒ කාලේ ඔය ඡන්ද හිමි නාම ලේඛනය හමුවුණේ නැද්ද. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමන්ගෙ අම්මාගෙ තාත්තගෙ ස්මාරක හැදුවටත් නඩු දැම්මනේ. එතකොට ඡන්දය දාපු එක හමුවුණේ නැත්තේ ඇයි? ඒක ජනාධිපති අපේක්ෂකයා වුණාට පස්සෙ මතක් වුණේ? මේවා මඩ. එතැනින් එහාට මුකුත් නෑ.   


ප්‍රශ්නය - පොදුජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක ඉදිරිපත් වෙලා ඉන්නවා. ඇතැම් විට අනුර එයි කියලා ඔබ හිතන්නේ නැතිව ඇති?   


ඇත්තටම අනුර කුමාර මහත්තයා මම දකින්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉත්තෙක් විදියටයි. එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුව කරන්න ඉත්තෙක් විදියට අනුර කුමාර මහත්තයා ඉදිරිපත් වෙලා ඉන්නවා.   


ප්‍රශ්නය - ඔවුන් මේ රටේ තුන්වැනි බලවේගය, ඔවුන් අලුත් මුහුණුවරකින් ඇවිත් ඉන්නේ?   


ඒ අර කොන්ත්‍රාත්තුව කරන්නනේ. කැට හොල්ලලා හොයන සල්ලිවලින් ගෝල්ෆේස් එකේ රැස්වීමක් කරන්න බැහැනේ. අපි රැස්වීමක් කළාම අපෙන් ප්‍රශ්න කරනවනේ. කැට හොල්ලලා මිලියන සියයක දෙසීයක රැස්වීමක් කරන්න බැහැනේ. එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ඉත්තෙක් විදියට පාවිච්චි කරනවා. අපි පුදුම වෙන්නේ නෑ. අන්තිම මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ අපේක්ෂකත්වය ඉල්ලා අස්කර ගත්තොත්.   


ප්‍රශ්නය - මේ ජනාධිපතිවරණයෙදී දෙවැනි හා තුන්වැනි මනාපය ගණන් කරන්න වෙයි කියලත් අදහසක් තියෙනවා!   


ජවිපෙ එහෙම කීමෙන්ම පැහැදිලියි ඒගොල්ලෝ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තමයි කටයුතු කරන්නේ කියලා. එක්සත් ජාතික පක්ෂයත් ඔය කතාව කියනවනේ. අපි එහෙම කියන්නේ නැහැනේ. එතකොට එක්සත් ජාතික පක්ෂයයි ජනතා විමුක්ති පෙරමුණයි එකම කාරණයක් ගැන කියනවා නම් ඒකෙන් පේන්නේ දෙගොල්ලොම එකට වැඩකරනවා කියන එකනේ.   


ප්‍රශ්නය - මේ ජනාධිපතිවරණයෙන් දිනන්න ඡන්ද ලක්ෂ 65ක් ගත යුතුයි. කාටද ඒ හයිය තියෙන්නේ. 

 
අනිවාර්යයෙන්ම අපට පැහැදිලි වැටහීමක් තියෙනවා ඔය ඉලක්කය සපුරා ගන්න පුළුවන් කියලා.   


ප්‍රශ්නය - එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය? ඔබලා ඔවුන් නොසලකා හරිමින් කටයුතු කරන්නේ?   


නොසලකා හැරීමක් කොහොමටවත් නැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් හැටියට තීන්දුවක් ගත යුතුයි. ඒ පක්ෂයේ අති බහුතරයක අවශ්‍යතාවය තියෙන්නේ මහින්ද මහත්තයත් එක්ක සන්ධානගත වෙන්න. ගමේ පාක්ෂිකයා මේ වෙනකොටත් සන්ධාන ගතවෙලා අවසන්. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දිනෙන් දින ඇවිත් මහින්ද මහත්තයා හමුවෙනවා. ගම් මට්ටම තියෙන්නේ ඒ විදියටයි. ඉහළ පෙළේ සාකච්ඡා පමණයි ඉතිරිවෙලා තියෙන්නේ. ඒ ඉහළ පෙළේ සාකච්ඡා අසාර්ථක වුණොත් ගම් මට්ටමත් අපි ගාව. ඉහළ පෙළේ සාකච්ඡා සාර්ථක වුණොත් ඒ පක්ෂය පක්ෂයක් විදියට කඩා වැටෙන්නේ නෑ. එහෙම නොවුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් පක්ෂයක් විදියට කඩාගෙන වැටෙයි.   


ප්‍රශ්නය - ජනාධිපති මෛත්‍රී එක්ක ඔබ මේ සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක් කළ බව ආරංචියි.   


නෑ. ඒ පිළිබඳව සාකච්ඡා කරන්නේ ඉහළ මට්ටමින්. ඒ වගේම ජනාධිපති අපේක්ෂකයෙක් අපි නම් කරලා තියෙනවා. ඒ අපේක්ෂකයා එක්ක ඍජු සාකච්ඡාවක් විය යුතුයි කියලා තමයි මගේ විශ්වාසය. මොකද ජනාධිපතිවරණයකදි සන්ධානගත වෙන්නේ අපේක්ෂකයා එක්කයි. පක්ෂ එක්ක නොවෙයි. 2009 දි මහින්ද රාජපක්ෂ මහත්තයා ජනතා විමුක්ති පෙරමුණ හෙළ උරුමය වැනි පක්ෂ එක්ක ඍජුව සන්ධානගත වුණා. එහෙම නැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ඍජු සන්ධානගතවීමක් වුණේ නෑ. ඉතින් මගේ පෞද්ගලික මතය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවක් යනකොට ඒක වෙන්න ඕනෑ ඉහළ පෙළෙන් කියන එක.   


ප්‍රශ්නය- ඉදිරි දවස්වල මොනවා වෙයිද දන්නේ නෑ. ජනාධිපති මෛත්‍රී ජනාධිපතිවරණයට ආවොත්?   


මං හිතන්නේ නෑ එතුමා එච්චරටම දේශපාලනික වශයෙන් බොළඳයි කියලා. එතුමා පරිණත දේශපාලනඥයෙක්. එතුමත් එක්ක අපි දවස් 54ක් වැඩකළා. එතුමා ජනාධිපති. මහින්ද මහත්තයා අගමැති විදියට. එතුමා දේශපාලනිකව හොඳ දැනුමක් තියෙන කෙනෙක්. රටේ සංවර්ධනය, ආර්ථික පාලනය, දේශපාලන කළමනාකරණය සම්බන්ධයෙන් එතුමා ගැන අපට ප්‍රශ්න තියෙනවා. ඒ වගේම දේශපාලනිකව එතුමා ගත්තු තීරණ ගැනත් අපට ප්‍රශ්න තියෙනවා. හැබැයි එතුමා එක්ක සාකච්ඡා කරනකොට අපට දැනෙන දේ තමයි එතුමා දේශපාලනික වශයෙන් ළඳ බොළඳ කෙනෙක් නොවෙයි කියලා. ඒ නිසා අපි එතුමා ගැන හිතන්නේ ඒ විදියටයි.   


ප්‍රශ්නය - ජනාධිපති මෛත්‍රිගේ දේශපාලන අනාගතය ගැන ඔබේ පැත්තෙන් අවධානයක් යොමු කරලා තියෙනවද?   


ඒක තමයි දෛවය කියන්නේ. 2015 දි අපි පැරදුණාම එහෙත් සාකච්ඡා කළා. මහින්ද මහත්තයා විශ්‍රාම යවලා තනතුරක් දෙන්න. දැන් මෙහෙත් සාකච්ඡා කරනවා. ​ෙමෙත්‍රි මහත්තයා විශ්‍රාම යවලා තනතුරක් දෙන්න. මං හිතන්නේ දේශපාලනයේදි කවුරුවත් විශ්‍රාම යන්නේ නෑ. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් විශ්‍රාම යන්න බෑ. මේ කාල සීමාව තුළ එතුමා ගන්න තීන්දුවක් මං හිතන්නේ. එතුමාට වඩා එතුමාගේ පක්ෂයට හා එතුමා වටේ සිටින පිරිසට තමයි ඍජුවම බලපාන්නේ. ජනතා මතයට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හිස නැමු​ෙවාත් හොඳයි කියලා තමයි මම හිතන්නේ.   

 

බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිතුමා පක්ෂය ගොඩනැගුවා. එහෙම නම් බැසිල් මහත්තයාට කියන්න තිබුණනේ ‘මමයි ඉල්ලන්නේ’ කියලා එහෙම කියන්න එතුමාට අයිතියකුත් තියෙනවා.


ප්‍රශ්නය - ඔබට අනුව එජාපයේ අපේක්ෂකයා කවුරුන් විය හැකිද?   


මමත් කැමැතියි සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා වෙනවා නම්. හැබැයි පක්ෂය තුළ සජිත් ප්‍රේමදාසගේ හැසිරීම පාක්ෂිකයෝ අනුමත කරන්නේ නෑ.   


ප්‍රශ්නය- නමුත් ඇමති සජිත්ගේ රැස්වීම්වලට ලොකු සෙනඟක් එනවා.   


රැස්වීම්වලට ලොකු සෙනඟක් එනවා කියන්නේ බස් දාලා සෙනඟ ගෙන්වනවා. ඒකෙ ප්‍රශ්නයක් නෑ. නමුත් පක්ෂයට සජිත් ප්‍රේමදාස කරන හානිය රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ පක්ෂයට අවුරුදු 17ක් තිස්සේ කරන හානියට වඩා වැඩියි. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තයාට කිසියම් දේශපාලන උපදෙසක් ගන්නවා නම් ඒකට හොඳම කෙනා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා.   


ප්‍රශ්නය - ඇයි ඒ?   


මෛත්‍රීපාල ජනාධිපතිතුමා දන්නවා වැඩේ කරන විදිය.   


ප්‍රශ්නය - මෛත්‍රී - සජිත් සන්ධානයක් ගැනත් කියැවෙනවා.?   


මම හිතන්නේ නෑ මෛත්‍රීපාල ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයත් එක්ක සන්ධානගත වෙයි කියලා. එතුමා එක පාරක් එක්සත් ජාතික පක්ෂයත් එක්ක සන්ධානගත වෙලා මුළු රටම අමාරුවේ දැම්මා. එතුමත් අමාරුවෙ වැටුණා. දැන් ඒ වගකීමෙන් එතුමට බැහැර වෙන්න බැහැනේ. ඒ නිසා දෙවැනි වතාවටත් එතුමා ඒ වැරැද්දම කරයි කියලා මම හිතන්නේ නෑ.   


ප්‍රශ්නය - පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ මුස්ලිම් දේශපාලන පක්ෂ තියෙනවා. ඔවුන්ගේ සහයෝගය ඔබලා ගන්නවාද?   


කිසිසේත්ම ඒ සම්බන්ධයෙන් කිසිම සාකච්ඡාවක් නෑ. හැබැයි මුස්ලිම් ජනතාව අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මධ්‍යස්ථ මත දරණ විශාල මුස්ලිම් ජනතාවක් ඉන්නවා. ඔය සමහර දේශපාලන පක්ෂ මේ ජනතාව අතකොළු බවට පත්කරගෙන ඉන්නේ. ඒක උතුරෙත් වෙනවා. උතුරේ දෙමළ දේශපාලන පක්ෂ උතුරේ ජනතාව වහල්ලු විදියට පාවිච්චි කරන්නේ. නැගෙනහිර මුස්ලිම් දේශපාලන පක්ෂත් ඒ ජනතාව වහල්ලු විදියට පාවිච්චි කරන්නේ. ඒ වහල් භාවයෙන් ඒ ජනතාව මිදෙන්න ඕනැ. එක් නායකයෙක්. ශක්තිමත් කිරීමට එක් වෙනවට වඩා මුස්ලිම් ජන සමාජය ශක්තිමත් කරන්න එකතුවෙන්න ඕනෑ නම් කියන්න ඕනැ නෑ. සමහර මුස්ලිම් නායකයන් අපි දන්නවනේ. ඒ අය මේ අවුරුදු 10ක් 15ක් 20ක් ඇතුළත ගොඩනැගිච්ච විදිය. බැලුවම ඒ නායකයාගේ සහෝදරයන් දිහා බැලුවම හා ඒ නායකයත් එක්ක එකට ඉස්කෝලේ ගිය මිත්‍රයන්ගේ ආර්ථික තත්ත්වය බැලුවම අහසට පොළොව වගෙයි. ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද? මුස්ලිම් ජනතාව තමන්ගේ වහල්ලු බවට පාවිච්චි කරලා තමන් ජීවත් වෙච්ච එක තමයි. මේ සූදුව නතර කළ යුතුයි. උතුරේ ජනතාවට දේශපාලන විසඳුමක් දෙනවා කියලා සම්බන්ධන් මහත්තයා පොරොන්දු වුණා. දැන් අවුරුදු හතරයි මාස 9 යි. කෝ දේශපාපලන විසඳුම? කෝ ආර්ථික විසඳුම? කෝ සමාජයීය විසඳුම? අඩුගානේ යහපාලන ආණ්ඩුවට කතාකරලා යහපාලන ආණ්ඩුව දිවි හිමියෙන් රැකපු දෙමළ ජාතික සන්ධානයට එක දෙමළ තරුණයෙක් යාපනේ පොලිසියට බඳවාගන්න පුළුවන් වුණාද? බඳවාගන්න බැරි වුණා සහ බඳවාගන්න උත්සාහ කළේත් නෑ. පාර්ලිමේන්තුවෙදි දෙමළ සන්ධානයේ එක මන්ත්‍රීවරයෙක් කිව්වාද යාපනේ පොලිසියට යාපනේ දෙමළ තරුණයන් බඳවා ගන්න ඕනැ කියලා. හැබැයි මහින්ද මහත්තයා බඳවා ගත්තා. යාපනේ උපාධිධාරීන්ට අඩුගානේ යාපනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේවත් රැකියාවක් දෙන්න කියලා සම්බන්ධන් මහත්තයා පාර්ලිමේන්තුවෙදී කිව්වේ නැහැනේ. හැබැයි මහින්ද මහත්තයා ඒක කළා. අපි දැක්කේ නෑනේ මුස්ලිම් නායකයන් ඒ පාර්ලිමේන්තුවේ කියනවා මුස්ලිම් සමාජයේ අධ්‍යාපනය දියුණු කරන්න ඕනැ කියලා කතා කනරවා. මට එක තැනක් පෙන්වන්න. පොහොර සහනාධාරය දෙන්න කියලා ඉල්ලුවද? ඒ නිසා මේ දෙමළ මුස්ලිම් ජනතාව වහල් භාවයෙන් මිදෙන්න ඕනැ. ඒ වහල් භාවයෙන් මුදවාගන්න අපි මැදිහත් වෙනවා. ඒ වෙනුවෙන් අපි ඍජුව සාකච්ඡා කරනවා.   


ප්‍රශ්නය- ඔබලාට ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් වුණොත් ඒ කැබිනෙට්ටුවේ රාජපක්ෂවරු කී දෙනෙක් ඉඳීවිද?   


කැබිනට් එක ගැන කතා කරන්න ඕනැ ජනාධිපතිවරයා අගමැතිවරයා හා ඒ පක්ෂ නායකයන්. ඒ කැබි​ෙනට්ටුව ඔවුන් තීරණය කරයි. මම නම් කියන්නේ වැඩකරන කෙනාට ඇමැතිකම් අවශ්‍ය නෑ කියලයි. ඒක තමයි යථාර්ථය. හැබැයි වැඩ නොකරන ආණ්ඩුවක ඇමැතිකම් දරලත් වැඩක් නෑ. මේ යහපාලන ආණ්ඩුවේ සියලුම ඇමැතිවරු ගත්තොත් තාම බෝක්කුවක්වත් හදලා නෑ. එහෙම ආණ්ඩුවක ඇමැති කෙනෙක් වෙනවාට වඩා මහින්ද මහත්තයාගේ ආණ්ඩුවක මන්ත්‍රීවරයෙක් වෙන එක වැදගත්. මේ වගේ ආණ්ඩුවක නියෝජ්‍ය ඇමැති කෙනෙක් වෙනවාට වඩා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වෙන එක වැදගත්. ඒ නිසා රාජපක්ෂවරුද වෙන අයද කැබිනට් එකේ ඉන්නේ කියන එක තීරණය වෙන්නේ මැතිවරණයෙන් පස්සේ.   


ප්‍රශ්නය - ඔබේ කඳවුරේ මැතිවරණ ප්‍රතිඵලය ගැන ඔබේ තක්සේරුව?   


පිළිතුර- ජයග්‍රහණය ඒකාන්තයි. එකම එක අභියෝගයයි තියෙන්නේ. ඒ තමයි ජනාධිපතිවරණය තියයිද කියන එක. මැතිවරණ කල් දැමීමේ කුමන්ත්‍රණයක් දියත් වෙනවා. ඒක පරාජය කරලා මැතිවරණයට යා යුතුයි. ජනතාව ප්‍රතිඵලය තීරණය කරයි.

 

 

 

සාකච්ඡා කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්  



අදහස් (0)

මැතිවරණ කල් දැමීමේ කුමන්ත්‍රණයක් දියත් වෙනවා

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 186 3

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1185 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 965 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2166 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site