IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


විශ්වාසභංගයෙන් විපක්ෂය එකමිටට එකතු වුණා

සමගි ජන බලවේගයේ ලේකම්
මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

රංජිත් මද්දුම බණ්ඩාර

 

  •  අපේ යහපාලන ආණ්ඩුව කාලේ තමයි මහින්ද රාජපක්ෂ යුගයට වඩා අධිවේගී මාර්ග, මහාමාර්ග හැදුණේ
  • ලෝකයේ තවම සියයට 2 යි කාබනික පොහොර භාවිත කරන්නේ

 

විපක්ෂය මොනවද කරන්නේ. මේ ඒ ගැන විමසමින් සමගි ජන බලවේගයේ ලේකම් මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සමග කළ සාකච්ඡාවකි.


ප්‍රශ්නය:- ඇමැති ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංගයක් ගෙනත් අන්තිමටම විපක්ෂයේ විශ්වාසයයි භංග වුණේ?


පිළිතුර:- නෑ. විපක්ෂය එක මිටට එකතු වුණා. අපි කොහොමත් දන්නවා මේක පරාජය වෙනවා කියලා.


ප්‍රශ්නය:- එහෙමනම් ඉදිරිපත් කළේ?


පිළිතුර:- අපට අවශ්‍ය වුණා ආණ්ඩුවේ ඉන්න ඊනියා ජනතාවාදීන්ගේ ඇත්ත රටට හෙළි කරන්න. තෙල් මිල ඉහළ දැම්මාට ඇමැති ගම්මන්පිලට යන්න කියන්න තරමට පොහොට්ටු පක්ෂයේ ලේකම් ඉස්සරහට ආවා. තවත් අයත් ඒ එක්කම ආවා. ජනතාව හිතන්න ඇති මේ අය තමන්ගේම ආණ්ඩුවේ ඇමැතිවරයකුට එරෙහිව මෙහෙම කතා කරන්නේ ඇත්තටම අපිට ආදරේ නිසා වෙන්න ඇති කියලා. අපි ඒ මහත්වරුන්ව පරීක්ෂාවට ලක් කළා. මොකද වුණේ කියලා දැන් ජනතාව දන්නවා. මීට පස්සේ ඒවයෙ ගරු රඟපෑම් කරන්න ඒ මහත්වරුන්ට බැහැ.


ප්‍රශ්නය:-  ඇමැතිවරයකුට නොවෙයි මුළු ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංගය ඉදිරිපත් කරන්න කියලා රනිල් වික්‍රමසිංහ කිව්වා?


පිළිතුර:- ඔව්. නමුත් ඒ සංශෝධනය කතානායකතුමා ප්‍රතික්ෂේප කළා.

ප්‍රශ්නය:-  ඔබලා වුණත් ඒ යෝජනාවට එකඟ වුණේ නෑ?


පිළිතුර:- එහෙම එකඟ වෙන්න බෑ. මේ වෙලාවේ උදය ගම්මන්පිල ඇමැතිවරයාට විරුද්ධව ඡන්දය දෙන්න ආණ්ඩුව ඇතුළේ කවුරුහරි හිටියා නම් ආණ්ඩුව බේරා ගන්න කියලා එයා විශ්වාසභංගයට විරුද්ධ වෙනවා. ඒ ඔක්කොම කල්පනා කරල බලලයි අපි ඇමැතිවරයාට විරුද්ධව මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ.


ප්‍රශ්නය:-  ඇත්තටම තෙල් මිල ඉහළ දැමීම කැබිනට් මණ්ඩලයේ තීරණයක් මිස ඇමැතිවරයාගේ තීරණයක් නොවේ නේද?


පිළිතුර:- හැම තීරණයක්ම එහෙම තමයි. කැබිනට් මණ්ඩලය ගන්න තීරණයක් ජනතා ද්‍රෝහීනම් ඒ ජනතා ද්‍රෙ‌ා්හි තීරණයට එරෙහිව හෘද සාක්ෂියක් තියෙන ඇමැති කෙනෙක් නම් ඉල්ලා අස්විය යුතුයි. නමුත් මෙතැනදී එහෙම දෙයක් වුණේ නෑ. ඒ නිසා තමයි ඇමැතිවරයාට එරෙහිව මෙය ඉදිරිපත් කළේ.


ප්‍රශ්නය:- පොහොට්ටුව හා හවුල්කාර පක්ෂ අතර ගැටුමක් තියෙන බවක් පෙනුණා. ඒකෙන් වාසියක් ගන්න හිතාගෙන ඔබලා විශ්වාසභංගය ඉදිරිපත් කළා?


පිළිතුර:- අපි එහෙම රැවටුණේ නෑ. අපි දන්නවා කොහොමත් මේ අය එකතු වෙනවා කියලා. නමුත් අපට මෙතැන තිබුණේ දිනුම පරදින එක පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. මුළු රටම අද ඉන්නේ අසහනයෙන්. ජනතාව ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්නේ. අද මැරෙයිද හෙට මැරෙයිද කියලා හිතාගන්න බැරි තරමට තත්ත්වය භයානකයි. රටේ දරුවන්ට අධ්‍යාපනය අහිමි වෙලා. ගොවියන්ට පොහොර නෑ. කොවිඩ් වසංගතයට ආණ්ඩුවට වැඩපිළිවෙළක් නෑ. බඩු මිල අහස උසට නැගලා. රටේ අපරාධ වැඩිවෙලා. පොඩි දරුවෙකුටත් නිදහසේ ඉන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මේ ශාපලත් පරිසරය තුළ යම්තමින් හරි සහනයක් දීම වෙනුවට ආණ්ඩුව කළේ ජනතාව මත තව තවත් පීඩනය වැඩි කරමින් තෙල් මිල ඉහළ දැමීමයි. හිතක් පපුවක් ඇති ආණ්ඩුවකට නම් මේ වෙලාවේ මෙහෙම දෙයක් කරනවා කියලා හිතන්නවත් බෑ. ඒ නිසා තමයි ජනතාවට වග කියන විපක්ෂයක් හැටියට අපි අපේ වගකීම ඉටුකළේ.


ප්‍රශ්නය:- බැසිල් රාජපක්ෂ මුදල් ඇමැති හැටියට පත්වුණා. ඒ එක්කම රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අලුත් බලාපොරොත්තුවක් ඇතිවෙලා තියෙනවා?


පිළිතුර:- එතුමාට කරන්න පුළුවන් කජ්ජක් නෑ. මේගොල්ලො බැලුවේ ෆේල් වෙච්ච ආණ්ඩුවට බැසිල් මුක්කුවක් වෙයි ද කියලයි. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ කළාටත් අඩුවෙන් තමයි බැසිල් රාජපක්ෂ කරන්නේ.


ප්‍රශ්නය:- නමුත් බැසිල් වැඩකාරයා කියලා ආර්ථික සංවර්ධන ඇමැතිවරයා හැටියට ඔප්පු කළා?


පිළිතුර:- බැසිල් රාජපක්ෂගේ කාලයේදී තමයි මේ රට වැඩියෙන්ම ලෝකයාට ණය කළේ. වැඩියෙන්ම දූෂණ සිද්ධ වුණේ එතුමා ඇමැති කාලේ. ඒවා අපිට ඔප්පු කරගන්න බැරි වුණා. ඒක අපි හිටපු ආණ්ඩුව කරපු වැරැද්දක්. බැසිල් රාජපක්ෂ කරපු ලොකු ආර්ථික විප්ලවයක් කියන්න. කර්මාන්ත අංශයෙන් හරි කෘෂිකාර්මාන්තයෙන් හරි වෙන දේකින් හරි කරපු විප්ලවයක් කියන්න. එතුමා දක්ෂයි වියදම් කරන්න. එතුමා දක්ෂයි ණයට අරගෙන ඒ සල්ලි නාස්ති කරන්න. එතුමා දක්ෂයි ඒ සල්ලිවලින් වෙන වෙන දේවල් කරන්න. එතුමා අප්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නේ මොකටද කියල මම මේ වෙලාවේ කියන්න යන්නේ නෑ. අන්න ඒකට තමයි එතුමා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ.


ප්‍රශ්නය:-  මහින්ද රාජපක්ෂ යුගයේදී මේ රටේ අලුතෙන් ගුවන්තොටුපලවල් හැදුණා. වරායවල් හැදුණා. අධිවේගී මාර්ග හැදුණා. මාර්ග පද්ධතිය හැදුණා. ඔබේ යහපාලන ආණ්ඩුව කාලේ මොනවද කළේ කියලා ප්‍රශ්න කරන අයත් ඉන්නවා?


පිළිතුර:- අපේ යහපාලන ආණ්ඩුව කාලේ තමයි මහින්ද රාජපක්ෂ යුගයට වඩා අධිවේගී මාර්ග, මහමාර්ග හැදුණේ. අධිවේගී මාර්ගයේ කිලෝ මීටර එකසිය අසූවක් කළා. බෙලිඅත්ත දුම්රිය පාර රාජපක්ෂ යුගයේදී ආරම්භ කරලා තිබුණා විතරයි. ඒකත් අවසන් කළේ අපි. ඒ වගේම මොරගහකන්ද වගේ විශාල සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කළා. මහින්ද රාජපක්ෂලාගේ යුගයේ ඒ වගේ සංවර්ධන ව්‍යාපෘති කළේ නෑ. පාරවල් කිලෝමීටර කීයක් හැදුවද? අපි ඒ කාලේ පාසල් පද්ධතියම හැදුවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලොකුම දියුණුව ඇතිවුණේ අපේ කාලයේ. මේ සේරමත් කරලා බඩු මිලත් පහත දැම්මා. ඉන්ධන මිල අඩු කළා. ගෑස් අඩු කළා. ජනතාවට සහනත් දුන්නා. රාජපක්ෂලා මොනවද කළේ. මේ ගොල්ලෝ ආද‌ායමක් නැති දේවල්වලට තමන්ගේ නම තියාගන්න සල්ලි වියදම් කරපු එකයි කළේ මත්තල ගුවන් තොටුපළ හදන්න කලින් කරන්න තිබුණේ කටුනායක ගුවන් තොටුපළ දියුණු කරන එකනේ. තව පර්යන්තයක් වැඩි කරන එකනේ. ඒක කළේ නෑ. සුදු අලියෙක් වගේ මත්තල ගුවන් තොටුපළ හැදුවා. ඒ එක්කම හම්බන්තොට වරායක් හදන්න කලින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය හදන්න තිබුණානේ. මේ ගොල්ල නම තියාගන්න වැඩ කළා මිසක් මේවායින් ප්‍රයෝජනයක් නෑ. අර හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාවක් හදලා තියෙනවා. කිසිම ආද‌ායමක් නෑ. නෙළුම් කුළුණක් හදලා තියෙනවා කිසිම ආද‌ායමක් නෑ. අද මේ රටේ කාලා බීල ඉන්නවත් නෑ.


ප්‍රශ්නය:- කරු ජයසූරියගේ මූලිකත්වයෙන් විපක්ෂයේ අලුත් සන්ධානයක් හැදුණා. මොකක්ද අරමුණ?


පිළිතුර:- විපක්ෂය හැටියට සියලු පක්ෂත් සිවිල් සංවිධානත් රටට ආදරය කරන මිනිස්සුත් ආණ්ඩුව කරන මේ ජනතා ද්‍රෝහී වැඩවලට එරෙහිව ඒකරාශී කර ගත යුතුයි. අද ආර්ථිකය කඩා වැටිලා. බඩුමිල පාලනය කරගන්න බෑ. ගොවීන්ට පොහොර නෑ. මේ සියල්ලටම එරෙහිව විපක්ෂයෙ එකතු විය යුතු අය එකතු වෙලා තියෙනවා.

ප්‍රශ්නය:- කරු ජයසූරියගේ මතුවීම විපක්ෂනායක සජිත්ට අභියෝගයක්?


පිළිතුර:- නෑ. සජිත් ප්‍රේමද‌ාස මැතිතුමා විකල්ප රාජ්‍ය නායකයා. එතුමාට කාටවත් අභියෝග කරන්න බෑ. මෙතැනදී කරු ජයසූරිය මැතිතුමා කළේ හොඳ දෙයක්.


ප්‍රශ්නය:-  ඔබලා මේ මොහොතේ ජනතා විමුක්ති පෙරමුණත් සමග යම් එකඟතාවකින් වැඩ කරනවා?


පිළිතුර:- ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. විපක්ෂයෙ අය හැටියට ආණ්ඩුවේ ජනතා ද්‍රෝහී වැඩපිළිවෙළට එරෙහිව ඕනෑම කෙනෙක් එක්ක එකතු වෙන්නත් ලැස්තියි.


ප්‍රශ්නය:- විපක්ෂය හිතුවා කොවිඩ් මර්දන මෙහෙයුමේදී ආණ්ඩුව අනා ගනී කියලා. නමුත් එන්නත්කරණය සාර්ථකව සිදුවෙනවා. ඔබලාගේ බලාපොරොත්තු සුන්වෙලා?


පිළිතුර:- කොහේද එන්නත්කරණය සාර්ථක වෙලා තියෙන්නේ. ලෝකයේ වෙන රටවල් දැනටමත් සියයට 70 කට 80 කට එන්නත් දීලා ඉවරයි. අල්ලපු ඉන්දියාවත් දීලා ඉවරයි. අපේ කට්ටිය එන්නත් දෙන්න පරක්කු වෙච්ච නිසා තමයි හාර දහසකට කිට්ටු වෙන්න මැරිලා තියෙන්නේ. මේ මරණ වළක්වා ගන්න තිබුණා වේලාසනින් එන්නත දුන්නා නම්. ජනාධිපතිවරයාම කියනවා එන්නත තමයි එකම ප්‍රතිකර්මය කියලා. නමුත් එන්නත ගෙන්න ගන්න බැරි වුණා. දැන් තමයි එන්නත් ටික ටික ගේන්නේ. කොවිඩ් එක පටන් අරගෙන මාස 18 ක් වෙනවා. දැනුයි එන්නත් කරන්නේ. මොණරාගල දිස්ත්‍රික්කයේ එක මිනිහෙකුටවත් තාම එන්නත විදලා නෑ. මේකද සාර්ථකත්වය? අන්තිමටම කොවිඩ් පාලනය කරපු රටවල් අතරට අපේ රට පත්වෙලා තියෙන්නේ. එහෙම වෙලත් ‘අපියි හොඳටම කළේ’ කියලා කයිවාරුත් ගහනවා.


ප්‍රශ්නය:- සැප්තැම්බරය වෙනකොට එන්නත දිය යුතු සියල්ලන්ට එන්නත දෙනවා කියලා ආණ්ඩුව කියනවා?


පිළිතුර:- තාමත් දීලා තියෙන්නේ කොච්චරක්ද? සීයට 25 කට දීලා නැහැනේ. මේ ගොල්ලෝ දෙන්න ඕන එන්නත් ලක්ෂ 270 ක්. තාම ලංකාවට ගෙන්වලා තියෙන්නේ ලක්ෂ 80 යි. සීයට 25 කටත් තාම දීලා නෑ. එන්නත් පරක්කු වුණ නිසා තමයි රට මේ තත්ත්වයට පත්වුණේ. මේකට ආණ්ඩුව වගකියන්න ඕන.


ප්‍රශ්නය:-  කොවිඩ් මර්දනයට සහාය දීම වෙනුවට ඔබලා කරන්නේ කොවිඩ් පොකුරු ඇතිවෙන විදියට මිනිස්සු පාරට බස්සන එකයි?


පිළිතුර:- අපි නිසා කොවිඩ් පොකුරු ඇතිවෙලා නෑනේ. ආණ්ඩුවට පුළුවන් නම් උත්සව තියන්න අනිත් ඇමැතිවරුන්ට පුළුවන් නම් පාරවල් දිගේ පෙළපාලි යන්න තැන්තැන්වල උත්සව තියන්න පාටි තියන්න පුළුවන් නම් ඇයි විපක්ෂයට විතරක් තහංචි ද‌ාන්නේ. මේකට තහංචි ද‌ාන එක නොවෙයි කරන්න ඕන. කොවිඩ් පාලනය කරන්න අවශ්‍ය පියවර ගැනීමයි කළ යුත්තේ. ඒක කරන්න බැරිව ආණ්ඩුව විපක්ෂයට තහංචි ද‌ානවා. විපක්ෂය තමයි මුලින්ම කිව්වේ රට වහන්න කියලා. මාස්ක් එක ද‌ාන්න කියලා. එන්නත දෙන්න කියලා. ඒ සියල්ලම කිව්වේ විපක්ෂය, අපි ඒකට අවශ්‍ය සහයෝගය දෙනවා. මේ ගොල්ලෝ කොවිඩ් එකට මුවා වෙලා සියලු දේ හොරෙන් කරන්න හදනවා. අපි ඒකට ඉඩ තියන්නේ නෑ. තෙල්මිල වැඩි කිරීම, පොහොර කප්පාදුව මේ සියල්ලම ආණ්ඩුව කරන්නේ කොවිඩ් එකට මුවා වෙලා ආර්ථිකය විනාශ කරන එක. අපි මේවට ජීවිත පූජාවෙන් කටයුතු කරන්න සූද‌ානම්.


ප්‍රශ්නය:-  සමගි ජන බලවේගය හරිත පක්ෂයක් කියලනෙ කියන්නේ. එහෙම හඳුන්වන්නේ?


පිළිතුර:- රටට ආදරය කරන මේ රටේ ස්වභාවික සම්පත් ආරක්ෂා කරන පක්ෂයක් හැටියට අපි දන්නවා ලෝකයේ ප්‍රධානම දේ තමයි පරිසරය. ඒ පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම දෝතට ගත්ත පක්ෂයක්. අද මේ ආණ්ඩුව ඇවිල්ලා සිංහරාජයත් කපනවා. යාලත් කපනවා. වනාතවිල්ලුවත් කපනවා. වැලි ටිකත් කපනවා. පස් ටිකත් කපනවා. මේ ඔක්කොම අපරාධකාරයෝ ඉන්නේ ආණ්ඩුව ඇතුළේ. අපේ පක්ෂය ඒවාට විරුද්ධව කටයුතු කරන හරිත පක්ෂයක්.


ප්‍රශ්නය:- කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ඔබේ පක්ෂයේ මතය?


පිළිතුර:- කාබනික පොහොර කතාව බොහොම ලස්සන කතාවක්. අපි ඒකට විරුද්ධ නෑ.


ප්‍රශ්නය:- එහෙමනම් ඇයි ඒකට විරුද්ධව ගොවීන් පාරට බස්සන්නේ?


පිළිතුර:- ඒක මේ ගහෙන් ගෙඩි එන්නා සේ එක පාරටම කරන්න බෑනේ. ලෝකයේ එහෙම කරලත් නෑනේ. ලෝකයේ අපට වැඩිම ආර්ථික අතින් ශක්තිමත් ඒ වගේම රසායනික පොහොරවලට විරුද්ධ රටවල් මේක කරලා නෑනේ. ලෝකයේ තවම සියයට 2 යි කාබනික පොහොර භාවිත කරන්නේ. ජපානය, ඇමෙරිකාව, එංගලන්තය වගේ රටවල්. ඒ වගේම තායිලන්තය වගේ රටවල් තාම වැඩිය පාවිච්චි කරන්නේ රසායනික පොහොර. ඒක කරන්න ගියා භූතානය. භූතානයට අන්තිමට ඉන්දියාවෙන් හාල් ගෙන්වන්න වුණා. ඉන්දියාවෙන් කෑම බඩු ගෙන්වන්න වුණා. කියුබාවත් ඕක කළා. නමුත් අන්තිමට ඔවුන් රසායනික පොහොරවලට ගියා. මේ ගොල්ලෝ කියනවා රසායනික පොහොර වලින් වකුගඩු රෝගය හැදෙනවා කියලා. එහෙමනම් ජපානයෙත් හැදෙන්න එපැයි. ප්‍රශ්නය වෙලා තියෙන්නේ මේ කරන මෝඩ වැඩවලින් රටේ සාගතයක් ඇතිවීමයි. ඒ විනාශයෙන් රට මුදවා ගැනීමයි අපේ උත්සාහය.

 

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන් 



අදහස් (0)

විශ්වාසභංගයෙන් විපක්ෂය එකමිටට එකතු වුණා

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 78 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1161 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 907 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2303 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2152 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3681 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site