IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


දූවරු මව්වරුන් සොයා එති

අවුරුදු 30කට පසු අයිස්ලන්තයේ සිට දියණියක ලංකාවට පැමිණියාය.

මාදිවෙලදී ඇය සිය මව හමුවූවාය. මවත් දුවත් එකිනෙකා වැළඳගනිමින් ටික වේලාවක් සිටියහ.

ඇයට මාස 10දී මවගේ උණුසුම ලැබුණාට පසු යළි එවැනි උණුසුමක් ලැබුණේ වසර 30කට පසුවය. නමින් ඇය රසිකා ය.

සිය මව සොයාගැනීමට ඇයට උදව් කළේ ලංකාදීප පත්‍රයයි.

කැපකරු මාපිය ක්‍රමය යටතේ හදාවඩා ගැනීමට අයිස්ලන්තයට රැගෙන ගිය තවත් ලාංකික දැරියකට අලුත්ගමදී සිය මව සොයාදීමට ලංකාදීපය සමත් විය. අගලවත්ත පැත්තෙන් එසේ රැගෙන ගිය බ්‍රින්ජා ද සිය මව හමුවිය.

අයිස්ලන්තයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය මේ දූවරුන් දෙදෙනාට මව සොයාගැනීමට මූලික විය.

අයිස්ලන්තය යනු ප්‍රංශයට උතුරින් ග්‍රීන්ලන්තය ආසන්නයේ පිහිටි නෝර්ඩික් දූපතකි. උණුවතුර ළිං, දිය ඇළි, ග්ලැසියර්, ගිනි කඳු හා කළු පැහැ වෙරළින් සමන්විත එරට ජනගහණය ලක්ෂ තුන හමාරක් පමණ වේ. එයින් වැඩි දෙනා වෙසෙනුයේ අගනුවර වන රේකවික් නගරයේය.

වෘත්තීය වශයෙන් පුහුණුව ලැබූ ස්ථිර හමුදාවක් නැති එරට නේටෝ සංවිධානයට අයත්වේ.

අයිස්ලන්තය ජනාවාසවූයේ ක්‍රි.ව 874දී ය. නෝර්වේ රාජ්‍යය හා ඩෙන්මාර්කය මෙය මුලදී පාලනය කළ අතර වර්ග කිලෝමීටර් 103,000 ක වපසරියකින් යුත් අයිස්ලන්තයේ වැසියනට සෞඛ්‍ය සේවය, අධ්‍යාපනය සමාජ සුබ සාධන ක්‍රමයක් යටතේ ලබාදේ.

ධීවර කර්මාන්තය හා කෘෂිකර්මාන්තය එරට ප්‍රධාන රැකියා අතර වේ. ලොව බෙහෙවින්ම සංවර්ධනය වූ 13 වැනි රට ලෙස 2013 දී එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශකයේ අයිස්ලන්තය දැක්විණි.

උතුරු අත්ලාන්තික් සාගරය හා ආක්ටික් සාගරය අතර පිහිටි අයිස්ලන්ත දූපත 1918 දී නිදහස ලබාගෙන ඇත. 1944 වසරේදී අයිස්ලන්තය ජනරජයක් බවට පත්විය.

අයිස්ලන්ත රූපවාහිනී නාලිකාවක් වන ‘චැනල් 2‘ නාලිකාව ඇයට මව සොයා ගැනීමට සියලු වියදම් දැරූ අතර ඇගේ මව සොයා ලංකාවට පැමිණීමේ චාරිකාවට එම රූපවාහිනී නාලිකාවේ කණ්ඩායමක් ද එක්විය. රසිකාට සිය මව සමග අදහස් හුවමාරු කරගැනීමට භාෂා ප්‍රශ්නය බාධාවක් වී තිබිණි. නමුත් හැඟීම් දැනීම්වලට වැට බැඳීමට කිසිවකට නොහැකි විය.

රසිකාගේ මව විසූ මාදිවෙල නිවසට ගිය අවස්ථාවේ රසිකාට ඇගේ වැඩිමහල් සහෝදරිය හා බාල සොහොයුරාද මුණ ගැසීමේ අවස්ථාව හිමි විය. ඔවුන්ට රසිකා පිළිබඳ මතකයක් නැත. ඔවුන් තමන් කිසිදාක දැක නැති සොහොයුරියක් සිටින බව දැනගෙන ඇත්තේ සති කිහිපයකට පෙරය.

රසිකාගේ අයිස්ලන්ත මාපියන් ඇය හැඳින්වූයේ රොසිකා ගෙස්ට්ඩොරර් නමිනි. දැනට ඇය අයිස්ලන්තයේ හෙදියකි. ඇය විවාහ ගිවිසගෙන ඇත්තේ ඇලෙක්සැන්ඩර් ජොහැන්සන් නමැති අයිස්ලන්ත ජාතික පින්තාරුකරුවකු සමගය.

රසිකාට ඇගේ මව හමුවීම සිහිනයක් සැබෑවීමක් බඳු යැයි ඇය කියන්නීය. අවසානයේ මව මුණගැසීම ඇත්තටම සිදුවූවක්ද යන්න තවමත් ඇයට අදහාගත නොහැකි බව රසිකා කියයි. ඇගේ පියා 1986 වසරේදී මිය යාමත් සමග මවට ඇතිවූ පවුලේ ගැටලු සමග ඇය හදා වඩා ගැනීමට නොහැකිවීම නිසා ඇයට අයිස්ලන්ත දෙමාපියන්ගේ රැකවරණය ලැබිණි.

ඇය හදාවඩා ගන්නා අයිස්ලන්ත දෙමාපියන් ඉතා කාරුණික බවත් ඇය සතුටින් එහෙ වෙසෙන බවත් කියන්නීය. රසිකාගේ මවට රසිකා පිළිබඳ මතකය තවමත් ඇත. ඇයට වසරකටත් අඩු කුඩා කාලයේදී ඇය අයිස්ලන්ත මාපියන්ට ලබාදුන් හැටි ඇයට අද මෙන් මතකය. ඒ 1986 වසරේදීය. ජාඇල ඔවුන්ගේ නිවස පිහිටා තිබූ අතර රසිකා උපත ලබා ඇත්තේ ජාඇල රෝහලේදීය. එදා ජාඇල රෝහල තිබූ තැන අද ඇත්තේ ජාඇල නගර සභාවයි. රෝහල ඒ අසලම වෙනත් ස්ථානයකට ගෙනගොස් ඇත්තේ 1998 වසරේදීය.

රසිකාගේ පියා මරා දමා ඇතැයි ඇගේ මව කියන්නීය. ඔහුගේ දේහය ජාඇල ප්‍රදේශයේම දුම්රිය මාර්ගයේ දමා තිබියදී සොයාගෙන ඇත. පියා මිහිදන් කළ ස්ථානය සොයා ජාඇල කනත්තට ඔවුහු ගියහ. මවට නිශ්චිතවම එම ස්ථානය සොයාගැනීමට නොහැකි විය. නමුත් රසිකාගේ පියා එම කනත්තේ කොතැනක හෝ මිහිදන්ව සිටින බව රසිකා වටහා ගත්තාය. ඇගේ නෙතට නිතැතින්ම කඳුළු නැගිණි. මව ද දුක බෙදාහදා ගැනීමට ඇය හා එක්වූවාය.

රසිකාගේ සොහොයුරිය වෙසෙන්නේ කඩුවෙලය. ඇයට දියණියන් දෙදෙනකු හා පුතකු සිටී. රසිකාට ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැක්කේ යාන්තමිනි. ඇය අයිස්ලාන්තික් භාෂාව හොඳින් හසුරවන්නීය. චැනල් 2 නාළිකාවේ නිවේදිකා සිග්රු ක්‍රිස්ජැස්ඩොටියර් ඇයට අදහස් හුවමාරු කරගැනීමට සහාය වූවාය. රසිකාගේ සොයුරිය ඇය දන්නා ආකාරයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් රසිකා සමග අදහස් හුවමාරු කරගත්තාය. ඇගේ කඩුවෙල නිවෙසට යාමටද රසිකා හා පෙම්වතාට ආරාධනා ලැබිණි. රසිකා එය සතුටින් බාරගත්තාය.

රසිකාගේ මව ඇතුළු පිරිස අයිස්ලන්තයේ සිට පැමිණි සිය ඥාති දියණිය වෙනුවෙන් සිය වත්කමේ හැටියට ආහාර පානාදිය සකස්කොට තිබිණි. ඔවුහු අයිස්ලන්තයේ දී හුරු පුරුදුව සිටි ආහාර රටාව සම්බන්ධයෙන් රසිකාගේ මවට දැනුමක් නොතිබිණි. නමුත් ආ පිරිස සතුටු කරන්නට සිය උපරිම කැපවීමෙන් ඔවුහු රසවත් ආහාරවේලක් සකස්කොට තිබූ අතර චැනල් 2 නාළිකාවේ පිරිසද එය අපූරු අත්දැකීමක් කරගත්හ.

රසිකා ශ්‍රී ලංකාවේ සිටියේ දින කිහිපයක් පමණි. ඉන්පසු ඇය ශ්‍රී ලංකාවේ මතකයද රැගෙන හදාවඩාගත් දෙමාපියන් තුරුළට යන්නට ගියාය. රසිකා සමග එම සුළු කාලයේ රැඳී සිටි මවට ඇයගෙන් දෙවැනිවරටද වෙන්වීමට සිදුවිය.

රසිකාගේ මව එදා අයිස්ලන්තයට සිය දියණිය රැගෙන යද්දී විඳි දුක වේදනාව ඇයට යළිත් වරක් රසිකා අයිස්ලන්තයට යද්දී දැනෙන්නට හැඟෙන්නට ඇති බව නොඅනුමානය. නමුත් රසිකා ඇය වෙසෙන ලෝකයේම කොහේ හෝ සතුටින් වෙසෙන බව දැන ඇය සැනසුම් සුසුම් හෙළන්නීය.

IMG_9547 IMG_9636 IMG_9644 IMG_9651 IMG_9655 IMG_9667 IMG_9684 IMG_9705

_MG_9631

 



අදහස් (0)

දූවරු මව්වරුන් සොයා එති

සුනිල් Tuesday, 21 June 2016 06:01 AM

හරිම සංවේදීව බැලුවෙමි. ඉබේම ඇස්දෙක තෙත් විය. බුදු දහම අනුව මෙම ලොව සියලු දේ සිදුවේවි. අම්මා දෙවිනිවරටත් සිතෙන් මොන තරම් දුක් වන්න ඇතිද? (ම)

:       0       0

ජගත් ලියනගේ Monday, 20 June 2016 01:35 PM

දුව අම්මගේ කපාපු පලුව. (ර)

:       0       0

රන්ජිත් Tuesday, 21 June 2016 06:13 AM

හරිම සංවේදීව බැලුවෙමි. ඉබේම ඇස්දෙක තෙත් විය.ලංකාදීපයට ස්තුතියි.(ම)

:       0       0

රොහාන් ද සිල්වා Monday, 20 June 2016 01:40 PM

බොහොම හොඳයි (බ)

:       0       0

විමල් Monday, 20 June 2016 02:11 PM

මිනිසුන් දුරස් කිරීම නොව හදවත් ලංකිරීම ගැන ලංකාදීපය ට පින්.(හේ)

:       0       0

දුමින්ද Tuesday, 21 June 2016 07:37 AM

චාමර, නුඹට එපමණද පෙනුනේ? (නි)

:       0       0

චාමර Monday, 20 June 2016 04:24 PM

දුවට වඩා අම්මා තරුණ පාටයි... (ර)

:       0       0

අසෝක Monday, 20 June 2016 05:57 PM

සංසාර ගමනක හැටි. (ර)

:       0       0

පියුමාල් Monday, 20 June 2016 06:39 PM

තාත්තා ගැන කණගාටුයි අපිට (නි)

:       0       0

ගෝමස් Monday, 20 June 2016 11:42 PM

මොනවා වුණත් මටත් අැඬුනා මේ වීඩියෝ එක බලලා (නි)

:       0       0

ෆ්‍රීමාල් Monday, 20 June 2016 11:56 PM

හරිම සතුටුයි අපිටත් (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 21 June 2016 01:04 AM

සම්බුදු දහමේ කර්මානුරූපව අපි නිවන් අරමුණු කරගෙන ඉදිරි ගමන යා යුතු වේ. මෙයත් කර්මනුරූපව සිදු වූ දෙයක් නොවේද? (නි)

:       0       0

නිහාල් Tuesday, 21 June 2016 01:16 AM

වතුරට වඩා ලේ උකුයි කියන්නේ නිකන්ද? (නි)

:       0       0

නලී Tuesday, 21 June 2016 02:11 AM

සසර දුක, භවදුක, කර්ම ඵලය හෝ හේතු ඵලවාදය ගැන මෙනෙහිකොට මමද මෙම සිදුවීම දෙස උපේක්ෂාවෙන් බලා සංවේදී නොවන්නට ප්‍රයත්න කළෙමි. අවසන බොඳ වූ දෙනෙතට ලංකාදීපයේ අකුරු නොපෙනී ගිය වග නම් පසක් කළෙමි. (නි)

:       0       0

සමාධි Tuesday, 21 June 2016 02:21 AM

බුද්ධ දර්ශනයේ ඇත්තේ හේතුඵල ධර්මයයි. කවුරුත් කියන දෙය නොව පොත්පත් කියවාම මෙය තේරුම් ගන්න. (නි)

:       0       0

දමයන්ති Tuesday, 21 June 2016 02:26 AM

තමා පෙර භව වලදි (ඇත්නම්) කොපමණ පව් කර තිබේද? කොපමණ පින් කර තිබේද? නිවන් ලැබිමට තව කොපමණ පින් කළයුතුද? තව කොපමණ පව් ගෙවා දැමිය යුතුද? මේ ප්‍රශ්න වලට පිළිතුරු දන්නා කෙනෙක් නැත. (නි)

:       0       0

රත්නායක Tuesday, 21 June 2016 02:36 AM

අපට හරිම කණගාටුයි. අම්මා කොහොමද දරුදුක ඉවසන්නේ? අප නෙතට කඳුලු ගලනවා (නි)

:       0       0

නිශාඩ් ප්‍රිනා Tuesday, 21 June 2016 03:43 AM

බොහොම සංවේදී දසුන් ටිකක්. මට නොදැනීම කඳුලුත් ආවා.(ම)

:       0       0

පද්මිණි Tuesday, 21 June 2016 05:22 AM

ලොකු සතුටක්. හිතට දැනුණා. ලංකාදීපයට ස්තුතියි. (ම)

:       0       0

අමන්දා Tuesday, 21 June 2016 05:26 AM

ඉතා අගය කරන්න ඕන දෙයක්. අද සමාජයේ දෙමාපියන් මහමග දාලා යන හඳ මේ වගේ සිද්ධි එහිමත් සතුටක්.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 431 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 606 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 246 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site