IMG-LOGO

කටුවාපිටිය ඝාතකයාගේ බිරිය මියගිය බව තහවුරු වී නෑ


(නිමන්ති රණසිංහ)

කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරුණු හස්තුන් නමැත්තාගේ බිරිඳ වන පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් “සාරා ජෙස්මින්” නමැත්තිය සයින්දමරුදු නිවසක සිදුවූ පිපිරීමෙන් මියගිය බව මෙතෙක් තහවුරු වී නොමැති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (21) පැවසීය.

සයින්දමරුදුහි  මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාගත් නිවසේ අවසන් මොහොත දක්වා සාරා ජෙස්මින් නමැත්තිය සිටි බවට විමර්ශන ඔස්සේ අනාවරණය වුවද පිපිරීමෙන් පසු හමුවූ කිසිදු මළ සිරුරක සාරා ජෙස්මින්ගේ මවගේ ඩීඑන්ඒ හා සැසඳෙන සිරුරක් හමු නොවූ බව ද කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේය.



අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා (සභාපති විනිසුරු), අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර සහ අමාත්‍යාංශ ලේකම් (විශ්‍රාමික) එම්.එම්. අධිකාරී යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම සාක්ෂි ලබාගැනීම සිදුවිණි.

මෙහිදී වැඩිදුරටත් සාක්ෂි ලබා දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර මහතා  මෙසේ ද ප්‍රකාශ කළේය.

එවකට මා සේවය කළේ අම්පාර පොලිස් කොට්ඨාසය භාරවයි. ඉකුත් වසරේ අප්‍රේල් මස 26 වැනිදා නින්දවූර් හි බෝම්බකරුවන්ගේ භාණ්ඩ සඟවා තිබූ නිවස පරීක්ෂා කරමින් සිටියදී සයින්දමරුදු පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියකුට නිවසක් තුළින් වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා කියලා තොරතුරු ලබුණා.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය:-

අදාළ නිවසේ සැක කටයුතු පිරිසක් රැඳී සිටින බව පළමුව හඳුනා ගත්තේ කෙසේද?

සාක්ෂිකරු:-

වොලිවේරියන් ග්‍රාමයට නාඳුනන පිරිසක් පැමිණ ඇති බව පළමුව ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනකු සැක කරලා තිබුණා. පසුව ඔවුන් ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියේ නියෝජිතයකු සමග ගොස් එම නිවස පරීක්ෂා කර බලා තිබුණා. එහිදී තුවක්කුවක් අත දරා සිටි නිවසින් පිටතට පැමිණි පුද්ගලයකු “අපි උඹලා වෙනුවෙන් තමයි මේ දිවි පුදන්න යන්නේ” යනුවෙන් පවසා තිබුණා.

පසුව එම පිරිස රථවාහන රාජකාරියේ යෙදී සිටි නිලධාරියා ට මේ බව දැනුවත් කර තිබුණා. පසුව පොලිස් නිලධාරියාට වෙඩි තබා ඇති බවට තොරතුරු ලැබුණා. ඒ අනුව තමන් ඇතුළු පිරිසක් එදින රාත්‍රී 7.00ට පමණ සයින්දමරුදු හි වොලිවේරියන් ග්‍රාමයට ඇතුළුවන යකඩ පාලම අසලට පැමිණියා. එම අවස්ථාවේදී වොලිවේරියන් ග්‍රාමය ඇතුළත නිවසක සිට අඳුරේ වෙඩි තැබීමට යොදා ගන්නා ටේසර් බුලට් ආධාරයෙන් තමන් සිටින ස්ථානයේ ඉහළට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා.


ඒත් එක්කම එම නිවසේ පිපිරීමක් වුණා. එහිදී ආරක්ෂක අංශත් එම නිවසේ රැඳී සිටි පිරිසත් අතර විනාඩි 40ක් පමණ කාලයක් වෙඩි හුවමාරුවක් සිදුවුණා. ඒ අතරතුර තවත් පිපිරීමක් සිදුවුණා.

මෙම අවස්ථාවේදී ජනරාල් මහින්ද මුදලිගේ මහතා විසින් තම නිලධාරීන් කිහිප දෙනකු එම නිවස දෙසට යොමු කළා. පසුව රාත්‍රී 9.15 ට පමණ “සර් එක්කෙනක් අවුට්. දැන් නම් එළියේ අවුලක් නැහැ” කියලා එක් නිලධාරියෙක් ජනරාල්වරයාට පැවසුවා. පසුව රාත්‍රී 11 ට පමණ මා ඇතුළු නිලධාරීන් පිරිසක් වොලිවේරියන් ග්‍රාමයේ එම නිවස සමීපයට ගියා. එහිදී නිවස අසල මාර්ගයේ බිම දමා තිබූ රුපියල් නව ලක්ෂ අසූ දහසක වටිනාකමකින් යුතු රුපියල් පන්දහසේ කොළ හමුවුණා. පසුව නිවස තුළ සෝදිසි මෙහෙයුමක් කළා. එහිදී රුපියල් පන්දහසේ නෝට්ටු දහසක් එකවර නිකුත් කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් යොදනු ලබන සටහන් කොළ දෙකක් ද හමුවුණා.

මරාගෙන මැරුණු ත්‍රස්තවාදීන් සහ ආරක්ෂක අංශ අතර සිදුවූ වෙඩි හුවමාරුවලින් ත්‍රස්තවාදීන් සහ පවුල්වල පිරිස් 16 දෙනෙකු මිය ගොස් තිබූ බවට මෘත ශරීර කොටස් හමුවුණා. ඒ අතර වැඩිහිටි පිරිමි පස් දෙනෙක්, වැඩිහිටි කාන්තාවන් පස් දෙනෙක්, පිරිමි ළමයින් තුන් දෙනෙක්, ගැහැණු ළමයි තුන්දෙනෙකුගේ මෘත ශරීර තිබුණා. එක් ළමා මළ සිරුරක් දැඩි ලෙස විනාශ වෙලා තිබුණා.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙම ප්‍රහාරයෙන් මියගිය පිරිසේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා මෘත ශරීරවල ඡායාරූප ඔස්සේ සාක්ෂි විමසීම සිදුකරනු ලැබුවාය.

මෙහිදී සාක්ෂිකරු පළමුව හඳුනා ගනු ලැබුවේ බෝම්බ පිපිරී ගිය නිවසට ඇතුළුවන දොරටුව ඉදිරියේ ටී 56 ගිනිඅවියක් අත දරා මිය ගොස් සිටි පුද්ගලයාය. එම පුද්ගලයා මෙහොමහඩ් නියාස් ලෙසත් ඔහු සහ්රාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන්ට නින්දවූර් සහ සෙන්දල්ගාම් නිවාසවල බඩු බාහිරාදිය සැඟවීමට උපකාර කළ තැනැත්තාම බවත් සාක්ෂිකරු හඳුනා ගත්තේය.
පසුව සාක්ෂිකරු හඳුනා ගත්තේ, සයින්දමරුදු නිවසේ දී පිපිරීම සිදුවීමට පෙර අදාළ නිවසේ සිටි ත්‍රස්තවාදීන් විසින් අන්තර්ජාලයට එක්කර තිබූ වීඩියෝ පටයයි.

සාක්ෂිකරු:-

එම නිවස තුළ තිබූ සහ්රාන් හෂීන්ගේ පියාගේ යැයි සැක කළ හැකි සිරුරක් හමුවුණා. වීඩියෝ පටයේ සඳහන් වුණා කුඩා දරුවකු සමග සිටින සහ්රාන්ගේ එක් සොහොයුරකු වන ෂෙයිනි සිටිනවා. ඒ අනුව ඔහුගේ මළ සිරුර නිවසට ඇතුළුවන ස්ථානයේ වැටී තිබුණා. වීඩියෝ පටයේ ඔහු හැඳි දම් සහ සුදු සරමෙන් එම සිරුර හඳුනා ගත්තා.

සහ්රාන් හෂීම්ගේ අනෙක් සහෝදරයා වන මොහොමඩ් කාසීම් මොහොමඩ් රිල්වාන්ගේ සිරුර නිවසේ වහලේ උඩ තිබුණා. එම මෘත ශරීරය වහලය උඩ තිබීමෙන් ඔහු පළා යාමට හෝ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි බවට තහවුරු වුණා. එම නිවසේ මැද සාලයේ තිබූ සහ්රාන් හෂීම්ගේ වැඩිමහල් පුත්‍රයා වූ මොහොමඩ් සහ්රාන් වාසීම්ගේ ද, සහ්රාන් ගේ නැගණියක වූ මොහොමඩ් කාසීම් හිදියා නම් ගැබිනි කාන්තාවගේ ද, සහ්රාන්ගේ මව වූ අබ්දුල් සකාර් සිත්ති උම්මා ගේ සිරුරු එම නිවස තුළ තිබී සොයා ගත්තා.

අපි නිවසට ඇතුළට ගොස් සුළු මොහොතකින් නිවසේ පිටුපස කාමරයකින් දරුවකු හඬන ශබ්දයක් ඇසුණා. එහි ගොස් පරීක්ෂා කර බැලීමේදී තුවාල ලබා සිටි දරුවකු සහ කාන්තාවක සොයා ගත්තා. එම දරුවා සහ්රාන් හෂීම්ගේ දියණිය වන මොහොමඩ් සහ්රාන් රුදෛයිනා බවත් වැඩිහිටි කාන්තාව මොහොමඩ් සහ්රාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා කාදර් ලෙස හඳුනා ගත්තා. පසුව ඔවුන් රෝහල්ගත කළා. අදාළ නිවසේ කාමරයක තිබී මුදල් පසුම්බියක් හමුවුණා. එය පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින්ට අයත් වූවක් බවට හඳුනා ගත්තා.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය:-

පුලස්තිනි මහේන්ද්‍රන් නමැත්තිය මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් තහවුරු වුණාද?

සාක්ෂිකරු:-

ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් මෙම ත්‍රස්තවාදීන් සමග සබඳතා පැවැත්වූ කල්මුනේ සියාම් නමැත්තා ඉකුත් වසරේ අප්‍රේල් 26 වැනි දින ප්‍රහාරය සිදුවීමට පෙර මෙම පිරිස සමග සාරා ජෙස්මින් සිටිනු දැක තිබුණා. සීඅයිඩී භාරයේ සිටින සහ්රාන්ගේ බිරිඳගේ ප්‍රකාශ අනුව ද සාරා අවසන් මොහොත වන තෙක් ම මෙම කණ්ඩායම අතර සිටියා කියලා තහවුරු වුණා. ඒත් ප්‍රහාරයෙන් පසු මෘත ශරීර සියල්ලගෙන් ලබා ගත් ඩීඑන්ඒ සාම්පල් කිසිවක් සාරාගේ මවගේ ඩීඑන්ඒ සාම්පල් සමග නොසැසඳෙන බව මැතකදී බුද්ධි නිලධාරියකු මගින් තමන් දැනගත්තා.

මෙම සයින්දමරුදු පිපිරීම සම්බන්ධයෙන් මුල සිටම විමර්ශනය කළ තමන්ව 2019 ජුලි 24 දින හදිසියේම ස්ථාන මාරු කළා. ඒ නිසා මා කරගෙන ආපු විමර්ශනවලට බාධා එල්ල වුණා. මා පමණක් නොවෙයි මගෙන් පසු අම්පාර කොට්ඨාසය භාරව පත්වූ මාරපන නිලධාරියා ද මෙම අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් කටයුතු කළත් ඔහුව මාස 6ක් වැනි කෙටි කාලයකදී යළිත් ස්ථාන මාරුකළා.

මෙම මරුවීම් දේශපාලන මාරුවීම් කියලා සැක සහිතයි. තමන් ඇතුළු නිලධාරීන් නිවැරදි මාර්ගයේ විමර්ශන කරගෙන යනකොට අනාවරණය වූ ඇතැම් කරුණු ඇතැම් පිරිස්වලට අවාසි සහගත ලෙස බලපෑවා. ඒ නිසා එම මාරුවීම් කළා කියලා සැකයි.

මෙම ත්‍රස්තවාදී කණ්ඩායම ගිරිඋල්ල ප්‍රදේශයෙන් සුදු රෙදි මිලදී ගෙන තිබීම හරහා ආගමික උත්සවයක් ඉලක්ක කර දෙවන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් තිබුණා කියලා සැක මතු වුණා. එම දෙවන ප්‍රහාරයේ ආගමික පැතිකඩ බැලීමට සහ්රාන් හෂීම්ගේ සොහොයුරු ෂෙයිනි පත්කර තිබුණා. සහ්රාන්ගේ අනෙක් සොහායුරාට අනෙකුත් පැති බාරදීලා තිබුණා. තමන් ඇතුළු කණ්ඩායම මෙම ත්‍රස්තවාදීන් සමග සම්බන්ධ බොහෝ අය අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. ඒත් හදිසි ලද ස්ථාන මාරුව හරහා සියලුම ත්‍රස්තයින් අත්අඩංගුවට ගන්න බැරි වුණා.

මෙහිදී කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන මාහින්කන්ද මහතා මෙසේ පැවසීය.

සයින්දමරුදු වොලිවේරියන් ග්‍රාමයේ සිදුවූ පිපිරීම් මාලාවෙන් දිවි ගලවා ගත් පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් නමැත්තිය කලවංචිකුඩි මාන්කඩු ප්‍රදේශයේ සැඟව සිටින බවට ඇසින් දුටු සාක්ෂිකරුවකු ඉකුත් ජුලි 06 වැනිදා තමන්ට තොරතුරු ලබා දුන්නා. ඒ අනුව මෙම තොරතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජුලි 08 වැනිදා මා මඩකලපුවට ගියා.

එහිදී සාරාව ඇසින් දුටු පුද්ගලයකු හමුවුණා. එහිදී එම පුද්ගලයා කිව්වා, ඔහු ඉකුත් වසරේ සැප්තැම්බර් මස දිනෙක අලුයම 3.15 ට පමණ මඩකලපුව කල්මුණේ ප්‍රධාන මාර්ගයේ තේතාතිව් ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකි අතුරු මාර්ගයක් වන බීච් රෝඩ් හි කාන්තාවක සහ පුද්ගලයකු ප්‍රධාන මාර්ගයට පිවිසෙනවා දැක්කා කියලා. එම කාන්තාව කළු පැහැති පර්දාවකින් මුහුණ ආවරණය නොවන සේ පැළඳී සිටි අතර ඇගේ පිටුපසින් පිරිමි පුද්ගලයන් දෙදෙනකු පැමිණියා.

එම කාන්තාව සාරා ජෙස්මින් ලෙස සාක්ෂිකරු හඳුනා ගෙන ඇත්තේ ඇය කුඩා කාලයේදී ඔහුගේ නිවසට යාබදව පදිංචිව සිටීම සහ සාරා පාස්කු ප්‍රහාරය සම්බන්ධ සැකකරුවකු ලෙස මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබූ නිසා බවට සාක්ෂිකරු කිව්වා. මෙලෙස ප්‍රධාන මාර්ගයට පිවිසි කාන්තාව එම මාර්ගයේ නවතා තිබූ කහ පැහැති පිකප් රථයක පිටුපස ආසනයක නගිනවා මේ සාක්ෂිකරු දැක තිබෙනවා. එහිදී සාක්ෂිකරු වැඩිදුරටත් සෝදිසි කරලා තිබුණා. එහිදී එම රථයේ රියැදුරු අසුනට යාබදව තමන් දන්නා හඳුනන තවත් පුද්ගලයකු සිටි බවට ඔහු දැක තිබෙනවා. එලෙස අසුන් ගෙන සිට ඇත්තේ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාව වන විට කලවංචිකුඩි පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිව සිටි, මෑතකදී කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත් අබු බකර් නම් නිලධාරියා බවත් එම සාක්ෂිකරු දැක තිබෙනවා.

මොහු පොලිස් නිලධාරියාව සැක කර ඔහු සමග කතා කිරීමට සැරසෙත්ම අදාළ පිකප් රථය මඩකලපුව දෙසට වේගයෙන් ඇදී ගොස් තිබුණා. පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් නමැත්තියට බෝට්ටුවකින් ඉන්දියාවට පළා යෑමට ආධාර උපකාර කළ දෙදෙනකු සම්බන්ධයෙන් ද තමන්ට තොරතුරු ලැබිලා තිබෙනවා. පුලස්තිනි නමැත්තියට ඉන්දියාවට පළා යාමට උපකාර කර ඇත්තේ ඇයගේ මවගේ නැගණියගේ ස්වාමියා සහ ඔහුගේ සහෝදරයා බව විමර්ශන නිලධාරියා විසින් හෙළිදරව් කරගත්තා.

 


 



අදහස් (0)

කටුවාපිටිය ඝාතකයාගේ බිරිය මියගිය බව තහවුරු වී නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 449 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 625 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 254 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site