රොමේෂ් මධුෂංඛ
 
යාපනය ප්‍රදේශයේ පසුගිය කාලයේ  සිදුවූ පුද්ගල කපාදැමීම්, නිවාස වෙත පහරදීම්, පුද්ගලයින් වෙත තර්ජනය කිරීම් ආදි සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයින් 22 දෙනෙකු ගෙවුණු දින කිහිපය තුළදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය පවසයි.


යාපනය,කෝපායි,චුන්නාකම් හා මානිප්පායි ප්‍රදේශවලදී සිදුකළ වැටලීම්වලදී අදාළ සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.


සැකකරුවන් පසුගිය දිනයන්හි යාපනය,මානිප්පායි, කෝපායි, චුන්නාකම් ප්‍රදේශවල නිවාස කිහිපයකට දැඩි අලාභ හානි සිදුකර පුද්ගලයින් තර්ජනය කර තිබු අතරම පුද්ගල පහරදීම් ද සිදු කළ බවට අනාවරණය වී ඇතැයි ද පොලීසිය කියයි.


යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග යටතේ යාපනය, කෝපායි, චුන්නාකම් හා මානිප්පායි පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කොට පොලිස් නිළධාරීන් විශේෂ පරීක්ෂා කිරීම් මේ වන විට සිදුකරමින් පවතින බවද යාපනය පොලිස් නිලධාරීන් පැවසූහ.


යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය, ධනුරොක් කල්ලිය, වික්ටර් කල්ලිය වැනි කල්ලි කිහිපයක සාමාජිකයින් විසින් පසුගිය සමය පුරාම විවිධ නීතිවිරෝධි ක්‍රියා කරමින් කප්පම් ගැනීම් සිදුකර තිබෙන බවට යාපනය ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ.