IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මහ බැංකුවෙන් ගත් ණය ගෙවීමට මහ බැංකුවෙන්ම යළි ණය ගනී

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මහා බැංකුවෙන් ලබාගෙන ඇති ණය මුදල් පියවීම සඳහා යළි මහා බැංකුවෙන්ම ණය ලබාගෙන තියෙනවා යැයිද එයට අමතරව අර්ථ සාධක අරමුදලෙන්, ඞී.ඒෆ්.සී.සී. සහ පෑන් ඒෂියා  බැංකුවලින් රුපියල් බිලියන 21ක ණය ලබාගෙන ඇතැයිද බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්‍ෂ වසන්ත කුමාර අල්විස් මහතා පැවැසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදුකෙරේ.

2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කොට ඇත.

කොමිසමේ කටයුතු සඳහා පෙනී සිටින නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ බැඳුම්කර කොමිසම හමුවේ දෙවැනි දිනයටත් සාක්කි දුන් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්‍ෂ කළුබෝවිල වසන්ත කුමාර අල්විස් මහතා මෙසේද කීය.

 

පෙර දින ඉදිරිපත් කරන ලද ලේඛන දෙකේ තියෙන්නේ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ගනුදෙනු සටහන් සහ එහි සාරාංශයයි. මෙම තොරතුරු පිළියෙළ කරන්නේ ශ‍්‍රී ලංකා මහා බැංකුවේ තොරතුරු තාක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන්,

ප්‍රශ්නය.  මේ සඳහා දත්ත ගන්නේ කොහොමද?

පිළීතුර. 2016 අපේ‍්‍රල් අග භාගයේ.

ප්‍රශ්නය.  මෙම දත්ත ලබාගන්නේ කෙසේද?

පිළීතුර. ඒවා ලබා ගන්නේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන්.

මේ අවස්ථාවේදී 68 සී දරන ලේඛනය පිළිබඳව සාක්කිකරුගේ අවධානය යොමු කරයි.

ප්‍රශ්නය.  එහි එක් දින වෙළෙඳ ණය රුපියල් බිලියන 11ක වෙළෙඳ ණයක් සඳහන් වෙනවා නේද?

පිළීතුර. ඔව්. මෙය අපේ‍්‍රල් 04 වැනිදා ගනුදෙනු ලේඛනයයයි.

ප්‍රශ්නය.  ඒ කියන්නේ ඒ වන විටත් ගත් එක්දින ණය මුදල් ගෙවලා නැහැ නේද?

පිළීතුර. ඔව්.

ප්‍රශ්නය.  ඊට පසු මෙම ලේඛනයේ සඳහන් වන්නේ මොනවාද?

පිළිතුර. ඞී.එෆ්.සී.සී. සුරැකුම් විකිණීම සහ ලංකා බැංකුවට සුරැකුම් විකිණීම් තුනක් මෙහි සඳහන් වෙනවා.

ප්‍රශ්නය.  මේ ලේඛනය අනුව පෙනී යන්නේ අප්‍රේල් පළමුවැනිදා ලබාගත් වෙළෙඳ ණයෙන් අප්‍රෙල් 04 වැනිදා 7.30 වනවිටත් රුපියල් බිලියන 4.1 ක පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ගෙවලා නැහැ නේද?

පිළීතුර. ඔව්.

ප්‍රශ්නය.  අප්‍රෙල් 04 වැනිදා ගනුදෙනු අවසන් කරන්නේ කීයටද?

පිළීතුර. පස්වරු 1.30 ට.

ප්‍රශ්නය.  ඊට පසු තවත් ප‍්‍රතිමිලදී ගැනීමේ ණයක් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ලබාගෙන තියෙනවා නේද?

පිළීතුර. ඔව්. රුපියල් බිලියන 4.1ක ණයක් ලබාගෙන තියෙනවා.

ප්‍රශ්නය.  එම ප‍්‍රතිමිලදී ගැනීමේ ණය හඳුන්වන්නේ කෙසේද?

පිළීතුර. මෙය රීපෝ (Repo) ලෙස හඳුන්වනවා. මෙය ප‍්‍රාථමික ගැණුම්කරුවන් වෙත මහා බැංකුවෙන් ලබාදෙන කෙටි කාලීන ණයක්.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. මෙය අලුත් ප‍්‍රතිමිලදී ගැනීමේ ණයක් නේද?

පිළීතුර. ඔව්.

ප්‍රශ්නය.  එම ණය මුදල අපේ‍්‍රල් 05 වැනිදා ගෙව්වාද?

පිළීතුර. මා දන්නේ නැහැ.

ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා. මෙම ප‍්‍රතිමිලදී ගැනීමේ සියලුම ණය ගෙවා අවසන්.

ප්‍රශ්නය.  2016 අපේ‍්‍රල් 04 වැනිදා ගණුදෙණු කාලය අවසන් වන විට පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම අපේ‍්‍රල් 01 වැනිදා එක්දින වෙළෙඳ ණයක් ලෙස ලබාගෙන තිබු රුපියල් බිලියන 4.1ක් හා අපේ‍්‍රල් 04 වැනිදා එක්දින වෙළෙඳ ණයක් ලෙස ලබාගෙන තිබු රුපියල් බිලියන 3.3ක මුදල් ගෙවීමට තියෙනවා නේද?

පිළීතුර. ඔව්.

මේ අවස්ථාවේදී කොමිසම ඇමතූ ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රාථමික ගැණුම්කරුවකු ලෙස පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම සිදු කළ ණය ගෙවීම් අතපසු කිරීම ගැන පමණයි. එක ප‍්‍රාථමික ගැණුම්කරුවකු ගැන පමණක් කතා කරන්නේ ඇයි? තව කොපමණ ප‍්‍රාථමික ගැණුම්කරුවන් ඉන්නවාද? මින් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ගැන වැරදි චිත‍්‍රයක් මවා පෑම සිදුවෙනවා.

ප්‍රශ්නය.  ඊට පසු ගනුදෙනු පැහැදිලි කරන්න?

පිළීතුර. සවස 4.45ට පමණ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම

රුපියල් බිලියන 4.1ක එක්දින ණය ගෙවා දමනවා. ඊට පසු තුන්වන වරටත් රුපියල් බිලියන 4ක ප‍්‍රතිමිලදී ගැණුම් ණයක් ලබාගන්නවා.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. ඒ කියන්නේ 2016 අපේ‍්‍රල් 04 වැනිදා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මහා බැංකුවෙන් ප‍්‍රතිමිලදී ගැණීමේ ණය තුනකුත් අර්ථසාධක අරමුදලෙන් ප‍්‍රතිමිලදී ගැනීමේ ණයකුත් ලබාගෙන තියෙනවා කියන එකද?

පිළීතුර. ඔව්.

ප්‍රශ්නය.  2016 අපේ‍්‍රල් 04 වැනිදා අර්ථසාධක අරමුදලෙන් කොපමණ ප‍්‍රතිමිලදී ගැනීමේ ණයක් ලබාගෙන තියෙනවාද?

පිළීතුර. රුපියල් බිලියන තුනක.

ප්‍රශ්නය.  ඊට පසු යමක් සිදුවුණාද?

පිළීතුර. මහා බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ සහකාර අධිපති ජානකී මාපිටිය මහත්මිය අනුමැතිය පරිදි රුපියල් බිලියන 11ක් එකිදින ණය මුදල සඳහා පොළි අනුපාතය අපේ‍්‍රල් පළමුවැනිදා පොළි අනුපාත අනුව ගණනය කරන්න කියා දැනුම් දුන්නා.

ප්‍රශ්නය.  ඒ අනුව සිදුවුයේ කුමක්ද?

පිළීතුර. රුපියල් බිලියන 11ක් එකිදින ණය මුදල නොගෙවීම වෙනුවෙන් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් අයකර තිබු රුපියල් මිලියන 88ක මුදල ආපසු එම සමාගමට ගෙවීමට කටයුතු කළා.

ප්‍රශ්නය.  මේ අසාමාන්‍ය දෙයක් නේද?

පිළීතුර. ඔව්.

ප්‍රශ්නය.  මෙම සියලු ගෙවීම් සඳහා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මුදල් ලබාගෙන ඇත්තේ කෙසේද?

පිළීතුර. මේ සඳහා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මුදල් ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා මහා බැංකුවෙන් රුපියල් බිලියන 12.5 ක්,සේවක අර්ථ සාධක අරමුදලෙන් රුපියල් බිලියන 7.5ක් ඞී.එෆ්.සී.සී. සහ පෑන් ඒෂියා බැංකු වලින් රුපියල් බිලියන 8.5ක්.

ප්‍රශ්නය.  එතකොට සම්පුර්ණ එකතුව කොපමණද?

පිළීතුර. රුපියල් බිලියන 21යි.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතාගේ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්‍ෂ කළුබෝවිල වසන්ත කුමාර අල්විස් මහතා මෙසේද කීය.

ශ‍්‍රී ලංකා මහා බැංකුවේ ‘ලංකා සෙට‍්‍රල්මන්ට් සිස්ටම්’ පද්ධතියේ බාරකරු මමයි.

ප්‍රශ්නය.  මීට පෙර අවස්ථාවල වෙනත් ප‍්‍රාථමික ගැණුම්කරුවන් ලබාගත් ණය මුදල් නොගෙවා පැහැර හැර ඇති අවස්ථා ගැන විමර්ශනය කර වාර්තා ලබාගෙන තියෙනවාද?. මීට පෙර අවස්ථාවල වෙනත් ප‍්‍රාථමික ගැණුම්කරුවන් කීදෙනෙක් ලබාගත් ණය මුදල් නොගෙවා පැහැර හැර තියෙනවාද?

පිළීතුර. ඒ ගැන මා දන්නේ නැහැ. නීතීපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මතයි මා කටයුතු කරන්නේ.

මේ අවස්ථාවේදී ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ලබා ගත් ණය මුදල් ගෙවා ඇති බව පවසමින් ලේඛන කිහිපයක් කොමිසමට ඉදිරිපත් කළේය.

වැඩිදුර සාක්කි විමසීම කල් තබන ලදී.

මෙම කොමිසමේ කටයුතු සඳහා අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක  මහතා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නයෝමී වික‍්‍රමසේකර මහත්මිය, රජයේ නීතීඥ  ධනුෂන් කනේෂයෝගන් මහතා සමඟ  අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා සාක්කි මෙහෙයවමින් කොමිසමේ කටයුතු සඳහා සහය ලබා දෙයි.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් නීතීඥ නෙරංජන් අරූල්ප‍්‍රගාසම් මහතා සහ නීතීඥ රොමාලි තුඩාවේ මහත්මිය සමඟ ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතාද භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා වෙනුවෙන්  නීතීඥ ශනිල් පෙරේරා සහ නතාෂා නුර්දීන් මහත්මිය සමඟ නීතීඥ හර්ෂ  ප‍්‍රනාන්දු මහතාද කොමිසම හමුවේ පෙනී සිටියහ.



අදහස් (5)

මහ බැංකුවෙන් ගත් ණය ගෙවීමට මහ බැංකුවෙන්ම යළි ණය ගනී

mahee Friday, 07 April 2017 07:30 AM

මේ වැඩේ කරන්න තිබුනේ අර කතාවක තිබුන න්‍යාය අනුවයි, ඒ කියන්නේ වාණිජ බැංකුවකින් ණය අරන් මහ බැංකුවෙ ණය ගෙවල දානවා. ඊ ළඟ අවුරුද්දේ මහ බැංකුවෙන් ණය අරන් වාණිජ බැංකුවෙ ණය ගෙවල දානවා. අනික් අවුරුද්දේ ආයෙත් වාණිජ බැංකුවෙන් අරන් මහ බැංකුවෙ ණය ගෙවනවා. ඔහොම දෙතුන් පාරක් එහාට මෙහාට ගියහම බැංකු දෙකට කියනවා, " මේ, දැන් ඉතින් මං එන්න ඕන නැහැ නේ. ඔය දෙගොල්ල අවුරුද්දක් ගානේ සල්ලි ටික එහාට මෙහාට කරගන්න". එහෙම කියල තමන්ගේ වැඩක් බලාගෙන අයින් වෙලා ඉන්නව.

:       1       8

himalFriday, 07 April 2017 10:17 AM

ඒක එහෙම සරල නෑ, ඒ ණය මුදල් ආයෝජනය කරන කොට. දැන් ණය ගත්තා ගත්තා කියලා කියනවා. එතකොට ඒ ණය දීපු ආයතන ඒකෙන් කොච්චර හම්බ කරාද?මෙහෙම ප්‍රශ්නයක් ගැන හිතුවද?

:       0       0

hafeel Friday, 07 April 2017 07:39 AM

මෙම සිද්ධිය ගෙන බලනවිට රනිල්ව වහාම ධූරයෙන් අයින් කළ යුතුමයි. මිස්ටර් කිලීන් කියන්නත් වටින්නෑ.

:       51       139

sathyapala Friday, 07 April 2017 01:05 PM

මම නැවතත් කියනවා. මේක අර්ජුනගේ වැඩක් නොවෙයි.අර්ජුන හොරෙක් බව දැන දැනම ගෙන්වාගත්තේ මේ ගේම දෙන්නයි.රනිල් හිතුවේ ආණ්ඩුව තියන කාලය පුරාම හොරකම් නොකර බලයට ආව දවසෙම එකවර ගේම දීලා ඉන්පසු "මිස්ට ක්ලීන්" චරිතය රගපාන්න.ඒත් කිසිවක් හරියට කරන්න බැරි එකා මේකත් වැරැද්ද ගත්තා. දැන් "ගලේ පහරපු බළලා" වගේ වහගන්න බැරුව දගලනවා.

:       0       96

sunil Saturday, 08 April 2017 08:00 AM

ඉතින් හැන්ද තියෙන කාලේ තමුන්ට හිතේ හැටියට බෙදාගත්තේ මහජන සල්ලි නම්, දැන් ඒවා ආපහු ගෙවන්නත් මහජන සල්ලිමනේද ගන්න ඕනි ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 756 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 141 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 966 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 992 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1310 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1176 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site