IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පළාත් සභා ඡන්දයේ බාලගිරි දෝෂය

දේශපාලන කරළියේ මෙන්ම පොදුවේ රටේම අවධානය ගිය සතියේ යොමුවූයේ ප්‍රධාන කාරණා තුනක් කෙරෙහිය. එකක් පොහොර ප්‍රශ්නයයි. දෙවැන්න බඩු මිලයි. තුන්වැන්න ගුරු විදුහල්පති වර්ජනය යි.
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළ යාම හමුවේ ජනතාව බරපතළ ජීවන අරගලයකට මුහුණ දී සිටින බව අමුතුවෙන් කිවයුතු නොවේ. ගෑස්, කිරිපිටි, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල ගිය සතියේ ඉහළ ගියේය. මේ අතර වගාවට අවශ්‍ය පොහොර ඉල්ලා ගොවීහු ගිය සතියේ ප්‍රදේශ රැසකදී වීදි බැස්සහ. කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා නම් කියන්නේ මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දීමට හැකි බවය. එහෙත් ගොවීන් කියන්නේ පොහොර නොමැතිව වගා කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවය. මේ නිසා ප්‍රදේශ රැසක ගොවීහු කන්න රැස්වීම් පවා වර්ජනය කළහ.


ආණ්ඩුවේ පසුපෙළත් පොහොර ප්‍රශ්නයට මැදිහත් වෙයි.


පොහොර ප්‍රශ්නයේ බරපතළකම ආණ්ඩුවට ද දැනී ඇති බව පැහැදිලිය. ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉකුත් සතියේ ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබුණේ පොහොර ප්‍රශ්නයට වහා මැදිහත්ව ටික කලකට හෝ ගොවීන්ට රසායනික පෝර ගෙනැවිත් දෙන ලෙසය. ආණ්ඩු පක්ෂයේ සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් 44 දෙනාගෙන් හතළිස් දෙනකුම ඊට අස්සන් කර තිබිණි. ඔවුන් එමගින් පෙන්වා දී තිබුණේ කාබනික වගාවට යොමුවීම හොඳ තීරණයක් වුවද, එය එකවර ක්‍රියාත්මක කිරීම ගැටලු‍සහගත බවය. එබැවින් ගොවීන් කාබනික වගාවට හුරුවන තෙක් ටික කලකට හෝ රසායනික පොහොර ආනයනය කර, ගොවි ජනතාවට ලබාදෙන්නැයි ඔවුන් ඉල්ලීමක් කර තිබිණි.


 

 

 

අගමැති ගුරු සංගම් හමුවේ

 

 

 

 


 

 


පොහොර ප්‍රශ්නය කැබි​ෙනට්ටුවටත්


සතියේ කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා හැන්දෑවේ පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදීය. මෙවර කැබිනට් රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ නොව ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි සතියේ නියමිත කැබිනට් පත්‍රිකා සාකච්ඡා කිරීමෙන් අනතුරුව එදිනෙදා කතාබහට ලක්වන ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් ද සාකච්ඡාවට ගැනුණි. ගොවීන්ගේ පොහොර ප්‍රශ්නය, ගුරු ප්‍රශ්නය සහ තෙල් මිල ප්‍රශ්නය ඒ අතරින් කිහිපයකි. පොහොර ඉල්ලා ගොවීන් ගෙනයන අරගලය ගැන ඇමැතිවරු කිහිප දෙනෙක්ම අදහස් දැක්වූහ. මහින්ද අමරවීර, විමල් වීරවංශ, වාසුදේව නානයක්කාර මෙන්ම රජරට නියෝජනය කරන එස්.එම්. චන්ද්‍රසේන ඇමතිවරයාද ඒ අතර විය ඔවුන් කියා සිටියේ පොහොර ප්‍රශ්නය ඉතා බරපතළ අර්බුදයක් බවට පත්ව ඇති බවය. මහ කන්නයේ වගාවට අවශ්‍ය පොහොර නොමැති වුවහොත් ගොවීන් ගොවිතැන් කටයුතුවලින් ඉවත් වී ආහාර අර්බුදයකට පවා රට යා හැකි බව ඔවුන්ගේ අදහස විය. කාබනික පොහොර වැඩපිළිවෙළ හොඳ වුවත් එය එක්වර කළ නොහැකි බව ඔවුන්ගේ අදහස විය. එබැවින් කාබනික වගාවට යොමුවන තෙක් ගොවීන්ට රසායනික පොහොර හෝ ලබා දී ඔවුන් ගොවිතැනට යොමු කළ යුතු බව ඔවුන්ගේ අදහස විය. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලු‍ත්ගමගේ සිටියේ ඊට වෙනස් අදහසකය. ඔහු කීවේ කාබනික පොහොර ලබාදීමේ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන බවය. කාබනික පොහොර මේ සතියේ දිවයිනට ලැබෙන බවත්, එය ලැබුණු වහාම ගොවිජන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් මහින්දානන්ද කීවේය. ඔහු කීවේ පොහොර ප්‍රශ්නය මාධ්‍යවලින් පෙන්වන තරම් දෙයක් නොවන බවය. ඒ නිසා මේ සම්බන්ධයෙන් කලබලයක් ඇති කරගත යුතු නැති බව කී මහින්දානන්ද ඇමතිවරයා ගොවියාට අවශ්‍ය පොහොර ටික නියම වෙලාවට දීමට කටයුතු කරන බව කීවේය. ඇමතිවරුන් ගේ කතා අසාගෙන සිටි ජනාධිපතිවරයා ද අදහස් දැක්වීය. අපි හොඳ තීන්දුවක් ගත්තේ. ඒක පහසු කටයුත්තක් නොවන බවත් මම දන්නවා. මේක අපට කරන්න පුළුවන්. මටත් ජනප්‍රිය තීන්දු අරගෙන රටින් පොහොර ටිකක් ගෙනත් ගොවීන්ට දෙන්න පුළුවන්. ඒත් අපි රසායනික පොහොර වලින් බැහැරව කාබනික වගාවට යොමු වෙන්න අවශ්‍යයි”‍ ජනාධිපතිවරයා කීවේය.
ඊළඟට කතාබහට ලක් වුණේ ගුරු වැටුප් ප්‍රශ්නයයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා කීවේ ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති තමා පසු දින හමුවන බවය. ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම අදියර හතරකින් ක්‍රියාත්මක කිරීමට රජය මුලින් තීරණය කර තිබිණි. එහෙත් එය අදියර තුනකින් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කරන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කීවේය. ඒ අනුව තීරණය වූයේ ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමේ කටයුතු අදියර තුනකින් නිම කරන්නටය. අගමැතිවරයා කීවේ තමා පසු දින ගුරු හා විදුහල්පති සංගම් හමු වූ විට රජයේ තීරණය දැනුම් දෙන බවය.


මේ අතර, තෙල් මිල ප්‍රශ්නය ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් විය. විෂය භාර ඇමති උදය ගම්මන්පිල කැබිනට් මණ්ඩලය දැනුවත් කරමින් කියා සිටියේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යාම හමුවේ ඛනිජ සංස්ථාව බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බවය.


පසුගිය මාස කීපයේ පමණක් සංස්ථාව බිලියන 7ක පමණ පාඩුවක් ලබා ඇති බව ඔහු ගණන් හිලව් ද සඳහන් කරමින් කියා සිටියේය. ඔහු කීවේ මේ සඳහා එක්කෝ මිල වැඩි කළ යුතු බවය. එසේ නැතිනම් මහා භාණ්ඩාගාරයෙන් මේ සඳහා සහනයක් ලැබිය යුතු බවය. කෙසේ වුවද ජනාධිපතිවරයා කියා සිටියේ ඉන්ධන මිල ගණන් අද හෙට වැඩි කිරීමේ හැකියාවක් නොමැති බවය. ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල වැඩි කරන්නට සිදු වූ තත්ත්වයක් තුළ ඉන්ධන මිල ද හදිසියේ වැඩි කළහොත් ජනතාව තවත් අපහසුතාවට පත්වන බව ඔහු කීවේය. ඉන්ධන මිල ගණන් අද හෙට වැඩි නොකරන්නට තීන්දු විය.
කෘතහස්ත දේශපාලනඥයෙකු මෙන්ම හිටපු වෙ​ෙළඳ අමාත්‍යවරයකු වූ ලලිත් ඇතුලත්මුදලි මහතා මූලික වී ආරම්භ කළ මහපොළ ශිෂ්‍යත්ව අරමුදල උසස් අධ්‍යාපනය ලබන සිසුන්ගේ ගමන් මගට විශාල ශක්තියක් බව අවිවාදිතය. වර්තමාන වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් යෝජනා කර තිබුණේ මහපොළ අරමුදල ලලිත් ඇතුලත්මුදලි අරමුදල ලෙස නම් කිරීමටය. එම යෝජනාව කැබිනට් මණ්ඩලය ඒකමතිකව අනුමත කළේ කිසිදු විවාදයකින් තොරවය.


අගමැති ගුරු සංගම් හමුවේ


අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ගුරු හා විදුහල්පති සංගම් නියෝජිතයින් අතර තීරණාත්මක හමුවක් ඉකුත් අඟහරුවාදා දහවල් පැවැත්වුණේ අරලියගහ මන්දිර⁣යේය. අගමැතිවරයාට අමතරව ආණ්ඩුවෙන් අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන ඊට සහභාගී විය. ගුරු හා විදුහල්පති සංගම් ගණනාවක නියෝජිතයෝ ද ඊට සහභාගි වූහ. අගමැතිවරයා ආණ්ඩුවේ තීරණය දැනුම් දුන්නේය. ඔහු කීවේ වැටුප් විෂමතා ඉවත් කිරීම අදියර තුනක් යටතේ පියවර දෙකකින් කරන බවය. වැටුප් විෂමතාවෙ එක් අදියරක් ලබන ජනවාරියේ ලබාදෙන බවත්, ඊළඟ අදියර දෙක 2023 ජනවාරියේදී දෙන බවත් අගමැතිවරයා කීවේය. ඒ සමඟ අගමැතිවරයා ඉල්ලීමක් කළේ රටේ දරුවන්ගේ අනාගතය ගැන සිතා සිය යෝජනාවට එකඟතාව පළ කර, ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන ලෙසය. ගුරු සංගම් අගමැතිවරයාගේ යෝජනාවට එකඟතාවක් පළ නොකළ අතර පසුදින රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණය දැනුම් දෙන බව කීවේය. කෙසේ වුවද පසු දා රැස් වූ ගුරු විදුහල්පති සංගම් ආණ්ඩුවේ තීරණය ප්‍රතික්ෂේප කරමින් වර්ජනය දිගටම ගෙන යන්නට තීරණය කළේය.


හවුල් පක්ෂ නායකයෝ 
ටිරාන්ගේ නිවසට


මේ අතර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයෝ ගිය බදාදා හැන්දෑවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ නිවසට රැස්වූහ. වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග, මහාචාර්ය තිස්ස විතාරණ, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, වීරසුමන වීරසිංහ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ද ඊට සහභාගි වූහ. වෙනදා මෙම රැස්වීමට සහභාගී වන අසංක නවරත්න, අතාවුල්ලා සහ ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර එදින සාකච්ඡාවට සහභාගි වූයේ නැත.


මේ සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වූයේ කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙනි. වාසු, විමල්, ගම්මන්පිල ඇතුළු පිරිස ඒ සම්බන්ධයෙන් සමාලෝචනයක් කළහ. අදාළ ඇමෙරිකානු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ඊට කලින් දින රාත්‍රියේ පෞද්ගලික ගුවන් යානයකින් මෙරටට පැමිණි බවට ද ඔවුන්ගේ සාකච්ඡාවට ලක්විය. ගිවිසුම බරපතළ එකක් බැවින් ගිවිසුමේ පිටපතක් ආණ්ඩුවෙන් ඉල්ලා ගැනීමට ද එහිදී තීරණය විය.
ඒ අනුව පහුවදාම මුදල් අමාත්‍යංශයට ගොස් තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම ගිවිසුමේ පිටපතක් ලබාගන්නැයි කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතාට පැවරිණි.
ගිවිසුමේ පිටපත් දෙන්නැයි කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කරන බව වාසුදේවත්, විමල් හා උදය ගම්මන්පිලත් කියා සිටියහ. මේ අතර විදුලිබල, වරාය හා ඛනිජ තෙල් වෘත්තීය සමිති නැවත හමුවී සාකච්ඡා කරන්නට ද තීරණය විය. බඩු මිල සම්බන්ධයෙන් ද එහිදී දැඩි කතාබහක් ඇති විය. බඩු මිල ඉහළයාම හමුවේ ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බැවින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා යම් වැඩපිළිවෙළක් වෙනුවෙන් පෙනී සිටින්න ද පක්ෂ නායකයෝ තීරණය කළහ. පොහොර හිඟය හේතුවෙන් රට පුරා ඇතිව තිබෙන තත්ත්වය ද සමාලෝචනයට ලක් වූ මේ හමුවේදී ආණ්ඩුව මේ සම්බන්ධයෙන් වහා පියවරක් නොගතහොත් එය බරපතළ අර්බුදයක් දක්වා වර්ධනය විය හැකි බවද ඔවුන්ගේ අදහස විය. විදුලි බලාගාර සඳහා ගල් අඟු‍රු පාවිච්චිය නතර කිරීම සම්බන්ධයෙන් ද ආණ්ඩුව තුළ කතාබහක් ඇති වී තිබෙන බව පක්ෂ නායකයෝ කියා සිටියහ. එහෙත් විදුලිය නිෂ්පාදනය සඳහා විකල්ප ක්‍රියාමාර්ග ඇති නොකර ගල් අඟු‍රු පාවිච්චිය වහා නතර කිරීමට පියවර ගතහොත් පොහොර අර්බුදය මෙන් අර්බුදයක් විදුලිබල ක්ෂේත්‍රයේ ද ඇති විය හැකි බව පක්ෂ නායකයෝ කියා සිටියහ.


ජී.එල්. තානාපතිවරුන් හමුවෙයි


විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ගිය සතියේ දී ලංකාවේ සිටින විදේශීය රටවල සියලු‍ම තානාපතිවරුන් අමාත්‍යාංශයට කැඳවීය. ඔහු ඇමැති ධුරයට පත්වීමෙන් පසුව විදේශ තානාපතිවරුන් සියලු‍ දෙනා එකවර හමු වූ පළමු අවස්ථාව එය විය. එහිදී ප්‍රධාන කාරණා දෙකක් සඳහන් කළේය. පළමුවැන්න කොරෝනා පාලනය සාර්ථක වී ඇති බැවින්, එම රටවල සංචාරකයින් මෙරටට එවීමට උනන්දු කරවන ලෙසය. දෙවැන්න ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා ඉඩ ප්‍රස්ථා ඇතිව තිබෙන බැවින්, එම රටවල ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා යොමු කරවන්නැයි ඉල්ලීමක් කළේය.


සජබයට පළාත් ඡන්දෙට අයැදුම්පත් ගලයි


ගොවීන් අසලටම ගොස් පොහොර නොමැතිකමින් පීඩාවට පත්ව සිටින ගොවීන්ගේ ගැටලු‍ ගැන සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ආරම්භ කළ වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් සිටී. ඒ “ගොවි හද ගැස්ම”‍ යි. ඒ හරහා ගොවීන්ගේ ගැටලු‍ ගැන රටේම අවධානය යොමු කරන විට මේ ගැන සාකච්ඡා කිරීමට පැමිණෙන්නැයි ආණ්ඩුව විපක්ෂ නායකවරයාට ආරාධනා කළේය.


‘‘මම ඇතුළු විපක්ෂයේ නියෝජිතයින්ට සාකච්ඡාවකට එන්න කියලා ආණ්ඩුවෙන් ආරාධනාවක් ඇවිත් තියෙනවා. අපි එතැනට ගිහින් කතා කරන්නේත් ගොවීන්ගේ ගැටලු‍යි. කිසිම කෙනෙක් කිසිම අවස්ථාවකදී දරදඬු තීරණවල සිටිය යුතු නෑ. අවශ්‍යතාවය පරිදි, ජනතාවගේ සුබසිද්ධිය ඇතිවන ආකාරයට අඩියක් පිටුපසට ගැනීමේ කිසිම වරදක් නෑ’’ ආනමඩුව මහඋස්වැව ප‍්‍රදේශයේ වී ගොවීන්ගේ ගැටලු‍ විමසීම සඳහා පැවති වැඩසටහනට එක්වෙමින් සජිත් කීවේය.


ගොවීන් හමුවූ සජිත් ආනමඩුව ආසනයේ සහය සංවිධායක අනුෂ්ක ප‍්‍රියශාන්තගේ කාර්යාලයට ගියේ පාක්ෂිකයන් හමුවීමටය. පාක්ෂිකයින්ගේ ගැටලු‍වලට කන්දුන් සජිත් ඔවුන් සමග පැවසුවේ ආණ්ඩුව දැන් සලාක පෝලිම් යුගයක් ආරම්භ කර තිබෙන බවය.


පුත්තලමේ සිටි සජිත් අනුරාධපුරයට ගියේ ගොවි හදගැස්ම වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ගොවීන් හමුවීමටය. එහි යාමට පෙර විපක්ෂ නායකවරයා නොච්චියාගම කොකුන්වැව රන්ගිරි රජමහා විහාරයට පැමිණ විහාරාධිපති මිල්ලෑවේ ස්වර්ණපාල නායක හිමියන් හමුවීමටද අමතක කළේ නැත.
අනුරාධපුර නොච්චියාගම ගොවීන් හමුවූ සජිත් එප්පාවල කට්ටියාවලදීද ගොවීන් පිරිසක් හමුවිය.
‘‘රටට පොහොර ගෙන ඒම තහනම් කරලා ගොවියා මරණ මංචකයට ගෙන යන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා. ගොවියාට ණය වාරිකය ගෙවාගන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා. ණය බරින් මිරිකුණ ගොවීන් සුසුම්ලමින් ඉන්නවා’’සජිත් කීවේය.


මේ අතර තන්තිරිමලේ ප‍්‍රාදේශීය රෝහලට ගිය සජිත් ජන සුවය වැඩසටහනේ 31 වැනි අදියර ලෙස රුපියල් ලක්ෂ විස්සක් වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තොගයක් තන්තිරිමලේ ප‍්‍රාදේශීය රෝහලට පරිත්‍යාග කළේය. ඉන් පසුව තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ සිදුවන කථින පිංකම ගැන සොයා බැලීමට විහාරස්ථානයට ගොස් විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන හිමියන් හමුවී අවශ්‍ය වැඩකටයුතු ගැනත් සොයා බැලු‍වේය


සජිත් රෝහලට උපකරණ පරිත්‍යාග කළේ වසර 13කට පෙර මිය ගිය මේජර් ජනරාල් ජානක පෙරේරාට පිං පමුණවමිනි.


අනුරාධපුරයේ සිටින විට සජිත්ට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කරමින් තිබූ ගැසට් පත‍්‍රිකා අවලංගු කර ඇති බව ආරංචි විය.


‘‘ගෑස් මිල, සිමෙන්ති මිල, කිරිපිටි මිල වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිතුමනාපයට ඉහළ දැමීමට නම් ආණ්ඩුවක් මොකටද? මේ ආණ්ඩුවට රට ගොඩගැනීම තබා නිසි ආකාරයෙන් ආර්ථිකය කළමනාකරණය කරගැනීමටවත් නොහැකි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ’’සජිත් කීය.


ගොවීන්ගේ ගැටලු‍ ගැන අවධානය යොමු කරමින් ක්‍රියාත්මක කරන ගොවි හදගැස්ම වැඩසටහනට සමගාමීව ධීවර ගැටලු‍ ගැන සාකච්ඡා කිරීමේ වැඩසටහනකටද ඔහු එක්විය. අම්බලන්ගොඩ ධීවර වරාය කේන්ද්‍ර කරනිමින් එම වැඩසටහන ආරම්භ විය.


ඊට පසු දින සජිත් ගත කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගේ ගැටලු‍ විමසීමේ වැඩසටහනට සම්බන්ධ වෙමිනි. අම්බලන්ගොඩ ආසනයේ කුඩා තේ වතු හිමියන් මෙන් ම කුරුඳු ගොවීනුත්, සවස ධීවර ප්‍රජාවත් හමුවීමට සජිත් අමතක කළේ නැත.

 


 

 

 

 

ගොවීන්ට ණය වාරික ගෙවන්න බැරි තත්ත්වයක් උදාවෙලා

 

 


 


සජබයට ආ අයැදුම්පත්


පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සූදානම් වන බවට මාධ්‍ය වාර්තා පළවීමට මාස කිහිපයකට පෙර සමගි ජන බලවේගය පළාත් සභා මැතිවරණයට සූදානම් වෙමින් තිබුණි. පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර තමන්ගේ කාර්ය මණ්ඩලයට දැනුම්දී තිබුණේ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂා කරන අයට පක්ෂයට අයදුම්පත් යොමු කරන ලෙසය. ඒ අනුව පුවත්පත් දැන්වීමක්ද පළ කරමින් අයදුම්පත් කැඳවීමට කටයුතු කළේය.


ඒ අතර ආණ්ඩුව පළාත් සභා මැතිවරණයක සලකුණු පෙන්නුම් කළේය. රට වසා දමා යළි විවෘත කළ වහාම රංජිත් මද්දුම බණ්ඩාරගේ කාර්යාල කාමරය අසල ද අයදුම්පත් මහ තොගයක් ගොඩ ගැසී තිබුණේය.
“වෙනම තැනක මේ ඇප්ලිකේෂන් ගොඩගහලා හැම එකක්ම බලවන්න”‍


රන්ජිත් තම කාර්ය මණ්ඩලයට උපදෙස් දුන්නේය.


මේසයක් මත සහ පෙට්ටි මත ගොඩ ගසා තිබූ අයදුම්පත් තොගයේ ඡායාරූපයක් ගෙන සජිත්ට ද ඔහු පෙන්වූයේය.


“මෙන්න අපේක්ෂකත්වය ඉල්ලන්න තියෙන තරගය.”‍


රංජිත් එහෙම කියන විට “දක්ෂතාව, කුසලතාව, හැකියාව තියන අයට ඉඩ දෙන්න”‍ සජිත් කීවේය.
ඒ අනුව මැතිවරණයට සූදානම්වීම සඳහා වන සාකච්ඡා කිහිපයක් පසුගිය සතියේදී පැවැත්විණි. සූම් ක්‍රමය ඔස්සේ පැවති සාකච්ඡාවලදී කතා කළේ ඉදිරි මැතිවරණයට සූදානම් වන ආකාරය ගැනය.


‘‘අපි එක එක කමිටු හදලා ඒ අයට වගකීම් ලබාදෙමු. මේ කමිටු මේ සතියේම හදලා මේ සතියේම වැඩ පටන්ගන්න ඕනෑ’’ සජිත්ගේ යෝජනාව සියලු‍ දෙනාම අනුමත කළහ.


‘‘අපි දක්ෂයින්ට තැන දෙන්න ඕනෑ. ඒ වගේම බිම් මට්ටමේ ඉන්න ජනප‍්‍රිය නායකයන් ඉස්සරහට අරගෙන ඒ අයට තැන දෙන්න ඕනෑ’’රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේය.


ඒ අනුව නාම යෝජනා කැඳවීමේ කමිටුව, මාධ්‍ය කමිටුව ඇතුළු කමිටු මේ සතියේම රැස්විය.
‘‘ආණ්ඩුව දැන් ෆේල් වෙලා, සේරම අසමත්කම් ජනාධිපතිවරයාගේ පිටින් දාන්න හදන්නේ’’ ඉමිටියාස් බකීර් මාකර් මාධ්‍ය කමිටුව රැස්වූ අවස්ථාවේදී පැවසුවේය.


ලබන වසරේ ජනතාවට
තවත් පීඩාවක්
- එජාප​ නායක රනිල්


මාර්ග ගත ක්‍රමයට පක්ෂ සාමාජිකයන් බඳවා ගැනීම වෙනුවෙන් ඩිජිටල් සාමාජික කාඩ්පත් නිකුත් කිරීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීමේ කටයුතු සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතිය පුරාම කාලය ගත කළේය.


ඒ වෙනුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් චාම් උත්සවයක් සංවිධානය කරන ලෙසට රනිල් වික්‍රමසිංහ මහතා නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට උපදෙස් ලබා දුන්නේය.


රජයේ නොගැලපෙන වැඩ පිළිවෙළ නිසා දැඩි අසීරුවට පත්ව සිටින ජනතාවට විශ්වාස කරන්න පුළුවන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය නිසා ඒ බව තහවුරු වන ලෙසට ඉදිරි වැඩ කටයුතු සංවිධානය කරන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී උපදෙස් දුන්නේය.


ලබන වසර ජනතාව තවත් පීඩාවට පත්වන වසරක් නිසා එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි සැලැස්ම ජනතාවට ඉදිරිපත් කර ඔවුන්ගේ විශ්වාසය රැක ගත යුතු බවද මෙහිදී සාකච්චා කෙරිණ.


වැට් බදු අඩුකර රජයේ ආදායම බිංදුවට බස්සා ගත් බවද මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.


අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් පසු ජනතාව දැනුවත් කිරීම මෙන්ම නව වසරේ ජනතාවට මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවත් මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.


ශාසනික අභිවෘද්ධිය සඳහා එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව පසුගිය සතියේදී නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එජාප බෞද්ධ කමිටුවේදී සාකච්ඡාවට භාජනය විය.


අධිනීතිඥ සුදත් ජයසුන්දර මහතාගේ සහභාගීත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂ බෞද්ධ කමිටුවට පක්ෂයේ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ප්‍රධාන පිරිසක් සහභාගී වී සිටියහ.
එහිදී විහාරස්ථානවල දියුණුවට ගත යුතු ක්‍රියාමාර්ග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබිණි.
සති පතා පැවැත්වෙන පක්ෂයේ කළමනාකරණ කමිටුව මෙවරද ගිය සඳුදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්විය. එහිදී කලින් ගන්නා ලද තීන්දු තීරණවල ප්‍රගතිය සාකච්ඡා කරනු ලැබීය.


මීට අමතරව පක්ෂය වෙනුවෙන් ඉදිරි කාලයේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා විය.
මීට අමතරව පක්ෂයේ සාමාජික කාඩ්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ රටේ ජනතාවගේ ආර්ථික පීඩාව බරපතළ ලෙස උග්‍රවී ඇති බවයි. වර්ෂ 2015 දී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස බඩු මිල අඩු කරනු ලැබුවත් හිටපු ජනාධිපතිවරයා දැන් ඒ සියල්ල ඔහු කරනු ලැබූ බවට ප්‍රකාශ කරන බවද රුවන් කීවේය.


කාබනික පොහොර ව්‍යාපෘතියක් රජය එක්වරම ප්‍රකාශයට පත් කර තිබෙන අතර දැන් ගොවියාට පොහොර නැතිකමින් ඉදිරි කන්නය වගා කිරීමට නොහැකි වී සිටින බවද මෙහිදී රුවන් විජයවර්ධන මහතා කීවේය.
මේ අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රකාශයක් කරමින් රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ ජීවන වියදම සියයට 200කින් වැඩි වී ඇති නිසා මෙවර අයවැයෙන් වැටුප් වැඩිවීමක් කළ යුතු බවයි.

 

 

-ගජබා-



අදහස් (0)

පළාත් සභා ඡන්දයේ බාලගිරි දෝෂය

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 176 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site