IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනපති පාර්ලිමේන්තු එද්දී මාරු වෙලා ගිය මන්ත්‍රීවරු

දේශපාලන වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද වැටිය හැකි පතුලටම මේ රට වැටී ඇතැයි කීවොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත. ඒ තරමටම රට තිබෙන්නේ ගිනිකන්දක් උඩය' වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගන්නා ක්‍රම ගැන දිගින් දිගටම කතා කරන නමුත් විසඳුමක් නම් පෙනෙන තෙක් මානයක නැත.

 

සරත් වීරසේකරගේ විරෝධය

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සඳුදා හැන්දෑවේ රැස්වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වී සිටි මෙම රැස්වීමට කලකට පසුව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ද සහභාගි වීම විශේෂත්වයක් විය. එහෙත් මෙවර ආණ්ඩු පක්ෂ රැස්වීමට සහභාගි වූයේ මන්ත්‍රීවරුන් හැටක පමණ පිරිසකි. සමහරුන් හිතාමතාම ආණ්ඩු පක්ෂ රැස්වීම වර්ජනය කළ අතර, තවත් සමහරු වෙනත් වෙනත් කාරණා හේතුවෙන් ඊට සහභාගී නොවූහ. පසුපෙළ පෙරළිකාර මන්ත්‍රීවරයකු වන ජගත් කුමාර මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබුණේ තමා ආණ්ඩු පක්ෂ රැස්වීම වර්ජනය කරන බවය. කතා මණ්ඩපයක් බවට පමණක් පත්ව ඇති ආණ්ඩු පක්ෂ රැස්වීමට සහභාගි වීම තේරුමක් නැති බව ඔහු සිය ලිපියෙන් දන්වා තිබිණි.   


සාකච්ඡාව ආරම්භ කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන සාකච්ඡා සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කළේය.”‍දැනට කර ඇති සාකච්ඡා සාර්ථකයි. අපි ඒ ගැන ඉදිරි පියවර ගනිමින් තියෙනවා. ඔබතුමාල ඉදිරියටත් මේ ගැන දැනුවත් කරන්නම්”‍ අගමැති රනිල් කීවේය.   
මහින්ද අමරවීර ඇමැතිවරයා පොහොර ගෙන්වීමේ වැඩසටහන පැහැදිලි කළ අතර, කංචන විජේසේකර ඇමතිවරයා ඉන්ධන ගෙන්වීමේ වැඩපිළිවෙළ ගැන පැහැදිලි කළේය. නලින් ප්‍රනාන්දු ඇමතිවරයා ආහාර අර්බුදයක් ඇති නොවන බව සඳහන් කළේ දීර්ඝ විග්‍රහයක් කරමිනි.   


“ගොඩගන්න බැහැ යි කියපු රට සති හයක් විතර යනකොට අපි යම් තැනකට ගෙනත් තියෙනවා. තෙල් ටිකත් දැන් ලැබෙමින් තියෙනවා. ඒක ඉවසගන්න බැරි අය දැන් සර්වපාක්ෂික ආණ්ඩු ගැන යළිත් කතා කරනවා යැයි මනුෂ නානායක්කාර ඇමතිවරයා කීවේය.   


සරත් වීරසේකර මන්ත්‍රීවරයා නැගී සිටිමින් කතා කළේ වෙනත් අදහසකි. එළියෙ තත්ත්වය හරි භයානකයි. හැමතැනම තෙල් පෝලිම්. මිනිස්සු ලොකු පීඩනයක ඉන්නේ. කඩයකට යන්න බෑ අපට අපහාස කරනවා. තෙල් ගබඩා කරගැනීම තමයි ලොකුම ප්‍රශ්නය. රටේ නීතිය හා සාමය බිඳ වැටිල තියෙන්නෙ. පාරෙ ඉන්න අයත් පෝලිම්වල ඉන්න අයත් අපට මේ ප්‍රශ්න විසඳ ගන්න උදව් කරන්න ඕන”‍ යැයි සරත් වීරසේකර කීවේය. ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන සාකච්ඡා ගැන කතා කළේ එතරම් ප්‍රසාදයකින් නොවේ.   
“අගමැතිතුමා පත්කර ගත්තේ ආර්ථික අර්බුදය විසඳගන්න විතරයි   
නමුත් දැන් එතුමා ආර්ථික අර්බුදය පැත්තකින් තියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ගැන , සින්නක්කර ඔප්පු දීම ගැන ප්‍රමුඛත්වය දීලා කතා කරනවා යැයි වීරසේකර කීවේය.   
ව්‍යවස්ථා සංශෝධන පැත්තකින් තියලා අපි විසඳුම් දෙන්න ඕන මේ ජනතාවගේ ප්‍රශ්න ටිකට. මම ඊශ්‍රායලයේ ගිහින් පුහුණු වෙච්ච රණවිරුවෙක්. මරාගෙන මැරෙන කොටිත් එක්ක ගහ ගත්ත මිනිහෙක් මම. එහෙම කරපු මට කඩේකට ගියාම හූ කියනවා නම් ඇති වැඩේ මොකක්ද. මේ විදියට ගියොත් මමත් හෙට අනිද්දා දේශපාලන තීන්දුවක් ගන්නවා යැයි ඔහු කීවේය.   


 ලොකුම ප්‍රශ්නය ඉන්ධන තමයි. ගෑස් පොහොර ලබාදීම අපේ ප්‍රමුඛතාවක් තමයි. ඒ සඳහා අපි කටයුතු කරගෙන යනවා යැයි රනිල් කීවේය.   


 ඒ කතාබහට මැදිහත්වෙමින් විජයදාස රාජපක්ෂ ඇමතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් අපේක්ෂා කරන දේ පිළිබඳව පැහැදිලි කළේය. නිමල් ලාන්සා දිගු විස්තරයක් කරමින් කීවේ ජනතා විමුක්ති පෙරමුණයි, පෙරටුගාමීනුයි එකතුවෙලා රට ගිනිතියන්න හදන බවය. මේ අතර තවත් මන්ත්‍රීවරයකු කීවේ පොලිස්පතිවරයා ඉවත් කළ යුතු බවය. ජනතාව නොමඟ යවන ප්‍රකාශ කරන මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ද ඉවත් කළ යුතු බව තවත් මන්ත්‍රීවරයෙක් කීවේය.   

 

පාර්ලිමේන්තුවට ගිය ජනපතිට වෙච්ච දේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවට ගියේ පූර්ව දැනුම්දීමකින් තොරවය. ඔහු පිළිගත්තේ ප්‍රසන්න රණතුංග, දිනේෂ් ගුණවර්ධන, මහින්දානන්ද අලු‍ත්ගමගේ සහ කංචන විජේසේකර යන ඇමැතිවරුන් විසිනි. වෙනදා ජනාධිපතිවරයා පැමිණි විට වට කරගන්නා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ද එදින දකින්නට ලැබුණේ නැත. මන්ත්‍රීවරුන් වැඩිදෙනකු ජනාධිපතිවරයා එන බවක් හෝ දැනගෙන සිටියේ නැත. ජනාධිපතිවරයා සභාවට එද්දී කතා කරමින් සිටියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය.   


ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පැත්තකට වී වාඩි වී ඕපදූප කතා කරමින් සිටින අතර, සමහරුන් සිටියේ වෙච්ච දේ ගැන ජනාධිපතිවරයාටද දොස් නගමිනි.   


ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා එන බවක් නොදැන සිටිය ද විපක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා එන බවක් දැන සිටියහ. ජනාධිපතිවරයා සභාවට පැමිණි විගසම විපක්ෂයේ සමගි ජන බලවේගයේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් නැඟී සිටිමින් හා සටන්පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින්, ගෝඨා ගෝ හෝම් කියමින් කෑ ගැසුවේ ඔහු එන බව කල්තියාම දැන සිටි බැවිනි. එක දිගට කෑගසමින් ජනාධිපතිවරයාට ගෙදර යන්න කියද්දී ජනාධිපතිවරයා වෙනුවෙන් කෑ ගසන්නට එන්නැයි මහින්දානන්ද අලු‍ත්ගමගේ මන්ත්‍රීවරයා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට කියා තිබිණි. ඒත් ජනාධිපතිවරයා අසලටම ගොස් ජනාධිපතිවරයා වෙනුවෙන් කෑගැසුවේ එස්.බී. දිසානායක, මහින්දානන්ද අලු‍ත්ගමගේ, කංචන විජේසේකර ඇතුළු කිහිප දෙනකු පමණි. ආණ්ඩුවේ සමහර මන්ත්‍රීවරුන් හෙමින් සීරුවේ එළියට ගිය බවද වාර්තා විය. සමහරුන් කීවේ ජනාධිපතිවරයා අමාරුවේ දමන්නේ මහින්දානන්ද බවය.   
 ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ඉකුත් සති අන්තයේ ජනාධිපතිවරයා හමු වූහ. ඒ කොටුව ජනාධිපති මන්දිරයේදීය. නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, නීතිඥ උදයන කිරිඳිගොඩ, ජී.පී.එස්. කුමාරසිරි, සුදත් මංජුල, වෛද්‍ය උපුල් ගලප්පත්ති, උදයකාන්ත ගුණතිලක, ලලිත් එල්ලාවල, අකිල එල්ලාවල ඇතුළු පිරිසක් ඊට සහභාගී වූහ. උද්ගතව ඇති තෙල් අර්බුදය, ගෑස් අර්බුදය මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාව ගැනද එහිදී කතාබහට ලක්විය. එම මන්ත්‍රීවරුන් කීවේ අපි ආණ්ඩුවේ වැඩවලට කකුලෙන් අදින්නේ නෑ. හොඳ දේවල්වලට සහාය දෙනවා කියාය.   


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කෙරෙන සාකච්ඡා ගැන ජනාධිපතිවරයා එම මන්ත්‍රීවරුන්ට පැහැදිලි කළේය. එහිදී ජනාධිපතිවරයා කීවේ සැප්තැම්බර්, ඔක්තෝබර් මාසය පමණ වන විට දින වකවානු සම්බන්ධයෙන් ප්‍රකාශ කළ හැකි බවය. පළමු වාරිකය ලෙස ඩොලර් බිලියනයක් පමණ අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා කීවේය.   


මේ අතරේ මන්ත්‍රීවරයකු විමසා සිටියේ දැදිගම සංවිධායක කමිටුවේ සභාපති උදයකාන්ත ගුණතිලක සිටියදී ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද සංවර්ධන කමිටුවට පත්කර ඇත්තේ ඇයිද කියාය. මෙය ආණ්ඩුව විවේචනය කිරීමට දුන් දඬුවමක් දැයි මන්ත්‍රීවරුන් විමසා සිටි අතර, ජනාධිපතිවරයා කීවේ ඒ සම්බන්ධයෙන් පක්ෂයේ නායකයන් සමඟ සාකච්ඡා කරන බවය.   


මේ අතර ජනාධිපතිවරයා කොළ කැබැල්ලක් අතැතිව යම් කාරණයක් ගැන පැහැදිලි කළේය. 2020 මැතිවරණය ජයග්‍රහණය කර පොහොට්ටුවට 146ක් ලැබුණ බවත්, ඒ පිරිස මේ වන විට කණ්ඩායම් දහඅටකට කැඩී සිටින බව ජනාධිපතිවරයා කීවේ මන්ත්‍රීවරයකු ලබාදුන් වාර්තාවක් බව පවසමිනි. ඒ වාර්තාවට අනුව පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කණ්ඩායම් දහඅටකට කැඩී ඇති බවත්, එය බැසිල්ගේ කණ්ඩායම, මහින්දගේ කණ්ඩායම, නාමල්ගේ කණ්ඩායම, ගෝඨාභය කණ්ඩායම, විමල්ගෙ කණ්ඩායම, ඩලස්ගේ කණ්ඩායම ආදී වශයෙන් කණ්ඩායම්වලට බෙදී ඇති බව ජනාධිපතිවරයා කීවේය. එම වාර්තාවට අනුව ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, සී.බී. රත්නායක සහ එස්.බී. දිසානායක යන මන්ත්‍රීවරුන් සිටින්නේ මේ කුමන කණ්ඩායමේ දැයි සොයාගත නොහැකි බව ජනාධිපතිවරයා කීවේය. උදයන කිරිඳිගොඩ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ “ජනාධිපතිතුමා ඔය ලයිස්තුව හදපු මන්ත්‍රිතුමා ඔය කොයි කණ්ඩායමේද ඉන්නෙ දන්නෙ නෑ”‍ යනුවෙනි. සාකච්ඡාව අවසන් කර පිටවයද්දී මන්ත්‍රීවරුන් කීවේ මේ ලයිස්තුව දී ඇත්තේ මහින්දානන්ද අලු‍ත්ගමගේ මන්ත්‍රීවරයා බවය.   


මේ අතර, හවුල් පක්ෂ නවයේ සාකච්ඡාවක් අගහරුවාදා රාත්‍රියේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි. ඊට වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඩිව් ගුණසේකර, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, වීරසුමන වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග, අසංක නවරත්න, ප්‍රේමනාත් දොලවත්ත, මොහොමඩ් මුසම්මිල් ඇතුළු පිරිසක් සහභාගි වූහ. හවුල් පක්ෂ එක්ව පිහිටුවනු ලබන නව සන්ධානය එළිදැක්වීම මසකින් පමණ කල් දැමීමට එහිදී තීරණය වූ අතර, රටේ ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නට සාකච්ඡා විය. අහාර අර්බුදය, පොහොර, ගෑස්, ඉන්ධන, අමුද්‍රව්‍ය ආදී කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා හවුල් පක්ෂ ඉදිරිපත් කළ යෝජනාව තවමත් වලංගු බවත්, වෛද්‍ය ජී. වීරසිංහ සඳහන් කළේය. ඔහු කීවේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වී මාස දෙකක් ගතවී ඇතත් තවමත් රටේ අර්බුදයට විසඳුමක් නැති බවය. ඩිව් ගුණසේකර, විමල් වීරවංශ ඇතුළු පිරිසක් එක්ව පසුදින ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමටද එහිදී තීරණය විය.

 

පොහොර අර්බුදය ගැන අහන්න පසුපෙළ  අමරවීර හමුවෙයි

පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් බ්‍රහස්පතින්දා කෘෂිකර්ම අමාත්‍යාංශයට ගොස් මහින්ද අමරවීර ඇමැතිවරයා හමුවූයේ සති අන්තයේ පැමිණීමට නියමිත පොහොර නැව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, යූ.කේ. සුමිත්, රාජිකා වික්‍රමසිංහ, ඩී. වීරසිංහ ඇතුළු මන්ත්‍රීවරු කිහිපදෙනක්ද සහභාගි වූහ. අමරවීර ඇමතිවරයා කීවේ සති අන්තයේ පොහොර නැව ලංකාවට පැමිණෙන බවය. පොහොර මෙට්‍රික් ටොන් 65,000 එහි අඩංගු බව කී ඇමැතිවරයා හොණ්ඩරය රුපියල් 10,000 බැගින් ගොවීන්ට ලබාදීමට පියවර ගෙන ඇති බව කීවේය. සාකච්ඡාව හමාර වී එළියට එද්දී මාධ්‍යවේදීහු පිරිසක් පැමිණ මන්ත්‍රිවරුන් පිරිස වට කර ගත්හ. ප්‍රමිත කියා සිටියේ ලංකා ඉතිහාසයේ ඓතිහාසික ලණුව කාබනික පොහොර වැඩේ බවය. 

 

පක්ෂ රැසක් බැසිල්  හමුවෙයි

ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කරන පක්ෂ කිහිපයක නායකයෝ ගිය සතියේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ කාර්යාලයට ගොස් බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා හමුවූහ. දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, යදාමිණී ගුණවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වී සිටි අතර පොදු ජන පෙරමුණ වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, පවිත්‍රා වන්නිආරච්චි, සාගර කාරියවසම් ඇතුළු පිරිසක් සහභාගි වූහ. අපි වෙනදාටත් වඩා එක්ව ශක්තිමත්ව මේ අර්බුදයට මුහුණ දිය යුතු බව දිනේෂ් කීවේය. බැසිල් කීවේ මම පාර්ලිමේන්තු මන්ත්‍රීකමින් අයින් වුණාට පස්සේ රාජ්‍ය පාලනයට සම්බන්ධයක් නෑ. ඒත් මේ අර්බුද තත්ත්වයෙන් ගොඩ එන්න දේශපාලනිකව දෙන්න පුළුවන් සෑම සහයෝගයක්ම මම දෙනවා ”‍යනුවෙනි   


මැයි මස නව වැනි දා ඇතිවූ සිද්ධියේදී නෙළුම් මාවත පක්ෂ කාර්යාලයටද ප්‍රහාරයක් එල්ල වූ අතර, එහි දී වූ හානිය බලන්නටද පිරිස එදින එක් වූහ.  

 

සජිත් ඉටුකළ මැයි 19 පොරොන්දුව!

සමගි ජන බලවේගයේ හුස්මක් වැඩසටහන විපක්ෂනායක සජිත් ගේ මූලිකත්වයෙන් සිදුවන සමාජ සත්කාර වැඩසටහනකි. දිවයින පුරා රෝහල්වලට අත්‍යවශ්‍ය ඖෂධ සහ රෝහල් උපකරණ පරිත්‍යාග කිරීම එම වැඩසටහනේ අරමුණයි.   


පසුගිය මැයි 18 වැනි දා පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳව විශේෂ සංවාදයක් ඇති වූ අතර එහිදී අගමැති රනිල් විපක්ෂනායකවරයාගෙන් ඉල්ලා සිටියේ හැකිනම් රටේ රෝහල් පද්ධතියට අවශ්‍ය ඖෂධ ලබාදෙන ලෙසයි.   
අදාළ ඖෂධ තොගය මේ රට තුළ හිඟ බවත් හැකිනම් “හුස්මක් වැඩසටහන”‍ හරහා එම ඖෂධ ගෙන්වා දෙන ලෙසත් අගමැති රනිල් ද අභියෝග කරමින් ඉල්ලා සිටියේය.   


සජිත් වහාම කළේ මේ මොහොතේ ලංකාවට අත්‍යවශ්‍යම ඖෂධ මොනවාදැයි කියා සොයා බලන එකය.   
ඒ අනුව හෘද රෝග සඳහා අත්‍යාවශ්‍ය ඖෂධයක් වන Recombinant Streptokinase (IP 1500000IU) විශාල අඩුපාඩුවක් පවතින බව විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි ද සජිත්ට දැනුම් දී තිබුණි.   
Recombinant Streptokinase යනු ජීවිතයත් මරණයත් අතර තීරණාත්මක අවස්ථාවකට මුහුණදෙන හෘද රෝගීන්ගේ ජීවිත සුරක්ෂාව උදෙසා අත්‍යාවශ්‍ය වන ඖෂධයකි.   
“මේක ඇත්තටම මේ වෙලාවේ ඉතාම අත්‍යවශ්‍ය දුර්ලභ ඖෂධයක්. මේක නැති නිසා ජීවිත විශාල ප්‍රමාණයක් අවදානමක තියෙන්නෙ. මේ ඖෂධ ටික ලබා දෙන්න පුළුවන්නම් ඒක මේ වෙලාවේ විශාල සහනයක්”‍ හම්දානී සජිත්ට පවසා තිබුණි.   


අදාළ ඖෂධ සොයා ගැනීම උදෙසා සජිත් විසින් දරන ලද උත්සාහය මල්ඵල ගන්වමින් විපක්ෂනායක විධායක සම්බන්ධීකාරක නයන වාසලතිලක මහතාගේ පූර්ණ අනුග්‍රහයෙන් (ඩොලර් 42,840ක්) රුපියල් මිලියන 15.6ක් වටිනා   
Recombinant Streptokinase (IP 1500000IU) එන්නත් 4000ක් මෙරටට ගෙන්වා ගැනීමට සජිත්ට හැකිවිය.   
‘‘ඇත්තටම මේවා තමයි වැඩ කියන්නේ. මොන විපක්ෂය ද මෙහෙම දේවල් කරල තියෙන්නෙ. එදා අගමැති රනිල් ඔබතුමාට අභියෝග කළා පුළුවන්නම් කරල පෙන්නපන්කෝ වර්ගයේ කතාවක්. ඔබතුමා ඒක මාස දෙකක් යන්නත් කලින් ඉටු කළා”‍ නලින් බණ්ඩාර කීවේය.   


‘‘අගමැතිකම් ගන්න කලින් නම් කීවේ පැය විසි හතරෙන් තෙල් පෝලිම් ඉවරයි. ඩොලර් බිලියන හතක් විතර සාක්කුවේ දාගෙන අගමැතිකම් ගන්නේ වගේ කතා. හැබැයි අද පෝලිම් දෙගුණ තෙගුණ වෙලා. අගමැති හිසටත් උඩින් ෆේල්. එහෙම වෙලාවක, මිනිස්සු ජීවත් කරවන දුර්ලභ ම ඖෂධය ලංකාවට ගෙන්වා ගන්න විපක්ෂනායකතුමාට පුළුවන් වුණා”‍ රාජිත කීවේය.   
‘‘මෙතනින් නවතින්නේ නෑ, අපි තෙල් ගේන වැඩේටත් මහන්සි වෙනවා”‍ සජිත් කීවේය.   
‘‘ඔබතුමා රටවල් තුනකින් තෙල් දෙනවා කියනකොට ඒ කාලේ සමහරු හිනාවුණා. හැබැයි දැන් තේරෙනවා ඔබතුමාට ඒකත් කරන්න පුළුවන් කියලා”‍ ගයන්ත කරුණාතිලක කීවේය.   
‘‘අපි ගාව නෑ බෑ කතා නෑ. කරන්න පුළුවන් දේ අනිවාර්යයෙන් කරනවා. කරන්න බැරි දේත් කොහොමහරි කරන්න උත්සාහ කරනවා”‍ සජිත් කීවේය.   


අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමත් සමගම සජිත් ඊට උත්තර දුන්නේ ය.   
‘‘අගමැති කියනවා අපිට පාඩම් ඉගෙන ගන්න එන්නලු‍ එයා ළඟට. අපිට කියන්න තියෙන්නේ එයාට උගන්නන්න පුළුවන් හොඳම පාඩම උගන්නලා තියෙද්දි ජාතික ලැයිස්තුවට පින්සිද්ද වෙන්න ඔතන ඉන්නවා වාඩි වෙලා. බින්දුවටම බැස්සුවා. දැන් කියනවා අපිට උගන්නන්න එන්නම් ලු‍. කථානායකතුමනි අවසාන වශයෙන් අගමැතිතුමා දැන් නැගිටලා කියනවා සුන්දර කතා කියන්න එපා ලු‍. මං අහන්න කැමතියි කවුද කිව්වේ එක පෑන් පාරෙන් පෝලිම් ටික ඉවර කරනවයි කියලා. කවුද කිව්වේ ඇමරිකානු ඩොලර් බිලියන හතරක් පහක් එක්කයි අගමැතිකම ගත්තෙ කියලා. කවුද කිව්වෙ පැය 48න් ආහාර හිඟය, පෝලිම් ප්‍රශ්නය විසඳනවයි කියලා. අපිද කිව්වේ? නෑ එතුමා තමයි කිව්වේ. දැන් එතුමා වැඩ බැරි අගමැතිවරයෙක් කියන එක මුළු රටම දන්නවා. මුළු ලෝකෙම දන්නවා. මම එතුමාට කියන්න කැමතියි පිටරටවල් වලින් ආධාර ගන්න පාඩම මම ළඟදිම උගන්වන්නම්. ජනතාවටත් පෙන්නන්න වැඩ බැරි අය ඉන්නේ කොතනද, වැඩකාරයෝ කොතනද ඉන්නේ කියලා එක අපිට ඔප්පු කරන්න පුළුවන්.”‍   
සජිත් කීවේය.   
කීවා වගේම පහුවදා ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා මෙන්ම, ඊට පසුදා කටාර් තානාපතිවරයාද හමුවිය.   
ලංකාවේ අර්බුදය විසඳීම වෙනුවෙන් කටාරය උපරිම සහයෝගය ලබාදෙන බව තානාපතිවරයා පොරොන්දු වූ අතර ඉදිරි රජයක් යටතේ ශ්‍රී ලංකාවට කටාරයේ ඉතා ඉහළ පෙළේ රැකියා ලක්ෂයක් ලබා දීමට සූදානම් බව ද පැවසීය.

 

මෛත්‍රී විපක්ෂනායක  කාර්යාලයට!   

බරපතළ ලෙස කඩාවැටී ඇති දේශය ගොඩනැගීම උදෙසා වූ “ජාතික ප්‍රතිසංස්කරණ හා ඉදිරි ගමන”‍ වැඩසටහනේ තීරණාත්මක හමුවක් (04) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී සිදුවිය.   


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති සරත් ෆොන්සේකා, වෛද්‍ය රාජිත සේනාරත්න, මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, සී. විග්නේෂ්වරන්, පී. දිගම්බරම් ඇතුළු දේශපාලන නායකයෝ රැසක් ද, වික්ටර් අයිවන්, ජනරංජන, ගාමිණී වියංගොඩ, රොහාන් සමරජීව ඇතුලු‍ සිවිල් ක්‍රියාකාරීහු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.   


‘‘අවුරුදු ගාණකට පස්සේ තමයි මම මේ මෙතැනට ආවේ”‍   
මෛත්‍රී විපක්ෂනායක කාර්යාලය ඇතුළට ආවේ එහෙම කියමිනි.   
‘‘අපි වැඩි දවසක් මෙතන ඉන්න කැමති නෑ ජනාධිපතිතුමා”‍ රාජිත කීවේය.   
‘‘ඒ මොකද ඒ?”‍ මෛත්‍රී ඇසුවේය.   
“ඉක්මනට අපි ආණ්ඩුවක් හදන්න ඕනෑ”‍ රාජිත සිනාසෙමින් උත්තර දුන්නේය.

 

අරගලය දිනවන  සම්මුතියට සජිතුත්!

‘පොදු මහජන අරගලයේ නිර්පාක්ෂික සංයුක්ත අරමුණු ජයග්‍රහණය කිරීම වෙනුවෙන් වූ සර්වපාක්ෂික එකමුතුවක්‘ වෙනුවෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සහ පුරවැසි සංවිධාන, වෘත්තීය සමිති සහ අරගලකරුවන් එක් කරන ‘අරගලය දිනවන සම්මුතිය‘ මහ සමුළුව රාමඩා හෝටලයේදී පැවැත්විණි.   
‘‘සර්වපාක්ෂික අරගලකරුවෝ‘ මෙහි මැදිහත්කාර පාර්ශ්වය ලෙස සංවිධාන කටයුතු සිදු කරනු ලැබීය.   
ගෝල්ෆේස් අරගල භූමිය ඇතුළු මෙරට පොදු මහජන අරගලයේ නිරත අරගලකරුවන්ගේ මූලික ඉල්ලීම්වලට එකඟ වන පාර්ශ්ව මීට එක්ව සිටියහ.   


“අරගලය දිනවන සම්මුතිය” මැයෙන් සර්ව පාක්ෂික අරගලකරුවන් විසින් සංවිධානය කර තිබූ අදාළ සම්මුතිය එළිදැක්වීමද එහිදී සිදුවිය. අරගලය දිනවන සම්මුතිය විශේෂ කරුණු හයකින් සමන්විත වන අතර එය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් සර්ව පාක්ෂික අරගලකරුවන් කැපවන බව ද ඔවුහු පැවසූහ.   
“ඔබතුමාට පුලු‍වන්ද ආරක්ෂකයෝ නැතිව එළිමහනේ යන්න?”‍   
අරගලකරුවන් අතරින් ප්‍රශ්නයක් සජිත්ට යොමුවිය.   


“ඇයි බැරි? මම එදත් බයක් නැති නිසා තමයි අරගල භූමියට ආවේ”‍ සජිත් උත්තර දුන්නේය.   
‘‘ඒත් එදා ඔබතුමාට ගැහුවනේ?”‍ අරගලයේ තරුණයෙක් කීවේය.   
“මම ආවේ එදා ආණ්ඩුව ඒ අයට පහර දුන්න නිසා. මොකද අපි කිව්වා හැමදාම අරගලයට ආණ්ඩුව අත තිබ්බොත් අරගල බිමේ තරුණයන් වෙනුවෙන් පලිහක් වෙන්න අපි එනවා කියලා. අපි ආවේ ඒකට. එහෙම නැතිව කවදාවත් අපි අරගල බිම අපේ දේශපාලනයට පාවිච්චි කළේ නෑ. හෙටත් මට ආරක්ෂකයන් නැතුව මහ පාරේ යන්න පුළුවන්”‍ සජිත් උත්තර දුන්නේ ය.

 

පෞද්ගලික අංශ වැටුප්  වැඩි කරන්න අගමැතිට  හැකිවේද?  

සේවක වැටුප රුපියල් 16500 සිට 26000 දක්වා වැඩි කිරීමට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේදී කම්කරු ඇමැති මනුෂ නානායක්කාර මහතාට දැනුම් දුන්නේය.  


පසුගිය සතියේදී වෘත්තීය සමිති නායකයන් පිරිසක් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ ඔවුන් ඉල්ලා සිටියේ රටේ පවතින වාතාවරණය මත දීමනා වැඩිකරන ලෙස ඉල්ලා සිටීමට නොහැකි බැවින් මූලික වැටුප හෝ වැඩි කිරීමට පියවර ගන්නා ලෙසටය.  


ඒ අනුව පෞද්ගලික අංශය හාම්පුතුන්ගේ සංගමය ඇතුළු අවශ්‍ය බලධාරින් සමඟ සාකච්ඡා කර සේවක වැටුප රුපියල් 16,500 සිට 26,000 දක්වා වැඩි කිරීමට කරුණු හදාරණ ලෙස මනුෂ නානායක්කාර මහතාට දැන්වීය. මීට අමතරව සේවක රැකියා අහිමි වීම, ජීවත්වීමට නොහැකියාව, බඩු මිල ආදී කරුණු ගණනාවක් පිළිබඳව වෘත්තීය සමිති කරුණු පෙන්වා දී ඇත. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ රට යථා තත්ත්වයට ගෙන ඒම සඳහා සැළසුම් සහගතව කටයුතු කරන බවයි. කෙටි කාලයක් තුළ ජනතාවට හිරිහැරයකින් තොරව ජීවත්වීමට අවස්ථාව ලැබෙන බවද ඔහු ප්‍රකාශ කර ඇත. ලෙස්ලි දේවේන්ද්‍ර, ඇන්ටන් මාකස්, සමන් රත්නප්‍රිය ඇතුළු ප්‍රධාන වෘත්තීය සමිති 15 ක නියෝජිතයෝ මේ අවස්ථාවට සහභාගි වූහ. මෙහිදී අග්‍රාමාත්‍යවරයා තවත් විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී කළේය. එනම් මාස 6කින් රට යථා තත්ත්වයට ගන්නවා නම් ඉල්ලා අස්වී අනුර කුමාර දිසානායක මහතාට අගමැතිකම ලබාදීමට තමන් සූදානම් බවයි. පාර්ලිමේන්තු අාංශික කමිටු පිහිටුවීම පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කරුණු ඉදිරිපත් කළේය.  


මේ අතර පක්ෂයේ ප්‍රධානීන් කීප දෙනෙක් අග්‍රාමාත්‍යවරයා හමුවී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කරන ප්‍රකාශ පිළිබඳව කතා කළේය.  
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා තරුණ සංගම් සමුළුවක් අමතමින් ප්‍රකාශ කර සිටියේ රටේ ආර්ථිකය කලින් තිබූ තත්ත්වයට ගෙන ඒමට අග්‍රාමාත්‍යවරයා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි. අග්‍රාමාත්‍යවරයා භාර ගත්තේ බංකොලොත් රටක් බැවින් දවසෙන් දෙකෙන් සියල්ල යථා තත්ත්වයට පත් කළ නොහැකි බවද ඔහු කීය.   

 

ජවිපෙට සමාජ මාධ්‍යයෙන් ‘බෝම්බයක්’

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන වැඩපිළිවෙළට හානිකර ආකාරයට සංසරණය වෙමින් පැවැති වීඩියෝ පට කීපයක් පිළිබඳව ඉකුත් සතියේදී එම පක්ෂයේ වැඩි අවධානයට හේතුවී තිබුණි.  
එක් වීඩියෝ පටයක් පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ලබාදී තිබුණේ ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙකි. එහි සඳහන්ව තිබුණේ බෝම්බ හදන ආකාරයයි. මෙම වීඩියෝ පටය ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානීන්ට යවා නොතිබුණ අතර තවත් වීඩියෝවක සඳහන්වී තිබුණේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා මේ රටේ ජනාධිපතිවීමෙන් පසු කරනු ලබන රජයට පවරා ගැනීම් පිළිබඳවය.  
මෙම වීඩියෝ පට ගැන පක්ෂයේ ඉහළ මට්ටමේ සාකච්ඡා පවත්වා ඇති අතර මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට නීතිඥ සුනිල් වටගල මහතාට භාර දුන්නේය.   


ඒ සමගම මෙහි සැබෑ තත්ත්වය ගැන ජනතාව දැනුවත් කිරීමේ වගකීම විජිත හේරත් මන්ත්‍රීවරයාට පැවැරුවේය.  


මේ අතර නායක අනුර කුමාර දිසානායක මහතාට අගමැති තනතුර ලැබුණොත් යන මාතෘකාව පිළිබඳව රජයට සම්බන්ධ රූපවාහිනි මාධ්‍ය ආයතනයක් ජනතා අදහස් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර එහිදී සියයට 90 කට වැඩි පිරිසක් ප්‍රකාශ කර තිබුණේ රටට වෙනසක් ලෙස අනුර කුමාර අගමැති වීම සුදුසු බවයි. රජයට සම්බන්ධ මාධ්‍ය ආයතනයට ගැළපෙන පරිදි අදහස් ලබා ගැනීමට නොහැකිවීම නිසා එය විකාශය කර නැති අතර එහි සේවකයෙක් එම වීඩියෝව අනුර කුමාර දිසානායක මහතාට ලබා දී තිබුණි.  


මේ අතර ගාලු මුවදොර අරගලකරුවන් පිරිසක් පක්ෂ මූලස්ථානයට පැමිණ ජවිපෙ නායක අනුර කුමාර හමුවී සහාය ඉල්ලා සිටි අතර උපරිම සහාය දක්වන බව එහිදී දැනුම් දී ඇත.  
සෙනසුරාදා (9) රටපුරා පවත්වන විරෝධතාවට වෘත්තීය සමිති සහභාගි කරවීම සඳහා වසන්ත සමරසිංහ මහතාට මූලිකත්වය ගෙන කටයුතු කරන ලෙස දැනුම් දුන්නේය.  


විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානින් හමුවී ප්‍රකාශ කර සිටියේ අටවා ගන්නා රජයකට රට ගොඩනැගීමට නොහැකි බැවින් මැතිවරණයකින් පත්වන රජයකට සහාය ලබා ගැනීම පහසු බවයි.  


ගිය සතියේ තවත් විශේෂයක් වූයේ රජයට සම්බන්ධ හිටපු ඇමැතිවරයෙක් ජවිපෙ නායකවරයාට ලබාදුන් තොරතුරකි. එහිදී ප්‍රකාශ වී ඇත්තේ හිටපු නායකයකුට පාර්ලිමේන්තුවේ කාමරයක් නොමැතිකමින් පැසේජයේ වාඩිවී සිටියදී අදාළ මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ දේශපාපලන ප්‍රධානියකුගේ කාමරයක වාඩිවන ලෙසය. එහිදී හිටපු නායකයා ප්‍රකාශ කර ඇත්තේ නෑ මගේ කාමරය තියෙන්නෙ කියා ඔහුගේ පෙර තිබූ නිල කාමරය පෙන්වූ බවයි.  


හිටපු ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ එයා තවමත් හිතාගෙන ඉන්නේ පරණ තනතුරේ තවම ඉන්නවා කියලයි යනුවෙනි.   

 

ගජබා

 

 



අදහස් (0)

ජනපති පාර්ලිමේන්තු එද්දී මාරු වෙලා ගිය මන්ත්‍රීවරු

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 176 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site