IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ආණ්ඩුව ඇතුළේ දේශපාලන කැළඹීමක්

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස්වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට රජය ගෙන ඇති තීරණය දේශපාලන කරළියේ මහත් ආන්දෝලනයට ලක්ව ඇති මාතෘකාවක් බවට පත්ව තිබේ. ඒ සම්බන්ධයෙන් විරෝධය දක්වන පිරිස් අතර ඉදිරියෙන්ම සිටින්නේ, විපක්ෂය නොව ආණ්ඩුවේම හවුල්කාර පක්ෂ වීම මෙහි ඇති විශේෂත්වයයි. සමගි බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත් යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව කඳවුරු බඳිද්දී ආණ්ඩුවේම හවුල්කාර පක්ෂ ද ගිවිසුමට එරෙහිව කඳවුරු බඳිමින් සිටී. එබැවින් මෙය එක් අතකින් ආණ්ඩුවේම දේශපාලන අර්බුදයක් බවට පත්ව තිබෙන බව පෙනෙන්නට තිබේ.


ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක නායකයෝ ඉකුත් සඳුදා බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයට එක් වූයේ, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවෙනි. වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, දයාසිරි ජයසේකර, ජයන්ත සමරවීර, ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, වීරසුමන වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග මෙන්ම අතුරලියේ රතන හිමියෝ ද ඊට සහභාගි වූහ. බලශක්ති ඇමැති උදය ගම්මන්පිල ද මෙම සාකච්ඡාවට සහභාගි වන නමුත්, ඔහු දිවයිනෙන් බැහැරව සිටි නිසා ඊට සම්බන්ධ නොවීය. මෙම කොටස් පැවරීමට අදාළ ගිවිසුමට ඇමැති මණ්ඩලයේ හෝ පුළුල් වශයෙන් සාකච්ඡා නොකර අත්සන් කිරීම සම්බන්ධයෙන් ඔවුහු දිගින් දිගටම සාකච්ඡා කළහ. එපමණක් නොව ගිවිසුමට මැදියම් රැයේ අත්සන් කිරීම සම්බන්ධයෙන් ද ගැටලුවක් පවතින බව ඔවුහු කියා සිටියහ. එබැවින්, ඊට එරෙහිව රට තුළ මතයක් ගොඩනැගිය යුතු යැයි තීරණය කළ පක්ෂ නායකයෝ, අගමැතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කළහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද මෙම ගිවිසුම සම්බන්ධයෙන් එකඟතාවක් පළ කර නැති බැවින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් හමු වී සාකච්ඡා කිරීමට ද ඔවුහු තීරණය කළහ.


ඒ අනුව, පසුවදාම හවුල්කාර පක්ෂවල නායකයෝ පිරිසක් මහගමසේකර මාවතේ පිහිටි නිල නිවෙසට ගොස්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූහ. වාසුදේව නානායක්කාර, ජයන්ත සමරවීර, ගෙවිඳු කුමාරතුංග, වීරසුමන වීරසිංහ, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ ඇතුළු පිරිස හිටපු ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කරමින් සිටින අතරේ දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසක් ද ඊට සම්බන්ධ වූහ. එහිදී හිටපු ජනාධිපතිවරයා ද දැනුම් දී තිබුණේ, මෙම ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද විරුද්ධත්වය ප්‍රකාශ කරන බවය. ඒ අනුව, මේ සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා කිරීමටත්, අගමැතිවරයාට ලිපියක් යවමින් එම ඉල්ලීම කිරීමටත් එහිදී තීරණය විය. ඇමෙරිකානු සමාගමකට විදුලි ඒකාධිකාරය දීම හරහා බරපතළ අර්බුදයක් මතු විය හැකි බව ඔවුන්ගේ අදහස විය. පෙරවරු 11.45ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාව සවස 1.30 පමණ වන තෙක් පැවැත්විණ. අනතුරුව පිරිස පිටව ගියේ අගමැතිවරයා හමු වී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බවට තීන්දු කරමිනි.

 

අගමැති සමග සාකච්ඡාව


මේ අතරවාරයේ අගමැති කාර්යාලයෙන් ශ්‍රී ලංකා පොදුජන සන්ධානයේ පක්ෂ නායකයන්ගේ හමුවක් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් බදාදා උදේ දහයට අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙන බවට දැනුම් දී තිබිණි. එහෙත්, එය ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ඉල්ලන්නට බලාපොරොත්තුවෙන් සිටි සාකච්ඡාව නොවීය. අගමැති කාර්යාලය පසුව දැනුම් දී තිබුණේ, බදාදා උදේ සූදානම් කළ සාකච්ඡාව බ්‍රහස්පතින්දා සවස හතරට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන බවය. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සාගර කාරියවසම් යන මහත්වරු ද සෙසු පක්ෂ නියෝජනය කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහාචාර්ය තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, ඩග්ලස් දේවානන්ද, දිනේෂ් ගුණවර්ධන, ටිරාන් අලස්, වීරසුමන වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග, රාමේෂ්වරන් යන මහත්වරු සහ අතුරලියේ රතන හිමියෝ ද සහභාගි වූහ. අයවැය ගැනත්, එන්නත්කරණය ගැනත් එහිදී සාකච්ඡා වූ නමුත්, යුගදනවි බලාගාරය සම්බන්ධ ප්‍රශ්නය සාකච්ඡා න්‍යායපත්‍රයේ නොවීය. එහෙත්, සාකච්ඡාව යන අතර ඒ සම්බන්ධයෙන් මතු කළේ විමල් වීරවංශ ඇමැතිවරයාය. ඔහු කීවේ, මෙම ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට ගැටලු‍ තිබෙන බවය. මෙය කැබිනට් මණ්ඩලය තුළ පවා හරියට සාකච්ඡා නොවූ බව විමල් කීවේය. ඊට පිළිතුරු දුන්නේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාය. ඔහු කිව්වේ, මෙය රටට ඉතාම වාසිදායක ආයෝජනයක් බවය. මෙමගින් ඩොලර් මිලියන 250ක් ලැබෙන බව කී බැසිල්, මේ අවස්ථාවේ එය රටට ඉතාම ඵලදායි ආයෝජනයක් බව ද කීවේය. එහෙත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, වීරසුමන වීරසිංහ යන මන්ත්‍රීවරුන් දැක්වූයේ ද වෙනස් අදහසකි. මෙරට විදුලි බලය හා ගෑස් ඒකාධිකාරය ඇමෙරිකානු සමාගමකට පැවරීම සුදුසු නොවන බව ඔවුහු දිගින් දිගටම කියා සිටියහ. පැය දෙකක් තිස්සේ පැවැති සාකච්ඡාවෙන් වැඩි වේලාවක් වෙන් වූයේ යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. එසේ වුව ද ඒ සම්බන්ධයෙන් අවසාන එකඟතාවකට ඒමට නොහැකි වූ අතර, හවුල්කාර පක්ෂවල නායකයන් කියා සිටියේ, මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පැමිණි පසු සාකච්ඡා කරන බවය. ඒ අනුව, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන්ගේ අත්සනින් යුත් ලිපියක් සති අන්තයේ දී ජනාධිපතිවරයාට යැවීමට නියමිතව තිබිණි. යුගදනවි බලාගාරය සම්බන්ධ ප්‍රශ්නය ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු ඔහු සමඟ සාකච්ඡා කිරීම හවුල්කාර පක්ෂවල අදහසය.


ලංකාවේ යළි ත්‍රස්තවාදයක් ඇති නොවන බව ජනපති කියයි


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරය ඇමතීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් සතියේ සෙනසුරාදා අලුයම 2.00ට පමණ දිවයිනෙන් පිටත්ව ගියේය. ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට එක්ව සිටියේ ඉතාම සුළු පිරිසකි. විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මෙන්ම ජනාධිපති බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය ද ඊට එක්ව සිටියහ.


සෙනසුරාදා ඇමරිකාවට ගිය ජනාධිපතිවරයාට පහුවදා දහවල් විශේෂ අවස්ථාවක් හිමි විය. ඒ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා හමුවී සාකච්ඡා කිරීමටය. කොවිඩ් පාලනය සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර ගැන මහලේකම්වරයා දැනුවත් කළ ජනාධිපතිවරයා යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර ප්‍රදේශවල ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද පැහැදිලි කළේය. ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රශංසාව හිමිවිය. මේ අතර ජනාධිපතිවරයා කීවේ බොහෝ දේවල් කිරීමට තමා සැලසුම් කර තිබූ නමුත් කොවිඩ් අර්බුදය හමුවේ ඒවා කිරීමට නොහැකි වූ බවය. මේ අතර ජනාධිපතිවරයා මහලේකම්වරයාට දැනුම් දුන්නේ දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට ද තමා සූදානම් බවය.


මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අදහස් දක්වමින් කියා සිටියේ ලංකාව තමා ඉතා ආශා කරන රටක් බවය. තමා අන්තර් පාර්ලිමේන්තු සංගමය නියෝජනය කළ අවස්ථාවේ 1976 දී පමණ මෙරටට පැමිණ බොහෝ තැන්වල සංචාරය කර ඇති බව ද ඔහු කීවේය. අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශවල සංචාරය කළ තමා එම ප්‍රදේශවලට ඉතා කැමති බව කීවේය. ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහයෝගය දක්වන බව ද ඔහු කීවේය. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවට සාමාන්‍යයෙන් වෙන්කර තිබුණේ විනාඩි පහළොවක් පමණ කාලයකි. කෙසේ වුවද මේ සාකච්ඡාව විනාඩි හතළිස් අටක් තිස්සේ ඇදී ගියේය.


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අඟහරුවාදා ආරම්භ වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එය ඇමතුවේ එහි තෙවැනි දිනය වූ බදාදා ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වගකීම ගැනත් ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙළ ගැනත් බොහෝ කරුණු කාරණා පැහැදිලි කළ ජනාධිපතිවරයා කීවේ ත්‍රස්තවාදය ලංකාවේ යළි ඇති වීමට කිසිදු ඉඩක් නොමැති බවය. ඒ අතර ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවලින් ඉල්ලීමක් ද කළේය. ඔහු කීවේ ඇෆ්ගනිස්ථානයේ බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමට සියලු‍ රටවල මැදිහත්වීම අවශ්‍ය බවය. එමෙන්ම රටක ප්‍රමාණය හෝ ශක්තිමත්භාවය නොසලකා සමාන අන්දමින් සැලකිය යුතු යැයි ද ඔහු කීවේය. ජනාධිපතිවරයා මේ සංචාරයේදී රටවල් ගණනාවක නායකයන් ද හමුවී සාකච්ඡා කළ අතර ඒ බොහෝ නායකයන්ගෙන් ඔහු ඉල්ලීමක් කළේ ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා පැමිණෙන ලෙසය. ජනාධිපතිවරයා සිය ඇ​ෙමරිකානු සංචාරය නිමවා මේ සති අන්තයේ දී දිවයිනට පැමිණීමට නියමිතව සිටියේය.


අයවැය ගැන බැසිල්ගෙන් ඉඟියක්


ළඟදී ඉදිරිපත් කෙරෙන අයවැය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හමුවක් ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ පැවැත්වුණේ බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. සියලු‍ දෙනාටම එකවර සහභාගි විය නොහැකි නිසා එය සාකච්ඡා වට දෙකක් ලෙස පැවැත්විණි. මන්ත්‍රීවරුන් හමුවේ අයවැය ගැන අදහස් දක්වමින් බැසිල් කීවේ මෙය තමා ඉදිරිපත් කරන පළමු අයවැය බැවින්, ඉතා හොඳ අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය. බදු බොහොමයක් පටවා ඇත්තේ සාමාන්‍ය මිනිස්සුන්ට බැවින් එය වෙනස් කර නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බව ඔහු කීවේය. “දැන් බලන්න වීල්බැරෝ එක්ලක්ෂ හතළිස් ද‌ාහක් අවුරුද්දකට ලංකාවට ගේනවා. හැබැයි වීල්බැරෝවලට බදු ගහන්නේ නෑ. වීල්බැරෝ හදන්න ගේන බඩුවලට බදු ගහනවා. ඉතින් දේශීය ආයෝජකයෝ මේවාට ඉදිරිපත් වෙයිද” බැසිල් කීවේය. ඒ සමගම ඔහු ඉල්ලීමක් කළේ අයවැය ගැන දැන්ම අදහස් දැක්වීමෙන් වළකින ලෙසය. “අයවැය ඉදිරිපත් කරන්නත් කලින් ආණ්ඩුවේ එක් මන්ත්‍රීවරයෙක් අයවැය ගැන දොස් කියලා තිබුණා. මං ඒ අයට කියන්නේ අයවැය ඉදිරිපත් කරන තෙක් ඉන්න කියලයි. ආණ්ඩුව විපක්ෂයේ වැඩ කරන්න යන්න හොඳ නෑ. විපක්ෂය විපක්ෂයේ වැඩ කරයි.”‍ බැසිල් කීවේය.


සමගි ජන බලවේගයේ නිල පුවත්පත් එළිදකියි


සමගි ජන බලවේගයට පසුගිය සතිය විශේෂ වූයේ ඔවුන්ගේ නිල පුවත්පත් ‘බලවේගය’ සහ ‘අයික්‍ය කුරල්’ පුවත්පත් දෙක එළිදැක්වීම යෙදී තිබීම නිසාය.


මෙම එළිදැක්වීමේ උත්සවය තිබුණේ සෙනසුරාදා දහවල් සූම් තාක්ෂණය හරහා ය.


පක්ෂයේ සියලු‍ම මන්ත්‍රීවරු, සමගි ජන බලවේගය පක්ෂ නායකයෝ ආසන සංවිධායකවරු ඇතුළු විශාල පිරිසක් Zoom තාක්ෂණය හරහාත්, ෆේස්බුක් ජාල හරහාත් මේ අවස්ථාවට එක්ව සිටියහ. පුවත්පත් එළි දැක්වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතිනි.


‘‘ඕනෑ තරම් පක්ෂවලට අනන්‍ය වෙච්ච නිල පුවත්පත් තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා බලවේගය සහ අයික්‍ය කුරල් පුවත්පත අපේ පාක්ෂිකයින් වගේම අපේ පාක්ෂිකයින් නොවෙන පිරිස් පවා ආකර්ෂණය කරගන්න පුවත්පතක් බවට පත් වෙයි කියලා. අද තියෙන්නෙ දියුණු ලෝකයක්. ඒ දියුණු ලෝකය ඇතුළේ සම්ප්‍රදායික පක්ෂ පුවත්පතක කාර්යභාරයෙන් එහාට ගිහිල්ලා විප්ලවීය වැඩ කොටසක් කරන්න මේ පුවත්පත් දෙකට හැකියාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා”‍ සජිත් කීවේ එවැන්නකි.


‘‘බලවේගය පුවත්පතට මේ රටේ ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදීන් වගේම, පුවත්පත්වල හිටපු කර්තෘවරුම පස් දෙනෙකුට වඩා සම්බන්ධයි”‍ ඉම්තියාස් රහසක් හෙළි කළේය.


‘‘එහෙනම් ඉතින් හොඳම පත්තරයක් වෙන එක ගැන අහන්න දෙයක් නෑනේ’’ මහලේකම් රංජිත් කීවේය.
පුවත්පත් අන්තර් ජාලයට මුදා හැරීමත් සමග විශාල පිරිසක් එය කියවන්නට පටන් ගත් අතර බොහෝ දෙනෙකුගෙන් ලැබුණේ ඉතාම ප්‍රශංසනීය සුබපැතුම් ය.


‘‘පුවත්පත සූම් තාක්ෂණය හරහා ම ලංකාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අයට පිළිගන්වන්න. මුලින්ම ලංකාවේ ජාතික පත්තරවල ප්‍රධාන කර්තෘවරුන්ට පිළිගන්වන්න”‍


පුවත්පත් එළිදැක්වීමේ කාර්යයේ නියමුවා ලෙස සිටී ඉම්තියාස්ට කතාකළ සජිත් කීවේය.


‘‘ඒ වගේම ලංකාවේ හැම ගමකම ‘බලවේගය’ පුවත්පතට සම්බන්ධ නියෝජිතයෙක් සම්බන්ධ කරගන්න. එ්‍ හැම කෙනෙක්ටම විශේෂ වගකීමක් දෙන්න.”‍ සජිත් ඒ උපදෙස් දුන්නේ මහලේකම් රංජිත් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ය.


විපක්ෂනායකවරයාගේ උපදෙස් අනුව ඉම්තියාස් ඊට දින දෙකකට පසුව ලංකාවේ ජාතික පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරුන්ට පුවත්පත් පිළිගන්වනු ලැබීය. සුම් තාක්ෂණය හරහා ඊට සම්බන්ධ වූ කර්තෘවරුන් ගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශංසාව හිමිවිය.


සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රීවරුන් සියලු‍ දෙනාම පාහේ මෙවර ද වඩාත් උනන්දුවෙන් සහභාගි වී සිටිනු දක්නට ලැබිය හැකි විය.


‘‘මේ සතිය ඇතුළේ අපි විශේෂ කාරණා කිහිපයක් ගැන අවධානය යොමු කරන්න තීන්දු කරලා තියනවා. එකක් මේ ​ෙවනකොට කොරෝනා මරණ දොළොස් දාහ ඉක්මවලා තියෙනවා. අනිත් පැත්තට රටපුරා විශාල මගඩි ගොඩක් සිදුවෙමින් තියෙනවා. මේ සේරම ඉලක්ක කරලා ආණ්ඩුවේ මේ අදූරදර්ශී වැඩපිළිවෙළට දැඩි ප්‍රහාරයක් එල්ල කරන්න අපි කටයුතු කරමු”‍ සජිත් කීවේය.


‘‘ඇත්තටම මේ වෙලාවේ මේ රටේ තියෙන්නෙ කොරෝනා වයිරසය විතරක් නෙවෙයි. අද මේ ආණ්ඩුවම මුළු රටටම වෛරසයක්. ඒ නිසා මේ වෛරසයට එරෙහිව අපි සටන් කරමු”‍
ඒ යෝජනාව ආවේ කවදත් අලු‍ත් මතවාද ගෙනෙන හරින් ගෙනි.
‘‘හරින් වචනයක් ගෙනාවොත් ඉතින් ගලේ කෙටුවා වගේ තමයි.”‍ එහෙම කිව්වේ නලීන් බණ්ඩාරය.
‘‘මතකනේ ස’ ෆේල්”‍ මනුෂ සිහිපත් කළේ හරින් සමාජගත කළ තවත් වචනයකි.
‘‘හරින් මෙහෙයුම් ප්‍රධානියා පමණක් නෙවේ, සංකල්ප ෆැක්ටරියක්.”‍


අශෝක් අබේසිංහ සිනාසෙමින් කීවේය.


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත, සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ තීරණාත්මක කාලසීමාවකදීම අතුරුදන් වීම ගැන සජිත් සිය අවධානය දිගින් දිගටම යොමු කළ අතර මෙහි අබිරහස පිළිබඳව ද පක්ෂයේ මන්ත්‍රීවරු සමග අදහස් හුවමාරු කරගත්තේය.
‘‘ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතු අධි සංවේදී දත්ත ගොනු ලක්ෂ 11කට ආසන්න ප්‍රමාණයක් අතුරුදන්. මේක රටේ මහජන ආරක්ෂාව පවා අවදානමකට ලක් කිරීමක්”‍

සජිත් කීවේය.


‘‘මේ දත්ත පද්ධතිය අතුරුදන්වීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පවා කියනවා. මේක සැලසුම් සහගතව මෙරට ඖෂධ මාෆියාව විසින් සිදුකළා වෙන්න පුලු‍වන්”‍ රාජිත කීවේය.
‘‘ආණ්ඩුව මේ පිළිබඳව කරන පරීක්ෂණ ඉතාම මන්දගාමී යි. නව තාක්ෂණය ගැන, ජාතික ආරක්ෂාව ගැන, ඔරකල් තාක්ෂණය ගැන කතා කළේ. හැබැයි දත්ත ටික රැකගන්න බෑ’’ ගයන්ත කීවේය.
මේ මාතෘකාව සමගි ජන බලවේගය මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ද රැගෙන ආහ. සජිත් මේ පිළිබඳව ප්‍රශ්න කළ අතර සෙසු මන්ත්‍රීවරුන් සියලු‍ දෙනාම පාහේ ආණ්ඩුවට දිගින් දිගටම චෝදනා කරමින් මේ පිළිබඳව රටට හෙළි කරන්නැයි ඉල්ලා සිටියහ.


කෙරවලපිටිය යුගදනවි බලාගාරය පිටරටක සමාගමකට විකුණා දැමීමට කටයුතු කිරීම සම්බන්ධව තොරතුරු වාර්තා වූ සැනින් සමගි ජන බලවේගය මන්ත්‍රීවරු ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කළහ.
‘‘මේ ආණ්ඩුව මහා දවාලෙත් මංකොල්ල කනවා. මැදියම් රැයේත් මංකොල්ල කනවා. හැබැයි ආවේ මේ රට රකිනවා කියලා.”‍ මහලේකම් රංජිත් කීවේය.


‘‘කෙරවලපිටිය විකුණපු බව අඩු තරමේ විෂය භාර ඇමැතිවරුන් දන්නෙත් නෑ. කෙරවලපිටිය අයිති කාටද කියලත් ඇමැතිවරු දන්නෙත් නෑ. මහ රෑ සූම් මීටිමකදී හිතුවක්කාර විදිහට මේක කැබිනට් එකට දාලා සම්මත කරගෙන”‍ මරික්කාර් කීවේය.


‘‘මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා මේ දක්වා සැලකිල්ලට ගත හැකි ජනතාවාදී කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. ඒ වෙනුවට ජන ජීවිත අවදානමට ලක් කරලා තියෙනවා. ගජ මිතුරන්ට සහන දීලා තියෙනවා. දැන්, රටේ සම්පත් සියල්ල මැදියම් රැයේදි පවා කුණු කොල්ලයට විකුණනවා. බලය ලබා ගැනීමට පෙර මවා පෙන්වපු ඊනියා දේශහිතෛෂී භාවයේ අවසාන සළුපිළි ද ඉවත් කරමින් ඉන්නවා.”‍ මේ මහා පාවාදීමට එරෙහිව අපි කරන්න පුළුවන් හැමදේම කළ යුතුයි.”‍ සජිත් සිය මන්ත්‍රී කණ්ඩායමට පැහැදිලි කළේය.


‘‘යුගදනවි කියන්නේ ඉදිරි දශකය තුළ අපේ රටේ විශාලතම බලාගාරය.”‍


එහෙම කීවේ හෙක්ටර් අප්පුහාමි ය.


‘‘කෙරවලපිටිය ඉදිකිරීම් ලබාදෙන සමාගමටම ගෑස් සැපයීමේ ව්‍යාපෘතියත් දීලා. රටේ මර්මස්ථානයක පාලනය විදෙස් සමාගමකට දුන්නම රටේ බලශක්ති සුරක්‍ෂිතතාවය ඉවරයි. එක මොහොතින් රට අකර්මණ්‍ය කරන්න පුළුවන්.”‍ සජිත් කීවේය.


‘‘ලොව කිසිම රටක්, ස්වාභාවික වායු සැපයීමේ ටෙන්ඩරවත් එයට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ටෙන්ඩරවත් ඒකාබද්ධව සිදු කරන්නේ නෑ. ඒක රටේ ජාතික ආරක්ෂාවටත් බලශක්ති ආරක්ෂාවටත් අනතුරක්”‍ හරින් කීවේය.


‘‘මේක හෙජින් ගිවිසුම තරම් මහා පාවාදීමක්. මෙවැනි පාවාදීමක් ශ්‍රී ලාංකික පුරවැසියෙකුට කිසිසේත්ම කරන්න බෑ”‍ මනූෂ කීවේය.


‘‘මේ තරම් බරපතල ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කරත්දීත් කැබිනට් මණ්ඩලය සිග්නල් කනු වෙලා.”‍ සරත් ෆොන්සේකා කීවේය.


‘‘මේ මහා පාවාදීමට විරුද්ධව අපි පක්ෂයක් හැටියටත්, පොදුවේ විපක්ෂය හැටියටත් අරගල කරමු. එ් විතරක් නෙවෙයි ආණ්ඩුව කරන සියලු‍ අමානුෂික වැඩවලට විරුද්ධව දිගින් දිගටම අරගල කරන්න අපි සූදානම් වෙමු”‍. සජිත් සිය කණ්ඩායමට උපදෙස් දුන්නේය.


එජාප තරුණ සාමාජිකයන්ට ඩිජිටල් කාඩ් පතක්


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගිය සතියේ දී පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි විය. පාර්ලිමේන්තුවේදී විශේෂත්වයක් වූයේ ජාතික වතු කම්කරු සංගමයේ හිමිකාරීත්වය එක්සත් ජාතික පක්ෂයට හිමි වීමෙන් පසු පක්ෂ ක්‍රියාකාරීන් එහි මූලස්ථානයට පැමිණීම ගැන වඩුවෙල් සුරේෂ් මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමයි. රනිල් වික්‍රමසිංහ මහතා එයට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියේ අධිකරණ තීන්දුවක් මත ජාතික වතු කම්කරු සංගමය එක්සත් ජාතික පක්ෂයට හිමි වූ බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම හෝ විවේචනය කිරීමට පාර්ලිමේන්තුවේ දී වුවත් හැකියාවක් නොමැති බවය.


මීට අමතරව එක්සත් ජාතික පක්ෂ නායකයා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් නොකිරීම හා උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කළේය. මුදල් අමාත්‍යාංශයට අදාළ පනතක් පිළිබඳ විවාදයට ගත්තත් මුදල් ඇමැතිවරයා සභාවේ නොසිටීම පිළිබඳව ද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළේය.


ගිය අඟහරුවාදා සවස් වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ ක්‍රියාකාරීන් හමු වූ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව ද සාකච්ඡා කළේය. මේ සියල්ල කරනු ලැබුවේ සූම් තාක්ෂණය ඔස්සේය.


ආර්ථික අර්බුදයට රජයට විසඳුමක් නොමැති අතර සුදුසු යෝජනා ඉදිරිපත් කළත් ඒවා පිළිගැනීමට රජයේ සූදානමක් නැති බව ද මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. දැන් තිබෙන්නේ රජයේ වැඩ කටයුතු පිළිබඳව අවධානයෙන් සිටීම බව ද එජාප නායකයා ප්‍රකාශ කළේය.


දිවංගත අගමැති ඩී.ඇස්. සේනානායක මහතාගේ උපන් දිනය යෙදී ඇති ලබන විසි වැනිදා පක්ෂයේ තරුණ සාමාජිකයන්ට ඩිජිටල් සාමාජික කාඩ්පත නිකුත් කිරීමට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට පවරා තිබේ.


මෙම ඩිජිටල් සාමාජික කාඩ්පත් තරුණ කොටස්වලට ලබාදීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් ඉදිරිපත්ව තිබූ යෝජනා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කළ රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ජන්ම දිනය සැමරුවා සේම ඩී.එස්. සේනානායක මහතාගේ ජන්ම දිනය ද සැමරීමේ වැදගත්කම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දුන් බවයි.


ඩිජිටල් කාඩ්පත් නිකුත් කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව පක්ෂයේ වැඩ කටයුතු බිම් මට්ටමෙන් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට රුවන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙහිදී තීරණය කර තිබුණි.
ඉතාලියේදී අග්‍රාමාත්‍යවරයාට විරෝධය දැක්වීමත් නිව්යෝර්ක් හිදී ජනාධිපතිවරයාට විරෝධය දැක්වීමත් රට හෑල්ලු‍වට ලක් කිරීමක් බව පෙන්වා දුන් රුවන් විජයවර්ධන මහතා එය බරපතළ කරුණක් බව ද ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂ පාලන කාලයේ දී රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසි වාරයට සහභාගි වූ අවස්ථාවේ දී රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා කළ ආකාරය ද මෙහිදී රුවන් පෙන්වා දුන්නේය.

 

-ගජබා-



අදහස් (0)

ආණ්ඩුව ඇතුළේ දේශපාලන කැළඹීමක්

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 134 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site