IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගුරු වැටුප් ප්‍රශ්නයට කැබිනට්ටුවේ තීන්දුව

  • ආණ්ඩුවෙන් නොයන බව මෛත්‍රී කියයි
  • ‘‘විපක්ෂයෙන්  හුස්මක්’’ කෝටි 7 ක් වැය කරයි
  • බන්දුලට දයා ගමගේ ගෙන් කැඳ සංග්‍රහයක්

 

මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඇදී එන ගුරු හා විදුහල්පති වර්ජනය තවමත් අවසන් නැත. ආණ්ඩුව ද විවිධ යෝජනා ඉදිරිපත් කරමින් මේ අර්බුදය විසඳීමට උත්සාහ කළ ද ආණ්ඩුවේ යෝජනාවලට ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති එකඟ වන බවක් පෙනෙන්නට ද නැත. ඒ අනුව පෙනෙන්නට ඇත්තේ වර්ජනය තවදුරටත් දිග්ගැස්සෙන බවකි. ආණ්ඩුව මුල දී කළේ මේ වර්ජනය නොසලකා කටයුතු කිරීමය. එහෙත් එය නතර වන බවක් පෙනෙන්නට නොතිබූ තැන අර්බුදය විසඳීමේ උත්සාහයක නිරතවන්නට ආණ්ඩුව ද තීරණය කළේය. ඇමැතිවරුන් සිව් දෙනකුගෙන් යුත් අනුකමිටුවක් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ආණ්ඩුව පත් කළේ ඒ අනුවය. ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, මහින්ද අමරවීර, ප්‍රසන්න රණතුංග එම අනුකමිටුවේ සාමාජිකයෝ වූහ. ඔවුන් දැඩි මහන්සියක් ගනිමින් ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති නායකයන් ද වරින් වර හමුවෙමින් ගුරු විදුහල්පති වැටුප් අර්බුදයට විසඳුම් නිර්දේශ කළේ වර්ජනය අවසන් කළ යුතු බැවිනි.


කැබිනට් හමුව


කැබිනට් මණ්ඩලය සුපුරුදු පරිදි ගිය සඳුදා හැන්දෑවේ රැස්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. කොවිඩ් අර්බුදය හේතුවෙන් මෙවර ද කැබිනට් රැස්වීම පැවැත්වුණේ ‘සූම්’ තාක්ෂණය ඔස්සේය. ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ සිට ද ඇමැතිවරු අමාත්‍යාංශවල සහ සිය නිවෙස්වල සිට ද ඊට සම්බන්ධ වූහ. කැබිනට් රැස්වීමේදී අවධානය යොමු වූ ප්‍රධාන මාතෘකාව වූයේ ද ගුරු විදුහල්පති වැටුප් අර්බුදය සම්බන්ධයෙන් වන ඇමැති අනුකමිටු වාර්තාවය. එය කලින් සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ නමුත් මේ සතියට සාකච්ඡාවට ගැනීමට තීරණය වූයේ ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට කාලය අවශ්‍ය බවට ඇමැතිවරුන් ප්‍රකාශ කිරීම හේතුවෙනි. මේ ප්‍රශ්නය විසඳීමට ගුරු විදුහල්පති සංගම් සමඟ කළ සාකච්ඡා හා ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ද ඊට දිය හැකි ප්‍රායෝගික විසඳුම් ගැන ද කමිටු සාමාජිකයන් කැබිනට් මණ්ඩලය හමුවේ පැහැදිලි කළේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යාමට වහා පියවරක් ගත යුතු බව සඳහන් කරමිනි. 


අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ද ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. අනුකමිටු වාර්තාවට අනුව විදුහල්පතිවරයකුගේ වැටුප සියයට 26කින් ද ගුරුවරයකුගේ වැටුප සියයට 13කින් ද වැඩිවන බව කමිටු සාමාජිකයෝ කියා සිටියහ. ඔවුන් කීවේ සුබෝධනී කමිටු වාර්තාව, වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ යෝජනාත්, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නිර්දේශත්, ගුරු විදුහල්පති වෘත්තීය සංගම්වල යෝජනාත් සැලකිල්ලට ගනිමින් අදාළ වාර්තාව සකස් කර ඇති බවය. මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට ද අවම වශයෙන් රුපියල් බිලියන 30ක පමණ මුදලක් අතිරේකව අවශ්‍ය වන බව කමිටු සාමාජිකයෝ කියා සිටියහ. 


ජනාධිපතිවරයා ද කමිටුවට ස්තුතිය පළ කරමින් සඳහන් කළේ රජය මූල්‍ය අර්බුදයක සිටින නමුත් දරුවන්ගේ අධ්‍යාපනය ගැන සිතා මේ අවස්ථාවේ ඊට විසඳුම් ලබාදිය යුතු බවය. කැබිනට් මණ්ඩලයේ යෝජනාව වූයේ මෙම විසඳුම් යෝජනාව අදියර 4කින් ක්‍රියාත්මක කිරීම සුදුසු බවය. එය අයවැයෙන් යෝජනාවක් ලෙස ඉදිරිපත් කර පියවරෙන් පියවර ක්‍රියාවට නැංවිය හැකි බව ඔවුන්ගේ අදහස විය. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ද කීවේ අයවැයෙන් මෙය ක්‍රියාවට නැංවීම සුදුසු බවය. මේ සඳහා රජයේ ඇති කැපවීම පෙන්වීමේ පියවරක් ලෙස මෙම යෝජනා අයවැයෙන් ඉදිරිපත් කරන තෙක්, සැප්තැම්බර් ඔක්තෝබර් මාස දෙක සඳහා ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට රුපියල් 5,000ක මාසික අමතර දීමනාවක් ගෙවිය හැකි බව කීවේය. ඔහු කීවේ ඒ සඳහා මුදල් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කරදෙන බවය.


ගුරු විදුහල්පති වැටුප් අර්බුදය සම්බන්ධයෙන් රජයේ විසඳුම පසු දින ප්‍රකාශයට පත්කරනු ලැබුව ද ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති ඊට එකඟ නොවීය. ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ කැබිනට් මණ්ඩලයේ දී ගත් තීන්දු සුබෝධනී වාර්තාවේ කොටසක් ලෙස චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කළ යුතු බවය. එසේ කළහොත් පසු දිනම සේවයට වාර්තා කරන බව ඔවුහු කියා සිටිති.


මිල පාලනයට ආණ්ඩුව බරට වැඩ


වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පසුගිය කාලයේ අතිවිශාල ලෙස ඉහළ ගියේය. සහල් සහ සීනි ඉන් ප්‍රධාන තැනක් ගත්තේය. මේ භාණ්ඩ මිල අඩු කරන්නට ආණ්ඩුව පසුගිය කාලයේ විවිධ ක්‍රියාමාර්ග ගත් නමුත්, ඒවායේ මිල තව තවත් වැඩි වූවා මිස අඩු වූයේ නැත. සහල් සහ සීනි මිල පාලනයට ආණ්ඩුව ගැසට් ගණනාවක්ම ගැසුවත් එයින් මිල පාලනය ගැසට්වලට පමණක් සීමා විය. සීනි, සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අසීමාන්තිකව ඉහළ යාම හමුවේ ආණ්ඩුව කලින්ට වඩා දැඩි පියවරකට ගිය සතියේ අවතීර්ණ විය. සීනි, සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනය හදිසි නීති රෙගුලාසි යටතේ නව ගැසට් නිවේදනයක් මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ඒ අනුව යමිනි. එතැනින් නොනැවතුණු ආණ්ඩුව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයකු ද මේ සඳහා පත් කළේය. විශ්‍රාමික මේජර් ජනරාල්වරයකු වන නිවුන්හැල්ල මහතා, රජය විසින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කරනු ලැබූ අතර, ඔහු පත් කළ දිනට පසු දිනම වැඩ ඇල්ලු‍වේ රට පුරා සඟවා තිබූ සහල් සහ සීනි තොග රජයේ භාරයට ගනිමිනි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපැයීම හදිසි නීති රෙගුලාසි යටතේ ප්‍රකාශයට පත් කිරීමට පෙර ද සීනි සහ වී තොග විශාල ප්‍රමාණයක් ගබඩාවල සඟවා තිබියදී පාරිභෝගික අධිකාරිය විසින් සොයාගනු ලැබීය. අලු‍තෙන් පත් වූ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ඒවා රජයේ භාරයට ගෙන සතොස, සමුපකාර සමිති හරහා මෙන්ම, පෞද්ගලික අංශය හරහා පාලන මිලට වෙළෙඳපොළට නිකුත් කරන්නට පියවර ගත්තේය. අනතුරුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත සහල් සහ සීනි සඳහා පාලන මිලක් නියම කරමින් නව ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබීය.


බන්දුලට දයා ගමගේගෙන් ඔසු කැඳ සංග්‍රහයක්


කොවිඩ් ආසාදිතයකු වන වෙළෙඳ ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ දිනවල සිටින්නේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමිනි. ඔහු සමග ඔහුගේ බිරිඳ ද ප්‍රතිකාර ලබමින් සිටී. ඉකුත් සතියේ සිකුරාදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති කොරෝනා මර්දන කමිටු රැස්වීමට ද සහභාගි වූ බන්දුල කොරෝනා ආසාදිතයකු බව තහවුරු වූයේ සෙනසුරාදාය. ඒ බව දැනගත් වහාම බන්දුල සිය මුහුණුපොතේ සටහනක් තබමින් ඉල්ලීමක් කළේ තමන් සමග ගත වූ දින කිහිපයේ ඇසුරු කළ අයට ද නිරෝධායන වන ලෙසය. ඒ අනුව බන්දුලගේ ආශ්‍රිතයන් වූ ඩලස් අලහප්පෙරුම, කෙහෙළිය රඹුක්වැල්ල, ලලිත් වීරතුංග ඇතුළු කිහිප දෙනකුට ද නිරෝධායනය වන්නට සිදු විය. ඊට හේතු වූයේ මීට කලින් දින ජනාධිපති කාර්යාලයේ පැවැති කොවිඩ් මර්දන කමිටු රැස්වීමට සහභාගි වූ ඩලස් සහ ලලිත් වීරතුංග ජනාධිපතිවරයා රැස්වීමට පැමිණෙන විට තරමක් ප්‍රමාද වූ බැවින් පහත මාලයට වී එකට එක්ව තේ බීමය. බන්දුල, ඩලස් හා ලලිත් වීරතුංග එදින පැය භාගයක් පමණ කතාබහ කරමින් තේ බීවෝය. කෙහෙළිය ඔහු සමග තේ බොන්නට සහභාගි නොවුණ ද ඔහු කොවිඩ් මර්දන රැස්වීමේදී බන්දුලට යාබද අසුනේ අසුන් ගෙන සිටියේය. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමැතිවරිය ද ඔවුන් සිටින තැනට ගිය නමුත් ඔවුන් සමග තේ බොන්නට නොගිය නිසා නිරෝධායනය වීමේ අවශ්‍යතාවක් නොවීය. එහෙත් ඩලස් සහ වීරතුංග බන්දුල සමගම සිටි නිසා ඔවුන්ට නිරෝධායන වන්නට සිදු විය. ඩලස්ට නිරෝධායනය වන්නට සිදු වූයේ තුන්වැනි වරටය.
බන්දුල රෝහල්ගත වීමෙන් පසු ඔහුගේ සුවදුක් විමසන්නට ජනාධිපතිවරයා ද අගමැතිවරයා ද මැති ඇමැතිවරු ද ඔහුට දිගින් දිගටම දුරකතන ඇමතුම් දුන්හ. මේ අතර විපක්ෂයේ මන්ත්‍රීවරු ද වූහ. මේ අතර හිටපු ඇමැති දයා ගමගේ සහ ඔහුගේ බිරිඳ වෛද්‍ය අනෝමා ගමගේ ඔසු කැඳ සාදා බන්දුලට දෙන්නට රෝහලට එවා තිබිණි.


ආණ්ඩුවෙන් නොයන බව මෛත්‍රී කියයි


ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන් ඉවත් විය යුතු බව එම පක්ෂයේ ඇතැම් ආසන සංවිධායකවරුන්ගේ අදහසකි. එහෙත් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමේ මතය වී ඇත්තේ ශ්‍රීලනිපය ආණ්ඩුව තුළ සිටිය යුතු බවය. මෙය දේශපාලන කරළියේ දී එක්තරා කතාබහට ලක් වූ මාතෘකාවකි. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් පොලොන්නරුවේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසා තිබුණි. ඔහු ඊට දුන් පිළිතුර වූයේ, ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් යාමට කිසිදු සූදානමක් නැති බවය.


මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය 70 වැනි සංවත්සරය සැමරීය. කොවිඩ් අර්බුද හේතුවෙන් ශ්‍රීලනිප 70 වැනි සංවත්සරය සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන්නට සිදු විය. හිටපු ජනපති මෛත්‍රී කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිවෙසේ සිට ඊට සම්බන්ධ වූ අතර, පක්ෂයේ සෙසු නිලධාරීහු හා ආසන සංවිධායකවරු සිය නිවෙස්වල සිටම ඊට සම්බන්ධ වූහ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක යන මහත්වරු විශේෂ දේශන පැවැත්වූහ. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර සහ ආචාර්ය සුරේන් රාඝවන් ද සූම් තාක්ෂණය ඔස්සේ සංවත්සර සමුළුව ඇමතූහ. වැඩසටහන මෙහෙයවනු ලැබුවේ ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර විසිනි.


ආණ්ඩුව ජනතාව මර්දනය කරනවා
විපක්ෂයෙන් චෝදනා


පසුගිය සතියේ පාර්ලිමේන්තුව රැස් නොවුණත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ කොරෝනා සමයේදී රටේ පවතින තත්ත්වය ගැන අවධානය යොමු කිරීමටය.
අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ජනාධිපතිවරයා හදිසි නීතිය පැනවීමත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ලෙස විශ‍්‍රාමික හමුදා නිලධාරියෙක් පත් කිරීමත් මන්ත‍්‍රී කණ්ඩායමේ අවධානයට යොමුවිය.


“ආණ්ඩුවට ජීවන වියදම පාලනය කරගැනීමට නොහැකි වෙලා තියෙනවා. තමන්ගේ නොහැකියාව වහගන්න බැරිකමට තමයි මේ ගැසට් ගහන්නේ.” විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස සිය ස්ථාවරය පැහැදිලි කරන්න විය.
‘“ආණ්ඩුව යන ගමන මොකක්ද කියලා දැන් පැහැදිලියි. ජනතාව මර්දනය කරන්න එක එක ගැසට් ගහන්න පටන් අරගෙන තියෙනවා.” පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.


“මේ අය මොකක්ද මේ කරන්නේ. යුද්ධය තිබුණ කාලෙවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් විදියට හමුදා නිලධාරියෙක් පත් කළේ නෑ. ඒ කාලේ මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කෙනෙක් විදියට හිටපු දිවාරත්න තමයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විදියට පත් කරලා තිබුණේ. යාපනයටම ආහාර යැව්වේ ඔහුගේ මැදිහත්වීමෙන්. දැන් මේ හමුදා නිලධාරීන් දාගෙන මොකක්ද මේ කරන්න හදන්නේ?” රාජිත සේනාරත්න මන්ත‍්‍රීවරයා ප‍්‍රශ්න කළේය.


“ෆේල් වුණ ජනාධිපතිවරයා හමුදාවත් ෆේල් කරන්න තමයි මේ හදන්නේ. ඉස්සර වෙලාම හමුදා නිලධාරියෙක් ඇවිත් වී ගබඩා තියෙන තැන් දන්වා, ගබඩා කඩල හරි වී අරගෙන එනවා කියලා කිව්වා. ඊට පස්සේ හාල් මිල ඉහළ යනකොට ඒ නිලධාරියා පේන්නවත් නෑ. ඊට පස්සේ පාරිභෝගික අධිකාරියට දාලා ඉන්න විශ‍්‍රාමික හමුදා නිලධාරියා ගිහින් රුපියල් අනූඅටට හාල් දෙන්න ගියා. අන්තිමේදී සම්බා රුපියල් දෙසීයට ගිහින් තමයි නතර වුණේ. දැන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් විදියට හමුදා නිලධාරියෙක් දාලා. මේ විදියට ගිහින් හමුදාවත් ෆේල් කරවන්න තමයි හදන්නේ.” මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා පැහැදිලි කළේය.
“මේ රට ඒකාධිපති තැනකට තල්ලු‍ කරලා අත්තනෝමතිකව මානව හිමිකම් උල්ලංඝණය කරන්න තමයි මේ හදන්නේ.” හේෂා විතානගේ පැවසුවේය.


“හදිසි නීතිය ගෙන ආ පලියට කොරෝනා රෝගීන් අඩුවෙන්නේ නැති බවත්, එන්නත් එන්නේ නැති බවත් ආණ්ඩුව තේරුම් ගන්න ඕන. අනික ආණ්ඩුව මේ ලෝක මට්ටමෙන්ම ලොකු ප්‍රශ්න ගොඩක් ඇතිකරගන්නයි හදන්නේ.” සජිත් කීවේ කොරෝනා තත්වය ගැන පැහැදිලි කරමිනි.


“කොරෝනා නිසා මියගිය අය ගැන ආණ්ඩුවට කිසිම ගානක් නෑ. දැන් කොරෝනා හැදුනේ නැති ගෙදරකින් අබ මිටක් අරගෙන එන්න කියන තත්වයකට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කොරෝනා නිසා මියගිය අය සිහි කරමින්, ඒ අයගේ පවුල්වලට සහනයක් වෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕනෑ.” එස්.එම්. මරික්කාර් කළ යෝජනාවට සියල්ලන්ගේම අනුමැතිය හිමිවිය.


“ඒකට වැඩසටහනක් යෝජනා කරන්න.” සජිත් කීවේය. එවිට මරික්කාර් කීවේ සෑම නිවසකම පහනක් දල්වා කොරෝනා උවදුරින් මිදීමට ප‍්‍රාර්ථනා එක් කළ යුතු බවය.


“ඒක හොඳ අදහසක්. වැඩේ හොඳින්ම කරන්න.”‍ සජිත් අනුමැතිය දුන්නේය.


ඒ අතරම ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීමේ ජාවාරම ගැනත් අවධානය යොමු විය.
“ලංකාවේ රෝහලකින් ඇන්ටිජන් පරීක්ෂණයක් කරන්න රුපියල් දෙද‌ාහක් යනවා. ඒත් රුපියල් 600 ට ඇන්ටිජන් පරීක්ෂණ කළ හැකි කට්ටල ලෝකයේ තියෙනවා. ඒවා ගෙන්වීමට ආණ්ඩුව අවසර දෙන්නේ නැත්තේ ගජමිතුරන්ට මේ ව්‍යාපාරය කරගෙන යන්න දෙන්න ඕනෑ නිසා වෙන්න ඇති.” සජිත් කීවේය.
“මේ ජාවාරමේ තරම කොහොමද කියලා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියලා තිබුණා. දැන් ජයරුවන් දඩයම් කරන්න ගනීවි.” ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයා කීවේය.


ජයරුවන් බණ්ඩාර ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගැන කරුණු අනාවරණය කිරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමට කැඳවා තිබුණේය. ඒ බව ආරංචි වූ වහාම රංජිත් මද්දුමබණ්ඩාර සජිත්ට ඒ බව දුරකතනයෙන් දැනුම් දුන්නේය.


“ජයරුවන් බණ්ඩාර දේශපාලනිකව අපිත් එක්ක හිටියේ නෑ. එහෙම වෙලත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා ප‍්‍රශ්න කරන්න හදනවා.” රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.
“රටේ ජනතාව වෙනුවෙන් ඇත්ත කියන කාට වුණත් මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. ඒක තමයි ආණ්ඩුවේ මර්දනය. මේ නිසා අපි අපේ නීතිඥයන්ගේ සහාය ඔහුට ලබාදෙන්න ඕන.” සජිත් කීවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය අතුරුදන්වීම ගැනත් සොයා බැලිය යුතු බව කියමිනි.
“ඒ විතරක් නෙවේ, අර අන්තරේ ළමයි තවම රඳවාගෙන. ඒ ළමයි මොන අපරාධයක් කළාටද? මේවා මානව හිමිකම් ඉස්සරහත් ප්‍රශ්න කෙරෙන වැඩ. ඒ ළමයි ගැන හොයා බලන්න.”‍ සජිත් සිය නීති උපදේශකයන්ට කීවේය.


සජිත් කියපු කතාව ඇමැති පිළිගනී - බෙහෙත ගේන්නත් අවසර


කොරෝනා ආසාදිතව කොවිඩ් නිව්මෝනියා තත්ත්වයට පත්වන රෝගීන්ට ලබාදෙන ඖෂධය හිඟවීම ගැන සජිත් පසුගිය දිනවලදී අවධානය යොමු කළේය. ඒ අතර කිසිදු රෝහලක එම ඖෂධය නොමැති වනවිට සජිත්ගේ හිතවතුන් පමණක් නොව ඔහු නොදන්නා අය පවා ඔහුට කතා කරමින් එම ඖෂධය ලබාගත හැකි තැනක් සොයා දෙන ලෙසට ඉල්ලීම් කරන්නට වූහ.


තමන්ට එන ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කළ සජිත් පෞද්ගලික රෝහල්වලට සම්බන්ධ තමුන්ගේ හිතවතුන් හරහා එම ඖෂධය සොයා දීමට කටයුතු කළේය. එතැනින් නොනැවතී පාර්ලිමේන්තුවේදී ද ඖෂධ හිඟය ගැන අවධානය යොමු කළේය.


ඒ අතරම වෙනත් රටවල කොවිඩ් රෝගීන්ට ලබාදෙන ඖෂධ ගැනත් ඔහු අවධානයෙන් සිටියේය. ඇමරිකාවේ සිටින සිය හිතවත් වෛද්‍යවරුන්ට කතා කර ඔහු ඒ ගැන විමසා සිටියේය.


කොරෝනා ආසාදිතයන් සදහා ජීවිතාරක්ෂක ඖෂධයක් ලෙස ලබාදෙන රීජන් කොව් නම් ඖෂධය ගැන සජිත් කීවේ ඒ අනුවය. අදාළ ඖෂධයට ඇමරිකාවේ සහ එක්සත් රාජධානියේ අනුමැතිය පවා හිමිව තිබුණි. මෙරට සෞඛ්‍ය විශේෂඥයන් පවා ඒ පිළිබඳව පවසා සිටියේ වහාම එම ඖෂධය ගෙන්වන ලෙසය.
එහෙත් සජිත් කී දේ හරි බව පිළිගැනීමට ආණ්ඩුව මුලදී අදි මදි කළේය. කෙසේ හෝ පසුව එය පිළිගැනීමට ආණ්ඩුවට සිදුවිය.


මුලදී එම ඖෂධය ගෙන්වීමට ඖෂධ නියාමන අධිකාරිය අවසර නොදුන්නත් පසුව එයට අවසර දුන්නේය. ඒ ගැන සජිත් මන්ත‍්‍රීවරු සමග කතා කරමින් කීවේ ආණ්ඩුව ජනතාවගේ ජීවිත ගැන සිතනවා නම් දෙයක් කියන්නේ කවුරුන්ද යන්න නොසිතා කුමක්ද කියන්නේ යන්න ගැන සිතා කටයුතු කළ යුතු බවය.


“විපක්ෂයෙන් හුස්මක්” කෝටි හත පනී


කොරෝනා ව්‍යාප්තියත් සමග ටික දිනකට නතර කර තිබූ “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන පසුගිය සතියේදී යළිත් ආරම්භ කළේය. ඒ රෝහල්වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදෙමින්ය.
මේ වනවිට එම වැඩසටහන හරහා රෝහල්වලට ලබාදී ඇති වෛද්‍ය උපකරණවල වටිනාකම රුපියල් කෝටි හත ඉක්මවා ගොස් තිබේ.


“සමගි ජන බලවේගය කියන්නේ සාම්ප‍්‍රදායික විපක්ෂයක් නෙමෙයි. ජනතාව ජීවත් කරවීම සඳහා ගත හැකි සෑම පියවරක්ම අපි ගන්නවා.” සජිත් කීවේ පසුගිය සතියේදී රෝහල්වලට වෛද්‍ය උපකරණ බෙදා දෙන අතරවාරයේදීය. 


ජනපතිට කී දේ රනිල් කත්‍යාධිකාරියට කියයි


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ මුළුමනින්ම මෙන් කාලය ගත කළේ පක්ෂ සම්මේලනය සංවිධානය කිරීම සඳහාය. එම සතියේ පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පක්ෂ සම්මේලනය සාර්ථකව පැවැත්වීමට දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබුවේය.


කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාකච්ඡාවට භාජනය වූ අනෙකුත් ප්‍රධාන කරුණ වූයේ කොරෝනා වසංගතයේ ව්‍යාප්තියයි.


රජයට කොරෝනා මර්දනය සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකසාගත නොහැකිව පුද්ගලයන් මාරු කරන බවත් යම් නිලධාරියකු කොරෝනා තත්ත්වය අධ්‍යයනය කර තේරුම් ගෙන වැඩ කිරීමට සූදානම් වන විට ඔහු මාරු කිරීම නිසා වසංගතයට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය. රටේ ආර්ථිකය ගොඩ ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් බවත් ජනාධිපතිවරයා හමුවී පැවති සාකච්ඡාව ගැනත් මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරි මණ්ඩලය හමුවේ පැහැදිලි කළේය.


එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ද පසුගිය සතිය පුරාම හෙටට යෙදී ඇති පක්ෂ සම්මේලනයේ කටයුතු මෙහෙයවීමේ යෙදී සිටියේය.


‘සූම්’ තාක්ෂණය ඔස්සේ දිස්ත්‍රික්ක මට්ටමින් සියලු‍ පළාත් පාලන නියෝජිතයින් ඇමතූ ඔහු සම්මේලනය පවත්වන ආකාරය පිළිබඳ උපදෙස් ලබා දුන්නේය. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ කටයුතු නියෝජ්‍ය නායකවරයාට පවරා තිබුණි.


පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර, සමන් රත්නප්‍රිය යන මහත්වරු ද ශාන්තිනී කෝන්ගහගේ මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

 

-ගජබා-



අදහස් (0)

ගුරු වැටුප් ප්‍රශ්නයට කැබිනට්ටුවේ තීන්දුව

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 131 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 332 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site