IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අලියා ද - හදවත ද? එජාපය දෙලොවක් අතර

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඉකුත් 10 වැනි සඳුද‌ා රැස්වීමට පෙර එදින උදය වරුවේ රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමද‌ාස මහතා සිරිකොතදී හමු වී කතා කළහ. එහිදී සන්ධානයේ මහලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීම පිළිබඳව හා සන්ධානයේ වැඩකටයුතු පිළිබඳව සාකච්ඡා විය. මෙම සාකච්ඡාවේදී කිසිදු ආකාරයකට පක්ෂ ලාංඡනය පිළිබඳ සාකච්ඡා වී තිබුණේ නැත.


ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රැස්කළ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවත්වුණේ ඉකුත් සඳුද‌ා සවස්වරුවේය. මේ සඳහා සජිත් ප්‍රේමද‌ාස මහතා ඇතුළු පිරිස සහභාගි වූයේ එජාපය තමන් පිහිටුවීමට සූද‌ානම් වන සන්ධානයට එකඟ නොවන්නේ නම් වෙනත් දේශපාලන ධාරාවකින් තරග කිරීමේ සූද‌ානම ඇතිවය. මේ සඳහා ‘අපේ ජාතික පෙරමුණ’ නමින් යුත් පක්ෂයක් ලියාපදිංචි කර තිබූ බව ඒ වනතුරුත් හෙළිව තිබුණේ නැත. එම පක්ෂයේ නායකයා සජිත්ය. මහලේකම් රංජිත් බද්දුම බණ්ඩාරය.


කෘත්‍යාධිකාරියේදී විවිධ වාද විවාද පැවත්වුණේ සුපුරුදු පරිදිය. එහිදී පාලිත රංගෙ බණ්ඩාර හා වජිර අබේවර්ධන දිගටම කීවේ මහ ඡන්දයට යූඇන්පී නියෝජනයක් අවශ්‍යම හෙයින් අලියාගෙන් තරග වැදිය යුතු බවය.


‘අලියා අපිට දෙන්න... අපේ සන්ධානයට අලියගෙ ලාංඡනය යොද‌ා ගන්නම්.’ රංජිත් මද්දුම බණ්ඩාර කීවේය.
‘ඒක කරන්න බෑ....’ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.
මහ මැතිවරණය ප්‍රකාශයට පත්කරන දිනය ආසන්නයටම පැමිණ ඇතත් සන්ධානයේ ඡන්ද ලකුණ ගැන විරෝධයක් මතුකොට සියල්ල කණපිට පෙරළන්නට ගන්නා වෑයම සජිත් පාර්ශ්වයේ බොහෝ දෙනෙක් විමසිල්ලෙන් සිටියහ. සජිත් නිතරම උත්සාහ කළේ සන්ධානයට අලියා ලකුණ දෙනවා නම් එය ඉත සිතින් භාර ගන්නටය. එහෙත් රනිල් පිලෙන් කීවේ අලියා ලකුණ එජාපයේ බවත් සියලු දෙනා එජාපයෙන් තරග කළ යුතු බවත් ය.
මෙය ජයග්‍රහණය බන්දේසියක තියා පොහොට්ටුවට පූජා කිරීමට යාමක් බව බොහෝ දෙනා කීහ.
කෘත්‍යාධිකාරි රැස්වීමේ සිටි සියලු දෙනා මොහොතකට නිහඬ වූයේ සජිත් නැගී සිටිනවාත් සමගය.


මම මේ පක්ෂයට ආදරෙයි. අලියා ලකුණට ඔය කාටත් වඩා මම ආදරෙයි. මගේ තාත්තා මිය ගියෙත් මේ පක්ෂය වෙනුවෙන්. ඒ පක්ෂයේ ලකුණ අලියා.
ඒ නිසා අලියා ලකුණ තියෙන මේ පක්ෂයට ආදරේ කරන්න කවුරුත් ටියුෂන් දෙන්න වුවමනා නෑ. දිනන්න සන්ධානයක් හදනවා නම් ඒකට නමක්, ලකුණක් තියෙන්න ඕනැ. මට කෝ වගකීම්. මම නිකං පඹයෙක් කියල ද හිතන්නේ.
කියා සජිත් ඇසුවේය. කිසිවෙක් කතා කළේ නැත. අනතුරුව සජිත් සිරිකොතින් පිටතට ආවේය. ඒ සමඟම නියෝජිතයින් විශාල පිරිසක් ශාලාවෙන් පිට වූහ.
විසඳුමක් නැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙන් පසුව සමහරු පදනමක් නැති ඕපාදූප මුද‌ාහැර තිබිණි.
සජිත් පක්ෂය හැර ගිහින් කියා යම් සටහනක් මන්ත්‍රීවරයෙක් සජිත්ට පෙන්නුවේය. එහි වූයේ සජිත් නව පක්ෂයක සභාපතිකම භාරගෙන නිසා ඔහුට එජාපයේ සාමාජිකත්වය අහෝසි වන බවකි.


‘ඕවට උත්තර දෙන්න කාලෙ නාස්ති කරන්න ඕන නෑ. පහුගිය ජනාධිපතිවරණෙට සන්ධානයක් හදන්න කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා සැප්තැම්බර් මස 23 ‘අපේ ජාතික පෙරමුණේ සභාපති කම ගත්තා. ඒකේ ලේකම් කළේ රාජිත ඇමැතිතුමා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යූ.එන්.පී. සාමාජිකත්වය අහෝසි වුණා ද? එහෙනම් මට කලින් ඒ වරද කරලා තියෙන්නේ පක්ෂේ නායකයනේ. ඕව තොත්ත බබාලගේ තර්ක? සජිත් කීවේය.
මේ අතර නව සන්ධානය පිළිබඳව බලාපොරොත්තු තවත් ශක්තිමත් වූයේ බද‌ාද‌ා (12) හවස නිකුත් වූ නිවේදනයකිනි. විපක්ෂනායක සජිත් ප්‍රේමද‌ාසගේ නායකත්වයෙන් බිහිකරන ‘පුළුල් ජනතා සන්ධානයට’ එක්වන බවට ප්‍රධාන පෙළේ පක්ෂ 3 ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේය. ඒ ජාතික හෙළ උරුමය, දමිළ ප්‍රගතිශීලී සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ තුනය. විජයග්‍රහණයක නව ඇරඹුමකට සන්ධානගත වීම යනුවෙන් නිකුත් කර ඇති නිවේදනයේ අවධාරණය කරන්නේ එළැඹෙන මහ මැතිවරණය උදෙසා නව සන්ධානයක් බිහි කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති අතර එලෙස පිහිටුවන සන්ධානයේ නායකත්වය, සන්ධාන මහලේකම් පත්කිරීම, අගමැති අපේක්ෂකත්වය මෙන්ම නාම යෝජනා කමිටුවේ ප්‍රධානත්වය ද විපක්ෂනායක සජිත් ප්‍රේමද‌ාස මහතාට පැවරීමට ද එකී කෘත්‍යාධිකාරි මණ්ඩලය තීන්දු කොට තිබේ.’


ඒ අනුව ජාතික හෙළ උරුමය, දමිළ ප්‍රගතිශීලී සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය යන දේශපාලන බලවේග ද නව සන්ධානය සමඟ අත්වැල් බැඳගන්නා බව එම නිවේදනය මගින් දැනුම් දී ඇත’ යනුවෙනි.


ඒ අනුව ඔවුන් සජිත් ප්‍රේමද‌ාස මහතාගේ නායකත්වයෙන් බිහිවෙන සන්ධානයට එක්වීමට තීන්දුකොට තිබේ. මේ අතර බද‌ාද‌ා රාත්‍රියේදී දිගම්බරන් ප්‍රකාශයක් කෙළේය.
මිනිස්සුන්ට ලකුණ වැඩක් නෑ. වැදගත් වෙන්නේ වැඩපිළිවෙළ. මිනිස්සු අලියට කතිරේ ගැහුවා. අලියා හංසයා වුණාමත් කතිරේ ගැහුවා. හදවත ආවමත් කතිරේ ගහනවා. අපි සජිත් ප්‍රේමද‌ාස මහත්තයාගේ නව සන්ධානයට සම්පූර්ණ සහාය දෙනවා. දිගම්බරන් කීවේය.


පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නුවරඑළියෙන් ජයග්‍රහණය කරවන්නට දිගම්බරන් විශාල මෙහෙවරක් කළේය.
කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වීමෙන් පසු සන්ධාන ලාංඡනය පිළිබඳව සජිත් හිතවාදී ජ්‍යෙෂ්ඨයන් පිරිසක් රැස් වී සාකච්ඡා කළහ. රංජිත් බද්දුම බණ්ඩාර, තලතා අතුකෝරළ, චන්ද්‍රාණි බණ්ඩාර ඇතුළු පිරිසක් මන්ත්‍රී නිවසකදී රැස්වී මෙම සාකච්ඡාව පැවැත්වූහ. අලියා ලකුණෙන් තරග කළහොත් නාමයෝජනා අත්සන් තැබීම, ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත්කිරීම සිදුවන්නේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කරන අකිල විරාජ් කාරියවසම් මහතාය. එවිට සිදුවෙන්නේ ප්‍රශ්නය විසඳුමකින් තොරව යළි මුලට ඇදගෙන යාම බව මෙහිදී රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. සජිත්ට සන්ධානයේ නායකත්වය ලබා දී රංජිත් මද්දුම බණ්ඩාර සන්ධානයේ ලේකම්වරයා වශයෙන් පිළිගනු ලැබුවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ක්‍රියාකරනු ලබන්නේ බලය තම අතේ තබා ගෙන බව මෙහිදී සාකච්ඡා කෙරිණි. එක්සත් ජාතික සන්ධානය වශයෙන් මැතිවරණයට ඉදිරිපත් වුවහොත් අපේක්ෂකයන් තේරීම, ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් තේරීම එම පක්ෂයේ ලේකම්වරයාට හිමිවීමෙන් සිදුවන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ළැදි පිරිසක් බිහිවීම බව ද මෙහිදී මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත. මීට පෙර අවස්ථාවකදීත් රාජිත සේනාරත්න මහතා ලේකම් වශයෙන් පත්කිරීමට අවශ්‍ය පෝරම පිරෙව්වත් එය ක්‍රියාත්මක නොවූ බව ද පෙන්වා දුන්නේය.


සන්ධානයේ නායකත්වය, ලේකම් තනතුර, අපේක්ෂකයන් තේරීම ඇතුළු සියලු කටයුතුවලට එකඟ වූ රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ පිරිසක් ලවා ලාංඡනය පිළිබඳව ප්‍රශ්නයක් ඇතිකර තිබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය බද‌ාදා යළි රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමද‌ාස මහතා අතර හමුවක් කොළඹ කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ පිහිටි වික්‍රමසිංහ මහතාගේ නිවසේදී සිදුවිය. මෙම හමුවට සහභාගි වූයේ එම දෙදෙනා පමණකි. එම හමුවේදී සාකච්ඡා වූ කරුණු ගැන පැහැදිලි යමක් අනාවරණය වී නැතත් සජිත් ප්‍රේමද‌ාස මහතා ඉන්පසු යම් කලකිරුණු ස්වරූපයක් පෙන්නුම් කළේය.


සිකුරාදා උදෑසන වනවිට එජාප අර්බුදය සාමකාමීව විසඳෙන ලකුණු පහළ විය.  
දෙපැත්තේ අර්බුදය සමථයකට පත්කිරීම සඳහා එජාප නායකයා සමග කතා කළ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කීවේ ‘නායකතුමනි, පක්ෂය කැඩෙන්න දෙන්න බෑ..... මම මහලේකම් ධුරයෙන් ඉවත් වෙන්නම්. ඔබතුමා දෙපාර්ශ්වය එකතු කරල මේ ප්‍රශ්නය විසඳගන්න’ යනුවෙනි.  
එයට එජාප නායකයා හිස සැලුවා මිස යමක් කීවේ නැත.  


අකිල ඉවත් වුවහොත් එම තනතුරට රංජිත් මද්දුම බණ්ඩාර හෝ වෙනත් අයකු පත් කෙරෙනු ඇත.  
එජාප නායක දිනපතාම සිරිකොතට යන අතර ආරවුල විසඳා එක්ව මහ මැතිවරණයකට මුහුණ දීමට අවශ්‍ය පියවර රැසක් ද මේ වන විට ගෙන තිබේ. විවිධ කණ්ඩායම් හා සාකච්ඡා කිරීම මෙන්ම නාම යෝජනා කැඳවීමට අද‌ාළ කටයුතු ද අරඹා ඇත.
සජිත් ඇතුළු පිරිස ද නව සන්ධානයට අද‌ාළ නිල දැනුම්දීම මැතිවරණ කොමිසමට මේ වන විට යවා කොමිසම විසින් එය පිළිගත් බවට ද පිළිතුරු ලැබී තිබේ. එහෙත් නව සන්ධානයේ නම ඉංග්‍රීසියට පෙරළු විට අද‌ාළ වචනවල මුලකුරුවල එකතුව යූ.ඇන්.පී. ලෙස කියවෙන නිසා එකී යෝජිත නම ඔවුන්ට දීම තුළ එජාපට අසාධාරණය විය හැකි බව එජාප නීති ලේකම් නිශ්ශංක නානායක්කාර කොමිසමට දැන්වීමත් සමඟ කොමිසම ද අලුත් ගැටලුවකට මුහුණ පා ඇතැයි දැනගන්නට ඇත.
එජාප නායක සිකොතට පැමිණි පසු එජාපයේ හා එජාපෙ විවිධ පක්ෂවල අය සමඟ නිරන්තර කතා බහ ද සිදුවේ.


නව සන්ධානයට හා විපක්ෂ නායකතුමාට එහි නායකත්වයත් නාම යෝජනා මණ්ඩලයේ ප්‍රධානත්වයත් දුන්න නිසා ඡන්දය ඉල්ලන ‘ලකුණ’ ගැන කඹ අදින එක අසාධාරණයි නේද? අලියාගෙන්ම යා යුතු නම් ඒ ලාංඡනයේ අධිකාරිත්වය නව සන්ධානයට පවරන්න.’ ජේ.සී. අලවතුවල එජාප නායකයාට ඍජුවම කීවේය.
එජාපයේ අලියා දශක ගණනක් එජාපයට තිබෙන අනන්‍යතාවයයි. ඒක වෙනත් පක්ෂයකට පවරන්න පාක්ෂිකයන් කැමති වෙන්නේ නැහැ. අප හැමද‌ාම මහා ඡන්දවලට ගියෙත් අලියාගෙන්.’ නායකයා ජේ.සී. අලවතුවලට පිළිතුරු දුන්නේ ඔහුගේ මතවාදී අරගල මධ්‍යයේය.
‘කඹ ඇදිලි ඔඩු ගිහින් විපක්ෂනායකතුමා හා ඒ කණ්ඩායම වෙනම ඉල්ලුවොත් මේ පිරිහුනු ආණ්ඩුවට බන්දේසියක තියා ජයග්‍රහණය දීමයි වෙන්නේ’ චම්පිකා ප්‍රේමද‌ාස සිය ස්ථාවරය එළිදැක්වූයේ දැඩි ස්වරයෙනි.


‘එජාපයෙන් කාටවත් කඩාගෙන යන්න තල්ලු කරන්නේ නැහැ. කඩාගෙන ගිය අයගෙන් ශ්‍රීලනිපය හද‌ා ගොඩ ගියේ බණ්ඩාරනායක මහතා විතරයි.’ නායකයාගේ විග්‍රහය එය විය.
‘මහින්ද පරණ විදියටම ප්ලේන් පුරවලා ආපහු පිටරට ට්‍රිප් යනවා. ගිහින් රටේ ගෞරවයත් හෑල්ලු කරලයි එන්නේ. වසර 3 කට ණය ගෙවන්න බැහැ. ලංකාව දරුණු ආර්ථික කඩා වැටීමකට ලක්වෙලා කියා ඉන්දියාවට කියපු එක රටේ ගෙළ සිඳ දැමීමයි. ණය ගෙවන්න බැරි රටකට මීට පසු ගිනි පොළියටවත් ණය ලැබෙන්නේ නැහැ. ආයෝජකයෝ එන්නෙත් නැහැ. කොටස් වෙළෙඳ පොළත් කඩාගෙන වැටේවි. ලක්ෂ්මන් කිරිඇල්ල කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළ විය.
‘ලෝක තෙල් මිල ඩොලර් 50 සීමාවට අඩුවෙලා. අපේ මිල සූත්‍රය තිබුණා නම් ඉන්ධන මිල රුපියල් 15 කින්වත් දැන් අඩු වෙන්න ඕනෑ. ඒත් මහ මැතිවරණය මැද පොඩ්ඩක් අඩු කර ඡන්දය දිනුවොත් දෙගුණයක් වැඩි කරන්න ආණ්ඩුව ප්ලෑන් ගහලා කියා ආරංචියි.’ දයා ගමගේ කී දේ සියලු දෙනා පිළිගත්හ.
‘එජාප කාලේ කෝටි 280 ක වාහන ගෙන්නලා කියා කෙනෙක් මරහඬ දුන්නා. ඒ ගෙනාපු වාහන බදු ගෙවලයි, අපේ කාලේ ගෙනාවේ. ඒ නිසා කෝටි 280 න් තුනෙන් පංගුවයි ආණ්ඩුවට ඇත්තටම වැය වෙලා තිබෙන්නේ.’ චම්පිකා ප්‍රේමදාස කීවේය.


‘අපේ කාලේ ගෙනාපු වාහන මේ ආණ්ඩුවේ ඇමැතිවරුන් පදින්නේ නැතුව වෙන්දේසි කරනවාද කියා රටට කියන්න ඕනෑ. රාජපක්ෂ යුගයේ චෝගම් සමුළුවට වෙඩි නොවදින වාහන 350 ක් ගෙන්නුවේ කෝටි 20,000 කට වැඩි මුදල් වියදම් කරලයි. ඒ වාහනවලට වුණේ මොකද කියලාවත් පාර්ලිමේන්තුවේ දඟලපු ඇමැතිවරයා රටට හෙළි කරන්න ඕනෑ.’ කේ.කේ. පියද‌ාස කීවේ සිනා මැදය.


පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේ දී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීර වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ආණ්ඩුවෙන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් දීර්ඝ පිළිතුරක් සභාගත කරන ලදී. ඒ පසුගිය ආණ්ඩුව සමයේ දී ඇමැතිවරුන් සඳහා ගෙන්වන ලද ලක්ෂ 28000 කට අධික සුඛෝපභෝගි වාහන ලැයිස්තුවක් පිළිබඳවය. ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා පිළිතුර සභාගත කිරීමට සැරැසෙන අවස්ථාවේ දී වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් කියා සිටියේ ‘ඇමැතිතුමා ඔබතුමා වාහන ලැයිස්තුව කියවන එක හොඳයි මොකද රට දැන ගන්න ඕනෑ ජනතා මුදල් භාවිත කරන ආකාරය ගැන’ යනුවෙනි. එයට ප්‍රතිචාර දක්වමින් ඇමැතිවරයා විසින් විනාඩි 20කට ආසන්න කාලයක් වාහන ලැයිස්තුව ප්‍රකාශයට පත් කළේය. එහි විශේෂත්වය වූයේ පසුගිය ආණ්ඩුව සමයේ එම සුඛෝපභෝගී වාහන ගෙන්වන ලද අැතැම් ඇමැතිවරුන් වත්මන් ආණ්ඩුවේ ද ඇමැතිවරුන් වීමය.


වෛද්‍ය නලින්ද ජයතිස්ස පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්ගෙන් විමසා සිටියේ මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග ගැන උපදෙසක් ලබා ගැනීමටය. “දෙපැත්තෙන්ම කන ඇමැතිලා ටික තමයි මේ කලබල වෙලා ඉන්නේ. කොහොම වුණත් මේවා ජනතාවගේ බදු මුදල්. ලක්ෂ 28000ක්. අපි සීඅයිඩියට පැමිණිල්ලක් දාමු වාහනවලට මොකද වුණේ කියලා හොයන්න කියලා. වටගල සහෝදරයා එක්ක නීතිමය තත්ත්වය කතාබහ කරගමු” විජිත හේරත් කියා සිටියේය. ඒ අනුව වාහන සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත් කිරීම පෙ.බ. 13 වෙනිදා පස්වරුවේදී සිදු කිරීමට කටයුතු සංවිධානය විය.

 

-ගජබා-



අදහස් (0)

අලියා ද - හදවත ද? එජාපය දෙලොවක් අතර

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 127 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 401 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 332 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site