IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුව ඇතුලේ මත ගැටුම්

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඉකුත් බ්‍රහස්පතින්දා හැන්දෑවේ කොටුව ජනාධිපති මන්දිරයට කැඳවූයේ ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවෙනි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ මැති ඇමැතිවරුන් ද සහභාගි වූ මේ හමුවට අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටු විය යුතු බවට ප්‍රසිද්ධියේ පෙනී සිටින ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු දස දෙනා ද සහභාගි වූහ. ඊට අමතරව, අර්බුදය විසඳා ගැනීම සඳහා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව කියන ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චරිත හේරත් සහ අරුන්දික ප්‍රනාන්දු ද ඊට එක්ව සිටියහ. 


ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මුලින්ම කරුණු පැහැදිලි කරන්නැයි දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා මුදල් ඇමැති අලි සබ්‍රිට ආරාධනා කළේය. ඒ අනුව ඔහු රටේ ආර්ථික තත්ත්වය ගැනත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරන සාකච්ඡාවල ප්‍රතිඵල ගැනත් දීර්ඝ විස්තරයක් කළේ ආර්ථිකය ඉතාම අමාරු තැනකට වැටී ඇති බව පෙන්වා දෙමිනි.”‍ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බැලු‍වේ අපිට ණය ගෙවන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවද කියලා. ඒ වගේම ස්ථාවර ආණ්ඩුවක් තියෙන්නත් අවශ්‍යයි. සබ්‍රි කීවේය.


ඔහුගේ පැහැදිලි කිරීමෙන් අනතුරුව කතා කළේ කංචන විජේසේකර ඇමැතිවරයාය. ඉන්ධන අර්බුදය හා විදුලි අර්බුදය සම්බන්ධයෙන් ඔහු දීර්ඝ විස්තරයක් කළේය. ඉදිරි මාස දෙක සඳහා අවශ්‍ය ඉන්ධන ඇණවුම් කර ඇති බව කී විජේසේකර ඇමැතිවරයා විදුලිබල කප්පාදුව ද අඩුකර ගැනීමට කටයුතු කරගෙන යන බව කීවේය. ගෑස්වල වත්මන් තත්ත්වය ගැන පැහැදිලි කළේ සේමසිංහ ඇමතිවරයාය.


මේ අතර, කෘෂිකර්මය සහ පොහොර අර්බුදය සම්බන්ධයෙන් ජානක වක්කුඹුර සහ ශාන්ත බණ්ඩාර යන දෙදෙනා පැහැදිලි කළහ. ඔවුන් දෙදෙනාගේ පැහැදිලි කිරීමෙන් අනතුරුව කතා කළ අම්පාර වීරසිංහ මන්ත්‍රීවරයා කීවේ පොහොර අර්බුදය ඉතා බරපතළ වී ඇති බවකි. මේ වෙලාවේ හේන් ගොවීන් එළියට බැස්සොත් ප්‍රශ්නය මීට වඩා දරුණු වන බව ඔහු කීවේය.


ආර්ථිකය, ඉන්ධන සහ පොහොර අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡාව මතුවිය. අරුන්දික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතු යැයි යෝජනා කරන කණ්ඩායමේ සිටින රාජ්‍ය ඇමැතිවරයෙකි. ‘‘අගමැතිතුමා මේ රටේ අවුරුදු 30ක යුද්ධය ජයග්‍රහණය කරපු නායකයා. අපි රාජපක්ෂ පවුලට හරි හරිම ආදරෙයි. නමුත් රටේ ඉන්න බොහෝ දෙනෙකුට මේ සම්බන්ධයෙන් විවිධ මත තියෙනවා. මෙතන ඉන්න අයටත් එහෙම මත තියෙනවා. මේ රටේ අර්බුදය විසඳන්න නම් අපි එකතු වෙලා තීන්දුවක් ගන්න ඕනැ. දැන් සර්ව සර්වපාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාවක් ඇවිත් තිබෙනවා. අගමැති තුමා ඇතුළු කැබිනට් මණ්ඩලය අයින් වෙලා ඒකට ඉඩ දෙන්න ඕනෑ කියලා කියනවා. ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න ඕනැ. අගමැතිතුමයි ජනාධිපතිතුමායි පවුලේ අය කතා කරල මේ සම්බන්ධයෙන් තීන්දුවක් අරගන්න. මොකද අපි බෙදිලා වැඩ කරලා වැඩක් නැහැ.’’ අරුන්දික කීවේය. අරුන්දික කී කතාවට පිළිතුරු දුන්නේ නාමල් රාජපක්ෂ මහතාය. පවුලේ අය කතා කරලා තීන්දුවක් ගන්න ඕනෑ කියලා අරුන්දික මන්ත්‍රීතුමා කිව්වා. එහෙම අපි මේවා පවුලෙ කතා කරන්නේ නෑ.
මේක පවුලක ප්‍රශ්නයක් නෙමේ. මේක පක්ෂයේ ප්‍රශ්නයක්. එනිසා පක්ෂය කතා කරලයි තීරණය කරන්න ඕනැ.’’ නාමල් කීවේය.


මේ අතරේ සනත් නිශාන්ත රාජ්‍ය ඇමැතිවරයාද කතාබහට එක්විය. ‘‘අපි අලු‍තින් ඇඳුමක් මහන්නෙ නැතිව ඇඳුම් ගලවලා වැඩක් නෑ. එහෙම වුනොත් නිරුවත් වෙලා ඉන්න වෙන්නේ. අරුන්දික ඇමතිතුමා කියන යෝජනාව හොඳයි. හැබැයි ඔය කියන පාර්ශ්ව ගෙනත් කතා කරල ඉන්න. එහෙම නැතුව අපි අයින් වෙලා වැඩක් නෑ.’’ සනත් නිශාන්ත කීවේය.


කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයා ද කතා කළේය. මම එච්චර කතා කරන්නේ නෑ මේ සම්බන්ධයෙන්. නමුත් අද මම කතා කරනවා.. මේක ඉතාම බරපතළ තත්ත්වයක් තියෙන්නේ... අපේ ආණ්ඩුවට 159 ක් තිබුණා. දැන් ඒක අඩු වෙලා හතලිස් ගාණට. අපි බෙදිලා හරියන්නෑ. තීන්දුවක් ගන්න ඕනැ එකතුවෙලයි. අපි මොනවා හරි විසඳුමක් ගන්න ඕනැ. කෙහෙලිය කීවේය.


පවිත්‍රා වන්නිආරච්චි හිටපු ඇමැතිවරිය අනතුරුව කතා කළාය. අපි ඉන්නේ ඉතාම අමාරු අවස්ථාවක. මේකට පියවරක් ගන්නවා නම් අපි එකතු වෙලා තීන්දුවක් ගමු. අගමැතිතුමා ඉල්ලා අස්වෙනවා නම් ඒක තීන්දු කරන්න ඕනැ අගමැති තුමාමයි. අපට 113ක් තියෙනවා. වෙන කාට හරි 113 පෙන්වන්න පුළුවන් නම් අපි ආණ්ඩුව දෙමු. එහෙම නැතුව අගමැතිතුමා ඉවත් කරනවාට අපි කැමති නෑ. පවිත්‍රා කීවාය.
ජනාධිපතිවරයා කතා කළේ ඉන් අනතුරුවය “මම ඉල්ලීමක් කරනවා මෙතන කිසිම බෙදීමක් හදන්න එපා කියලා. මම කොයිම වෙලාවකවත් කියලා නෑ අගමැතිතුමාට අයින් වෙන්න කියල. අයින් කරනවා කියලත් නෑ. ඒ නිසා බෙදීම් හදන්න එපා. මට පක්ෂය බෙදන්න ඕනැ නෑ. පවතින තත්ත්වය තේරුම් ගන්න ඕනැ. අපි එකතුවෙලා මේ ප්‍රශ්නය විසඳන්න ඕනැ. විවිධ මත ඇවිත් තියෙනවා. ඒව ක්‍රියාත්මක කරන්න පුලු‍වන්ද කියලා බලන්න ඕන. එහෙම නැතුව කවුරුවත් අගමැතිතුමා අයින් කරනවා කියලා කිව්වේ නෑ. මේ සියල්ල දිහා බලල රටට යහපතක් වෙන දේවල් කරන්න ඕන. මං නැවතත් කියන්නේ අගමැතිතුමාට මම අයින් වෙන්න කිව්වෙත් නෑ, අයින් කරනවා කිව්වේත් නෑ. ජනාධිපතිවරයා කීවේ තරමක ආවේගයෙනි.


ආණ්ඩුපක්ෂ රැස්වීම ඇවිලී ගියේ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ වාග් බෝම්බයක් හේතුවෙනි. ‘‘මේ ඔක්කොම කතා කරන්නේ වක්‍රව. සමහරු කියනවා අගමැතිතුමා අයින් වෙන්න ඕන කියලා. ජනාධිපතිතුමා අයින් වෙන්න කියලා තව අය කියනවා. අපිට 113 තියෙනවා. අපි මොකටද එක එක්කෙනාට අපේ බහුතරය පෙන්නන්නෙ. අපි ආණ්ඩුව කරගෙන යමු. කවුරුහරි 113 පෙන්නුවොත් අපි ආණ්ඩුව දීලා විපක්ෂයට යමු. එහෙම නැතුව මේ එළියෙ ඉඳන් විමල් වීරවංශයි උදය ගම්මන්පිලයි කියන දේවල් අපි කරන්න ඕන නෑ. ඒගොල්ලො කියන්නේ අගමැතිතුමා අයින් කරන්න කියලා. එතන ඉන්න ඩලස් ඇමතිතුමා වගේ අයත් කෙළින් කිව්වේ නැති වුණාට අගමැතිතුමාට අයින් වෙන්න කියලා කියන්නේ. එතුමා අගමැති වෙන්න බලන්නෙ. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්න නිසා එතුමා ඒකට කෙළින් ඉදිරිපත් වෙන්නේ නෑ. කුට්ටිආරච්චි කීවේය.
කුට්ටිආරච්චිගේ කතාවට ඩලස්ට යකා නැග්ගේය. “කුට්ටිආරච්චි මන්ත්‍රීතුමා, ඒ කතාව ගැන මම ඉතාම කනගාටු වෙනවා. මම හිතාගෙන හිටියේ මේ රැස්වීම කැඳවල තියෙන්නේ වැදගත් දෙයක් ගැන කතා කරන්න කියලයි. එළියේ රට ගිනි ගන්නවා. අපි මෙතන ඇවිල්ල විකාර දොඩවනවා. මෙහෙම සාකච්ඡාවක් කියලා දැනගත්ත නම් මම මේකට එන්නේ නෑ. මම මේකට සහභාගී වීම ගැන කනගාටු වෙනවා. කුට්ටිආරච්චි මන්ත්‍රීතුමා කියනවා මම කුමන්ත්‍රණ කරනවා කියලා. මම කුමන්ත්‍රණකාරයෙක් නෙවෙයි. මම කරන දේ කෙළින් කියන කෙනෙක්. එහෙම නැතුව තැන් තැන්වල කුමන්ත්‍රණ කරන්නේ නෑ. මං කියන්න ඕන දේ කෙළින්ම කිව්වා. මං ජනාධිපතිතුමාට ගිහිල්ලා කරන්න ඕන දේ ගැන ලියුමක් අතට දීලා කතා කළා. එහෙම නැතුව කුමන්ත්‍රණ කරන්නෙ නෑ. අනෙක මම දන්නවා මෙතන සමහර අය සෝෂල් මීඩියාවලින් මට ගහනවා. මගේ උස ප්‍රශ්නයක් කරගෙන මට ගහනවා. හැබැයි එකක් මතක තියාගන්න. මම මිටි වුණාට මගේ ආත්ම ශක්තිය එවරස්ට් කන්දටත් වැඩිය ශක්තිමත්. ඒක නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ගැන අපි බොහෝ කාලයක් ඉඳලා දන්නවා. එතුමා ඉවත් කරන්න අපි කාටවත් ඕන කමක් නෑ. එතුමත් ඒක දන්නවා. චන්ද්‍රිකා මැඩම්ගේ ආණ්ඩුවෙන් අයින් වෙලා ඇමරිකාවට ගිහිල්ලා ඉන්නකොට මට එන්න කියලා කතා කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. අපි දෙදහස් පහේ වැඩ කරනකොට ඔයා කොහෙද හිටියේ. නිකන් කෑ ගහන්න එපා.. ඔයා කුලී හේවායෙක්. ඩලස් කීවේ තරමක ආවේගයෙනි.
දෙදෙනා අතර වාදය දුර දිග යාමට ඉඩ නොදී අගමැතිවරයා ඊට මැදිහත් විය. “මම ඉස්සරහ ඩලස්ට මොනවත් කියනවට මම කැමති නෑ. ප්‍රශ්න ඇතිකරගන්න අවශ්‍ය නැහැ. ඩලස් අපි වෙනුවෙන් රට වෙනුවෙන් කරපු දේවල් අපි දන්නවා. මම ජනාධිපති වෙලා ඉන්න කාලේ මං එතුමගෙන් උපදෙසුත් ගත්තා. ඒක නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා. ඩලස් ඇමතිතුමා මගේ හොඳ මිත්‍රයෙක්”‍ අගමැතිවරයා කීවේය.
මේ කතාබහට ජනාධිපතිවරයා ද සම්බන්ධ විය. ඩලස් ඇමතිතුමායි අපේ අගමැතිතුමායි හොඳ මිත්‍රයෝ. ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා. ඒ වගේම අගමැතිතුමයි මමයි පොඩි කාලේ ඉඳලා එකට හැදුණු වැඩුණු සහෝදරයෝ කියලත් අමතක කරන්න එපා. ඒ හින්දා කවුරුවත් මේ ගැන කලබල වෙන්න අවශ්‍ය නෑ”‍ යැයි ජනාධිපතිවරයා කීවේය.
අනතුරුව ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කතා කළාය. ආණ්ඩුව ගන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නෙත් නෑ. සමගි ජන බලවේගය ඉදිරිපත් වෙන්නෙත් නෑ. ජේවීපී එක ඉදිරිපත් වෙන්නෙත් නෑ. ඒ කිසි කෙනෙකුට වැඩපිළිවෙළකුත් නෑ.


ඒ නිසා ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා ඉවත් වෙන්න අවශ්‍ය නෑ. රට ගොඩගන්න පුළුවන් ඔබතුමාල දෙන්නට විතරයි. ඒ නිසා අපි මේ කතාව මෙතනින් නතර කරමු යැයි ඩයනා ගමගේ කියද්දී අගමැතිවරයාද කීවේ ‘අපි එහෙනම් රැස්වීම ඉවරකරමු’ කියාය. එසේ කියමින් අගමැතිවරයා සභාවේ කටයුතු අවසන් කළේය. කෙසේ වුවද රැස්වීමේ කටයුතු අවසන් වීමට පෙර ඩලස් එතැනින් පිටව ගොස් තිබිණි.
පිහිටුවන්නට යන අන්තර්කාලීන ආණ්ඩුවේ ව්‍යුහය සම්බන්ධයෙන් ස්වාධීන කණ්ඩායමේ නායකයෝ පසුගිය සතිය පුරා සකස් කරමින් සිටියහ. ඒ සඳහා නීතිමය වශයෙන් මූලිකත්වය ගෙන සිටියේ විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාය. මේ සම්බන්ධ සාකච්ඡා වට ගණනාවක් ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ කාර්යාලයේ දී පැවැත්වුණේ පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙනි. අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද අමරවීර, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් වරින් වර ඊට සහභාගි වූහ.


නව කැබිනට් මණ්ඩලය ඉකුත් සඳුදා රාත්‍රී ජනාධිපති මන්දිරයේ දී රැස් වූයේ පළමු වතාවටය. එහි මුලසුන ගත්තේ ජනාධිපතිවරයාය. මුදල් ඇමති අලි සබ්‍රි මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරන සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් පැහැදිලි කළේය. එමෙන්ම රටේ මූල්‍ය තත්ත්වය ඉතාම බරපතළ ලෙස පිරිහී ඇති බව ඔහු කීවේ උදාහරණ සපයමිනි. 2015 රාජ්‍ය සේවය සඳහා රුපියල් 10,000 කින් පඩි වැඩිකිරීමට මාසෙකට රුපියල් බිලියන 180ක අමතර මුදලක් වැය කරන්නට සිදු වූ බවත්, එහෙත් එම මුදල් ලැබෙන්නේ කෙසේද යන්න ගැන කිසිවකුත් නොදැන සිටි බවත් ඔහු කියා සිටියේය.


මේ අතර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයා වරාය සම්බන්ධ කැබිනට් සටහනක් ඉදිරිපත් කර තිබිණි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු පර්යන්තයේ නැව් ගාස්තු අයකිරීමේ දී මෙතෙක් අයකර ඇත්තේ රුපියල්වලින් බවය. වරායේ පෞද්ගලික සමාගම සතු පර්යන්ත දෙකම ඩොලර් පමණක් අය කරද්දී වරාය අධිකාරිය සතු පර්යන්තයෙන් රුපියල් පමණක් අය කිරීම ගැටලු‍ සහගත බැවින් වහාම ජූනි පළවෙනිදා සිට ඩොලර් අය කිරීමට තීරණය කර ඇති බව ඔහු දැනුම් දුන්නේය.
එකී රැස්වීම අවසානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ හමුවක් ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරු දෙදෙනා ද ඊට සහභාගී වූහ. ආණ්ඩුවට එරෙහිව රට පුරා නැගෙන විරෝධය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග එහිදී සාකච්ඡා වූ බව දැනගන්නට ඇත. අගමැතිවරයා ඉවත්වී නව අගමැතිවරයකු යටතේ කැබිනට් මණ්ඩලයක් පත්කිරීම සම්බන්ධයෙන්ද එහිදී යම් සාකච්ඡාවක් වූ බවත් දැනගන්නට ඇත.


කෙසේ වුවද පසුදින අගමැතිවරයා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සහ පළාත් සභාවල හිටපු මන්ත්‍රීවරුන් අරලියගහ මන්දිරයට කැඳවීය. එහිදී විමලවීර දිසානායක ඇතුළු මන්ත්‍රීවරු කිහිපදෙනකුද පළාත් සභාවල හිටපු නියෝජිතයන් කිහිප දෙනෙකු ද දිගින් දිගටම අගමැතිවරයා වෙනුවෙන් පෙනී සිටිමින් කියා සිටියේ අගමැතිවරයා කිසිසේත් ඉවත් නොවිය යුතු බවය.
අගමැතිවරයාද කීවේ තමා අගමැති ධුරයෙන් ඉවත් නොවන බවය. කවුරුන් හෝ 113 පෙන්වන්නේ නම් තමා ඉල්ලා අස්වන බව අගමැතිවරයා කීවේය.


අගමැතිවරයා ඊළඟ දවසේ ප්‍රාදේශීය සභා, නගර සභාවල සභාපතිවරුන් අරලියගහ මන්දිරයට කැඳවීය. එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අගමැතිවරයා වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටිමින් කියා සිටියේ අගමැතිවරයා ඉවත් කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවය.

 

‘‘කපුටුකාක්’’ සමග විපක්ෂයේ  පාගමන

 

විපක්ෂනායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පසුගිය සතියේ මහනුවර බලා පිටත්ව යාමට පෙර බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති විද්වත් කතිකාවට සම්බන්ධ වූයේ පක්ෂය සමග සම්බන්ධ වී සිටින විද්වත් වෘත්තිකයින් හමුවෙමිනි.
පා ගමන ආරම්භවීමට පෙර දිනයේදී මහනුවර බලා පිටත්ව ගිය සජිත් එදින රාත්‍රිය මහනුවර ගත කළේය. පසුදා උදෑසන හයට ඔහු දළදා මාලිගාවට ගියේ, දළදා වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීමටය. ඉන් පසුව මහනායක හිමිවරුන්ද බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.
එදින පෙරවරු නවයට මෙම පාගමන ආරම්භ වූ අතර ඊට පැයකට පමණ පෙර සිටම දහස් ගණනක ජනකායක් මහනුවර නගරය වෙත පැමිණෙමින් සිටියහ. මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ආසන සියල්ල ආවරණය වන පරිදි පැමිණි ජනකායගෙන් පෙරවරුවේ මහනුවර නගරය පිරී ඉතිරී ගියේය. පෙරවරු 8 ට ආරම්භ කිරීමට නියමිතව තිබූ පෙළපාළිය පෙරවරු නමය හමාර වන තෙක් ආරම්භ කිරීමට නොහැකි වූයේ ඊට එක්ව සිටි විශාල ජනකාය හේතුවෙනි. මහනුවර පොදු වෙළෙඳපළ අභියසින් ආරම්භ වූ පෙළපාළිය පේරාදෙණියට ළඟා වන විට දහවල් 2 පමණ විය.


පැමිණ සිටි විශාල ජනකාය හේතුවෙන් සංවිධායකයන්ට පාගමනේ පෙළපාළිය හසුරුවා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ අතර හරින් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර, කිංස් නෙල්සන්, නලින් බණ්ඩාර, හර්ෂ ද සිල්වා ඇතුළු මන්ත්‍රීවරුන් පෙළපාළිකරුවන් හැසිරවීමේ කටයුතුවල යෙදෙනු දැකිය හැකි විය.
“පළමුවෙනි දවසෙ මේ තරම් සෙනගක් එයි කියලා හිතාගන්න බැරිවුණා”‍ මහලේකම් රංජිත් කීවේ අසල සිටි ලක්ෂ්මන් කිරිඇල්ලට ය.


“කිරිඇල්ල ඇමැතිතුමා වැඩක් කළොත් ඉතින් උපරිමයිනෙ”‍ ගයන්ත කීවේය.
“නුවරින් පා ගමන් ගියපු හැම වතාවෙම නතර වුණේ ආණ්ඩු පෙරළිලා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා පා ගමනක් ආවා. මැතිනිගේ ආණ්ඩුව පෙරළුණා. ගාමිණි අතුකෝරල මහත්තයා එහෙම ජන බල මෙහෙයුමක් ආවා. චන්ද්‍රිකාගේ ආණ්ඩුව පෙරළුණා. මෙදා වෙන්නෙත් ඒකමයි”‍ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර අතීතය සිහිපත් කරමින් කීවේය.
මග දෙපස සිටි ජනතාවගෙන් පෙළපාළියේ ගමන් ගන්නා පිරිස්වලට දිරිගැන්වීම් මෙන්ම සටන් පාඨ කියමින් සහයෝගය ද ලබා දෙනු දැකිය හැකි විය. බොහෝ ස්ථානවල සිසිල් පැන් ලබා දෙමින් පෙළපාළිකරුවන්ගේ විඩාව සංසිඳුවා ගැනීමට මග දෙපස සිටි පිරිස් උනන්දුවෙන් දායක වූහ.
මාර්ගයේ ගමන් කරමින් තිබුණු වාහනවලින් ද එවැනිම සහයෝගයක් හිමිවිය. සෑම වාහනයකින් ම “කපුටු කාක් කාක්”‍ යනුවෙන් නළා වාදනය කොට සහයෝගය දක්වනු ලැබීය.


පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආසන්නයට පෙළපාළිය පැමිණෙන විට විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයේ ජනතාවාදී බුද්ධි මණ්ඩපයට අනුබද්ධ විශාල පිරිසක් එක්ව විපක්ෂ නායකවරයාව පිළිගනු ලැබීය.
පළමු දිනයේදී පෙළපාළිය අවසන් කළ සජිත් රාත්‍රී ආහාරය ගැනීමට පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබුණේය. ගමන් වෙහෙස නොතකා සජිත් රාත්‍රී වන තුරුම පා ගමනේ සංවිධාන කටයුතු ගැනත්, පාර්ලිමේන්තුවේ දේශපාලන කටයුතු ගැනත් අවධානය යොමු කළේය.


“නායකතුමාට මහන්සි නැද්ද පයින් ගිහින්” ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා ඇසුවේය.
“මට මොන මහන්සියක්ද? මට මේවා හොදට පුරුදුයි” සජිත් කීවේ පේරාදෙණිය නගරයේ බොහෝ පිරිසක් එක්ව සිටීම හේතුවෙන් ඔවුන්ට තමන් නොපෙනුණු නිසා වාහනයකට නැග ටික දුරක් ගමන් කිරීමට සිදුවූ ආකාරයද කියමිනි.
“සුද්දෝ අපේ රට යටත් කරගත්තේ නුවර අල්ලලා. අපි නුවරින් පටන්ගෙන කොළඹට ඇවිත් රාජපක්ෂලා එලවනවා” නලින් බණ්ඩාර කීවේය.
ජන බල මෙහෙයුමේ අපි ආපු හැටි මතකයි. එතකොට ගාමිණී අතුකෝරල ජීවතුන් අතර. ගාමිණි පා ගමනේ මුල ඉඳලා අගටම අපිත් එක්ක ආවා” රාජිත සේනාරත්න කීවේ අසල සිටි තලතා අතුකෝරල පෙන්වමිනි.
“අපේ අයියා පයින්ම කොළඹට ආවා වගේ නායකතුමත් පයින්ම කොළඹට එනවානේ” තලතා අතුකෝරල මන්ත්‍රීවරිය අසන විට සජිත් කීවේ තමන් ජනතාව සමග පයින්ම කොළඹට එන බවය.
“අපි පා ගමන ආවාට පාර්ලිමේන්තුවේ තියෙන වැඩ කොටස අතපසු කරන්නේ නෑ. මම පාර්ලිමේන්තුවේ වෙන හැම දෙයක්ම බලාගෙන ඉන්නේ” මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.
සජිත් ප්‍රමුඛ මන්ත්‍රීවරුන් පා ගමනින් කොළඹ එද්දී ආණ්ඩුවේ ඇමැතිකම් දැරූ කණ්ඩායමක් සජිත්ට නොයෙක් චෝදනා කරමින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා තිබුණේය. මේ ගැන සජිත්ගෙන් පක්ෂයේ නායකයන් විමසූ විට ඔහු කීවේ මම අද සවස ඒකට උත්තර දෙනවා යැයි කියාය. රාජපක්ෂවරුන්ගේ සෙරෙප්පු සුප් බීපු අයගේ කතාවලට තමන් කලබල නොවන බව සජිත් කීවේ ජනතාව අතර සිටිමින්ය.
මේ අතර මාවනැල්ලේදී ජනතාව ඇමතූ සජිත් එම චෝදනාවන්ට උත්තර දුන්නේය. එදින ජාත්‍යන්තර කපුටු දිනය වීමත් විශේෂ විය.


“අද ජාත්‍යන්තර කපුටු දිනයයි. අනෙක් හොර කපුටගෙන් පෝෂණය වුණු පංගුව ගත්තු බැසිල් රාජපක්ෂගේ සෙරෙප්පු සුප් බීපු කණ්ඩායම් තමන්ට සහ සමගි ජනබලවේගයට හොර හැත්තත් එක්ක ඩීල් දානවා යැයි චෝදනා කරනවා. රට කාපු හොර හැත්තත් එක්ක සමගි ජන බලවේගය සමගි ජන සන්ධානය හෝ සජිත් ප්‍රේමදාස ඩීල් දමන්නේ නෑ” සජිත් උත්තර දුන්නේය.

 

පෙළපාළියට කපුටෙක් ආපු හැටි

 

 

මහනුවරින් පෙළපාළිය ආරම්භ වන විට ට්‍රක් රථයක විශාල කපුටෙක් රැගෙන ඉදිරියට ආවේය. මෙම කපුටා නිර්මාණය කිරීමට මූලිකත්වය ගෙන තිබුණේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාය.
ඔහු තමන්ගේ හිතවත් කණ්ඩායමකට දැනුම් දී තිබුණේ නුවරට පැමිණ කපුටෙක් නිර්මාණය කරන ලෙසය. සාටකයක් දමාගත් කුඩා ප්‍රමාණයේ කපුටෙක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබුණත් හරින්ට අවශ්‍ය වී තිබුණේ තරමින් විශාල කපුටෙක් නිර්මාණය කිරීමටය. එවැනි විශාල කපුටෙක් නිර්මාණය කරන්නේ නම් වාහනයක් අවශ්‍ය බව පවසා තිබූ අතර හරින් නුවර සිටින තවත් හිතවතකු ලවා වාහනයක් සූදානම් කර දුන්නේය.


මේ අතර සම්පූර්ණ පා ගමන සජීවීව විකාශය කිරීම සඳහා අවශ්‍ය කටයුතුද සම්පාදනය කරනු ලැබුවේය. ඒ අනුව හරීන් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික කණ්ඩායමක් සහ කැමරා සහිත බස් රථයක්ද එතැනට යොමු කරවා තිබුණේය.
පා ගමනේ සංවිධාන කටයුතු බොහෝමයක් රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, එස්.එම්. මරික්කාර් සහ නලින් බණ්ඩාරගේ කර මත පැටවී තිබුණි. ඒ අනුව පෙළපාළියේ තැනින් තැනට යමින් එක පෙළට පෙළපාළිය හසුරුවාගැනීමට ඔවුහු වෙහෙස වූහ.

 

සජිත්ගේ පොටෝග්‍රැෆර්  මනුෂ

 

මේ අතර පෙළපාළිය මාවනැල්ලේ සිට ඉදිරියට පැමිණෙන විට විශාල වර්ෂාවක් ඇද වැටුණේය. වැසි නොතකා පා ගමන ඉදිරියට ගමන් කළ අතර සජිත්ට වාහනයකට ගොඩවන ලෙස ආරක්ෂක නිලධාරීහු දැනුම් දුන්හ.
“මට වාහනයේ යන්න ඕන නෑ. මම මිනිස්සුත් එක්කම ඉදිරියට එන්නම්” කී සජිත් වැස්සේම ඉදිරියට ආවේය.
වැස්සේ ඉදිරියට එන සජිත්ගේ ඡායාරූප ගැනීමට ඡායාරූප ශිල්පියෙක් කටයුතු කරමින් සිටියේය. එතැනට පැමිණි සජිත් කැමරාව ඔහුගෙන් ඉල්ලා ගත්තේය.
“මගේ පොටෝ නෙමෙයි, මේ එන අයගේ පොටෝ තමයි ගන්න ඕනැ”කී සජිත් කබීර් හෂීම් ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ඡායාරූප ගත්තේය. සජිත් ඡායාරූප ගන්නා ඡායාරූප ගත්තේ මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාය.

ඉදිරි මාස තුනේදී ආර්ථික  අර්බුදය උග්‍රයි

 

ලබන ජුනි, ජූලි මාස වනවිට රටේ ආර්ථික අර්බුදය වඩාත් තීව්‍ර වන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාවේදී ඉකුත් සතියේදී සාකච්ඡාවට භාජනය වී ඇත.
ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගමදී පක්ෂයේ විධායක සභාව රැස්විය.


එහිදී පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා රටේ දේශපාලන තත්ත්වය හා පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව විධායක සභාවට කරුණු පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා ඉවත් කිරීම සඳහා දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම දුෂ්කර කරුණක් බව පෙන්වා දුන් ඔහු රජය ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට සහාය දිය යුතු බව ප්‍රකාශ කළේය. එම අදහස විධායක සභාවද ස්ථිර කළේය.
ලබන 6 වැනිදා පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරය පිළිබඳව මහින්ද ජයසිංහ හා වසන්ත සමරසිංහ යන මහත්වරුන් කරුණු ඉදිරිපත් කළ අතර එම හර්තාලයට ජනබලවේගය උපරිම සහාය දැක්වීම පිළිබඳවද කරුණු ඉදිරිපත් විය.
නාමල් කරුණාරත්න මහතා කරුණු දක්වමින් යල කන්නයේ පෝර ප්‍රශ්නය හා වී ගොවිතැන අඩාළ වීම පිළිබඳව විස්තර කළේය. කෘෂි විරෝධතා ව්‍යාපාරවලට තව දුරටත් සහාය දැක්වීමටද මෙහිදී එකඟතාවය දැක්විණි.
මහාචාර්ය අනිල් ජයරත්න මහතා රටේ ණය නොගෙවීම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව පහළ මට්ටමට පත්වීම හා ලබන ජුනි-ජූලි මාස වනවිට ආර්ථික අර්බුදය වඩාත් තීව්‍ර වීම පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය.
මෙහිදී මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා කරුණු දක්වමින් අර්බුදය විසඳීමට කරුණු 4ක් ඉදිරිපත් කළේය. ජනාධිපති ඉවත්වීම, අගමැති ඇතුළු රජය ඉවත්වීම, අන්තර්කාලීන රජයක් මගින් කෙටි කාලයක් තුළ රටේ ස්ථාවර බවක් ඇති කිරීම හා හැකි කෙටි කාලයකදී රජයක් තෝරා ගැනීමට ජනතාවට අවස්ථාව දීම එම කරුණු හතරයි.


මීට අමතරව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මත අර්බුදයට විසඳුම් වැඩපිළිවෙළක් සකස් කිරීමටද මෙහිදී යෝජනා විය.

අර්බුදය ගැන එජාප නායක පැහැදිලි කරයි

 

රටට උදාවී තිබෙන දැඩි අවාසනාවන්ත තත්ත්වය හා රඹුක්කන ප්‍රදේශයේදී වෙඩි වැදී මියගිය චමින්ද ලක්ෂාන් පිළිබඳව ගිය සතියේ පැවැති එක්සත් ජාතික පක්ෂ නායකයන්ගේ මූලික සාකච්ඡාවලට හේතුවී තිබුණි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, අකිල විරාජ් කාරියවසම් ඇතුළු ප්‍රධානීහු ගණනාවක් විටින් විට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වී සාකච්ඡා කළහ.
විශ්වාසභංගයට එරෙහිව රජය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113ක් පෙන්වුවත් රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාගත නොහැකිවන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වී තිබිණි. දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන මුදල් ඇමැතිවරයාගේ ප්‍රකාශයෙන් පසු විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ යුතු සුදුසුම අවස්ථාව බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාද ඒ අදහස ඉදිරිපත් කරමින් රටේ ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන නිසා පළමුව ජනතාවට ජීවත්වීමට සුදුසු තත්ත්වයක් උදාවිය යුතු බව ප්‍රකාශ කර සිටියේය.
මීට අමතරව රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලාංකික බැංකුකරුවන් සමග කොළඹදී සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ ජනතාව ඉල්ලන වෙනසට ආණ්ඩුව කන්දිය යුතු බවය. ජනතාව ඉල්ලන්නේ විප්ලවකාරී වෙනසක් බව මෙහිදී ප්‍රකාශ කළ රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් බිලියනයක ණය මුදල මැයි මාසයේ අවසන් වන බැවින් ඉන්පසුව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම රටට බරපතළ ප්‍රශ්නයක් වන බවද කීවේය.


මේ අතර නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පොලිස් වෙඩිපහරින් මියගිය චමින්ද ලක්ෂාන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ නිවසට ගියේය. මියගිය චමින්ද ලක්ෂාන් ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයෙක්ව සිටියේය. ඔහුගේ බිරිඳට හා දියණියට ශෝකය පළ කළ විජයවර්ධන මහතා පැය කීපයක් ඔහුගේ නිවසේ රැඳී සිටියේය. ඔහුගේ ඝාතනයට විරෝධය දක්වා ගිය බ්‍රහස්පතින්දා නිට්ටඹුව නගරයේ පැවැති සත්‍යග්‍රහයටද රුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. මියගිය චමින්ද ලක්ෂාන්ගේ පවුලේ උදවිය හා ප්‍රදේශවාසීහු විශාල පිරිසක් මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරයට සහභාගි වී සිටියහ.

 

කරු දේශපාලනය ගැන නොකියන කතා

 

රටේ දේශපාලන තත්ත්වය දවසින් දවස අර්බුදයට යද්දී රටේ බොහෝ දෙනා අවධානය යොමු කරගෙන සිටින්නේ රට කරවන දේශපාලන නායකයන් කෙරෙහිය. එහෙත් අද ක්‍රියාකාරී දේශපාලනයේ නොමැති චරිතයක් වන කරු ජයසූරිය මේ මොහොතේ කරමින් සිටින්නේ කුමක්ද යන්න පිළිබඳව මේ රටේ බොහෝ පාර්ශ්ව බලවත් අවධානයක් යොමු කරන බව දන්නේ දේශපාලන තලයේ සක්‍රීය චරිත හා කණ්ඩායම් පමණක් විය හැකිය. ඒ බව වඩාත් හොඳින් පෙනීයන්නේ රටේ ප්‍රමුඛ දේශපාලන ධාරාව නියෝජනය කරන ​බොහෝ චරිත හා කණ්ඩායම් කරු කෙරෙහි වඩාත් අවධානයකින් යුතුව සිටිනා ආකාරයක් දැකිය හැකි හෙයිනි.
මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා කරු වැලිකඩ බන්ධනාගාරයට ගියේ රන්ජන් රාමනායක හමු වී සුව දුක් විමසා බලන්නටය. එහිදී රටේ පවතින තත්ත්වය පිළිබඳව මහත් උනන්දුවකින් සිටින රන්ජන් කරුගේ පැමිණීම ගැන මහත් සේ සතුටු විය. එහිදී ද කරු කීවේ ‘රන්ජන් ඔබ වැනි අයකුට මේ විඳින්නට සිදුව ඇති හිරිහැර පිළිබඳව මා සිටින්නේ බලවත් වේදනාවකින්’ කියාය. ඉතාමත්ම නුදුරු කාලයකදී සාමාන්‍ය පුරවැසියෙකු ලෙස රන්ජන් රාමනායක මුණගැසීමට තමන් මහත් අපේක්ෂාවෙන් සිටින බවය.

 

 

-ගජබා-



අදහස් (0)

ආණ්ඩුව ඇතුලේ මත ගැටුම්

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 170 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1704 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site