IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ආණ්ඩුව හිරවුණු පොහොර ප්‍රශ්නය

බැසිල්ට ආරාධනා කරන්න පසුපෙළෙන් සාකච්ඡාවක්

 

පොහොර හිඟය රට තුළ බරපතළ අර්බුදයක් බවට පත් වෙමින් තිබේ. එක පැත්තකින් ගොවීන් උද්ඝෝෂණයේ ය. අනෙක් පැත්තෙන් පොහොර හිඟ ය ගැන දේශපාලන කරලියේ කෙරෙන වාද විවාදය. කොතරම් උද්ඝෝෂණ විවේචන එල්ල වුව ද රසායනික පොහොර තහනම පිළිබඳ තීරණය අඩියකින් හෝ පස්සට ගන්නට ආණ්ඩුවේ සූදානමක් ද නැත.


ඉකුත් සතිඅන්තයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිටියේ මහනුවර ය. දළදා වහන්සේ වැඳ පුදාගෙන මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් ද බැහැ දැක ආශිර්වාද ලබා ගැනීම ජනාධිපතිවරයා ගේ මහනුවර ගමනේ අරමුණ විය. සෙනසුරාදා උදේ මහනුවරට ගිය ජනාධිපතිවරයා එදින සවස ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහනාහිමියන් සහ අනු නාහිමිවරුන් බැහැ දුටු ජනාධිපතිවරයා වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය සඳහා ආරම්භ කර ඇති කාබනික පොහොර වැඩසටහන ගැන මහා සංඝරත්නය දැනුවත් කළේය. ඒ කිසිදු සාකච්ඡාවකට මාධ්‍ය සම්බන්ධ කර නොගැනීමට ජනාධිපතිවරයා වගබලා ගත්තේය. අස්ගිරි මහා නාහිමියන් සහ ගැටඹේ නාහිමියන් බැහැ දැකීමට තිබූ නිසා ජනාධිපතිවරයා එදින රාත්‍රිය මහනුවර ජනාධිපති මන්දිරයේ ම ගත කළේය. ඉරිදා උදේ වරකාගොඩ ඥාණරතන අස්ගිරි පාර්ශවයේ මහ නා හිමියන් සහ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී හිමියන් බැහැ දුටු ජනාධිපතිවරයා රසායනික පොහොර තහනම සහ කාබනික පොහොර ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතිය ගැන උන්වහන්සේලා දැනුවත් කළේ දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කරමිනි .
මේ අතර, ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා කොළඹදී දිවයින පුරා සිටින ගොවි සංවිධාන නියෝජිතයන් හමුවිය. ඒ කාබනික පොහොර ව්‍යාප්ත කිරීමේ රජ​ෙය් වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ගොවි නායකයන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ අදහස් ලබා ගැනීම වෙනුවෙනි. සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරන ගොවි සංවිධාන නියෝජිතයෝ ඊට සහභාගි වූහ. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලු‍ත්ගමගේ රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්දු රාජපක්ෂ, සීතා අරඹෙපොල මොහාන් පි ද සිල්වා ඇතුළු දේශපාලන නායකයෝ ද, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා ඇතුළු වගකිවයුතු නිලධාරීහු පිරිසක් ද ඊට එක්ව සිටියහ. මුලින්ම අදහස් පළ කළේ මහින්දානන්ද අලු‍ත්ගමගේ ය. ඔහු කීවේ රසායනික පොහොර නතර කර කාබනික පොහොර භාවිත කිරීමේ වැඩපිළිවෙළට ජනාධිපතිවරයා යොමු වූයේ නිර්භීත තීන්දුවක් ගනිමින් බවය. ගොවි නියෝජිතයන්ගේ අදහස් ගැනීමෙන් අනතුරුව කතා කළේ ජනාධිපතිවරයා ය.”‍ සමහරුන් මෙය හදිසියේ ගත් තීන්දුවක් බව ප්‍රකාශ කළත් මෙය හදිසියේ ගත් තීන්දුවක් නොවන බව ජනාධිපතිවරයා කීය.”‍ රසායනික පෝර ගේන්න අවුරුද්දකට වැය වන මිලියන අසූ දාහක මුදල ඉතුරු කර ගෙන ඒ මුදල් ටික අපිට ගොවීන්ට බෙදා දෙන්න පුළුවන්’’ ජනාධිපතිවරයා කීවේය.


පොහොර හිඟය ගිය සතියේ පැවති කැබිනට් රැස්වීමේ ද ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය. දිවයිනේ බොහෝ පළාත්වල පොහොර හිඟයක් ඇති බව ඇමැතිවරු කිහිප දෙනෙක්ම කියා සිටියහ. ඊට පිළිතුරු දුන්නේ මහින්දානන්ද ය.”‍ රටේ පොහොර හිඟයක් කිසිසේත්ම තියෙන්න විදියක් නෑ. යල කන්නයට ඕන පෝර ඔක්කොම ගෙනල්ලා බෙදා හැරලා තියෙන්නෙ. සමහර තැන්වල සඟවලා තියෙනවා. ඒකයි ඔය හිගයක් ගැන කියන්නේ. කොහේහරි පොහොර හිඟ තැනක් අපිට කිව්වොත් එතනට පොහොර ටික යවන්ඩ පුළුවන්. ‘‘මහින්දානන්ද ගේ පිළිතුර විය. මේ අතර ඔහු කියා සිටියේ කාබනික පොහොර වැඩපිළිවෙළට සහයෝගය දීමට ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් සූදානමින් සිටින බව ය.


බැසිල් මැති සබයට ගෙනෙන පසුපෙළ මෙහෙයුම


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒමට මේ දිනවල වැඩිම උනන්දුවකින් පසු වන්නේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමයි. ඒ සියලු‍ දෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පත් වූ නවක මන්ත්‍රීවරු ය. පසුපෙළ මන්ත්‍රීවරුන් කණ්ඩායම කලින් තීරණය කළ පරිදි ඉකුත් ඉරිදා හවස දෙහිවල ඇන්ඩර්සන් පාරේ පිහිටි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයාගේ නිවසේ දී රැස් වූයේ බැසිල් ගෙන එන මෙහෙයුම ගැන තීරණාත්මක සාකච්ඡාවකට ය. ඔවුන් කලින් දිනයේ මේ රැස්වීම පැවැත්වීම ගැන සාකච්ඡා කළ අතර පිරිසක් කීවේ එම රැස්වීම පක්ෂ මූලස්ථානයේ දී පැවැත් වියයුතු බවය. තවත් පිරිසකගේ අදහස වූයේ මන්ත්‍රීවරයෙකුගේ නිවසේ මෙම රැස්වීම් පැවැත්වීම සුදුසු බවය. ප්‍රමිත යෝජනා කළේ තමන්ගේ නිවසේ එම සාකච්ඡා පැවැත්විය හැකි බවය. ඒ අනුව ප්‍රමිත පසු පෙළ මන්ත්‍රීවරුන් සියලු‍ දෙනාට දුරකතනයෙන් දැනුම් දුන්නේ පසුදින සවස තුනට සිය නිවසට පැමිණෙන ලෙසය. පාර්ලිමේන්තු රැස්වීම් නොමැති නිසා මන්ත්‍රීවරුන් වැඩි දෙනකු සිටියේ සිය ගම් ගම්බිම් බලා ගොසිනි.


කෙසේ වුවද කලින් කතාබහ කරගත් පරිදි ඉරිදා හවස තුන වෙද්දි පසුපෙළ මන්ත්‍රීවරු දෙහිවල ඇන්ඩර්සන් පාරේ පිහිටි ප්‍රමිතගේ නිවසට පැමිණියහ. පැමිණීමට නොහැකි මන්ත්‍රීවරුන් දැනුම් දී තිබුණේ තමන්ට හදිසියේ පැමිණීමට නොහැකි වුවද බහුතරය ගන්නා තීන්දු තීරණ වලට එකඟතාව පළ කරන බව ය .සාකච්ඡාවට මන්ත්‍රීවරු තිස් තුන් දෙනෙක් පැමිණ සිටියහ.


මෙය රහස් සාකච්ඡාවක් වුවද මෙවැනි සාකච්ඡාවක් පැවැත්වෙන බවට මාධ්‍යවලට ද ආරංචි පැතිර යාමත් සමඟ මාධ්‍යවේදීහු ද ප්‍රමිතගේ නිවස ඉදිරිපිට රැකවල්ලා උන්හ. සාකච්ඡාව ආරම්භ කරමින් සියලු‍ දෙනා පිළිගත්තේ ප්‍රමිතය.”‍මේක තීරණාත්මක අවස්ථාවක් .බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. පසුපෙළ මන්ත්‍රීවරුන් විදිහට අපි තීන්දු තීරණ ගත්තේ සාකච්ඡා කරලා. මේකත් අපි සාකච්ඡා කරලා බැසිල් ඇමතිතුමාට පාර්ලිමේන්තුවට එන්න කියමු”‍ ඔහු කීවේය.


අනතුරුව කතා කළේ සංජීව එදිරිමාන්න ය”‍. ප්‍රමිත අයියා කියන දේ පිළිගන්නවා .මම උදෙත් බැසිල් ඇමතිතුමාට කතා කළා. අපි මේ වැඩේ එතුමාටත් හානියක් නොවන විදිහටයි කරන්න ඕන.”‍ එදිරිමාන්න කීවේ දීර්ඝ විස්තරයක් කරමිනි. නිපුන රණවක කතා කළේ ඉන් අනතුරුවය. ”‍මමත් එතුමට කතා කළා. එතුමා එන්නේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් හයියක් විදිහටයි.”‍ ඔහු කියද්දී ජගත් කුමාර ද එය අනුමත කරමින් කතා කළේය. ”‍ එතුමා තමයි මේ පක්ෂයේ නිර්මාතෘවරයා. පක්ෂයට වගේම එතුමා අපටත් ලොකු හයියක්. මේ වෙලාවේ එතුමා පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනෑ”‍ එසේ කීවේ ජගත් කුමාරය.


අනතුරුව කතාබහට ලක් වුණේ බැසිල් ගේ පැමිණීමත් සමග විපක්ෂයෙන් එල්ල විය හැකි චෝදනා ගැනය .”‍බැසිල් ඇමතිතුමා පාර්ලිමේන්තුවට එන එක ගැන දැනගෙන විපක්ෂය ආණ්ඩුවට ගහන්න පටන් අරගෙන. අපි ඒකට උත්තර දෙන වැඩපිළිවෙලක් දැන්ම පටන් ගන්න ඕනෑ”‍ මන්ත්‍රීවරු කියන්නට වූහ. අනතුරුව කතාබහට ලක් වුණේ බැසිල්ට පාර්ලිමේන්තුවට එන්නැයි කරන ආරාධනය ගැන ය. පිරිසක් කීවේ ලිපියක් ලියා මන්ත්‍රීවරුන් සියලු‍ දෙනා අත්සන් කර ඔහුට ආරාධනා කරමු කියාය. එහෙත් තවත් පිරිසකගේ අදහස ඊට වෙනස් විය.”‍ එහෙම අවශ්‍ය නෑ. මේ වෙලාවේ තියෙන අවශ්‍යතාව එතුමා දන්නවා. අපි එතුමාට අදම පණිවිඩය දෙමු”‍ පිරිසක් යෝජනා කළහ. අවසානයේ තීරණය වූයේ බැසිල්ට පාර්ලිමේන්තුව එන්නැයි කියා පසුපෙළ කණ්ඩායමේ තීරණය ඉක්මනින්ම ඔහුට දැනුම් දීමටය. පැය එකහමාරක් පමණ තිස්සේ පැවති සාකච්ඡාව අවසන් වීමෙන් අනතුරුව තේ පැන් සංග්‍රහයක් ද පිරිනැමිණි. ප්‍රමිතත් ඔහු ගේ බිරිඳ ගයනිත් හරියට මහන්සි වී ඇති බව පසුපෙළ සගයන් කීවේ ඔහුට ස්තුති කරමිනි. සාකච්ඡාව හමාර කර එළියට එන්නට හැකි වූයේ නැත. මාධ්‍යවේදීහු පැමිණ ඔවුන් වටකර ගත්හ.


‘‘මොකක්ද රහස් සාකච්ඡාව”‍ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න වැලකි.’’ රහස් සාකච්ඡා නෑ. අපි මේ බැසිල් ඇමතිතුමා පාර්ලිමේන්තුවට ගෙන්න ගන්න හැටි ගැන සාකච්ඡා කළා”‍ මන්ත්‍රීවරුන්ගේ පිළිතුර විය .


රාජපක්ෂ පවුල ගැන ජනපති කියයි 


ජනාධිපතිවරයා ගිය සතියේ සිය හිතවතුන් සමග කතාබහ කරමින් සිටි අතර සමාජ මාධ්‍යවල හැසිරීම ගැන ද කතා බහ කළේය.”‍ මේ රටේ සංවිධානාත්මකව එක එක මත හදලා ප්‍රචාරය කරන සමහර සමාජ මාධ්‍යවලට යි ඇතැම් මාධ්‍ය කිහිපයකටයි ඕනෙ වෙලා තියනවා රාජපක්ෂ පවුලේ අය අතර ලොකු බෙදීමක් තියෙනවා කියලා මතයක් සමාජ ගත කරන්න. විශේෂයෙන්ම මේක කරන්නෙ සමාජ මාධ්‍ය වලින්. බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට එන එකට මමයි අගමැතිතුමයි විරුද්ධයි කියලා මතයක් හදල ප්‍රචාරය කරන්න මේගොල්ලෝ හදනවා. ඒගොල්ලො හදන්නෙ අනවශ්‍ය දේශපාලන වාසියක් විපක්ෂයේ අයට හදලා දෙන්න. හැබැයි ඕකෙ ඇත්ත නැත්ත මේ රටේ ජනතාව දන්නවා. කවුරු මොනවා කිව්වත් රාජපක්ෂවරු තුන්දෙනා තීන්දු ගන්නෙත් වැඩ කරන්නෙත් එකටයි කියලා ජනතාව දන්නවා. බැසිල් පාර්ලිමේන්තු එනවාට මම විරුද්ධයිලු‍. මොන බොරුවක්ද? මමනෙ එතුමට පාර්ලිමේන්තු එන්න කියලා කිව්වේ. ඒක මහින්ද අගමැති තුමාත් දැනුවත්ව වෙච්ච වැඩක්. මගෙයි අගමැතිතුමා ගෙයි කැමැත්තක් නැතුව එතුමා කොහොමද පාර්ලිමේන්තු එන්නේ”‍ ජනාධිපතිවරයා කීවේය.


ඇමරිකාවේ මාසයක් පමණ ගතකර ඉකුත් මෙරටට පැමිණි හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල සිටින්නේ සිය නිවසේ නිරෝධායනය වෙමිනි. ඔහුගේ නිරෝධායන කාලය අනිද්දායින් අවසන් වේ. ප්‍රසන්න රණතුංග ද බැසිල් පාර්ලිමේන්තු ගෙන ඒමේ මෙහෙයුමේ ඉදිරියෙන්ම සිටින ඇමතිවරයෙකි. ගිය සතියේ නැගෙනහිර සංචාරයකට ගිය ප්‍රසන්න බැසිල්ට දුරකථන ඇමතුමක් දී සුව දුක් විමසීය . ඒ අතරේ ඔහු කීවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන බල මණ්ඩලවල අදහස කොහොමද කියා බලන්නට වැඩපිළිවෙළක් සකස් කර ඇති බවය. ඒ මොකක් ගැන දැයි බැසිල් විමසීය.”‍ඔබතුමා පාර්ලිමේන්තු එන එක ගැන’’ ප්‍රසන්න කීවේය.”‍ මඩකළපු ඉඳන් ද”‍බැසිල් අසද්දි ප්‍රසන්න කිව්වේ ”‍සර් අපි කොහේ හිටියත් කෙරෙන්න ඕනෑ කටයුතු ඒ විදියට කරලයි තියෙන්නේ ”‍යනුවෙනි.


ලක්ෂ 500ක රෝහල් උපකරණ විපක්ෂයෙන් බෙදයි


පසුගිය අප්‍රේල් 8 වැනිදා විපක්ෂ නායක සජිත් ආරම්භ කළ ‘‘විපක්ෂයෙන් හුස්මක්”‍ රෝහල් උපකරණ ලබාදීමේ සමාජ සත්කාර වැඩසටහන මේ වනවිට අදියර 19ක් සපුරා තිබේ.


‘‘මේ පොඩි කාලෙට අපි රුපියල් ලක්ෂ පන්සීයකට එහා රෝහල් උපකරණ බෙදලා තියෙනවා”‍ සජිත් රාජිත සමග කීවේ 19 වැනි හුස්මක් වැඩසටහනට එක් වෙමිනි.


‘‘බලාගෙන ගියාම ඔබතුමා හිතාගන්න බැරි වැඩ කොටසක් කරලනේ.”‍


රාජිත පුදුමයෙන් කීවේය.


‘‘මේක මගේ වැඩක් නෙවේ. මේ වැඩේට උපකාර කරන හැමෝටම මේකේ ගෞරවය යනවා. සමහරු කියනවා ආණ්ඩුව කරන්න ඕනෑ වැඩ අපි කරනවා කියලා. ඔව් ඒක තමා අපේ වෙනස. අපි වචනෙට විපක්ෂයක් නෙවේ. අපි නූතන විපක්ෂයක්’’ සජිත් කීවේය.


ජනපති ජාතිය අමතන්න කලින් සජිත් ජනතාව ඇමතූ හැටි


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය ඇමතීමට සූදානම් වන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට කල් තියාම ආරංචි විය.


‘‘හෙට ජනාධිපතිවරයා ජාතිය අමතනවා”‍


සජිත් මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට කීවේය. ඒ එක්කම ඔහු මේ පිළිබඳව ඇත්ත නැත්ත සොයා දැනගත්තේය.


‘‘එහෙනම් ජනාධිපතිතුමා මේ වෙලාවේ රටේ ජනතාව මුහුණ දෙන ප‍්‍රධාන ගැටලු‍ හයකටම විසඳුම් ලබාදේවිනේ’’ මහ ලේකම් කීවේය.


‘‘එහෙම කරන එකක් නෑ. ඒත් අපි බලකරමු. සමාජයේ පහළම තලයේ ඉහළම තලය දක්වා තෙල් මිල ඉහළ යෑම තුළ පීඩනයට අසහනයට අසරණභාවයට පත්වෙලා සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපති තුමාගේ ප්‍රකාශයෙන් නැවත වරක් තිබුණු මිලටම තෙල් මිල පහළ දමන්නට කටයුතු කරයි කියන කාරණාව. ඒ වගේම පොහොර නැති ගොවීන්ට පොහොර ලබාදීම, අර ගිනිගත් නැව නිසා රැකියා අමිහිවුණ ධීවරයන්ට සහන ලබාදෙන ආකාරය විතරක් නෙමෙයි මුහුදු පරිසරය ආරක්ෂා කිරීමට ගන්නා පියවර ගැනත් ජනාධිපතිවරයා කියන්න ඕනෑ. ඔන්ලයින් අධ්‍යාපනය නිසා පීඩාවට පත් ළමුන්ට සහන ලබාදෙන ආකාරය, කොරෝනා මර්දනයට ගන්නා පියවර ගැනත් ජනාධිපතිවරයා කරුණු ඉදිරිපත් කරන්න ඕනෑ’’ සජිත් එහෙම කීවා පමණක් නොව විශේෂ ප්‍රකාශයක් කරමින් ද එය අවධාරණය කළේය.


රාත්‍රී ජනාධිපති ජාතිය අමතන්නට පෙර සජිත් පෙරවරුවේ ජනතාවට ඇමතුවේ එම ප්‍රකාශයෙන්ය.


අසමත් කතාව


ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ කතාව අවසන් වී විනාඩි දහයක් යාමට පෙර මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් සූම් ඔස්සේ සාකච්ඡාවට එක්වූයේ ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීම ගැන අවධානය යොමු කිරීමටය.
‘‘තෙල් මිල හැට නමයකින් වැඩි කරලා විනාඩි හැට නමයක් ජාතිය ඇමතුවා’’හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා වේලාව සටහන් කරගෙන තිබුණි.


‘‘දැන් ජනාධිපතිට හතර වටේම තියාගෙන බනිනවා. මේ නිසා මාධ්‍යයට අලු‍තින් බඩු දෙකක් දැම්මා. ඒ දෙන්නටත් බෑ කියලා තේරුනාට පස්සේ මම බෙල්ල දෙන්නම් කියලා මද්දුමබණ්ඩාර වගේ ඇවිත් ජාතිය ඇමතුවා. රටේ වෙන්නේ මොකක්ද කියලා ජනාධිපතිවරයා දන්නේ නෑ’’ රාජිත සේනාරත්න මන්ත‍්‍රීවරයා කීවේය.


‘‘එකපාරක් සැමන් - පරිප්පු දෙන්න ජාතිය ඇමතුවා. සැමන් ටින් එකෙන් අනෙක් එකාගේ ඔලු‍වට ගහලා තමයි සැමන් ටින් එක ගන්න පුළුවන් වුණේ’’නලින් බණ්ඩාර කීවේ සිනාසෙමින්ය.


‘‘මම සේරම සැලසුම් කරලා තමයි කරන්නේ කියලා ජාතියට කියනවා. සැලසුම කොතරම් හොඳද කියනවා නම් රිවස් කරපු ගැසට් තොගයෙන් හොඳකම පේනවා’’මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා පැවසුවේය. මේ අතර සජිත්ද කතාබහට එක්විය.


‘‘ජාතිය ඇමතීමේ කතාවෙන් පෙනුණේ ආණ්ඩුවේ නොහැකියාව විතරයි. රටේ අවධානයට යොමුවිය යුතු කරුණු කිසිවක් ගැන ඔහු අවධානය යොමු කළේ නෑ’’සජිත් පැවසුවේය.


‘‘අර කොහේද යන්නේ. මල්ලෙපොල් කතාවක් තමයි ජනාධිපතිතුමා ඇවිත් කිව්වේ’’රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.


‘‘ජනාධිපතිවරයෙක්ට ජාතියක් අමතලා මේ විදියට බොරු තොගයක් කියන්න පුළුවන් වුණේ කොහොමද දන්නේ නෑ. අපේ ආණ්ඩුව කාලයේ ආරම්භ කරපු අධිවේගී මාර්ග තමන්ගේ එකක් වගේ විවෘත කරන හැටි ගැන කිව්වා. තවත් මාර්ග කිලෝමීටර ලක්ෂයක් හදන හැටි ගැන කියනවා. මේවාට මුදල් වෙන් කරලා නැහැ. පට්ටපල් බොරු තොගයක් දෙසා බෑවා’’කබීර් හෂීම් ජනාධිපතිවරයාගේ කතාවට තම අදහස කීවේය.
‘‘ආර්ථිකය ගැන කියපු කතාවල ඇත්තක් තියෙනවාද?’’ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයා ඇසුවේ හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීවරයාත් සාකච්ඡාවට එක්ව සිටි නිසාය.


‘‘ආර්ථික වර්ධනය ගැන බොරු තොගයක් ඇවිත් කිව්වා. ජනාධිපතිවරයාට මේ කතාව ලියලා දුන්නේ කවුද දන්නේ නෑ. හරිනම් ජනාධිපතිවරයා ගිහින් ඇයි මට මෙහෙම පට්ටපල් බොරු තොගයක් ලියලා දුන්නේ කියලා කතාව ලියපු කෙනාගෙන් අහන්න ඕනෑ’’හර්ෂ ආර්ථිකය ගැන විග‍්‍රහයක් කළේය.


‘‘ඉස්සරහ දවස් තුන අරගෙන ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ කතාවේ තියෙන බොරු කතා ටික ජනගත කරන්න’’සජිත් උපදෙස් දුන්නේය.


මර්දනයට එරෙහිව


සමාජ ක්‍රියාකාරී අසේල සම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිවසින් රැගෙන ගොස් තිබෙන බවට සජිත්ට දුරකතන ඇමතුමක් ලැබුණේ ඔහු රැගෙන ගොස් විනාඩි කිහිපයක් ඇතළතදීය. ඔහු වහාම ජනාධිපති නීතිඥ උපුල් ජයසූරියට කතා කළේය.


‘‘උපුල්, අපේ නීතිඥ කණ්ඩායමත් එක්ක එකතුවෙලා මේක ගැන සොයා බලන්න’’සජිත් නීතිමය කටයුතු කිරීමේ වගකීම ඔවුන්ට පැවරුවේය.


සමගි ජන බලවේගයේ නීතිඥයන් මෙන්ම තවත් සිවිල් ක්‍රියාකාරකම්වල යෙදෙන නීතිඥයන් කණ්ඩායමක් මැදිහත්වී ඔහුට ඇප ලබාගැනීමට කටයුතු කළේය.


ඇප ලැබුණු වහාම අසේල සම්පත් පැමිණිය් විපක්ෂ නායක කාර්යාලයටය.


‘‘සර් බලන්න මේ මම ඇඳපු සරම පිටින් කුදලාගෙන ගියේ’’ අසේල සම්පත් තමන්ගේ බෑගයේ තිබූ සරමක් එළියට ඇද සජිත්ට පෙන්වූවේය.


‘‘දැන් ළමයි මොනවාද කරන්නේ’’ ඔහු සමග පැමිණ සිටි දරුවන්ගෙන් සජිත් ඇසුවේය.


‘‘මම දැන් කැම්පස් එකේ. මල්ලි ඒ ලෙවල් ලියනවා’’අසේලගේ දියණිය කීවාය.


‘‘මම ඔයාට ශිෂ්‍යත්වයක් දෙන්නම්. මල්ලිට ඉගෙනගන්න ටැබ් එකක් අරගෙන දෙන්නම්’’සජිත් පොරොන්දු විය.


ඔහුගේ පොරොන්දුව දින දෙකකින් ඉටු කළේය.


‘‘ඇත්ත කතා කරන්න කොයිම වෙලාවකවත් බය වෙන්න එපා. බොරු කියන්න එපා. ඇත්ත කියන්න’’සජිත් අසේලට කීවේය.


මෙහෙම ගියොත් ආණ්ඩුව රුපියල් දහ දාහේ කොළයකුත් ගහයි


එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන


මේ රජය තවත් වැඩි කාලයක් නොගොසින් රුපියල් දස දහසේ නෝට්ටුවකුත් නිකුත් කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ අදහස වී ඇත.


ඔහු මෙම අදහස් පළ කර සිටියේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා පක්ෂයේ ප්‍රධාන ක්‍රියාකාරීන් සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදීය.


පාලිත රංගබණ්ඩාර, අාශු මාරසිංහ, වජිර අබේවර්ධන, සමන් රත්නප්‍රිය, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ. රටේ ආර්ථිකය ගැන මෙහි දී කතා බහ පැවතුණි. රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේ මේ රජයට නම් කිසිම ආර්ථික වැඩපිළිවෙළක් නැහැ. රටේ ජනතාව දුක් විඳිනවා. ආණ්ඩුවට කිසිම ගාණක් නැහැ. මොනව කරන්න හදනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. මේ වන විට ට්‍රිලියනයක් විතර මුදල් අච්චු ගහලා තියෙනවා. රජයට රටේ ආර්ථිකය හරි පාරට ගන්න අවශ්‍යතාවක් නැහැ යනුවෙනි.


පසුගිය ඉරිදා රුවන් විජයවර්ධන මහතා ඇතුළු පක්ෂයේ ප්‍රධානීහු වජිර අබේවර්ධන හිටපු ඇමැතිවරයාගේ නිවසේ දී රැස්වූහ. පිරිස කතා බහ කරමින් සිටිය දී නායක රනිල් වික්‍රමසිංහ මහතා ද පැමිණියේය. ​​
මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා වූයේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ට වගකීම් පැවැරීම පිළිබඳවය. ප්‍රාදේශීය දේශපාලනඥයන් පිරිසක් කලක් ඉවත්ව සිටිමින්, තවත් පිරිසක් දිගින් දිගමට පක්ෂය සමග එක් වී කටයුතු කිරීම පිළිබඳවත් මෙහි දී සාකච්ඡා කෙරිණි.


එහිදී රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 1500 ක පමණ පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග සිටින බැවින් වහා සංවිධානයක් හා මෙහෙයවීමක් කර මේ පිරිසට වගකීම් පැවරීම අවශ්‍ය බවය. මේ පිරිස පක්ෂයට බලවත් හයියක් ඇති පුද්ගලයන් ලෙස සලකා ඔවුන්ට වගකීම් පැවරීමේ අවශ්‍යතාවය ද රුවන් විජයවර්ධන මහතා මෙහි දී පෙන්වා දුන්නේය.


පසුගිය සතියේ තවත් විශේෂත්වයක් වූයේ නිල පුවත් පත වූ සියරට පත්‍රය ඊ පුවත් පතක් ලෙස ප්‍රකාශයට පත්කිරීමය. මෙම පත්‍රය ප්‍රකාශයට පත් කිරීමට රුවන් විශාල වෙහෙසක් ගත්තේය. රුවන් මහත්තයට ඉතින් පත්තර ගැන කියන්න දෙයක් නැහැ. ඒක ඇඟේම තියෙන දෙයක් නේ. සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළේය.
මේක ඉදිරියේ දී මුද්‍රණය කරන්නත් පුළුවන් වේවි. රුවන් විජයවර්ධන මහතා පක්ෂ නායක රනිල්ට කීවේය. පත්‍රය ඉදිරියේ දී වෙනස් කළ යුතු බවත් ඉදිරියේ දී ඒ ගැන සාකච්ඡා කළ යුතු බවත් මෙහි දී රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.


පළාත් පාලන ආයතන නියෝජිතයන් 71 දෙනකුට යළි පත්වීම ලිපි ප්‍රදානය කිරීම ද මේ අවස්ථාවේ දී රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය. මන්ත්‍රී ධුරය ලැබීමෙන් පසු රනිල්ගේ ප්‍රථම ජන හමුව ලෙස මෙම අවස්ථාව පැවැත්වුණි. එහිදී පැමිණ සිටි පිරිස රනිල්ගේ පාර්ලිමේන්තු කතාව ගැන ප්‍රශංසාත්මකව කතා කළහ. රනිල් වික්‍රමසිංහ මහතා ද කාලයකට පසු සිනාමුසු මුහුණින් යුතුව පැමිණ සිටි පිරිස සමග සාකච්ඡා කරන ආකාරය දැක ගත හැකි විය.


පක්ෂයේ විනය පරීක්ෂණ පවත්වනු ලබන නීතිඥ මණ්ඩලය හමු වූ වික්‍රමසිංහ මහතා දැනට පවතින විනය පරීක්ෂණ ඉක්මණින් අවසන් කර තීන්දු ලබා දෙන ලෙසට ද දැනුම් දුන්නේය. සමගි ජන බලවේගයට සම්බන්ධ පිරිසකට එරෙහිව මෙම විනය පරීක්ෂණ පැවැත්වෙයි.


පක්ෂයේ මතයට පිටින් වැඩ කළ පළාත් පාලන නියෝජිතයන් ගැන ද මෙහිදී සාකච්ඡාවට භාජනය විය. මෙහිදී එජාප නායකයා කීවේ පක්ෂය එක්ක හිටපු අයට ගම්වල වගකීම් පවරන ලෙසය. හරියට වැඩ කරන අයට අනාගතයක් තිබෙන බව ද ඔහු කීවේය.


රුවන් ගිය සතියේ ගාල්ලට ගියේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණයට සහභාගී වීම සඳහාය. ඔබතුමා කාට ද ඡන්දය දෙන්නේ. රංගෙ බණ්ඩාර මහතා විමසා සිටි​යේය. සුපුරුදු ලෙස සිනාවකින් එයට උත්තර දුන් රුවන්ට රංගෙ බණ්ඩාර ප්‍රකාශ කළේ හරි හරි ඔබ තුමා ඡන්දය දෙන පුද්ගලයා දිනන්න කියලා ප්‍රාර්ථනා කරනවා, යනුවෙනි.


බියගම පාපන්දු ලීගයේ සභාපති වශයෙන් සිටින නිසා රුවන්ට සම්මේලනයේ ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව ලැබී තිබුණි.


මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල නගර සභාවේ හා කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක, මාවනැල්ල ඇතුළු පළාත් පාලන ආයතන තුනක ජාතික සමගි බලවේගයට සහාය දක්වමින් සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් යළි එක්සත් ජාතික පක්ෂයට එක්වීම රුවන් විජයවර්ධන මහතාගේ මෙහෙය වීම මත සිදු විය. සිය පියාගේ උපන් දිනය වෙනුවෙන් පවුලේ අය සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට ද ඔහු සහභාගී විය.

 

 

-ගජබා-

 



අදහස් (0)

ආණ්ඩුව හිරවුණු පොහොර ප්‍රශ්නය

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 134 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site