IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


විපක්ෂය එකතු කළ සර්වපාක්ෂික සමුළුව

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළේ ඔහු අත්තනෝමතික ලෙස තෙල් මිල වැඩි කළ බවට චෝදනා නගමිනි. විශ්වාසභංගයට පදනම් කර ගත්තේ ද පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පක්ෂයේ මතය හුවා දක්වමින් කළ ප්‍රකාශයකි. මේ සියල්ල හමුවේ පිටතට පෙනෙන්නට තිබුණේ ගම්මන්පිලලා හා පොහොට්ටුව අතර ගැටුමක් තිබෙන බවය .එහෙත් විපක්ෂයේ විශ්වාසභංගයෙන් සිදුවූයේ ආණ්ඩුවේ පක්ෂ අතර තිබෙන මතවාදී ගැටුම තාවකාලිකව හෝ සංසිඳුවමින් ආණ්ඩුව ශක්තිමත් කිරීමකි.


විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම ඉකුත් ඉරිදා හැන්දෑවේ ජනාධිපති මන්දිරයේ දී රැස් වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මුදල් ඇමතිවරයා ලෙස පත් වූ බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා ද පළමු වරට ආණ්ඩු පක්ෂ රැස්වීමට එදින සම්බන්ධ විය. විශ්වාසභංගය සඳුදා සහ අඟහරුවාදා දෙදින විවාදයට ගැනෙන බැවින් පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය ගැන ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු පැහැදිලි කිරීමක් කළේය. අනතුරුව විශ්වාසභංග යෝජනාව ගැන පැහැදිලි කළේ උදය ගම්මන්පිලය. තෙල් මිල වැඩි කරන්නට බලපෑ කරුණු කාරණා ගැන මෙන්ම ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුව ගත් තීන්දුව ආදිය ගැන ගම්මන්පිල දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. ඔහු කීවේ තෙල් මිල වැඩි කළේ එය නොකරම බැරි වූ නිසා බවය. තෙල් මිල වැඩි කිරීම හා තෙල් භාවිතය අධෛර්යමත් කිරීම ද අරමුණක් වූ බව ඔහු කීවේය.


අනතුරුව කතා කළේ මහින්දානන්ද අලු‍ත්ගමගේ ඇමැතිවරයා ය.”‍ මේ විශ්වාසභංගය විපක්ෂය කරන පොඩි ටෙස්ට් එකක්. මේකට අපි අහු වෙන්න ඕනෑ නෑ. එයාලට ඕනෑ වෙලා තියෙන්නෙ අපි අතර අසමගියක් තියෙනවා කියලා පෙන්වන්න. මේක ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ලෙස සලකලා අපි ඔක්කොම එකතුවෙලා මේක පරදවමු”‍ මහින්දානන්ද කියද්දී බන්දුල ගුණවර්ධන ද එයම කීවේය. ඔහු කීවේ”‍ අපි අතර මතවාද තියෙන්න පුළුවන්. හැබැයි විපක්ෂය හිතන විදියෙ ගැටුමක් අපි අතර නෑ”‍ කියාය. ජගත් කුමාර මන්ත්‍රීවරයා ද ඒ ගැන අදහස් දැක්වීය.”‍ ගම්මන්පිල ඇමතිතුමාගේ මතවාදය පිළිබඳ අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි තෙල් මිල ඉහළ දැමීමට අපි තාමත් විරුද්ධයි. අපි ජනාධිපතිතුමාගෙන් මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලන්නේ මේ ගැන සොයා බලා සහනයක් දෙන්න කියලයි “ජගත් කීවේය. විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා සියලු‍ දෙනා එක්ව කටයුතු කිරීමට එහිදී තීරණය විය .


වීරසේකර - ජගත් ගැටුම


සාකච්ඡාව වෙනත් අතකට යොමු වූයේ සරත් වීරසේකර ඇමතිවරයා ඉදිරිපත් කළ නෝක්කාඩුවක් හේතුවෙනි.”‍ උද්ඝෝෂණ මඩින්න පොලිසිය කටයුතු කරපු ආකාරය වැරදියි කියලා මතයක් සමාජයේ යනවා. පොලිසිය මේකට අනවශ්‍ය ආකාරයෙන් මැදිහත් වෙලා කියලා ජගත් කුමාර මන්ත්‍රීවරයා කියලා තියෙනවා. මේ වගේ ප්‍රකාශවලින් වෙන්නේ පොලිසිය අධෛර්යයට පත් වන එකයි. ඒ නිසා ඒ මන්ත්‍රීවරයා කරපු ප්‍රකාශය මම හෙළා දකිනවා. අනෙක පොලිසිය කටයුතු කළේ සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඉල්ලීම මතයි”‍ සරත් වීරසේකර කීවේය. අනතුරුව නැගී සිටියේ ජගත් කුමාර මන්ත්‍රීවරයාය. “මම කලින් කරපු ප්‍රකාශය ඒ විදියටම කියනවා. මම කියන්නේ ආණ්ඩුව රකින්න පොලිසිය අනවශ්‍ය විදියට මැදිහත් වෙලා කියලා. පොලිසිය අනවශ්‍ය ආකාරයෙන් ආණ්ඩුව රකින්න ඇවිත් යහපාලන ආණ්ඩුව කාලේ මොකද වුණේ. යහපාලන ආණ්ඩුවත් විනාශ වුණා. පොලිසියත් විනාශ වුණා. අනෙක යහපාලන ආණ්ඩු කාලේ උද්ඝෝෂණ පන්සියයක් තිබුණ නම් වෘත්තීය සමිති නායකයෙක් විදිහට මම ඉන් සීයකට වත් සහභාගි වෙන්න ඇති. අපටත් පොලිසිය පහර දුන්නා. ඒ කාලේ හාමුදුරුවෝ 64 ක් සිරගත කළා කියලා අපි කිව්වා. එහෙම කියපු අපේ කාලේ හාමුදුරුවරු උස්සගෙන යන්න පුලු‍වන්ද. වෘත්තිය සමිති නායකයෙක් විදිහට මට මේක පෙන්වලා දෙන්න බැරිනම් මම මේ මන්ත්‍රීකමේ ඉන්න එකේ තේරුමක් තියෙනවද. මේ අනවශ්‍ය මැදිහත්වීමෙන් වුණේ උද්ඝෝෂණ වැඩි වෙන එකයි ”‍ ජගත් කුමාර කීවේය.


අනතුරුව කතාබහට ලක්වුණේ කොතලාවල විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙනි ”‍ කොතලාවල විශ්වවිද්‍යාල පනත පරිවර්තනය කරද්දී වැරදි සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙලා තියනවා”‍ යැයි ගෙවිඳු කුමාරතුංග කිව්වේ කතාවට මුල පුරමිනි. ඒ ගැන පැහැදිලි කළේ ජනාධිපතිවරයාය. ”‍ඒකනම් අපට කතා කරල විසඳගන්න පුළුවන්. මේකෙන් වෙන්නේ කොතලාවල විශ්වවිද්‍යාලය එක තැනකට ගෙනත් නිවැරදිව පවත්වාගෙන යන එකයි”‍ කී ජනාධිපතිවරයා සඳහන් කළේ පනත් කෙටුම්පත අගෝස්තු මුල් සතියේ පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවය. ඒ සමඟම මේ පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්  දෙවැනිදා පැවැත්වෙන බව ද ඔහු සඳහන් කළේය .


බැසිල්ගෙන් ආර්ථික විග්‍රහයක්


ආණ්ඩු පක්ෂ මංගල රැස්වීමට සහභාගි වූ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ද ආර්ථිකය ගැන පැය කාලක පමණ විග්‍රහයක් කළේය. ඔහු කීවේ එන්නත් කරන වැඩසටහන් ඉක්මනින් අවසන් කර රට කඩිනමින් විවෘත කළ යුතු බව ය.”‍ විදෙස් සංචිතවල ප්‍රශ්නයක් තියෙන බව සැබෑව. නමුත් සමහරුන් කියන ආකාරයේ ප්‍රශ්නයක් නැති බව ඔහු කීවේය.”‍ ඩොලර් බිලියන 4ක විදෙස් සංචිතයක් අපට දැන් තියෙනවා යුද්දෙ කාලෙ මේක එකයි දශම දෙකටත් අඩුවුණා. එහෙම තියෙද්දී අපි ඒක කළමනාකරණය කර ගත්තා. ඒ නිසා මේ විදේශ සංචිත අඩු වීම ලොකු ප්‍රශ්නයක් කියන මතවාදය ගෙනියන්න එපා. ඒ වගේම ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කරන්නේ අමතර මුදල් ප්‍රතිපාදන ඉල්ලීමෙන් වළකින්න කියලයි. ඒත් අපි අවශ්‍ය දේවල්වලට මුදල් ලබා දෙනවා ”‍ බැසිල් කීවේ දීර්ඝ විග්‍රහයක් කරමිනි. ආණ්ඩු පක්ෂ රැස්වීම අවසන් වූයේ ජනාධිපතිවරයා සියලු‍ මැති ඇමතිවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයට ආරාධනා කරමිනි.


විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වුණේ අඟහරුවාදා හැන්දෑ වේ ය. බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ ආලින්දයේ කතාබහ කරමින් සිටින අතරේ උදය ගම්මන්පිල කලබලයෙන් මෙන් එතනින් යන්නට ආවේය. ‘‘ආ උදය මොකද මේ කලබලෙන් වගේ යැයි’’ බැසිල් ඇසුවේය”‍. ‘‘ කතාව හදා ගන්න පොඩ්ඩක් එළියට ගියා. ටිකකින් මගේ කතාව තියෙනවා, ගම්මන්පිල කීය. ‘‘බය වෙන්න දෙයක් නෑ කතාව නොකළත් තුනෙන් දෙක ලෑස්තියි’’  බැසිල් කීවේය . විශ්වාසභංගයට විපක්ෂව ඡන්ද 152 ක් ලැබුණු අතර, පක්ෂව ලැබුණේ ඡන්ද 61ක් පමණි. මෙහි විශේෂත්වය වූයේ ඉන්ධන මිල වැඩි කිරීමේ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු යැයි ගම්මන්පිලට අභියෝග කළ පොහොට්ටුවේ ලේකම්වරයා ද අත ඔසවා විශ්වාසභංගය පරාජය කිරීමට ඡන්දය දීමය. ඡන්දය විමසද්දී මන්ත්‍රීවරුන් පහළොස් දෙනකු සිටියේ නැත. ආණ්ඩුවේ චමල් රාජපක්ෂ, විජයදාස රාජපක්ෂ සහ උදයකාන්ත යන තිදෙනා නොසිටි අතර, විපක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ මන්ත්‍රීවරු සිව්දෙනෙකු ද සහභාගි වී සිටියේ නැත. චමල් රාජපක්ෂ ඇමැතිවරයා සහභාගි නොවූයේ ඔහු මේ දිනවල සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බැවිනි. විපක්ෂයේ හරින් ප්‍රනාන්දු, රිෂාද් බද්යුදීන් සහ සී.වී. විග්නේෂ්වරන් යන මන්ත්‍රීවරුන් සහභාගි වී සිටියේ ද නැත. ඡන්දයෙන් පසුව පාර්ලිමේන්තු ආලින්දයේ මැති ඇමැතිවරුන් කතාබහ කරමින් සිටින අතර ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කීවේ ‘‘අපි අතර මතභේද නෑ , තියෙන්නේ මතවාද විතරයි කියලා මේකෙන් ඔප්පු වුණා”‍ කියාය. විශ්වාසභංගය හමාර වී ගම්මන්පිල එළියට යද්දී බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා පාර්ලිමේන්තු ආලින්දයේ දී හමු විය. ‘‘ආණ්ඩුවට තුනෙන් දෙකක් තියෙනවා කියලා පෙන්නුවට ස්තූතියි”‍ යැයි බැසිල් ගම්මන්පිලට කීවේ හයියෙන් හිනා වෙමිනි . ‘‘විශ්වාසභංගය තුනෙන් දෙකකින් පරද්දන්න උදව් කළාට ඔබතුමාටත් පින්’’ යයි ගම්මන්පිල ද කීවේ බැසිල්ට ස්තුති කරමිනි.


බන්දුල - මහින්දානන්ද මෝල් හිමියන් හමුවෙති


හාල් මිල ප්‍රශ්නය පාරිභෝගිකයන් මුහුණ දෙන බරපතළ ගැටලු‍වකි. මේ ගැන ආණ්ඩුවට හා කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලු‍ත්ගමගේට ද එල්ල වන්නේ බරපතළ චෝදනාවකි. වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ද මීට වගකිව යුතු බව ජනතාවගේ පැත්තෙන් එල්ලවන චෝදනාවකි. බන්දුලත් මහින්දානන්දත් ගිය සතියේ වී මෝල් හිමියන් කෘෂිකර්ම අමාත්‍යාංශයට කැඳවූයේ මේ ගැන සාකච්ඡා කිරීමටය. ඔවුන්ගේ ඉල්ලීම වූයේ රජයෙන් සහතික කළ මිලට වඩා වැඩි මිලට වී ගැනීමෙන් වළකින ලෙසය . මෝල් හිමියන් ද ඊට එකඟතාව පළ කළේ මීට පසුව සහතික මිලට වඩා වැඩි මිලට වී නො ගන්නා බව කියමිනි. එහෙත් එය කොතරම් දුරට ප්‍රායෝගිකව සිදුවේ දැයි යන්න දැන් ම කීම අවිනිශ්චිතය.


විපක්ෂයේ සර්ව පාක්ෂික සමුළුව


සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන් පසුගිය සතියේදී වැඩි අවධානයක් යොමු කළේ උදය ගම්මන්පිල ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව කෙරෙහිය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප‍්‍රධානත්වයෙන් සතිය ආරම්භයේදීම පැවති විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී විශ්වාසභංග යෝජනාව ගැන අදහස් මතු විය.


විපක්ෂයේ සියලු‍ම පක්ෂ එක් කරමින් සාර්ථකව මෙයට මුහුණදීම සඳහා කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කළේය. ඒ අතරම මේ ගැන ජනතාවගේ අවධානය යොමු කිරීම සඳහා විරෝධතාවයක් පැවැත්වීම ගැනත් සාකච්ඡා කළේය.


ඒ අනුව සඳුදා පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවයක් සංවිධානය කෙරිණි. නිරෝධායන නීතිවලට අනුව මීටරයක දුර තබාගෙන විරෝධතාවය සංවිධානය කළේය.


පාර්ලිමේන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තු පිවිසුම දක්වා විරෝධතාකරුවන් විරෝධතා පුවරු තබාගෙන සිටි අතර සජිත් පාර්ලිමේන්තු පිවිසුමේදී විරෝධයට එක්වීමට නියමිතව තිබුණි. ඒ අනුව වාහනය පාර්ලිමේන්තු පිවිසුම දක්වා පැමිණෙමින් තිබෙන අතරවාරයේදී, පාර්ලිමේන්තු වට රවුම අසලදී වාහනය නතර කරන ලෙස දැනුම් දුන්නේය. ආරක්ෂක නිලධාරීන්ගේ විරෝධය මැද සජිත් වටරවුම අසලදී වාහනයෙන් බැස විරෝධයට එක්විය.


සජිත් වාහනයෙන් බසිනු දුටු මරික්කාර් මන්ත‍්‍රීවරයා ඔහු අසලට පැමිණියේය. සජිත් මරික්කාර් සමග විරෝධතාකරුවන් අතරට එක්විය. එතැන් සිට පාර්ලිමේන්තු පිවිසුම දක්වා පාගමනින් සජිත් පැමිණෙමින් සිටින අතරමගදී අඩි හැත්තෑවක් පමණ දිග බැනරයක් අල්ලාගත් මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා ඇතුළු මන්ත‍්‍රීවරු සජිත් පෙරටුකරගෙන ඉදිරියට විරෝධය රැගෙන ගියහ. විරෝධතාව ක්‍රමක්‍රමයෙන් දහස් ගණනක ජනගඟක් බවට පත්විය. පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුමේ ආරක්ෂක බළඇණි තරකර තිබුණි.


ඒ විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව ආක්‍රමණය කරතැයි කියාය.


විරෝධතාව පිවිසුම ඉදිරිපිට නතරකළ අතර සජිත් එහිදී මාධ්‍ය ඇමතුවේය.
”‍මේ ජනපීඩක ආණ්ඩුවක්. අපි බලමු දේශප්‍රේමී කවුද, දෙශද්‍රෝහී කවුද කියලා”‍ සජිත් කීවේය.
විශ්වාසභංග යෝජනාවට ඡන්දය විමසීමෙන් පසුව සමගි ජනබලවේගයේ මන්ත‍්‍රීවරු විපක්ෂ නායක කාර්යාලයට පැමිණියහ.


‘‘විශ්වාසභංග යෝජනාවකට විපක්ෂයේ සියලු‍ම පක්ෂ එකට කවදාවත් ඡන්දය ලබාදී නැහැ. මේ යෝජනාවත් එක්ක විපක්ෂය එකට එකතුවුණා’’ තලතා අතුකෝරල මන්ත‍්‍රීවරිය පැවසුවාය.


‘‘ආණ්ඩුවට තෙල් මිල පහළ දැමීමට ඇත්ත වුවමනාවක් තිබුණා නම් ඔය තාත්තලාට, බාප්පලාට, පුතාලට එකතුවෙලා තෙල් මිල අඩු කරන්න තිබුණානේ’’ හර්ෂ ද සිල්වා කීවේ සියල්ලන්ම සිනා ගන්වමිනි.
‘‘බැසිල් රාජපක්ෂ ආවම තෙල් මිල අඩු කරනවා කිව්වා. බැසිල්ටවත් තෙල් මිල අඩු කරන්න බැරිවුණා. ආණ්ඩුව මේ සියල්ලම කළේ ජනතාව රැවටීමට බව දැන් පේනවා. මේ විශ්වාසභංග යෝජනාව නිසා ආණ්ඩුවේ හෙළුව පේන්න ගත්තා’’රාජිත සේනාරත්න මන්ත‍්‍රීවරයා කීවේය.


‘‘මේක නිසා ඩීල් දේශපාලනය තියෙන්නේ කා ළඟද කියන එක හොඳින්ම හෙළිවුණා. ඒක විශ්වාසභංග දහයක් දිනුවට වඩා වටිනවා’’ සරත් ෆොන්සේකා පැවසුවේය.


සජිත් විපක්ෂයේ සර්ව පාක්ෂික සමුළුවට


සාධාරණ සමාජයක් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළ විපක්ෂයේ සර්ව පාක්ෂික සමළුවට මේ සතියේදී සජිත්ගේ නායකත්වයේ ශක්තිය ලැබුණි. හිටපු කතානායක කරු ජයසූරිය සමග සජිත් විපක්ෂයේ සියලු‍ම පක්ෂවල නායකයන් එකට එක් කරගත් සමුළුවකට එක්වූයේ රට අන්ධකාරයෙන් ආලෝකයට ගෙන යාමට සියලු‍ දෙනාම එක්විය යුතු බව පවසමිනි.


‘‘අද වන විට මුළු රටම මහත් අන්ධකාර ව්‍යසනයක් වෙත ගමන් කරමින් තිබෙනවා. එය වහා නතර කොට රටම ආලෝකය කරා රැගෙන යෑමට සියලු‍ පාර්ශව එකට එක්වී අත්වැල් බැඳගත යුතු කාලය එළඹ තිබෙනවා. අද රටම ඉල්ලා සිටින්නේත්, මුළු රටම බලාපොරොත්තු වන්නේත් පෞද්ගලික බල තණ්හාවෙන් පිරුණු අරමුණු මත හඹායාම නෙමෙයි. පටු අපේක්ෂාවන් පැත්තකින් තබා ඒකායන තිරසාර අරමුණකින් එකට එක්වී කටයුතු කිරීමයි. අවශ්‍ය වෙන්නේ’’ සජිත් කී කතාව සියල්ලන්ගේම අවධානයට ලක්වූ කතාවක් විය.


මැයි 1දා පොරොන්දුව සජිත් 
මාස දෙකෙන් ඉටු කරයි


පසුගිය මැයි පළමුවැනිදා පැවති රණසිංහ ප්‍රේමදාස ගුණානුස්මරණ උත්සවයට පානදුරේ සිට පැමිණි පවුලක් පාරෙහි සිටිනු සජිත් දුටුවේය.


‘‘උත්සවය පටන්ගන්න කලින් මේ අය ආවේ. සර් හමුවෙන්න ඕනමලු‍”‍ බුද්ධික පතිරණ කීවේය.
සජිත් වහාම ඔවුන් හමුවිය. පිරිමි පුද්ගලයා ආබාධිත ය. ඔවුන් කීවේ තමන් පදිංචිව සිටින නිවස උකස් කිරීම නිසා එය තමන්ට අහිමිවීමට යන බවය.


සජිත් එසැනින් සියලු‍ විස්තර ලබා ගත්තේය.

 


සජිත් වහාම උකස්කරුට කතාකොට මේ පිළිබඳව විමසීය.


‘‘අද මම පොරොන්දු වෙනවා පියාට පිං පිණිස මම ඔය උකස් මුදල ගෙවලා ගෙදර බේරලා දෙන්නම්’’ සජිත් පොරොන්දු වූවේය.


පොරොන්දුවූ පරිදිම ණය මුදල ගෙවා සජිත් නිවස බේරා දුන්නේය. ඒ කටයුත්ත වෙනුවෙන් අසරණ පවුලද උකස්කරුද විපක්ෂ නායක කාර්යාලයට පැමිණ සිටියහ.


‘‘මේ වැඩේට මාස දෙකක් ගියාට සමාවෙන්න. මීට පස්සේ මොන හේතුවකටවත් මෙහෙම ඉන්න හිටින ගේ උකස් කරන්න එපා. ගේ දරුවගේ නමින් ලියන්න”‍


නිවස බේරාදුන් සජිත් නිවසේ දැරියකගේ අතේ තිබූ ආබාධයක් දුටුවේය. ඒ ගැන විමසූ ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත දැරිය යොමු කිරීමට කටයුතු කළේය.


ඊට යාබදව උකස්කරුද සිටියේ රෝද පුටුවකය.


“ඔබතුමත් අසනීපෙන් ද?”‍ සජිත් ඇසුවේය. ඒ සමගම ඔහුටද වියයුතු දෙයක් වේනම් විමසන ලෙස සජිත් කාර්යමණ්ඩලයට කීය.


විපක්ෂයේ හුස්මක් වව්නියාවට


විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන යටතේ දකුණේ රෝහල්වලට පමණක් නොව උතුරේ රෝහල්වලට අවශ්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටී. විසි එක්වැනි වැඩසටහන ලෙස රෝහල් උපකරණ ලබාදුන්නේ වව්නියාව රෝහලටය.


මේ අවස්ථාවට දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන්ද එක්ව සිටි අතර, සජිත්ගේ වැඩසටහන පිළිබඳව ඔවුහු ඉතාම ප්‍රසාදයෙන් කතා කළහ.


‘‘ජනතා දුක හඳුනන්නේ කවුද? නොහඳුනන්නේ කවුද? කියා රටට හෙළිදරව් කිරීමට සමගි ජන බලවේගය විශ්වාසභංගයක් රැගෙන ආවා. එයට ප්‍රතිචාර දැක්වූ ආකාරයෙන් ආණ්ඩුවේ සැබෑ ස්වරූපය හෙළිදරව් වෙනවා.


දේශප්‍රේමීන් කවුද? දේශද්‍රෝහීන් කවුද? කියා දැන් ජනතාව දන්නවා. ද්‍රෝහී වූ පිරිස් ගැන ඇත්ත ගමින් ගමට ගොස් රටට කියනවා’’ සජිත් උපකරණ ප‍්‍රධානයෙන් පසුව එහි පැමිණ සිටි මාධ්‍යවේදීන් සමග කීවේය.


සජිත් මනුෂ වෙනුවෙන් කළ දේ


පොලීසිය තුළ සිදුවන දූෂණ වංචා සම්බන්ධයෙන් මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේ ඒ සම්බන්ධයෙන් තිබූ හඬපටද සභාගත කරමිනි.


මෙම හෙළිදරව් කිරීමෙන් පසුව මනුෂට විරුද්ධව පියවරක් ගැනීමට ඇති හැකියාව ගැන සොයා බලා ඇති බව සජිත්ට ආරංචි වී තිබුණි. එම ආරංචිය ලැබුණ වහාම සජිත් මනුෂගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියේය.
පොහොර හිඟය, ළමයින්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කරන ලෙස බල කරමින් පැවති විරෝධතාව අතරවාරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සජිත් කීවේ මේ වන විට ආණ්ඩුව මන්ත‍්‍රී දඩයම ආරම්භ කර ඇති බවය. එතැනින් නොනැවතී මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර ගැනීමටද සජිත් අමතක කළේ නැත.


සමස්ත ආණ්ඩුවටම එරෙහිව
රනිල්ගෙන් යෝජනාවක්


එක්සත් ජාතික පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ගිය සතියේ මුල් දින දෙක තුළ වැඩි වශයෙන් ගත කළේ පාර්ලිමේන්තුවේය. උදය ගම්මන්පිල ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සියලු අමාත්‍යවරුන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ලෙසට සංශෝධනය විය යුතු බවට පක්ෂයේ නායක හමුවකදී ඉකුත් ඉරිදා තීරණය කරනු ලැබ තිබුණි. එහිදී නීතිඥවරුන් හා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමග එජාප නායකවරයා සිය නිවසේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. එම සාකච්ඡාවෙන් පසු විශ්වාසභංග යෝජනාව මුළු ආණ්ඩුවටම විරුද්ධ යෝජනාවක් ලෙස සංශෝධිත පිටපතක් සකස් කෙරිණි. ඊට අමතරව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කරන කතාවේ දළ පිටපතක් ද පැමිණ සිටි පිරිසට ලබා දුන්නේය. ඉකුත් සඳුදා පාර්ලිමේන්තුවේදී කතානායකවරයා හමුවූ රනිල් වික්‍රමසිංහ මහතා සංශෝධනය ඉදිරිපත් කළේය.
එම විවාදයේදී තමන්ට කතා කිරීමට වේලාවක් ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේය.


එහිදී කතානායකවරයා ප්‍රකාශ කර සිටියේ ‘‘ඔබට විවාදවලදී කතාකරන්න වෙලාව දෙන්න ඕනෑ. කතාකරල මම ඔබට අවස්ථාව දෙන්නම්’’ යනුවෙනි.


මීට අමතරව රනිල් වික්‍රමසිංහ මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම හා හරීන් ප්‍රනාන්දු මහතාගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය ප්‍රශ්න කිරීම සමස්ත පාර්ලිමේන්තුවේම වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බව ප්‍රකාශ කළේය. මේ කරුණු සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දෙන ලෙසට ද එජාප නායකයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
රනිල් වික්‍රමසිංහ මහතා උදය ගම්මන්ල ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට සහභාගි වෙමින් ප්‍රකාශ කර සිටියේ මාස 10ක් ඇතුළත මේ ආණ්ඩුව විශාල අවුලක් කර ගෙන ගිනස් වාර්තාවක් ද පිහිටුවා ඇති බවය.


මීට අමතරව පසුගිය සතියේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හමුවූ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ආසන සංවිධායකයන් පත් කිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස උපදෙස් දුන්නේය. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වූ පිරිස ඒ ඒ ආසනවල ජනප්‍රියත්වයක් ලබා සිටින යහපත් පුද්ගලයන් පත් කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දී තිබුණි.


බදාදා රාත්‍රියේ පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ හයිඩ්පාක් කෝනර් හි පිහිටි නිවසට ගිය රනිල් වික්‍රමසිංහ මහතා පැය කිහිපයක් එහිදී සාකච්ඡා කළේය.


රජයේ ක්‍රියාපිළිවෙත නිසා දැඩි අසීරුතාවයට පත්ව සිටින ජනතාවට විපක්ෂයෙන් ජාතික ප්‍රතිපත්තියක් මත ඉදිරියට යාමේ වැඩ පිළිවෙළක් ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා විපක්ෂයේ සර්ව පාක්ෂික සමුළුවේදී ප්‍රකාශ කර සිටියේය.


විපක්ෂයේ සර්වපාක්ෂික එකමුතුවක් සඳහා වූ සමුළුවේ සමාරම්භක උත්සවය කොළඹ ජානකී හෝටලයේදී පැවැත්වුණි. මෙම ආරම්භක සමුළුවට විරුද්ධ පක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයෝ එක්ව සිටියහ. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා එම අවස්ථාවට සහභාගි වුණි.


මෙහිදී රුවන් විජයවර්ධන මහතා පිළිගනු ලැබුවේ කරු ජයසූරිය මහතා විසිනි. සමුළුවේදී රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ විපක්ෂය ඒකාබද්ධ වීම පමණක් ජනතා ප්‍රශ්නවලට ප්‍රමාණවත් නොවන බවය. ජාතික ප්‍රතිපත්තියක් මත කටයුතු කිරීමෙන් ජනතා විශ්වාස රැක ගැනීමට හැකිවන බවත් ජනතා ප්‍රශ්නවලට විසඳුම් සෙවිය හැකි මාර්ගයක් කරා යොමු විය හැකි බවත් මෙහිදී රුවන් විජයවර්ධන මහතා කීවේය.
ඉන්පසු රුවන් විජයවර්ධන මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකට ද සහභාගි විය.


ඔහු එහිදී කියා සිටියේ රජය මේ දක්වා රුපියල් ට්‍රිලියනයක් පමණ අච්චු ගසා තිබෙන බවත් ඩොලර් අච්චු ගහන්න පුළුවන්කමක් තිබුණා නම් මේ අය ඒකත් කරන බවත්ය.


හෝමාගම ප්‍රාදේශීය සභාවේ සමගි ජනබලවේගයට සහාය දැක්වූ මන්ත්‍රී පිරිසක් යළි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධවීමද පසුගිය සතියේදී සිදුවිය. රුවන් විජයවර්ධන මහතාගේ මාමා වූ අභාවප්‍රාප්ත දේවින්ද සේනානායක මහතාගේ තුන් මාසයේ පිංකමද පසුගිය සතියට යෙදී තිබූ අතර ඒ අවස්ථාවටද ඔහු සහභාගි විය.

 

 

-ගජබා-



අදහස් (0)

විපක්ෂය එකතු කළ සර්වපාක්ෂික සමුළුව

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 135 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1448 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site