IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දේශපාලන පිටියේ ‘තෙල් කුණාටුව’

ඉකුත් සතිය ආරම්භ වූයේ දේශපාලන සුළි කුණාටුවකිනි. ඒ සුළි කුණාටුව තවමත් පහව ගොස් නැත. එය දැන්ම පහව යන බවක් පෙනෙන්නට ද නැත. ඒ වෙනුවට සිදු වෙමින් තිබෙන්නේ එය තව තවත් වර්ධනය වෙමින් දේශපාලන ප්‍රවාහය කැළඹීමකට පත් කිරීමය. මේ සුළි කුණාටුවට නිමිත්ත වූයේ ආණ්ඩුව තෙල් මිල වැඩි කිරීමය.


ගම්මන්පිල - සාගර ගැටුම


ආණ්ඩුව තෙල් මිල වැඩි කළේ ඉකුත් සතියේ සිකුරාදා මැදියම් රැයේය. ඊට පැය කිහිපයකට කලින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල තෙල් මිල වැඩි කරන බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් පවත්වමිනි. ගම්මන්පිලගේ මාධ්‍ය හමුවේ උණුසුම යන්නටත් පෙර තෙල් මිල වැඩි විය. ඒ වෙනදාට සාපේක්ෂව ඉහළ ගණනකිනි. ආණ්ඩුවේ තෙල් මිල වැඩි කිරීමට එරෙහිව නැගී සිටියේ ආණ්ඩුවමය. ආණ්ඩුව කරන ප්‍රධානම පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූප සහිත ලිපි ශීර්ෂය යටතේ පහුවදාම නිවේදනයක් නිකුත් කළේ තෙල් මිල වැඩි කිරීමට ගම්මන්පිල ඇමැතිවරයා ඍජුවම වගකිවයුතු බව කියමිනි. එපමණක් නොව මෙවැනි තත්වයක් ඇති කිරීමේ වගකීම භාරගෙන ගම්මන්පිල ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ද එම නිවේදනයෙන් කියා තිබිණි. තෙල් මිල වැඩි කිරීමෙන් පීඩාවට පත්වූ ජනයා ද අන්දමන්ද වූයේ ආණ්ඩුවේම නිවේදනයෙනි. තෙල් මිල වැඩි කර එහි උණුසුම යන්නටත් පෙර ආණ්ඩුවෙම ඇමැතිවරයකුට එරෙහිව ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් විසින් මෙවැනි නිවේදනයක් නිකුත් කරනු ලැබීම දේශපාලන සුළි කුණාටුවකට මුලපුරන්නක් විය. එය එක් පැත්තකින් ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුවම නැගී සිටීමක් වැනිය. කොරෝනාවෙන් බැටකන ජනතාව තෙල් මිල වැඩි කිරීමෙන් තවත් පීඩාවට ඇද දමා ඇති බව එම නිවේදනයේ සඳහන් විය. මේ නිසා හැමෝම කතා කරන්නට පටන් ගත්තේ තෙල් මිල වැඩි කිරීම ගැන නොව තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුවෙන්ම නිකුත් වූ නිවේදනය ගැනය.


විමල්ගේ නිවසේ හදිසි හමුව


ආණ්ඩුවේ මේ නිවේදනය ගැන ආණ්ඩුවේම හවුල්කාර පක්ෂ දැඩි කලබලයටත් කම්පනයටත් පත් විය. ගම්මන්පිල වෙනුවෙන් හවුල් පක්ෂ එකට සිට ගත්තේ පොදුජන පෙරමුණේ නිවේදනයට විරෝධය පළ කරමිනි. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක්ම ඉරිදා උදේ විමල් වීරවංශ ඇමැතිවරයාගේ කොළඹ නිල නිවසේ දී රැස් වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. පිරිස එකතු කිරීමට මූලිකත්වය ගත්තේ විමල්ය. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන්ට ඉරිදා උදේ සිය නිවසට එන්නැයි විමල් දුරකථන ඇමතුම් මගින් දැනුම් දුන්නේය. ඒ අතරේ ගම්මන්පිල ද පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්ට පිළිතුරු දෙන්නට විදුලිබල අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් ද සූදානම් කර තිබිණි. විමල්ගේ නිවසේ පැවති සාකච්ඡාවට අතුරලියේ රතන හිමියෝ ද, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස්, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ ඇතුළු පක්ෂ නායකයෝ පිරිසක් ද සහභාගි වූහ. එහි විශේෂත්වය වූයේ එම සාකච්ඡාවට පොදුජන පෙරමුණේ ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ මහින්දානන්ද අලු‍ත්ගමගේ යන ඇමැතිවරුන් දෙදෙනා ද සහභාගි වීමය. ඔවුන් දෙදෙනා ඊට සහභාගි වූයේ ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුවේ සාමාජිකයන් වශයෙනි. තෙල් මිල වැඩි කිරීමට ආණ්ඩුව ගත් තීරණය ගැන පැහැදිලි කළේ උදය ගම්මන්පිලය. ඔහු කීවේ තෙල් මිල වැඩි කිරීමට තීන්දුව ගත්තේ ජීවන වියදම් කමිටුව බවය. එම කමිටුවේ ජනාධිපතිවරයා ද අගමැතිවරයා ද සිටින බව ඔහු කීවේය. බලශක්ති ඇමැතිවරයා වුවද තමන්ට ඉන්ධන මිල වැඩි කිරීමේ තනි බලයක් නැති බව ගම්මන්පිල කීවේය. ඉන්ධන මිල වැඩි කිරීමට අනුමැතිය දෙමින් අගමැතිවරයා සිය අත්සනින් නිකුත් කළ ලිපිය ද තමා සතුව තිබෙන බව ඔහු කීවේය. ගම්මන්පිල කිව්වේ සාගර කාරියවසම්ගේ නිවේදනය පිටුපස වෙනත් කුමන්ත්‍රණයක් තිබෙන බවය. ඉන්ධන මිල වැඩි කළේ විදේශ වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති නිසා නොව විදේශ විනිමය අර්බුදය නිසා බව ඔහු කීවේ තෙල් මිල වැඩි කිරීමේ පසුබිම් කතාව ද පැහැදිලි කරමිනි. අනතුරුව කතා කළේ වාසුදේව නානායක්කාර ය. ඔහු කීවේ ද සාගරගේ නිවේදනය හරහා ප්‍රශ්නය වෙනත් තැනකට තල්ලු‍ කර ඇති බවය. ජීවන වියදම් කමිටුවේ දී ගත් තීන්දුවකට අනුව තෙල් මිල වැඩි කර තිබියදී එහි වගකීම විෂය භාර ඇමැතිවරයාට පැවරීම වැරදි බව ඔහු කීවේය. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ ද තෙල් මිල ප්‍රශ්නය ගැන අදහස් දක්වන්නට විය. ඔහු කීවේ විශාල වශයෙන් පීඩාවට පත්ව සිටින ජන කොටස්වලට සහන සැලසෙන වැඩපිළිවෙළකට ආණ්ඩුව වහා යායුතු බවය. මේ අතරේ ගම්මන්පිල ඉන් පිටත්ව ගියේ ඉන්ධන මිල වැඩි කිරීම හා සාගර කාරියවසම්ගේ නිවේදනය ගැන පිළිතුරු දීමට අමාත්‍යාංශයේ මාධ්‍ය හමුවට සහභාගි වීමට යන බව කියමිනි. ඔහු ගිය පසුවද සාකච්ඡාව දිගටම ගියේය. හවුල් පක්ෂවල නායකයන් එහිදී තීන්දු කළේ පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්ගේ නිවේදනයට පිළිතුරු දෙමින් වහාම නිවේදනයක් නිකුත් කිරීමටය. ඔවුන් සියලු‍ දෙනාගේම අදහස වූයේ සාගර කාරියවසම්ගේ නිවේදනය හරහා ආණ්ඩුව තුළ අලු‍ත් අර්බුදයන් නිර්මාණය කර ඇති බවය. ඊට පිළිතුරු දෙමින් නිකුත් කෙරෙන නිවේදනය සකස් කිරීමේ කටයුතු බාර ගත්තේ විමල් වීරවංශ ඇමැතිවරයාය. ඊට පක්ෂ නායකයන්ගේ අත්සන් ලබා ගැනීම සම්බන්ධීකරණය කිරීම ටිරාන් අලස් බාර ගත්තේය.


ගම්මන්පිලට ජනාධිපතිගෙන් ආ එස්.එම්.එස්. පණිවිඩය


සාගර කාරියවසම්ගේ නිවේදනය ආණ්ඩුවේ ප්‍රධානියා වන ජනාධිපතිවරයාගේ හෝ පොදුජන පෙරමුණේ නායකයා වන අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ හෝ අනුදැනුමකින් තොරව නිකුත් වූවක් බව පැහැදිලි වන්නේ එම නිවේදනයෙන් පසුව ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ගම්මන්පිලට දුරකතනයෙන් කථා කිරීමෙනි. ජනාධිපතිවරයා ගම්මන්පිලට කියා තිබුණේ ඉන්ධන මිල වැඩි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ජනාධිපති කාර්යාලය ද එදිනම සවස නිවේදනයක් නිකුත් කරන බවය. එපමණක් නොව ජනාධිපතිවරයා ගම්මන්පිල මාධ්‍ය හමුවට සහභාගී වීමට මිනිත්තු කිහිපයකට පෙර ඔහුගේ දුරකතනයට එස්.එම්.එස්. පණිවිඩයක් ද එවා තිබිණි. ඒ අතර දැන ගන්නට ලැබුණේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් සාගර කාරියවසම් මන්ත්‍රීවරයා කැඳවා නිවේදනය ගැන කරුණු විමසා ඇති බවය.
මේ අතර උදය ගම්මන්පිල බලශක්ති අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ඉන්ධන මිල වැඩි කිරීමේ නිධාන කතාව ගැන පැහැදිලි කළේය. ඔහු කීවේ ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් තමා ඉල්ලා අස්විය යුතු නැති බවත්, ඉල්ලා අස්විය යුත්තේ ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් අභියෝග කරමින් නිවේදනයක් නිකුත් කළ සාගර කාරියවසම් බවය. ඉන්ධන මිල වැඩි කළේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත්, ඇමැතිවරුනුත් සිටි ජීවන වියදම් කමිටුවේ අනුමැතිය ඇතිව බව ගම්මන්පිල කීවේය. ඔහු ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි සාගර කාරියවසම්ට ආරාධනයක් ද කළේය.


මේ අතර ජනාධිපති කාර්යාලය ද, ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් ඉරිදා පස්වරුවේම නිකුත් කළේය. එයින් කියවුණේද ගම්මන්පිල කියන දේම ය. ඉන්ධන මිල වැඩි කළේ ජීවන වියදම් කමිටුව ගත් තීරණයකට අනුව බව ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය. ඛනිජ තෙල් සංස්ථාව බැංකුවලට ගෙවීමට ඇති අතිවිශාල ණය ප්‍රමාණය ගැනත්, සංස්ථාව ලබන පාඩුව ගැනත් එහි සඳහන් විය. මේ මොහොතේ ඉන්ධන මිල වැඩි කිරීම හැර විකල්පයක් නොමැති බව නිවේදනයේ සඳහන් කර තිබිණි.


හදිසියේ අවලංගු කළ සාගරගේ මාධ්‍ය හමුව


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතාගේ මාධ්‍ය හමුවක් සඳුදා උදේ දහයට බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී කැඳවා තිබුණේ තෙල් මිල සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ හා ගම්මන්පිලට පිළිතුරු දීමේ අපේක්ෂාවෙනි. එදින උදේ හදිසියෙන්ම මාධ්‍යවලට දැනුම් දී තිබුණේ එම මාධ්‍ය හමුව නොවැලැක්විය හැකි හේතුවක් මත අවලංගු කර ඇති බවය. දේශපාලන ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබුණේ එදින එම මාධ්‍ය හමුව නොපවත්වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවය.


ගම්මන්පිලට එරෙහිව ආණ්ඩුවේ පසුපෙළ නැගී සිටී


ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරුන්ගේ හදිසි හමුවක් බදාදා පස්වරුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොහොට්ටුවේ පක්ෂ කාර්යාලයේ දී පැවැත්විණි. පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්, මහාචාර්ය චරිත හේරත්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, එස්.ඒ.ඩී. ජගත් කුමාර, කෝකිලා ගුණවර්ධන, සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක, මධුර විතානගේ, රාජිකා වික්‍රමසිංහ, නිපුණ රණවක, කරුණා කොඩිතුවක්කු, චින්තක මායාදුන්න, වසන්ත යාපා බණ්ඩාර, මහාචාර්ය රංජිත් බණ්ඩාර ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරු විසි පස් දෙනෙක් ඊට සහභාගි වූහ. වත්මන් දේශපාලන තත්ත්වය හා ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදය එහිදී සාකච්ඡාවට ලක්විය. මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා කීවේ ආණ්ඩුව තීන්දු ගන්න ඕන අවස්ථාවේදී නොගෙන පසුව ගැනීමෙන් ජනතාව අතර අප්‍රසාදයට ලක්වන බවය. මේ අතර ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා වෙනත් කරුණක් මතු කළේය “සමහරු ආණ්ඩුවෙ ඉඳන් ආණ්ඩුවටම ගහනවා. හොඳ ටික එයාලා අරගෙන නරක ජනාධිපතිතුමාගේයි අගමැතිතුමාගෙයි ගිණුමට බැර කරනවා. එහෙම වෙන්න දෙන්න බෑ. අපි ඒවට එරෙහිව නැගීසිටින්න ඕන.”‍ ප්‍රමිත කීවේය. ඒ සමඟම ගම්මන්පිල ගැන ද සාකච්ඡාවට ලක්විය, ඔවුන් කීවේ මේ අය ආණ්ඩුවේ උරුම වලට මිසක් කරුම වලට කරගහන්න සූදානම් නැති බව මීට පෙර කියා ඇති බවය. ඒ නිසා අපිත් මේ වෙලාවේ ඉන්ධන මිල වැඩි කිරීමේ කරුමෙට කර ගහන්න ඕන නෑ යැයි ඔවුහු කීහ. මේ අතර ප්‍රමිත තෙන්නකෝන් මන්ත්‍රීවරයා ගම්මන්පිල ඇමති වරයාට යැවීමට ලියූ පිටු තුනකින් යුත් ලිපියක් ද මන්ත්‍රීවරුන් හමුවේ කියවීය. ගම්මන්පිල ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල පසුගිය කාලයේ ක්‍රියාකාරිත්වය එමගින් විවේචනය කර තිබිණි. නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් හා විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් එම හවුල්කාර පක්ෂ ආණ්ඩුව අපහසුතාවට පත් වන ආකාරයෙන් කටයුතු කළ බවට එමගින් චෝදනා කර තිබිණි. එබැවින් තෙල් මිල වැඩ කිරීමේ කරුමය ඔවුන්ම බාර ගත යුතු බවත්, ආණ්ඩුව එය භාර නොගත යුතු බවත් ලිපියේ සඳහන් විය. එහෙත් එය ගම්මන්පිලට යැවීම මේ අවස්ථාවේ සුදුසු නොවන බව බොහෝ දෙනාගේ අදහස විය. කෙසේ වුවද තෙල් මිල වැඩි කිරීම පිළිබඳ ප්‍රශ්නය මීළඟ ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මතුකිරීමට පසුපෙළ තීරණය කළේය.

 

පොහොර නැතිව
ගමට යන්න බෑ
       - චමල් රාජපක්ෂ


ඇමතිවරු පොහොර ප්‍රශ්නය මතුකරති


ඉකුත් සතියේ කැබිනට් රැස්වීම ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. කුමක් හෝ හේතුවක් මත ජනාධිපතිවරයා එදින කැබිනට් රැස්වීමට පැමිණ සිටියේ නැත. පොහොර ප්‍රශ්නයත්, ඉන්ධන මිල ඉහළ දැමීමේ ප්‍රශ්නයත් එදින කැබිනට් රැස්වීමේ ප්‍රධාන මාතෘකාව බවට පත්විය. පොහොර ප්‍රශ්නය ගැන මුලින්ම මතු කළේ චමල් රාජපක්ෂ ඇමැතිවරයාය. ඔහු කීවේ ගොවීන්ට පොහොර නොමැතිවීමෙන් බරපතළ අර්බුදයක් මතුව ඇති බවය. ගම් ප්‍රදේශ වලට ගියවිට ගොවීන් ඇවිත් ඒ ගැන මැසිවිලි නඟන බව ඔහු කීවේය. මහින්ද අමරවීර, වෛද්‍ය රමේෂ් පතිරණ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්.එම් චන්ද්‍රසේන, වාසුදේව නානායක්කාර යන ඇමැතිවරුද චමල් ගේ අදහස අනුමත කරමින් කතා කළහ. ඊට පිළිතුරු දුන්නේ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද ය. ඔහු කීවේ යල කන්නයට අවශ්‍ය පොහොර රට තුළ තිබෙන නමුත් වෙ​ෙළඳුන් ඒවා හංගා ඇති බවය. ඒ හේතුවෙන් ගොවීන් අපහසුතාවයට පත්ව ඇති බව ද ඔහු පිළිගත්තේය. මේ අතර තෙල් මිල ප්‍රශ්නය ද කතාබහට ලක්විය. ඇමතිවරුන් කීවේ පීඩාවට පත්ව ඇති සමාජ කොටස් තෝරා ඔවුන්ට සහන දෙන වැඩපිළිවෙළක් සකස් කළ යුතුව ඇති බවය. දිස්ත්‍රික් මහ රෝහල් නමයක් රජයට පවරාගෙන දියුණු කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබුවේ සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි විසිනි. ගම්පහ, මාතලේ, නාවලපිටිය, ඇඹිලිපිටිය, අවිස්සාවේල්ල, මන්නාරම, වව්නියාව, කිලිනොච්චිය සහ මුලතිව් යන රෝහල් රජයට පවරාගෙන සංවර්ධනය කිරීමට තීරණය විය. ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයා කිව්වේ දඹුල්ල රෝහල ද රජයට පවරා ගෙන සංවර්ධනය කළ යුතු බවය. දඹුල්ල ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් නිසා එය අත්‍යවශ්‍ය බවද ඔහු කීවේය.
බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා කැබිනට් රැස්වීමට පැමිණ සිටියේ සබන් මල්ලක්ද රැගෙනය. සතොස මගින් හඳුන්වාදෙන ලද ප්‍රමිතියෙන් ඉහළ සහ මිලෙන් අඩු සබන් වර්ග කිහිපයක් එහි අඩංගු විය. සමහර ඒවා රෙදි සෝදන සබන් ය. සමහර ඒවා ඇඟේ ගාන සබන් ය. බන්දුල සබන් මල්ල බැගින් ඇමැතිවරුන්ට දුන්නේය. “මේ දවස්වල නිකම්ම නාන එකේ වෙළෙඳ ඇමැතිතුමා විතරයි සබන් කෑල්ලක් දුන්නේ”‍ යැයි ඇමතිවරුන් කිව්වෙ හිනාවෙමිනි. උදය ගම්මන්පිලට ද බන්දුල සබන් මල්ලක් දෙනු දුටු ඇමැතිවරයෙකු කීවේ, “තෙල් මිල වැඩි කරපු එක කියලා ඇමතිතුමා නාන එකේ සබන් කෑල්ල දීපු එක හොඳයි”‍ යනුවෙනි.


ගෝඨා - මෛත්‍රී හමුවෙති


පොළොන්නරුවේ අලු‍තින් ඉදිකළ වකුගඩු රෝහල විවෘත කරන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් සතියේ පොළොන්නරුව බලා පිටත්ව ගියේය. එය නම් කර ඇත්තේ චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව වකුගඩු රෝහල යනුවෙනි. එය මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිව සිටියදී චීනයෙන් ලැබුණු පරිත්‍යාගයකි. එබැවින් එය විවෘත කිරීමේ උත්සවයට ජනාධිපතිවරයා හිටපු ජනපති මෛත්‍රීට ද ආරාධනා කළේය. අක්කර දාසයක භූමිභාගයක සියලු‍ පහසුකම් සහිතව ඉදිකර ඇති මෙම රෝහල සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 1200 කි. ජනාධිපතිවරයා සමග ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා ද පැමිණියේය. මෛත්‍රීට අමතරව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි, උතුරුමැද ආණ්ඩුකාර මහීපාල හේරත්, රාජ්‍ය ඇමති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, රොෂාන් රණසිංහ ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් ද ඊට සහභාගි වූහ. උත්සවයට ගිය ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ මෛත්‍රී ඇතුළු පොළොන්නරුවේ දේශපාලනඥයන් විසිනි. මෛත්‍රී කීවේ ඔබතුමා අපේ ගම් පළාතට පිළිගන්නවා යැයි කියාය. ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කීවේ “ඔබතුමාගේ ගම්පළාත වගේම මේක ඔබතුමා ලබාගත්ත රෝහල නිසා උත්සවයත් ඔබතුමාගෙනේ”‍ යනුවෙනි. මෛත්‍රී පැමිණ සිටියේ සිය පුත් දහම් සිරිසේන ද සමඟ ය. ජනාධිපතිවරයා ඔහු සමඟ ද කතා කළේය. උත්සවයට සහභාගි වූ ජනාධිපතිවරයාට පීත්ත පටිය කපන්න රෝහල් අධ්‍යක්ෂවරයා ආරාධනා කළේය. “ඒකට නියම සුදුස්සා මෛත්‍රීපාල ජනාධිපතිතුමානෙ. අපි එතුමාටම කියමු මේක විවෘත කරන්න” කියමින් ජනාධිපතිවරයා මෛත්‍රීට ආරාධනා කළේය... අනතුරුව ජනාධිපතිවරයාත්, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාත් චීන තානාපතිවරයාත් එක්ව පීත්ත පටිය කපා රෝහල විවෘත කළහ.

 

පාර්ලිමේන්තුව  ඇතුළේ විරෝධයකට විපක්ෂයේ සූදානම


කොරෝනා සුවවී
සජිත් යළි නිවසට


කොරෝනා ආසාදිතව රෝහල් ගතව සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුවය ලබා රෝහලින් පිටත්ව ගියේ පසුගිය සිකුරාදාය.


‘‘ඩොක්ටර් මට දැන් එළියට ගිහින් වැඩ කරන්න පුළුවන්ද’’සජිත් රෝහලින් පිටත්ව යාමට පෙර වෛද්‍යවරුන්ගෙන් විමසුවේය.


‘‘පුළුවන්. ඒත් ඔබතුමා ප්‍රවේසම් වෙන්න. රෝගය සුව වුනාට පස්සේ සතියක් නිවසේ නිරෝධායනය වෙන්න කියලා තමයි අපි උපදෙස් දෙන්නේ. ඔබතුමා නිවසේ නිරෝධායනය විය යුතු කාලයත් අපි රෝහලේ තියාගත්තා. ඒ නිසා දැන් ගෙදර ගිහින් නිරෝධායනය වෙන්න ඕනෑ නෑ’’වෛද්‍යවරු සජිත්ට උපදෙස් දුන්හ.
‘‘ඔබතුමා පහුගිය කාලේ වැඩ ගොඩක් කළා. දැන්වත් ටිකක් විවේක ගන්න’’විපක්ෂ නායක ලේකම් රවි ජයවර්ධන කීවේ රෝහලෙන් පිටත්ව එන විපක්ෂ නායකවරයාටය.


‘‘මට පහුගිය කාලයේදී අතපසුවූ වැඩ තියෙනවා. ඒ ටික කරන්න වෙනවා’’සජිත් කීවේ රෝහල්ගතවීමට පෙර දිනයේදි රෝහල්වලට ලබාදීමට සූදානම් කර තිබූ උපකරණ බෙදා දිය යුතු බවද කියමිනි.


රෝහලින් පිටත්ව ගොස් ආගමික වතාවත්වල නිරතවූ සජිත් දින දෙකක් කිසිවෙක් හමු නොවී නිවසේ සිටියේ වැඩි ආරක්ෂාවටය. තමන්ගෙන් තවත් අයෙකුට රෝගය බෝ නොවනු දැකීම ඔහුගේ අපේක්ෂාව විය.
දින කිහිපයක් නිවසේ සිටි ඔහු නැවත වරක් සුපුරුදු වැඩ කටයුතු ආරම්භ කළේය. ඒ අනුව ‘‘විපක්ෂයෙන් හුස්මක්”‍ වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 14 වැනි පියවර ලෙස රුපියල් හතළිස් හය ලක්ෂ පනස් දහසක් වටිනා රෝහල් උපකරණ ගම්පහ මහ රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.


මේ අතර එහි 15වැනි පියවර ලෙස මේ සතියේ ම ලක්ෂ 64ක් වටිනා රෝහල් උපකරණ කුරුණෑගල රෝහලට පරිත්‍යාග කළේය.

 

කණ්ඩායම් රැස්වීමට සජිත්


සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම මේ සතියේ පැවැත්වු​ණේ සජිත්ගේ ප‍්‍රධානත්වයෙන්ය. රෝහල් ගතව සිටි ඔහු පැමිණ සිටියේ සති ගණනාවකට පසුවය. සැත්කමකට භාජනය වී සිටි හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයාත් සති කිහිපයකට පසුව කණ්ඩායම් රැස්වීමට පැමිණීම කැපීපෙනුනේය.


‘‘ගිය සතියේ කණ්ඩායම් රැස්වීමේදී මන්ත‍්‍රීවරුන්ට වාහන ගෙන්වීම සම්බන්ධයෙන් මමත්, සරත් ෆොන්සේකා මන්ත‍්‍රීතුමාත් ගැටුමක් ඇති කරගත්තා කියලා සමහරු වාර්තා කරලා තියෙනවා මම දැක්කා’’සජිත් කණ්ඩායම් රැස්වීම ආරම්භයේදීම කීවේය.


‘‘ගිය සතියේ කණ්ඩායම් රැස්වීමට සූම් එකෙන්වත් ඔබතුමා සම්බන්ධ වු​ණේ නැහැනේ. බොරුවක් ලිව්වත් පදනමක් තියාගෙන ලියන්න ඕනෑ. ඉතිං මේ වගේ බොරු අතේ පත්තුවෙන එක අහන්න දෙයක්ද’’රංජිත් මද්දුමබණ්ඩාර මහ ලේකම්වරයා කීවේ උපහාසාත්මක සිනාවක් ද මුවට නංවාගනිමිනි.
‘‘ආණ්ඩුව තෙල් මිල ඉහල දාලා ජනතාව පීඩාවට පත් කරලා. මේකට අපි පියවරක් ගන්න ඕනෑ’’මරික්කාර් මන්ත‍්‍රීවරයා යෝජනා කළේය.


‘‘තෙල් මිල වැඩි කළා විතරක් නෙමෙයි පොහොට්ටුවේ ලේකම් ඇවිත් ඒකට විරුද්ධව නිවේදනයක් දාලා. මිනිස්සු රවට්ටන රංගනයක් කරන්න තමයි හදන්නේ. මේ සේරම එකතු කරලා අපි ලොකු විරෝධයකට යන්න ඕනෑ’’ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයා යෝජනා කළේය.


”‍ගොවි ජනතාව ඉන්නේ පුදුමාකාර පීඩනයක.ඒ අයව රැක ගන්න ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය යි.”‍ සජිත් පැවසූ අතර තිස්ස ඒ බව අනුමත කළේය.


‘‘අපිට දැන් එළියේ මහජනතාව එකතු කරලා විරෝධතා කරන්න බැහැ. ඒ නිසා පාර්ලිමේන්තුව ඇතුළේ මේකට විරෝධයක් මතු කරන්න ඕනෑ’හරින් යෝජනා කළේ විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමටය.
‘‘අපි ආණ්ඩුවට විරුද්ධව හරි ඛනිජ තෙල් ඇමැතිවරයාට විරුද්ධව හරි විශ්වාසභංග යෝජනාවක් ගේන්න කටයුතු කරමු’’සජිත් මන්ත‍්‍රීවරුන්ගේ අදහස් විමසුවේය.


මන්ත‍්‍රීවරුන් බහුතරයකගේ අදහස වූයේ මේ අවස්ථාවේදී ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමටය.


‘‘ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු පිරිසක් ඇමැතිවරයාට විරුද්ධව නිවේදන ගහනවා. ඇමැතිවරයා එක පැත්තක. මන්ත‍්‍රීවරු තවත් පැත්තක. ආණ්ඩුව ඇතුළේ බෙදීමක් තියෙනවා. මේ බෙදීම හොදට මතු කරලා ගන්න පුළුවන් වෙන්නේ ඇමැතිවරයාට එරෙහිව විශ්වාසංග යෝජනාවක් ගෙනාවොත් තමයි. ඒ නිසා ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඑමු. එත​ෙකාට ඇමැතිවරයාට ඉල්ලා අස්වෙන්න කියපු පොහොට්ටුවේ මහ ලේකම්වරයාටත් අපිත් එක්ක එකතුවෙලා ඡන්දෙ දෙන්න වෙනවා’’ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා දේශපාලනික පැහැදිළි කිරිමක් කළේය.


‘‘ආණ්ඩුව එකිනෙකට එකක් පරදින්නේ නැතිවෙන්න විහිළු නම් කරනවා. පොහොර තහනම් කරලා එක වෙලාවක ගොවි ජනතාව විහිළුවට ගත්තා. ඊට පස්සේ ධීවර ජනතාවගේ ජීවිත එක්ක ආණ්ඩුව විහිළු කළා. ආණ්ඩුව ජනතාවගේ ජීවිත එක්ක විහිළු කරන එක නතර කරන්න ඕනෑ’ සජිත් කීවේය.

 

 

 

-ගජබා-



අදහස් (0)

දේශපාලන පිටියේ ‘තෙල් කුණාටුව’

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 176 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site