IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ විරෝධතා

 ආචාරය

  • මන්ත්‍රීවරුන්ගේ උසස් අධ්‍යාපනයට විපක්ෂ නායකගෙන් යෝජනාවක්

බැසිල්ට එන්න පාර කැපූ හැටි


ආණ්ඩුව මේ වන විට සිටින්නේ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමිනි .එක් පැත්තකින් මහ බැංකුවේ විදෙස් සංචිත ප්‍රමාණය ශීඝ්‍ර ලෙස අඩු වෙලාය. අනෙක් පැත්තෙන් කොරෝනා අර්බුදය හේතුවෙන් නිෂ්පාදන ක්‍රියාවලියට ද එල්ල වී ඇත්තේ දැඩි අභියෝගයකි. මේ සියල්ල මැද බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය ආණ්ඩුවට අලු‍ත් බලාපොරොත්තුවක් ඇති කළේය. ඔහු මුදල් ඇමැතිවරයා ලෙස ආර්ථික අර්බුදයට කිසියම් හෝ විසඳුමක් ගෙන එනු ඇතැයි යන්න ආණ්ඩුවේ විශ්වාසයයි.


මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස සිටි බැසිල් රෝහණ රාජපක්ෂ පොහොට්ටු ආණ්ඩුව පිහිටුවන්නට තිරය පිටුපස සිටි යෝධ සෙවණැල්ල බව අවිවාදිතය. ආණ්ඩුව පිහිටු වූ දා සිටම ඔහුට පාර්ලිමේන්තුවට එන්නැයි ආණ්ඩුවේ පාර්ශව වලින් දිගින් දිගටම ආරාධනා ලැබිණි. එහෙත් ඔහු ආණ්ඩුවට නෑවිත් පිටුපස සිට ආණ්ඩුවේ ගමනට සක්‍රීයව දායක වූ බව නොරහසකි. ඔහුට තවදුරටත් ආණ්ඩුවට නෑවිත් සිටින්නට නොහැකිවූයේ දිගින් දිගටම ආ ඉල්ලීම් හේතුවෙනි. ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ඉන් ප්‍රධානය.


බැසිල් 8 වැනිදා පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන බවට වන ආරංචිය සති කිහිපයක සිට පැතිර ගියේය. ඔහුට අසුන දෙන්නට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් තුන් හතර දෙනෙකු ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවට ද වාර්තා පළ විය කෙසේ හෝ අවසානයේ ඉල්ලා අස් වූයේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ය. ඉකුත් අඟහරුවාදා පෙරවරුවේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වූයේ පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් සහ නිමල් ලංසා සමගි නි. කැටගොඩ ඒවනවිටත් ඉල්ලා අස්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබිණි. ඉල්ලා අස්වීමේ ලිපිය ද සූදානම් කරගෙන ඔහු අගමැතිවරයා හමුවන්නට ගියේය. කලින් දැනුම් දීමකින් තොරව හදිසියේ ආ කැටගොඩ මන්ත්‍රීවරයා දුටු අගමැතිවරයා ”‍ආ එන්න ජයන්ත මොකෝ හදිසියේ ”‍යැයි විමසීය. ඔහු කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට ඒමට අවස්ථාව සලසාදීම සඳහා තමා මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවය.”‍ සර් මම අද ලියුමත් බාර දෙනවා ”‍කැටගොඩ කීවේය.”‍ඔයා මේක හොඳට හිතලා ගත්තු තීරණයක්දැයි”‍ අගමැතිවරයා විමසීය. ඔහු කීවේ තමා බැසිල්ට අසුන දෙන්නට මුල සිටම සුදානමින් සිටි බවය. ඔහුට සුබ පැතු අගමැතිවරයා කීවේ ”‍ජයන්තට එහෙනම් මොකක් හරි තනතුරක් දෙන්න වෙනවා”‍ කියාය. මේ කතාබහ යන අතරේ සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පක්ෂ කාර්යාලයට දැනුම් දී තිබුණේ කැටගොඩගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන අසුනට බැසිල් රාජපක්ෂ මහතාගේ නම යැවීම සඳහා අවශ්‍ය කටයුතු සකස් කරන ලෙසය.
අනතුරුව සාගරත්, කැටගොඩත්, නිමල් ලංසාත් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ කාමරයට ගියේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීම සඳහා ය. ප්‍රසන්න රණතුංග ද ඊට එක්විය. ලිපිය භාරදී මන්ත්‍රී ධුරයෙන් සමුගත් කැටගොඩ පාර්ලිමේන්තු ලොබිය ට පැමිණ සිය සගයන් සමඟ කතාබහ කරමින් සිටියේ ය. ප්‍රසන්න කීවේ කැටගොඩ කළේ ලොකු කැප කිරීමක් බවය. ඔරලෝසුවේ වෙලාව බැලූ සාගර කැටගොඩත් සමඟ පොහොට්ටු කාර්යාලය වෙත ගියේ ලිපිය යැවීමට ප්‍රමාද වන බව පවසමිනි. බැසිල්ගේ නම යෝජනා කරමින් සකස් කළ ලිපිය ද අතට ගත් සාගර එවේලේම රාජගිරියට ගොස් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපිය භාර දුන්නේ ය.


මැතිවරණ කොමිසම පසුදා උදේම රැස්වූයේ බැසිල්ගේ නම අනුමත කිරීම වෙනුවෙනි. පුරප්පාඩු වී ඇති මන්ත්‍රීධූරය සඳහා බැසිල් රාජපක්ෂ මහතා පත් කරන බව සඳහන් ගැසට් නිවේදනය අනතුරුව සකස්කර මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යවනු ලැබීය.


ලක්ෂ්මන් යාපා ගැසට්ටුවත් අරන් බැසිල්ගේ නිවසට දුවයි 


බැසිල්ගේ ළඟම හිතවතකු වන හිටපු ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඒ වනවිටත් සිටියේ රජයේ මුද්‍රණාලයට ගිහින්ය. ඒ බැසිල්ගේ නම ඇතුළත් ගැසට් නිවේදනය රැගෙන යාමේ අපේක්ෂාවෙනි. බැසිල් ආර්ථික සංවර්ධන ඇමැතිවරයාව සිටිය දී ඔහුගේ රාජ්‍ය ඇමතිවරයා වූයේ ද ලක්ෂ්මන් යාපා ය. ඔහු ද බැසිල්ගේ පාර්ලිමේන්තු ආගමනය අපේක්ෂාවෙන් සිටි අයෙකි. ගැසට්ටුව මුද්‍රණය වූ වහාම එහි පිටපත් දෙකක් ඉල්ලා ගත් ඔහු එක් පිටපතක් ජනාධිපති කාර්යාලයට බාර දී, අනෙක් පිටපත රැගෙන බැසිල් හමුවන්නට ගියේය.


බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ ය. දිවුරුම්දීමට පෙර සිය බිරිය සමග කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට ගිය බැසිල් මුලින්ම කළේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට වැඳ ආශීර්වාද ලබා ගැනීමය. අනතුරුව ඔහු අගමැතිවරයාද සමග එකම වාහනයේ නැගී ජනාධිපති කාර්යාලය බලා පිටත්ව ගියේ දිවුරුම්දීමේ සුබ නැකත ළං වෙමින් තිබූ බැවිනි. ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී පත්වීම් ලිපිය ගත් බැසිල් මුලින්ම කළේ සිය වැඩිමහල් සහෝදරයන් දෙදෙනා වන ජනාධිපතිවරයාටත් අගමැති මහින්දටත් වැඳ ආශීර්වාද ලබා ගැනීමය. මුදල් ඇමැති ලෙස දිවුරුම් දුන් ඔහු අගමැතිවරයාගේ වාහනයෙන්ම පාර්ලිමේන්තුවට ගියේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබූ බැවිනි. පාර්ලිමේන්තුවේ පිවිසුම් දොර අසලදී අගමැතිවරයාත් බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාත් පිළිගන්නට ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු විශාල පිරිසක් පෙළගැසී සිටියහ. ඉන් ප්‍රධාන තැනක් ගත්තේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ය. ඔවුන් කලින් දිනයේ පාර්ලිමේන්තු ලොබියේ රැස්වී උදේ පාන්දර පාර්ලිමේන්තුවට එන්නට කතිකා කරගත්තේ බැසිල් එනවිට ඔහු පිළිගන්නට සියලු‍ දෙනා සිටිය යුතු බව කියමිනි. වෙනදා පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භයේදී මෙතරම් පිරිසක් නොඑන නමුත් එදින උදේ පාන්දරම විශාල පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ සිටිනු දක්නට හැකි විය.


කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන් බැසිල්, අගමැතිවරයා ළඟටත් චමල් රාජපක්ෂ ඇමැතිවරයා ළඟටත් ගොස් වැඳ ආශීර්වාද ලබා ගත්තේ සිය අසුනේ අසුන් ගැනීමටත් පෙර ය. ඔහු සභාව මැදින් යද්දි ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ද ලැබුණේ ඉහළ පිළිගැනීමකි. දිවුරුම් දී ඔහු වැඩි වෙලාවක් සභා ගැබේ නොසිටියේය. ඊට හේතුව මුදල් අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමට යාමට තිබීමය. ඔහු පිටත්ව යද්දී පසුපෙළ මන්ත්‍රීවරුන් ඇතුළු මැති ඇමැතිවරු කිහිපදෙනෙක්ම වාහනය ළඟට පැමිණියහ. දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමැතිවරයාද ඔහුට හමුවිය. දයාසිරි පසුගිය කාලයේදී බැසිල් සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් ප්‍රකාශ කළ අයෙකි. බැසිල් දුටු දයාසිරි ඔහුට ආචාර කර ‘‘මුදල් ඇමැතිතුමාට සුබ පතනවා”‍ යැයි කීවේය. ‘‘ඔබතුමා දැන් මුදල් ඇමැතිනෙ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ගැනත් බලන්න ඕන”‍ යැයි දයාසිරි කියද්දී බැසිල් ඔහුගේ පිටට තට්ටුවක්ද දමා පිටත්ව ගියේය. එහිදී ඔහුට ශ්‍රීලනිපයේ ශාන් විජයලාල් සිල්වා මන්ත්‍රීවරයාද හමුවිය. ශාන් ඔහුට සුබ පතද්දි ‘‘මම ඔබතුමා මන්ත්‍රී වුණාම අදමයි දැක්කේ”‍ යයි බැසිල් කීවේ ය. ‘‘මම පළාත් සභාවේ හිටියට මේ පාරනෙ පාර්ලිමේන්තුවට ආවේ”‍ ෂාන් උත්තර දුන්නේ ය.


ආණ්ඩු පක්ෂයේ පො​හොර වැඩමුළුව


ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා කාබනික පොහොර ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ඒ ගැන අදහස් දක්වන්නට මහින්දානන්ද අලුත්ගමගේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, අතුරලියේ රතන හිමි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන අය සහභාගී වූහ. ආරම්භයේදී මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සහභාගී වී සිටි නමුත් සාකච්ඡාව යන අතරේ ඉන් වැඩි දෙනෙක් පිටව ගියහ. මේ පිරිස පැයක හමාරක් තිස්සේ කාබනික පොහොර භාවිතය ගැන දේශන කරන්නට වූහ. ප්‍රශ්න තියෙනව නම් අහන්නැයි දේශකවරු ඉල්ලා සිටියහ. ඒ අතරේ නැගී සිටියේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයාය. ඔහු ප්‍රශ්න තුනක් යොමු කළේය. කාබනික පොහොර අවශ්‍ය තරම් තිබෙනවාද? ඊට ගැලපෙන බීජ අපේ රටේ තියෙනවාද? කාබනික වගාවෙන් ලැබෙන ආහාරවල මිල පාරිභෝගිකයන්ට දරාගන්න පුළුවන් ද? ඔහුගේ ප්‍රශ්න විය. ඔහු කතා කරද්දී ඊට රතන හිමියන්ගෙන් බාධාවක් එල්ල විය. ‘‘අපිට කතා කරන්න තියෙන්නේ මෙතැන විතරයි. අපි මේ ගැන එළියේ විවේචනය කරන්නේ නැහැ. අපිට මෙතැනදීවත් කතා කරන්න දෙන්න’’ ප්‍රමිත කීවේය.


ඒ අතරේ මහින්දානන්දත් රතන හිමි සහ පාදෙණියත් ඉල්ලීමක් කළේ මේ ගැන ගම්වලට ගොස් ජනතාව දැනුවත් කරන ලෙසය. මේ ගැන ​ගම්වලට කියන්න ගියොත් ගුටි කන්න වෙන්නෙ. රතන හාමුරුවෝ පන්සල්වලට ගිහින් බණ කියනකොට මේ ගැන දැනුවත් කරන්න. පාදෙණිය මහත්තයා ඉස්පිරිතාලෙ ගිහිල්ලා මේ ගැන දැනුවත් කරන්න. ඔබතුමාට සායනවලට ගිහිල්ලත් මේ ගැන දැනුවත් කරන්න පුළුවන්. ඔබතුමාලා ගුටි කෑවට පස්සේ අපි ගිහින් දැනුවත් කරලා ගුටි කන්නම්. දැනටත් අපට ගම්වල ඉන්න බැරුව ඉන්නෙ ‘‘කතාවට මැදිහත් වෙමින් මන්ත්‍රී චාමර සම්පත් කීවේ දීර්ඝ ලෙස පැහැදිලි කරමිනි.


විපක්ෂයෙන් විරෝධතා


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම සුපුරුදු පරිදි මේ සතියේ පැවැත්වුණේ පාර්ලිමේන්තු කමිටු ශාලාවකදීය. පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබදව මෙන්ම දේශපාලන තත්ත්වය ගැන ද මන්ත‍්‍රී කණ්ඩායමේ අවධානය යොමුවිය.


කණ්ඩායම් රැස්වීම ආරම්භයේදීම ආණ්ඩුව මර්දනකාරී වැඩපිළිවෙලක සිටින බවට විපක්ෂ නායක සජිත්  ක්‍ීවේය.


‘‘මේ ආණ්ඩුව ජනතා මර්දනයෙන් ඉදිරියට යන්න උත්සාහ ගන්නවා. විරෝධතා පැවැත්වීම මර්දනය කරමින් ජනතා මතය යට ගැසීමට ගන්නා උත්සාහයට එරෙහිව අපි නැගී සිටිය යුතුයි’’ සජිත් කීවේ මර්දනයට එරෙහිව පුළුල් ව්‍යාපාරයක් ඉදිරියට ගෙන යා යුතු බව පවසමිනි.


ඒ අනුව සජිත් පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටතදීත් ආණ්ඩුවේ මර්දනයට එරෙහිව හඬ නැගුවේය. මාධ්‍යවේදී තරිදු ජයවර්ධනට එල්ලවූ තර්ජනය පිළිබඳව මෙන්ම විරෝධතා පැවැත්වීම නිසා අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයන් ගැන ද ඔහු පාර්ලිමේන්තුවේ දී කතා කළේ විපක්ෂ නායකයා යනු එක් පක්ෂයක නායකයෙක් නොව විපක්ෂයේ සියලු‍ම පක්ෂ වෙනුවෙන් පෙනී සිටින නායකයා බව පෙන්වමිනි.


ඒ අතරම පාර්ලිමේන්තුව ඉදිරිපිට දී සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන් විසින් විරෝධතාවයක් ද සංවිධානය කළේය.


මේ අතර සමගි ජන බලවේගයට සහාය දුන් පළාත් පාලන මන්ත‍්‍රීවරුන් ඉලක්ක කරගෙන එල්ලවන තර්ජන ගැනත් මන්ත‍්‍රී කණ්ඩායමේ අවධානය යොමුවිය.


‘‘මේ මන්ත‍්‍රීවරු ඡන්දයට ආවේ එක්සත් ජාතික පක්ෂයෙන්. ඒත් අපිත් එක්ක තමයි ඉන්නේ. ඒ අයගේ මන්ත‍්‍රීධූර අහෝසි කරලා බය කරන්න එක්සත් ජාතික පක්ෂය කටයුතු කරනවා’’කබීර් හෂීම් පැවසුවේය.
‘‘විපක්ෂයේ වැඩ කරන පළාත් පාලන මන්ත‍්‍රීවරුන්ගේ මන්ත‍්‍රීධූර අහෝසි කළාට පොහොට්ටුවත් එක්ක ඉන්න මන්ත‍්‍රීවරුන්ට කිසිම ප‍්‍රශ්නයක් නෑ. ගාල්ල නගර සභාවේ පොහොට්ටුවත් එක්ක එකතුවෙලා ඉන්න මන්ත‍්‍රීවරුන්ගේ මන්ත‍්‍රීධූර අහෝසි කරලා නෑ. ඒත් ගම් මට්ටමින් ආණ්ඩුවට විරුද්ධ වන මන්ත‍්‍රීවරුන්ගේ මන්ත‍්‍රීධූර අහෝසි කරලා’’මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා කීවේය.


‘‘මේ මන්ත‍්‍රීධූර අහෝසි කරලා තියෙන අයත් එක්ක තමයි ගමේ මිනිස්සු ඉන්නේ. මොන අභියෝග ආවත් ඒ අය සමගි ජන බලවේගය අතහැරලා ගියේ නෑ. ඒ නිසා මේ අය ආරක්ෂා කරගත යුතුයි’’නලීන් බණ්ඩාර පැවසුවේය.


‘‘ඉදිරියේ දී කොහොමත් පළාත් පාලන මැතිවරණයක් එනවානේ. ඒ නිසා ලංකාවම නියෝජනය වන ආකාරයට පළාත් පාලන අපේක්ෂකයන්ගේ නාම යෝජනා කැඳවමු’’ලක්ෂ්මන් කිරිඇල්ල විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකයා ගෙන ආ යෝජනාවට මන්ත‍්‍රී කණ්ඩායමේ ඒකමතික අනුමැතිය හිමි වුණේය.
‘‘නාම යෝජනා කැඳවීමට අදාළ කටයුතු ඉදිරි සති දෙක ඇතුළත සූදානම් කරන්න’’ සජිත් මන්ත‍්‍රී කණ්ඩායමට දැනුම් දුන්නේය.


‘‘නාම යෝජනා කැඳවන වන විට මන්ත‍්‍රීධූර අහෝසි කළ හැත්තෑ දෙනාට ප‍්‍රමුඛත්වය දෙන්න’’තලතා අතුකෝරළ කළ ඉල්ලීමත් සියල්ලෝම පිළිගත්හ.


‘‘අපේ මන්ත‍්‍රීවරුන්ගේ උසස් අධ්‍යාපනය නැංවීමට අපි කටයුතු කරන්න ඕනෑ. ඒ ගැන මම විශ්වවිද්‍යාලයක් එක්කත් කතා කළා. ඒවට අවශ්‍ය සියලු‍ම ප‍්‍රතිපාදන පක්ෂය විසින් දරනවා’’ සජිත් මන්ත‍්‍රීවරුන්ගේ අධ්‍යාපනය ගැන දැක් වූ අවධානය සියල්ලන්ගේම අගය කිරීමට ලක් විය.


මන්නාරමටත් විපක්ෂයෙන් හුස්මක්


විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ජන සුවය ව්‍යාපෘතිය යටතේ රුධිර කාන්දුකරණ යන්ත‍්‍රයක් මන්නාරම දිස්ත‍්‍රික් රෝහලට ප‍්‍රදානය කළේය.


මෙම උපකරණ ප‍්‍රදානය කිරී​ෙම් අවස්ථාවට එක්වන්නැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන්ට කල් ඇතිවම ආරාධනා කර තිබුණි. ඒ අනුව එම්.ඒ. සුමන්තිරන්, සෙල්වම් අඩෙක්කලනාදන්, ගෝවින්දන් කරුණාකරම් සහ ශනක්‍යන් රාසමාණික්කම් පැමිණ සිටියහ.


‘‘ආණ්ඩුව උතුරේ ජනතාව අමතක කරනකොට ඔබතුමා උතුරේ ජනතාව වෙනුවෙන් මේ වගේ දෙයක් කිරීම අගය කරන්න ඕනෑ’’ සුමන්තිරන් සජිත්ට කීය.


‘‘දකුණේ ජනතාව වගේම උතුරේ ජනතාවත් මේ රටේ ජනතාව කියන එක මම අමතක කරලා නෑ’’ සජිත් කෙටියෙන් බරපතළ දේශපාලන කතාවක් කීවේය.


‘‘මේවා ආණ්ඩුවෙන් කරන්න ඕනෑ වැඩ. ආණ්ඩුවෙන් ඒ දේවල් වෙන්නේ නැතිවෙලාවක විපක්ෂ නායකතුමා විදියට ඔබතුමා මේ කරන දේ ජනතාවට ගොඩක් වටිනවා. ඒ වගේම විපක්ෂයේ ඉන්න අපේ පක්ෂයත් මේ දේවල්වලට සම්බන්ධ කරගන්න එක ගැන ස්තුතිවන්ත වෙන්න ඕනෑ’’ රාසමානික්‍යම් සජිත්ට ස්තුති කළේය.


අනුරගේ ප‍්‍රශ්නයට සජිත් මැදිහත් වෙයි


ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ජනතා විමුක්ති පෙරමු​ෙණ් නායක අනුර කුමාර දිසානායක ඉල්ලා තිබුණේය. එහෙත් ඒ වෙනුවට ආණ්ඩුවේ මන්ත‍්‍රී රංජිත් බණ්ඩාර විසින් ගෙන එන යෝජනාවක් ලෙස එම විවාදය ලබාදීමට ආණ්ඩුව සූදානම් විය. මේ බවට තොරතුරු ලැබුණ වහාම පාර්ලිමේන්තුවේ දී ඒ ගැන අවධානය යොමුවිය.


‘‘මේ විවාදය ඉල්ලු‍වේ අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීතුමා. එතුමා ඉල්ලපු විවාදයක යෝජනාවක් ආණ්ඩුවේ මන්ත‍්‍රී කෙනෙක් ගෙනැත් හරියන්නේ නැහැනේ. එතුමා ඉල්ලු‍වේ එතුමාට යෝජනාව ගේන්න ඕනෑ නිසා. ඔය විවාදය ඉල්ලු‍වේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේ දී. ඒකේදි ගත් තීන්දු තීරණ හරියට ක්‍රියාත්මක කරන්න’’සජිත් ඉල්ලු‍වේය.


එහෙත් ආණ්ඩු පක්ෂයෙන් කීවේ තමන් එම යෝජනාව ගෙන ඒමට සූදානම් බවය. කතානායකවරයාත් ආණ්ඩුවේ කීම පිළිගෙන යෝජනාව ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමට සූදානම් විය.
‘‘කතානායකතුමනි, ඔබතුමා කතානායක පුටුවේ ගරුත්වය රකින්න. රූකඩයක් වීම ඔබට හොඳ නෑ’’ සජිත් පාර්ලිමේන්තුවේ දී කීවේය.


මේ අතර සජිත් පාර්ලිමේන්තුවේ සිටිය දී පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතා කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බවට තොරතුරු වාර්තා විය. මෙසේ අත්අඩංගුවට ගත් පිරිස පී.සී.ආර්. පරීක්ෂණයක් නොකර ඔවුන් නිරෝධායනයට දුර බැහැර ප‍්‍රදේශයකට රැගෙන යාමට උත්සාහ ගන්නා බවට ද ඔහුට තොරතුරු ලැබුණේය.


‘‘අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කාර හාමුදුරුවොයි, ලංකා ගුරු සේවා සංගමයේ ජෝසප් ස්ටාර්ලින් ඇතුළු තිස් එක් දෙනෙක් මේ විදියට අරගෙන යන්න හදනවා. මේක තමයි ආණ්ඩුවේ මර්දනයේ අලු‍ත්ම මුහුණුවර. නිරෝධායනයට යවලා ආණ්ඩුවට විරුද්ධව කටවත් අරින්න එපා කියලා ජනතාවට තර්ජනය කරනවා’’ සජිත් කීවේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සමගි ජන බලවේගය කටයුතු කරන බවය. 


එජාපයට යූටියුබ් චැනලයක්


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒ ඒ දිස්ත්‍රික්කවල පක්ෂ සංවිධාන කටයුතු බාර දුන්නේය. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කය වජිර අබේවර්ධන මහතාටත් රත්නපුර දිස්ත්‍රික්කය සමන් රත්නප්‍රිය මහතාටත් කුරුණෑගල දිස්ත්‍රික්කය අකිල විරාජ් කාරියවසම් මහතාටත් ආදී වශයෙන් ඒ ඒ දිස්ත්‍රික්කවල සංවිධාන කටයුතු බාර කරනු ලැබීය.


එහිදී ප්‍රාදේශීය මට්ටම දක්වා පක්ෂයේ කටයුතු ව්‍යාප්ත කළයුතු ආකාරය ද එම සංවිධායකවරුන්ට පැහැදිලි කරදුන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි පළාත් සභා මැතිවරණය වෙනුවෙන් දැන් සිටම අවශ්‍ය සංවිධාන කටයුතු සිදු කරන ලෙස හා ගමට ගොස් ජනතාව හමුවී කටයුතු කරන ලෙසටද උපදෙස් දුන්නේය.
පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හැත්තෑ තුන්දෙනා සඳහා විශේෂ පුහුණු වැඩ පිළිවෙළක්ද පසුගිය සිකුරාදා සිරි​කොතේදී පැවැත්විණි.


පාර්ලිමේන්තුව හා පක්ෂ කටයුතු අතර රනිල් වික්‍රමසිංහ මහතා දින පහේම සිරිකොත මන්දිරයට පැමිණ සිටියේය. එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වීමෙන් පසු වෙනත් පක්ෂයකට සහාය දැක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක්ද එදින සිරිකොතට පැමිණ රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ඡා කළහ.
එක්සත් ජාතික පක්ෂය සඳහා යූටියුබ් චැනලයක් නිර්මාණය කිරීමට නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පසුගිය සතියේ දී මූලික විය.


පක්ෂයේ මාධ්‍ය කණ්ඩායම සිරිකොත දී රැස්කරවූ රුවන් විජයවර්ධන මහතා පක්ෂයේ මාධ්‍ය කටයුතු වඩාත් ශක්තිමත්ව සිදු කිරීම පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබා දෙමින් සාකච්ඡා කළේය. මීට අමතරව ‘‘සියරට’’ පුවත්පත යළි මුද්‍රණය කිරීමටත් එහි කටයුතු හිටපු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතාට හා නදීරා මඩුගල්ල මහත්මියට පවරා දිගටම පවත්වාගෙන යාම පිළිබඳවත් කරුණු සාකච්ඡා කෙරිණි.


චීනයේ කොමියුනිස්ට් පක්ෂ සංවත්සරයට සූම් තාක්ෂණය ඔස්සේ පක්ෂයේ නායකයන් සහභාගි වූ අතර නායක රනිල් වික්‍රමසිංහ, හිටපු ඇමැති සාගල රත්නායක සමග රුවන් විජයවර්ධන මහතාද එම අවස්ථාවට එක්ව සිටියහ.


සතියකට වරක් පවත්වන People's Assembly වැඩ සටහන මෙහෙයවූ රුවන් විජයවර්ධන මහතා එයට සාගල රත්නායක, සමන් රත්නප්‍රිය, මහාචාර්ය චන්දිමා විජේතුංග හා නීතිඥ සුදත් ජයසුන්දර යන අයද සහභාගි කරගත්තේය.


එක්සත් ජාතික පක්ෂ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධීකරණ ලේකම් වශයෙන් කටයුතු කරන සන්දිත් සමරසිංහ මහතා සමග සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම සඳහා බුද්ධික දොඩම්වල හා අනූ මාතරගේ යන මහත්වරුන් පත් කිරීමටද රුවන් විජයවර්ධන මහතා පියවර ගත්තේය.

 

-ගජබා-

 

 

 



අදහස් (0)

ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ විරෝධතා

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 134 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site