IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමැතිකම් නැතිව කලකිරුණු පොහොට්ටු මන්ත්‍රීවරු

තාවකාලික ඇමැති මණ්ඩලය වෙනුවට ස්ථිර ඇමැති මණ්ඩලයක් පත්කරන බවට කතාබහ පසුගිය කාලය පුරා දිගින් දිගටම සිදුවිය. ඒ සඳහා පොහොට්ටුව පාර්ශ්වයෙන් මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකුගේ නාමලේඛනයක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවනු ලැබීය. එසේ වුවද එම ලේඛනයට අනුව ඇමැති මණ්ඩලය පත් කිරීම තවමත් සිදු වී නැත. ඒ සම්බන්ධයෙන් පොහොට්ටුවේ ලොකු අය මෙන්ම, ඇමැතිකම් අපේක්ෂාවෙන් සිටි අයද සිටින්නේ දැඩි කලකිරීමකින් බව වාර්තා වේ.ඒ අතර දැනගන්නට ඇත්තේ මේ එවන ලද නම් අතර සිව් දෙනෙකුගේ නම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ගැටලු‍වක් ඇති වී තිබෙන බවය. ඔවුන්ට ඇමැතිකම් දීමට ජනාධිපතිවරයා තරමක් අදිමදි කරන බවද වාර්තා වේ. පොහොට්ටුවේ ලොකු අය මේ සම්බන්ධයෙන් ගිය සතියේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි දැනගන්නට තිබෙන අතර ජනාධිපතිවරයා ද දුරකථනයෙන් ඊට සම්බන්ධ වූ බව වාර්තා වේ.

පොහොට්ටුවෙන් එවපු නාම ලේඛනයේ සඳහන් නම් හතරකට තනතුරු නොදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක සිටින බව එහිදී ද ප්‍රකාශ කර ඇතැයි පැවසේ.
මේ අතර, එස් බී දිසානායක හිටපු ඇමැතිවරයා පසුගිය සතියේ මාධ්‍ය වලට ප්‍රකාශ කර තිබුණේ ඇමැතිවරුන් පත් නොකිරීම ඇතැම් විට අයවැය පරාජය වීමටද හේතුවක් විය හැකි බව ය. ඉන් පැහැදිලිව පෙන්නුම් කරන්නේ ඇමැතිවරුන් පත්නොකිරීම සම්බන්ධයෙන් පොහොට්ටුව තුළ දැඩි කලකිරීමක් සහ අප්‍රසාදයක් තිබෙන බවය. ඔවුන් කියන්නේ ගමට ගොස් වැඩ කිරීමට ඔවුන්ට වගකීමක් පවරා නොමැති බවය. මේ තත්ත්වය ආණ්ඩුවටද හොඳ නැති බව ඔවුන්ගේ අදහස වී ඇත.


පොදුජන පෙරමුණ රට පුරා දේශපාලන කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබේ. කළුතරින් ආරම්භ කළ රැස්වීම් මාලාව නාවලපිටිය සහ ආරච්චිකට්ටුව යන ප්‍රදේශවල පවත්වා ඉදිරියේදී තවත් දිස්ත්‍රික්ක කිහිපයක පැවැත්වීමට ද පොහොට්ටුවේ නායකයින් තීරණය කර ඇත. මේ අතර, පොහොට්ටුවේ දේශපාලන ක්‍රියාදාමය සම්බන්ධයෙන් පොහොට්ටුවේ තරුණ පෙළ මැති ඇමතිවරුන් අතර දැඩි කලකිරීමක් හටගෙන ඇතැයි දැනගන්නට ඇත. ඔවුන්ගේ අදහස වී ඇත්තේ පොහොට්ටුව ගතානුගතික අදහස්වලින් මිදීමට අකමැති බවය. 2015 පරාජයෙන් මෙන්ම මේ වසරේ ඇති වූ සිද්ධිවලින් ද පොහොට්ටුව තවමත් පාඩම් ඉගෙන ගෙන නැති බව ඔවුන්ගේ තර්කය වී ඇත. මේ සම්බන්ධයෙන් පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් තැන් තැන්වල කණ්ඩායම් ගැසී සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වේ

කලකට පසුව දුමින්දත් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඉකුත් සතියේ දී රැස් වූයේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේ පැවැති මෙම රැස්වීමට කලකට පසුව දුමින්ද දිසානායක මන්ත්‍රීවරයාද පැමිණ සිටියේය. පක්ෂයේ ජාතික සංවිධායකවරයා වුවද පසුගිය කාලයේ ඔහු පක්ෂයේ කටයුතු වලට සම්බන්ධ කර නොගැනුණු බවද වාර්තා විය. එසේ වුවද මෙවර මධ්‍යම කාරක සභාවට ඔහු කලින්ම පැමිණ සිටියේය. එම කාරක සභාවට මාධ්‍යවේදීන් කැඳවා ගැනීම සාමාන්‍යයෙන් සිදු නොවුවද, දුමින්දගේම ඡායාරූප ශිල්පියෙක් කලින්ම මධ්‍යම කාරක සභාවට පැමිණ සිටියේය. රැස්වීමේ දී අලු‍තින් සංවිධායකවරුන් දස දෙනකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුර පිරිනැමුණු අතර, රටේ බඩු මිල ප්‍රශ්නය, බදු ප්‍රශ්නය ආදී කාරණා මෙන්ම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම සම්බන්ධ කාරණා ගැන ද කතාබහට ලක්විය. මධ්‍යම කාරක සභාවේ අදහස වූයේ ස්වාධීන කොමිෂන් සභා සඳහා රෙගුලාසි මාලාවක් සකස් කළ යුතු බව ය. එසේ නොවුණහොත් පෙර මෙන් එම කොමිෂන් සභාවල කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වන බව ඔවුන්ගේ අදහස විය. මීට අමතරව දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධානවල සහභාගීත්වයෙන් දෙවැනි දා පැවැත්වෙන විරෝධතාවට පක්ෂයක් වශයෙන් ශ්‍රීලනිප සම්බන්ධවීමට ද එහිදී තීරණය විය. දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ජාතික සංවිධායකවරයා වුවද මේ රැස්වීමේදී වචනයක් හෝ කථා නොකළේය. සාකච්ඡාව අවසන් වී, ඔවුන් එළියට එන තෙක් මාධ්‍යවේදීහු පක්ෂ මූලස්ථානය ඉදිරිපිට රැකවල්ලා සිටියහ. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත්, මහලේකම් දයාසිරි ජයසේකර මහතාත් එළියට පැමිණ මාධ්‍ය හමුවේ ප්‍රකාශ නිකුත් කළ අතර, ඔවුන් දෙදෙනා මාධ්‍ය ප්‍රකාශ කරන තෙක්ම දුමින්ද ඇතුළටම වි සිටියේය. ඔවුන් දෙදෙනාගේ ප්‍රකාශයෙන් පසුව එළියට පැමිණි දුමින්ද මාධ්‍යයට වෙනම ප්‍රකාශයක් කළේය. මාධ්‍යවේදීන් විමසා සිටියේ ඇමතිකමක් දුන්නොත් භාර ගන්නේ ද යන්න ය. ඔව්, ඇමැතිකමක් දුන්නොත් ගන්න ඕනෑනේ. අපි මේ වෙලාවේ උදව් කරන්න ඕනෑ. දුමින්ද උත්තර දුන්නේ ය. ඉන් පැහැදිලි වූයේ ආණ්ඩුවෙන් ඇමති ධූරයක් ලැබුණොත් ඔහුද ආණ්ඩුවට සම්බන්ධ වීමේ සූදානමක සිටින බවය.

ඩිලාන් - වාසු පැණි රසට කැමති හේතුව රතන හිමි කියයි

නිදහස් ජනතා සභාවේ නියෝජිතයෝ මේ දිනවල විපක්ෂයේ දේශපාලන පක්ෂ වරින්වර හමුවී ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කරති. ඒ අනුව විමල්ලාගේ උත්තර සභාගයේ නියෝජිත පිරිසක් ද ඉකුත් බ්‍රහස්පතින්දා හවස නාවල පිහිටි නිදහස ජනතා සභා කාර්යාලයට පැමිණ ඩලස් ජීඑල් ඇතුළු කණ්ඩායම සමඟ සාකච්ඡාවක නිරත වූහ. මුලින්ම පැමිණියේ විමල් වීරවංශ ය. ඔහු පිළිගත් ඩිලාන් මොකද විමල් බොන්නේ යැයි විමසීය. මේ වෙලාවේ මොනවත් නැහැනේ, ප්ලේන්ටියක් බොමු යැයි විමල් කියද්දි ඩිලාන් කිව්වේ, ඒව මෙහෙට තහනම් වචනයක් නේ කියාය . සුරාපානයයි, දුරාචාරයයි දෙකම මෙහෙ තහනම් යැයි ඩිලාන් කියද්දි විමල්ට හයියෙන් හිනා ය. ඒ කතාබහ යද්දි උදය ගම්මන්පිල ද ආවේය. මොනවද උදය බොන්නෙ ඩිලාන් විමසීය. ප්ලේන්ටියක් බොමු උදය කී අතර, ඩිලාන් ඇසුවේ සීනි අඩුවෙන් ද කියාය. පිටරටවල නම් ප්ලේන්ටී කියන්නේ සීනි නෑ කියන අර්ථයෙන්. ගම්මන්පිල කියද්දී ඩිලාන් කිව්වේ මෙහෙ ප්ලේන්ටි කියන්නේ සීනි දාපු තේ එකට, සීනි නැති එකට කියන්නෙ කහට කියලනෙ යනුවෙනි. අනතුරුව පැමිණි රතන හිමියන්ට ද ගිලන්පසට කහට කෝප්පයක් පිරිනැමිණි. ප්ලේන්ටි, කහට ගැන කතාබහ යන අතරේ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ද පැමිණියේය. ඔහු කීවේ තමාට සීනි ටිකක් තියෙන ප්ලේන්ටියක් දෙන්න කියාය. වාසුදේව විමල්ගෙන් හා ඩිලාන්ගෙන් ඇසුවේ ඔයාලා දෙන්න පැණි රහට කැමති නැද්ද කියාය. මං නම් පැණි රසට හරිම ආසයි ඩිලාන් කියද්දි මමත් පැණි රසට කැමතියි වාසු කීවේය. පැණි රසට ඇති කැමැත්තේ ආනිසංස ගැන රතන හිමියන් පැහැදිලි කරන්නට වූ අතර, උන්වහන්සේ කියා සිටියේ, පැණි රසට කැමතියි කියන්නේ රාග සිතිවිලි වලට කැමතියි කියාය. වාසුයි ඩිලානුයි කැමතියි කියන්නේ ඒකේ ඇත්තක් තියනවා කියලා පේනවා යැයි ගම්මන්පිල කීවේ හැමෝම හිනස්සමිනි.


අනතුරුව සාකච්ඡාව ආරම්භ වූ අතර, ඊට ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී එල් පීරිස්, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු පිරිසක් ද එක් වූහ. ආණ්ඩුව පළාත්පාලන මැතිවරණය කල් දැමුවහොත් ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග සහ ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර, මැතිවරණ කොමිසමේ සංයුතිය වෙනස් කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවට ද චෝදනා එල්ල විය. ආණ්ඩුව පළාත්පාලන මැතිවරණය කල් දමා ගැනීමේ අරමුණින් මැතිවරණ කොමිසමේ සංයුතිය වෙනස් කළ හොත් අධිකරණයට පවා යා යුතු බවට එහිදී සාකච්ඡා විය.
මේ අතර නිදහස ජනතා සභාවේ ආර්ථික හා දේශපාලන වැඩපිළිවෙළ ලබන සති අන්තයේදී එළි දැක්වීමට තීරණය කර ඇත. එය පොත් දෙකක් වශයෙන් එළිදැක්වීමට සූදානම් කර ඇති අතර සතිඅන්තයේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ඒ පිළිබඳ උත්සවයක් ද පැවැත්වෙනු ඇත.

ඉන්දියාවේ සමුළුවට ගිය බන්දුලට හදිසි සැත්කමක්

ඉන්දියා වේ පැවති සමුළුවකට සහභාගි වීමට එරටින් ලැබුණු ආරාධනයකට අනුව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන ඉකුත් සති අන්තයේ ඉන්දියාව බලා පිටත්ව ගියේය. ඒ උත්සවයේ ප්‍රධාන දෙසුම වෙන්වී තිබුණේ බන්දුලට ය. හදිසි අසනීප තත්ත්වයක් හමුවේ වුවද බන්දුල දේශනය කළේය එහෙත් ඔහු එය කළේ දැඩි අසීරුවෙනි. ඉන්දීය බලධාරීන්ගේ මැදිහත්වීම මත බන්දුල හදිසි සැත්කමක් සඳහා ඒ අසල විශ්ව විද්‍යාලයක රෝහලකට ඇතුළත් කරනු ලැබීය. එම සැත්කම මීට කලින් ලංකාවේ කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණද බන්දුල ඊට එතරම් කැමැත්තක් නොදැක්වීය. සමුළුව අතරවාරයේ සැත්කම ඉන්දියාවේදී කරගන්නට බන්දුලට සිදුවිය. දෙදිනක් රෝහල්ගතව සිටි බන්දුල පසුව එරට ප්‍රවාහන ඇමතිවරයා ද හමුවී මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා ගත හැකි සහයෝගය සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

පොලිසියේ ලියුමත් අරන් විපක්ෂය පෙළපාලි ගිය හැටි

ආණ්ඩුවේ මර්දනයට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන ඇතුළු ප්‍රගතිශීලී ජනතාවගේ මෙහෙයවීමෙන් දැවැන්ත පාගමනක් සහ විරෝධතාවක් පැවැත්විය යුතු බවට වූ සාකච්ඡාව ආරම්භ වුණේ මීට සතියකට පමණ පෙරාතුව සිටය. සිවිල් සංවිධාන වෙතින් මේ යෝජනාව ඉදිරිපත් වූ අතර සමගි ජනබලවේගය ද ඊට සිය සහාය ලබාදෙන බවට තීන්දු කරනු ලැබීය.
“කිසිම චෝදනාවක් නැතිව වසන්ත මුදලිගේ, සිරිධම්ම හාමුදුරුවෝ ඇතුළු පිරිසක් ආණ්ඩුව හිර කරගෙන ඉන්නවා. මේක බරපතළ තත්ත්වයක්. මේ වගේ වෙලාවක අපිට නිහඬව ඉන්න පුළුවන් කමක් නෑ. මේ මර්දනය, ඉදිරියේ දී හැම ගෙදරකම දොරට තට්ටු කරනවා. ඒ නිසා මේකට විරුද්ධව අපි ක්‍රියාමාර්ගයක් ගනිමු”‍ සජිත් සිය මන්ත්‍රී කණ්ඩායමට කීවේය.
“සියලු‍ කණ්ඩායම් එකතු කරගෙන පොදු කඳවුරක් විදිහට මේ තත්ත්වයට අපි මුහුණ දෙන්න ඕනෑ”‍
මහලේකම් රංජිත් කීවේය.


ඒ අනුව අදාළ කණ්ඩායම් සමඟ සාකච්ඡා සම්බන්ධීකරණය සිදු කළේ මහලේකම් රංජිත් ඇතුළු කණ්ඩායමක් විසිනි. අවස්ථා කිහිපයකදී ස්ථාන කිහිපයකදී හමුවී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට පිරිස කටයුතු කළහ.
පළමුවෙනිදා සවස අවසන් රැස්වීම පැවැත්වුණේ විපක්ෂ නායක කාර්යාලයේ දී ය. ඊට ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


“මේ යන විදියට ආණ්ඩුව මේක මර්දනය කරන්න උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. ඒ නිසා අපි ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනෑ”‍ ගයන්ත එහෙම   කීවේ ය.


“ප්‍රජාතන්ත්‍රවාදීව ඇවිදින්න විරෝධතා තියන්න, පාගමන් යන්න මිනිස්සුන්ට තියෙනවා අයිතියක්. ඒ අයිතිය උල්ලංඝනය කරන්න ආණ්ඩුවට බෑ. පොලීසියටත් බෑ”‍ සජිත් කීවේය.
මේ අතර ඇතැම් පිරිස් මෙම විරෝධතාවට එක් නොවන බවට හේතු ඉදිරිපත් කොට තිබුණි.
“සමහරු කියනවා ඒ අය මේ විරෝධතාවට නෑ කියලා. අපි කියනවා අපේ මේ විරෝධතාවට ඉන්නවා කියලා. අපි පාරට බහින්නේ වසන්ත මුදලිගේ, සිරිධම්ම හාමුදුරුවෝ විඳින පීඩාව නතර කරන්න ඕනෑ නිසා. ඒකට අපිට පක්ෂ භේද නෑ. අපි පා ගමන යනවා. ආරක්ෂක අංශ වල කිසි කෙනෙක් අත තිබ්බොත් අපි බලාගන්නවා”‍ සජිත් සැර ප්‍රකාශයක් කළේය.


විරෝධතාව සංවිධානය කොට තිබූ දෙවැනි දා උදෑසන වන විට සමගි ජනබලවේගයේ බොහෝ මන්ත්‍රීවරුන්ට ආරක්ෂක අංශ මගින් ලිපි ලැබී තිබුණි. එයින් කියැවුණේ විරෝධතා පා ගමනට සහභාගි නොවන ලෙසය.
“උද්ඝෝෂණයට යන එක නවත්වන්න ආණ්ඩුව හැමදෙයක්ම කළා! උදේ පාන්දරම මගේ ගෙදරට පොලිසියෙන් ලියුමක් එව්වා! අපි ඕවට බය නෑ! මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මම මිනිස්සුත් එක්ක පාරට බහිනවා”‍ සජිත් කීවේය.


දවල් දොළහ පමණ වෙන විට සජිත් විපක්ෂ නායක කාර්යාලයේ සිට මන්ත්‍රී කණ්ඩායම හමුවිය.
ඔවුන් බොහෝ දෙනා අත ආරක්ෂක අංශ විසින් එවනු ලැබූ ලිපි තිබුණි.
“ආණ්ඩුවට වත් පොලීසියටවත් මේ වගේ දේවල් කරන්න බලයක් නැහැ. අපි මේ විරෝධතාවය සාමකාමීව කරන්න ඕනෑ”‍මහලේකම් රංජිත් කීවේය.
“ආණ්ඩුව දන්න කියන හැම උපායක් ම ගහනවා මේක නතර කරන්න.”‍  \එහෙම කිව්වේ හේෂා ය.
“ජේවීපී එක හෝ ගාලා ගහනවා. ලාල්කාන්ත ෆේස්බුක් එක පාවිච්චි කරන්නේම මේකට ගහන්න.”‍ චමින්ද විජේසිරි කීවේ ය.
“අපේ අරමුණ පිරිසිදුයි. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව ආණ්ඩුව ම්ලේච්ඡ ගමනක් යනකොට ඒ ගමනට එරෙහිව පුළුවන් හැම බලවේගයක් එක්කම අපි හිට ගන්නවා.”‍ සජිත් කීවේය.


“මේ වැඩේ අල කරන්න ආණ්ඩුවෙන් කල්ලියක් දාන්න යනවා කියලා ආරංචියි. ඒ අය ගහපු ඩ්‍රාමා එකක් තියෙන බව අපි හැමෝම මතක තියා ගන්න ඕනෑ”‍ මුජිබර් කීවේය.
“මේ විරෝධතාවයට සහයෝගය ලබා නොදෙන හැම කෙනෙක්ම මේ වෙලාවේ විරෝධතාව කඩාකප්පල් කරන්න පුළුවන් හැමදේම කරනවා. ඒක අපි බලාපොරොත්තුවෙන් තමයි මේක කරන්න ඕනෑ”‍ සරත් ෆොන්සේකා කීවේය.


සජිත් සිය මන්ත්‍රී කණ්ඩායමේ කොටසක් කල් වේලා ඇතිවම එල්පින්ස්ටන් රඟහල පරිශ්‍රය වෙත පිටත් කළේය.
සවස 2.15 පමණ වනවිට සජිත් විරෝධතාවයට එක් වීම සඳහා විපක්ෂ නායක කාර්යාලයෙන් පිටත් විය.
මරදාන දුම්රිය පොළ අසලදී වාහනයෙන් බැසගත් සජිත් එතැන් සිට ගමන් කළේ පා ගමනින් ය.
කොළඹ එල්පින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වූ පා ගමන කොටුව දුම්රිය ස්ථානය වෙත යාමට නියමිතව තිබූ අතර අතිවිශාල පොලිස් බලඇණි යොදවා එය අවහිර කිරීමට ආණ්ඩුව කටයුතු යොදා තිබුණි.
හරියටම විරෝධතා පා ගමන ටෙක්නිකල් හංදියේ සිට මීටර් 50 ක් ගිය තැන පොලිස් බාධක යොදවා නවත්වනු ලැබීය.
සජිත් ඇතුළු බොහෝ දෙනෙකු උත්සාහ කළේ පොලිසියට මුහුණට මුහුණ විරෝධතාකරුවන් වාඩි කරවීමට ය.
එහෙත් ඒ අතර එම ස්ථානයට ආ යම් සැක කටයුතු කණ්ඩායමක් කියා සිටියේ පොලීසිය සමග ගැටුමකට යා යුතු බවය.


“මෙතන ආරක්ෂක අංශත් එක්ක ගැටුමක් නැහැ නේ. අපිට ගනුදෙනුව තියෙන්නේ ආණ්ඩුවත් එක්ක. ඒ නිසා ආණ්ඩුව එක්ක අපි ගනුදෙනුව බේරා ගමු”‍ සජිත් කාරුණිකව පැහැදිලි කළේය.
“සර්, කීප තැනක ආණ්ඩුවෙන් දාපු අය ඉන්නවා. ඒ අය අපේ විරෝධතාවට විරෝධයක් එන විදිහට වැඩේ ප්ලෑන් කරලා තියෙන්නේ. අපේ අය වගේ හැසිරුණාට ඒ අය අපේ නෙවේ, ආණ්ඩුවේ අය”‍
සංවිධායකයෙක් සජිත්ට කනට කර කීවේය.
විරෝධතාකරුවන් විසින් පදවාගෙන ආ ලොරි තට්ටුවකට සංවිධායකයන් ද සමඟ සජිත් ගොඩ වුණේ ඒ අතරය. එහෙත් ඒ වන විටත් ලොරි තට්ටුවට දරාගත නොහැකි තරම් විශාල පිරිසක් ගොඩ වී සිටියහ.
“අපි මේකෙන් බහිමු. මේක කැඩුනොත් වටේ අයට අනතුරක් වෙන්න පුළුවන්.”‍ සජිත් තමා අසල සිටි දයාසිරිට කීවේය.


ඒ අතර විරෝධතාකරුවෝ දිගින් දිගටම පොලිසියට හූ තබන්නට වූහ.
“අන්න විපක්ෂ නායකතුමා පැනලා යනවා”‍ එතන සිටි සැකකටයුතු අයෙක් එහෙම කීවේය.
“එතුමා පැනලා යනවා නෙවෙයි, ලොරි තට්ටුව උඩ ඉඩ මදි නිසයි බැස්සේ”‍ මුජුබර් කීවේය.
මුජුබර් කීවාක් මෙන්ම සජිත් විරෝධතාකරුවන් අසලට පැමිණ සෑහෙන වේලාවක් රැඳී සිටියේය. එහෙත් ඇතැම් අය මේ කරුණු විකෘති කරමින් ප්‍රවෘත්ති පළ කොට තිබුණි.
විරෝධතාවයේදී සජිත් ඇතුළු පිරිසට විරෝධයක් එල්ල වු බව පවසමින් එජාපයද උද්දාමයට පත් වූ බවක් පෙනෙන්නට තිබුණේ එහි මහලේකම් රංගෙබණ්ඩාර කළ ප්‍රකාශයකිනි.
ඔහු කියා සිටියේ මෙය විපක්ෂ නායක තනතුරට නිගරුවක් හෙයින් වහාම විපක්ෂ නායකතුමා ඉල්ලා අස්විය යුතුයි කියාය. ඔහුගේ කතාවට උත්තර දුන්නේ මුජුබර් රහුමාන් ය.


“මැතිවරණ තිස් ගානක් පැරදිලා, ජාතික ලැයිස්තුවක ආසනයකට වැටිලා, ඒත් පින් ආසනෙන් ජනාධිපතිකම ගත්ත පුද්ගලයකුගේ පක්ෂයේ මහලේකම් විළිලැජ්ජාවක් නැතිව විපක්ෂ නායක තුමාට අස්වෙන්න කියනවා. එහෙම කියන මිනිහටවත් පාර්ලිමේන්තුවට එන්න බැරි වුණා.”‍ මුජුබර් කීවේය.


ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය 3 වැනිදා මාලදිවයින බලා පිටත්ව ගිය අතර ඊට පෙර ඔහු කොළඹ පාපැදි සම්මේලනය, පාසල් වෑන් රථ හිමියන්ගේ සංගමය, පිඟන් උපකරණ ආනයනකරුවන්ගේ සංගමය හා මැණික් ව්‍යාපාරිකයන් හමුවුණේය.
කොළඹ පාපැදි සම්මේලනයේ නිලධාරින් ඔවුන් මුහුණ පා සිටින අර්බුදකාරී තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළේය. ජනතා විමුක්ති පෙරමුණු රජයක් යටතේ ඔවුන් අපේක්ෂා කරනු ලබන කරුණු ද ඔවුහු පෙන්වා දුන්හ.


ඉන්ධන මිල හා වාහන අමතර කොටස් මිල ඉහළ යාමෙන් සිය වෘත්තිය ගෙන යාමට ඇති දුෂ්කරතාව පිළිබඳව පාසල් වෑන් රථ හිමියන්ගේ සංගමය කරුණු ඉදිරිපත් කළේය.


වැසිකිළිවලට අවශ්‍ය පිඟන් භාණ්ඩ ඇතුළු පිඟන් ආශ්‍රිත නිෂ්පාදන ආනයනකරුවන්ගේ සංගමයද ඔවුන් මුහුණපා සිටින අසීරුතාව පිළිබඳ විස්තර අනුර කුමාර දිසානායක මහතා සමඟ සාකච්ඡා කළහ.
මීට අමතරව ඉකුත් 1 වැනිදා බලංගොඩදී විද්වත් වෘත්තිකයන්ගේ හමුවකට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගිවූ අතර ඉන්පසු පැල්මඩුල්ල, කහවත්ත හා බලංගොඩ යන ප්‍රදේශවල මැණික් ව්‍යාපාරිකයන් 200ක පමණ පිරිසක් හමුවිය.


මේ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිවලට අනුව මැණික් කර්මාන්තය දියුණු කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන යෝජනා අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළේය. මැණික් කර්මාන්තයෙන් රටට ආදායමක් ලබා ගැනීම, සංචාරක ව්‍යාපාරය ඔස්සේ මැණික් අලෙවිය වැඩි දියුණු කිරීම ඇතුළු යෝජනා ක්‍රියාත්මක කරන බව පෙන්වා දුන්නේය. එහිදී ඉදිරියටත් ජනතා විමුක්ති පෙරමුණ සමඟ කටයුතු කිරීමට බොහොමයක් මැණික් ව්‍යාපාරිකයෝ එකඟතාව දැක්වූහ.


ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවද පසුගිය සතියේදී රැස්වූ අතර එහිදී වෘත්තීය සමිතිවල සහභාගිත්වයෙන් පැවැති උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. 2 වැනිදා පැවැති විරෝධතාවයට සහභාගි නොවීමට හේතු පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා ඉදිරිපත් කළේය. සිරිධම්ම හිමියන් හා මුදලිගේ ශිෂ්‍යයා රඳවා තබා ගැනීම නීති විරෝධී බව පෙන්වා දුන් ඔහු ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා පැවැති උද්ඝෝෂණයට සහභාගි නොවූයේ සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඒකාබද්ධ ක්‍රියාමාර්ගවල යෙදීම තේරුමක් නැති නිසා බව කීවේය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියටත් රටේ වෘත්තීය සමිති සිවිල් සංවිධාන හා දේශපාලන කණ්ඩායම් සමග විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට පියවර ගන්නා බවද මෙහිදී ප්‍රකාශ කළේය.


ඉල්මහ සැමරුම ලබන 13 වැනිදා කොළඹ විහාර මහා දේවී පිටියේදී පැවැත්වීමටද ගිය සතියේදී තීරණය විය.
නවසීලන්තයේ මහකොමසාරිස්වරයා හා එරට හිටපු මහ බැංකු අධිපතිවරයා විජිත හේරත් හා සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් හමුවූ අතර එහිදී මහ බැංකුවේ ස්වාධීනත්වය හා මහ බැංකුවේ ක්‍රියාවලිය පිළිබඳව දෙරටේ අත්දැකීම් හුවමාරුකර ගැනීම සිදුවිය.

කරුගෙන් අලි වැටක්

පසුගිය සතියේ රිටිගලට ගිය කරු ජයසූරිය අලි වැටක් විවෘත කළේය. මේ අලි වැට ඉදිකරන්නට ඉදිරිපත්වී තිබුණේ ජර්මනියේ හිටපු අමාත්‍යවරියක් සභාපතිත්වය දරණ ටී යූ අයි පදනම මගිනි. සිනමන් හෝටල් සමූහයද, සංරක්ෂණ පර්‌යේෂණායතනයද ඒ සඳහා බුද්ධිමය දායකත්වය ලබාදී තිබේ. ජර්මනියේ හිටපු අමාත්‍යවරියක් දැනුවත් කරමින් ඇය එම කටයුත්තට දායක කරගෙන ඇත්තේ කරුය. එම හිටපු අමාත්‍යවරිය කරු ජයසූරිය පවුලේ දීර්ඝකාලීන මිතුරියකි.


මේ අතර අමාත්‍ය තනතුරින් ඉවත්ව කරු ජයසූරිය මහතා නායකත්වය දෙන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සමඟ එක්වන්නට තමන් සූදානම් බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිදුකර ඇති ප්‍රකාශය ගැන බොහෝ දෙනෙක් අවධානය යොමු කළහ. ඒ ගැන විමසමින් කරුට දුරකථන ඇමැතුම් ගණනාවක්ද විය. සාධාරණ සමාජයක් සඳහා වන තම සංවිධානයේ අරමුණු කෙරෙහි ගරුත්වයකින් සිටින මැති ඇමැතිවරුන් සැලකිය යුතු ප්‍රමාණයක් තම සංවිධානය සමඟ නිරන්තර සංවාදයක යෙදෙන බව එහිදී පෙන්වා දී ඇති කරු ඒ අය අතර ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද සිටින බව ප්‍රකාශ කර තිබේ. හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා සිය වැඩ පිළිවෙළ ප්‍රසිද්ධියේ අගය කිරීම පිළිබඳ සිය සතුටද ජයසූරිය මහතා ප්‍රකාශ කර තිබේ.

 

ගජබා

 



අදහස් (0)

ඇමැතිකම් නැතිව කලකිරුණු පොහොට්ටු මන්ත්‍රීවරු

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 124 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 401 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 238 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 330 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1465 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site