IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගම්මන්පිල දිනවන්න ජනපති මැදිහත් වෙයි

  • බැසිල් විදේශ තානාපතිවරුන්  සමග කතාබහක
  • ගිනිගත් නැව ගැන කතා බහට  විපක්ෂනායකත් එක්වෙයි
  • ගම්මන්පිලගේ විශ්වාසභංගය ගැන  එජාප නායකගේ මතය

 

 

ගම්මන්පිලගේ විශ්වාසභංගය හෙට


පොදුජන පෙරමුණු ආණ්ඩුවේ බලශක්ති ඇමැති උදය ගම්මන්පිලට එරෙහි විශ්වාස භංගය හෙටත් අනිද්දාත් පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ. උදයලා හා විමල්ලාගේ කණ්ඩායම සහ පොහොට්ටුවේ කණ්ඩායම අතර යම් විරසකයක්, නොහොඳ නෝක්කාඩුවක් තිබෙන බව සැබෑය. අළුයට ගිනි මෙන් තිබෙන එය තවමත් අවසන් බවක් පෙනෙන්නට ද නැත. එසේ වුවද සමගි ජන බලවේගය මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ පොහොට්ටු ආණ්ඩුවේ ඇමැතිවරයකුට එරෙහිවය. 


එහෙයින් ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකර සිටින්නට හැකියාවක් නොමැත. මේ ගැන කතා කරන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ හමුවක් අද පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී කැඳවා ඇත්තේ එබැවිනි. ගම්මන්පිලට එරෙහිව හෙටත් අනිද්දාත් පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන විශ්වාසභංග යෝජනාව සාකච්ඡා කිරීම එහි අරමුණ ය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සඳහා ජනාධිපති මන්දිරයේ දී අද රාත්‍රියේ විශේෂ භෝජන සංග්‍රහයක් ද සූදානම් කර ඇත. විශ්වාසභංගය ගම්මන්පිලට එරෙහි යැයි කියමින් ආණ්ඩුවට පැත්තකට වී සිටින්නට නොහැකිය. විපක්ෂය විශ්වාසභංගය දිනුවොත් පරදින්නේ ගම්මන්පිල පමණක් නොව ආණ්ඩුවය. ඒ නිසා මොන විරසකය, මොන ප්‍රශ්නය තිබුණත් විශ්වාසභංග යේදී ආණ්ඩුව ගම්මන්පිලගේ පැත්තේ සිට ගැනීම ගැන සැකයක් නැත.


ජනපති මන්ත්‍රීවරුන් හමුවෙයි


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ තනතුරු නොමැති මන්ත්‍රීවරුන් පසුගිය සතියේ හමුවිය. කණ්ඩායම් වශයෙන් කැඳවා තිබූ මේ හමුව අවස්ථා තුනක දී ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ඉකුත් අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා යන දින තුන ඔවුන් වෙනුවෙන් වෙන් කළ ජනාධිපතිවරයා ඔවුන්ගේ ගැටලුවලට සවන් දුන්නේය. පසුපෙළ මෙන්ම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු ද ඒ අතර වූහ. අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු පිරිසක් ද ඊට කැඳවනු ලැබ සිටියහ. පොහොර ප්‍රශ්නය, රටපුරා පවතින උද්ඝෝෂණ, එන්නත් කරන වැඩපිළිවෙළ මෙන්ම කොතලාවල විශ්වවිද්‍යාල පනත ආදිය සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡාවට ගැනුණි.


එන්නත්කරණ වැඩපිළිවෙළ ගැන පැහැදිලි කරමින් ජනාධිපතිවරයා කීවේ එය ඉතා සාර්ථකව මේ වනවිට සිදුවන බවය. මුල දී එන්නත් ලබා ගැනීමට දිග පෝලිම් තිබුණ ද මේ වන විට එය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව කී ජනාධිපතිවරයා අවශ්‍ය තරම් එන්නත් තොග ලැබීම ඊට හේතුව බව සඳහන් කළේය. එමෙන්ම සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ ඉතා හොඳින් ඒ කටයුතු කරගෙන යන බව කී ජනාධිපතිවරයා සඳහන් කළේ අගෝස්තු මස අග පමණ වන විට අවුරුදු 30 ට වැඩි සියලු‍ම දෙනාට එන්නත ලබා දීමට හැකියාව ලැබෙන බව ය. එය ඉතා විශාල ජයග්‍රහණයක් බව ද ඔහු සඳහන් කළේ ය.


අනතුරුව කතාබහට ලක්වුණේ තැන තැන සිදුවන උද්ඝෝෂණ ගැනය. මේ උද්ඝෝෂණ පිටුපස සිටින්නේ එකම කණ්ඩායමක් බව ජනාධිපතිවරයා කීවේ බුද්ධි අංශ වාර්තා වලින් ද ඒ බව තහවුරු කර ඇති බව සඳහන් කරමිනි. ජනාධිපතිවරයාගේ පැහැදිලි කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන්ට ද සිය ගැටලු, ප්‍රශ්න ඉදිරිපත් කරන්නට අවස්ථාව ලැබිණි.
තම ප්‍රදේශවල පවතින පොහොර ප්‍රශ්නය ගැන ද මන්ත්‍රීවරු අදහස් පළ කළහ. පොහොර ප්‍රශ්නය ගැටලු‍වක් කර නොගන්නැයි ජනාධිපතිවරයා දිගින් දිගටම ඉල්ලා සිටියේ මේ කන්නයට අවශ්‍ය පොහොර තිබෙන බව සඳහන් කරමිනි. මහ කන්නයේ සිට කාබනික පොහොර ලබාදීමේ වැඩපිළිවෙළ සාර්ථකව සිදුවන බව ජනාධිපතිවරයා කීවේ එක් එක් ප්‍රදේශවල පොහොර නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති බව ද කියමිනි.


මේ අතර මන්ත්‍රීවරුන් පිරිසක් විමසා සිටියේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙනි. එය විවාදයට ගත් දිනයේ ම පහසුවෙන් සම්මත කර ගැනීමට හැකියාව තිබූ බව ඔවුන්ගේ අදහස විය. ‘‘ජේ ආර් ජයවර්ධන කාලේ ආරම්භ කරපු කොතලාවල ආරක්ෂක ඇකඩමිය විශ්වවිද්‍යාලයක් බවට පත් කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ කාලයේ. මම ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කොට ඒකට වෛද්‍ය පීඨයකුත් ආරම්භ කළා. මේ පනතෙන් වෙන්න ඒ සියලු‍ අංශ එකට එකතු කිරීම විතරයි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගෙන ඉදිරියට ආපු අය කොච්චර නම් ඉන්නවද? දැන් බලන්න අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා. එතුමා කොතලාවල විශ්වවිද්‍යාලයේ හොඳ ශිෂ්‍යයෙක්”‍ ජනාධිපතිවරයා කීවේ දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කරමිනි. කොතලාවල පනත ගෙන එන්නැයි කී මන්ත්‍රීවරු එය පාර්ලිමේන්තුවේ සම්මත කර දෙන බවට සහතිකයක් ද දුන්හ.


මේ කතාබහ අතරේ බදුල්ලේ චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා අදහස් දැක්විය. ඔහු කීවේ එදා මෙම පනත පහසුවෙන්ම සම්මත කරගැනීමට හැකියාව තිබූ බවය. විවාදය යන අතරේ එය හදිසියේම කල් දැමුවේ ඇයිද යන්න මන්ත්‍රීවරුන් නොදැන සිටි බව ද ඔහු කීවේය ‘‘මේ පනතට විරුද්ධ මන්ත්‍රීවරුන් මෙතනත් ඉන්නවා. ඒ සමහරු විවාදය අතර උපකුලපති එක්කත් කතා කළා ‘‘චාමර සම්පත් කියද්දී නැගිට්ටෙ ගෙවිඳු කුමාරතුංග ය.”‍ මම ඒ විරුද්ධ වෙන්න නෙවෙයි. පැහැදිලි කරගන්න උපකුලපතිතුමා හම්බ වුණේ ‘‘ගෙවිඳු කීවේය. චාමර සම්පත් කීවේ ‘‘මම ඔයාගේ නම කීවේ නැහැ’’ කියාය.


අනුර යාපා සහ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරුන් දෙදෙනා කීවේ කුලියාපිටිය රෝහලේ ඇති කුලියාපිටිය වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය එතනින් ඉවත් කිරීම නොකළ යුතු බවය. අනතුරුව කතාබහට ලක් වුණේ ඒ ඒ ප්‍රදේශවල සංවර්ධන කටයුතු ගැනය. ගාල්ලේ ශාන් විජේලාල් ද සිල්වා මන්ත්‍රීවරයා නැගිට කිව්වේ සමහර දිස්ත්‍රික්කවල තෝරාගත් ආසන කිහිපයක පමණක් සංවර්ධන කටයුතු සිදු වන බව ය. දිස්ත්‍රික්කයේ ආසන දහයක් තියෙද්දී දෙක තුනක් විතරක් තෝරගෙන සංවර්ධන කටයුතු කරද්දී ආණ්ඩුවට ලැබෙන ප්‍රතිචාර ගැන දැන්ම කියන්න බැහැ ‘‘ශාන් කීවේය. ශාන්ගෙ සහායට යාබද අසුනේ සිටි ගාල්ලේ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය  එක් වූවාය .”‍ඒක නං ඇත්ත. මට පොල් පැළ දෙසීයක් ලැබෙද්දී අක්මීමනට පොල් පැළ දාහක් ලැබිලා තියෙනවා’’ ගීතා කීවාය .


මේ අතර ජනාධිපතිවරයා අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කිරීමට තිබෙන සූදානමක් ගැන ද සඳහන් කළේය. අනුරාධපුරයේ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ ඒ ඉතා සුදුසු දෙයක් බවය .”‍මල්වතු ඔය පහළ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. නමුත් ඒවා අධීක්ෂණය ට අපට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ”‍ඒ මන්ත්‍රීවරයා කීවේය. ජනාධිපතිවරයා කීවේ අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත්කර පසුව එම ව්‍යාපෘති අධීක්ෂණය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවය. කැබිනට් අමාත්‍යාංශ රාජ්‍ය අමාත්‍යංශ සඳහා අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් නොකරන බවත් මන්ත්‍රීවරුන් පත් කෙරෙන්නේ ව්‍යාපෘති අධීක්ෂණය කිරීමට බවත් ජනාධිපතිවරයා කීවේය .මන්ත්‍රීවරුන් සඳහා දිවා භෝජනය සූදානම් කර ඇති බැවින් එය ලබාගෙන යන්නැයි ජනාධිපතිවරයා ඔවුන්ට කීවේය.


බැසිල් තානාපතිවරුන්ගෙන් උදව් ඉල්ලයි


මුදල් ඇමැතිවරයා ලෙස පත් වූ බැසිල් රාජපක්ෂ මහතා මෙරට සිටින විදේශ රටවල් හතක තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ගිය බදාදා හමුවිය .ඔහු එදින දවස ම වෙන්කර තිබුණේ ඔවුන් වෙනුවෙනි. මුදල් අමාත්‍යංශයේ පැවති මේ හමුවට ඇ​ෙමරිකාව, චීනය, ජපානය, රුසියාව, මහා බ්‍රිරතාන්‍යය, ජර්මනිය ඇතුළු ලොව ප්‍රබල රටවල් හතක තානාපතිවරු සහ මහකොමසාරිස්වරු සහභාගි වූහ. එක් දිනක් තුළ තානාපතිවරුන් සහ කොමසාරිස්වරුන් මෙතරම් පිරිසක් හමු වූ පළමු අවස්ථාව එය විය හැකිය. රටේ වත්මන් තත්ත්වය ගැනත්, ආර්ථිකය පත්ව ඇති තත්ත්වය ගැනත්, ඔවුන් සමඟ සාකච්ඡා කළ බැසිල් මේ අවස්ථාවේ උදව් කරන්නැයි ඒ සියලු‍ දෙනාගෙන් ඉල්ලීමක් කළේය
මේ අතර ඉකුත් සති අන්තයේ දී බැසිල් රාජපක්ෂ ඇමතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් හමුවිය. අරලිය ගහ මන්දිරයේ පැවැති මේ හමුවට ජනක බණ්ඩාර තෙන්නකෝන්, පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණතුංග ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදයේ සභාපති, සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න ඇතුළු පිරිසක් ද සහභාගි වූහ. එන්නත්කරන වැඩපිළිවෙළ, පොහොර ප්‍රශ්න ආදිය ගැන පමණක් නොව පළාත් සභා ඡන්දය ගැනද එහිදී සාකච්ඡා වී ඇත. එහෙත් ඡන්දය තිබෙන දවසක් ගැන හෝ ඒ සම්බන්ධයෙන් ඉඟියක් හෝ එහිදී පළවී නැත. දැනගන්නට ඇති පරිදි පළාත් සභා මැතිවරණය මේ වසරේ නම් පැවැත්වෙන්නේ නැත.


විපක්ෂයෙන් දිගටම විරෝධතා


නිදහස් අධ්‍යපනය ආරක්ෂා කර දෙන ලෙස බලකරමින් පැවති සිසු ජන අරගලය පැවැති අවස්ථාවේදී වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් විපක්ෂයේ සියලු‍ම පක්ෂ එක් කරමින් විරෝධතාවයක් පැවැත්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කළේ එම විරෝධතාවය පැවති දිනයේදීමය. ඒ අනුව පසුගිය සිකුරාදා නිදහස් චතුරශ‍්‍රයේදී විරෝධතාව සංවිධානය කළේය.


විරෝධතාවයට සහභාගීවීමට පෙර සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු විපක්ෂ නායක කාර්යාලයට පැමිණියහ. නලින් බණ්ඩාර සහ හර්ෂණ රාජකරුණා මන්ත‍්‍රීවරයා විරෝධතාවය පැවති ස්ථානයට කල් ඇතිව ගියේ එහි තත්ත්වය ගැන සොයා බැලීමටය. ටික වේලාවකින් ඔහු විපක්ෂ නායක කාර්යාලයේ සිටි ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයාට දුරකතන ඇමතුමක් දුන්නේය.


‘‘නායකතුමා එක්ක එන්න. අපි මෙතැන සූදානමින් ඉන්නවා’’නලින් බණ්ඩාර කීවේය.


ගයන්ත ඒ පණිවුඩය විපක්ෂ නායකවරයාට දුන්නේය. ඔහු එන තෙක් මන්ත‍්‍රීවරුන් බලා සිටි අතර ගයන්ත එකවරම සරත් වීරසේකර ඇමැතිවරයාගේ දුරකතන අංකය සොයන්න විය.


‘‘මම මේ අංකය සොයන්නේ හදිසියේවත් අපි අල්ලගෙන ගියොත් ඇඳුම් ටිකක් අරගෙන එන්න කියලා ඇමැතිතුමාට කියන්න පුලු‍වන්නේ’’ගයන්ත කීවේ සියල්ලන්ම සිනා ගන්වමිනි.
විරෝධතාවට සජබ ට අමතරව තවත් විවිධ සමාජ ක්‍රියාකාරීහු පැමිණ සිටියහ. ඒ ඉදිරිපිට පොලිසියේ දහසකට වැඩි පිරිසක් නිදහස් චතුරශ්‍රය වටා රැකවල්ලා සිටියහ. ඒ විරෝධතාකරුවන් කොයි මොහොතක හෝ අල්ලා ගන්නට මෙන්ය. ඒ අතරවාරයේදී සජිත් තමන්ගේ ආරක්ෂක නිලධාරියකුට පණිවුඩයක් කීවේය. ටික වේලාවකින් එම ආරක්ෂක නිලධාරියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සජිත්ගේ අතට පත් කළේය.


‘‘හැම රෙගුලාසියක්ම මේකට යටයි. මේකේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය ජනතාවට ලබාදී තිබෙනවා. මර්දනකාරී ආණ්ඩුවට ඒ අයිතිය යටපත් කිරීමට ඉඩ දෙන්නේ නෑ’’සජිත් කීවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙන්වමිනි.


සජිත් අධිකරණ අමාත්‍යාංශයට යයි


පසුගියදා ගිනිගත් එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගැන අධිකරණ අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැත්වුණේය. අධිකරණ ඇමැති අලි සබ්‍රි, වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන ඇතුළු ආණ්ඩුවේ ඇමැතිවරුන් පවත්වමින් සිටි සාකච්ඡාවට සජිත් එක්වරම පැමිණියේය. ඔහු එහි පැමිණියේ, මේ සාකච්ඡාවට එන්නැයි පාර්ලිමේන්තු විවාදයක් අතරවාරයේදී රෝහිත අබේගුණවර්ධන ඇමැතිවරයා කළ ආරාධනාවක් නිසාය.


නැවේ ගැටලු‍ව විසඳීමට විදේශීය නීතිඥයින්ගේ සහාය ලබාගැනීම ගැනද මෙහිදී අවධානය යොමු විය.


‘‘විදේශීය නීතිඥයන් ගන්නවා නම් පරෙස්සමෙන් එය කළ යුතුයි. මෙතැනදී ඔවුන්ට බැඳියාවන් අතර ගැටුමක් තියෙන්න පුලු‍වන්.’’සජිත් කී කතාව අලි සබ්‍රි ඇතුළු ආණ්ඩුවේ ඇමැතිවරු පිළිගත්හ.


මේ අතරම මාධ්‍ය මර්දනය ගැනත් ඔහු අවධානය යොමු කළේය. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය කමිටු සාකච්ඡාවේදීය.


‘‘සමහර මාධ්‍ය ආයතන මර්දනය කරන්නේ කොහොමද කියලා කතා කරන්න නීතිඥයින් කණ්ඩායමක් එක්ක ආණ්ඩුවේ ප‍්‍රධානීන් සාකච්ඡා කරලා තියෙනවා. මේක කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා පිළිගෙන තියෙනවා. ආණ්ඩු බලය ගන්නතුරු මාධ්‍යයට දක්වන ආදරය ආණ්ඩු බලය ගත්තාට පසුවත් තිබිය යුතුයි’’සජිත් කීය.


‘‘මාධ්‍ය විතරක් නෙමෙයි වෘත්තීය සමිතිත් මර්දනය කරනවා. මේ මර්දනය කොතනින් නතරවේද කියන්න බෑ’’රංජිත් මද්දුමබණ්ඩාර මහලේකම්වරයා පැවසුවේය
‘‘ගුරුවරුන් විරෝධතා කරනකොට ආණ්ඩුව හැසිරුණ හැටි නම් අතිශයින්ම පිලිකුල්’’සජිත් කීය.


‘‘ළමුන්ගේ විෂය නිර්දේශ හරියට ආවරණය කරන්නේ නැතිව උසස් පෙළ විභාගය තියන්න හදනවා’’මරික්කාර් අධ්‍යාපනය ගැන අවධානය යොමු කළේය.
‘‘උසස් පෙළයි, ශිෂ්‍යත්ව විභාගයයි දෙකම තියන්න යනවා. මේ විෂය ගැන දන්න ප‍්‍රවීණයින්ගෙන් අදහස් අරගෙන දරුවන්ට ප‍්‍රමාණවත් කාලයක් ලබාදීමට විභාග කල් දාන්න ඕනෑ’’සජිත් තවත් යෝජනාවක් කළේය.


‘‘කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ඉක්මනින් සම්මත කරගන්න තමයි ආණ්ඩුව උත්සාහ ගන්නේ’’රාජිත සේනාරත්න කීය.
‘‘කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ශක්තිමත් කළ යුතු වෙනවා. ඒත් එම විශ්වවිද්‍යාලය පිහිටුවීමේ අරමුණුවලින් බැහැරට ගිහින් නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට ගන්නා උත්සාහය අනුමත කරන්න බෑ. මේකට අපි විරුද්ධ වෙන්න ඕනෑ’’සජිත් පැවසුවේය.


මේ ගැන සාකච්ඡා කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේය. ශිෂ්‍ය නියෝජිතයින් සමගත් සජිත් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම ගැන අදහස් හුවමාරු කරගත්තේය.


ඊට පසුදා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිතයින් ද සජිත් හමුවිය.


බිම් මට්ටම ශක්තිමත් කරන වැඩපිළිවෙලක්


සමගි ජන බලවේගය බිම් මට්ටමින් ශක්තිමත් කිරීම ගැන අවධානය යොමු කරන වැඩමුළුවක් බ‍්‍රහස්පතින්දා පැවැත්විණි. වැඩමුළුව අවසන් වනතෙක්ම සජිත් එහි සිටියේ මන්ත‍්‍රීවරුන්ගේ අදහස්වලට කන්දෙමිනි.


දිවා ආහාරයෙන් පසුව හෙක්ටර් අප්පුහාමි අයිස්ක්‍රීම් ගෙන ආවේ මන්ත‍්‍රීවරුන්ට බෙදා දීමටය.
‘‘කෝ.. මට අයිස්ක්‍රීම් ලැබුණේ නෑ’’කියමින් තුෂාර ඉඳුනිල් මන්ත‍්‍රීවරයා අයිස්ක්‍රීම් හතරක්ම කා තිබුණි.


සමගි ජනබලවේගය සමග සිටින නාවලපිටිය නගරාධිපතිවරයා වෙනුවට එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව අලු‍ත් නගරාධිපතිවරයකු පත් කරගෙන ඇති බවට සජිත්ට කෙටි පණිවුඩයක් ලැබුණේ වැඩමුළුවේ සිටින අතරවාරයේදීය.


‘‘දේශපාලන ඩීල් කියන එක සමගි ජන බලවේගයට අයිති වචනයක් නෙමෙයි. ඒක එක්සත් ජාතික පක්ෂය සින්නක්කරම උරුම කරගෙන තියෙනවා’’නලින් බණ්ඩාර කීවේ තරමක ආවේගයකින් යුතුවය.


‘‘එහෙම කියන්නේ ඇයි’’එතැන සිටි අයෙක් ඇසුවේය.


‘‘නගර සභාවේ බලය පෙරලන්න බැරි වුණාම පොහොට්ටුව එක්ක එකතුවෙලා නගරසභාව පෙරලලා. මේවා තමයි ඩීල්’’
නලින් බණ්ඩාර කී කතාව සජිත්ද අනුමත කළේය.


මූල්‍ය අර්බුදය ගැන එජාප නායකයා විවාදයක් ඉල්ලයි


රටේ මූල්‍ය අර්බුදයට ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව රජයේ අවදානය යොමු කිරීම සඳහා පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගිය සතියේ දී තීරණය කළේය.


වර්තමානයේ පැන නැගී ඇති විදේශ විනිමය අර්බුදය රජය සතුව පවතින ඩොලර් කෝටි 300 ක සංචිත මුදල ප්‍රමාණවත් නොවීම යනාදී කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් පක්ෂයේ ප්‍රධානීන් සමග සාකච්ඡා කළ එජාප නායකයා මෙම කරුණු මූලික කරගෙන රටේ ජනතාවගේ අවධානය යොමු කිරීම සඳහා විශේෂ ප්‍රකාශයක් කිරීමට ද තීරණය කළේය.
ඒ අනුව එම විශේෂ ප්‍රකාශය මගින් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු විවාදයක් කඩිනමින් ඉල්ලා සිටීමට පියවර ගත්තේය.


පසුගිය සතියේ විශේෂත්වයක් වූයේ රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතිය පුරාම පක්ෂ මූලස්ථානයේ රැඳී සිටිමින් පාක්ෂිකයන් හමුවීම පක්ෂයේ නිලධාරී මණ්ඩලය හමුවීම හා ඔවුන් සමග සාකච්ඡා කිරීමේ කටයුතුවල නිරත වීමය.


සඳුදා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිත උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සාකච්ඡාවටට භාජනය වූ විශේෂ කරුණක් වී තිබුණි. විශ්වාසභංග යෝජනාව රජයට එරෙහිවම ඉදිරිපත් කළයුතු බවට මෙහිදී වැඩිදෙනා පක්ෂ නායකවරයාට යෝජනා කර සිටියහ. විශ්වාසභංගය පිළිබඳව පක්ෂයේ තීන්දුව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා නීති විශාරදයන් සමග ද සාකච්ඡා කරනු ලැබුවේය.


රජය බරපතළ ආර්ථික අවුලක

එජාප නියෝජ්‍ය නායක


රටේ ආර්ථිකය මෙහෙයවා ගත නොහැකිව රජය බරපතළ ආර්ථික අවුලකට පත්වී සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පක්ෂ මූලස්ථානයේ ඉකුත්දා පැවැති ‘‘මහජන වේදිකාව’’ වැඩ පිළිවෙලේ දී කියා සිටියේය.


‘‘මහජන වේදිකාව’’ වැඩ පිළිවෙළ සෑම සතියකටම වරක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්​වෙයි. පක්ෂ ක්‍රියාකාරීහු එයට සහභාගි වෙති. මෙම වැඩසටහන මෙහෙයවන්නේ හිටපු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතාය.


ඩොලර් නොමැතිවීම නිසා ඉන්ධන ලබා ගැනීමට මුදල් දීමට නොහැකි වී තිබෙනවා. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ට භාණ්ඩ ආනයන කරන ගන්න බැරිව තිබෙනවා. එල්.සී. විවෘත කිරීමට බැංකුවලට සල්ලි නැහැ. මේ ප්‍රශ්නවලින් ජනතාවගෙ ඔළුව සුද්ද කරන්න කාබනික පොහොර ප්‍රශ්නය ගෙනැල්ල තියෙනවා. විජයවර්ධන මහතා පැවසීය. ලෝක බැංකුවේ හිටපු උප​දේශකවරයකු වූ ප්‍රියංක බැද්දෙවිතාන මහතා හා කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිහාල් හෙන්නායක මහතා ද මෙම ‘‘මහජන වේදිකාව’’ වැඩ පිළිවෙළට සහභාගි වී රටේ ආර්ථිකය පිළිබඳව පැහැදිලි කළහ.


එක්සත් ජාතික පක්ෂ පළාත් සභා අනුකමිටුව ද පසුගිය සතියේ දී රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. පක්ෂයේ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර උපසභාපති සාගල රත්නායක. අනුකමිටු සභාපති සංදිත් සමරසිංහ, සිරිකොත ප්‍රධාන විධායක නිලධාරි ශ්‍යාමල් සෙනරත් යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.


එහිදී අගලවත්ත ප්‍රාදේශීය සභාවේ නියෝජිත පිරිසක් යළි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වීමට කැමැත්ත ප්‍රකාශ කර සිටියහ. සමගි ජන බලවේගයට සම්බන්ධව සිටි ​මොවුහු යළි එක්සත් ජාතික පක්ෂයට එක් වූහ.


විවිධ ක්ෂේත්‍රවල තරුණ වෘත්තීයවේදීන් හමු වූ රුවන් රටෙන් වර්තමාන දේශපාලන තත්ත්වය හා අනාගතය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.
කොළඹ ජානකී හෝටලයේ දී සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය කැඳ වූ රැස්වීමකට ද රුවන් විජයවර්ධන මහතා සහභාගි විය.

 

 

-ගජබා-



අදහස් (0)

ගම්මන්පිල දිනවන්න ජනපති මැදිහත් වෙයි

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 134 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site