IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තුවේ ඡන්ද නාඩගම

ආණ්ඩුවට එරෙහි විරෝධය ද දිනෙන් දින දළුලා වැඩෙමින් තිබෙන බවක් පෙනෙන්නට තිබේ. එය ඉකුත් සිකුරාදා රටපුරා පැවැති හර්තාලයෙන් ද පැහැදිලි ය. රට දිනෙන් දින ප්‍රපාතයට යමින් තිබෙන නමුත්, විසඳුම කුමක් දැයි තවමත් පැහැදිලි නැත. ආණ්ඩුව ද ඒ සඳහා නිශ්චිත විසඳුමක් මෙතෙක් ඉදිරිපත් කර නැති අතර, විපක්ෂය ද ඊට සාර්ථක විසඳුමක් මෙතෙක් පෙන්වා නැත.

ඇතිව තිබෙන අර්බුදයට සර්වපාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් මීට පෙර ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබිණි. ඒ අතර, මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ප්‍රමුඛ මහ නායක හිමිපාණන් වහන්සේලා ද ආණ්ඩුවට යෝජනා කර තිබුණේ ඇතිව තිබෙන අර්බුදය විසඳීමට සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙසය. මේ සම්බන්ධයෙන් විටින් විට කතාබහ, සාකච්ඡා, සම්මන්ත්‍රණ පැවැත්වුව ද එය තවමත් මිරිගුවක් පමණි.


මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක් සඳුදා ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහාචාර්ය ජී.එල්. පීරිස්, බැසිල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, සාගර කාරියවසම් සහ සංජීව එදිරිමාන්න ඊට සහභාගි වූ අතර, ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් ඊට සහභාගි වූහ. ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවට සම්බන්ධ වූයේ ආරම්භයේ දී විනාඩි දහයකට පමණ කාලයකට පමණි. සාකච්ඡාවේ අරමුණ සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පැහැදිලි කළේය. ජනාධිපතිවරයා කීවේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කරන යෝජනාවට තමා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ බව ය. තමාට වෙනත් කටයුත්තක් තිබෙන බැවින් එම කටයුතු කරගෙන යන ලෙස ප්‍රකාශ කර ජනාධිපතිවරයා පිටව ගියේය.


අනතුරුව පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම හා ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාව ඉදිරියට ගියේය. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කීවේ, අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාවලට තම පක්ෂය ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාව පළ කරන බවය. එහෙත් එය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කළ යුතු යැයි ඔහු කීවේය.


අගමැතිවරයා, ඇමැති මණ්ඩලය පත් කරන ආකාරය සම්බන්ධයෙන් මෙන්ම ජාතික සභාවක් පිහිටුවීම සම්බන්ධව ද කතාබහට ලක්විය. ජී.එල්. පිරිස් මහතා විමසා සිටියේ ජාතික සභාවේ සංයුතිය කෙසේද කියාය. නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේ ජාතික සභාවට පත් වන්නේ එක් එක් පක්ෂවල නායකයන් බවය. බැසිල් රාජපක්ෂ මහතා විමසා සිටියේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඉන්න පොදුජන පෙරමුණටත්, එක් මන්ත්‍රී ධුරයක් තියෙන මහජන පක්ෂයේ අසංක නවරත්නටත් ජාතික සභාවේ හිමි වන්නේ එකම ස්ථානය දැයි කියාය. එහිදී නිමල් සිරිපාල මහතා කීවේ ජාතික සභාව නියෝජනය වන්නේ පක්ෂ නායකයන්ගෙන් බවත්, පක්ෂයේ මතය ඔහුගෙන් නිරූපනය වන බවත් ය. එබැවින් කැබිනට් මණ්ඩලය සහ අගමැතිවරයා පත් කිරීම ජාතික සභාවෙන් සිදුවන බව ඔහු කීවේය.


බැසිල් රාජපක්ෂ මහතා කීවේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් නොවන්නේ නම්, පොදුජන පෙරමුණෙන් වෙනත් කෙනකු විකල්පයක් ලෙස නම් නොකරන බවය.


අගමැතිවරයා පත් කිරීම ජාතික සභාවේ එකඟතාවයෙන් සිදුවන බව නිමල් සිරිපාල මහතා කීවේය. මේ සම්බන්ධයෙන් සාකච්ඡාව පැය දෙකක පමණ කාලයක් පැවැත්විණි


ඩලස් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම හමු වේ


ජනාධිපතිවරයා සහ පොදුජන පෙරමුණ සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ නිවසේ දී රැස් විය. ඊට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර, අනුර ප්‍රියදර්ශන යාපා, මහාචාර්ය තිස්ස විතාරණ, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, වීරසුමන වීරසිංහ, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ යන මහත්වරු ද අතුරලියේ රතන හිමියෝ ද සහභාගි වූහ. එදින සාකච්ඡාවේ විශේෂත්වයක් වූයේ ඩලස් අලහප්පෙරුම හා චරිත හේරත් යන මන්ත්‍රීවරුන් පළමු වතාවට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවට සහභාගී වීමය. ජනාධිපතිවරයා සමඟ එදින පෙරවරුවේ පැවති සාකච්ඡාව ගැන මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කළේ නිමල් සිරිපාල ද සිල්වා මහතාය. අන්තර් කාලීන ආණ්ඩුව පිහිටුවීම සහ එහි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද පුළුල් සාකච්ඡාවට ලක්විය.


රටේ ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම මහ නාහිමිවරුන්ගේ ද ඉල්ලීමකි. ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රීවරුන් ද දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කළහ. එසේ වුවද දැනට තිබෙන ආරංචි මාර්ග අනුව නම් එය සැබෑ වන බවක් පෙනෙන්නට නැත.


අගමැතිකමෙන් නොයන බව මහින්ද කියයි


ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අඟහරුවාදා පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 1 ශාලාවේ දී රැස්විය. සතියේ කටයුතු ගැන සාකච්ඡා කිරීමෙන් අනතුරුව අම්පාරේ වීරසිංහ මන්ත්‍රීවරයා කතා කළේය.”‍ අපි ඉන්නේ හරියට රටේ මොකුත් වෙන්නේ නෑ වගේ. රටේ ගැටලු‍ ගැන අපි මොනවහරි කතා කරන්න අවශ්‍යයි. වීරසිංහ මන්ත්‍රීවරයා කීවේය


අනතුරුව කතා කළේ සුරේන් රාඝවන් රාජ්‍ය ඇමැතිවරයාය.”‍ දැන් මේ පහුගිය කාලේ කොටි ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන එවුන් එවලා යුද්ධයක් කළා. 71 කැරැල්ලක් තිබ්බා. 88 -89 භීෂණයක් තිබ්බා. හැබැයි ඒ වෙලාවේ කවුරුවත් කිව්වේ නෑ ඒ කැරලිකාරයන්ට ආණ්ඩුව භාර දෙන්න කියලා. හැට නව ලක්ෂයේ ජනවරමට සාධාරණය ඉටු වෙන්න නම් අපි මේවට මුහුණ දෙන්න ඕන. එහෙම නැතුව දාලා යන්න ඕන නෑ. රාඝවන් කීවේය.


කෙහෙළිය රඹුක්වැල්ල අනතුරුව කතා කළේය”‍ දැන් මේ රටේ නීතියක් නෑ. අරාජික ගතියක් තියෙන්නේ. ඉදිරියට යන බවක් පේන්නේ නෑ. අපි ආණ්ඩුව කරනවා නම් මොනවා හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. එළියෙ තියෙන කලකෝලාහලවලට උත්තරයක් දෙන්න ඕන. එහෙම නැතුව අපි ආණ්ඩුව කරන්නෙ නැතුව නිකං බලාගෙන ඉන්න එකේ තේරුමක් නෑ. කෙහෙලිය කීවේය.


ජගත් කුමාර මන්ත්‍රීවරයා ද කතා කළේය. ”‍අපි මීට පෙරත් අගමැති තුමා ඉන්න ඕන කියලා කිව්වා. දැන් මම ඒක දිගින් දිගටම කියන්න යන්නෙ නෑ. හැබැයි අපි ආණ්ඩුව විදිහට කරන්න ඕන දේවල් තියෙනවා.
අපි ආණ්ඩුව කරන්නෙ නැත්නම් විපක්ෂයට යන්න ඕන. එහෙම නැත්තං අපි ආණ්ඩුවේ වැඩ කරන්න ඕන. එක තැනක හිරවෙලා. අගමැති එකක් කියලා, ජනාධිපති තව එකක් කියල හරියන්නෙ නෑ. අපි එකක් කියන්න ඕන. ජනතාවගේ බිම් මට්ටමේ ප්‍රශ්නවලට උත්තර හොයන්න ඕන. මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕන. ආර්ථික ප්‍රශ්නවලට උත්තර හොයන්නෙ නැතුව, දේශපාලන ප්‍රශ්නවලට උත්තර හොයන්නේ නැතිව ඉස්සරහට යන්න බැහැ. එහෙමනම් අපි විපක්ෂයට යමු ”‍ඔහු කීවේය.


රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා ද කතා කළේය. අපි හැමෝම ආවේ ඔබතුමාගේ නමින් ඡන්දෙ ඉල්ලලා. ඔබතුමා අයින් කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් අපට තියෙනවා. අන්තර් කාලීන ආණ්ඩුවට ඔබතුමා හරස් වුණොත් තීන්දුවක් ගන්නව කියලා මන්ත්‍රී කෙනෙක් කියලා තියෙනවා. මෙහෙම එක එක්කෙනාට ඕන දේවල් කරන්න දෙනවාද?. ඔබතුමා ගෙදර යවන්න හදනවා. ඔබතුමා යවන්න දෙන්න බෑ යැයි රෝහිත කියද්දී ඔය කියන්නේ කා ගැනදැයි මන්ත්‍රීවරයෙක් විමසීය. ඔහු කීවේ ලලිත් එල්ලාවල මන්ත්‍රීවරයා බවය.


අනතුරුව කතා බහට ලක්වූනේ නියෝජ්‍ය කතානායක පත් කිරීම සම්බන්ධයෙනි ඒ ගැන මතු කළේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා. අනතුරුව ජී එල් පිරිස් ඊට උත්තර දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කෙනෙකු ඉදිරිපත් කරන නිසා අපි මේ සැරෙත් ඔහුට සහාය දෙමු කියාය. ජොන්ස්ටන් ප්‍රනාන්දු කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් නොකරනවා නම් අපි කෙනෙක් ඉදිරිපත් කරමු කියාය. මේ සම්බන්ධයෙන් පසු දින පැවැත්වෙන ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී තීන්දුවක් ගනිමු කියාය.


පාර්ලිමේන්තුවේ නි. කථානායක නාඩගම


ශ්‍රී ලංකා පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවත්වීමට ගත් තීරණයත් සමඟ නියෝජ්‍ය කථානායක ධුරයේ සිටි රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා ද එම ධුරයෙන් ඉල්ලා අස්විය. අලු‍තෙන් නියෝජ්‍ය කථානායකවරයකු පත්කර ගන්නට යාමේ දී ගැටලු‍වක් මතු විය හැකි බැවින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේ රංජිත් සියඹලාපිටිය ට එම තනතුරේ රැඳී සිටින ලෙසය. ඒත් රංජිත් සියඹලාපිටිය කීවේ තව මාසයක් ඇතුළත සිට ඉන් පසුව ඉල්ලා අස්වන බව ය. ඒ අනුව සියඹලාපිටිය ඉවත්වීමෙන් අනතුරුව නව කතානායක පත් කර ගැනීමේ ඡන්ද විමසීම ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.


නියෝජ්‍ය කථානායක ධුරයට පොහොට්ටුවෙන් ද කවුරුන් හෝ ඉදිරිපත් වේ යැයි අපේක්ෂා කළ ද එය සිදු නොවීය ‘සියඹලාපිටිය’ නැවත යෝජනා විය. අවසානයේ එයට තැබූ ඡන්ද විමසීමේ දී පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයාට සහයෝගය ලබා දීම නිසා ආණ්ඩුව ජාමේ බේරා ගත්තේ විපක්ෂයට ගැටලු‍ රැසක් ඇති කරමිනි.


නියෝජ්‍ය කතානායක ඡන්දෙන් ඉමිටියාස්ට මොකද වුණේ?

සමගි ජන බලවේගයේ මැයි දින රැලිය කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී පැවතියේ ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ සහභාගිත්වයෙනි.


බොරැල්ල කැම්බල් පිටියේ සිට ආරම්භ වූ පෙළපාලිය නිදහස් චතුරශ්‍රයට පැමිණෙන විට පස්වරු තුන පමණ වූ අතර පැමිණි ජනකායෙන් ප්‍රදේශය අතුරු සිදුරු නැතිව පිරී ගියේය.


ඉන් අනතුරුව මැයි රැළිය ආරම්භ වූයේ විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනි.


පෙළපාලියේ ආරම්භයේ සිට අවසානය දක්වාම පැමිණි සජිත් ජනතාව අතරින් පැමිණ වේදිකාවට ගොඩ විය. නිදහස් චතුරස්‍රයේ පසුබිමින් ඩී.එස්. සේනානායක පිළිරුව දිස්වෙන පරිදි ආකර්ෂණීය වේදිකාවක් නිම කොට තිබූ අතර මැයි රැලිය සංවිධානය කිරීමේ වැඩි බරක් පැවරී තිබුණේ හරින් ප්‍රනාන්දු ට ය.


සජිත් වේදිකාවට ගොඩ වුණේ හරීන් සහ මනුෂ සමගය. වේදිකාවකට ගොඩ වී ඉදිරිපස බැලූ සජිත්ට දකින්නට ලැබුණේ නෙළුම් පොකුණ දෙසට විහිදී ගිය අති විශාල ජනකාය ය.


රැලිය ඇමතීමට කථිකයන් විශාල පිරිසක් සිටි අතර ඒ නිසාම කථිකයන්ගේ කාල වේලාව අඩු කිරීමට සිදුවිය. විශේෂයෙන්ම මහ ලේකම් රංජිත් ස්ව කැමැත්තෙන්ම තමන්ට වෙන් වී තිබුණු කාලය විනාඩි දෙකහමාරක් දක්වා අඩු කර ගත්තේය.


”‍ඔබතුමා හැමදාම කැපවීම් කරනවානෙ”‍ සජිත් රංජිත්ට කීවේය.


සජිත් සිය කථාව අවසානයේ වේදිකාවේ සිට හරින් කොහෙද කියා සොයා බැලු‍වේය.


ඒ වෙනවිටත් හරින් සිටියේ බස් රථයකට වී වෙහෙස නිවා ගනිමිනි. සජිත් කළේ වහාම හරින් සිටි තැනට පැමිණීමය.


‘‘වෙල්ඩන් මල්ලී. ලස්සනටම වැඩේ කරලා තිබ්බා. එක්සලන්ට් ජොබ්.”‍
සජිත් හරීන්ව වැළඳගෙන සුබපැතුවේය. අනතුරුව අසල සිටි මනුෂ ද වැළඳගෙන සුබ පැතීමට සජිත් අමතක නොකළේය.


ඩීල්කාරයන් හෙළිදරව් වූ නියෝජ්‍ය කතානායක ඡන්දය!


නියෝජ්‍ය කතානායකධූරයෙන් රංජිත් සියඹලාපිටිය ඉවත්වීමෙන් පසුව නව නියෝජ්‍ය කතානායකවරයෙක් තෝරා පත් කරගැනීමේ අවස්ථාව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමට ලබා දීමට සමගි ජන බලවේගය තීරණය කළේ දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවලදීය.


“අපි ආණ්ඩුවේ කටයුතුවලට සම්බන්ධ වෙන්නේ නෑ. ඒ නිසා නියෝජ්‍ය කතානායකවරයෙක් පත් කිරීමට අපි මැදිහත් වෙන්නේ නෑ. ඒ නිසා ඔබලාට කැමැති අයෙක් පත් කරගන්න” සාකච්ඡාවල දී පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසා තිබුණේය.


එහෙත් නියෝජ්‍ය කතානායකවරයෙක්ගේ නම යෝජනා කිරීමට සුලු‍ වේලාවකට පෙර සාගර කාරියවසම් පවසා තිබුණේ ස්වාධීන කණ්ඩායමෙන් ඉදිරිපත් කරන රංජිත් සියඹලාපිටියට ආණ්ඩුවේ සහාය ලබාදෙන බවය. ඒ අනුව ස්වාධීන වූ මන්ත්‍රීවරු රංජිත් සියඹලාපිටියගේ නම යෝජනා කරන විට ජී.එල්.පීරිස් පක්ෂයේ සභාපතිවරයා එය ස්ථිර කළේය.


ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඉමිතියාස් බාකීර් මාකාර්ගේ නමත් යෝජනා කළහ.


සජිත්ට ගහන්න කොන්ත්‍රාත්තුවක්!


නියෝජ්‍ය කතානායකධූරය සඳහා පැවති ඡන්දය අවසන් වූ වහාම සජිත් ප්‍රේමදාස ඉලක්ක කරගෙන මඩ ප්‍රහාරයක් දියත් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක විය. ප්‍රකාශය කළේ විමල් වීරවංශය තිරු නඩේසන්ගේ ගෙදර දී හේමා ප්‍රේමදාස හමු වූ බවට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කර තිබුණේ ඒ අනුවය.
“සර් මේක ඇත්ත කතාවක්ද?” සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සජිත්ගෙන් විමසූහ.


“මේක කොච්චර බොරුවක් ද කිව්වොත් අම්මා තාත්තාගේ ගුණ සමරුවට ආවෙත් පරක්කු වෙලා. ඉක්මනට ගියා. ඒ අසනීප තත්වයෙන් සිටින නිසා. මේ වගේ තුට්ටු දෙකේ බොරු වලින් මඩ ගහන එක එයාලගෙ ජීවිතේ කොටසක්.”සජිත් කීවේය.


“අවුරුදු අසූ හයක පුද්ගලයෙක් යොදා ගෙන කරන පට්ටපල් බොරු දේශපාලනය එපා කියලා ගෝල් ෆෙස් එකේ තරුණයෝ උද්ඝෝෂණ කරනවා. ඒ අතරේ මේ අය සාම්ප්‍රදායික මඩ දේශපාලනය කරගෙන යනවා”රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේය.


“තිරු නඩේසන් එක්ක ඉන්නේ රනිල්ලා. රාජපක්ෂලා ආරක්ෂා කරන ඩීල් දැම්මේ ඒ අය. 2015 ඡන්දෙ වෙලාවේදී වුණ දේවල් අපිට අමතක නැහැනේ” එස්.එම් මරික්කාර් මන්ත්‍රීවරයා කීය.
මේ අතර විමල් වීරවංශ ඇතුලු‍ කණ්ඩායමක් පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවක් සජීවීව විකාශය විය. ඒ දෙස මන්ත්‍රීවරුන් බලා සිටියේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ සිටමය.
“විපක්ෂය භේදභින්න කළා කියලා විමල් දැන් කියනවා. විමල් ජවිපෙන් ගැලවිලා ඇවිත් පක්ෂයක් හැදුවා. එදා ඉදපු 16න් ඉන්නේ මුසම්මිල් විතරයි. අනික් හැමෝම ආපහු ගියා” ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා අතීතය සිහිපත් කළේය.


“විමල්ට - ගම්මන්පිලට ලැජ්ජාවක් නෑනේ. අවලස්සන ඇමරිකානුවා කියලා ඇවිත් අනෙක් පැත්තෙන් රාජපක්ෂ එක්ක රෑට ඩීල් දානවා. දවස් දෙකකට කලින් විමල් ගිහින් බැසිල් හමුවෙලා තියෙනවා. ඒකෙන් පස්සේ තමයි රංජිත් සියඹලාපිටියට පොහොට්ටුවේ සහාය දෙනවා කියලා තීරණය කරලා තියෙන්නේ” මුජිබර් රහුමාන් කීවේ තමන්ට ලැබුණ අභ්‍යන්තර තොරතුරක් අනාවරණය කරමිනි.
“අපි මෙතැනදී හරිම තීරණය ගත්තා. ස්වාධීන වුණා කියන අයගේ දේශපාලන ඩීල් එක අපිට හෙළි කරන්න පුලු‍වන් වුණා. සර්ව පාක්ෂික ඩීල් තමයි මේවා එක්ක එන ඒවා”හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පැවසුවේය.
“මුන් එක්ක ආණ්ඩු කරනවා තියා මුන් වගේ දහ ජරා ඈයෝ ටිකක් පාර්ලිමේන්තුවෙ ඉන්නකොට පාර්ලිමේන්තුවට යාමත් අප්‍රසාදජනක දෙයක්. පාර්ලිමේන්තුවට යන එකත් වැසිකිළියට යන වැඩක් වගේ දෙයක්” තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා කීය.


මේ අතර ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී විමල් පැවසුවේ ‘‘සජිත් ගෝ ගම’’ යනුවෙන් ගමක් ආරම්භ කිරීමට සිදුවන බවය.


“මම සජිත් ගෝ ගම කියලා ගහනකම් ඉන්නේ නෑ. මට මන්ත්‍රීකම් ලොකු නෑ. අද රාජපක්ෂලා හොඳ නෑ කියන එක රටම දන්න කියන කාරණක්. රාජපක්ෂලා එක්ක තුට්ටුවකවත් ගනුදෙනු නෑ. රාජපක්ෂලා එක්ක රෑ දවල් ඩීල් දාන අය අපිට චෝදනා කරනකොට අනුකම්පා කරන එක විතරයි. රෑට බැසිල්, උදේට මහින්ද, දවල්ට ගෝඨා හමුවන අය කරන චෝදනා අහන්න අපිට වෙලාවකුත් නෑ”සජිත් කීවේ තරමක ආවේගයකිනි.
“මේ රටේ මිනිස්සු, අරගලය කරන මිනිස්සු ඉල්ලන දේවල් ඒකමතිකව අනුමත කරන කණ්ඩායම සමගි ජන බලවේගය ඒ අය රාජපක්ෂලා ගෙදර යන්න කියන විට අපිත් රාජපක්ෂලා සියලු‍දෙනාම ගෙදර යන්න කියලා කිව්වේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න, සංවරණ තුලන ක්‍රමයක් යන්න කියන සටන් පාඨ අරගෙන ආවේ අපි. ඒ වගේ විපක්ෂ නායකයෙක්ට තමයි මේ ගහන්නේ” රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේය.
“නායතුමාගේ ෆයිල් එකක් අනුර ළඟ තියෙනවා කියලා අනුර කිව්වා” තලතා අතුකෝරළ මන්ත්‍රීවරිය අනුරගේ කතාව සිහිපත් කළාය.


“ඒ ෆයිල් එක මා ළඟත් තියෙනවා. විගණකාධිපති ළඟත් තියෙනවා. රජයේ විගණන නිලධාරීන් ළඟත් තියෙනවා. ඒවායේ සතපහක වංචාවක් වෙලා නෑ කියලා විගණන තුනකින් හෙළිදරව් වෙලා තියෙනවා.
මම කියන්නේ අනුර දිසානායක මහත්තයා ළඟ තියෙන සියලු‍ම ෆයිල්වලට කලින් මගේ ෆයිල් එක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරි අල්ලස් එකට හරි දෙන්න” සජිත් පැවසුවේය.


“මේක සම්පූර්ණයෙන්ම විහිළුවක්. මේ පනතේ කොතැනවත් අගමැති ලෙස සභාපතිවරයා අනුමත කළ යුතු දෙයක් නෑ. අනුරලා ළඟ තියෙන්නේ පොටෝ කොපිය. අමිල හාමුදුරුවෝ අත්සන් කරලා තියෙනවා කියලා කිව්වානේ”ගයන්ත කීවේය.


“මම පන්සල් වෙහෙර විහාර, ආගමික ස්ථාන හදන්න උදව් කරපු එක කළේ. ඒකට නීත්‍යානුකුලව මුදල් වියදම් කළා හැරෙන්න වෙන කිසිම දෙයක් කළේ නෑ. මම සියලු‍ම ආගම්වලට සංස්කෘතික අරමුදලේ මුදල් නීත්‍යානුකූලව යොදවපු එක වැරදි නම් ඕනම දඩුවමක් විඳින්න සූදානම්. හොරකම් කළ අයත් නිර්දෝශයි කියනවා. ඒක ලජ්ජයි. අනුර ළඟ ෆයිල් 500ක් තියෙනවා නම් එයින් මට විරුද්ධව මුල් එක දාන්න. මේක දුන්නා නැතා මම නඩුවක් දානවා. නඩුව දිනුවම ඒ ටිකත් සංස්කෘතිය නංවන්න දානවා. කඩා වැටිලා තියෙන රෝහල් පද්ධතියට හරි දානවා. අපහාස නඩුවක් දානවා. මේ මුදල් වියදම් කිරීමේදී කිසිම වංචාවක්, අනවශ්‍ය වියදම් කිරීමක්, අක්‍රමිකතාවයක් වෙලා නෑ කියලා රජයේ විගණන නිලධාරියා තෙවරක් සහතික වී තිබෙනවා” සජිත් පැහැදිළි කළේය.


‘‘අපි විශ්වාසභංගය ඉක්මනින්ම ගේන්න වැඩ කරන්න ඕන.”‍ අශෝක් අබේසිංහ කීවේය.


”‍ඔව්, දැන් මේ රටේ තරුණයෝ පාර්ලිමේන්තුව ඉස්සරහත් ”‍හොරු ගෝ ගම”‍ හදලා. මේ දුර්දාන්ත ආණ්ඩුව ඉක්මනින්ම ඉවර කරන්න ඕන. ඒ වගේම අර ස්වාධීනයි කියලා බොරු බයිලා ගහන විශාල පිරිසකුත් ඉන්නවා. ඒ අයගේ අවසාන නිරුවතත් විශ්වාසභංගයෙන් රටට බලාගන්න පුළුවන්”‍ එහෙම කිව්වෙ මනූෂ ය.
”‍මම ආපහු කියනවා. මේ රටේ මහපාරේ අරගල කරන මිනිස්සුන්ගෙ පැත්තේ කොන්දේසි විරහිතව හිටගන්න බලවේගයක් තියෙනවා නම් ඒ සමගි ජන බලවේගය විතරයි”‍ සජිත් කීවේය.


ආර්ථික අර්බුදය විසඳන්න පුළුවන් එජාප රජයකින් පමණයි

- එජාප නියෝජ්‍ය නායක


පාර්ලිමේන්තුව අබියස විරෝධතාවක යෙදුණු තරුණයන් දොළොස් දෙනකු පොලිස් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේදී පක්ෂ​යේ නීතිඥයන්ට ඒ සඳහා මැදිහත් වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.


පසුගිය සතියේදී එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ අවධානයට ලක්වූයේ රටේ තත්ත්වය පිළිබඳවය. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ තරගකාරී ආර්ථිකයකට ගොස් අපනයන ආදායම වැඩි කර ගත යුතුය. මම කළ හැමදේටම විරුද්ධ වුණා. අන්තිමට ගෙදර ගියේ ගෝඨා නොව තමා බවද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර සිටියේය.


වත්මන් ප්‍රශ්න විසඳාගැනීම පිළිබඳව සුමාන දෙක තුනක් ඇතුළත එකඟතාවකට පැමිණිය යුතු අතර ඒ සඳහා සියලු දෙනා එකඟතාවෙන් වැඩ කළ යුතු බවද ඔහු කීය. මීට අමතරව නායක රනිල් වික්‍රමසිංහ මහතා රටේ පවතින තත්ත්වය පිළිබඳව විස්තර කරමින් ජනමාධ්‍ය සාකච්ඡා කිහිපයක්ද පැවැත්වීය.
නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ගිය සතියේ පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී වෘත්තීයවේදී හමුවකට සහභාගි විය. එයට විවිධ අංශවල වෘත්තීයවේදීහු සහභාගි වී සිටියහ.
එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ පවතින ආර්ථික අර්බුදය විසඳිය හැක්කේ එක්සත් ජාතික පක්ෂ රජයකට පමණක් බවය. රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයාට තිබෙන ජාත්‍යන්තර සම්බන්ධතා සමග ඩොලර් ප්‍රශ්නය විසඳා ගත හැකි බවද රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
මීට අමතරව ගම්පහ හා හම්බන්තොට මැතිවරණ කොට්ඨාසවල සංවිධායක කමිටුවලට පාක්ෂිකයන් පත් කිරීමද පසුගිය සතියේ සිදුවිය.


ජවිපෙ ලිපිගොනු රට හොල්ලයි


‘‘රට වනසපු හොරු වළල්ල තොග පිටින් හෙළිදරව්ව’’ මාධ්‍ය හමුවේ අනාවරණය කරන ලද කරුණු පිළිබඳව සමාජයේ මහත් ආන්දෝලනයට හේතු වී ඇති අතර එම ලිපිගොනුවල ආරක්ෂාවට තාක්ෂණික ක්‍රමවේදයක් අනුගමනය කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
ඔහු මේ බව සඳහන් කළේ ඉකුත් සතියේ පැවැති මධ්‍යම කාරක සභාවේදීය. පැලවත්ත පක්ෂ මූලස්ථානයේ පැවැති මධ්‍යම කාරක සභා සාකච්ඡාවට එහි සාමාජිකයෝ සියලු දෙනාම පාහේ සහභාගි වී සිටියහ. එම මාධ්‍ය හමුවට ජන මාධ්‍යවලින් හොඳ ප්‍රතිචාරයක් ලැබී තිබූ නිසා අතිවිශාල පිරිසක් ඒ ගැන කතා කළ බව අනුර කුමාර දිසානායක මහතා කීවේය. එහිදී මෙම ලිපි ගොනු ආරක්ෂා කර ගැනීම පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය. දුරකථනයෙන් කතා කළ බහුතර පිරිසක්ද ඒ පිළිබඳව අවධානය යොමු කර තිබුණි. මෙම ලිපි ගොනු ආරක්ෂා කර ගැනීම සඳහා තාක්ෂණික ක්‍රමවේදයන් අනුගමන කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.


හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේ රජය කළ අය බෙහෙවින් කලබලයට පත්වී සිටින බවය. සූදානම් කර තිබූ ලිපි ගොනු ගණනාවක් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට කාලය ප්‍රමාණවත් නොවූ බවද ඔහු කීය. විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් ගණනාවක් තමන්ට කතා කර තමන් දුක් මහන්සි වී උපයා ගත් මුදල් ගසා කා තිබෙන බව දැනුම් දුන්නේ යැයි හිටපු මන්ත්‍රී බිමල් රත්නායක මහතා කීය.


මෙරට දූෂිතයන්ට එරෙහි විදේශීය ශ්‍රී ලාංකිකයන් ඒ ඒ රටවල හඬ නැගීමට සූදානම් බව දුරකථනයෙන් දැනුම් දුන් බව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීවේය. ඒ රටවල රැකවරණය මේ දූෂිතයන්ට ලබා නොදිය යුතු බවට එම රාජ්‍යවලට යෝජනා කිරීමට ඔවුන් තීරණය කර ඇති බව දන්වා තිබෙන බවද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීය.


පසුගිය කාලය තුළ දූෂිතයන්ට එරෙහි නීතිපති දෙපාර්තමේන්තුව නඩු ඉවත් කර ගැනීම සිදුවූ නිසා එම චෝදනා ඉදිරියට ගෙනයාමට අවශ්‍ය බව විජිත හේරත් මහතා සඳහන් කළේය. ඒ සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට වසන්ත සමරසිංහ මහතාට හා සුනිල් හඳුන්නෙත්ති මහතාට මෙහිදී භාර කළේය.
ඉකුත් සිකුරාදා පැවැත්වූ හර්තාල් ව්‍යාපාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ අතර ජනතා විමුක්ති පෙරමුණ ඊට උපරිම සහනය ලබාදීමටද කටයුතු කළයුතු බවද මෙහිදී තීරණය විය. හර්තාල් ව්‍යාපාරයෙන් පසු 11 වැනිදා සිට අඛණ්ඩ හර්තාල් ව්‍යාපාරයක් පවත්වන බවද මෙහිදී සාකච්ඡා විය.


මැයි දින පා ගමන් හා රැස්වීම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මෙම රැස්වීම් හා පාගමන් ඉතා සාර්ථකව පැවැති අතර මාතර පැවැති මැයි රැලිය අවස්ථාවේ තද වැසි තිබුණත් සාර්ථකව පැවැත්වූ බව අනාවරණය විය.


කරු පාලමක් වෙන්න හදයි


නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමෙන් අනතුරුව රට තුළ උද්ගතවී ඇති දේශපාලන අර්බුදය තවත් තීව්‍ර වෙමින් පවතින පසුබිමක ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව කලින්ම දුටු මේ රටේ ප්‍රමුඛම දේශපාලන හා සිවිල් බලවේග ගණනාවක්ම හිටපු කතානායක කරු ජයසූරිය මහතා හමුවී ඇදවැටෙමින් පවතින අඳුරු අගාධයෙන් රට මුදාගැනීම සඳහා නොපමාව මැදිහත්වන ලෙස ඉල්ලීම් කර තිබේ.
නියෝජ්‍ය කතානායකවරයා තෝරා ගැනීමට පැවැති ඡන්ද විමසීමෙන් පසු ගෙවුනු බ්‍රහස්පතින්දා රාත්‍රිය කරුට බෙහෙවින් දිගු විය. එක දිගට කෙරුනු ඉල්ලීම් හා යෝජනාවන්ට ඔහු සාවධානව ඇහුම්කන් දෙමින් ඒ සියල්ලන්ටම අවධාරණය කර ඇත්තේ ඉදිරි මාස 18 ක කාලය තුළ සම්පූර්ණ කර ගත යුතුව ඇති දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව පොදු සම්මුතියකට එලැඹීමට විපක්ෂය සූදානම් නම් තමන් ඒ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට අවශ්‍ය මැදිහත්වීම හා මඟපෙන්වීම ඉටු කිරීමට සූදානම් බවය. එමෙන්ම මොනම තත්ත්වයක් යටතේ වුවද තමන් එම කාර්යයෙන් පසු දේශපාලන තලය සඳහා වන ක්‍රියාවලියකට සම්බන්ධ නොවන බව එහිදී අවධාරණය කර ඇති කරු රටේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයකට ගෙන ඒම සඳහා ඉටුකර ඇති ආර්ථික කළමනාකරණ ක්‍රියාවලිය හා මූලික දේශපාලන ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කර ගැනීමෙන් පසු මේ රටේ සාමාන්‍ය ජනතාවට තමන් කැමැති පාලනයක් බිහිකර ගැනීම සඳහා අවස්ථාව ලබාදීමට පමණක් තම වගකීම සීමාවන බවද කරු එහිදී අවධාරණය කර ඇත.

 

 

-ගජබා-

 

 



අදහස් (0)

පාර්ලිමේන්තුවේ ඡන්ද නාඩගම

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 169 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site